මම අධ්‍යක්ෂවරයා අමතක කරලා ඇක්ෂන් කට්වලට රංගනයෙන් දායක වුණා

ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය සෝමරත්න දිසානායක
නොවැම්බර් 30, 2023

දෙස් විදෙස් සම්මානනීය ඇගැයුම් පැසසුම් ලැබු පේ‍්‍රක්ෂක ආකර්ෂණයේ ඉහළ අගයෙන් යුතු සිනමා නිර්මාණ බිහිකළ ආචාර්ය සෝමරත්න දිසානායකයන් ගැන අටුවා ටිකා අවශ්‍ය නැත. ඔහු විසින් මෙරට සිනමා ක්ෂේත්‍රයට එක් කළ ජනකාන්ත සිනමා නිර්මාණයන් ඔහු ගැන පවසා සිටින්නට කදිම සාක්ෂීන් වේ. අනූව දශකය වනවිට මෙරට සිනමා ශාලා වැඩිමනක් වැසීයමින් පවතින මොහොතක තිබෙන සිනමා ශාලා වව්ලන්ගේ මීයන්ගේ තිප්පොළක් බවට පත් වී ඇති අවස්ථාවක මෙරට සිනමා ශාලා හිමියන් සේම මෙරට සිනමා පේ‍්‍රක්ෂකයන් යළිත් අවදි කිරීමේ සිනමා නිර්මාණයන් රැගෙන ඒමේ ගෞරවය හිමිවිය යුත්තේ ද සෝමරත්නයන්ටය.

ආචාර්ය සෝමරත්න දිසානායකයන් කියූ පමණින් කාගේත් මනසට එන්නේ සිනමා අධ්‍යක්ෂවරයාය. ඒත් මේ ජනකාන්ත සිනමා අධ්‍යක්ෂවරයා නළුවෙක් බව දන්නේ ඉතාමත් අතළොස්සක් වූ පිරිසක් පමණි. ජනාකර්ෂණීය සිනමා නිර්මාණ රැසක් මෙරට පේ‍්‍රක්ෂකයන්ට තිළිණ කළ සෝමරත්න දිසානායකයන් මේ දවස්වල සිනමා නිර්මාණයක් ඔස්සේ රංගනයේ නියැලීම ද බොහෝ දෙනා අතර වඩාත් කතාබහට ලක් වී ඇත.

මේ දිනවල දිවයින පුරා සිනමා ශාලා වල තිරගත වන සංජීව පුෂ්පකුමාරගේ ‘ආසු’ චිත්‍රපටයේ රංගනයේ නියැළෙන ආචාර්ය සෝමරත්නයන් හා අපි කතා බස් කරමු.

ආචාර්ය සෝමරත්න දිසානායක කියන ජනකාන්ත සිනමා වේදියා සිනමා අධ්‍යක්ෂණයෙන් බැහැර වෙලා රංගන ශිල්පියෙක් බවට පත්වෙලාද?

බොහෝ දෙනෙක් මාව චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ලෙස හඳුනාගෙන තිබුණත් මගේ ආරම්භය රංගනය. මේ දවස්වල සංජීව පුෂ්ප කුමාරගේ ආශු චිත්‍රපටයේ දොස්තරට මම රඟපානවා. ඒ රංගනයත් සමඟ මගේ රංගනය ගැන අසා නොතිබු අයට මේක අලුත් නිවුස් එකක්.

අපි හඳුනාගෙන තිබු සිනමා අධ්‍යක්ෂවරයා රංගශිල්පියෙක් බවට පත්වෙන සුවිශේෂී ගමන ගැන කතා කරමු?

රඟපෑම කියන දේ තමයි මගේ පළවෙනි කැමැත්ත. මම මුලින් හිතාගෙන හිටියේම නළුවෙක් වෙන්න. ඔය සිතුවිල්ල මගේ පාසල් වේදිකාවේ සිට තිබු දෙයක්. පාසලේ ගුරුවරු වුණත් එදා පාසලේ නාට්‍ය සඳහා ප්‍රධාන භූමිකාවට තෝරගත්තේ මාව. මුලදී පුංචි පුංචි චරිත වලට මාව ගත්තත් සාමාන්‍ය පෙළ උසස් පෙළ කරන කොට මාව ප්‍රධාන චරිත වලට නිතර තෝරගත්තා. පාසල් අතර පැවැති සමස්ත ලංකා තරඟ සඳහාත් මම සහභාගි වුණා පාසලේ නාට්‍ය නිර්මාණ සමඟ. පාසල් අධ්‍යාපනය අවසන් කරලා කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙත් මගේ මේ ආශාව අඩුවක් වුණේ නෑ. ඒ නිසාම මම වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේම ධම්ම ජාගොඩ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්, ලයනල් වෙන්ඩ්ට් එකේ පවත්වාගෙන ගිය රංග ශිල්ප ශාලිකාවේ නාට්‍ය හැදෑරුවේ නළුවෙක් වෙන්න හිතාගෙන නාට්‍යකරණය පිළිබඳ මේ පාඨමාලාව මම හැදෑරීමට තෝරගත්තේ ධම්ම ජාගොඩ හා සරච්චන්ද්‍රයන් යටතේ මගේ හීනය තිබුණේ නළුවෙක් වෙන්න.

විනෝදාංශයට නළුවෙක් වෙන්නද ඔබ හිතුවේ?

නෑ. වෛද්‍ය වෘත්තිය ඉගෙන ගත්තත් මම හඳුනාගෙන තිබුණා. මා තුළ රංගන හැකියාවක් තියනව කියල. ප්‍රාසංගික කලාවට අමතරව මම කාව්‍ය රචනා කෙටි කතා නවකතා පත්තරවලට ලියන එකත් කළා. මම පාසලේ විද්‍යා ශිෂ්‍යයෙක් විශ්වවිද්‍යාලයෙත් මම විද්‍යා විෂයයන් හැදැරුවත් මම හොයාගෙන තිබුණා මා තුළ කලාකාරයෙක් ඉන්නවා කියලා. ඒ නිසා මගේ බලාපොරොත්තුවක් තිබුණා රඟපෑමට. ඒ නිසයි මම ලයනල් වෙන්ඩ්ට් එකට ගියේ. එතනදී ධම්ම ජාගොඩයන් හා සරච්චන්ද්‍රයන් කොතරම් සුක්ෂ්මව දක්ෂම ළමයි තෝරගන්නවාද කියනවා නම් මටත් පරාක්‍රම නිරිඇල්ලටත් ධම්ම ජාගොඩ පවසා හිටියා. ඔය දෙන්නා රඟපෑම කියන දේ ප්‍රධාන කරගන්න එපා ඔය දෙන්නා රචනාවට සහ අධ්‍යක්ෂණයට මුල් තැනක් දෙන්න ඒ ගැන හිතන්න. රඟපෑම ඕනෙ නම් ඒකත් කරන්න. නමුත් ඔය දෙන්නට ඊට වඩා යමක් වෙනවා. රචනය හා අධ්‍යක්ෂණය පැත්තෙන් ගියොත් කියලා. ඊට පස්සේ මම ඒ දිරිගැන්වීම නිසාම වෙඩික්කාරයෝ නාට්‍ය නිර්මාණය කළා. පරාක්‍රම සෙක්කුව නාට්‍ය නිර්මාණය කළා. මේ නාට්‍ය දෙකම ජාතික නාට්‍යය උලෙළට තේරුණා. සුමින්ද සිරිසේන ගාමිණී හෙට්ටිආරච්චි, දීපානි සිල්වා. එච්.ඒ. පෙරේරා ලින්ටන් සේමගේ මේ අයත් එදා මේ පාසලේ හිටිය මගේ සම කාලීනයන්. ධම්ම සර් සරච්චන්ද්‍ර සර් ගොඩක් සතුටු වුණා එයාලගේ ගෝලයෝ ඉදිරියට ඒම ගැන.

නාට්‍ය නිර්මාණයත් සමඟ රඟපෑමේ හීනය ඔබෙන් බැහැර වුණාද?

නෑ... නෑ... නෑ... කොහෙත්ම නෑ. ඒ හීනය මගේ හිතේ තිබුණා. මම කළේ ලංකාවේ එකල ප්‍රසිද්ධ නාට්‍යකරුවන් පස්සේ යාම, රඟපෑමට චාන්ස් එකක් ඉල්ලලා. ධම්ම ජාගොඩ, සරච්චන්ද්‍ර, හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන, සුගතපාල ද සිල්වා, නවගත්තේගම, ආර්.ආර්.සමරකෝන්, මේ ඒ කාලේ හිටිය නාට්‍ය නිර්මාණ දැවැන්තයෝ. මේ හැමෝම පස්සේ මම ගියා. ඇත්තම කියනවානම් රඟපාන්න චරිත ඉල්ලගෙන.

සෝමරත්න දිසානායක කියන මේ ප්‍රතිභාපුර්ණ සිනමා අධ්‍යක්ෂවරයා රඟපාන්න චරිත සොයා එකිනෙකා පස්සේ ගිය පුද්ගලයෙක්?

මොනව කියනවද ආශාව ඉෂ්ට කරගන්න පස්සෙන් ගියා. ඒ අය ඉන්න තැන් හොය හොයා. තව මොනවාද කතා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයාගේ ගෙදර උදේ පාන්දරින් ගිහින් දොරකොඩ හිටගෙන හිටියා හොල්මනක් වගේ ලෙස්ටර් මහත්තයා එළියට එනකන්. ලෙස්ටර් මහත්තයාටත් මගෙන් බේරුමක් නැති තැන මට මඩොල් දුව චිත්‍රපටයේ චරිතයක් දුන්නා. නාට්‍යකරුවෝ පස්සේ ගියාට මට චරිත ලැබුණේ නෑ. හුඟ දෙනෙක් කළේ මාව පරීක්ෂා කරන එක. මට රඟපාන්න ආශාව තිබුණට මගේ ගීත ගායනය එතරම් හොඳ වුණේ නෑ. මහාචාර්ය සරච්චන්ද්‍රයන් මාව පරීක්ෂා කළා. මනමේ කුමාරයට. මම හිතන් හිටියා මනමේ කුමාරයට මට හොඳට රඟපාන්න පුුළුවන් කියලා. මම රවුමක් ගිහින් එහෙම පෙන්නුවා සරච්චන්ද්‍රයන්ට ඒත් සරච්චන්ද්‍රයන් මට කතා කරලා මෙහෙම කිව්වා ළමයා මේ නාට්‍ය රංගනයට ගායනය හා රංගනය දෙකම ඕනේ ඔය දරුවට කවුරුහරි කිව්වද සින්දු කියන්න පුළුවන් කියලා. එහෙම කිව්වහම මගේ මුණ රතු වුණා. දරුවෝ සින්දු කියන්න ඉගෙන් ගන්න. මට එතුමන් අවසානයේ කිව්වේ එහෙම. දයානන්ද ගුණවර්ධනයන්ගේ ගජමන් පුවත නාට්‍යයේ ඔඩිෂන් ගියා. සින්දු කියන්න බැරුව මාව නාට්‍යයෙන් හැලුණා. හෙන්රි ජයසේනයන් කළ සරණ සියොත් නාට්‍යයට මාව තෝරගත්තා. ඒකේ ප්‍රධාන චරිතය කළේ මම. එහි ගීත ගායනා තිබුණේ නෑ. ඒ නාට්‍ය එතරම් ජනප්‍රිය වුණේ නෑ. රටේ බුද්ධි ගලනය පිළිබඳ කතා කළ නාට්‍ය නිර්මාණයක් ඒක. ඊට පස්සේ ආර්.ආර්. සමරකෝ්න්ගේ ඉඩම නාට්‍යයට මාව තෝරගත්තත් එහි මාව අබිබවා ඒ චරිතයට සුදුසුකම් ලැබුවා. සිරිල් වික්‍රමගේ ඒ චරිතෙත් මට අහිමි වුණා. සයිමන් නවගත්තේගමගේ සුබ සහ යස නාට්‍යයේ සැන්ටින් ගිය වෙලාවේ සුබගේ චරිතයට මමයි රින්ස්ලි වීරරත්නයි දෙන්නම ගියා. මම අබිබවා රින්ස්ලි වීරරත්න ඒ සඳහා තේරුණා. ඊට පස්සේ මගේ රඟපෑමේ සිහිනය ටික ටික බොඳ වුණා. හැබැයි චිත්‍රපටයක රඟපාන්න ඕනෙකම තිබුණා.

හිතුණෙ නැද්ද රඟපාන්න අවස්ථාව අහිමිවෙන කොට තමන්ගේම කියා නාට්‍යයක් අධ්‍යක්ෂණය කරමින් රඟපාන්න?

මොකද නැත්තේ ඔය කාලේ තමයි මගේ වෙඩික්කාරයෝ නාට්‍යය හැදෙන්නේ එහි පිටපත් රචනය අධ්‍යක්ෂණය මගේමයි. ඒ වගේම රඟපාන්න මට හම්බවෙන්නැති තැන මම ඒ නාට්‍යයේ ප්‍රධාන චරිතෙත් රඟපෑවා.

රඟපාන්න කවුරුවත් දෙන්නැති තැනද වෙඩික්කාරයෝ නිර්මාණය කළේ?

බොහෝ විට ඒ හේතුවත් මගේ හිතේ තියෙන්න ඇති. මටත් කියල වැඩක් පෙන්වන්න. මමම නාට්‍යයක් කරල හැබැයි මම වෙඩික්කාරයෝ පිටපත ලියා අධ්‍යක්ෂණය කරමින් එහි ප්‍රධාන චරිතය මම රඟපෑවා. ඒක හොඳට කළ නිසා වෙන්න ඇති මට සයිමන් නවගත්තේගම කතා කළේ සුබ සහ යස ඔඩිෂන් එන්න කියලා. ඒත් මගේම වෙඩික්කාරයෝ නාට්‍යයේ රඟපෑ මගේ ගෝලයා මාත් සමඟ සුබ සහ යස නාට්‍යයේ ඔඩිෂන් ගියත් අන්තිමට මාව හැලිල ගෝලයා තේරුණා.

වේදිකාව මගහැරෙනකොට රංගනයට සිනමාව හොයාගෙන ගියා නේද? ඔබේ හිතේ සිහිනය සැබෑවක් කරගන්න?

ලෙස්ටර් මහත්තයා හොයාගෙන ගිහින් ගෙයි දොරකඩ මම හිටගෙන හිටියේ මගේ හීනය සැබෑවක් කරගන්න කොහොමහරි ලෙස්ටර්ට මගෙන් බේරන්න බැරි තැන. මාව ගත්ත මුලින්ම වාර්තා චිත්‍රපටයකට එහි නම නම් මට මතක නෑ. තිස්ස අබේසේකර තමයි එහි පිටපත ලියලා තිබුණේ. කෘෂි කාර්මික නිලධාරියෙක්ගේ චරිතයක්. ඔහු ගමට ගිහින් එක එක අභියෝග වලට මුහුණ දෙන චරිතයක්. ඒක මම හොඳට කළා. පසුව තිස්ස අබේසේකරත් ලෙස්ටර්ගෙන් අහල තිබුණා කවුද ඒ කැරැක්ටරය කරපු කොල්ලා කියලා. ඊටපස්සේ තමයි ලෙස්ටර් සර් මාව මඩොල්දුවේ රඟපාන්න ගත්තේ. ඒ චිත්‍රපටයේ රජයේ නිලධාරියා මම. ජින්නා උපාලි මඩොල්දුව වචන එකට එන පැමිණිලි විභාග කරන්න යන රජයේ නිලධාරියා මම. මම ළමයිට දොස් කියන්න යන්නේ ඒත් ළමයි හරි දේ හරි විධියට කරල නිසා මම ළමයිට උදවු කරල ප්‍රසංසා කරල එනවා. මඩොල්දුව චිත්‍රපටය තමයි මගේ මුල්ම සිනමා රංගනය. ඊටපස්සේ ලෙස්ටර් සර්ගේ අහසින් පොලොවට චිත්‍රපටයේ ටෝණි රණසිංහ සමඟ සහාය වෛද්‍යවරයකුට රඟපාන්න ලැබුණා. ඒ චරිතය මට අපහසු වුණේ නෑ. මමත් ඒ වෘත්තියේම කොටස්කාරයෙක් වෙලා තිබුණ නිසා.

මාව චිත්‍රපටයක ලොකු චරිතයකට ගත්තේ නැතිවුණත්. මට ඕනෙ කළා ලොකු චරිතයක් රඟපාන්න. ඒ නිසාම මම සුමිත්‍රා පිරිස් මහත්මියටත් ඇවිටිලා කළා. එතුමිය ඒ දවස්වල ගැහැනු ළමයි චිත්‍රපටය කරන්න හදන නිසාවෙන්. ඒ චිත්‍රපටයේ නිමල්ගේ චරිතය මට කරන්න ඕනෙකම තිබුණ නිසාම මං මගේ ෆෝටෝ පවා අරන් එතුමියට යැව්වා මාව තෝර ගන්න කියලා.

සිහින බිඳවැටෙන කොට ඔබ විදෙස් ගත වෙනවා නොවේද?

ආර්ථික අපහසුතා එනකොට මම ඕස්ට්‍රේලියාට යනවා. රැකියාව සඳහා එහි රෝහල් කීපයක වෛද්‍ය වෘත්තියේ මම නියැළෙන අතරේ මම සිඩ්නි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය සඳහා චිත්‍රපට අධ්‍යක්ෂණය තෝරාගන්නවා. මගේ එම්.ඒ. උපාධිය වෙනුවෙන් වෛද්‍ය වෘත්තියට කිසිදු ආකාරයක සම්බන්ධයක් නැති අංශයක් වූ සිනමාකරණය මම තෝරගන්නේ සිනමාවට තිබු ආසාව රංගනයට තිබු ආශාව නිසාම මේ ක්ෂේත්‍රයම තෝරගන්නවා.

ඒ වෙනකොට මා තුළ රඟපෑම ගැන ලොකු උනන්දුවක් තිබුණේ නෑ. ඕස්ට්‍රේලියන් නිෂ්පාදන කීපයකත් මම රඟපෑවා. නැවත මම ලංකාවට එනකොට මගේ රඟපෑමේ සිහිනය අඩුවෙලා රචනයට හා අධ්‍යක්ෂණයට මගේ අවධානය දැඩිව යොමුවෙලා තිබුණේ. විශේෂයෙන් සිනමා පාඨමාලාව එම්.ඒ. උපාධියට හැදැරීමත් සමඟ මා තුළ ලොකු විශ්වාසයක් ඇතිවෙලා තිබුණා. රචනයෙන් වගේම අධ්‍යක්ෂණයෙන් මට ලොකු ගමනක් යන්න පුළුවන් කියලා. ඒ අනුව තමයි මම ටෙලි නාට්‍ය, චිත්‍රපට රචනයට අධ්‍යක්ෂණයට පෙළඹුණේ. ඉටිපහන් 1, ඉටිපහන් 2, පුංචි පැටව්, අවසඳ ටෙලි නාට්‍ය වගේම සරෝජා, සුරිය අරණය, සිරි රජසිරි, සමනල තටු වැනි චිත්‍රපට මගේ අතින් නිර්මාණය වුණේ ඊට පස්සේ.

සරෝජා වැනි අතිශයින් ජනපි‍්‍රය චිත්‍රපට ඔබ අතින් නිර්මාණය වීම ඇරඹුමත් සමඟ ලෙස්ටර් සර් අපුරු කතාවක් කිව්වානේද?

ඔව්. ඔව්. සෝමරත්න ඒ දවස්වල මට කරදර කළා නේද නළුවෙක් වෙන්න මගේ පස්සෙනුත් ආවනේ දැන් ඔයාම ඔය චිත්‍රපට හදන්නේ ඇයි රඟපාන්නේ නැත්තේ කියලා. ඒ පාර මම කිව්වා සර් මට රඟපෑමට වැඩිය දක්ෂ නැති නළුවෙක් කියල සර්ල එදා මාව වැඩිය ගණන් ගත්තේ නෑනේ. ඒ හින්දා ඒක මම අතහැරල මෙන්න මේ අධ්‍යක්ෂණටයි, තිරරචනයටයි ගියා කියලා.

සරෝජා සිනමා පටයත් සමඟ ජනකාන්ත සිනමා නිර්මාණ රැසක් සමඟින් කීර්තිමත් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු බවට පත්වන සෝමරත්නයන් ඇයි තමන්ගේ සිනමා කෘතියක් තුළින් හෝ නළුවෙක් වෙන්න උත්සාහ නොගන්තේ?

මම විශ්වාස කරන දෙයක් තියනවා. අධ්‍යක්ෂවරයෙක් වූ පසුව ලොකු වගකීමක් තියනවා ඒ වගකීම හරියට කරන්න. නමුත් තවත් වගකීමක් දරාගන්න ගියොත් ඒකෙ කාර්යක්ෂමතාව වගකීම තරමක් හෝ අඩුවෙනවා කියලා. මගේ විශ්වාසයක් තියනවා මම අදත් කියනවා අධ්‍යක්ෂණය කිරීම ලොකු වගකීමක් රඟපානවා කියන එකත් ලොකු වගකීමක්. ඒකට කාලයක් අවශ්‍යයි. මනස යොමු කිරීමක් අවශ්‍යයයි. මේ දෙකම එකට කිරීම මහ බරපතළ දෙයක් කියලා මට හැඟුණ නිසා මම ඒ දේ කිරීමෙන් වැළකුණා. රංගනයට නළු නිළියෝ අපේ රටේ ඉන්නවා. ඒ අයගෙන් රඟපෑමේ වැඩේ මම කරගන්නවා. අධ්‍යක්ෂණය කියන දේ මගේ ඔළුවේ තියන දෙයක්. ඒ දේ මම ඔවුන්ගෙන් ගන්නවා කියන තැන මම ඉන්නවා.

සංජීව පුෂ්පකුමාර ඔබට රංගනය සඳහා ආරාධනා කරනකොට ආයෙත් ඔබගේ අර රඟපෑමේ කෑදරකම එළියට ආවද?

මම යටගහල හංගගෙන හිටිය නළුවා ආයෙත් මතු වුණා. මම කරන්නන් කිව්වා. මම හිතනවා ඒ චරිතය මම හොඳට කළා කියලා. මට කරන්න තිබුණේ වෛද්‍යවරයකුගේ චරිතයක්. මේ චරිතය මට අරුමයක් නොවෙයි. මමත් මේ වෘත්තියේ නියැළි කෙනෙක් නිසා.

සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ ඔබ තවත් එවැනිම අධ්‍යක්ෂවරයකු යටතේ රංගනයේ නියැළීම දකින්නේ කොයි ආකාරයෙන්ද?

මම ඒක අඩුවක් හැටියට දකින්නේ නෑ. සංජීව කියන්නේ අපේ තරුණ පරම්පරාවේ දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. ඒ ගෞරවය මම ඔහුට දෙනවා. රඟපාන චරිතය ප්‍රධාන ද සහය ද සුළු චරිතයක් ද කියන දේ එතරම් වැදගත් නෑ. ඒ අවස්ථාවේ ඒ කාර්යට දායක වීම තමයි වැදගත්කම. ඒ චරිතය පුංචි එකක් බව මම දැනගත්තා. නමුත් මට ලොකු චරිත රඟපෑමේ ලොකු ආශාවක් මුල් කාලයේ තිබුණත් මේි චරිතය මම සතුටින් භාර ගත්තා මගේ වැඩේ මම හරියට කරනවා කියලා සංජයට හරි සාධාරණත්වයක් ඉටු කරනවා වගේම මම හංගන් හිටිය නළුවට පොඩි අවස්ථාවක් දුන්නා මතු වෙන්න මගේ රඟපෑම තුළ.

සෝමරත්නයන් හංගපු නළුවා යළිත් එළියට එන්න කොපමණ කාලයක් ගියාද?

අහසින් පොළවට චිත්‍රපටයේ රඟපෑ සහයක වෛද්‍යවරයාගේ චරිතයෙන් පස්සේ මම මොන චිත්‍රපටයකවත් රඟපෑවේ නෑ. 1978 මම මා තුළම සඟවා ගත් නළුවාට මම යළිත් එළියට එන්න ඉඩ දුන්නේ 2023 වසරේ ඒ කියන්නේ අවුරුදු 45කට පස්සේ.

සෝමරත්න කියන සිනමාවේදියා තුළ ලැගුම් ගෙන සිටින නළුවා තවමත් මියගිහින් නෑ?

මට මතුවට වුණත් කවුරුන් හෝ ආරාධනා කළොත් මට ගැළපෙන චරිතයක් නම් මම භාරගන්නවා. මට රඟපෑමට අවශ්‍ය ගුණාංග තිබිය යුතුයි. චරිතයේ සංකීර්ණ බව මට විශේෂයෙන් වැදගත්. ඒ වගේ රඟපාන්න දෙයක් තියන චරිතයක් ලැබුණොත් මම ළඟ ඉන්න නළුවා ලෑස්තියි ඒ දේ ප්‍රතිනිර්මාණයට.

අද කොහොමද ආසු චිත්‍රපටයේ වෛද්‍යවරයාට ලැබෙන ප්‍රතිචාර?

හුඟදෙනෙක් මට කියනවා ෂෝට් ඇන්ඩ් සුවීට් කියලා. චරිතය කෙටි වුණත් ඉතාම තාත්විකව ඒ චරිතය රඟපාල තියනවා කියල මට හැමෝම කියනවා. රෝහල් සේවයේ වෛද්‍ය වෘත්තියේ නියැළි කෙනෙක් වීම නිසාම රෝග නීර්ණායකයෙක් විධියට වෛද්‍යවරයෙක් හැසිරෙන විධිය, රෝගියෙකුට ගැටලුවක් සන්නිවේදනය කරන්නේ කොහොමද කියන දේ පිළිබඳ මට සැබෑ වැටහීමක් තිබුණා. ඒක ප්‍රයෝජනයක් වෙන්නත් ඇති. සමහරවිට මේ කිසිවක් සඳහා මට අත්දැකීමක් නොමැතිව තිබුණත් මම හිතනවා මට ඒ චරිතයට අනුගත වෙන්න හැකියාව හොඳටම තියනවා කියලා.

නමුත් මම කියනවා ආසු තුළ සිටි වෛද්‍යවරයාගේ චරිතය සාර්ථක වෙන්න හේතු වුණේ මගේ ඇඟේ හිටිය නළුවා නිසා මිසක් මම කරපු වෘත්තීය නිසා නොවෙයි කියලා වෛද්‍ය පසුබිමත් යම් ඉවහල් වීමක් වෙන්න ඇති.

ඔබ ප්‍රවීණ අධ්‍යක්ෂවරයකු හැටියට සංජීවට යම් උපකාරයක් කළා ද? අධ්‍යක්ෂණය සඳහා?

මම ආසු සඳහා දායක වුණේ නළුවෙක් හැටියට පමණයි. සංජීවගේ නියෝගය යටතේ තමයි මම රඟපෑවේ. සමහර අවස්ථාවල මම සංජීවට යෝජනා කරපු දේවල් තිබුණා. කොටින්ම කිව්වොත් මේ චිත‍්‍රපටයේ ආසු කියන නම යෝජනා කළෙත් මම. වෙන නමක් දාල තිබුණෙ මම කිව්වා මේ චිත්‍රපටය ඇතුළේ මේ නම තියනවා මල්ලි මේ නම ගැන හිතන්න කියලා සමහර යෝජනා මම කළා ඔහු එයින් යම් ඒවා පිළිගත්තා සමහරක් බැහැර කළා. නමුත් චිත්‍රපටය පුරාවට සංජීවගේ අදහස් තමයි තියෙන්නේ. මම එහිදී ඔහුගේ නළුවා පමණයි. මගේ ජ්‍යෙෂ්ඨකම මේ සඳහා අදාළ වුණේ නෑ. මම සෝමරත්න අධ්‍යක්ෂවරයා අමතක කරල සංජීව පුෂ්ප කුමාර කියන අධ්‍යක්ෂවරයාගේ ඇක්ෂන් කට් වලට රංගනයෙන් දායක වුණ එක පමණක් කළා.

කුමන හෝ චරිතයක් සෝමරත්නයන්ට කවුරුන් හෝ යෝජනා කළොත් එය ඔබ භාර ගන්නවාද?

මම ඒ දේට කැමති වෙන්න ඕනේ. ඒ චරිතය තුළ මට හැකියාවක් ඉදිරිපත් කරන්න තියෙන්නත් ඕනේ. සංකීර්ණ ගැටුම්, මනෝභාවයන් පෙන්විය හැකි සියුම් හැඟීම් ප්‍රකාශනය තියන චරිත වලට තමයි මම කැමැති. නිකන් පෙනී හිටින චරිත වලට නම් මම කැමති නෑ.

නැවුම් සිනමා අධ්‍යක්ෂවරයකුගේ නිර්මාණයකට වුවත් ඔබ රංගනයෙන් දායක වෙන්න කැමතිද?

මට අධ්‍යක්ෂවරයා ප්‍රවීණයෙක් ද නවකයෙක් ද කියල අදාළ නෑ. නමුත් එහි පිටපත චරිතය මට අදාළයි. මට කරන්න තියෙන්නේ කුමක්ද පිටපත කුමක්ද කියල විතරයි මට වැදගත්. ආධුනිකයෙක් වීම කිසිසේත්ම මට ප්‍රශ්නයක් නෑ. නමුත් මම කෙනෙක් සමඟ සාකච්ඡා කිරීම තුළ ඔහුගේ උත්සාහය ගැන විනිශ්චයක් කරන්නත් බැරි කමක් නෑ.

ආසු සිනමා නිර්මාණය ගැන ඔබට දැනෙන්නේ මොනවගේ හැඟීමක් ද?

මේ චිත්‍රපටයේ තිරපිටපත මම කියවනකොට මම ඇතිවුණේ. ලොකු සංවේදිකමක්, හරිම සංවේදී ගුණංග පෙන්වන කතාවක් ඒ තුළ තිබුණා. ජිවිතය ද දරුවා ද කියන බරපතළ ප්‍රශ්නය තීරණය කරන්න වෙන්නේ වෛද්‍යවරයාට. ඒ වෛද්‍යවරයාට මට රඟපාන්න ලැබීමත් ඇත්තෙන්ම සංවේදී ජනක කටයුත්තක්. මටත් කාලෙකට පස්සේ රංගනය පැත්තෙන් දායක වෙන්න ලැබුණු නිර්මාණයක් ඇත්තෙන්ම හරිම සංවේදී කතා පුවතක්. ඒ අපුරු අවස්ථාවට මට යෝජනා කළේ සංජීව පුෂ්පකුමාර. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාව කලකට ඉහත දී අධ්‍යක්ෂණය කළාට පස්සේ නැවත මාව අධ්‍යක්ෂණය කළේ සංජීව පුෂ්ප කුමාර.

ආකර්ෂණීය සිනමා පට තුළින් ප්‍රේක්ෂක හද දිනූ අධ්‍යක්ෂවරයකු වන ඔබගේ දැවැන්ත සිනමා පටයක අත්දැකීම් ළඟදීම ප්‍රේක්ෂකයන්ට අත්කර දීමට මේ වන විටත් ඔබ සුදානම් ද?

ඔව්. මගේ නවතම චිත්‍රපටයට වූ සිංහ බාහු ලබන වසරේ ජනවාරි මාසයේ තිරගත කරන්න දැනටමත් මම සියලු කටයුතු සුදානම් කරල ඉවරයි. ලංකාවේ සියලු චිත්‍රපට බෙදාහැරීම් මණ්ඩල වල එකතුවෙන් ඔවුන් සමඟ එකතු වී ගිවිසුම්ගතව මේ දැවැන්ත සිනමා පටයේ සිනමා රූපී බවේ විචිත්‍රත්වය සිනමා ලෝලීන්ට තිළිණ කරන්න තමයි මගේ අපේක්ෂාව. සිංහබාහු චිත්‍රපටය මගේ දොළොස් වැනි සිනමා නිර්මාණය. සරෝජා චිත්‍රපටයේ සිට මා අතින් අවසාන වරට නිර්මාණය වූ ජංගි හොරා චිත්‍රපටය දක්වාම මේ රටේ අති විශාල සිනමා රසිකයන් පිරිසක් මාගේ සිනමා නිර්මාණ වටා රෝද බැදගෙන හිිටියා. මම ඒ අයට තවත් අපූර්වතම සිනමා නිර්මාණයක් ලෙස සිංහබාහු චිත්‍රපටය රැගෙන එනවා. අපේ රටේ සිනමා රසිකයෝ මගේ අනික් චිත්‍රපට සේම මෙයත් ආදරයෙන් වැලඳ ගනියි කියල මම හිතනවා. මේ වෙනකොට මම චිත්‍රපටයේ දර්ශන වාර කීපයක් ඕස්ට්‍රේලියාවෙත් තිරගත කරල තියනවා. ඉහළ පේ‍්‍රක්ෂක ප්‍රතිචාරයක් දැනටමත් අපිට ලැබිල තියනවා. මේක පවුලේ චිත්‍රපටයක්, ක්‍රියාදාම චිත්‍රපටයක්. ෙඓතිහාසික කතාවක් ආදී නොයෙක් අර්ථකථනයන් තුළ ඉඳගෙන විග්‍රහ කරන්න පුළුවන්. ඒත් මම මේ චිත්‍රපටය දකින්නේ පවුලේ චිත්‍රපටයක් විධියට ලෝකයේ තියන ඉහළම තාක්ෂණය භාවිත කරමින් තමයි මම මේ චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නේ. අපි මෙතෙක් අසා තිබු සිංහබාහු ෙඓතිහාසික පුරා වෘත්තියේ ජීව විද්‍යාත්මක ගුණය මුල්වරට හෙළි කරමින් තමයි මගේ සිංහබාහු සිනමා නිර්මාණය ප්‍රේක්ෂක රසවින්දනයට භාර වෙන්නේ.

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න

[email protected]