බබා නෝනා වෙනුවෙන් මම මුල්වරට පිහිනුවා

ප්‍රවීණ රූපවේදිනී නීටා ප්‍රනාන්දු
දෙසැම්බර් 7, 2023

‘දුහුළු මලක්’ චිත්‍රපටයේ ‘නිලූපා’ වෙමින් ප්‍රේක්ෂක ආදරය නොමඳව දිනාගත් ඇය ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘පවුරු වළලු’හි ‘වයලට්’ වෙමින් අන්තර්ජාතික සම්මානය ද පාත්‍රවූවාය. ඉකුත් දින පැවැති ජනාධිපති සිනමා සම්මාන රාත්‍රියේදී 2020 වසරේදී ‘හොඳම නිළිය’ සම්මානයෙන් පිදුම් ලැබුවේ ‘පාංශු’ චිත්‍රපටයේ කළ විශිෂ්ට රංගනය හේතුවෙනි. එමෙන්ම පසුගිය 01 වැනිදා සිට තිරගතවන ඈ විසින් නිෂ්පාදනය කරමින් ප්‍රධාන චරිතයට ජීවය දෙන ‘ස්වර’ චිත්‍රපටය පිළිබඳවත් හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලැබීම පිළිබඳවත් කතා කිරීමේ අරමුණින් නීටා ප්‍රනාන්දු නමැති අන්තර්ජාතික සම්මානලාභිනිය සරසවිය හා මෙසේ එක්වූවාය.

 

මෙවර ජනාධිපති සිනමා සම්මාන උලෙළේ 2020 වසරේ හොඳම නිළිය ලෙස ඔබ අභිසෙස් ලැබුවා. ඒ පිළිබඳ සිහිකළොත් ...?

විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ "පාංශු" චිත්‍රපටයේ "බබා නෝනා" චරිතය වෙනුවෙනුයි මට හොඳම නිළිය සම්මානය ලැබුණේ. ඒ ගැන කියනවානම් මම රඟපෑ චරිත අතරින් මෙයත් ඉතා සුවිශේෂී චරිතයක්. විසාකේස සමඟ පළමුවතාවටයි මම වැඩකළේ. ඔහු මට මේ චරිතයට ආරාධනා කරද්දී මම බොහෝම සතුටින් මේක භාරගත්තේ. මේක සුවිශේෂියි කියන්නේ අපට නිතරම හමුනොවන,රඟපෑමට නොලැබෙන චරිතයක් නිසයි.

"පාංශු" කතාව ඔබේ සැබෑ ජීවිතයටත් සම්බන්ධයි නේද..? මේ චරිතය ඔබට අභියෝගයක් වුණාද...?

ඔව්. මේ චරිතය අභියෝගාත්මක චරිතයක්. 1971 වසරේදී මම ලංකාවේ හිටියේ. ඒ කියන්නේ මම කැනඩාවට යන්න කලින්. එතකොට ජේවීපී කලබල කාලයේ. මගේ සහෝදරයෙක්ව ඒ කාලයේ කිසිම වරදක් නැතිව සිරකළා. ඒ අත්දැකීම් එක්ක මට ඒ කාලය මතක් වුණා මට මේ චිත්‍රපටයට ආරාධනා කරද්දී. මෙවැනි සිදුවීමක් තමයි පාංශුවලටත් අන්තර්ගත වෙන්නේ. ඒවගේම මට මතක් වුණා අපේ අම්මා කොයිතරම් දුක්වුණාද කියලා. ඇය ජීප් එක පස්සෙන් දුවපු හැටි මට මතක් වුණා. ඒකත් චිත්‍රපටයට ඇතුළත් වෙලා තියෙනවා. ඒවගේම ඒ කාලයේ අපේ ගෙදර එනවා "ජුලිඅක්කා"කියලා රෙදි සෝදන ඩෝබි කෙනෙක්. එයාවත් මට මෙතනදී මතක් වුණා. ඒ අත්දැකීම් එක්ක සියයට පනහක් මට මේ අභියෝගයට මුහුණදෙන්න පුළුවන් කියා මම හිතුවා අධ්‍යක්ෂවරයාගේ උදව්වත් එක්ක.

"බබා නෝනා" චරිතයට සූදානම් වෙද්දී ඔබට පිහිනීමත් අභියෝගයක් වුණා නේද...? කොහොමද ඒ අභියෝගය ජයගත්තේ....?

ඔව්. මේ චරිතයට මට ආරාධනා කරද්දී විසාකේස කිව්වා මෙහි පීනන්නත් තියෙනවා කියලා . එතකොට මම කිව්වා මට එකමදේ තමයි පීනන්න බැරිඑක කියලා. මම කොහොමත් වතුරට බයයි. වතුරට බැස්සම මට හුස්මගන්න බැරිවෙනවා. එහෙමනම් අපි පුරුදුවෙමු ප්‍රැක්ටිස් කරලා බලමු කියලා විසාකේස කිව්වා. මාස 06ක් විතර විශේෂ පුහුණුකරුවෙක් එක්ක පුහුණුවුණා. ඒත් බැහැ. ඔහු මගේ අත් දෙක අල්ලගෙන පීනනවා. අත හැරියගමන් මාව යට යනවා වගේ. ඉතින් මම බයවෙලා ඔහුව සොයනවා. ඒ නිසා මම විසාකේසට කිව්වා "බබා නෝනා" චරිතයට නම් මම පුදුමාකාර ආදරයක් තියෙන්නේ. මේක මම කරන්න ගියොත් ඔයාට මේක කරන්න හම්බවෙන්නේ නැහැ, ඒ නිසා මේකට වෙන කෙනෙක් බලන්න කියලා.ඊටපස්සේ විසාකේස කිව්වා බයවෙන්න එපා මට උඩ අතට පීනුවොත් ඇති කියලා.ඉතින් උඩ අතට පීනන්නේ කොහොමද යට අතට පීනන්න බැරිව. මගේ නහයට වතුර යද්දී තමයිඒ ප්‍රශ්නේ ඇතිවෙන්නේ. උඩ අතට පීනන්න පුරුදු කළාම ඒක මට පුළුවන් වුණා. ඒ නිසා මම චරිතය භාරගත්තා...

"පාංශු"හි ඔබේ චරිතය ඇගැයීමටත් ලක්වුණා නේද.....?

ඔව්. ඒ චරිතය වෙනුවෙන් මමත් කලා අධ්‍යක්ෂ කුමාර කරව්දෙණියත් අන්තර්ජාතික සම්මානයට ලක්වුණා. "බබා නෝනා" චරිතය වෙනුවෙන් මට ප්‍රංශයේ "නීස්" අන්තර්ජාතික සම්මාන උළෙලේදී හොඳම නිළිය සම්මානය ලැබුණා. තවත් සම්මානයක් ලැබුණා . ඒ කොවිඩ් සමයේ තිබුණු ඔන්ලයින් Film Festival  එකකට චිත්‍රපටය දාලා තිබ්බා. ඒකේ නම "ඉන්දුස්වාලී Film Festival". එතැනදී ජූරියේ විශේෂ සම්මානයක් මට ලැබුණා එහි රඟපෑම වෙනුවෙන්.ඒ විදිහට මේ චිත්‍රපටය වෙනුවෙන් අන්තර්ජාතික සම්මාන දෙකක් මට හිමිවුණා.

"බබා නෝනා" චරිතයට කිඳා බසිද්දී එය ඔබට දැනුණේ කොහොමද...?

මම කලින් කිව්වා වගේ මගේ අම්මාගේ චරිතය එහිදී මට මැවී පෙනුණේ. මල්ලිව අරගෙන යන එක වගේ දේවල් ඒ කාලයේ සාමාන්‍ය දෙයක් වුණාට ඒකෙදී අම්මා විඳපු දේ මට දැනෙන්න ගත්තේ "බබා නෝනා" චරිතයට පිවිසුණාට පසුවයි.

පසුගියදා තිරගතවීම ඇරැඹූ "ස්වර" චිත්‍රපටයේ ඔබ නිෂ්පාදකවරිය. කොහොමද චිත්‍රපටය තැනීමට අදහස පහළවුණේ...? සහ නිෂ්පාදන අර්ථපතීත්වයට යොමුවුණේ....?

මෙහි කතා තේමාව මගේ හිතවතියක් වූ යෝලන්ඩා වීරසිංහගේ. ඇය දැන් ජීවතුන් අතර නැහැ. මගේ කලින් "නිසල ගිර" චිත්‍රපටයේත් කතා තේමාව ඇයගේයි. ඇය කතා සංකල්පය ලියලා මට දුන්නා. සංජය නිර්මාල් තිරරචනය ලියා අධ්‍යක්ෂණය කළා. මේකට පළමුවෙන්ම හේතුවුණේ  HIV  ඒඩ්ස් කිව්වම මිනිස්සුන්ට තිබ්බ අනියත බිය නැතිකර ඒ පිළිබඳ සමාජ කතිකාවක් ඇතිකිරීමයි. ඒක මිනිස්සුන්ට වසංගතයක් වගේ දැනිලා තිබ්බේ. එතැනදී යෝලන්ඩා අපට අවශ්‍ය දේවල් සොයාදුන්නා. සමාජ සත්කාරයක් විදිහට මම හරිම ආදරයෙන් මේ චිත්‍රපටය කළේ..

ඒඩ්ස් පිළිබඳ පර්යේෂණාත්මක මට්ටමින් සමාජ කතිකාවක් මේ තුළින් සිදුකරන්න ඔබ උත්සහ කළා...?

ඔව්. ඒඩ්ස් කියන්නේ ලෙඩක් නෙවෙයි. මේක බෝවෙන දෙයකුත් නෙවෙයි. නමුත් මේක හැදෙන මාර්ග මොනවද කියන දේ ගැන මිනිස්සුන්ව දැනුම්වත් කරන්න ඕනේ කියලා අපි හිතුවා. පැහැදිලිවම සමාජ කතිකාවක් මේ තුළින් ඇතිකරන්නයි අපට අවශ්‍ය වුණේ. මේකේ යථාර්ථය මොකද්ද කියන දේ මිනිස්සු අතරට යන්නේ නැති ප්‍රශ්නයකුත් තිබුණා. විවෘතව මේ ගැන කතාකරන්න බයයි.  HIV  ආසාදිත මිනිස්සුන්ව පිළිකුල් කරනවා. ගෙවල් ගිනි තියනවා. ඒවගේ දේවල්වලට සමාජය පෙළඹෙනවා. ඒ ගැන හරිහැටි දැනුමක් නැතිකම නිසානේ එහෙම වෙන්නේ. ඇත්තෙන්ම මේක බෝවෙන දෙයක්වත් රෝගයක්වත් නෙවෙයි. මේ ගැන නිවැරදි දැනුමක් සමාජගත කරන්නයි අපට ඕනවුණේ.

"ස්වර" යන නම මෙයට යෙදුවේ ඇයි...?

සංගීතයේදී ස්වර 07ක් තියෙනවානේ. ඒවගේ මේ චිත්‍රපටයේදී ඒඩ්ස් හැදෙන්නේ කොහොමද කියලා පෙන්වනවා චරිත 07කින්.ඒ චරිත 07 තමයි ස්වර 07 විදිහට ගැනෙන්නේ. චරිත හතෙන්ම කතන්දරයක් එනවා. ඒ අරමුණිනුයි "ස්වර" නම යෙදුවේ...

ඒඩ්ස් රෝගය ගැන මෙයින් මනා සමාජමය දැනුම්වත් කිරීමක් වෙනවා මට සිතෙන විදිහට...?

ඔව්. ඇත්තෙන්ම මේ චිත්‍රපටයේ පෙන්වනවා ඒඩ්ස්වලින් බේරෙන්නේ කොහොමද කියන එකත්. මේකත් එක්ක ජීවත්වෙන්නේ කොහොමද කියලත් මෙහි කියවෙනවා. ඒඩ්ස්වලට ගොදුරු නොවී ඉන්නේ කොහොමද කියන පණිවිඩය මෙහිදී සමාජයට දෙනවා. විශේෂයෙන් තරුණ සමාජයට. ජීවිතය විනාශවෙන්න කලින් "ස්වර" චිත්‍රපටය බලන්න කියන පණිවිඩය අපි දෙනවා. "ස්වර" චිත්‍රපටය බැලුවට පස්සේ "අනේ අපිත් ලේ පරික්ෂාවක් කරගත්තොත් හොඳයි " කියන අදහස කාටත් ඇතිවෙනවා. ලේ පරීක්ෂාවකින් ඩ්ධ්ඍ ආසාදිතයෙක් ද කියලා හඳුනාගත්තොත් ඒකට ලංකාවේ ඕනතරම් ප්‍රතිකාර තියෙනවා . කෙනෙක්ව ඇල්ලුවට මේක බෝවෙන්නේ නැහැ. අනියත බියක් මෙතැන තියෙන්නේ. සමාජය තුළ තිබෙන මේ බොරු බය නැතිකරන්නයි මේ කතා තේමාව ඉවහල් වෙන්නේ. ඒ නිසා මම හැමෝටම කියනවා "ස්වර" නරඹන්න කියලා .

"ස්වර" අද ප්‍රේක්ෂකයා මොන විදිහකට ග්‍රහණය කරගනීවි කියලා ඔබ සිතනවද...

අපට විශ්වාසයක් තියෙනවා "ස්වර" මිනිස්සු අතරට යාවි කියලා. මොකද්ද මේ කියන්න හදන කතාව කියා මිනිස්සුන්ට කුතුහලයක් තියෙනවා .සමාජයේ මේ සමාජ රෝගවලට පිළිකුළක් තියේ නම් ඒ පිළිකුල මොකද්ද ඒකට හේතුව කුමක්ද, ඇයි මෙහෙම දෙයක් ගැන කතා කරන්නේ කියා. මිනිස්සු හිතන්න, සොයන්න පටන්ගනීවි. මනුෂ්‍යත්වය පිළිකුල් කරන්න එපා. අපි කවුරුත් මනුස්සයෝ කියන හැඟීමයි අපි මෙතැනදී ලබාදෙන්නේ. මේක ප්‍රේක්ෂකයා අතරට අනිවාර්යයෙන් යා යුතු චිත්‍රපටයක්. මේවගේ කතා කරන්න අකැමැති, බය තේමාවන්වලින් හැදුණු චිත්‍රපට හැමදාම එන්නේත් නැහැනේ. මේ වගේදෙයකට මිනිස්සු අතගහන්න බයයි. ඒත් අපි බය නැතිව "ස්වර" සඳහා අතගැහුවා....

සංජය නිර්මාල් ගැන මොකද හිතෙන්නේ....?

සංජය නිර්මාල්ට ලස්සන අදහස් තියෙනවා. ඒවා එයාගේම අදහස්. මම දකින විදිහට සංජයගේ හොඳම චිත්‍රපටය "ස්වර" කියලයි හිතන්නේ...

මෙහි නිෂ්පාදනයට ඔබට අමතරව මනෝහාන් නානායක්කාරත් දායකවෙනවා...?

මනෝහාන් චිත්‍රපටවලට, දේශීය සිනමාවට හරිම ආදරෙයි. සංජීව පුෂ්පකුමාර එක්ක "ඉගිළෙන මාළුවෝ" චන්ද්‍රන් රත්නම් එක්ක "කොමන් මෑන්" වගේ චිත්‍රපට මනෝහාන් නිෂ්පාදනය කළා. ඔහු ව්‍යාපාරිකයෙක්. ඒවගේම සිනමාවට හරියට ආදරය කරන පුද්ගලයෙක්. මම හිතනවා ඔහු හොඳ මනුස්සයෙක් කියලා. හරිම ආදරයෙන් ඔහු සිනමාව වැලඳගන්නවා. ඒවගේ නිෂ්පාදකවරු ඇත්තෙන්ම ඉන්න ඕන.

ඔබ සිනමාවට පැමිණි අයුරු සිහිපත් කළොත්....?

උසස්පෙළ ඉගෙනගන්න අවධියේ තමයි මම චිත්‍රපටවලට ආවේ. 1970 ඉඳන් තමයි මගේ සිනමා ජීවිතය මිනිස්සු අතරට ගියේ. වැල්ලම්පිටියේ රොබින් තම්පෝ පප්පාගේ ස්ටුඩියෝ එකේ කට්ටිය එක්ක චිත්‍රපට කිහිපයක්ම කළා. "පික් පොකට්, ළඳක මහිම, රුහුණු කුමාරි" වගේ ඒවා. ඒවා එයාලගේම නිෂ්පාදන පමණයි. 1970න් මම පටන්ගත්තා "ළසඳා, මංගලා" වගේ චිත්‍රපට. ඒවගේම සිනමාවේ හැම පැත්තකටම යන්න පටන්ගත්තා. මගේ මාමා කෙනෙක් හිටියා අ.ඊ. ස්ටුඩියෝ එකේ නිෂ්පාදන අංශයේ. ඔහු තමයි මාව හඳුන්වාදුන්නේ. ඔහු මාර්ගයෙන් තමයි මම කලාවට යොමුවුණේ. අවුරුදු 08ක් ඇතුළත මම චිත්‍රපට 40ක විතර රංගනයෙන් දායක වුණා. ඊටපස්සේ මම කැනඩාවට ගියා මගේ මහත්තයාත් එක්ක. එතැනදී මම නිෂ්පාදකවරියක් වුණා. මුලින්ම "සූරියකාන්ත" චිත්‍රපටය නිෂ්පාදනය කළා. ඒක නිෂ්පාදනය කරලා රඟපාලා නැවත මම රට ගියා. ඒ 1980 ගණන්වල. ඊටපස්සේ 1990 ගණන්වල නැවතත් ලංකාවට ඇවිත් "පවුරු වළලු" කළා.

අන්තර්ජාතික සම්මාන ලැබූ රංගනවේදිනියන් අතර ඔබත් ඉහළින්ම සිටිනවා. ඒ පිළිබඳ යළි මතක් කළොත් ....?

මුලින්ම අන්තර්ජාතික සම්මානයක් මට ලැබුණේ කේ.ඒ. ඩබ්ලිව්. පෙරේරා මහතාගේ "ළසඳා" චිත්‍රපටයට. රුසියාවේ ටෂ්කන්ට් සිනමා සම්මාන උලෙළේදී මගේ රංගනය ඇගයීමට ලක්වුණා. එහිදී මට මහජන සම්මානයක් (ර්‍ථඥධනතඥ'ඵ ඒඹචපඤ) වගේ තමයි ලැබුණේ. ඊටපස්සේ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ මගේ නිෂ්පාදනයක් වූ "පවුරු වළලු" චිත්‍රපටයේ "වයලට්" ගේ චරිතයට සිංගප්පූරු අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේදී සම්මානයක් හිමිවුණා. අවුරුදු 20කට පසුව විසාකේස චන්ද්‍රසේකරම්ගේ "පාංශු" චිත්‍රපටයේ "බබා නෝනා" අන්තර්ජාතික සම්මානයට ලක්වුණා.

"පවුරු වළලු"හි "වයලට්" ඔබේ සිනමා දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් කිව්වොත්....?

ඔව්. මුල්ම හැරවුම් ලක්ෂ්‍යය වුණේ විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කළ "දුහුළු මලක්" . අනෙක "පවුරු වළලු" . "පවුරු වළලු"චරිතය ඇගයීමට ලක්වූයේ ප්‍රසන්න විතානගේ නිසා කියා හිතෙනවා . ඔහු වගකීමක් භාරගත්තා මම වෙනුවෙන් . ඒ මගේ සිනමාවේ දෙවැනි ගමනට ඔහු වගකියනවා කියලා..ටෝනි රණසිංහ හා ප්‍රසන්න විතානගේ යන දෙදෙනා එකතුවීමෙන් තමයි "පවුරු වළලු" බිහිවුණේ.

ගාමිණී, ජෝ, රවින්ද්‍ර, තිස්ස, ඔස්වල්ඩ් වගේ පිරිස එක්ක ඔබ තරුණ අවධියේ රංගනයේ යෙදුණා. ඒ තරුණ කාලයේ සිනමාවේ සුන්දරත්වය ගැනත් යමක් කීවොත්...?

ඒ කාලය හරි සුන්දරයි..මිනිස්සු හරියට චිත්‍රපට බලන්නත් ගියා. අද වගේ නෙවෙයි..ඒ කාලයේ මිනිස්සුන්ගේ හොඳම විනෝදාංශය වුණේත් සිනමාව, චිත්‍රපට නැරඹීම. ඒ කාලයේ අපි වාසනාවන්තයි. ඒ ප්‍රේක්ෂකයා අතරට යන්න ලැබීමත් ඔවුන්ගේ ආදරය නොඅඩුව ලැබීමත් නිසා. ඒ චිත්‍රපටවලින් තමයි මිනිස්සු අදත් අපිව හඳුනන්නේ. පිළිගන්නේ. එතැනදී "දුහුළු මලක්" චිත්‍රපටය විශේෂයි. ඒවගේ සින්දු අදටත් ජනප්‍රියයි. කේ.ඒ.ඩබ්ලිව් . පෙරේරාගේ "වාසනා" චිත්‍රපටයේ "පොකුරු පොකුරු මල් සැණකෙළි" ගීතය, "දුහුළු මලක්" චිත්‍රපටයේ "රන්කෙන්ඳෙන් බැඳ" ගීතය "රජගෙදර පරෙවියෝ" චිත්‍රපටයේ "හිනැහෙන්න රෝමියෝ" ගීතය තවමත් ජනප්‍රියත්වයේ ඉහළින්ම තියෙනවා . තරුණ පිරිස පවා ඒ ගීතවලට අද රංගනයේ යෙදෙනවා.

"දුහුළු මලක්"කතා තේමාව අදටත් ජනප්‍රියයි. ඒවගේම ඒක සුන්දර, අසම්මත ප්‍රේමයක් නේද...?

ඒක මිනිස්සු කතා නොකරන විෂයයක්. හැබැයි ඒක සාමාන්‍ය දෙයක්. මුළු ලෝකයේම මිනිස්සු අතර කිව්වත් නොකිව්වත් ඒක සිද්ධවෙන දෙයක්. තමන්ගේ බිරිඳ හෝ සැමියා හැරුණුකොට වෙනත් කෙනෙක් සමඟ ආදරයෙන් බැඳෙනවා. ඒක මනුෂ්‍ය ස්වභාවය. ඒක වෙනස්ම කතාවක්.එය ප්‍රවේශමෙන් කළයුතු දෙයක්. අධ්‍යක්ෂ විජය ධර්ම ශ්‍රී ඒක ඉතා ලස්සනට, සංයමයෙන් කළා. එහි රංගනයට අපට උපරිම නිදහස දුන්නා. සුමිත්ත අමරසිංහගේ කැමරාකරණය හොඳීන්ම තිබ්බා. රවින්ද්‍රත් දඟකාර තරුණයෙක්ගේ චරිතයක්නේ කළේ. ටෝනි රණසිංහ ගැන ප්‍රේක්ෂකයාට අනුකම්පාවක් තියෙනවා. ඒක සංයමයෙන් කරන්න හැමෝගෙම උදව් අපට ලැබුණා

ඔබ ටෙලිනාට්‍යවලට අවතීර්ණ වූ ආකාරය කීවොත්....?

මම මුලින්ම රූපවාහිනියට ආවේ සරසවිය හිටපු කර්තෘ අරුණ ගුණරත්නයන්ගේ "සූර්ය විංසති" තුළින්. ඒක කෙටි චිත්‍රපටයක් වගේ විකාශය වුණේ. ඉන්පසු සන්තුස ලියනගේ අධ්‍යක්ෂණය කළ "කාහල නාදය" ට සම්බන්ධ වුණා. එහි මමයි රවින්ද්‍ර රන්දෙණියයි ප්‍රධාන චරිත කළේ. ඉතා ආසාවෙන් ඒක කළේ. "රඟසොබා, සද්ගුණාකාරය, සොඳුරු දඩයක්කාරයා" වගේ ටෙලිනාට්‍ය කිහිපයකම මම රඟපෑවා . තුසිත ද සිල්වා අධ්‍යක්ෂණය කළ "සමනළ දඩයම" ටෙලිනාට්‍යය ඉදිරියේදී විකාශනයට නියමිතයි. ටෙලිනාට්‍ය දැන් මිනිස්සු අතර තියෙන දෙයක් නිසා ඒවාටත් සම්බන්ධ වෙනවා. සිනමාව තුළ ප්‍රශ්න ඇතිවුණාම මිනිස්සු ටෙලිනාට්‍යවල සමීප වුණා.

ඔබ රඟපෑ චරිතවලින් විශේෂ කැමැත්තක් දක්වන චරිතයක් තිබේද....?

එකක් කියලා නැහැ. මම රඟපෑ සෑම චරිතයකටම මම කැමැතියි. කැපවීමෙන් චරිතය මම කරනවා. පුළුවන් තරමින් චරිතය තේරුම් අරගෙන කරනවා අධ්‍යක්ෂවරයාගේත් සහය ඇතිව. එක චරිතයක් කියලා වෙන්කරන්න අමාරුයි. කලාකරුවෙක් වුණාම චරිත පිපාසයක් තියෙනවානේ.

වාණිජ සිනමාවේ ඔබ සමඟ රඟපෑ පෙම්වතුන් අතරින් විශේෂවූ පෙම්වතෙක් සිටියාද....?

එහෙම කියලත් නැහැ. ඔක්කොමලා හොඳ පෙම්වතුන් වුණා. ගාමිණී , ටෝනි, රවින්ද්‍ර, ඔස්වල්ඩ්, තිස්ස. ඔය හැමෝම ඒ කාලයේ ඉතින් හොඳ කොල්ලොනේ..(සිනහවෙමින්)

ප්‍රේක්ෂකයන්ගෙනුත් ඒ කාලයේ ඔබට ප්‍රේමාරාධනා ලැබෙන්න ඇති...?

ඒක මෙහෙමනේ. ඒ කාලයේ මම මෙහේ හිටියේ නැහැනේ. මගේ චිත්‍රපට එළිදක්වද්දී මම හිටියේ කැනඩාවේ. තිරයේ මම මාව දැක්කේ නැහැ. ඒත් මම ලංකාවට එද්දී මිනිස්සු මාව හොඳට දන්නවා. මම එයාලව දන්නේ නැහැ. ඒකේ උණුසුම මට තේරුණේ නැහැ..

ඒ කාලයේ ඔබ වැඩ කළ අධ්‍යක්ෂවරු ගැන කතා කළොත්....?

සුවිශේෂී අධ්‍යක්ෂවරු කිහිපදෙනෙක්ම ඉන්නවා. මුලින්ම මට අත දුන්නේ ඩබ්ලාව්.එස්. එම්.තම්පෝ මහතාට තවමත් මම ගරු කරනවා.ඒවගේම කේ.ඒ. ඩබ්ලිව්. පෙරේරා මහතා තමයි මාව අ.ඊ. චිත්‍රාගාරයෙන් පිටතට අරගෙන පුළුල් පැතිවලට යොමුකළේ. ටයිටස් තොටවත්ත මහතා එක්ක "මංගලා" කළා. , "හදවත් නැත්තෝ" චිත්‍රපටය කළා "සුබයර් මතීන්" නමැති අධ්‍යක්ෂවරයා එක්ක.ඔහුත් සුවිශේෂීයි. විජය ධර්ම ශ්‍රී වගේ මම චිත්‍රපට කළ හැමෝම වගේ හොඳයි. හැබැයි ලෙස්ටර් මහත්තයාව මට මිස් වුණානේ. සුමිත්‍රා පීරිස් මහත්මියත් කිව්වා මාව චරිත කිහිපයකට යෝජනා වුණත් මම ලංකාවේ නැහැනේ කියලා. ආචාර්ය ධර්මසේන පතිරාජ එක්ක "ස්වරූප" කළා. ඒ වෙනුවෙන් මට හොඳම සහය නිළිය සම්මානයත් ලැබුණා.

අද වනවිට මෙරටට අන්තර්ජාතික සිනමා සම්මාන ද ලැබෙනවා .ඒත් අපේ රටේ චිත්‍රපට ප්‍රදර්ශනයේ ගැටලු පවතිනවා ....?

මේ නළුනිළියන් , අධ්‍යක්ෂවරු කොච්චර මහන්සි වෙනවද චිත්‍රපටයක් කරන්න. ජාත්‍යන්තරයේ අපිව පිළිගන්නවා. ඒක අපට ලොකු ආඩම්බරයක්. ඒත් ලංකාවේ ප්‍රදර්ශනයට කොච්චර නම් දඟලන්න ඕනද.. අපේ චිත්‍රපටවල කොහේද තියෙන්නේ හරියට වේලාවක්. ප්‍රදර්ශනයේත් ලොකු ගැටලු තියෙනවා. ඒකාධිකාරයක්නේ දැන් තියෙන්නේ. ඒකාධිපති බලයක්. එයාලට කැමැතිනම් චිත්‍රපටය ගන්නවා. හරියට ප්‍රදර්ශන වේලාවක් දෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ කොයි වේලාවේද අපේ චිත්‍රපටය පෙන්වන්නේ කියලා. ඉස්සර එකදිගට මාසයක් දෙකක් එක චිත්‍රපටය දුවනවා. දැන් එක දවසේ චිත්‍රපට දෙක, තුන සිනමාශාලාවේ ප්‍රදර්ශනය වෙනවා. ඉදිරියට අපට චිත්‍රපට කරන්න පුළුවන් වේවිද, අපි කරයිද කියන එක ප්‍රශ්නයක් වෙනවා මෙහෙම තත්ත්වයක් තියෙද්දී. කොච්චර විදෙස් රටවලින් අපේ චිත්‍රපටයක් සම්මාන, බුහුමන් ලැබුවත් අපේ රටේ නිදහසේ පෙන්වගන්න බැරිනම් මොකද්ද මේකේ තේරුම...ඒ ගැන හරිම කනගාටුයි.

ඔබ සිනමා තිරරචනයට යොමුවූයේ නැද්ද....?

මම හොඳ රචකයෙක්වත් අධ්‍යක්ෂවරයෙක්වත් නෙවෙයි. රඟපෑම තමයි මගේ පළමු ආසාව..

ඔබ දායක වූ වේදිකා නිර්මාණ ගැන කීවොත්....?

මම වේදිකා නාට්‍ය කරලා තියෙනවා . 1971දී ගුණසේන ගලප්පත්තිගේ "සඳකිඳුරු" නාට්‍යය රෝයල් කොලේජ් එකේ දින 07ක් මම ඒ චරිතය කළා. ඊටපස්සේ ඔහු "තාත්තා" නමින් වේදිකා නාට්‍යයක් කළා. මර්සි එදිරිසිංහ, වික්‍රම බෝගොඩ සහ මම එහි රඟපෑවා. තව "නිදිකුම්බා" නමිනුත් නාට්‍යයක් කළා. චිත්‍රපට වැඩිවෙද්දී වේදිකා නාට්‍යවලට දායකවීම අඩුවුණා. වේදිකාවේදී හරියට පුහුණුවීම්වලට යන්නත් ඕනේ . කාලය පිළිබඳ ප්‍රශ්නයක් ආවා.

ඔබ ගුරුකොටගත් අධ්‍යක්ෂවරු ගැන කීවොත්.....?

සහ ඔබ චරිත භාරගන්නා අයුරු පැහැදිලි කළොත්...?

එහෙම අධ්‍යක්ෂවරුන් කියලා නම් නැහැ. මේ සමාජය ඇතුළේ තියෙන චරිතනේ මම කළේ. අනික "පවුරු වළලු , දුහුළු මලක්" චිත්‍රපටවල චරිත ලෝකයේ ඕනෑම තැනක තියෙන්න පුළුවන්. ඒවා පවුල් ගැටුම්නේ. මම අනෙක් අයගේ රඟපෑම් බලලා එය අගය කරනවා මිසක් එයින් ගන්න ඕන මොකද්ද කියන එක මට එන්නේ නැහැ. මම චරිතයක් භාරගනිද්දී මට ඒ චරිතය ගැන යම්කිසි දෙයක් මැවිලා පේනවා. ඒ චරිතයට යායුතු හැටි මට නිරායාසයෙන්ම පේනවා. එසේ පෙනුණොත් තමයි මම චරිතය භාරගන්නේ. කොමඩි චරිතවලට මම බයයි. මම හිතන්නේ මට කොමඩි කරන්න බැහැ කියලයි. මිනිස්සු හිනස්සන එක ලෙහෙසි නැහැ. මිනිස්සු හඬවන එක ලේසියි.

තරුණ පරපුර ගැන ඔබේ අදහස.....?

තරුණ පරපුර හරිම දක්ෂයිනේ. ඔවුන් දක්ෂ වුණාට ඔවුන්ට හොඳ නිර්මාණ නොලැබීම ලොකු ප්‍රශ්නයක්. අද එනවා , සුමානයක් චිත්‍රපටයක ඉන්නවා, ඊටපස්සේ ටෙලිනාට්‍යයක ඉන්නවා. ඊටපස්සේ දකින්නේ නැහැ. ඔක්කොම නිකං ව්‍යාකූල වෙලා. අලුත් ළමයි චරිතය හොඳට කළත් ඒවා මිනිස්සුන්ගේ ඔළුවේ රූපවාහිනියේ තරම් කාලයක් රැඳෙන්නේ නැහැ. අලුත් අයට අවස්ථා අඩුයි. ඔවුන්ට ඒ අවස්ථා වුණත් දිගටම පවත්වාගෙන යන්න දෙන්නේ නැහැ. ඔවුන්ට ඔවුන්ගේ කලා හැකියාවන් දිගටම පවත්වාගෙන යන්න දෙන්නේ නැහැ. ඔවුන්ට ඔවුන්ගේ කලා හැකියාවන් පෙන්වන්න අවස්ථාවක් නැතිවෙනවා.

ඉදිරි නිර්මාණ ගැන කිව්වොත්....?

" තේජා" චිත්‍රපටය එන්න තියෙනවා . එය නිලන්ත හපන්වීරගේ අධ්‍යක්ෂණයක්. චමින්ද ඉලුක්වෙලගේ "මාගම් සෝලි" චිත්‍රපටය එන්න තියෙනවා .ප්‍රසාද් කළුපහනගේ "කම්බිලි" උදාර පල්ලියගුරු ගේ "ජිගලෝ" චිත්‍රපටය ආදිය ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දැකගන්න පුළුවන්.

 

 

[email protected]