පෙම්වතුන්ගේ දිනයට රෝමියෝ ජුලියට් ගේනවා

සම්මානනීය රූපණවේදී, නාට්‍යවේදී ජයනාත් බණ්ඩාර
පෙබරවාරි 8, 2024

ගල්ලෙන බිඳලා

ලෙන් දොර ඇරලා

සිංහබා... සිංහබා... සිංහබා...

පළමු වර මට ඔහුව හමු වූයේ, හදවතේ නැඟුණු ශෝකය සඟවා ගනිමින් වේදිකාවේ එහා මෙහා සක්මන් කරමින් සිය පුතුට ඇමතූ මොහොතේ ය. ඒ අයුරින් වසර ගණනක් එලෙස පුතුට ඇමතූ ඔහුව වේදිකාවේ ම යළි හමු වුවද කලකට පසු ව ඔහු ඒ ඇමතුමට සමු දුන්නේ තවත් පරපුරක සිය සඟයකුට ඔහුගේ ඇමතුම භාර කරමිනි. ඒ භාරදීමත් සමඟ ඔහු ඒ පිය භූමිකාවට සමු දුන්න ද, වරින්වර විවිධ මුහුණුවර ඔස්සේ වේදිකාවේ ම ඔහුව මට හුමු වුණු අයුරු අද මෙන් මතක ය. එහෙත් ඒ සියලු දේ අතැර පසුගියදා ඔහු යළිත් වරක් අමතන බව අසන්නට ලැබුණු හෙයින් මම මවිත වීමි. එහෙත් ඒ ඇමතුව සිදු වූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙදෙනෙකුට වග මට දැක ගන්නට ලැබිණි.

“රෝමියෝ හා ජුලියට්”

ඒ දෙදෙනා ඔවුන් ය. මුළු ලෝකයේම සිටින සියල්ලන්ගේ ම හදවත සසල කළ ඒ පෙම්වතුන් දෙදෙනාගේ ප්‍රේම වෘත්තාන්තය වේදිකාවේ සනිටුහන් කරන ඔහු ඒ මඟින් ඉටු කරගන්නේ එක් කාලයක පටන් සිය සිතේ තිබුණු සිහිනයකි. ඒ සිහිනයේ සැරිසැරූ ඔහු පසුගියදා පැවැති රාජ්‍ය නාට්‍ය උලෙළේ සම්මානයෙන් පවා පිදුම් ලැබීමට තරම් වාසනාවන්ත වූයේ ය. ඒ හොඳම නළුවා ලෙස ය.

“ජයනාත් බණ්ඩාර”

මේ දවස්වල ඔබට වේදිකාවේ වගේ ම පුංචි තිරයේත් ඔහුගේ රුව අරුමයක් නොවේ. ඒ නිසා ඔහුගේ මේ නව ඇමතුමත්, ඔහුට ලැබුණු සම්මානයේ තතුත් විමසන අටියෙන් මම ජයනාත් ව සොයා ගියෙමි.

“පොඩ්ඩක් ඉන්න පුළුවන් ද නංගි”

සුපුරුදු ඔහුගේ ළෙන්ගතු ඇමතුම ගලා ආවේ මුවඟ පැතිරුණු සිනහවත් සමඟිනි. මා ඔහු සොයා ගෙන ගොස් තිබුණේ ඔහු රෝමියෝ - ජුලියට් සමඟ බොහොම කාර්යබහුල වූ මොහොතක ය. ලද ඇසිල්ලෙන් ඔහු හා කතාබහක නියැළෙන්නට මම ඉඩහසර පාදා ගතිමි.

“ඔබ රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නළුවා”

මම එතැනින්නම අපේ කතාබහට මුල පිරුවෙමි.

“රාජ්‍ය නාට්‍ය උලෙළ කිව්ව ගමන්ම ගැටලු සහගත තැන් කිහිපයක්ම මගේ ඔළුවට එනවා. උළෙලක් නම් ඇත්තටම ඒ කියන්නේ ඒකේ 6.30 නාට්‍ය කරලා නාට්‍යකරුවනුත් නාට්‍යයට ඇවිල්ලා විසිරිලා යන එකත්, නාට්‍ය සංවිධායකවරුත් ඒක කරලා විසිරිලා යන එකත් විතරද කියන ගැටලුව පැන නැඟෙනවා. ඒ නිසා මම හිතන්නේ මේක නාට්‍ය උලෙළ කියනවට වඩා නාට්‍ය තරගය කියන එකයි වඩාත් සාධාරණ වචනය වෙන්නේ. නාට්‍ය තරගයකින් හොඳම නළුවා වීම ගැන යහපත් හැඟීමක් තියෙනවා. ඒක නැහැයි කියන්න බැහැ. ප්‍රශ්නයට උත්තරයක් දුන්නොත් හොඳම නළුවා, එහෙම වීම සතුටුයි. ඒක අපට දහිරියක් සපයනවා. හැබැයි ඒක නොලැබුණා කියලා දුකක් කනගාටුවක් අධෛර්යවත් වීමක් වෙන්නෙත් නැහැ.”

රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නළුවාට උලෙළ පිළිබඳ ගැටලු රැසක් ඇති සැටියෙකි. එමෙන්ම ජයනාත් බණ්ඩාර රාජ්‍ය නාට්‍ය උලෙළ, රාජ්‍ය නාට්‍ය තරඟය කියන නාමයෙන් අර්ථ ගැන්වීමට අමතක නොකළේ ය.

“ලෝකයේ පටන් ගැන්මේ ඉඳන්ම නාට්‍ය තරග තිබිලා තියෙනවා. එහෙම තිබුණා කියලා අපි ගල් යුගයේ තිබුණු දේවල් ඒ විදියටම කරන්නේ නැහැ. පරිණාමය කියන්නේ යහපත් දේවල් ඉදිරියට අරගෙන යන්නත්, අපට වෙනස් වෙන්න ඕන තැන්වලදි වෙනස් වෙන්නත් කියන එකයි. මොකද රාජ්‍ය නාට්‍ය තරගය නැහැයි කියලා නාට්‍යවේදීන් නාට්‍ය නොකර ඉන්නේ නැහැ. රාජ්‍ය නාට්‍ය කියන්නේ නාට්‍යවේදීන්ගේ එක ඉවෙන්ට් එකක කොටසක් විතරයි. කොහොම වුණත් නාට්‍ය තරගය කියන එක මට අනුමත කරන්න බැරි එකක්. මොකද තරගයක් නම් හිතන්න; පළමු වටයේදි නාට්‍ය ටික තෝරනවා කියලා. දෙවැනි වටයේදි ඒ නාට්‍ය නොවෙයි නේ පෙන්වන්නේ. එවැනි තරගයකදි එකම නාට්‍යයක් කිසිම දවසක ආපසු පෙන්වන්න බැහැ. ඒ කියන්නේ එක නාට්‍ය දර්ශන වාරයක්. ඒත් චිත්‍රපටයක් නම් රෙකෝඩට්, ප්‍රින්ටඩ්. එකම දේ තමයි අද බැලුවත් හෙට බැලුවත් අවුරුදු සියයකින් බැලුවත්. ටෙලි නාට්‍යයක් වුණත් එහෙමයි. ඒත් වේදිකාව කියන්නේ අති සජීව මාධ්‍යයක්. එවැනි මාධ්‍යයකදි පළමු දර්ශනය යළිත් වේදිකා ගත වෙන්නේ නැහැ. ඒක නිසා ඒක නාට්‍ය තරගයක්. උලෙළකදි එවන්නක් කරන්න බැහැ. ඒ උලෙළ පවතින දවස් කිහිපයේම නාට්‍ය වැඩමුළු, වීදි නාට්‍ය, ඇතුළු වැඩසටහන් රැසක් ඒ භූමියේ පැවතිය යුතුයි. එවැනි තත්ත්වයක් මේ උලෙළේ නැහැ. ඒ නිසයි මේ නාට්‍ය උලෙළ, නාට්‍යය තරගයක් කියලා හැඳීන්වීම වඩාත් සුදුසු වන්නේ ”

ඒ සජීව මාධ්‍යය අපේ රටට පමණක් නොවෙයි මුළු ලෝකයටම පොදු වූවකි.

“ඉන්දියාව ගන්න. ඉන්දියාවේ නාට්‍ය තරග නැහැ. නාට්‍ය උලෙළවල් තියෙන්නේ. ඒවා පවත්වන්නේ ජාත්‍යන්තර විදියට රටවල් සම්බන්ධ කරගෙන. ඒ උලෙළවලට අපිත් ගිහින් තියෙනවා. ඒ උලෙළවල අපි අපේ රට නියෝජනය කරලා තියෙනවා. ඔවුන් ඒ උලෙළවල් කරන්නේ ලොකු වියදමක් කරලා; රජයේ අනුග්‍රහයකත්වයත් දරලා; ඒත් ඒවට දේශපාලනඥයෝ පැත්තකටවත් ගෙන්වන්නේ නැහැ.”

ජයනාත් බණ්ඩාර මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළ පිළිබඳ ඔහුගේ මත මෙන්ම නාට්‍යකරුවන්ගේ පොදු මත ද නොසඟවා ඉදිරිපත් කිරීමට තරම් චතුර කථිකයකු යැයි මට සිතිණි. එදා නාට්‍ය උලෙළේදි ඔවුන්ට බලපෑම් කළ බොහෝ දේ ගැන ඔහු දිගින් දිගටම කතා කළේ ය. ඒ අතර සිය යෝජනා ද ඉදිරිපත් කළේ ය.

“රාජ්‍ය නාට්‍ය තරගය පටන් ගැන්ම සිදු වුණේ පැය භාගයක් පරක්කු වෙලා. හෝල් එකේ සෙනඟ හිටියේ නැහැ. ඒ අය හිටියේ එළියේ. ඔවුන්ව චෙක් කර කර දානවා. පුදුම වදයක්. එතකොට එහෙම දේවල් කරලා අපට සම්මාන ලැබුණාම පුද්ගලිකව සතුටු වෙන්න; නාට්‍ය කණ්ඩායමක් විදියට සතුටු වෙන්න තිබුණු දේත් සීමා වෙනවා. ඒ වගේ ම අගය කරන්න තිබුණු දේත් මම හිතන්නේ සීමා වෙනවා. කොහොම හරි දවසක සංස්කෘතික අමාත්‍යාංශය, දෙපාර්තමේන්තුවෙන් හෝ කවුරු හරි නාට්‍ය තරග නොතියා නාට්‍ය උලෙළ පවත්වන්න අධිකාරියකින් පියවර ගන්නවා නම් මම හිතන්නේ මේ උලෙළ මීට වඩා උත්කර්ශවත් විදියට, ප්‍රයෝජනවත් විදියට කරන්න පුළුවන් වේවි. ඒ නිසා නාට්‍ය තරග නොතියා නාට්‍ය උලෙළ පවත්වන්න.”

මේ ඉදිරිපත් වුණු අදහස් මඟින් කලින් තිබුණු රාජ්‍ය නාට්‍ය උලෙළවලට වඩා මෙවර පැවැත්වුණු නාට්‍ය උලෙළ වෙනස් මඟක් ගෙන ඇති බවක් හැඟෙයි.

“නෑ මෙහෙමයි. මේ තිබුණේ පනස් වෙනි රාජ්‍ය නාට්‍ය උලෙළයි. ඒ පනස්වැනි උළෙල තියන්නේ තරුණ සේවා සභාවේ ඉන්ඩෝ ස්ටේඩියම් එකේ. ඒක රඟහලක් නොවෙයි. ශ්‍රී ලංකාවේ පනස්වෙනි නාට්‍ය උළෙල තියන්න ඕන එතනද? ඕනම රටක නාට්‍ය කලාව කියන්නේ රාජ්‍ය අනුග්‍රහයක් ලබන තැනක්. මොකද ඒකට කර්මාන්තයක් හැටියට තනියම රඳා පවතින්න තියෙන වටපිටාව, ශක්තිමත් බව අඩුයි. ඒ වගේ ම නාට්‍යයක් හැම රසික ප්‍රජාවක් ම බලන්නේ නැහැ. ඒ වගේ ම තියටර් පීස් එකක් ඇතුළේ නොයෙක් නොයෙක් ශානර තියෙනවා. ඒ වගේ ම රඟහලකට ඇවිත්, එහි පවතින ටිකට් එකක මුදලේ හැටියට පවුලෙ ඉන්න හතර, පස් දෙනෙකුට එකතු වෙලා නාට්‍යයක් බලන්න වත්කමක් නැහැ. ඒත් ඊට අඩු මිලකට අපේ රටේ චිත්‍රපටියක් නරඹන්න පුළුවන්. ඒ වගේ ම නිර්මාණයක් රස විඳීන්න පැසුණු රසිකත්වයක් තියෙන්න ඕන. රසිකත්වය හදන එකත් නාට්‍යවේදීන්ගේ එක කාර්යයක්. එහෙම වෙනකොට පනස් වැනි නාට්‍ය උලෙළ තරුණ සේවා සභාවේ ඉන්ඩෝ ස්ටේඩියම් එක දක්වා පහළට ඇදලා දැම්මා ම මේ පාර තිබුණු රාජ්‍ය නාට්‍ය තරගය වෙනස් තමයි. එච්චර කාලයක් තිබුණාට වඩා මෙවර තිබුණු අකාරය වෙනස් තමයි. ඒකයි ඒ උලෙළ මේ තරම් උපරිම පල්ලෙහාට දාලා තියෙන්නේ.”

රාජ්‍ය නාට්‍ය උලෙළ පැවැත්වුණු ස්ථානය පිළිබඳ බොහෝ දෙනාගෙන් විවිධ මතිමතාන්තර නැඟුණු බව අසන්නට ලැබිණි.

“මෙච්චර කාලයකට ඒක තිබුණේ ඕර්ධ්ඛ්ඩ් එකේ. නෙළුම් පොකුණේ. ඒ වගේ ම නාට්‍යවේදීන්ගෙන්ම අදහසක් එනවා ඒ වගේ ශාලාවලට ඇයි එච්චර සල්ලි දෙන්නේ ඒ සල්ලි නාට්‍යවේදීන්ට දෙන්න කියලා. එහෙම තර්කයක් නාට්‍යවේදීන්ගෙන්ම ගොඩනැඟෙනවා. එහෙම නම් කාන්ස් ෆෙස්ටිවල් එක ඇකඩමික් වෝඩ්ස් ෆිල්ම් ෆෙස්ටිවල් එක ගත්ත ම, ඒ මිනිස්සුන්ට මෙහෙම තර්ක කරන්න පුළුවන්. ඔය තරම් ඔය හෝල්වලට වියදම කරන්න ඕන නැහැ. ඒ වගේ ම ඔය උත්සව ඔය වගේ හෝල්වල තියන්නේ නැතිව ප්‍රාදේශීය රඟහලක තියලා ඒ සල්ලි ටික බෙදලා දෙමු කියලා. එතකොට එතනදි සල්ලි විතරම ද මූලික වෙන්නේ?”

ඒ උලෙළේ ඉදිරිපත් කරන ලද ඉදිරිපත් කිරීම් ගැන වුවද ඉදිරිපත් වූයේ සොඳුරු අදහසක් නොවේ.

“මේ නාට්‍ය උලෙළේදි නිර්මාණ ඇගයීම කොයිතරම් දුරට සෞන්දර්යාත්මකව කරන්න පුළුවන්ද කියන එක සහ නාට්‍ය උලෙළක් නම් ඒකට ඉදිරිපත් කරන අංග ගැන ඔවුන්ට මීට වඩා සැලකිලිමත් වෙන්න තිබුණා. එකේ නැටුම් තිබුණේ නිකන් හරියට ඉස්කෝලෙක නැටුම් සංදර්ශනයක් වගේ. ඒ සඳහා ඉදිරිපත් කරන්න මීට කලින් අවුරුද්දේ සම්මාන ගත්ත නාට්‍යකරුවන් වත් හිටියේ නැද්ද? එක නාට්‍ය ජවනිකාවක් නැහැ. දෙබසක් කියල රඟපාන එක් නාට්‍ය ජවනිකාවක් නැහැ. එහෙම බලන කොට මීට වඩා හොඳට පරණ චිත්‍රපට සින්දු අරගෙන රිදී රැයක් ප්‍රසංගයත් කරනවා. ඒ නිසා මෙවර රාජ්‍ය නාට්‍ය තරගයේ සම්මාන උලෙළ පසුගිය වතාවලට වඩා වෙනස් තමයි.”

මේ සියලු කතාබහ අතර ජයනාත් බණ්ඩාරගේ ජීවිතයේ වැදගත්ම කාරණය ගැනත් කතා කළ යුතුමයි. ඒ ඔහුගේ අලුත්ම ඇමතුම. ‘රෝමියෝ - ජුලියට්’ ගැනයි.

“මම හිතන්නේ සෑහෙන වපසරියක් තියෙන චරිතයි මට මෙ‌තෙක් රඟපාන්න ලැබිලා තියෙන්නේ. ශෛලීගත, අර්ධ ශෛලීගත, ස්වාභාවික කියන අංශ කිහිපයේම. මෙවැනි නිර්මාණවල අවුරුදු තිහක් පමණ රඟපාමින් ඉන්න විටදීයි මගෙන් සෆීර් අහන්නේ ඔහොම රඟපානවා වගේම නාට්‍යයක් කරන්න ඕන නේද කියලා. ඔයා අතරදියි පවුලේ හිතවතියක් වගේ ඉන්න මගේ වයිෆ් වින්ද්‍යාගේ යෙහෙළියක වන මේ වනවිට වෛද්‍යවරියක ලෙස සේවය කරන වාසනා කියන්නේ මේ වැඩේ කරන්න; ඔයාට මේකට යන ඕන වියදමක් මම දරන්න සූදානම් කියලා. ඔය අතරදියි මම 2022 සමස්ත ලංකා පාසල් නාට්‍ය උළෙලේ තරගවලට විනිශ්චය මණ්ඩලයේ ඉන්නේ. ඒ නාට්‍ය උලෙළේ ශේක්ෂ්පියර් නාට්‍ය උලෙළ කියලා ශානරයක් තිබුණා. ඒකේදි ඒ වතාවේ කරන්න තිබුණේ 'රෝමියෝ ජුලියට්'. පැනල් එකේ ඉඳන් ඒ නාට්‍ය බලනකොටයි මා ඒ නාට්‍යයට බොහොම සංවේදී වුණේ. ඒත් එක්කම මට හිතුණේ මේ නාට්‍යය කරන්න පුළුවන් නම් කියලයි. ‘රෝමියෝ ජුලියට්’ නාට්‍යයක් ලෙස වේදිකාවට එන ඉතිහාසය එයයි.”

ජයනාත්ගේ සුපරුදු වැඩසටහන් මාලාවට තවත් වැඩක් එකතු වන්නේ ඉන් පසු ය. ඔහුගේ සිත ගත් ‘රෝමියෝ ජුලියට්’ ගැන ඔහු ගැඹුරින් සිතන්නට පටන් ගත්තේ ය.

“වරුණ අලහකෝන් මහත්තයා, මහාචාර්ය මංගලිකා ජයතුංග මහත්මිය කියන අයත් එක්ක කතාබහේ යෙදිලයි මම මේ නාට්‍යය පරිවර්තනය කරන්න පටන් ගත්තේ. මට මේක පරිවර්තනය කරන්න හිතුවට වඩා කාලයක් ගියා. මගේ නෝනත් ඉංග්‍රීසි කථිකාචාර්යවරියක්. ඈ වින්ද්‍යා හරංකහ. ඒ නිසා ඇයට මේ පරිවර්තන කටයුත්ත භාර දුන්නා. ඊට පස්සේ ගිය අවුරුද්දේ මැයි මාසයේ මේ කටයුත්ත ආරම්භ කළා. එදා පටන් අද දක්වා ම මේ නාට්‍යයේ පුහුණු වීම් කරගෙන යනවා. පෙබරවාරි 14 වැනිදා ලයනල් වෙන්ඩ්ට් රඟහලේ 3.30 හා 7.00 දර්ශන වේදිකා ගත වෙනවා. 3.30 දර්ශනය විශේෂයෙන්ම වෙන් කරලා තියෙන්නේ පාසල් ළමුන්, විද්‍යාර්ථීන් ඉලක්ක කරගෙනයි. ඔවුන් වෙනුවෙන් රු. 600කට වගෙයි ටිකට් එකක් වෙන් කරලා‌ තියෙන්නේ. ඒත් ඒක කරන්න බොහොම අපහසු වැඩක්. රඟහලට ගෙවන ගණන වගේ ම අනෙක් දේවල් එක්කත් බලන කොට යන වියදම වැඩියි. එහෙම තත්ත්වයක් යටතේයි එවැනි මිලකට ටිකට් එකක් අප ලබා දෙන්නේ.”

ජයනාත්ගේ සිහිනය ඒ විදියට මේ මාසයේ 14 වැනිදා වේදිකාවට නැගෙයි. ඒ වෙනුවෙන් කැපවීම් කළ බොහෝ දෙනෙකු ඔහුගේ සෙවණැල්ල මෙන් පසු පස ගමන් කළ නිසා ම මේ කටයුත්ත බොහොම සුන්දර අයුරින් නිම කරගැනීමට ඔහුට හැකි විය.

“මේ වේදිකා නාට්‍යය සඳහා ශිල්පීන් තිස් දෙනෙකු විතර සහභාගි වෙනවා. ගිය වසරේ මැයි මාසයේ පටන් මේ දක්වා දිගු කාලයක පුහුණුවීම් කාලසටහනකයි අපි සිටියේ. ඒ වෙනුවෙන් මා ශිල්පීන්ට ගෙව්වේ නැහැ. ඒ නිසා ඒ අයට ඉදිරියේදී ආර්ථිකමය වශයෙන් යම් දෙයක් කරන්න වෙනවා. ඒ අනුව මේ වේදිකා නාට්‍යය වැඩි දර්ශන ගණනක් වේදිකා ගත කරන්නයි අප සැලසුම් කර ඇත්තේ. ශ්‍රී ලංකාවේ මේ වගේ ආර්ථික පරිසරයක්, දේශපාලන පරිසරයක් තිබෙන රටක නාට්‍යයක් වේදිකා ගත කරනවා කියන්නේ බොහොම අපහසු වැඩක්. ඒත් අපහසුයි කියමින් ඉන්නේ නැතුව අපි නාට්‍යවේදීන් සියලු දෙනා ම බොහොම උත්කර්ශයෙන් ඒ වැඩ ටික කරගෙන යනවා. එවැනි නිර්මාණයක අධ්‍යක්ෂවරයකු වීමට ලැබීම ගැන මට සන්තෝෂයි. ඒ වගේ ම මම ඉංග්‍රීසි කථිකාචාර්යවරයකු විදියට වැඩ කරන්නේ ඔක්ස්ෆර්ඩ් කොලේජ් ආයතනයේ. ඒ අය මැනේජ්මන්ට් එකේ පටන් හැමෝම වගේ එදා පටන් මේ දක්වා මට සෑහෙන්න උදව් කළා. ඒ ගැනත් සඳහන් කළ යුතුයි.”

මේ වනවිට ඔහු ‘සිංහබාහු’ ඇතුළු මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණ රැසකට මෙන්ම දයානන්ද ගුනවර්ධනගේ නිර්මාණවලට ද ඇතුළුව අධ්‍යක්ෂවරුන් කිහිපදෙනෙකුම යටතේ රංගන කටයුතු කළ අපට සිටින දක්ෂ රංගන ශිල්පියෙකි.

“අධ්‍යක්ෂවරයකු වෙන්න මට මා කියැවූ පොතපත වගේ ම මා වැඩ කළ අධ්‍යක්ෂවරුන්ගෙනුයි ඒ පෞරුෂත්වය සොයා ගන්නට පුළුවන් වුණේ. ඒ වගේ ම ඒ සියලු දේ හරහා හා මා හැදෑරූ දේ මඟින්. ජනක් ද සිල්වා, තනූජා නවරත්න, ලංකා ඉෂාන්ත කියන අධ්‍යක්ෂවරු යටතේ ආරම්භ කරන මගේ රංගනය ලලිතා සරච්චන්ද්‍ර, වසන්ත ගුණවර්ධන කියන අධ්‍යක්ෂවරුන් දක්වා දිවෙනවා. මෙතනදි විශේෂ නාට්‍ය අධ්‍යක්ෂවරු තුන්දෙනෙකු ගැනත් මා මෙහිදි කිව යුතුයි. බුද්ධික දමයන්ත, අසංක සායක්කාර, සචිත්‍ර රාහුබද්ධ. (අනෙක් අධ්‍යක්ෂවරුනුත් ඒ හා සමානයි.) ඒත් ඔවුන් තෝරා ගන්න නළුවකුගෙන් උපරිමයටත් එහා පාවිච්චි කරනවා වගේ ම ඔවුන් ලෙහෙසියෙන් සෑහීමකට පත්වෙන්නේ නැහැ. ප්‍රායෝගිකව කොහොමද ඔවුන් මාව මෙහෙය වන්නේ? මා දෙන රංගනයෙන් ඔවුන් කොයිතරම් දුරට සන්තෝෂ නොවන්නේ ද? කියන එකම මට මහන්සි වෙන්න වුණා ඔවුන්ව සන්තර්පණය කරන්න. ඒක මට මේ අධ්‍යක්ෂණ කර්තව්‍යයේදි හොඳ හැරවුම් ලක්ෂ්‍යයක් වුණා. මගේ නිර්මාණයට නළු නිළියන් තෝරා ගැනීමේදි වැඩ කරන්න පහසු නළු නිළියන් තමයි මා තෝරා ගත්තේ. මට කැමැති හා මම කැමැති පිරිසකුයි මේ සඳහා තෝරා ගත්තේ.”

ශේක්ස්පියර්ගේ ‘රෝමියෝ - ජුලියට්’ වේදිකාවට ගෙන ඒම පහසු කාර්යයක් නොවන වග අමුතුවෙන් කිව යුතු කාරණයක් නොවෙයි. ඒ අපහසු කාර්ය ඔහු ජය ගත්තේ මේ ආකාරයෙනි.

“ ‘රෝමියෝ - ජුලියට්’ නාට්‍ය මෑත අවුරුදු පනහකට මෙහා කාලයකදි ලංකාවේ වේදිකාවේ වේදිකා ගත වෙලා නැහැ. යම් යම් අධ්‍යාපන කාර්යයන් සඳහා කරලා තිබුණත් ප්‍රසිද්ධ වේදිකාවේ වේදිකා ගත වෙලා නැහැ. ඒ නිසා ඒ නිර්මාණය බොහොම සීරු මාරුවට කරන්න ඕන දෙයක්. නාට්‍ය කියවන්නම පැය හතරක කාලයක් ගත වුණා. ඒ නිර්මාණය පෙළට හානියක් නොවෙන්න, දර්ශනයට, සාහිත්‍යයට හානියක් නොවෙන්නට කොහොමද සංස්කරණය කරන්නේ කියන ගැටලුව මා ඉදිරියේ තිබුණා. ඒක අභියෝගාත්මක වැඩක්. එය වේදිකාවට රැගෙන එක ගමනේදි මගේ වැඩක් විතරක් නොවෙයි. මුළු ටීම් එකේ ම එකතුවක් විදියටයි මේ නාට්‍යය කරගෙන ගියේ. ඒ වගේ ම මෙහි පළමු නිර්මාණකරුවන් විදියට වැඩ කරන කිහිපදෙනෙකුම සිටිනවා. ම‌ගේ පළමු අධ්‍යක්ෂණය. වින්ද්‍යාගේ පළමු පරිවර්තනය. ඉන්දිකා උපමාලිගේ වේදිකා නාට්‍යයකට සංගීතය සපයන පළමු අවස්ථාව. ජුලියට්ට රඟපාන ඕමන්තිගේත් පළමු ප්‍රධාන චරිතය. ඒ වගේ ම තවත් පළමු වරට සම්බන්ධ වන ශිල්පීන් රැසක් මෙහි සිටිනවා. ඒ විතරක් නොවෙයි මේ නිර්මාණය ඇතුළේ කාන්තාවන්ට යම් ඉඩකඩක් දෙන්න මට වුවමනා වුණා. මෙහි පරිපාලනය අරගෙන යන්නේ ඔවුන්. විශේෂයෙන්ම මාලි අක්කා, සිළුමිණි නංගි, නිහාරි, ඕමන්ති, ඉන්දිකා, වින්ද්‍යා කියන මේ ටික දෙනා බොහොම හොඳට අපව පරිපාලනය කරනවා. ඒ වගේම මේ වේදිකා නාට්‍යයේ ලක්ෂමන් මෙන්ඩිස්, මාලි ජයවීරගේ, නිහාරි සෝමසිරි, චමින්ද බටුකොටුව, රමිඳු බෙනරගම, ඕමන්ති බණ්ඩාර, තරිඳු මධුසංඛ, සශිත් හර්ෂණ, සුහාන් පෙරේරා, ඇස්.ඩී. බුලත්පිටිය, වසන්ත ගුණවර්ධන, සිළුමිණි අලගියවන්න, චේතිය පීරිස්, දිනිඳු ඒකනායක, ගිමුතු ශ්‍රීමාල්, ආසිරි ජයසංඛ, ගගන ශ්වේත, ඉසුරු එරංග, තිමිර උඩලමන්ත, රසික බණ්ඩාර කියන නළු නිළියනුයි රංගනයෙන් දායක වන්නේ. නිෂ්පාදනයෙන් වාසනා බණ්ඩාරත්, රංග වින්‍යාසයෙන් ජෙරම් ද සිල්වාත්, වේදිකා පරිපාලනයෙන් ගිමුතු හා ගගනත්, ප්‍රධාන සංවිධානයෙන් සත්‍යජිත් බුලත්පිටියත්, සංගීත අධ්‍යක්ෂණයෙන් ඉන්දිකා උපමාලිත්, අංග රචනයෙන් ශිරාන් ලක්ෂිත, රන්දික ටිෂාන්, රංගවස්ත්‍ර වජිරා පීරිස්, රංගාලෝකයෙන් පවිත්‍රා වීරසිංහත්, පසුතල නිර්මාණයෙන් ඉසුරු එරංග හා ආසිරි ජයසංඛත් කියන ශිල්පීන් හා ශිල්පිනියනුයි මේ කටයුත්තට සහය දක්වන්නේ. ඔවුන්ව බොහොම ආදරයෙන් මතක් කළ යුතුයි. ”

මේ වගේ බොහෝ කැපකිරීම් සමඟ නිම වුණු ජයනාත් බණ්ඩාරගේ ‘රෝමියෝ - ජුලියට්’ වේදිකා ගත කරන්නේ පෙම්වතුන්ගේ දවසේයි. පෙම්වතුන්ට වෙනස්ම මතකයක් කැන්ඳමින්, අනෙක් ප්‍රේක්ෂකයන්ට කලකට පසු වෙනස්ම අත්දැකීමක් අරගෙන එන ‘රෝමියෝ - ජුලියට්’ නරඹන්න ඔබත් ලයනල් වෙන්ඩ්ට් එකට එන්න.

 

 

[email protected]