මෙරට වර්ණ සංකලනයේ පුරෝගාමියෙක් වීමට ලැබීම භාග්‍යයක්

වර්ණ සංකලන ශිල්පී ආනන්ද බණ්ඩාර
පෙබරවාරි 8, 2024

 

වර්තමානයේ වැඩි වශයෙන් මෙරට තැනෙන මියුසික් වීඩියෝ, ටීවී කොමර්ෂල්, මෙන්ම චිත්‍රපටවල වර්ණ සංකලන ශිල්පියා ඔහුය. වීඩියෝ සංස්කරණ ශිල්පියකු ලෙසින් 2005 වසරේ කලා ක්ෂේත්‍රයට එක් වන ඔහු 2010 වසරේ මුලින්ම ලංකාව තුළ කලර් ග්‍රේඩින් කිරීම අරඹමින් කලර්රයිස් කෙනෙකු ලෙසින් පෙරළියකට මුල පුරන්නකු බවට පත්වේ. ඔහු එතෙක් සිංගප්පූරුවේ හෝ ඉන්දියාවේ සිදු කළ එම කාර්යට තිත තබමින් මෙරටදීම එම කර්තව්‍යය ඉටු කිරීමට නායකත්වය ගත්තේ මෙරට කලා නිර්මාණකරුවන්ගේ වාසනාවටය. රොහාන් වැලිවිටගේ සුසීමා චිත්‍රපටය මුල්වරට මෙරටදීම ඩාවින්සි රිසොල්ව් කලර් ග්‍රේඩින් කිරීම අරඹමින් දීර්ඝ කාලීන වැඩපිළිවෙළකට මුල්වන ඔහු මෙරට සිනමා කර්මාන්තය ඩිජිටල් වීමත් සමඟ අවශ්‍ය ඩී.සී.පී කොපිය ලංකාව තුළ නිර්මාණය කිරීමට 2012 වසරේ මූලිකයා ද වන්නේය. ක්ලීටස් මෙන්ඩිස්ගේ පරපුර චිත්‍රපටය සඳහා ලංකාව තුළට ඡ්දජපරනබඥඤ ච්ඛ්ර්‍ථ එකක් මුලින්ම නිර්මාණය කළ ඔහු මේ වන විට මෙරට තුළ කලර් ග්‍රේඩින් කළ චිත්‍රපට හා ඩී.සී.පී නිර්මාණය කළ චිත්‍රපට ප්‍රමාණය හැටකටත් වැඩිය. මෙරට ටෙලිවිෂන් දැන්වීම් කලාවේත් සිනමා කලාවෙත් වර්ණ සංකලනයේ නම් දැරූවෙකු වන ඔහු නමින් ආනන්ද බණ්ඩාරය. මේ ඔහු හා කෙරෙන පිළිසඳරකි.

කලර් ග්‍රේඩින් ලංකාව තුළ ආරම්භ කරන්න කතිකාවක් ඇරැඹෙන්නේ කොහොමද?

මම වීඩියෝ සංස්කරණ ශිල්පීයෙක් වශයෙන් තමයි මේ ක්ෂේත්‍රය හඳුනා ගන්නේ. ඉන්දියාවේ හෝ සිංගප්පූරුවේ ගෙනිහින් තමයි මේ කටයුත්ත එතෙක් සිදු කළේ. සමහරක් විට සංස්කරණ ශිල්පීන් අතිනුත් යම් මට්ටමකට මේ කාර්ය සිදු කළත් ප්‍රොෆෙෂනල් මට්ටමෙන් මේ සඳහා මුල පිරුවේ මම. මේ කාර්යයේ සජීවී නිර්මාණකරුවා මම වුණාට මේ සඳහා සම්පත් දායකත්වය සපයනු ලැබුවේ රොහාන් වැලිවිට මහත්මයා. එතුමාගේ සුසීමා චිත්‍රපටයෙන් තමයි මේ කටයුත්ත අපි ඇරඹුවේ. මම සුසීමා චිත්‍රපටයේ සංස්කරණ ශිල්පියෙකු ලෙස කටයුතු කළා. එහි අවසාන භාගය හැටියට තිබුණේ කලර් ග්‍රේඩින් කිරීම. මේ සඳහා යෝජනා තුනක් ඇවිත් තිබුණා මේ රට තුළම උපකරණ ගෙනවිත් අපි කලර් ග්‍රේඩින් කිරීම. නැත්තම් සිංගප්පූරුවට හෝ ඉන්දියාවට ගෙන ගොස් කිරීම. එසේ නැතහොත් සංස්කරණය තුළම මේ දේ කරලා පෙන්වීම. මම කලර් ලැබ්වල වැඩ කරලා තිබූ අත්දැකීම් මත ටෙලිවිෂන් මාධ්‍ය තුළ තමයි මම සංස්කරණ ශිල්පියෙක් ලෙස වැඩ කළේ. සංස්කරණ ශිල්පියෙක් ලෙස මට තියෙන ටූල් භාවිතා කරලා මට කළ හැකි දේ එතුමාට පහදලා දුන්නා. එතකොට රොහාන් වැලිවිට මහතා කිව්වා අපි කලර් ග්‍රේඩින් වැඩේ ලංකාවෙ කරමු කියලා. මම කිව්වා කලර් ග්‍රේඩින් කරන්න නම් ඒකට අවශ්‍ය සොෆ්ට්වෙයා, හාඩ්වෙයා ඕනේ කියලා. ඒකට එතුමා කැමති වුණා. ඒ කාලේ තිබුණේ ඔටෝ ඩෙස් ලස්ට සොෆ්ට්වෙයා. මේවා සිංගප්පූරුවෙන් ලංකාවට ගේන්න වැලිවිට මහතා විමසන කොට බ්ලැක් මැජික් කිව්වා. ලස්ට ගන්න එපා අපි ඩාවින් රිසෝල්ව් අරගෙන අපි ඩිවලොප් කරනවා. තව මාස හයකින් අපි ඩාවින්සි රිසෝල්ව් සොෆ්ට්වෙයා එළියට දානවා කියලා. අපි මාස හයක් බලන් ඉඳලා ඒ සොෆ්ට් වෙයා එක ලංකාවට ගෙන්නුවා. ඒ පිළිබඳව මට පුංචි පහේ ට්‍රේනින් එකකුත් ලැබුණා සිංගප්පුරුවෙන්. රොහාන් වැලිවිට කියන්නේ මට වගේම මේ ඉන්ඩස්ට්‍රියට ගොඩක් කට්ටිය ගෙනාපු පුද්ගලයෙක්. එතුමාගේ ෆයි විෂන් ආයතනය තුළ තමයි මේ කටයුත්ත මුලින්ම ආරම්භ කරන්නේ.

සුසීමා චිත්‍රපටයෙන් ඔබ මෙරටදීම කලර් ග්‍රේඩින් කටයුත්ත ඇරඹීමත් සමඟ මේ වන විට කොපමණ ප්‍රමාණයක් කලර් ග්‍රේඩින් කරලා තියෙනවාද?

තිරගත වූ හා තිරගත වෙන්න තියෙන චිත්‍රපට මුළු සංඛ්‍යාව ගත්තම චිත්‍රපට හැටකටත් වැඩියි. ඊට අමතරව ඩිජිටල් ප්‍රතිෂේපණයට අවශ්‍ය ඩී.සී.පී කොපිය හදන එක 2012 දී අපි ලංකාව තුළම හදන එකක් පටන් ගත්තා. පරපුර චිත්‍රපටය වෙනුවෙන් තමයි අපි ඒ කාර්ය මුලින්ම පටන් ගත්තේ. ටීවී කමර්ෂල් කලර් ග්‍රේඩින් කළේ සිංගප්පූරුවේ. ලංකාවේ කළේම නැති තරම්. මම ටීවී කමර්ෂල් වලට එන්නේ පසුකාලීනව. මම හිතන්නේ 2012 වගේ මම ඒ සඳහා යොමු වන්නේ. දැනට ලංකාවේ ඇඩ්වටයිසින්වලින් 30% - 40% කලර් ග්‍රේඩින් කරනවා. ටීවී එකක් දිහා බලන් හිටියොත් මම කරපු කලර් ග්‍රේඩින් තුන හතරක් විකාශය වනවාම තමයි.

මේ කටයුත්ත ඔබේ තනි නිර්මාණ හැකියාවක් මතද කරන්නේ?

මම ප්‍රධානයා. සහායට තව දෙන්නෙක් විතර සේවයේ නිරත සිටිනවා. අද මගේම ආයතනයක හිමිකාරයෙක් මම.

කවුරුත් නොකරපු මෙවැනි කටයුත්තකට ඔබ පෙලඹෙන්නේ කොහොමද?

මම ඇළ හැර බකමූණේ ඉපදුණු පුද්ගලයෙක්. මගේ සනුහරේ මේ පැත්තට ගෑවුණ කෙනෙක් නැති තරම් මම පාසලේ තාක්ෂණික විෂයට හැදෑරුවෙත් ඉලෙක්ට්‍රොනික් විෂය. ඒ කාලේ අපේ භාවිතයට කොම්පියුටරයක් තිබුණේ නෑ. අපේ පාසලේ ලොරන්ජන් අයිය ළඟ තිබුණ කම්පියුටරය දැකල. ඒ කම්පියුටරයේ එන වෝල්පේපර් එක දකිනකොට මට පුදුම ආශාවක් ඇති වුණා. ඇම්පිෆයර් හදන එක සර්කිට් හදන එකට වඩා මම මැජික් එකක් දැක්කා. ඒ ආශාව එක්ක මම කොම්පියුටරයට පෙම්බැන්දා. අවසානයේ අම්මා මට කම්පියුටරයක් අරන් දුන්නා.

කොම්පියුටරයෙන් ඩිසයින් කරන පුද්ගලයෙක් ලෙස නේද ඔබ ගමනක් අරඹන්නේ?

ඒ තුළත් හරි සුන්දර කතාවක් තියෙනවා මට ඕන කරනවා මගේ ගර්ල්ෆෙන්ඩ්ට බර්ඩේ කාඩ් එකක් හදලා දෙන්න. ඒ නිසාම මම ෆොටෝ ෂොප් පැත්ත ඉගෙන ගන්නවා. මම පාසල් යන කාලයේම නිරෝෂ් නමැති අයියා කෙනෙක්ගේ ස්ටූඩියෝ එකක වැඩ කරන්න ලැබුණා. ඩිසයිනර් කෙනෙක් විදියට ඒ අවස්ථාව මට ලැබෙන්නේ හරි අපූරු විදිහට මම හදපු බර්ත් ඩේ කාඩ් එක ප්‍රින්ට් කරගන්න අරන් යන්නේ මේ ස්ටුඩියෝ එකට. ඒකෙ නන්දන අයියා නිරෝෂ් අයියා ගාවට. එහිදී නන්දන අයියා මාව හඳුන්වා දෙනවා නිරෝෂන් අයියාට නිරෝෂන් අයියා තමයි මාව මේ පැත්තට දෙවනුව යොමු කළ පුද්ගලයා. අද ඔහු ජීවතුන් අතර නැහැ. මම කරපු ඩිසයින් එක දකින නිරෝෂන් අයියා මට ඒ ස්ටුඩියෝ එකේ වැඩ කරන්න ඉඩ දෙනවා. ඩිසයිනර් කෙනෙක් ලෙස පොළොන්නරුවේ ඒ අයියගේ ෂොප් එකේ විතරයි ඒ කාලේ වීඩියෝ කැමරාවක් තිබුණේ එතැනදී පොටෝ ෂොප් කරන ගමන් මට වීඩියෝ එඩිටිනුත් කරන්න ඉගෙන ගන්න ලැබෙනවා. මගේ හැකියාව හොඳීන් හඳුනාගත්ත නිරෝෂන් අයියා මාව යොමු කරනවා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ පාඨමාලාවක් වෙත. ඒ ආපු ගමන තමයි මම මේ අදත් එන්නේ.

ඇළහැර ඔබ කොළඹ ගෙන්දගම් පොළොව ජයගන්නේ කොහොමද?

බකමූණ මහසෙන් මධ්‍ය මහා විද්‍යාලයේ මම විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා පළමු වරට විභාගයට මුහුණ දීමත් සමඟ පාසල් අධ්‍යාපනයෙන් ඉවත් වෙනවා. ස්ටුඩියෝ එකේ වැඩකළ කලණ අයියාගේ සමීප ඥාතියකු වූ පානදුරේ දමිත් අයියාගේ පවුලේ විවාහ මංගල උත්සවයක් වීඩියෝ කිරීමේ කටයුත්ත මට පැවරෙනවා. දමිත් අයියා ළඟ කැමරා උපකරණ එහෙමත් තියෙන කෙනෙක් මට ඔහුගේ ර්ච් 9000 වීඩියෝ කැමරාව ලැබෙනවා. විවාහ මංගල උත්සවය කවර් කරල දෙන්න. ඔවුනුත් විමතියට පත් කරමින් මේ වගේ කැමරාවකින් මම කරපු ඒ රූගත කිරීම් පිළිබඳ පැහැදෙන ඔවුන් ඒක කරපු හැටි ඔවුන්ටත් කියලා දෙන්න කියලා මට ආරාධනා කරනවා. ඔවුන්ගේම ගෙදර නවාතැන් ගෙන ඉගෙනීමේ කටයුතුත් කරගෙන යන්න කියලා ඒ ආරාධනය සමඟ මට මගේම ගෙදරක් බවට දමිත් අයියාගේ පානදුරේ ගෙදර පත්වෙනවා. මම එහෙ නැවතී රූපවාහිනි අභ්‍යාස ආයතනයේ පාඨමාලාව හදාරනවා. මගේ බොහොම සමීප හිතවතෙකු වූ චමින්ද කරුණානායක අයියා මට දවසක් යෝජනාවක් කළා මල්ලි ඔහොම ඉඳලා හරියන්නේ නෑ ඉගෙන ගන්න දෙයින් වැඩක් ගන්න කියලා. ඔහුගේ හිතවතෙක් වූ රොහාන් වැලිවිට මහතාට මාව හඳුනලා දෙනවා. 2005 වර්ෂයේ ඒ අනුව මම රොහාන් වැලිවිට මහතාගේ ශ්‍රී ලක්වාහිනී සැටලයිට් ටීවී නාලිකාවේ සංස්කරණ ශිල්පියෙක් ලෙස රැකියාවට යොමු වෙනවා. සංස්කරණ ශිල්පියෙක් ලෙස මම 2008 වසර වෙනකම් ශ්‍රී ලක්වාහිනියේ වැඩ කරනවා.

ශ්‍රී ලක්වාහිනියෙන් පවා ඔබ සමුගෙන යනවා නේද?

මේ නාලිකාව සැටලයි ටීවී නාලිකාවක් නිසා බොහෝ දෙනෙක්ට නැරඹීමේ හැකියාවක් නැහැ. මට ඕනෙ කරනවා මගේ නම බොහෝ දෙනෙක් දකින එකකට සම්බන්ධ වෙන්න ඒ නිසා මම එයින් ඉවත්වී නිදහසේ කටයුතු කරන්න පටන් ගන්නවා.

රූපවාහිනී මාධ්‍ය නාලිකා බොහොමයක් තිබුණත් ඇයි ඔබ ඒවායේ රාජකාරීන් සඳහා යොමු නොවුණේ?

මට ආයතනගත වීමට කැමැත්තක් තිබුණේම නෑ. එහෙම කොටුවීම තුළ මට ඕනෙ දේ කරන්න බැරි ගතියක් මම දැක්කා. ඒ නිසාම නිදහස් පුද්ගලයෙක් ලෙසට ආයතන ගත නොවී වැඩකරන්න මම අදහස් කළා ෆීලාන්සර් එඩිටර් කෙනෙක් ලෙස මම රෙජිනෝල් කුරේ මහතාගේ මාධ්‍ය ඒකකයේ වැඩ කළා. රූපවාහිනියේ විකාශය වූ පුෂ්පකුමාර සමරවික්‍රම නිර්මාණය කළ ග්‍රින්වොක් ඩොකියුමන්ට්‍රි වැඩසටහනකට මම සහය අධ්‍යක්ෂ හා සංස්කරණ ශිල්පියෙක් ලෙස සම්බන්ධ වී වැඩකළා. මේ වාර්තා වැඩ සටහන් මාලාව රූපවාහිනියේ විකාශය වීමත් සමඟ මගේ නම නිරන්තරයෙන් බොහෝ දෙනෙක් අතර ප්‍රචලිත වුණා. මගේ ආශාවක් එයින් ඉෂ්ට වුණා. පාරිසරික වාර්තා වැඩසටහනක් ලෙස විකාශය වූ ඒ වැඩසටහන ජාතික රූපවාහිනියේ විකාශය වුණා.

නිරන්තරයෙන් ඔබේ නම තිරයේ වැඩි පිරිසක් අතරට යනකොට තවත් ඔබ නොනිමි ආශාවක් සොයා ගියාද?

නැහැයි කියන්නම මට බෑ. මම ජාතික චිත්‍රපට සංස්ථාවේ තිබුණු කෙටි චිත්‍රපට උළෙලක් සඳහා මිණිකැට අඳුර නමින් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කර ඉදිරිපත් කළා. ඒ චිත්‍රපටය නිර්දේශ වුණා. ජුරියේ සම්මානයකට මම මේ සම්මාන උළෙල වෙනුවෙන් චිත්‍රපට සංස්ථාවේ තරංගනී චිත්‍රපට ශාලාවට ගියහම මට මහ අමුත්තක් දැනුණා. ඒ වෙනකොට තරංගනී චිත්‍රපට ශාලාව නවීකරණය කරල තිබුණු මුල් අවධිය. චිත්‍රපට ශාලවේ දැවැන්ත තිරය දකිනකොට මට ලොකු ආශාවක් ආවා. මේ වගේ තිරයක යන වැඩක් කරන්න ඕනෙ කියල. ඒ වෙනකොට රූපවාහිනී මාධ්‍ය තුළ මගේ නම යන නිසා මේ වගේ තිරයකත් මගේ නම යන වැඩක් කරන්න ඕනෙ කියලා මම තවත් හීනයක් දැක්කා. තරංගනී සිනමා ශාලාව තුළ දී එහි විශාල ස්ක්‍රින් එක දකින ගමන්.

සිනමා නිර්මාණයක නම යන වැඩක් කරගන්න ඔබ දකින හීනය සැබෑවක් බවට පත් කරගන්නේ කොහොමද?

දවසක් මට රොහාන් වැලිවිට මහතා කතා කරල කියනවා. ඔහුගේ ආයතනයේ සංස්කරණ කටයුතුවල ප්‍රශ්නයක් වෙලා ඒක විසදගන්න මගෙන් උදවුවක් ඕනෙ කියලා ඒ උදවුවට යන මට නැවතත් එතුමාගේ ආයතනයේ වැඩකරන්න හම්බවෙනවා. 2009 වසරේ ඒ එන්නේ මම එතුමාගේ සුසීමා චිත්‍රපටයේ පසු නිෂ්පාදන කටයුතු වෙනුවෙන් පැන නැගී තිබූ ප්‍රශ්නයක් නිරාකරණය කරල දෙන්න. ඒ ආ ගමනේදී මට හිතුණා මගෙ අලුත් හීනය සැබෑවක් කරගන්න මේක හොඳ අවස්ථාවක් කියලා. එහිදී සුසීමා චිත්‍රපටයේ එක් සංස්කරණ ශිල්පියෙක් වෙන්න මට අවස්ථාව ලැබුණා. වගේම චිත්‍රපටයේ පසු නිෂ්පාදන කටයුතු සිද්ධ වුණේම මගේ අතින්. එතනදී තමයි මට සුසීමා චිත්‍රපටයේ කලර් ග්‍රේඩින් සඳහා ආරාධනා පවා ලැබෙන්නේ.

අනෙකුත් සිනමාකරුවන් ඔබව සොයා ගෙන ඒමේ දොරටු කොයි ආකාරයෙන්ද ඔබට විවෘත වෙන්නේ?

සුසීමා චිත්‍රපටයේ කලර් ග්‍රේඩින් මම අතින් සිද්ධ වුණාට පස්සේ තවත් අධ්‍යක්ෂවරු බොහෝදෙනෙකුගේම චිත්‍රපට වෙනුවෙන් මම ඒ අංශයෙන් දායක වුණා. ඒ චිත්‍රපට බොහෝවිට වාණිජ චිත්‍රපට ඒ තත්ත්වය තවත් අයුරකින් වෙනස්වුණා මම සෙවණැලි චිත්‍රපටයේ වර්ණ සංකලනය කිරීමත් සමඟ එතැන පටන් දිගින් දිගටම මාවෙත චිත්‍රපට ගලාඑන්න පටන් ගත්තා.

ඉන්දියාවට සිංගප්පුරුවට ගිය කලර්ග්‍රේඩින් ගමන ලංකාවේ නතර කරගත්තේ ඔබ?

කලර් ග්‍රේඩින් ගැන මුලදි හිතන්න පටන් ගත්තේ චිත්‍රපටය හදල අවසානයේ. නමුත් මම කියන්නේ ඒක චිත්‍රපටය පටන්ගන්න තැන ඉඳලම ආයුතු දෙයක් කියලා. කොටින්ම කිව්වොත් පිටපතේ ඉඳලා චිත්‍රපටය තනල අවසානයේ කලර්ග්‍රෙඩින් වලට යනකොට අපිට කරන්න තියන දේ අවමයි. නමුත් ඒක මුල ඉඳල කළොත් අපිට කරන්න පුළුවන් දේ බොහොමයි. මගේ ක්‍රියාපිළිවෙත අනුව ඉන්දියාවට සිංගප්පුරුවට එක නතර කරල මාත් එක්ක එකතු වුණා. චිත්‍රපට ඩිජිටල් කරල 35ථථ වලට ට්‍රාන්සර්වීමේදී ඇතිවන ගැටලු පිළිබඳ බොහෝ අයට ප්‍රශ්න තිබුණා. ඒ ප්‍රශ්න නිරාකරණය කරගන්න මම ගුරුමුෂ්ටියෙන් තොරව කියල දුන්නා. හැම කෙනෙක්ම තමන් තුළ තියන අනවබෝධය නැති කරගන්න. හොඳ වර්ක් ෆ්ලෝ එකක් මම හදල දුන්නා ඒ නිසාත් මා වටා රැල්ලක් ගොඩනැගුණා. මම දන්න දේ මිනිස්සුන්ට කියල දුන්නා. ටෙක්නොලොජි ඩිවලෝප් වෙනවා අපි ඒ දේත් එක්ක යන්න ඕනේ. එහෙම නැතුව මා ළඟ තියන දේ තමයි හොඳම දේ කියල ඉඳල වැඩක් නෑ. මම අදත් අප්ඩේට් වෙනවා. කිසිම කුහකත්වයක් නැතුව ඕනෙම කෙනෙකුට දෙයක් කියල දෙනවා.

අද ඔබ බාහිර කථිකාචාර්යවරයෙක්?

කැලණිය, කොළඹ විශ්වවිද්‍යාලවල වගේම පෞද්ගලික අධ්‍යාපන ආයතනවලත් කලර්ග්‍රේඩින් පිළිබඳ බාහිර කථිකාචාර්ය වරයෙක් ලෙස මම කටයුතු කරනවා.

කලර් ග්‍රේඩින්වල දී චිත්‍රපටයේ තවත් අයත් ඔබ ගේ කටයුත්තට දායක වෙන්නත් අතර සිටිනවාද?

කැමරා ශිල්පියාගේ අධ්‍යක්ෂවරයාගේ ප්‍රඩක්ෂන් ඩිසයිනගේ එකතුව කලර් ග්‍රේඩින්වලදී වැදගත් සාධයක්. අදවන විට චිත්‍රපටය කරන්න පටන් ගන්න කොටම කතාබස් කරල කලර් පැලට් එක හදාගන්නවා. ඒ අනුව කොස්ටියුම් ඩිසයින් කරනවා. දර්ශන තලයේදී මම සිටිය යුතු නෑ. නමුත් අපි කලින් කතා බස් කරගත් ආකාරයේ රාමුවක් තුළ සිටීම වැදගත්. කැමරා අධ්‍යක්ෂවරයාගේ වගකීම දර්ශන තලයේදී මේ කාර්යට ඕනෙ කරන වපසරිය හඳුනාගැනීම ඔහු තමයි පසුව මේක කලර්ග්‍රේඩින් කරන්න රැගෙන එන්නේ.

අද ඔබගේ කාර්ය ඉස්සරට වඩා පහසු වෙලාද?

අද ග්‍රේඩින්වලින් ගන්න ප්‍රයෝජන වැඩියි. ඉස්සර කළේ කොටින්ම කිව්වොත් වැරදි හදන එක. අද ඇත්තෙන්ම කලර්ග්‍රේඩින්වලදි කරන්නේ කරෙක්ෂන් කාලය අඩු කරල ග්‍රේඩින් කාලය වැඩි කිරීමක්.

කලරිස් කියන පුද්ගලයා අද අවශ්‍ය සාධකයක් ද නිර්මාණයක් වෙනුවෙන්?

අද කලර්ග්‍රේඩින් නිර්මාණයක් තුළ තිබිය යුතු දෙයක් කියන තැනට ඇවිත් තියනවා. මට වඩා කලරිස් කියන කෙනා මෙහි ස්ටැබ්ලිස්. මම අද වෙනකොට වර්ණ සංකලන ශිල්පියෙක් ලෙස පමණක් අවුරුදු 14ක් කටයුතු කරලා තියෙනවා.

මම කිව්වොත් ආනන්ද බණ්ඩාර කලින් කලට වෙනස් වන පුද්ගලයෙක් කියලා?

ඔව්. මගේ ගමන තුළ තියෙන්නේ එහෙම ගමනක් මුලදී මම ඩිසයිනර් කෙනෙක්. ඊට පස්සේ මම එඩිටර් කෙනෙක්. එතනින් නොනවතින මම මගේ නම එළියෙ දකින්න හීන මවනවා. ඒ එළියේ දකින නම ලොකුවට දකින්න හීනමවනවා. මේ වගේ ගමනක් තුළ මම හැමදාම අපේක්ෂා කළේ අප්ඩේට් වන පුද්ගලයෙක්. දැන් මට හිතිලා තියනවා මේ තනතුරෙත් හිටියා ඇති දැන් මගේ හීනය මගේම නිර්මාණයක් තිරයේ දකින දවසක් ගොඩනගන්න. දැන් මම හිතල තියනවා මගේම චිත්‍රපටයක් පුුළුල් තිරයට ගේන්න. බලමු ඒක ඉස්සරහට. මෙතනදි මම දෙයක් අතහරිනවා නොවෙයි. ඒකේ ඊළඟ පියවරට යන එක තමයි මා විසින් කරන්නේ.

මේ ආ ගමනේ ඔබේ ගුරුවරුන් වන්නේ?

අද ජීවතුන් අතර නැති නිරෝෂ් සංජය රණතුංග අයියා. ඔහු තමයි මේ ගමන එන්න මගේ උරහිස මත කැමරාව තියන්නේ. ස්ටැන්ලි හෙට්ටිආරච්චි මහතාගෙන් තමයි මම සංස්කරණය ඉගෙන ගන්නේ. සෙනේෂ් දිසානායක බණ්ඩාර, රොහාන් වැලිවිට, පැට්ටි‍්‍රක් රොඩ්රිගෝ, දීප්ති ද සිල්වා සුදම් කලණ. මගේ පාසල වූ බකමුණ මහසෙන් මධ්‍ය මහා විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් විෂය ඉගැන්වු දිසානායක මහතා ඇතුළු මෙතෙක් මාත් සමඟ වැඩ කළ චිත්‍රපට අධ්‍යක්ෂවරු කැමරා අධ්‍යක්ෂවරු තමයි මගේ ප්‍රධාන ගුරුවරුන් වන්නේ.

ඔබ මේ වනවිට වර්ණ සංකලනය සඳහා සම්මානීය වෙලා තියනවද?

2007 වසරේ සරිගම චිත්‍රපටය සඳහාත් 2021 වසරේ පාංශු චිත්‍රපටය සඳහාත් හොඳම වර්ණ සංකලනය සඳහා සිග්නීස් සම්මානය මට හිමිවුණා. මම කලර් ග්‍රේඩින් කළ චිත්‍රපට රාශියක් අන්තර්ජාතික චිත්‍රපට උළෙල නියෝජනය කරල සම්මාන ලබලත් තියනවා.

කලර් ග්‍රේඩින් සඳහා ලෝකේ පුරා සම්මාන උලෙළවල සම්මානනීය ඇගැයුම් නැද්ද?

ලංකාවේ වර්ණසංකලනය සඳහා සම්මාන දෙන එකම උලෙළ සිග්නීස් ඒ ඇරෙන්න වෙන නම් නෑ. 35ථථ යටතේ චිත්‍රපට නිර්මාණයේදී කැමරා අධ්‍යක්ෂ යටතේ මේ සඳහා සලකා බැලීමක් කළා. නමුත් ඩිජිටල් වීමත් සමඟ අපි මීට කලින් කරපු දේට වඩා විශාල දෙයක් කලර් ග්‍රේඩින් තුළින් කරනවා. ලෝකයේ මේන් ෆේස්ටිවල්වල කලර් ග්‍රේඩින් වලට සම්මාන ලබාදීමක් කරන්නේම නෑ. හැබැයි ඉන්දියාවේ එහෙම බෙස්ට් කලර්රයිස් හැටියට කලර් ග්‍රේ්ඩින් සඳහා සම්මාන දෙනවා. මම යෝජනාවක් කරනවා ලංකාවේත් කලර් ග්‍රේඩින් සඳහා සම්මාන දිය යුතුයි කියලා. මම එහෙම කියන්නේ චිත්‍රපටයක කලර් ග්‍රේඩින් අප්සෙට් නම් සිනමා අධ්‍යක්ෂණයට කිසිසේත්ම සම්මාන හම්බ වෙන්න බෑ. මොකද කලර්ග්‍රේඩින් අප්සට් වුණොත් මේ සියලු දෙනාගේම උත්සාහයත් වතුරේ. මේ සියලු දේම ෆයිනල් කරන තැන තමයි කලර්ග්‍රේඩින් එක. ඒක අප්සට් වුණොත් මේ ඔක්කෝම ඉවරයි. මම කරන කාර්ය හරි නම් විතරයි අනික් සියලු දෙනාටම සම්මාන ලබන්න පුළුවන් වෙන්නේ. කොටින්ම කිව්වොත් මගේ යම් අතපසු වීමක් හෝ සිතාමතා කරන ක්‍රියාවකින්. අධ්‍යක්ෂවරයාගේ ඉඳල සියලු දෙනාගේම මහන්සිය මට එක බටන් එකකින් ඉවර කරල දාන්නත් පුළුවන්.

පේ‍්‍ර්ක්ෂකයාට නිර්මාණයේ කලර්ග්‍රේඩින් කොයි ආකාරයෙන් ද දැනෙන්නේ?

මගේ අදහස කලර් ග්‍රේඩින්වලින් කිසිසේත්ම පේ‍්‍රක්ෂකයාව ඇන්දවීමක් නොකළ යුතුයි. ප්‍රේක්ෂකයාට වැදගත් වන්නේ මුඩ් එකයි. ඉමෝෂන් එකයි විතරයි.

පවුලේ විස්තරත් කියමුකෝ?

මගේ බිරිය තරංගි කාංචනා. පුතා සෙහස් යානෙත්. ලූවර් කොලෙජ් එකේ දෙක වසරේ ඉගෙනුම ලබනවා. අද මගේ බිරිය එදා පෙම්වතිය වෙලා ඉන්න අවධියේ ඇගේ බර්ත්ඩේ එකට මම නිර්මාණය කළ කාඩ් එකේ නිර්මාණශීලිත්වය තමයි මගේ මේ ගමන් මඟේ තිඹිරි ගෙය. ඒ ගැන මම කලිනුත් සඳහන් කළා. එදා ඇයට මා අතින් නිර්මාණය වූ ඒ උපන්දින සුබපැතුම් කාඩ් පත මාව මෙතරම් දුරක් රැගෙන එයා කියා මම කවදාවත් සිතුවේ නැහැ. අදටත් මගේ මේ සාර්ථක ගමනේ දිරිය ශක්තිය මගේ මව ජයතුංග මැණිකේ වගේම මගේ බිරිය තරංගනී කාංචනා පුතා සෙහස් යානෙත්.

 

සේයාරූ - ශාන් රූපස්සර

[email protected]