වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
උපහාසයේ ප්‍රභේද

උපහාසය පෙර විස්තර කළ පරිදි විවේචනයනම නොවේ. සමහර විට මුල් කෘතිය සමච්චලයට ලක් නොකොට යම් උදාසීන ආලෝකයක් හෝ අදහස් දැක්වීමකින් එය නවතී. ප්‍රහසනයේ දී ඇති කරන උපහාසය සමහර විට සමස්ත නාට්‍යය සමඟම හෝ නාට්‍යයේ අරමුණ හෝ ප්‍රකාශය හෝ දෘෂ්ටිය සමඟ බද්ධ නැත. සුඛොත්පාදනයේ දී එය එසේ නොවේ. එබැවින් ප්‍රේක්ෂකයා තුළ ඇතිවන සිනහව හෝ හාස්‍ය රසය ද සමස්ත ප්‍රහසනයේ (නාට්‍යයේ) ක්‍රියාකාරිත්වයක් සමඟ බද්ධ නොවේ. එක් තැනෙක පැන නැගුණු උපහාසය මඟහැරී ගිය ද ඊළඟ මොහොතේ නාට්‍යයෙන් මතුකරන උපහාසය විඳ ගැනීමට ප්‍රේක්ෂකයාට එය බාධාවක් නොවේ. බොහෝ විට උපහසා කිරීමට, අතිශයෝක්තියට නැංවීමට එහි අංග වෙන් වෙන්ව තෝරාගත හැකිය. සමහර විට ඒ උපහාසාත්ම මොහොත ප්‍රහසනයේ ඊළඟ දර්ශන වාරයට අවශ්‍ය නොවන්නා සේම අර්ථවත් ද නොවේ. සමහර විට සමච්චල් කිරීම හෝ අපහාසය හෝ අපකීර්තිය එහි අරමුණ වේ. ප්‍රහසනයේ දී නිශ්චිත කාලයකට, රාමුවකට, මොහොතකට සීමා වූ උපහාසාත්මක භාවිතයක් අදාළ කාලය, රාමුව හෝ මොහොත වෙනස් වූ කල අදාළ උපහාසාත්මක ගුණය ද ශුන්‍ය විය හැකිය.
සරදම් කිරීම සැහැල්ලු හදවතක සිට ගැඹුරු කාල්පනිකත්වයකට යොමු වන්නා වූ උපහසාත්මක එකක් විය හැකිය. නිකොලොයි ගොගොල්, චෙකොව්, දාරියා ෆෝ, නීල් සයිමන් දයානන්ද ගුණවර්ධන ආදින්ගේ හෝ රෝම ප්‍රහසනයක් විසින් ගැඹුරු, උපහාසයක් අප වෙත ජනිත කරයි.
උපහාසාත්මක අර්ථය පාදක කරගත් ග්‍රීක වචනයක් වන ‘පාරෝඩිය’ විකල්ප දෙකක් යෝජනා කරයි. ‘ගීතයට අමතරව ප්‍රතිගීත ලෙස එහි එක අර්ථයක් සම්පාදනය කරයි. උපහාසය සෑම විටම මුල් ප්‍රභවයට බැහැරව ක්‍රියාත්මක වූව ද එයට මුල් ප්‍රභවයට (වදනක සිද්ධියක) එරෙහිව ද අරුත් දැක්විය හැකිය. නැති නම් සරලවම මුල් කෘතිය, සිද්ධිය, මොහොත සමච්චලයට ලක් කිරීම හෝ උපහාසයට ලක්කිරීම නොකරන සැහැල්ලු විවරණයක් විග්‍රහයක් ලෙස ද දැක්විය හැකිය.
සැහැල්ලු හෘදයාංගම උපහාසය
ඇරිස්ටොටල්ට අනුව පළමු උපහාස කාව්‍ය රචකයා, හැපෝමනියේ තාසොස්ය.
((Hegemony of Thasos) ) ඔහුගේ උපහාසය නිතරම මෘදු එකකි. සමච්චලය තිබුණ ද එය සැර හෝ අපහාසාත්මක නොවීය. පොදු කාව්‍යවල වචන විවිධ ආකාරයෙන් වෙනස් කිරීම හා වෙනස් අර්ථ ගැන්වීම ඔහුගේ ක්‍රමය විය. මුලාශ්‍රය වෙනස් කොට එහි මුලින් වූ බැරුරැම් ලෝකයට සැහැල්ලු හෘදයාංගමබවක් එක් කිරීම ඔහුගේ භාවිතය විය. සමහර විට ඔහු පැරැණි කවකට නූතන ස්වරූපයක් ආරුඪ කළේය.
බොහෝ විට ජන කවිය, ජන නාට්‍ය කරුවා විසින් කරන ලද්දේ පැරැණි ශාස්ත්‍රය බරපතළ කාව්‍ය ගෙන එහි රිද්මය නොනසා මුල් කවියේ එන බැරැරුම් ආකෘතිය හා අර්ථයට සරල අර්ථයක් සැපයීමයි. ශාස්ත්‍රිය රාගධාරි සංගීතය ගෙන සරල ගීත නිර්මාණය හෝ ශාස්ත්‍රීය නාට්‍ය ආකෘතිය තුළ තබා ගැමි නාට්‍ය නිර්මාණය එවැන්නකි. ඒවා පොදු ජන හදවතට සමීප නිර්මාණයෝ වෙති. පොප් ගීතවල සමහර හාස්‍යජනක භාවිතය මීට නිදසුන්ය. රෙගේ, ජෑස් ආදී ගීතවලද මෙවන් හාස්‍යජනක භාවිතයන් ඇත. ප්‍රෙඩි සිල්වාගේ ගීතවලට ඇත්තේ ද මෙවන් සරල හෘදයාංගම උපහාසයකි. ඒවායේ ද උපහාසයට ලක්කරන කාර්යයේ ස්වයං බැරැරූම්කම ගැන උපහාසාත්මක වචන භාවිත කරයි. ඔහු ගයන “අලුත් කලාවක් සොයාගත්තා මං” ගීතය එවන් නිදසුනකි. රචකයාගේ සාහිත්‍යමය වචන ගායකයා අත හෘදයාංගම උපහාසයක් ජනිත කරයි. ‘පාන්කිරිත්තා’ ගීතය තවත් නිදසුනකි. මෙහිදී හාස්‍යය මෙන්ම විනෝදාස්වාදය මුඛ්‍ය අරමුණ වේ.