වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
සිනමා දිවියේ හැට වසර සපුරද්දී හෙළ සිනමා කිවිඳියට

හෙළ සිනමා කිවිඳිය සුමිත‍්‍රා පීරිස් මැතිණිය වෙත ජපන් රජයෙන්(The Order of the Rising Sun) සම්මානය පිරිනැමීමට නියමිතව ඇත. ජපාන විදේශ අමාත්‍ය මොතේගු ටොෂිමිත්සු මේ බව දන්වා නිවේදනයක් නිකුත් කොට ඇත. ශ‍්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ ශ‍්‍රී ලංකාව සහ ජපානය අතර සංස්කෘතික සබඳතා ප‍්‍රවර්ධනය කිරීම ඇගයීම උදෙසා එතුමිය වෙත මෙම සම්මානය පිරිනැමීමට නියමිත බවයි. මෙය ජපාන අධිරාජ්‍යයා ගේ නාමයෙන් විදේශිකයකුට පිරිනැමෙන ඉහළම සම්මානයකි. 1875 වසරේ දී ජපානයේ දී පිරිනැමීම ආරම්භ කළ මෙම සම්මානය වාර්ෂිකව ජපානය සමඟ ඇති විවධ සම්බන්ධතා හේතුවෙන් පිරිනැමෙන්නකි. මේ සම්මානය මෙයට පෙර මෙරට කිසිදු කෙනෙකුට පිරිනමා නොමැත.
ශ‍්‍රී ලාංකේය සිනමා ක්ෂේත‍්‍රයේ බිහිවූ අග‍්‍රගණ්‍ය සිනමාකාරිය වන සුමිත‍්‍රා පීරිස් ගඟ අද්දර, යහළු යෙහෙළි, ගැහැනු ළමයි, දුවට මවක මිස, සක්මන් මළුව ඇතුළු චිත‍්‍රපට රැුසක් අධ්‍යක්‍ෂණය කළාය. මෙරට පළමු සිනමා සංස්කාරකවරියද වන ඇය ගම්පෙරළිය, දෙලොවක් අතර (හොඳම සංස්කරණය*, ගඟ අද්දර, මායා, සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා (හොඳම අධ්‍යක්ෂණය* වෙනුවෙන් සරසවිය සම්මානයෙන් ද පිදුම් ලැබුවාය. මෙරට සිනමාවේ දැනට නියැළි ජේ්‍යෂ්ඨතම කාර්මික ශිල්පිනියක ද වන ඇය සිනමාවට පිවිසෙන්නේ 1960 වසරේ තැනුණු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සංදේශය චිත‍්‍රපටයේ සහාය අධ්‍යක්ෂිකාවක හැටියටය. ඒ අනුව මේ වසරේ ඇය සිය සිනමා දිවියේ හැට වසර සපුරන්නීය.