අපේ සිනමාවේ හෙට දවස

ජනවාරි 20, 2022

සිනමාවක පැවැත්මට නවක සිනමාකරුවන්ගේ ආගමනය නිරන්තරයෙන්ම සිදු විය යුතුය. වාසනාවකට අපේ සිනමාවට එලෙස පැමිණෙන සිනමාකරුවන්ගේ අඩුවක් නැත. එහෙයින් එකිනෙකට වෙනස් අන්දමේ සිනමාපට ගණනාවක් අප සිනමාව වෙනුවෙන් වසරක් තුළදී නිර්මාණයවේ. සිංහල කතානාද සිනමාවට වසර 75 ක් ගතවෙන තැන සරසවිය සුවිශේෂී කලාපයෙන් අප මේ ඔබට ගෙන එන්නේ ඉදිරියේදී අප සිනමාවට අලුත් චිත්‍රපට ගෙන එන කුලුඳුල් සිනමා අධ්‍යක්ෂවරුන් පිළිබඳ සටහනකි.

සිංහල සිනමාවට ළැදි ඔබට ජීවන් කුමාරතුංග කියන්නේ අමුතුවෙන් හඳුන්වා දියයුතු චරිතයක් නොවේ. ඔහු සිනමාපට ගණනාවක වීරයා වෙමින් ප්‍රේක්ෂක ඔබ පිනවූ අන්දම මතකයේ තිබේ. ජීවන් සිනමාපට කිහිපයක් නිෂ්පාදනය කළත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේ පසුගිය වසරේදීය. ඒ අනුව බලන කල ඔහුද කුලුඳුල් සිනමාකරුවෙකි. ජීවන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය ජීවා ලෙසට නම් කොට තිබේ. ලකී ඩයස්ද අපට සිටිනා ප්‍රවීණ රංගන ශිල්පියෙකි. පුංචි තිරයේ නිර්මාණ ගණනාවක් අධ්‍යක්ෂණය කළද රිදී තිරය වෙනුවෙන් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නට පෙලඹුණේ පහුකාලීනවය. ලකී ඩයස් ගේ කුලුඳුල් සිනමාපටය නම් කොට ඇත්තේ බ්‍රේකිං නිව්ස් යනුවෙනි.

ආචාර්ය ආරියරත්න ඇතුගල යනු කලා ක්ෂේත්‍රයේ මෙන්ම විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය තුළද සිටින ජ්‍යෙෂ්ඨයෙකි. ඔහු කුලුඳුල් සිනමාකරුවෙකු වන්නේ සහෝ සිනමාපටය නිර්මාණය කිරීමෙනි එම සිනමාපටය අන්තර්ජාතික සම්මාන රැසකින් පිදුම් ලැබීමට සමත් විය. වෛද්‍ය නෙඕමාල් පෙරේරා වෛද්‍ය ක්ෂේත්‍රය තුළ ඉහළ ප්‍රවීණත්වයක් දැරුවත් සිනමාව තුළදී ඔහු කුලුඳුල් අධ්‍යක්ෂවරයෙකු ලෙසට කලඑළියට බැසීමට සූදානමිනි. ඔහු හා හා පුරා කියා නිර්මාණය කළ චිත්‍රපටය දඩඉම නම් වේ. දඩයම සිනමාපටයේ දෙවැනි කොටස ලෙස එම චිත්‍රපටය වෛද්‍ය නෙඕමාල් ගෙන එන අතර ප්‍රවීණ රංගන ශිල්පීහු රැසක් එහි රංගනයේ යෙදෙති. රංගන ක්ෂේත්‍රය තුළ සම්මානනීය චරිතයක් වූ ජගත් මනුවර්ණ විවිධ චරිත රංගනය තුළින් ඔබ හමුවට ආ රංගන ශිල්පියෙකි. ඔහු රහස් කියන කඳු සිනමාපටය නිර්මාණය කරමින් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු විය. ජගත්ගේ මෙම සිනමාපටයේ විශේෂ දර්ශනයක් පසුගියදා පැවැත්වූ අතර එහිදී සිනමාපටය සඳහා ඉතා ඉහළ ප්‍රතිචාර ලැබීමද විශේෂත්වයකි.

පුංචි තිරය තුළ නළුවෙකු, නිවේදකයෙකු මෙන්ම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකුද වූ ප්‍රදීප් ධර්මදාස සිනමා අධ්‍යක්ෂවරයකු වන්නේ අයිස්ක්‍රීම් සිනමාපටය නිර්මාණය කිරීම තුළිනි. හේමාල් රණසිංහ ප්‍රධාන චරිතය රඟපාන අයිස්ක්‍රීම් වෙනමම තේමාවක් ඔස්සේ නිර්මාණයවූ සිනමාපටයකි. සුමිත් රත්නායක පුංචි තිරයට නිර්මාණ ගෙන එමින් සම්මානනීය වූ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකි. එමෙන්ම ඔහු ජනප්‍රිය නළුවෙකු ද වේ. රංකොල්ලා නමින් ඔහු විසින් සිනමාපටයක් නිර්මාණය කරන ලදී. එය ඔහුගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණයයි. රතු සමනල හීනයක් අරුණ ප්‍රියන්ත කළුආරච්චිගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණයි. අපූරු සිනමාපටයක් ලෙස චිත්ත රූප මවමින් විවිධාකාරයේ පුවත් පළවූ හෙයින් එම සිනමාපටය නැරැඹීමට සිනමා ලෝලීන් බොහෝ දෙනෙක් බලා සිටිති. රූපවාහිනී ක්ෂේත්‍රය තුළ නමක් රැන්දූ චරිතයක් වන නලින් මාපිටිය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස කලඑළි බසින්නට සූදානමින් සිටී. ඔහු කුලුඳුලේ නිර්මාණය කළ චිත්‍රපටය වන්නේ තානාපතිලගේ ගෙදරයි. සහාය අධ්‍යක්ෂවරයකු සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස පුංචි තිරයේ නිර්මාණ රැසකට දායකවූ වාසිත සමරනායක නිර්මාණය කළ චිත්‍රපටය වන්නේ වස්දඬු රාවයයි. ඔහු සිනමා අධ්‍යක්ෂවරයෙක් බවට පත්වන්නේ එම සිනමාපටය සමගිනි. ඉතා කෙටි කලක් තුළ නිර්මාණය කළ චිත්‍රපටයක් වශයෙන් ගිනස් වාර්තා පොතට එකතු වන්නට නියමිතව ඇති බාඳුරා සිනමාපටය නිර්මාණය කරමින් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ලෙසට අප සිනමා ක්ෂේත්‍රයට එක්වන තරුණයා ක්‍රිස් ඇන්තනීය.

නළුවෙකු ලෙසට රිදී තිරයේ, පුංචි තිරයේ මෙන්ම වේදිකාවේ සක්‍රිය චරිතයක් වන සරත් දික්කුඹුර කුලුඳුලේ නිර්මාණය කළ චිත්‍රපටය වන්නේ මරුකතරයි. එය සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වූවකි. තවත් යොවුන් සිනමා අධ්‍යක්ෂවරු රැසක් කුලුඳුලේ තම සිනමාපටය නිර්මාණය කරමින් චිත්‍රපට අධ්‍යක්ෂවරු බවට පත්ව සිටිති. ඉන් එක් අයෙකු වන්නේ කෞශල්‍ය මාධව පතිරණයි. ඉක්කා යනුවෙන් ඔහුගේ සිනමාපටය නම් කොට තිබේ. කසුන් පතිරණගේ කුලුඳුල් සිනමාපටය නයිට් රයිඩර්. එයද වෙනස්ම අන්දමේ සිනමාපටයකි. වාසව බදුගේ ආදරණීය ප්‍රාර්ථනා යනුවෙන් ආදර කතාවක් රිදී තිරයට එක් කරමින් අප සිනමාවට එක්වූ තවත් යොවුන් සිනමා අධ්‍යක්ෂවරයෙකි. ඔහු වඩාත් ප්‍රකට වෙළෙඳ දැන්වීම් සහ ගීතමය රූපරචනා නිර්මාණකරුවෙකු ලෙසය.

කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් විසින් සිනමාපටයක් නිර්මාණය කරන ලදි. එය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ප්‍රභාත් අගම්පොඩි විසිනි. විය සිදුරු ලෙසට නම්කොට ඇති එම සිනමාපටය සමඟින් ප්‍රභාත් අගම්පොඩි නමැති තරුණයා සිනමාවට එක් විය. හේමාල් රණසිංහ ප්‍රධාන චරිතය මැවූ ආකර්ෂණීය චිත්‍රපටයක් තිරගත වීමට සූදානම් වේ. එය නම් කොට ඇත්තේ ආශාවරී නමිනි. තේජා ඉද්දමල්ගොඩ ආශාවරි සිනමාපටයේ අධ්‍යක්ෂවරයාය. මෙය ඔහුගේ කුලුඳුල් සිනමාපටයයි. මෙරට මෙන්ම එරට සම්මාන රැසකින් පිදුම් ලැබූ බහුචිතවාදියා චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ මාලක දේවප්‍රියයි. එය ඔහුගේ කුලුඳුල් සිනමාපටයයි. සංගීත අධ්‍යක්ෂවරයෙක් ලෙසට සම්මානයට පාත්‍ර වූ දර්ශන රුවන් දිසානායකද චිත්‍රපටියක් නිර්මාණය කළේය. එය ගොවි තාත්තා යනුවෙන් නම් කොට තිබේ. ගොවි තාත්තා සමඟින් දර්ශන සිනමාවට එක්වූයේ සිනමා අධ්‍යක්ෂවරයෙකු ලෙසටය.

 නිලන්ත හපන්වීරගේ තේජා සිනමාපටය ඔහුගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණයයි. මීට කලකට ඉහතදී නිර්මාණය වූයේ එය තවමත් රිදී තිරයට ආවේ නැත. නීටා ප්‍රනාන්දු එහි ප්‍රධාන චරිතය නිරූපණයේ යෙදෙයි. කිත්සිරි හේවාගමගේ සිනමා අධ්‍යක්ෂවරයෙක් වන්නේ බැක් ටු ස්කූල් සිනමාපටය සමඟිනි. නිර්මාණය කරන්නට පටන් ගත් මොහොතේ සිට ඉතා ඉහළ ප්‍රචාරයක් ලැබූ එම සිනමාපටය ළඟදීම තිරගත වීමට නියමිතය. නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් ලෙස නමක් දිනා සිටින ධනුෂ්ක රේමන්ඩ් ප්‍රවේශමෙන් ඉන්න යනුවෙන් සිනමාපටයක් නිර්මාණය කොට තිබේ. මාධ්‍යවේදියකු, පුවත්පත් කර්තෘවරයෙකු ලෙස වැඩකරයුතු කරන ලලිත් රෝහිත එදිරිසිංහ නිර්මාණය කළ චිත්‍රපටය තට්ටු දෙකේ ඉස්කෝලේ යනුවෙන් නම් කොට තිබේ. සහය අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදන කළමනාකරුවකු සහ තිර රචකයෙකු ලෙසට කලා ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරන දීප්ති වගීෂාගේ කුලුඳුල් සිනමාපටය වන්නේ මිස්ට කපූ. කෙටි චිත්‍රපටකරුවෙකු ලෙස වඩාත් ප්‍රකට ෂර්ලි සමරසිංහද චිත්‍රපටයක් නිර්මාණය කෙරුවේය. පියාඹන්න ආයෙත් යනුවෙන් නම් කොට ඇති එය සමඟින් ඔහු සිනමා අධ්‍යක්ෂවරයෙක් බවට පත්වේ. හර්ෂණ වික්‍රමසිංහද අප ක්ෂේත්‍රයේ සිටින සහාය අධ්‍යක්ෂවරයෙකි. ඔහුගේ කුලුඳුල් සිනමාපටය වන්නේ හොරා අංකල්ය. හිතුමතේ ජීවිතේ නමින් චිත්‍රපටයක් නිර්මාණය කළේ ක්‍රිෂාන්ත මනම්පේරිය. එය ඔහුගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණයයි.

මංකි මෑන් යනුවෙන් වෙනස්ම සිනමාපටයක් අප තිරයට ගෙන එන්නේ තරිඳු දේශප්‍රිය තරුණ සිනමාකරු විසිනි. සෙවණැලි යනුවෙන් සිනමාපටයක් නිර්මාණ කළේ උදාර අබේසුන්දරයි. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු බවට පත්වන්නේ සෙවණැලි සිනමාපට නිර්මාණය කිරීමත් සමඟිනි. ගොඩමුන්න පරපුර අප සිනමා ක්ෂේත්‍රයට ආගන්තුක වන්නේ නැත. දම්මි ගොඩමුන්න චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. ඔහුගේ පුතණුවන් වන .ඉරාන් ගොඩමුන්න කුලුඳුලේ සිනමාපටයක් නිර්මාණය කරමින් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ලෙස අප ක්ෂේත්‍රයට එක් විය. ඔහු නිර්මාණය කළ චිත්‍රපටය රෝස රහසයි. වේදිකා නිර්මාණකරුවෙකු ලෙස ට වඩාත් ජනප්‍රසාදයක් ලැබූ සිසිල් ගුණසේකර මිගෙට්ටුවත්තේ නමින් සිනමාපටයක් නිර්මාණය කොට තිබේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ චරිත කතාව ඇසුරෙන් එය නිර්මාණය විය. නදීකා බණ්ඩාර නමැති යොවුන් අධ්‍යක්ෂවරිය සිනමාපටයක් නිර්මාණය කළාය. එය රතු සපත්තුව නමින් නම් කොට තිබේ. උදය ධර්මවර්ධන වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ නම් ගත් අධ්‍යක්ෂවරයෙකි. how i wonder what you are  නමින් ඔහු සිනමාපටයක් නිර්මාණයකරමින් සිනමා අධ්‍යක්ෂවරයකු විය. උදාන ෆොන්සේකා වෙනස්ම කතා තේමාවක් ඔස්සේ  train to kandy  නමින් සිනමාපටයක් නිර්මාණය කරන ලදී. එය ඔහුගේ කුලුඳුල් සිනමාපටයයි. සුරංග කටුගම්පොල පුතෙකුට නමින් සිනමාපටයක් අධ්‍යක්ෂණය කළේය. ජොබ්ලස් ඩග්ලස් නමින් සිනමාපටයක් නිර්මාණය කළේ සේනක නවරත්නයි. ටෙලි අධ්‍යක්ෂවරයෙක් ලෙස නමක් දිනා සිටින රන්ජන් ප්‍රසන්න විසංගමනය නමැති සිනමාපටයක් නිර්මාණය කළේය. එය අන්තර්ජාතික සිනමා උලෙළවල සම්මානයටද පාත්‍ර විය. හරිම ෂෝක් ලාල් දේවරත්නගේ කුලුඳුල් සිනමා නිර්මාණයයි. හම්ෆ්‍රි විජේසූරිය දඬුමොණරෙන් එනවෝ නමැති ළමා ළමා සිනමාපටයක් නිර්මාණය කළේය. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින චරිතයක් වූ දිලුක ප්‍රසාද් ගුණතිලකගේ කුලුඳුල් සිනමාපටය ස්පර්ශයි. අරුම පුදුම අපේ යාළුවෝ නැමැති චන්දන විජේකෝන් අධ්‍යක්ෂණය කළ ළමා සිනමාපටය ඔහුගේ කුලුඳුල් සිනමා නිර්මාණයයි. භද්‍රජී මහින්ද ජයතිලක වැහි දවස නමින් කලකට ඉහතදී සිනමාපටයක් නිර්මාණය කළේය. අනෝමානි රොඩ්‍රිගෝ කුලුඳුල් සිනමාපටය නම් කොට ඇත්තේ සදී යනුවෙනි. දිරිය දියණියකගේ කතා කතා පුවත රැගත් ආදරණීය දෝණි ඉසුරු කුරේගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණයයි.