වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
මම දන්න සිනමාකරුවො දාහතක් විස්සක් පමණ ඉන්නවා චිත‍්‍රපටය කරලා ඒක පෙන්වගන්න බැරිව ගෙදර තියාගෙන ඉන්න

අපිට සිදුවුණා බකමූණු ජීවන රටාවකට හැඩ ගැහෙන්න
මේ දිනවල තිරගත වන නයිට් රයිඩර් චිත‍්‍රපටයෙන් නවතම අධ්‍යක්ෂවරයකු දොරට වඩිනවා. ඔහු කසුන් පතිරණය. කලාව වෙනුවෙන් වැඩකරන්න බොහෝ දෑ හිතේ තියන් අත තියපු මුල්ම නිර්මාණය ගැන කතා කරන්න කසුන්ව සරසවිය අපි එකතු කර ගත්තා.
කසුන් නයිට් රයිඩර් දවාලේ දුවන්න පටන් අරන්?
ඇත්තටම කිව්වොත් ලොකු පීඩනයක ඉන්නේ. අපි හිතාගෙන හිටියේ චිත‍්‍රපටය කරන එක තමයි වැඬේ කියලා. ඒත් ඊට හාත්පස වෙනස් දැන් මුහුණ දෙන්න වෙලා තියෙන තත්ත්වය. චිත‍්‍රපටය හදනවට වඩා චිත‍්‍රපටය පෙන්නන එක තමයි තියෙන ලොකුම ප‍්‍රශ්නය. මෙය පළමු නිර්මාණය නිසා අපි චිත‍්‍රපටය පෙන්වීමේ ක‍්‍රමවේදය දැනගෙන හිටියේ නෑ. හදන්න වන මහන්සියට වඩා දහගුණයක මහන්සියක් වෙන්න ඕන චිත‍්‍රපටය පෙන්වන්න. සිනමා ශාලා හතළිහක පමණ මේ වෙලාවේ චිත‍්‍රපටය තිරගතවනවා. අවශ්‍ය ප‍්‍රචාරණ කටයුතු කරන්නවත් අවශ්‍ය පසුබිමක හෝ තත්ත්වයක නොවෙයි ලංකාව තියෙන්නේ. අභියෝග සියල්ල මැද්දේ මේ වෙලාවේ චිත‍්‍රපටය පෙන්වන එකයි අර්බුදය වෙලා තියෙන්නේ. අනෙක් අතට ජීවිතේ මුහුණ දෙන්න වුණු ලොකුම අභියෝගය මෙය කිව්වොත් හරි. කොහොම නමුත් එය යම්තාක් දුරට ජයග‍්‍රහණය කරගෙන යනවා අප වටා එකතුවුණු පිරිස නිසා.
මුහුණ දෙන්නවන අභියෝග සියල්ල පෙනී පෙනී මේ වගේ අභියෝගාත්මක කාලයක චිත‍්‍රපටය තිරගත කරන්න හිතුවේ ඇයි?
ඒ තීරණය ගන්න හේතු කිහිපයක් බලපෑවා. ප‍්‍රධානම හේතූව තමයි චිත‍්‍රපටය ප‍්‍රදර්ශනයට සූදානම් කරලා අවුරුදු දෙකක් පමණවනවා. ඒ කාලය තුළ මේ හා සමානවම අඩු වැඩි වශයෙන් රට තුළ ප‍්‍රශ්න තිබුණා. මේ ප‍්‍රශ්න සියල්ල නුදුරු අනාගතේ විසදෙයි කියන තැන සිට හිතන්න බැරි නිසා තව තවත් කල් දමන්නේ නැතිව චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කරන්න තීරණය කළා. අනෙක් කාරණය මෙය දේශපාලන තේමාවක් ඔස්සේ ගලායන චිත‍්‍රපටයක්. ඒ දේශපාලන මතවාදය ඉදිරියට ගෙනයන්න හොඳම අවස්ථාව මෙය කියලා රටේ මේ වනවිට වෙමින් පවතින දේශපාලන පරිවර්තන ඔස්සේ අප නිගමනය කළා. ඒ පරිවර්තනය තේරුම්ගත හැකි යම් ප‍්‍රවේශයක් මේ චිත‍්‍රපටය ඔස්සේ කතා කරනවා.
මෙය කසුන්ගේ පළමුවැනි සිනමා නිර්මාණය. කොහොමද පසුබිම සැකසෙන්නේ?
චිත‍්‍රපට නිර්මාණය කිරීමේ උණ තිබුණ යාළුවෝ කිහිපදෙනෙක් මා එක්ක සිටියා. කලණ ගුණසේකර, ජගත් මනුවර්ණ වගේ අපි කිහිප දෙනෙක් එකට චිත‍්‍රපට ගැන අධ්‍යයනය කළා. ඉගෙන ගත්තා. චිත‍්‍රපට කරන්න කලින් මම වෘත්තීය විදිහට තෝර ගත්තේ රූපවාහිනී දැන්වීම් නිර්මාණය කිරීම. මොකද චිත‍්‍රපටයකට ලොකු ප‍්‍රාග්ධනයක් අවශ්‍යයයි. මුලසිටම චිත‍්‍රපට නිර්මාණය වෘත්තීය විදිහට කරන්න තරම් ලංකාවේ ක‍්‍රමවේදයක් නැහැ. ප‍්‍රාග්ධනය හා මානව සම්පත් හොයාගන්න කාලයක් යනවා. වෙළෙඳ දැන්වීම් නිර්මාණය කිරීම තුළින් චිත‍්‍රපට නිර්මාණයට අවශ්‍ය තාක්ෂණික දැනුම හා මානව සම්පත් භාවිත කිරීම වගේ අඩුම කුඩුම ගැන යම් අවබෝධයක් ලබාගන්න හැකි වුණා. පසුව අපි තීරණය කළා දැන් අපි වැඬේට ලෑස්තියි කියලා.
කවුද මේ අපි කියන්නේ?
ඇත්තටම මම කැමැතියි මේ වැඬේ මම කළා කියනවට වඩා අපි කළා කියන්න. මේක මිතුරු කණ්ඩායමක් ඇතුළේ නිර්මාණය වුණ චිත‍්‍රපටයක්. ප‍්‍රධාන නළුවා කලණ ගුණසේකර, පිටපත් රචක ශ‍්‍රීනාත් චතුරංග, මේ දෙන්නා තමයි මාව චිත‍්‍රපටයක් කරන්න ඕනමයි කියන තැනට පෙලඹවූයේ. කැමරා අධ්‍යක්ෂ විශ්වජිත් කරුණාරත්න. ඔහුගෙත් අදහස වුණේ අපි හැමදාම වෙනත් අයගේ වැඩ කරනවා මේක අපේ දෙයක් විදිහට එළියට දාන්න ඕන කියලා. අජිත් කුමාරසිරි සහ නාමිනි චංචලා අපේ සංගීත අධ්‍යක්ෂකවරුන් දෙදෙනා. මේ අය අද වනතෙක්ම චිත‍්‍රපටයේ පිටුපසින් ඉදලා හැමදේටම ලොකු සහයෝගයක් දෙනවා. විශේෂයෙන්ම අපේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන සංස්කාරකවරයා ලෙස කටයුතු කළේ දමිත සාගර චන්ද්‍රසිරි. කූඹියෝ ටෙලි නාට්‍යයේ රචකයා සහ සංස්කාරකවරයා. චිත‍්‍රපටයේ සංස්කරණ කටයුතු සියයට අසූවක් පමණ නිමකර තියෙද්දි ඔහු අතුරුදන් වෙනවා. දමිතව මේ වෙලාවේ මිත‍්‍රත්වයේ ආචාරය එක්ක මම මතක් කරනවා. මේ චිත‍්‍රපටය පටන්ගත්ත තැන සිටම දමිත මේ වැඬේ හිටියා. ඔහු සංස්කාරකවරයෙක් විදිහට නොවෙයි මිත‍්‍රයෙක් විදිහටයි මට සහයෝගය දුන්නේ. අපි අවුරුදු තුනක් තිස්සේ තාමත් දමිතව හොයනවා. තාම හම්බුණේ නෑ.
චිත‍්‍රපටයක් නිර්මාණය කරනවා කියලා හිතුවට එය යථාර්ථයක් බවට පත්කරද්දී මොනවද මුහුණ දෙන්න වුණු අහියෝග?
චිත‍්‍රපටය නිර්මාණය කිරීම ඉතාම සුමට විදිහට කළා. මොකද මුල මැද අග පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් ඇතිවයි මෙය නිර්මාණය කරන්න අවතීර්ණ වුණේ. ඒ නිසා චිත‍්‍රපට නිෂ්පාදනය කරලා අවසන් කරන එක ලොකු අභියෝගයක් වුණේ නැහැ. ලොකුම අභියෝගය වුණේ මේ චිත‍්‍රපටය පෙන්වන්නේ කොහොමද කියන එක. අපේ පරම්පරාවේ මම දන්න සිනමාකරුවො දා හතක් විස්සක් පමණ ඉන්නවා චිත‍්‍රපටය කරලා ඒක පෙන්වගන්න බැරිව ගෙදර තියාගෙන ඉන්න. සමහර නිර්මාණ අවුරුදු හත අට පරණයි. චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කියන්නේ හරිම ගුප්ත වැඩක්. එයට නිශ්චිත ක‍්‍රමවේදයක් නැහැ. මම අවුරුද්දක පමණ කාලයක් ෆිල්ම් සර්කිට් ඇතුළේ රස්තියාදු වෙමින් හිටියා මේ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කරගන්න. අදාළ අය කියන්නේ ලයිනප් එකක් තියනවා අවුරුදු දෙකකට විතර ඒ නිසා චිත‍්‍රපටය ගන්න බෑ කියලා. කවුරුත් දන්නේ නෑ ඒ ලයිනප් එක හැදෙන ආකාරය. චිත‍්‍රපටය හදනවාට වඩා පෙන්වන එකයි අභියෝගය. අත උස්සලා ස්තූතියි කියන්න ඕන එම්පීඅයි ආයතනයට. අනෙක් සියලූම දෙනා මේ වෙලාවේ චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කිරීම ප‍්‍රතික්ෂේප කරනවිට ඔවුන් මේ වෙනකම් අපිට සම්පූර්ණ සහයෝගය ලබා දෙමින් ඉන්නවා. අපි උත්සාහ කරනවා අපිට ලැබුණු මේ අවස්ථාව ඔස්සේ එළියේ ඉන්න අලූත් නිර්මාණකරුවන්ගේ චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කිරීමට අවශ්‍ය ක‍්‍රමවේදය නිර්මාණය කරන්න. ඒ ඔස්සේ තරුණ සිනමාවක පිබිදීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
ඔබේ ප‍්‍රථම සිනමා නිර්මාණයෙන්ම දේශපාලනය වැනි තේමාවක් කතා කරන්න හිතුවේ ඇයි?
තරුණ්‍යයේ තියෙන ජවය තමයි උත්තරය. (සිනාසෙමින්) එයම හරි සුන්දරයි. මොනවා වෙයිද කියලා හිතන්නේ නෑ. ඒ ඒ වෙලාවට මොකද්ද හරියි කියලා හිතට එන්නේ ඒ දේ කරනවා. අපි චිත‍්‍රපට රසිකයෝ විදිහට ලංකාවේ චිත‍්‍රපට ගෙන බැලූවොත් ඒවා අතරින් අප ආස කරන චිත‍්‍රපට බලන්න ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. අපි හිතන විදිහට හිතන පරම්පරාවට නිර්මාණ කරන්න ඕන චිත‍්‍රපට හදන්න ඕන කියන තැන ඉදලයි මේ නිර්මාණය කරන්නේ. සමහර මාධ්‍ය ආයතන චිත‍්‍රපටයේ අන්තර්ගතය හා රටේ පවතින තත්ත්වය හමුවේ චිත‍්‍රපටය ප‍්‍රතික්ෂේප කරනවා. ඇතැම් ආයතනවලින් දැඩි බලපෑම් ඇවිත් තියෙනවා. පෞද්ගලික සිනමා අධ්‍යක්ෂකවරුන් හා සිනමා නිෂ්පාදකවරුන් වගේම ප‍්‍රදර්ශනය ආයතන බලපෑම් කරමින් යනවා. ප‍්‍රචාරණ වැඩපිළිවෙළට බලපෑම් කරනවා. ඒ සියල්ල මැද්දේ චිත‍්‍රපටය පෙන්වනවා.
චිත‍්‍රපටය නිකම්ම ප‍්‍රදර්ශනය කරලා බැහැනේ මේක බලන්න පේ‍්‍රක්ෂකයා එන්නත් ඕන. තරුණ කණ්ඩායමක් විදිහට මොනවද ඒ වෙනුවෙන් හදාගත් සැලසුම් හෝ ක‍්‍රමවේද?
සාමාන්‍ය ක‍්‍රමවේදයෙන් ඔබ්බට යමින් පොදුජන ප‍්‍රවේශයක් ඔස්සේ දැනුම්වත් කරන්න අපි උත්සාහ කළා. පසුගිය සතිය තුළ ලැබුණු අත්දැකීම් ඔස්සේ කියන්න පුළුවන් එය සාර්ථක ප‍්‍රයත්නයක් කියලා. ප‍්‍රධාන වශයෙන් චිත‍්‍රපටයේ ප‍්‍රචාරණ කටයුතු සඳහා භාවිත කරන්නේ සමාජ මාධ්‍ය. ලොකු වියදමක් කරලා කරන ප‍්‍රචාරණයට වඩා අවංක හැඟීමෙන් කරන ඉල්ලීමට හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ අපි ඉල්ලීම් කරා අපි එක්ක එකට එකතුවෙලා මේ චිත‍්‍රපටය බලන්න එන්න කියලා. එයට හොඳ ප‍්‍රතිචාර තිබුණා.
වර්තමානයේ ඇතැම් සිනමාපට ලංකාවේ තිරගතවෙන්නත් කලින් විදේශ රටවල ප‍්‍රදර්ශනය කරනවා. ඇතැම් චිත‍්‍රපට ලංකාවේ පෙන්නලා වෙනත් රටවල ප‍්‍රදර්ශනය කරනවා. නයිට් රයිඩර් විදේශයන්හි සිටින පිරිසට නරඹන්න හැකිවෙයිද?
අපේ ප‍්‍රධානම අරමුණ මේ චිත‍්‍රපටය ලංකාවේ මිනිස්සුන්ට පෙන්වන එක. අපි වැඩි ප‍්‍රමුඛතාවයක් දුන්නේ ඒ වෙනුවෙන්. ලංකාවේ මේ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනයත් එක්ක අපිට ආරාධනා ලැබිලා තියෙනවා වෙනත් රටවල පෙන්වන්න කියලා. අගෝස්තු මාසයේ ඕස්ටේ‍්‍රලියාවේ සංචාරයක් සඳහා සූදානමින් ඉන්නවා. එරට සිටින ලාංකිකයන්ට චිත‍්‍රපටය පෙන්වීමට. ඒ වගේම ඉතාලිය ප‍්‍රංශය වගේ රටවලින් ආරධනා ලැබිලා තියෙනවා. ඒ වගේම ඇමරිකාව ඇතුළු යුරෝපයේ රටවල තිබෙනවා චිත‍්‍රපට ඉදිරිපත් කිරීම සඳහා වෙන්දේසි. ඒ වෙන්දේසියේ ප‍්‍රදර්ශනයෙන් පසු ඒ රටවල ෆිල්ම් ඩිස්ට‍්‍රිබියුටර්ස්ලා ඇවිත් චිත‍්‍රපට මිලදි ගන්නවා. ඒ සඳහා වැඩපිළිවෙළක් මේ වනවිට නිර්මාණය කරලා තියෙනවා. ඒ හරහා ලංකාවේ චිත‍්‍රපටවලට විදේශීය වෙළඳපොළ හඳුන්වා දෙන්න අපි උත්සහයක් දරනවා.
මෑත කාලයේ චිත‍්‍රපට බොහොමයක් දෙමළ පිටපත එක්කයි නිර්මාණය වුණේ. නයිට් රයිඩර් චිත‍්‍රපටත් දෙමළ පිටපතක් තියෙනවාද?
හෙට සිට දෙමළ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කරනවා. යාපනය,හැටන්, මඩකලපුව, වැල්ලවත්ත ප‍්‍රදේශ ඇතුළු සිනමාශලා විශාල ප‍්‍රමාණයක දෙමළ පිටපත ප‍්‍රදර්ශනය කරනවා. ලංකාවෙන් පිට දෙමළ වැඩි ජනගහනයක් සිටින කැනඩාව, නෝර්වේ, ස්වීඩන් වගේ රටවල ප‍්‍රදර්ශනය කරන්න බලාපොරොත්තුවනවා.
ඉන්දියන් කෝටි හාර පන්සියය වියදම් කරලා තමිල්නාඩුවේ නිමැවෙන දෙමළ චිත‍්‍රපටවලට මේසා ඉල්ලූමක් තියෙද්දි ඒ අතරට එන සිංහල චිත‍්‍රපටයක දෙමළ පිටපත ලංකාවේ දෙමළ පේ‍්‍රක්ෂකයා භාරගනියිද?
සිංහල චිත‍්‍රපටයක් කරලා ඒක දෙමළ භාෂාවට හඬකැවීමෙන් පමණක් දෙමළ ඕඩියන්ස් එකට ඒක අල්ලගන්න පුළුවන් කියලා හිතන එක තුළම අපි අසාර්ථකයි. ඒ ඕඩියන්ස් එක හොයන රසය වෙනස්. සිංහල ඕඩියන්ස් එකයි දෙමළ ඕඩියන්ස් එකයි පරාස දෙකක තියෙන්නේ. නමුත් අපි නයිට් රයිඩර් නිර්මාණය කරනවිටම හිතුවේ යුනිවර්සල් අදහසකින්. මෙය එක ජනවර්ගයකට නිර්මාණය කළ නිර්මාණයක් නොවෙයි. ලෝකයේ ඉන්න ඕනෑම මිනිහෙකුට සමපාත වෙන්න පුළුවන් අදහසකින් කළ චිත‍්‍රපටයක්. සිංහල දෙමළ භේදයකින් තොරව මේ සංස්කෘතික රාමුව තුළ අපි එකතුවෙලා නිර්මාණ රසවිඳිය යුතුයි කියලා විශ්වාස කරලා කරපු නිර්මාණයක්. මේක අත්හදා බැලීමක් විදිහට කළේ. දන්නේ නෑ කොයිතරම් දුරට සාර්ථක වෙයිද කියලා.
රැයවල් දහසක් පුරා සිදුවුණු සිදුවීම් හෝ කතන්දර රැයක් පුරා දිවෙන කතාවක් බවට පත්කිරීමේ අත්දැකීම කොහොමද?
මේ චිත‍්‍රපටය සම්පූර්ණයෙන්ම රූගත කිරීම් කළේ රාත‍්‍රී කාලයේ. අපිට සිදුවුණා බකමුණූ ජීවන රටාවකට හැඩ ගැහෙන්න. අපි වැඩ පටන්ගන්නේ හැන්දෑවේ හයට. ඉවර කරන්නේ පහුවදා උදේ හයට. චිත‍්‍රපටය නිම කරලත් දවල් කාලය හා රාත‍්‍රී කාලය හොයාගන්න ටික දවසක් ගත වුණා. ඒ තරමට රාත‍්‍රීය දහවල වී තිබුණා.
රූගත කිරීම් අතරතුර වුණු රසකතා නම් බොහොමයි. එක දවසක් රූගත කිරීම් ඉවරවෙලා ඔක්කොම පටවගෙන නයිට් රයිඩර් වාහනේම පාන්දර හයට විතර කට්ටිය එද්දි තුම්මුල්ලෙදි පොලිසියෙන් වාහනේ නතර කළා. වාහනේ පදවාගෙන ආවේ කලණ ගුණසේකර. ඇවිත් තියෙන්නේ රෙඞ් ලයිට් එකේ. පොලිසිය හිතුවේ නයිට් ක්ලබ් ගිහින් එනවා කියලා. මම පැහැදිලි කළා ඒ නිලධාරීන්ට අපි චිත‍්‍රපටයක් රූගත කිරීම් ඉවරවෙලා එන්නේ කියලා මම ඊට අදාළ ලියකියවිලි පෙන්නුවා. ඔවුන් කිව්වා නයිට් රයිඩර් කියලා චිත‍්‍රපටය විතරක් කරන්න ඒ විදිහට පාරේ යන්න බැහැ කියලා.
සිනමාශාලාවට එන පේ‍්‍රක්ෂකයාව චිත‍්‍රපටය පුරා ඇද බැඳ තබා ගන්නත් මේ නිර්මාණය පේ‍්‍රක්ෂකයාට මතක හිටින අත්දැකීමක් බවට පත් කරන්නත් මොනවද නිර්මාණයට එකතු කළේ?
මේ චිත‍්‍රපටයේ චරිත සාමාන්‍ය සමාජයෙන් ඉහළ තියෙන සරුංගල් වගේ චරිත නොවෙයි. පොළොවේ ඉන්න එදිනෙදා අත් දකින සමාජයේ වන සිදුවීම්වලට මුහුණදෙන සාමාන්‍ය ජන ජීවිතයේ චරිත. සාමාන්‍ය සමාජයේ ඕනෑම පුද්ගලයෙකුට අත්විදින්න පුළුවන් සිදුවීම්. මෙහි ප‍්‍රධාන චරිතය සාමාන්‍ය ගමෙන් කොළඹට ආපු සාමාන්‍ය ටැක්සි ඩ‍්‍රයිවර් කෙනෙක් වටා ගෙතෙන්නේ. එහෙම චරිත මේ මහපොළොවේ ඕනෑ තරම් තියෙනවා. මිනිස්සු වැලඳගනියි කියලා විස්වාස කරන්න පුළුවන්. මොකද මෙය ජන ජීවිතයට සමීපයි.
නයිට් රයිඩර් කියන්නේ ලෝක ප‍්‍රසිද්ධ නමක්. ඒ නම චිත‍්‍රපටයට යොදාගැනීම ගැටලූවක් වුණේ නැද්ද?
නම දාන්න බලපෑම ආවේ අපේ යාළුවෙක්ගෙන්. මෙය ? පුරා දිවෙන කතාවක් නිසා නයිට් කියන වචනය අවශ්‍ය වුණා දාන්න. එය වාහනයක් එළවන රියදුරෙකු හා සම්බන්ධ එකක් නිසා රාත‍්‍රී ධාවකයා කියන අදහසින් නයිට් රයිඩර් කියන නම චිත‍්‍රපටයට දැම්මා. අපි දන්න රූපවාහිනීයේ විකාශය වුණු නයිට් රයිඩර් නයිට් කියන මිනිසා සහ එයා රයිඩර් කෙනෙක් වීම නිසයි ඒ නයිට් රයිඩර් නම හැදෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕන මෙය ප‍්‍රහෙලිකාවක් වගේ චිත‍්‍රපටයක් ඒක ලෙහා ගන්න නම් අවසානය තෙක් බලන්න වෙනවා. ඒ සඳහා අපි පොඩි පොඩි ඉඟි ටිකක් දීලා තියෙනවා. එය ඉතා හොඳ ගවේෂණශීලී පේ‍්‍රක්ෂකයෙක්ට තෝරාබේරා ගත හැකියි. එහෙම පේ‍්‍රක්ෂකයෝ අපට හමුවුණා. අපි ඉදිරියේදී බලාපොරොත්තුවනවා ඒ ඉඟි හඳුනාගන්න පේ‍්‍රක්ෂකයන්ට තරඟයක් තියලා අගයන්නට.
කවුද මේ කසුන් පතිරණ කියලා දැනගන්න පේ‍්‍රක්ෂකයෝ කැමැතිවෙයි?
ඉතාම ආදරණීය තාත්තා කෙනෙක්. මේ වෙලාවේ මට විශාල වශයෙන් මඟ හැරෙනවා මගේ අවුරුදු පහේ පුතයි මාස හතරක දුවයි. නයිට් රයිඩර් කියන්නෙත් මම හදපු දරුවෙක් නිසා ඒ ගැනත් මේ මාස දෙක තුන අරගෙන බලන්න හිතුවා.
ඉදිරියේදී චිත‍්‍රපට කරනවාද? මොනවද බලාපොරොත්තු?
චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කියන බාර¥ර කටයුත්ත මේ වෙලාවේ අපි තේරුම් ගනිමින් ඉන්නවා. මේ එකතුවුණු අපේ කණ්ඩායම බලාපොරොත්තුවෙන් ඉන්නවා චිත‍්‍රපට නිෂ්පාදනය කියන කාර්යය කරන්න අවශ්‍ය කරන සමාගමක් නිර්මාණය කරන්න. ඉස්සරහට එන්න ඉන්න තරුණ සිනමාකරුවන්ට හා දැනටම කරලා ප‍්‍රදර්ශනය කරන්න බැරිවුණු චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කරන්න අවශ්‍ය කරන පදනම හදන්න. දැනට තියෙන ප‍්‍රශ්න බොහොමයකට පිළිතුරු සොයාගන්න එවිට හැකිවේවී.
සේයාරුව-නිශ්ශංක විජේරත්න