සියවසකට පෙර තැටියට නැඟුණු “සාන්ත ජෝන්ගේ වීදියේ කඩේ”

ජූලි 15, 2021

 

“සාන්ත ජෝන් ගේ වීදියේ කඩේ - මාළු වෙළෙඳාම, මාළු වෙළෙඳාම” ඔබට ඉතා හුරු පුරුදු මේ ගීතය දෙසවන වැකෙත්ම නිතැතින්ම මතකයට නැඟෙන්නේ වේදිකාවේ මේ ගීතය ගයමින් දශක ගණනාවක් ඔබ අප පින වූ නොබෝදා ජීවන රඟමඬලින් සමුගත් ප්‍රවීණ රංගධර ආචාර්ය ජයලත් මනෝරත්න සූරීන්ය. එතුමා විසින් දශක ගණනාවක් වේදිකාවේ, පුංචි තිරයේ ජීවය ලබා දුන් මෙම ගීතයට ශතවර්ෂාධික කාලයක ඉතිහාසයක් තිබෙන බව ඇසුවොත් ඔබ පුදුම වනවා නිසැකය. එසේම, ශතවර්ෂාධික කාලයක් විවධ ගායක ගායිකාවන් අතින් ගැයුණු- වැයුණු මේ ගීතය කාලාන්තරයක් තිස්සේ විවධ වෙනස්කම්වලට භාජනය වෙමින් කොටස් ඉවත් වෙමින් නව කොටස් ඇතුළු වෙමින් වත්මනහි අපට දක්නට ලැබෙන පද රචනාවන්ට ඉඳුරාම වෙනස් පදරචනයක් මුල් ගීතයෙහි දක්නට ලැබේ. අද මා මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ ශතවර්ෂයකට ප්‍රථමයෙන් ග්‍රැමොෆෝන් තැටියකට නැගුණු එකී මුල් ම “සාන්ත ජෝන් ගේ වීදියේ කඩේ” ගීතයේ ඉතිහාස කතාවයි. ඔබේ කියැවීම් පහසුව තකා මෙම ලිපිය අනුමාතෘකා ත්‍රිත්වයක් යටතේ පිඬු කිරීමට අදහස් කළෙමි.

(1) “සාන්ත ජෝන් ගේ වීදියේ කඩේ” පිළිබඳ ඉතිහාසය.

(2) තැටියට නැඟුණු මුල්ම “සාන්ත ජෝන් ගේ වීදියේ කඩේ“ ගීතය සහ එහි මුල් පදරචනය සහ මුල් ගායකයා.

(3) “සාන්ත ජෝන් ගේ වීදියේ කඩේ” ගීතයේ පදරචනාවේ සහ ගායනයේ දක්නට ලැබෙන වෙනස්කම් . වශයෙනි.

 

(1) “සාන්ත ජෝන් ගේ වීදියේ කඩේ” පිළිබඳ ඉතිහාසය :

“සාන්ත ජෝන් මාළු වෙළෙඳපොළ” හෝ “සාන්ත ජෝන් මාළු මාර්කට්ටුව” අදටත් බොහෝ දෙනා අතර ප්‍රචලිත නාමයකි. එහෙත් ඇත්තෙන්ම මෙහි විකිණුවේ මාළු පමණක් ද? මාළු වෙළෙඳපොළක් ලෙස මෙය අතීතයේ ප්‍රසිද්ධ වූයේ කෙසේද? ආදී කරුණු සලකා බැලීමේදී අප හට සොයාගත හැකි වූ කරුණු කීපයකි. මෙම සාන්ත ජෝන් පැරැණි මාළු වෙළෙඳපොළ තිබී ඇත්තේ කොළඹ පිටකොටුවේ එවකට වැල්ලේ බඩු ගබඩාවකට ගමන් කරන ගේට්ටු දෙකට මුහුණ ලා එදා “වැල්ල වීදිය” නොහොත් “රෙක්ලමේෂන් වීදිය” මධ්‍යයෙහි ය. වර්තමානයේ එන්.එච්.එම්.අබ්දුල් කාදර් මාවත. මෙය එකල හඳුන්වන ලද්දේ “සාන්ත ජෝන් ගේ වීදියේ කඩේ” යනුවෙන් ය. මෙහි ආරම්භය ක්‍රි.ව 1810 පමණ අතීතයකට දිවෙන අතර, ඉංගිරිසින් මෙරට අත්කරගත් පසු බ්‍රිතාන්‍ය කිරීටය යටතේ ඉංගිරිසි ආණ්ඩුව විසින් වර්ෂ 1894 දී පමණ මෙය “මාළු වෙළෙඳපොළක්” ලෙස නම් කරන ලදී. ප්‍රධාන වශයෙන් කොළඹ වරායෙන් ගෙනෙන අලුත් මාළු මේ වෙළෙඳපොළෙහි වැඩි වශයෙන් අලෙවි වුවත් එළවලු, පලතුරු ආදිය ද මෙහි අලෙවි වූ බව සැලකේ.

 

(2) තැටියට නැඟුණු මුල්ම “සාන්ත ජෝන් ගේ වීදියේ කඩේ“ ගීතය සහ එහි මුල් පදරචනය සහ මුල් ගායකයා

“සාන්ත ජෝන් ගේ වීදියේ කඩේ” ගීතය තැටියට නැඟීමට පෙර, එනම් 1910 පමණ වකවානුවේ දී, එවකට ජනප්‍රිය නුර්ති සහ නාඩගම් නළුවෙකු වූ ජෝගී පෑලිස් අප්පුහාමී විසින් ”මාළු වෙන්දේසිය” නම් ගීතයක් තැටිගත කර ඇත. නමුත් “සාන්ත ජෝන්ගේ මාළු වෙළෙඳපොළ” ගැන කියවෙන මේ ගීතය පළමු වරට ග්‍රැමොෆෝන් තැටියට නැගුණේ වර්ෂ 1914 දී GRAMOPHONE CONCERT RECORD නම් ලේබලය යටතේ GC  8-12252 අංකයෙනි. කෙසේ වෙතත් මෙම තැටි නිෂ්පාදනය මෙරටට ප්‍රවාහනය කරන වකවානුවේ දී පළමු ලෝක සංග්‍රාමය ඇති වූ නිසා මෙකී ගීත තැටි තොග නෞකා මඟින් ප්‍රවාහනය ඇණ හිටියේ ය. එබැවින්, මේ කාලයේ උක්ත ග්‍රැමොෆෝන් ලේබලයෙන් තැටිගත කළ බොහොමයක්ම ගීත නැවතත් HMV  ලේබලයෙන් වෙනම අංක ශ්‍රේණියක් යටතේ නිකුත් විය. ඒ අනුව, වර්ෂ 1916 ජනවාරි මාසයේදී පමණ HMV  තැටි අංක M‍m  827 අංකය යටතේ කල්කටාවේ දී නිෂ්පාදිත HMV  ලේබලයෙන් මෙම ගීතයේ ප්‍රතිනිකුතුවක් වෙළෙඳපොළට එකතු විය. නමුත්, එම තැටි ලේබලයේ මුල් ට්ඛ් 8-12252 අංකය තැටි සමාගම මුද්‍රණය කරන ලද්දේ එකී මුල් තැටියේ මුල් පිටපතින් (MASTER COPY) මෙම ගීතය නැවත තැටිගත කළ බැවිනි.

මෙම මුල් ගීතයේ පදමාලාව පහත පරිදි වේ.

 

සාන්ත ජෝන් ගේ වීදියේ කඩේ

මාළු වෙළඳාම - ඒ මාළු වෙළඳාම

සාන්ත ජෝන් ගේ වීදියේ කඩේ..

 

සෑම ජාති මාළු ගන්ඩ//

සෑම ජාති මිනිස්සු එන්ඩ//

සවසා දෙකේ සිටලා රෑ//

නවය දහය පසුවනතුරු //

 

*රන්වන් තෝරන්- මුහුදු ඌරන්-

මෝරුන්- කෙළවළු//

හොඳ බලයින් -ඇට නගුළන් //

බොහෝ ලාභය බොහෝ විකිණේ //

 

සාන්ත ජෝන්ගේ වීදියේ කඩේ....

 

සාල -හුරුළු -කකුළු -පරව්//

කඩවළු-ඇටවළු -බෝ ලොකු තෝරු //

මඩුවොත් අරන් ඔරු ගොඩබිම //

දිග මාළුන් මේ ගොඩ තියමින //

 

*ඉස්සන් -කොස්සන්-

පොඩි හාල්මැස්සන් -කුණිස්සන් //

හා දෙන්නම් පාටින් නම්

හක්බෙල්ලන් උදේ පටන් //

 

නෙක නෙක දිග රන්පාටැති

නන් නන් මාළුන් මෙහි ඇති //

ගෙන යන උන් පොරබදිමින්

හොඳ සැටි මත් වී පාරේ //

 

*ලොකු ලොකු පෙති තක්කලි හොඳ ගානේ

දෙල් දෙල් කියමින් //

හොර වෙළඳම් කළ වෙළඳුන් මෙහි

නැත දැක ගන්නේ //

 

සාන්ත ජෝන්ගේ වීදියේ

කඩේ....

 

මාළු කඩේ වටේ ගෑණු

පාලු නොවී හිඳීනු පේනු //

 

එළවළු - මිරිස්- බටු -බණ්ඩක්කා //

බුලත්- පුවක් -කොහිල ද මෙ ගුණ //

 

*කජු -අඹ -දඹ -ගොන් කැකිරි ද -

පොල් -රට දෙල් -මයියොක්කා //

රට ලබු -වම්බටු -කරපිංච ද -

සේර ද විකුණන්නේ //

 

සාන්ත ජෝන්ගේ වීදියේ කඩේ....

 

* තාලය දෙගුණ කොට ගැයේ (උරුට්ටුව)

 

මේ ගීතයේ පදමාලාව අනුව එවකට සාන්ත ජෝන් ගේ මාළු වෙළෙඳපොළෙහි පැවැති ජංගම ස්වභාවය, එවකට වෙළෙඳුන් විසින් අලෙවි කරන ලද මාළු වර්ග, වෙසෙසින්ම හක් බෙල්ලන්, මුහුදු ඌරන් ආදී දැනට මාළු වෙළෙඳපොළෙහි සුලභ නොවන දේ ද, ගොන් කැකිරි, ලොකු රතු පෙති තක්කාලි (වල් දර්ශය) ආදි දැනට සුලභව හමු නොවන එදා වෙළෙඳපොළෙහි සුලභව පැවැති එළවළු ආදිය පිළිබඳ තොරතුරු ද මෙකී පදමාලාවේ අන්තර්ගත වේ.

 

මේ ගීතයේ ගී තනුව නිමවා ඇත්තේ රාග තානාලංකාර බෙහෙවින් යොදාගෙන බැවින් ආධුනික ගායකයෙකුට එහි සංකීර්ණත්වය ඇත්ත වශයෙන්ම අභියෝගයකි. ද්‍රෑත ලයෙන් පිහිටුවා, හින්දුස්ථානි ඛෙම්ටෝ තාලය තුළ ද, ද්විගුණයෙන් අතරමැදි ඛණ්ඩ ගායනා කළ යුතු වීම බොහෝ පළපුරුදු ගායකයෙකුට පමණක් කළ හැක්කකි. නාඩගම් ශෛලියේ මෙය හඳුන්වන්නේ “උරුට්ටුව” යනුවෙනි. එනම් තාලය දෙගුණ කොට ගැයීම ය. නාඩගම් ගායනා ශෛලිය පළපුරුදු අයෙකුට මෙම ගීතය ගායනා කිරීම පහසු ය. මෙම තනුවේ ආරෝහණ අංගය හිංදුස්ථානි බිහාග් රාගයේ සේයාවක් ඉඟිකරයි. ෂඩ්ජය ගාන්ධාරයෙහි පිහිටුවා ඇත ((E major)). එවකට(1914-1925) නුර්ති සහ නුර්ති නොවන ගීත ඇතුළත් බොහෝ GRAMOPHONE CONCERT සහ HMV  ලේබලයෙන් නිකුත් වූ තැටිවල පමණක් එකී ගීතය ගැයෙන හින්දුස්ථානි රාගය සහ තාලය හෝ වෘතය ඉංගිරිසි බසින් මුද්‍රණය කිරීම සිරිතක් විය. මෙම ගීතය අන්තර්ගත තැටි ලේබලයේ ද, “WHERAH“ යනුවෙන් මුද්‍රණය කර ඇති නමුදු එය ව්‍යවහාරයේ දැනට පවතින කිසිදු හින්දුස්ථානි හෝ කර්ණාටක රාගයකට හෝ තාලයකට සම්බන්ධ නොවේ. එය බොහෝවිට එවකට නාඩගම් සඳහා භාවිත කළ පැරැණි, අප්‍රකට කර්ණාටක වෘතයක් යැයි අනුමාන කළ හැකි ය. මෙම ගීතය තැටිගත කරන ලද්දේ එවකට සිංහල නාඩගම් මෙන්ම නුර්ති වේදිකාවේ ද, ජනකාන්ත නළුවෙක් විසිනි. එබැවින් එය නියම නාඩගම් ශෛලියට අනුගතව ගායනය වූ බවක් පෙනේ. එසේම වාද්‍ය භාණ්ඩ ලෙස, මද්දලය හෝ විවෘතව වාදනය කෙරෙන තබ්ලාව සහ ෆුට්බැලෝ හාර්මෝනියම් භාවිත කර ඇති බවක් පෙනේ.

 

මේ ගීතය ගායනා කළේ එවකට සිටි සුප්‍රසිද්ධ සහ ජනකාන්ත නුර්ති සහ නාඩගම් නළුවෙකු වූ “සේදවත්තේ වෙළුම් පෙරේරා” නොහොත් “එච්. ඩබ්ලිව් පෙරේරා” මහතා විසිනි. වර්ෂ 1870 කොළඹ සේදවත්තේ උපන් වෙළුම් පෙරේරා මහතා වර්ෂ 1896 පටන් සිංහල නාඩගම් වේදිකාවේ ද, වර්ෂ 1900 පටන් ජෝන් ද සිල්වා මහතා ගේ “ආර්ය සුබෝධ නාට්‍ය සභාවේ” ද, “විජය රංග සභාවේ” ද, පසුව 1911 පටන් මරදානේ කොළඹ “ආර්ය සිංහල නාට්‍ය සභාවේ” ද ජනකාන්ත නළුවෙක් විය. දැනට මවිසින් සොයාගෙන ඇති දත්ත අනුව ග්‍රැමොෆෝන් තැටියකට සිංහල ගීතයක් පළමුව තැටිගත කොට ඇත්තේ මෙතුමාගේ හඬිනි. ඒ 1906 දී පමණ ජර්මනියේ නිෂ්පාදනය කළ INTERNATIONAL TALKING MACHINE, ODEON ලේබලයෙනි. මෙම තැටි ලේබලයට මෙතුමාගේ ගීත තිහකට ආසන්න සංඛ්‍යාවක් 1906-14 කාලය තුළ තැටිගත කර ඇති අතර, වර්ෂ 1912-14 කාලයේ ජර්මනියේ බර්ලින්හි සමාගමක් විසින් මෙරටට මුල්වරට හඳුන්වා දුන් /HEYWA  ලේබලයට ද මුලින්ම ගීතයක් තැටිගත කර ඇත්තේ මෙතුමාගේ හඬිනි. එසේම ODEON (1923-31 කාලයේ මෙතුමා ගීත තිහක් පමණ මෙම ලේබලයට ද ගයා ඇත), GRAMOPHONE CONCERT RECORD  සහ HMV  (1925-1934 පමණ කාලය දක්වා මෙතුමාගේ ගීත හතළිහකට ආසන්න සංඛ්‍යාවක් මෙම ලේබල දෙකෙන් ද නිකුත් වී ඇත). වර්ෂ 1942 දී මෙතුමා කාලයාත්‍රා කළේ ය. රාමායණය, උත්තර රාමායණය , දුටුගැමුණු, විදුර, නාගානන්ද, වෙස්සන්තර,පද්මාවති, පරාභව ප්‍රකරණය, මරණානුස්සති ප්‍රකරණය, වීර අලකේශ්වර චරිතය, සිරිසඟබෝ, පරංගි හටන ආදී ජෝන් ද සිල්වා සහ චාල්ස් ඩයස් මහත්මාවරුන් ගේ නුර්ති රැසකම මෙතුමා රංගනයෙන් දාකය විය.

(3) “සාන්ත ජෝන් ගේ වීදියේ කඩේ” ගීතයේ පදරචනාවේ සහ ගායනයේ දක්නට ලැබෙන වෙනස්කම්

මෙම ගීතය ඉයුජීන් / බැලසන්ත ආදී නාඩගම්වලට ඇතුළත් වූ බව සඳහන් වුවත්, එකී නාඩගම් පිටපත් පිරික්සූ විට මෙවැනි ගීතයක් එකී මුල් නාඩගම් පිටපත්වල දැකිය නොහැකිය. එබැවින් අන්තර්ජාලය ඇතුළු කොට බොහෝ ස්ථානවල මෙය නාඩගම් ගීතයක් බව සඳහන් වුවද, ඒ කවර නාඩගමක දැයි පෙන්වන්නට පැහැදිලි හෝ පිළිගත හැකි සාක්ෂ්‍යයක් නොමැත. එහෙත් පසුකාලීනව ජයලත් මනෝරත්න සහ නිශ්ශංක දිද්දෙණිය ආදී මහත්මාවරුන් වේදිකාවේ ගැයූ “සාන්ත ජෝන් ගේ වීදියේ කඩේ” ගායනයේ පදරචනාව පහත පරිදි වේ.

 

සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ//

මාළු වෙළඳම මාළු වෙළඳාම

සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ

 

මාළු කඩේ වටේ ගෑණු

පාළු නැතුව ඉඳීති පේනු...//

සවස දෙකේ සිටලා රෑ//

නවය දහය පසුවෙන තුරු//

ඉස්සන් කූනිස්සන් හාල්මැස්සන්

පොකිරිස්සන් යස//

හොඳ බලයන් ඇට නඟුලන්

බෝ ලාබෙට බෝ විකිණේ//

 

සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ//

මාළු වෙළඳම මාළු වෙළඳාම

සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ

 

**මෙව්ව ගන්ඩ තම්බිලා තම්බි

අප්පුල ආයල සිඤ්ඤෝල ...//

බොහොවු ජාති දෙමළ ඉංග්‍රීසි//

තූපහින්ද අරාබි එති//

 

නෙක නෙක දිග රන්පාටැති

නන් නන් මාළුත් විකිණෙති...//

රටලබු වම්බටු කරපිංච ද

සේරද විකුණන්නෙය...//

 

**සිරිලක සොඳ සිංහල ගරු

විද්වත් නාමෙට ගෞරව

මේ පද බැන්දේ සතොසින්

ඒ ජෝසප් ඇන්ඩෘ ය මම //

 

සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ//

මාළු වෙළඳම මාළු වෙළඳාම...

සාන්ත ජෝන්ගෙ සාන්ත ජෝන්ගෙ

සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ...

 

**මෙම කොටස් මුල් ග්‍රැමොෆෝන් ගීතයේ අන්තර්ගත නොවේ.

 

මේ මුල් ගීතයේ රචකයා කවුරුන් ද යන වග ගීත තැටි ලේබලයේ සඳහන් නොවේ. එසේම “ජෝසප් ඇන්ඩෘ” යන තැනැත්තෙක් මෙම ගීතය රචනා කළ බවක් මනෝරත්න මහතා විසින් ගායනා කරන ලද පද රචනාවේ සඳහන් වෙයි. “ජෝසප් ඇන්ඩෘ“ යන පුද්ගලයා කවරෙක් ද යන්න සෙවීමේදී, ක්‍රි.ව. 1846 දී මොරටුවේ උපත ලද සුප්‍රසිද්ධ නාඩගම් කතුවරයෙක් වූ “ජෝසප් ඇන්ඩෘ ප්‍රනාන්දු” නොහොත් “අන්ද්‍රිස් අප්පු ගුරුන්නාන්සේ” යන මහතෙක් ගැන තොරතුරු හමු වේ. නෝරා, බැඩොරා, බැලසන්ත, සිම්බ්ලින් ආදී නාඩගම් කීපයක් රචනා කළ මෙතුමා විසින් නාඩගම් ශෛලියෙන් මේ ගීතය බාග දා රචනා කළා විය හැකි ය. වර්ෂ 1906 දී මේ ජෝසප් ඇන්ඩෘ නම් නාඩගම් රචකයා මියගොස් ඇත. එසේම නාඩගම් වේදිකාවට රවිකිඤ්ඤය නොහොත් වයලීනය මුල්වරට හඳුන්වා දුන්නේ මෙතුමාය. මෙතුමා විසින් මෙම ගීතය රචනා කළේ නම්, මුල් ගීතයෙන් පරිබාහිරව, නුර්ති මුලික වූ යුගයේ තැටිගත වූ මෙම ගීතයේ එම කොටස ගායනය සඳහා එකතු නොකළා යයි ද සිතිය හැකි ය. නුර්ති සහ නාඩගම් ගී පිළිබඳ ප්‍රවීණ සංගීතඥයෙක් මෙන්ම නාඩගම් පරපුරක දැවැන්ත පුරුකක් වන කලාභූෂණ ඇඹුල්දෙණියේ ලයනල් ගුණතිලක මහතා මේ පිළිබඳව ප්‍රකාශ කළේ “සාන්ත ජෝන් ගේ වීදියේ කඩේ” ගීතය නාඩගම් ශෛලියෙන් බිහි කළ ගීතයක් වුවත් ප්‍රකට නාඩගමකට එය ඇතුළත් වී නොමැති බව ය. එසේම, මෙම ගීතය එවකට සුප්‍රකට නාඩගම් නිළියක මෙන්ම ටවර්හෝල්හි පළමු නිළිය වූ මීගමුවේ ඩබ්ලිව්. ඩී. සිමෝනා පෙරේරා විසින් ද වේදිකාවේ ගායනා කර ඇති බව ය.

 

එසේම, පසුකාලීන ගායනා මුල් ගායනයෙන් මෙන්ම ස්වර රචනාවෙන් ද තරමක වෙනස් වේ. වඩා ප්‍රාසංගික බවක් ඔප් නංවනු වස් මෙකී සුළු වෙනස්කම් කාලයත් සමග සිදු වූ බව අපට සිතිය හැකිය. නව ගායනාවන්හි දී, ගායනය මුල් ගායනය සමඟ සසඳන විට සමූහ ගායනයකට සුදුසු පරිදි මධ්‍ය ලයකින් ගැයේ. එසේම ගීයෙහි තනුව අතර හින්දුස්ථානි දේශ් රාගයේ සේයාවන් මතුකරයි. ෂඩ්ජය මුල් ස්වරය ලෙස පිහිටුවා ඇත (C major). තාලය ඛෙම්ටා වෙයි. මුල් ගීතයේ මෙන් තාලය දෙගුණ කොට ගායනාවක් ද සිදුවෙයි.

 

කරුණු කෙසේ වෙතත්, වසර ගණනාවක් මුළුල්ලේ සිංහල වේදිකාවේ ජනප්‍රිය ගීතයක් වූ “සාන්ත ජෝන් ගේ වීදියේ කඩේ” යන ගීතයේ අසම්පූර්ණ ඉතිහාසයක කොටසක් මෙම ලිපිය මඟින් අනාවරණය කිරීමට මේ කෙටි ලිපියෙන් උත්සාහ ගත්තෙමි. මේ ගීතය “ජෝසප් ඇන්ඩෘ” යන පුද්ගලයා විසින් රචනා කරන ලද්දේ නම්, එය කිසියම් අප්‍රකට නාඩගමකට ඇතුළත් වූයේ ද යන්නත්, ගීතයේ තැටියේ දැක්වෙනWHERAH  යන්න කවර කර්ණාටක හෝ නාඩගම් වෘතයක් ද යන්නත්, මුල් ග්‍රැමොෆෝන් තැටියට ගීතය තැටිගත කිරීමේ දී ජෝසප් ඇන්ඩෘගේ නාමය අඩංගු කොටස එකතු නොවී පසු කාලීන ගායනාවලට එම කොටස එකතු වූයේ කවර වකවානුවකද දී ද යන්නත්, ඉදිරියට තවත් ගවේෂණය කළ යුතු කාරණාවන්ය. කරුණු කෙසේ වෙතත් ශතවාර්ෂාධික කාලයක් මුළුල්ලේ මෙකි ගීතය මඟින් විවධ ශ්‍රාවක පරපුරු සන්තර්පණය කළ සියලුම කලාකරුවන්ට මෙම සටහන උපහාරයක් ම වේවා !

 

මූලාශ්‍ර : The 78 rpm Record Labels of India , Michael Kinnear (2016); සංගීත රසය - 1 වැනි කාණ්ඩය (1946) ඇල්.ඩී .ඒ. රත්නායක; සිංහල නාඩගම් සංගීත සම්ප්‍රදායය (1986),විශාරද ජි. ඩබ්ලිව්. ජයන්ත අරවින්ද; ටවර්හෝල් නාටක ඉතිහාසය (1957), ඇල්.ඩී .ඒ. රත්නායක; ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව (2001), මහාචාර්ය සුනිල් ආරියරත්න.

 

විශේෂ ස්තූතිය : මෙම මුල් ග්‍රැමොෆෝන් තැටිය මා හට පරිත්‍යාග කළ තැටි සංරක්ෂක ටී. ඇන්. විජේසිංහ මහතා, ගීත තැටි සංරක්ෂක දයා ලියනගේ මහතා, විශාරද ජයන්ත අරවින්ද මහතා, කලාභූෂණ ඇඹුල්දෙණියේ ලයනල් ගුණතිලක මහතා, ගීතයේ රාග- තාල පිළිබඳ දැනුම්වත් කළ අසංක පෙරේරා සහ විශාරද නිහාල් ගම්හේවා මහත්මාවරු.

 

ඉසුරු උදයංග කාරියවසම්

කථිකාචාර්ය,

උද්භිද විද්‍යා අධ්‍යානාංශය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය