අලුත් දවසක් තුළින් රන්කඳ හරහා තාරාවන් සොයා ගිය විශ්ව සුන්දරී

මර්සි එදිරිසිංහ
සැප්තැම්බර් 23, 2021

 

 

කැළණියේ පමුණුවිල රෝමානු කතෝලික මිශ්‍රපාඨශාලාවේ ඉගෙනුම ලැබූ දැරියකගේ මුවෙහි නිතර රැඳී ගීතයක් තිබුණි.

‘නමෝ මරියනි....

නමෝ මරියනි ප්‍රසාද පූර්ණ වත්තිනී

දේව පුත්‍රයා ස්පි‍්‍රතු වරමිතා

පිළිසිදේය. දෙව් බලෙන් ශ්‍රී ඔබේ කුසේ’

එය එකල ලතා ප්‍රනාන්දුව (පසුව වල්පොල) නිතර ගැයූ ගුවන් විදුලියෙන් ඇසූ ප්‍රකට ගීතයකි.

මේ ගීය දිව වතුරක් සේ ඇය ගයමින් තමා නිවසක අඹේපුස්ස නිවසේ සිට අඹේපුස්ස සරසවි විද්‍යාලයේ දක්වා කෝමල තාලයට නැලවිල්ලේ ගමන් ගත්තාය. ඇගේ ඒ නැලවිලි ගීතයෙන් හැකියාව දියුණු කරගත් ඇය ප්‍රසිද්ධ වේදිකාවේ ගායනයෙන් රටක් නැලවූවාය.

‘මඩේ ලගින තාරාවන්

නාවන්නද මං

ඌරු දලෙන් මොන ගජමුතු

අරගන්න ද මං

චපල හිමිට සිරි යහනේ

රැවටෙන්න ද මං

එහෙම වුණොත් ඔබ කියාවී

මෝඩ ගෑනි මං’

ලුෂන් බුලත්සිංහලගේ

‘තාරාවෝ ඉගිළෙති’ නාට්‍යයෙන් අඟර දඟර පාමින් ගී ගයමින් සිටි මර්සි එදිරිසිංහ නම් විශිෂ්ට රංග ශිල්පිනිය මට අවසන් වරට හමුවුයේ මීට වසර හතකට පෙර රාජකීය විද්‍යාලයේ නව රඟහලට රෝද පුටුවකින් පැමිණි අති සංවේදී අවස්ථාවේ දීය. මුකවාඩමකින් සැරසී දැසේ කඳුළු පිරි දෑසින් එහි පැවති උපහාර උළෙලට පැමිණි ඇය තම සොහොයුරියන් වූ ලතිකා හා රාජි සමඟ පැමිණි ඇය පිළිගත්තේ අතුල රන්සිරි ලාල්, කරුණාරත්න අමරසිංහ, රෝහණ සිරිවර්ධන ඇතුළු රූපවාහිනි හඬ නළු සහ උපසිරැසි ශිල්පින්ගේ එකමුතුව වෙනුවෙන් සංවිධානය කළ ‘හස රාජනී 2014 පෙබරවාරි මාසයේ අග පැවැත් වූ ප්‍රසංගය දීය.

කලක් මර්සි රෝගී තත්ත්වයක් පසු වුවාය. ඇයට මුලින්ම ඇති වුයේ මුත්‍රා ආසාදනයකි. ඉන්පසු උදරය ආශ්‍රතව හටගත් ගෙඩියක් ඉවත් කිරීමට ශල්‍යකර්මයක් ද සිදු කෙරෙණි. හෘද රෝගී තත්ත්වයක් මෙන්ම දියවැඩියා රෝගයෙන් ද එයට අමතරව වකුගඩු ආසාදනයෙන් ද ඇය පෙළුණාය. ටික කලක් එක්තැන්ව සිටි මර්සි රෝග පීඩා සඳහා ප්‍රතිකාර ලබමින් තම සොහොයුරියන් ගේ උපස්ථාන ලබමින් සිටිය දී ජාඇල ඒකල කණුවන කුමාර මාවතේ 28/14 නිවසේ දී ඇය ඇදහූ කතෝලික දහමට අනුව ඇයව 2014 මාර්තු 17 වෙනිදා දෙවියන් වහන්සේ කැඳවා ගත්සේක.

1945 දෙසැම්බර් 18 වෙනිදා අඹේපුස්සේ ඉස්සන්පිට වැල්ලහේනවත්තේ උපත ලැබූ දෝන මර්සි නාලනී එදිරිසිංහ මුලින්ම අඹේපුස්ස සරසවි විද්‍යාලයෙන් ද පසුව පමුණුවිල රෝමානු කතෝලික විද්‍යාලයෙන් ද, කෑගල්ලේ ශාන්ත ජෝසප්, රඹුක්කන පරාක්‍රම මිශ්‍ර පාඨශාලාවෙන් ද ඉගෙනුම ලැබුවාය. පමුණුවිල කතෝලික මිශ්‍ර පාසලේ දී ‘මරිය කුරෙන්ති’ නාට්‍යයේ රඟපෑම ඇගේ මුල්ම රඟපෑම වූවාය. 1970 වසරේ මර්සි ‘සරසවිය’ පත්‍රය සඳහා කළ සංවාදයක දී මෙසේ කියා තිබුණාය.

‘මගේ තාත්තා මුද්‍රණාලයක සේවය කළා. අම්මා ගෙදර ඉඳගෙන අපිව හැදුවා. මම හා පුරා කියලා ‘මරිය කුරෙන්ති’ නාට්‍යයේ රඟපාන කොට වයස අවුරුදු හතක් විතර ඇති. අර්නස්ට් පෝරුතොට පියතුමා මගේ කලා ජීවිතය ගොඩනගන්න පුරෝගාමී වුණා. පල්ලියේ කන්තාරු කණ්ඩායම සහභාගි කරවාගෙන තරුණ ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරිනියක් කරලා මාව නිර්භීත කෙල්ලක් කළේ පෝරුතොට පියතුමා පන්නරය දුන්නා. පෝරුතොට පියතුමා ඇල්දියෙන් මිදි රසට ‘නාට්‍යයටත් මාව තෝරා ගත්තා.’

මර්සි නව දෙනෙකුගේ යුත් පවුලක තුන්වැනීය. ගර්ට්, ලියෝ අක්කාත් අයියාත් ලඟට රංජනී, නිමල්, රමණී, ලතිකා, රාජි, සුනිල් බාල සොහොයුරු සොහොයුරියන් මර්සිගේ සොයුරිය වූ ලතිකා වරක් මට මෙසේ කීවාය.

‘මර්සි අක්කා අපේ පවුලේ චණ්ඩියා. ඉස්කෝලෙන් නායකත්වය ගත්තේ අනිත් හැමෝටම වන ආසාධාරණකම් එරෙහිව. ගෙදර දී අපි කාටත් වන මදි පුංචිකම්, අසාධාරණකම්වලට අක්කා නායකත්වය දුන්නා. ඒ එයාගේ හැටි. පුංචි කාලේ තාත්තා අම්මා අපිව එක්තරා කාල සටහනකට අනුව හැඩ ගැස්සුවේ. වත්ත අතු ගෑම, මල් පැළ වලට වතුර දැම්ම, රෙදි සේදීම, මකුළු දැල් කැඩීම, කොට්ට මෙට්ට දැමීම, ගෙදර පිරිසුදු කිරීම ඔය ආදී වශයෙන්. අපේ කට්ටිය කාල සටහන අනුව වැඩ කළත් මර්සි අක්කාගේ වාරය ආවාම අපිට ශත 2ක්, ශත 5ක් දීලා එයාගේ වැඩ කොටස අපිට පවරනවා. තාත්තා මේ බව දැනගත්තේ අම්මගෙන්. ‘එයා කවදත් ගෙදර චණ්ඩියානේ’ කියලා තාත්තා හෙමිහිට අම්මට කියනවා මම අහගෙන.’

මර්සි ප්‍රසිද්ධ වේදිකාවට පිවිසෙන්නේ වැලිකඩරත්න නිෂ්පාදනය කළ ‘අලුත් දවසක්’, ‘උගුරට හොරා’ නාට්‍ය වලින්ය. මේ අතර ඇය ජයතිස්ස අලහකෝන් සංගීතඥයාගෙන් ගායනය හා වාදනයත්, රංගනාථ නර්ථන විශාරදයාගෙන් උඩරට නැටුම් කලාව ප්‍රගුණ කළාය.

නාට්‍ය කලාවට ඇලුම් කළ මර්සිගේ ඇස ‘විසිතුර’ පත්‍රයේ දැන්වීමක් වෙත යොමු වූවාය. ‘බෝඩිංකාරයෝ’ තට්ටු ගෙවල් නිෂ්පාදනය කළ සුගතපාල ද සිල්වා නිෂ්පාදනය කරන අලුත් නාට්‍යයට නිළියක් අවශ්‍ය බව එහි සඳහන් විය. ඇය ඒ සඳහා කැමැත්ත පළ කොට දෙහිවල සිරිවර්ධන පාරේ අංක 06 ලිපියට පෝස්ට් කාඩ් යැව්වාය.

‘පෙර පෝය දා දෙහිවල මගේ ගෙදර එන්න. දෙහිවල සිට මගේ ගෙදරට ටැක්සියට ශත 70 කි.’ සුගතපාල

ජීවමානව නොදුටු සුගතපාල එවකට පුහුණු කිරීම් කරමින් සිටි ‘නිල් කටරෝල් මල්’ නාට්‍යයට තෝරා ගත්තේ ඇයට උච්ච ස්වරයෙන් ගැසීම නිසා බව මර්සි අපට කියා ඇත.

‘හරියට වේලාවට පුහුණු කිරිම් වලට මම ආවේ දේව කාරියට යනවා වගේ. වේදිකාවේ පූජනීයත්වයෙන් මම සළකනවා. මම හැම විටම වේදිකාවට පය තැබුවේ දෙවියන් සිහිකර ගෙන.’

මර්සි ‘නිල් කටරොල් මල්’ නාට්‍යයෙන් පන්නරය ලබා තම රඟපෑම ඉතා දක්ෂතා සහිතව ඉදිරිපත් කිරිමෙන් පසු ගුණසේන ගලප්පත්තිගේ ‘තාත්තා’ නාට්‍යයේ ජපන් චීන ගැහැනියක ලෙස රඟ පෑවාය. ජපන් භාෂාව, ගමන බිමන විචිත්‍ර ලෙස අධ්‍යයනය කළ ඇයගේ රඟපෑම එදා ප්‍රේක්ෂක හදවත් දිනා ගත්තාය.

මර්සි කියූ ආකාරයට තමා රඟ පෑ අසීරුම නාට්‍ය වන්නේ නලින් විජේසේකරගේ ‘ටික්කි ටිකිරි ටිකිරිලියා’ නාට්‍යය බවය. මෙහෙකාරියන් දෙදෙනෙකුගෙන් එක් කෙනෙක් හැටියටය. මේ මෙහෙකාරියන් දෙදෙනා එක්ව ස්වාමි දුව මැරීම. සැලසුම් කරති. අනෙක් මෙහෙකාරියට රඟ පෑ ලියෝනි කොතලවලගෙන් ලැබුණු සහාය මර්සි අගය කළාය. නව යෞවනයේ සිට මහලු විය තෙක් ඇය මේ චරිතය සමබරව රඟ පෑ බව විචාරකයන් කීහ. පතිරාජ එල්.එස්. දයානන්දගේ ‘කවුරුවත් එන්නේ නෑ.” නාට්‍යයේ ද ඇය රඟපෑවේ මහළු චරිතයකි. සුගතපාල ද සිල්වා ගේ ‘හරිම බඩු හයක්’ ‘දුන්න දුනු ගමුවේ’ හිතහොඳ අම්මණ්ඩි’ ‘මුතු කුමාරි’, තුරඟ සන්නිය’. ගුණසේන ගලප්පත්තිගේ ‘සඳ කිඳුරු’ ‘මුදු පුත්තු’ ප්‍රේම රංජීත් තිලකරත්න ගේ මුහුණු සයකි රූකඩයකි.’ ඇය රඟ පෑ විශිෂ්ට චරිතාංගය.

චන්ද්‍රසේන දසනායකගේ ‘රන්කඳ’ හා ලූෂන් බුලත්සිංහලගේ ‘තාරාවෝ ඉගිළෙති.’ නාට්‍ය දෙක තරම් ප්‍රේක්ෂක ප්‍රසාදය දිනූ ඇගේ රංගනය නිළියක ලැබෙන්නේ කලතුරකිනි.

‘රන්කඳ’ නාට්‍යයේ මම රඟ පෑ චරිතය වඩාත් තීව්‍ර වූයේ උපාලි අත්තනායක, විජේරත්න වරකාගොඩ, විජය නන්දසිරිගේ ප්‍රබල රංගනය නිසා නිවැරදි හෙළ බස උච්චාරණය කරමින් මා රඟ පෑ චරිතයට මට විචාරක හා ප්‍රේක්ෂක ප්‍රසංග ලැබුණා. ලූෂන්ගේ ‘තාරාවෝ’ මම ගීත ගයමින් රඟ පෑ සරළ විනෝද චරිතයක්.’

වරක් හිටපු සංස්කෘති අමාත්‍යවරයකු වන ඇස්.ඇස්.කුලතිලක මහතා මුල් පුටුව හෙබ වූ සංස්කෘතික උළෙලක දී ප්‍රසිද්ධියේ ම ‘රන්කඳ’ නාට්‍යයේ ප්‍රධාන නිළියට සම්මාන ලබා ඇද්දයි සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂක හේමසිරි පේ‍්‍‍්‍රමවර්ධන ගෙන් අසනු මාත්, අනෙකුත් මාධ්‍යවේදින් අසා සිටියෝය.

මර්සි සිනමා රංගනයට එක් වන්නේ වසන්ත ඔබේසේකර ගේ ‘වල්මත්වූවෝ’ චිත්‍රපටයෙනි. ඉන්පසු වසන්තගේ දියමන්ති; පළගැටියෝ; චිත්‍රපටවලත් සක්විති සුවය, නුවන් රේණු, මුතු මැණිකේ; ඔක්කොම රජවරු; හොඳීන් නැත්තම් නරකින්; හිත හොඳ පුතෙක්; ආසයි බයයි, ධවල පුෂ්පය; ඇතුළු චිත්‍රපට කීපයක රඟ පෑවාය.

මර්සි ජීවිතයේ අභාග්‍ය සම්පන්න උදාවන්නේ තම ආදරණීය සැමිය වූ ලලිත් 2002 වසරේ මිය යාමෙන් පසුය. ලලිත් මර්සිගේ සැමියා මෙන්ම හොඳම මිතුරා ද, හිතවතා ද, ආරක්ෂකයා ද විය. කොටින්ම ඔහු මර්සිගේ සෙවනැල්ලය. ලලිත් කලා ශිල්පින්ගේ හිතවතා, මිතුරා ද විය. මධුවිතට පෙම් බැඳී මානව හිතවාදි ඔහුගේ අභාවය අපට ද දැරිය නොහැකි විය. මර්සි කලක් ලලිත් සමඟ වරකාපොළ රෙස්ටුරන්ට් එකක් පටන් ගත්තේ 2000 වසරේ දීය. ඔහුගේ අභාවයෙන් පසු එය පවත්වාගෙන යාමට නොහැකිව ඇය රෝගාතුර වූවාය.

මර්සි ගුවන් විදුලි ශිල්පිනියක ලෙස ද ප්‍රකටව සිටියාය. ‘හන්දිය ගෙදර’ ගුවන් විදුලි නාට්‍යයේ ඩූලිට්ස් වූ ඇය ‘වජිරා’ හී ජේන් අක්කා ද, ‘සමනල බැද්දේ’, උංගු ද, ‘රසාර’ හී බගලවතී ඉස්කෝළ හාමිනේ ද වූවාය. ඇන්ස්ලි, බර්ටි හා සැමුවෙල් විකට ත්‍රිමුර්තිය සමඟ එක්කළ ජනපි‍්‍රය නිළිය වුයේ මර්සි ය.

හිතුවක්කාරියක, සටන් නායිකාවක් මෙන් විපතක දී කාරුණික, වහා හිත උණුවන චරිතයකට හිමිකම් වූ මර්සි කළගුණ දන්නා උතුම් ගැහැනියකි. මර්සිගේ කලා ජීවිතයට වසර 25 වසරක් පිරීම නිමිත්තෙන් පැවැත් වූ ‘විශ්ව සුන්දරී’ විශේෂ නාට්‍ය දර්ශනයකට මට ආරාධනා පත්‍රයක් දී නොවරදවාම පැමිණෙන්නැය කීවාය. ඒ වන විට මා ‘සරසවිය’ කර්තෘ පදවියේ නොසිටියේය.

‘මර්සි මම ‘විශ්ව සුන්දරී මංගල දර්ශනය බැලුවේ...’ මම කීවෙමි.

‘ඒ වුණාට මේක මගේ 25 අවුරුද්දනේ. නොවරදවාම එන්න.’

‘මම එම දර්ශනයට සහභාගී වූයේ ඇයට සුබ පැතීමට හා හිත හොඳ නිළියකට සලකමිනි. දර්ශනය අවසන මර්සි තමාගේ කලා ජීවිතයට අත හිත දුන් කිහිප දෙනෙකුට සම්මාන පිරි නැමුවාය. මුලින සම්මානය පිරිනැමුවේ තම සැමියා වූ ලලිත්ටය. දෙවනුව මට ය. මෙය මට අදහා ගත නොහැකි විය. පදවි තානාත්තර නැති වූ විට උක් දණ්ඩක් හොඳට හප හපා හපය ඉවතට විසී කර කර දැමීම තරම් නොමිනිසුන් සිටින යුගයක එදා මර්සි. එවැනි කලාකරුවන් කිහිප දෙනෙකුම සිටි බව මතක් කරමින් මර්සිට මොක්සුව පතමි.