තාත්තා, අපට අම්මගේ සෙනෙහසත් දුන්නා

ධර්ම ශ්‍රී මුණසිංහගේ දියණිය ශාමලිකා මුණසිංහ කියයි
දෙසැම්බර් 7, 2023

" මේ වගේ උතුම් තාත්තා කෙනෙක් ලබන්න ...අපි ගොඩාක් පින් කරල තියෙනවා.....ඇත්තමයි.. දරුවන් හැටියට අපි හැමෝම හරිම වාසනාවන්තයි ""

ඉඩකඩම් දේපළ යහමින් ඇති මුණසිංහ මහතා ගමේ ප්‍රකටය...ඔහුගේ බිරිඳ පුංචිමෝනා හෙළ වෙද හෙදකමෙහිද දැනුම් ඇත්තියකි...ඒ නිසාම ගමේ කිසිවකු අසනීපයකදී ප්‍රතිකාර පතා වහා දිව එන්නේ පුංචි මෝනා වෙතටය.. පුංචි මෝනා වෙද හාමිනේගේ වැඩිමල් පුතු සිය මව අත් වෙද පොත් විමසා බලා ප්‍රතිකාර කරන අයුරු බලා හිඳීනා මොහොතක "මමත් බෙහෙත් දෙනවා" යැයි රහසේ අපූරු තීරණයකට එළැඹියේය..

දිනෙක රෝගියකු කැඳවා එනවිට වෙද හාමිනේ වෙනුවට එම නිවසේ පසුවූයේ පෙර කී ඇයගේ පුතුය...

තම මව අනුව යමින් රෝගියා සන්සුන් කළ මේ කොලු පැටියා අම්මාගේ වෙද පොතක් බලා ප්‍රතිකාර කොට පිටත් කර යැවූ පුවත දැනගත් මොහොතේ හිස අත්ගසාගත් වෙද හාමිනේ තම පුතුට හිතේ තරහ නැතිවනතුරුම කෝටු පහර දෙන්නට වූවාය...

එදින දවසම කොලුවා පිළිකන්නට වි හඬන්ට වන්නේය...

මහනුවර ..පළාතේ ග්‍රාමීය පෙදෙසක විසූ මුණසිංහ සහ පුංචි මෝනා දෙපළට සිටියේ දියණියන් ම තිදෙනෙකි. පුතකුට කියා සිටියේ මේ දියණියන් තිදෙනාට පෙර පවුලේ වැඩිමලා ලෙසින් උපන් මේ දඟකාර කොලු පැටියාය..

කොලුවා ගෙදර කරනා දඟකාරකම් ඉවසනු බැරි තැන මවුපියන් මහනුවර ධර්මරාජ විදුහලේ ඉගෙනුමට තම පුතු යොමු කරවූයේ ආගන්තුක නිවසක නවාතැන්ද සපයා දෙමිනි..

ඉගෙනුමට හපන් කොලු පැටවා පාසලේදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් සපන්කම් පෙන්වීය...පොතපතටද වඩාත් ආදරය කළ නිසාම හේ සරසවි පිවිසුම් පෙළ ඉහළින්ම සමත්ව විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලැබූවද එය අතැර දමා කොළඔ එන්නට තීරණය කළේය..

ඉංග්‍රීසි බසින් අධ්‍යාපනය හැදෑරූ නිසාවෙන් හෙතෙම කොළඹ පිරිවෙනකදී සිංහල, පාලි, සංස්කෘත භාෂා මැනවින් හැදෑරීය.. අග්ග මහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමියන්ගේ ඇසුරටද පාත්‍රව ලද ඇසිල්ලේ භාවනානුයෝගීව පසුවූයේය... සඳහම් පොතපත ද පරිශීලනය කළේය...

මෙවර ආදරණීය සරසවිය පාඨක ඔබට මෙලෙසින් හමුවන හෙතෙම අහඹු චරිතයක්ද නොවේ....ගුවන් විදුලිය..වේදිකාව...රූපවාහිනිය...සිනමාව ආදී ක්ෂෙත්‍ර කිහිපයකටම අවතීර්ණ ව තම දැනුම මෙන්ම කුසලතාවයද එකසේ ප්‍රකට කළ ඔහු වරෙක...කවියෙකි. වරෙක ගුවන් විදුලියේ අංශ කිහිපයකින්ම දක්ෂතා පෙන්වූ ශිල්පියෙකි..තවත් වරෙකදී නිර්මාණශීලී රචකයෙකි..තවත් වරෙක සම්මානිත රංගන ශිල්පියෙකි...අධ්‍යක්ෂකවරයෙකි..නිෂ්පාදකවරයෙකි..

මේ අපේ විශිෂ්ට සොඳුරු කතා නායකයා මේ හැමටම වඩා වඩාත් ප්‍රකට කළේ ගුණ යහපත්කමින් පිරිපුන් අගනා මනුස්සකම යැයි දැනුදු තිරව හැඟේ..

ඔහුගේ උප්පැන්නයේ නම මුණසිංහ මුදියන්සේ රාළලාගේ ධර්ම ශ්‍රී මුණසිංහ ය...උපන්නේ 1930 ක්වූ මාර්තු මස 01 වනදාය...

" අපෙ තාත්තා අපට තාත්තා කෙනෙක් වගේම අපට අම්මා කෙනෙක්...මෙහෙම තාත්තා කෙනෙක් ලබන්න අපි දරුවන් හැටියට ගොඩාක් පින් කරල තියෙන්න ඕනා...අපේ තාත්තා කියන්නෙ අපට අම්මයි තාත්තායි දෙන්නමයි..."

අපේ සොඳුරු කතා නායකයා පිළිබඳව කතාබහ කරනු රිසියෙන් දැන් මා පසුවන්නේ එතුමාගේ බාලම දියණිය ඉන්ද්‍රානි ශාමලිකා මුණසිංහ මහත්මිය නිවසන නාවල නිවසේය...

" අපි අතර හිටපු කලාකරුවන් දවසින් දවස රටට අමතකව යන යුගයක සරසවිය පත්තරය මේ ඉටුකරන උතුම් මෙහෙවරට අපි හදවතින්ම ස්තුතිවන්ත වෙනවා...ඇත්තමයි ...අපට ගොඩක් සතුටුයි..අපෙ තාත්තා ගැන කතාබහ කරන එකත් අපට ලොකුම සතුටක්...බොහොම පින් ."

අපේ සුහද කතාබහ ආරම්භයේදීම මට නුදුරු සුවපහසු අසුනකට බරදුන් ඕ තොමෝ එසේ කියන්නී...තම පියාණන් පිළිබඳව හද නිදන් වූ ගෞරවය මුසු හැඟීමකින් යැයි මට හැඟේ.

මම ඈ දෙස බලමි.

"අපේ තාත්තාගෙ වැඩේ ලියන එකමයි...රැයක් දවාලක් කියල නැහැ..ලියන්න හරිම දක්ෂයි.."

ශාමලිකා සිනාසෙන්නීය.

අපේ ආදරණීය කතා නායක ධර්ම ශ්‍රී ට කන්තෝරු කාමරයක් තිබිණි ..එහි යතුරු ලියනයක්ද තිබිණි ..දරුවන් මහ රෑ නින්දෙන් අවදි වන මොහොතක දී ඇසෙන " ටක්..ටක් හඬින් " තාත්තා තවමත් නොනිදා ලියනවා යැයි සැකහැර දැන ගනී..

මහනුවරින් කොළඹට පැමිණි තුරුණු වියෙහි පසුවන හෙතෙම එවකට ගුවන් විදුලි දෙපාර්තමේන්තුව ලෙසින් ප්‍රකට ගුවන් විදුලි සංස්ථාවේ ලිපිකාර සේවයට බැඳුණේය..ඒ 1952 වසරේ දි ය..

තේවිස් ගුරුගේ..ඩී.එම් කොළඹගේ..එච්.එම් ගුණසේකර.. පී. වැලිකල.. වැනි දැවැන්තයන් සමඟ එක්ව වැඩ කරන්නට තරම් භාග්‍යවන්ත වූ හේ ගුවන් විදුලියේ ලිපිකාර තනතුරින් ඉවත්ව 1956 දී ආදායම් බදු දෙපාර්තමේන්තුවේ පුහුණු නිලධාරියකු ලෙසින් සේවයට බැඳුණේය..

..එහෙත් ගුවන් විදුලිය සමඟ ඇති බැඳීිම නම් හේ මොහොතකටවත් අත් නොහළේය...

ඔහුගේ රාජකාරි කටයුතු සේම දෛනික කටයුතු වලදී ද කාටත් ප්‍රකට කළ කවුරුත් දැනසිටි ප්‍රමුඛ වදනක් වීය.

" මාගේ බලාපොරොත්තුව නම් මාගේ නිර්මාණයන්හි යටි තේමාව හැමවිටම මිනිසාගේ හෙට දවස වඩාත් යහපත් කිරීමයි..""

අපේ ශාමලිකා කටහඬ අවදි කරන්නීය ..

"දන්නවද..අපෙ තාත්තා හොඳ වෙස් නැට්ටුවෙක් කියලා.. ...ඒ කාලෙ වෙස් තියනව කියන්නෙ මහ බැරෑරුම් දෙයක්නෙ...මට හිතෙන්නෙ අපෙ තාත්තා කලා ජීවිතය පටන් ගත්තෙ වේදිකාවෙන්..මනමේ නාට්‍යයේ පූර්ව රංගනයේ බහුබූත කෝලම රඟපෑවෙ අපෙ තාත්තා..1958..59 කාලෙදි.. "

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සමීප ඇසුරට පත් හෙතෙම එතුමාගේ එවක ජනරංග සභා එකතුවේ කාරක සභිකයකුද විය..

ගුවන් විදුලියේ වැඩසටහන් රැසක ප්‍රමුඛයා වෙමින් විහිළු තහළු ..ළමා පිටිය..ග්‍රාමීය සන්ධ්‍යාව..ගුවන් විදුලි රඟමඬල...මුවන් පැලැස්ස ..මොනරතැන්න..ගජමුතු ..මී මැස්සෝ..ආදී තවත් ජනප්‍රිය වැඩ සටහන් රැසක නිර්මාතෘවරයාද වූයේ ඔහුය...

තවත් වරෙක හේ නිවේදකයකු වූයේය...

ගුවන් විදුලියේ මාලා නාට්‍ය 23 ක් ද රචනා කළ හේ ලෝක සාහිත්‍යයේ එන නවකතා කෙටිකතා ඇසුරින් පරිවර්තනයෙන් ගුවන් විදුලි නාට්‍ය රචනා කළේය...උතුරු නැගෙනහිර උරුමය පිළිබඳව ගුවන් විදුලියට ලියැවුණු ඇතැම් රචනාවන් තහනමකටද ලක්විය...

එකම රචකයකු විසින් ලියන ලද ප්‍රථම මාලා නාටකය වන "මොනරතැන්න " වෙනුවෙන් අදටත් හරසර ලබන්නේ අපේ ආදරණීය කතා නායකයාය..

මුවන් පැලැස්ස නාටකයෙහි රචකයන් සිව්දෙනා අතරට අපේ ආදරණීය ධර්ම ශ්‍රී ටද හිමිවනුයේ මහත් පිළිගැනීමකි.

අපේ සොඳුරු කතා නායකයා ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ශිල්පියකු ලෙසින් සාමර්ථ්‍ය ලැබුවේ 1967 වසරේදීය..

ගුවන් විදුලියෙන් ටෙලි නාට්‍යය ලොවට පැමිණ රූපවාහිනි අංශයේ පළමු ටෙලි නාට්‍යය වන " දිමුතු මුතු " හි රචනයෙන්ද හා රංගනයෙන් ද හෙතෙම දායක වූයේය...

ඒකාංගික ටෙලි නාට්‍ය හතක් නිර්මාණකරණයෙන් රංගනයෙන්..රචනයෙන් හා සහය අධ්‍යක්ෂණයෙන් හෙතෙම සමත්කම් පෑවේය..

සාගරයක් මැද චිත්‍රපටයේ රචකයා වෙමින් රංගනයටද දායක වූ හෙතෙම හුලවාලි චිත්‍රපටයේ හොඳම නිර්මාණාත්මක රංගනයෙන් සම්මානිත වූයේය..

මනමේ හි බහුබූත කෝලම රංගනය වෙනුවෙන්ද සම්මානයට පාත්‍රවූ අපේ කතා නායකයා ඔහුගේ රංගන දිවියේ මුල් අවධියේ දී "දරුදුක " වේදිකා නාට්‍යයේ හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබද්දි අපේ ආදරණීය නිළි රැජින මාලිනී ෆොන්සේකා මහත්මිය ද එහිදී "අකල් වැස්ස " වේදිකා නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානයෙන් පිදුමට බඳුන් වූවාය..

බිම බලාගත්වනම පසුවන අපේ කතා නායකයාගේ බාලම දියණිය ශාමලිකා මහත්මිය යමක් කියන්නට සැරසෙයි.

"අපෙ තාත්තා ගෙදර ඉන්න කොට කවුරුවත් සද්ද බද්ද කරන්නෙම නැහැ.. තාත්තාගෙ වැඩේම ලියන එකනෙ.. ඉතිං ..හිත හිත තමයි ටයිප් කරන්නෙ.."

"අපේ රත්තරන් තාත්තා අප වෙනුවෙන් කැපවුණා වැඩිද කියලත් මට වෙලාවකට හිතෙනවා..."

ඒ ටික ඇය කීවේ හැඬුම්බරවය..ඒ දෑසට කඳුළු නැගී තියේ... නෙත නැගි කඳුළු රහසේ වසන් කරගන්නට මෙන් ඕ වහා ඉවත බලා ගත්තාය..

අපේ සොඳුරු කතා නායකයා විවිධ සමිති සමාගම්හි තනතුරු හෙබවූ ක්‍රියාශීලී පුද්ගලයෙකි..හේ වෘත්තීය සමිති නායකයකු ලෙසින් ද කැපී පෙනුණු චරිතයක් ම විය...

ඇස්.ඩබ්ලිව් .ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ සමීප ඇසුරට පාත්‍රවූ නිසාවෙන්දෝ අපේ කතා නායකයා සුපුරුදු යුරෝපීය ඇඳුමින් බැහැරව එතැන් සිට ජාතික ඇඳුමින් සැරසී ගත්තේය..පසුකලෙක තාත්තා තමන් හෙබවූ සියලු නිලතලවලින් ඉවත්ව ගිය බව අපේ ආදරණීය ශාමලිකා කීවේ තාත්තාගේ ජීවිතය හා මුසු වූ වඩාත් ශෝකී පුවතකට ද මුලපුරමිනි.

දැන්.. දැන්.. අපේ ධර්ම ශ්‍රී මුණසිංහ නාමයට සේම අපේ ආදරණීය කතා නායකයාටද රටතොට යන යන තැනින් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි...ගෞරවය මුසු ආදරයකි.. ජනප්‍රියත්වයකි...ඔහු තුළ අව්‍යාජයෙන් පැවැති නිහතමානී ගුණය නිසාම වඩාත් හෙතෙම රසික දනන්ගේ නොඅඩු පැසසුමට ද බඳුන් විණි...

එක් දිනෙක ගුවන් විදුලියේ ළමා පිටියේ වැඩ සටහනකට පැමිණියේ රූමත් යුවතියකි.. ඈ දුටුවනම පෙර නුදුටු ඈ කෙරෙහි ඔහු සිත එකතැනම රැඳී සිටියා වැන්න....

මනබඳීනා සිනාවකින් හා කඩවසම් රුවකින් යුතු තුරුණු වියෙහි පසුවන අපේ කතා නායකයා සමඟ පළමුව හිතමිතුරු වූ මානෙල් කස්තුරි ආරච්චි නම් රුවැති ඕ තොමෝ පසුව වසර කිහිපයක ආදරයක ඇවෑමෙන් ඔහු සමඟම විවාපත් වූවාය..

මම අපේ ආදරණීය ශාමලිකා දෙස බලමි...ඇය මඳක් කතාබහක් නැතිව සිට යළි කටහඬ අවදි කළාය...

"අපෙ තාත්තා අපෙ අම්මා ව හේවුඩ් එකට යොමු කරවල ඉගැන්වූවා..අපෙ තාත්තා ට වඩා අම්මා වයසින් අවුරුදු දහයක් විතර බාලයි..ඒත් ඒ දෙන්නාට දෙන්නා හරිම ආදරෙයි ...""

දැන් අපේ කතා නායකයා පුතුන් දෙදෙනකුගේද දියණියන් තිදෙනකුගේ ද ආදරණීය පියෙකි...මින් පළමුවැන්නා ව්‍යාපාරිකයකු වන තුෂාර මුණසිංහ පුතු ය.. රාජ්‍ය සේවයෙහි නියුතු දියණිය දෙවැන්නී මදාරා මුණසිංහ ය..තෙවැන්නා විදේශයේ පසුවන පුතු නාරද මුණසිංහ ය...සිව්වැන්නිය දියණී තාරා මුණසිංහ ය...පවුලේ බාලම දියණිය මා හා සුහද පිළිසඳරේ පසුවන ඉන්ද්‍රානි ශාමලිකා මුණසිංහ ය...

අපේ ශ්‍යාමලීට වයසින් අවුරුදු පහක් වන තරමේදී එතුවක් ගෙතුළ පිරි තිබූ උතුරා ගිය සතුටට කුමක්වූවාදැයි කලක් යනතුරාවටම කිසිවකුටත් සිතාගත නොහැකිම කාරණයක් විය.

"අපෙ අම්මායි තාත්තායි වෙන්වුණා ..."

දිගු සුසුමක් හෙළූ දියණිය ශාමලිකා බිම බලා සිටින්නීය...

අපේ ආදරණීය කතා නායකයා දැන් දරුවන් පස්දෙනාට රැකවරණය දෙමින් දරුවන් වෙනුවෙන් හැමදේ ඉටු කරමින් රස්සාවට ගියේය...කලා ක්ෂෙත්‍රයේ ද පසුවූයේය...ඔහුට අදරැති ආදරණීයයන් ඔහු සොයා නිවසට එන්නේය...සුහදව පසුවන්නේය..

එහෙත්..පපුවෙහි රිදුම් දෙන කිසිවක් කිසිවකුට නුදුන් හේ දරුවනට පියාසේම මවකද වෙමින් සියලු යුතුකම් නොපිරිහෙලා ඉටු කරන්නට වෙහෙසුණේය...

"අපෙ තාත්තා ළඟ පීඩනයක් තියෙන්න ඇති. අපේ හැමදේම කළේ අපෙ තාත්තානෙ.. ..රහටත් උයන්න පුළුවන්නෙ..අපේ හැමදේම ඒ රත්තරන් අත්දෙකින් අපට යුතුකම් කළා...අපට අම්මා වුණෙත් අපෙ තාත්තා ...මාව හොඳීන් ම තේරුම් ගත්තෙ අපෙ තාත්තා කියල මට අදත් හිතෙන්නෙ.. ...දරුවන් හැමෝම ගැන හොඳ අවබෝධයකින් තාත්තා හිටියේ...කවදාවත් කා එක්කවත් තාත්තා තමන්ගෙ දුකක් කියනව තබා පෙන්නුවෙවත් නැහැ..ඒ අතින් අපෙ තාත්තාට ඕනෑම දෙයක් දරාගන්නට තරම් සවිමත් හිතක් තිබුණා.. මං අදටත් තාත්තා ගැන හිතන්නෙ එහෙමයි.."

ඇයගේ හඬ බිඳුණු ස්වරයකි...

රවීන්ද්‍ර රන්දෙණිය..බර්ටි ගුණතිලක ..අතුල රන්සිරිලාල් ආදී විවිධ ක්ෂෙත්‍රවල තවත් අයවලුන් ඔහුගේ සමීපතමයෝය...

"අතුල රන්සිරිලාල් අන්කල් රවීන්ද්‍ර අන්කල් අදටත් අප ගැන විමසනවා...බර්ටි අන්කල් ජීවත්ව ඉන්නකම් අප ගැන හෙව්වා.. බැලුවා "

ඉස්සර දවස්වල ගෙදරට පය ගැසූ ගමන් එදිනෙදා සිදුවූ සිදුවීම් හෙතෙම වක්කඩ කැඩුවාසේ බිරිඳට දරුවනට කියා යන්නේය..වරෙකදී උස්හඬින් සිනාසෙන්නේය...ගේදොර හැමදේ සතුටින් විමසන්නේය...

කාලයාගේ ඇවෑමෙන් තම දූ දරුවන්ගේ බර ද සමගින් හෙතෙම තනිවම හුදෙකලා වූයේය.. කාමරයට වැදී බොහෝ වේලාවක් නිහඬවම පසුවූයේය...පොතපතෙහි ඇලුණේය...භාවනාවෙහි පසුවූයේය...

"අපෙ අම්මායි අපෙ තාත්තායි වෙන්වුණාය කියලා කවදාවත් ..කවදාවත් ඒ දෙන්නාට දෙන්නා වචනයකින්වත් දොසක් කියාගෙන නැහැ...කවරදාකවත් කෙනෙක් තව කෙනෙක් ව විවේචනය කරලත් නැහැ..දෙන්නාම වෙනත් විවාහයකට ගියෙත් නැහැ. දෙන්නා දෙතැනෙක ඉඳන් දෙන්නාට දෙන්නා දිහා ආදරයෙන් බලා හිටියා කියලයි මට හිතෙන්නෙ..ඒ කාලේ මං හරි පොඩියිනෙ..මුල් කාලෙ අම්මායි තාත්තායි දෙන්නා අපේ පවුලට ලොකු දියුණුවක් අරගෙන දුන්නා ...නෑදෑයින්ට හිතවත් අයට සලකපු තරම්.....ඒ ගැන කියන්න වචන මදි... අපේ පවුල්වල නෑයෙක් හරි ... දන්න කවුරුහරි අසනිප වුණොත් අපේ ගෙදර නවත්වාගෙන තාත්තාගෙ වියදමින් තාත්තා හැම අතින්ම සලකනවා...අනුන්ට කන්න දෙන්න..අවශ්‍යතා සපුරාදෙන්න තාත්තා දෙවරක් හිතන්නෙ නැහැ.. ඒක තාත්තා ළඟ තිබුණු උතුම් ගුණයක්මයි..කොහොම හරි සමහර නෑයන්ට අපේ මවුපියන්ගෙ ලස්සන කැදැල්ල බිඳල දමන්න ඕනකමක් තියෙන්නත් ඇති..ඉරිසියාවක් තියෙන්නත් ඇති...අනේ මම දන්නෙ නැහැ....එහෙමත් අපට හිතෙනවා...කොහොම හරි එහෙමම සිද්ධ වුණා දෙයියනේ..."

අපේ ආදරණීය ශාමලිකා ගේ දෑස රත්පැහැගැන්වී පෙනේ..ගලා ගිය කඳුළක කැළලක් කම්මුලක් මත රැඳී තියේ..

ඕ වහා පිටඅත්ලෙන් තම දෑස පිස ගත්තාය..

අපේ ආදරණීය කතා නායකයාගේ බිරිඳ සුවිනීතය..අවිහිංසක ය...අපේ කතා නායකයාද නිවුණු පැවතුමින් යුතු සාමකාමී සිතැත්තෙකි..බිරිඳ ඔහු කෙරෙන් පිටමංව ගියද ඕ නැවතුණේ අන් තැනෙක හෝ නොව තම ලොකු පුතුගේ ළඟමය.. අපේ කතා නායකයා පසුවූයේ තම සෙසු දරුවන් සමඟය...

අපේ ශාමලිකා හිඳසිටි අසුනේ මඳක් හරිබරි ගැසුණාය. ඕ යමක් කියන්නට මෙනි.

"අපෙ තාත්තාට මහපුදුම මතකයක් තිබුණා ..මොකක් හරි කාරණයකදී..අපි අහන දෙයකදී තාත්තා මෙහෙම කියනවනෙ..මගෙ පොත් අල්මාරියෙ අසවල් තැන...අහවල් පොතේ අසවල් පිටුවේ ඕකට උත්තරය තියෙනවා..අරගෙන බලන්නකො ..කියල තාත්තා එහෙමම කියනවා. ඒ මතක ශක්තිය ගැන මටම පුදුමයි ... තාත්තාගෙ ජීවිතයේ පොතපත කියැවීමයි ලිවීමයි තමා ගෙදරදි නිතරම අපට පෙනුණෙ ...ඒ වගේමයි අපෙ තාත්තා ට ජීවිතය ගැන හොඳ අවබෝධයක් තිබුණා .."

දැන්..දැන් තම දරුවන්ගේ සියලු කටයුතු වෙනුවෙන් තමන්ට ලැබෙන කාලය මදි නොවේදැයි සිතු නිසාවෙන්ම හේ තම කලා කටයුතු වලින් ක්‍රම ක්‍රමයෙන් දුරස්වන්නට වූයේය.. ඔහුගේ හැම සතුටක්ම ..ජයග්‍රහණයක්ම.. තම දරුවන් වෙනුවෙන් ම හෙතෙම කැපකළායැයි දැනුදු මට සිතේ...

"ඔව්..අමල් ..අපෙ තාත්තා කලා ලොව ආපු දුර ගමනෙ හැටියට තාත්තා ට කලාව වෙනුවෙන් රට වෙනුවෙන් තව බොහෝ දේ කරන්න තිබුණා ..

ඒත්...අපේ බරත් එක්ක හිටපු නිසාම තාත්තාගෙ නිර්මාණශීලී පැත්ත ටික ටික අඩුවුණා.."

ඇය එකඑල්ලේ තම දෑස වෙනතක දල්වා හිඳීන්නීය.

අපේ සොඳුරු කතා නායකයා ධර්ම ශ්‍රී මුණසිංහයන් ලබන විවේකයකදී කුඩාකළ සිට පුරුදු පුහුණු කළ භාවනාවක නිමග්නව පසුවන්නේ ය..හිමිදිරියේ හතරට අවදිවන ඔහු නා පියා මල් නෙළා....පහන් දල්වා බුදුන් නැමදින්නේය..අනතුරුව සිය කාමරයට වැදී ලියන්නේය.. දුම්වැටියට වඩාත් ප්‍රිය කළ හෙතෙම මදුවිතක් තොලගෑවේ නම් ඒ සිය සමීප මිතුරන් සමග පිටතට යමින් දරුවනට ද හොර රහසේය...

"අනේ නැහැ අමල් ..කවදාවත් අපට තාත්තා කලාවට සම්බන්ධ වෙන්න කියලනම් කියලම නැහැ.. චූටි අක්කා තාරා කලාවට දක්ෂයි. පුංචි අයියා නාරද පුංචි කාලෙ චිත්‍රපටවල පොඩි පොඩි චරිත රඟපෑවාට පස්සෙ ඒ ගැන ආසාව උනන්දුව අතහැරියා ..මේ ක්ෂේත්‍රයේ තියෙන හැලහැප්පීම් එක්ක ඔයාලට මේ ක්ෂෙත්‍රයේ ගැටෙන්න බැහැ කියලත් තාත්තා නිතර අපට කීවා...

කවදාවත් ..කවදාවත් අපෙ තාත්තා දරුවන් වන අපට කිසිම දේකදි බලපෑම් කරල නම් නැහැ.. අපට ඇඟිලි ගහලත් නැහැ. තාත්තා අපේ නිදහස අගය කළා..."

හිතවත් බර්ටි ගුණතිලකයන් සමඟ ගිය ගමනකදී හෙතෙම නාවලදී රිය අනතුරකට බඳුන් වූයේය...

" ඒ අනතුරින් පස්සෙ අපෙ තාත්තා ටික ටික දුර්වල වුණා...කොන්දෙ අමාරුවකින් පීඩා වින්දා..තාත්තාව බලාගන්න ඕන නිසා මමත් කරමින් හිටිය රස්සාවෙන් ඉවත් වුණා.."

මේ අතරේදී ඔහු බිරිඳ මානෙල් මහත්මිය හදිසියේ පිළිකා රෝගයකට බඳුන් වූවාය...දූ දරුවන්ගේ නොමඳ ආදරයම ඇයටද හිමිවිණි ..තාත්තා අම්මා කෙරෙහි ඒ වනවිටත් තබා ඇති හද පිරුණු ආදරය දරුවන් පවා දුටුවේ ඔහු බිරිඳ වෙනුවෙන් ඇප කැප වන අයුරු දැකීමෙනි..

"ඔයාලගෙ අම්මා ව අපේ ගෙදරට ගෙනැත් සාත්තු කරන්නයි මගෙ හිත තිබුණේ..ඕනෑකම තිබුණේ...ඒත් ඔයාලා ලොකු දරුවොනෙ...ඔයාලා කුමන තීරණයකද කියල මං නොදන්න නිසා අම්මා ව එහෙම ගෙදරට ම ගෙනැත් මම සැලකුම් නොකළේ .."

බිරිඳ සිය දෑසම පියාගත්වනම නික්ම ගිය අවසන් දවසින් පසු දවසක ඔහු තම දරුවනට එසේ කීයේය..

අපේ ආදරණීය කතා නායකයාණන් රෝගාතුර වෙයි.. ප්‍රතිකාර ලබයි...යළි යළි රෝගාතුරව පසුවෙයි..බෙහෙත් අප්‍රිය කරනා ඔහු ඖෂධ පෙති එකිනෙක අත්ලට ගෙන බාල දියණිය ශාමලිකා අත තබන්නේ "මේ විටමින් පෙති මට නෙවි..මගෙ දූටයි ඕනා කියමිනි.

"කවදාවත් කා ගැනවත් ද්වේෂයක් වෛරයක් හිත තියාගන්න හොඳ නැහැ..දරුවනේ.. නරකක් නපුරක් කාගෙන් හරි වුණත් ඒවා ආපස්සට තියාගන්න හොඳත් නැහැ"

තම දරුවනට ඇසෙනසේ හෙතෙම නිතර එසේ කීවේය..

අපේ සොඳුරු කතා නායක තෙමේ හද දවන සිතිවිලි අළලා කව් පෙළක් පුවත්පතකට ලියුවේය...

"සදා සුන්දර මිහිරි හැඟුමක්

මගේ ජීවය තුළ කවා

උදාවන සඳමඬල පරයන

පෙම් රැසින් මා සනසවා

එදා හද ගඳකිළිය කෙරෙමින්

හුදකලාවේ පුබුදුවා

සදා තනියෙක මා දමා

ඔබ කොහිද ගියෙ මට දුක දෙවා "

දෙදෙනා ම තනි වී... දෙතැනක හුදකලාවේ පසුවීමට සිදුවීම තුළ නිශ්චය පිළිතුරක් තවමත් නොදන්නා හෙතෙම ඒ නමින් එලෙසින් තවත් කවි ලියුවේය..

"අපෙ අම්මා හොඳ කෙනෙක්..අපෙ තාත්තාත් හොඳ කෙනෙක්..."

ශාමලිකා නිහඩව ම පසුවී ඒ ටික කියා ගත්තේ තමන්ටම මෙනි.

අපේ ආදරණීය කතා නායකයා යළි රෝගාතුර වූයේය..වහා දූ දරුවන් එක්ව පුද්ගලික රෝහලකට ඇතුළත් කෙරිණි ....

වෛද්‍ය වාර්තාවෙන් කියැවුණු ශෝකී පුවත දරුවන්ගේ සිත් වේදනාවන් දෙගුණ තෙගුණ වී ගියාසේය..

"අපෙ තාත්තා ට කැන්සර් එකක්..."

සියලු වෛද්‍ය වාර්තා තාත්තාගෙන් වසන් කළ දූ පුතුන් නිරුත්තරව අන්ද මන්දව මෙන් මුහුණට මුහුණු බලා සිටින්නට වූහ..

මේ වනවිට 74 වන වියෙහි පසුවන අපේ ආදරණීය කතා නායකයාණෝ බොහෝ සැහැල්ලුවෙන් මෙනි...අසනීපයක සේයාවක් වුව ඔහුගෙන් නොපෙනෙයි...

" ආ ...මාව බලන්න ගොඩාක් අය ඇවිල්ලානෙ..කොච්චර හොඳද..මගෙ මිනිපිරියොත් ඇවිල්ලා " යි රෝහල් වාට්ටුවේ ගිලන් යහන මත වැතිර ගත්වනම හෙතෙම වටපිට බලා එසේ සතුටු සිනාවෙන් කියන්නට වී...

බාලම දියණිය ශාමලිකා ගේ දියණිය ලියන්සා මියුමි...ලොකු දුව මදාරාගේ වරුණී..මේනකා..කාංචනා..දියණියන්ද...ලොකු පුත් තුෂාරගේ පුතු ලෂික ...චූටි දූ තාරාගේ දියණිය ළිහිණි ආදී ඔහු වඩාත් ආදරය කළ තම දරුවන්ගේ දරු දැරියන් ගැන විමසුවේය..

හෙතෙම වහා ශාමලිකා දියණිය දෙස බැලීය.

"දුවේ...ගෙදර යන්න..මට හොඳයි. දුවට රෑ වෙනවානෙ..ගෙදර යන්න"

ශාමලිකා නිහඩව තාත්තා දෙස ම බලා සිටියාය...

වෛද්‍යවරයකු පැමිණියේය. රහසේ මෙන් මොනවාදෝ කීවේය..ශාමලිකා ගේ පවුලේ රංජිත් අයියාගේ .ගාමිණී අයියාගේ..දෑස් උඩ ගියේය..

"තාත්තා තව වැඩි වෙලාවක් ජීවත්ව ඉන්නෙ නැහැ..තාත්තා ට පේන්න ඔයාලා හඬන්න විතරක් නම් එපා...තේරුණා ද.. පිරිත් කියනවනම් ඒවා ලෑස්ති කරන්න.." වෛද්‍යවරයා පිටව ගියේය.

ඒ වනවිට හිතවත් හිමිවරු කිහිපනමක්ද එහි වැඩම කොට සිටියහ.

සුවහසකගේ ආදරයටම පාත්‍රවූ .. කලා ක්ෂේත්‍රයේ විවිධ ඉසව් තුළින් සම්මානිත වූ ..කාගේත් ගෞරවාදරයටම බඳුන් වූ අපේ සොඳුරු කතා නායකයාණෝ 2004 ක්වූ අගෝස්තු මස 28 වනදා දහවලෙහි...සඟරුවනේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේම යළි අවදි නොවනා දිගු නින්දකට පිවිසියේ එතුමා පිළිබඳ බොහෝ ආදරණීය මතකයන් ලොවටම ශේෂ කරවමිනි.

 

සේයාරූ - පාලිත ශ්‍රී ලාල් ආටිගල

\

[email protected]