ලක්ෂ්මියගේ පිහිට ලබා දෙන ‘ලීන් පෙරළිය’

ජූලි 22, 2021

සරස්වතියත් ලක්ෂ්මියත් එක ළඟ සිටින්නේ නැති බව බොහෝ දෙනකු කියන කතාවක්. එහෙත් සරස්වතියගේ බැල්ම තදින් ඇති අයට වුණත් ලක්ෂ්මියගේ අතහිත නැතිව ගියොත් ජීවිතේ බොහෝ දුක් විඳීන්න සිදු වන බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. සෑම තත්පරයක්ම මුදල් බවට පත්ව තිබෙන අද කාලේ බොහෝමයක් කලාකරුවන් වුවත් නිතර උත්සාහ කරන්නේ තමන්ගේ ව්‍යාපාරයකුත් කරන ගමන් කලා කටයුතු කරගෙන යන්න. කොරෝනා වසංගතය සමඟ මුළු ලෝකයම ඇනහිටිද්දි කුඩා ව්‍යාපාර පමණක් නොවේ, මහා පරිමාණ ව්‍යාපාර පවා මේ ඇසට නොපෙනෙන වෛරසයට යටත් වුණා. ඒත් කෙසේ හෝ ආපසු නැඟී සිටිය යුතුයි කියා සිතට ධෛර්යය ගෙන දෙපයින් නැඟිටින්න සිතන කාට වුවත් තම ව්‍යාපාරය ක්‍රමවත්ව කරගන්න යම් ඥානමය අත්වැලක් සපයන්න සුදුසු කාලයක් බව සිතූ නිසා මේ 'ලීන් පෙරළිය' නම් ව්‍යාපාරික නවකතාව ඔබට හඳුන්වා දෙන්න තීරණය කළා.

ඔබට තිබෙන්නේ කුඩා ව්‍යාපාරයක් වුවත් අමතර ආදායමක් නොමැතිව එය ටොයෝටා සමාගම වැනි අධිලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කරන ක්‍රමවේද නවයක ප්‍රායෝගික විවරණයක් ලෙස මේ ව්‍යාපාරික නවකතාව ඉදිරිපත් කරන්නට අපූර්ව උත්සාහයක් දරා තිබෙන්නේ රචකයන් දෙදෙනෙක්. ඒ ලපිත ගුණසිංහ සහ අසංක හේනෙගෙදර. ලපිත මේ නවකතාව මා හට කියවන්නට දුන්නේ මා ලේඛන කටයුතුවල නිරත වනමුත් ඔහු සමඟ එකට ව්‍යාපාර කළමනාකරණය විද්‍යාපති උපාධිය හැදෑරූ විශ්වවිද්‍යාල සගයකු වූ නිසයි. ලක්ෂ්මියගේ වැඩි බැල්ම ඇති ඔහු වසර විස්සකට අධික කාලය තුළ ශ්‍රී ලංකාව, මාලදිවයින, බංගලාදේශය, වියට්නාමය, කාම්බෝජය සහ හොංකොං වැනි රටවල මාස් හෝල්ඩින්, වෝල්මාට්, හෝප් ලූන් සහ ඉන්කියුබ් ග්ලෝබල් වැනි සුප්‍රකට ආයතනවල දියුණුව සඳහා මෙහෙයුම් කටයුතු මෙන්ම ලීන් ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට නායකත්වය ලබා දීමට සමත් ලීන් පෙරළි පුහුණුකරුවකු ලෙස සිය ගමන් මඟ තෝරා ගෙන තිබුණා.

මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබා මාස් හෝල්ඩින් ආයතනයේ මධ්‍යම ලීන් ක්‍රමවේද අංශය සමඟ සහ පසුව මෙරට මෙන්ම බංගලාදේශයේ ක්ෂේත්‍ර ගණනාවක ලීන් උපදේශකයකු හා පුහුණුකරුවකු ලෙස පසුගිය දශකයකට අධික කාලයක් කටයුතු කෙරූ අසංක හේනේගෙදර ඔහුට හමුවන්නේ රැකියාවල නිරතවන අතර.

ඔවුන් සමඟ අප රටේ ඇතැම් ව්‍යාපාර බිඳ වැටීමට හේතුව පිළිබඳ කළ සුහද කතාබහකදී පැවසුණේ නිසි ක්‍රමවේදයකට ඒවා මෙහෙයවීමට කළමනාකාරීත්වයේ ඇති අනවබෝධය හේතු වන බවයි. පසුගිය වසර කීපය තුළ ඔවුන් මෙරට රෙදිපිළි, ඇඟලුම්, දුම්කොළ, පෝසිලේන්, අධ්‍යාපන, කෘෂිකර්මික, ආහාර, ගුවන් මෙන්ම තොරතුරු තාක්ෂණ ආදි විවිධ ක්ෂේත්‍රවල ලීන් සංකල්පය පුහුණු කිරීමේ කටයුතුවල නිරතවන අතර අවබෝධ කරගෙන තිබුණේ මෙරට කර්මාන්ත ප්‍රායෝගිකව ලීන් ක්‍රමවේද භාවිත කරන්නේ නම් වාර්ෂික පිරිවැය සියයට 5-15ත් අතර ප්‍රමාණයකින් අඩු කරගැනීම ඉතා පහසු බවයි. එවැනි පිරිවැය අඩු වීමකදී පාරිභෝගික තෘප්තිය උපරිම තලයකට ගෙන ඒමට හැකි වන අතර එයින් ව්‍යාපාරයේ වර්ධන වේගය 10% සිට 30% ප්‍රතිශතයකින් ඉහළ නැංවීමටත් හැකියාව තිබෙනවා. මේ ආකාරයට රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම වාර්ෂික පිරිවැය සියයට පහළොවකින් පමණ ඉතිරි කර ගැනීමට උනන්දු වන්නේ නම් අමතර ආයෝජනයකින් තොරව අන්තර්ජාතික තරගකාරී තලයට අපේ ව්‍යාපාර ගෙන ඒමට හැකි ආකාරය දක්වා අපේ කතාව ඇදී ගියා. ලීන් ක්‍රමවේදය අධ්‍යයනයෙන් දැනට පවතින කර්මාන්තවලට අලුතින් අරඹන ව්‍යාපාරවලට, අනාගතයේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට බලාපොරොත්තුවෙන් ඒ විෂයය ක්ෂේත්‍රවල අධ්‍යාපනය ලබන්නන්ටත් ජාතික ඵලදායීතාවට උපරිම දායකත්වයක් ලබාදීමට හැකි වන්නේ කෙසේද යන්නත් කතාබහේම කොටසක්. මෙයට බාධාවක් ලෙස ඇත්තේ ලීන් සංකල්පය පිළිබඳ බොහෝ පොතපත ඉංග්‍රීසි බසින් පළ වී තිබීමයි. එනිසා ඔවුන් ලීන් පෙරළිය ව්‍යාපාරික නවකතාවක් ලෙස ඉදිරිපත් කරන්නට සිතුවා.

මෙහි කතාව ඇරඹෙන්නේ‌ සසිරි නම් විස්කෝතු ව්‍යාපාරයක සාමාන්‍යාධිකාරීවරයා වන ලක්ෂාන්ගේ හදිසි ඉල්ලා අස්වීම සමඟින්. ඔහු එසේ තීරණය කරන්නේ වසර දෙකක් පුරා ආයතනය පාඩුලබන තත්ත්වයකට ඇද වැටීමෙන්ද පසුවයි. සංජය සිරිවර්ධන නම් ආයතන හිමිකරුට බිස්කට් ව්‍යාපාරය පිළිබඳ විශාල දැනුමක් නැතත් ඔහු වෙනත් ව්‍යාපාර සාර්ථකව කරන්නෙක්. වෙනත් විස්කෝතු කර්මාන්ත ශාලාවක සේවය කළ ලක්ෂාන් මෙහි සාමාන්‍යාධිකාරීවරයා ලෙස සංජය පත් කරගන්නේ ඔහුගේ පාසල් මිතුරු නලීන්ගේ කීම අහක දැමිය නොහැකි බැවින්.

 

"ඔයාගෙ තීරණය ඔයාගේ අතේ තියෙන්නේ, ඒත් මේ හින්ද මම වැටුණේ ලොකු අමාරුවක,... මට කියන්න බැහැ ලක්ෂාන්ට යන්න එපා කියලා. ඒත් මේ බිස්නස් එක මේ තත්ත්වයේ තියෙන එකට ඔයත් වගකියන්න ඕනේ" සංජය ලක්ෂාන්ගේ මුහුණ දෙස බලාගෙන කතා කලත් ලක්ෂාන් සිටියේ මේසය මත තිබුණු කැලැන්ඩරය දෙන බලාගෙනය.

"මේකයි සංජය, ඔබතුමාට මතක ඇති මම මෙතැනට එද්දි මේකෙ මේකර් මැෂින් දෙකවත් හරියට සකසලා තිබුණෙ නැහැ. පළමුවෙනි මාස කිහිපයම ගියා යන්ත්‍ර ටික හදලා කරලා හරි තත්ත්වයට බිස්කට් ටික එළියට ගන්න. අනිත් එක මෙතන වැඩ කරන සේවකයන් ටික මුල ඉඳලාම පුරුදු කරලා ගත්තෙත් මම"

"ඔයා හරි ලක්ෂාන්! ඒකනේ ඔයාව මම සාමාන්‍යාධිකාරී කරලා පඩියක් දීලා අරගත්තේ. ඒක ඔයාගෙ රාජකාරියේ කොටසක්"

මෙයින් කතුවරුන් මනාව ඒත්තු ගන්නවන්නට යන්නේ අපේ බහුතර ආයතනවල සේවකයන්ගේ පවතින ආකල්පයකි. ඇතැමුන් සිතා සිටින්නේ ආයතනය වැටුප් ගෙවන්නේ සේවයට වාර්තා කිරීමට බවයි. ඉතිරි රාජකාරි සියල්ල තව කාට හෝ කරන උදවුවක් ලෙස සිතීමට නැත්නම් 'ඔයාට නිසා මේක මම කරලා දෙනවා' වැනි දේ කීම රජයේ මෙන්ම පෞද්ගලික අංශවල සේවකයන්ගේ පුරුද්දක්. ඔවුන්ට මතක නැති දේ තමන්ට වැටුපක් ලැබෙන්නේ ඒ රාජකාරි කිරීම සඳහා බවයි. සුළු සේවකයන් පවා ඇතැම්විට ලියුමක් පිටපත් කිරීම පවා 'ඔය සර්ට නිසා කරලා දෙනවා' කියනු දකින්නට හැකියි. එය නියමිත රාජකාරී පැවරුමක් පිළිබඳ සේවකයන් දැනුම්වත් නොවීම නිසා සිදුවන්නක් බව නොකියා බැහැ. සියලු සේවකයන් තමන්ගේ රාජකාරිය කුමක්දැයි නිසි ලෙස හඳුනා ගන්නේ නම් එය තම වගකීම මිස කිසිවකුට කරන උදවුවක් නොවන අතර ඒ වෙනුවෙන් ප්‍රතිඋපකාර කිරීමට අනෙකාටද සිදු නොවන නිසා රාජකාරිය පහසු වන බවට ඔබටමත් අත්දැකීම් ඇති.

ආයතනයේ හිමිකරු සංජය අවසානයේ ඉහළ කළමනාකාරීත්වය කැඳවා මේ ව්‍යාපාරය විකුණා දමන්නට තමන් තීරණය කරන බව දන්වනවා. එවිට එහි සිටි රමේෂ් කළමනාකාර අධ්‍යක්ෂවරයා සමඟ ඍජු කතා බහකට සූදානම් වන්නේ ඒ තුන (ඒ3) චින්තනය සමඟින්. ඒ ත්‍රී චින්තනය බෞද්ධ දර්ශනයේ චතුරාර්ය සත්‍යය මෙන් බව කතුවරුන් පැවසීම ඇගයිය යුතුයි. හේතුව අප මේ සියලු සංකල්ප අලුතෙන් සොයා ගත්තා යැයි පැවසුවද බෞද්ධ ආර්ථික ක්‍රමවේදයේ මේ සියල්ල පිළිබඳ මනාව පැහැදිලි කර තිබෙන නිසායි. ප්‍රශ්නය, ප්‍රශ්නයට හේතු, ප්‍රශ්නය නැති කරන ආකාරය සහ ප්‍රශ්නය නැති කිරීමේ ක්‍රියා සැලසුම යන කරුණු එකම ඒ3 කොළයක පැහැදිලිව සටහන් කර තම ප්‍රධානියාට ඉදිරිපත් කිරීමට රමේෂ් තීරණය කරන්නේ ටයිචි ඕනෝ කියන දළදඬු එහෙත් හොඳ දැක්මක් තිබුණු නායකයාට ව්‍යාපෘති යෝජනා රැගෙන යන්න ඉංජිනේරුවන් සොයාගත්ත ක්‍රමය මතක් කරගෙන. ටයිචි ඕනෝට වැඩි පිටු ගාණක් දුන්නත් බණිනවා, කෙටියෙන්ම කීවත් පැහැදිලි නෑ කියලා බණිනවා. ඉංජිනේරුවන් ඒ නිසා තමයි ඒ3 කොළය සොයාගත්තේ . 1960 ගණන්වල ටොයෝටා ආයතනයත් මේ කොළ භාවිත කරලා ඒ3 චින්තනයෙන් වැඩ අරන් තිබෙනවා. ඒ වගේම ලීන් ක්‍රමය පිළිතුරු සොයන්නේ පේන ප්‍රශ්නයට වඩා ප්‍රශ්නයේ හේතුවට. එය හේතුඵල වාදය හා මනාව ගැළපෙනවා. ඒත් ක්‍රමය වැරදුණොත් කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ වෙන්නත් පුළුවන්. ඒ නිසයි ලීන් සංකල්පය හරියට දැන ගැනීම වැදගත් වන්නේ. ජපානයේ මෙවැනි සංකල්ප බිහිවෙන්න එහි ඇති බෞද්ධ දාර්ශනික පසුබිම පදනම් වෙන්නත් පුළුවන්.

ආයතනය ගොඩ ගන්න රමේෂ්ට සංජය මාස තුනක් කල් දුන්නත් අභියෝග එන්නේ එකමත එක. විශේෂයෙන් නලින් වගේ අය තමන්ගේ මතයෙන් වෙනස් වෙන්න අකමැති වුණාම ආයතනවල වෙනසක් කරන්න හරි අමාරුයි. ඒ සඳහා ආකල්පමය වෙනස ඇති කරන්නේ කොහොමද?

"රමේෂ්, ලංකාව වගේ රටක මොනවා වුණත් ගුරුවරයාට මිනිස්සු ගරු කරනවා. අපි කෙනකුට යමක් ඉගැන්නුවාට පස්සේ එයා මොන තරාතිරමක කෙනෙක් වුණත් පොඩි හරි ගෞරවයක් ඇති කරගන්නවා තමාට යමක් ඉගැන්නුව කෙනා ගැන. ප්‍රතිරෝධී කෙනෙක්ව වුණත් වෙනස් කරන්න හොඳ පුහුණුවකට පුළුවන්"

මෙසේ පවසන්නේ රමේෂ්ගේ ලීන් ගුරුවරයා වූ ශානකයි. කෙතරම් අභයෝග මැද වුවත් රමේෂ් තමන්ගේ වැඩමුළු ආදිය මේ කුඩා ආයතනයේ සියලු සේවකයන් සහභාගී කරගෙන පවත්වනවා. ඒ සඳහා ආයත ප්‍රධානියාටත් හොඳ දැක්මක් තිබීම අත්‍යවශ්‍යයි. නැත්නම් පසුගාමී සේවකයන්ගේ පැත්තට ප්‍රධානියා කතා කළොත් මේ උත්සාහය සඵල වන්නේ නෑ.

මේ කතාව කියවන්නාට එස් 5 ක්‍රමය පිළිබඳ ඇති වැරැදි මත ආදිය ගැනත් හීන් සීරුවේ කියා දෙනවා. මොකද සමහරු හිතාගෙන ඉන්නේ එස්පහ කියන්නේ සියලුම පරණ දේවල් විසි කරලා අලුත් දේවල් එක්ක ලස්සනට ආයතන තියාගැනීම කියලා. අනවශ්‍යයි කියා සිතෙන දෙයක් වුණත් ඉවත් කරන ක්‍රමවේදයක් තිබෙනවා. මොන දේ ගැන වුණත් බාගෙට දැනගන්නවාට වඩා පැහැදිලිව අවබෝධ කරගත්තොත් එයින් ඵලප්‍රයෝජනයක් ගන්න පුළුවන් බව මෙහි මනාව ඉස්මතු කර තිබෙනවා. නිෂ්පාදන ක්‍රියාවලියක අනවශ්‍ය කාලය ගතවීම් ගණනය කරගන්නා ආකාරය, ඒ නාස්තිය අඩු කරගැනීම, සේවකයන්ගේ අපහසුතා හඳුනා ගැනීමට 'ගෙම්බ වෝක්' යන හැටි මෙහි තිබෙනවා. අපිට 'ගෙම්බ' කීවාම හිනා ගියාට එය ජපන් භාෂාවෙන් කොච්චර වටින වචනයක්ද කියලා පොත කියෙවුවොත් තේරුම්ගන්න පුළුවන්. ආයතනයක වැඩ කරද්දි ගෙදර ප්‍රශ්න උද්ගත වන හැටි, රමේෂ්ගේ පවුල් ජීවිතය ගෙවා ගන්න හැටි ආදි මේ සියල්ලම ලීන් පෙරළියේ ඇතුළත්.

මාස තුනකදි සසිරි ආයතනය ගොඩ ගන්න රමේෂ් දැරුව උත්සාහය අසාර්ථක වන්නත් හේතු තිබුණා. ඒවාට ඔහු ඔහුගේ ලීන් ගුරු ශානකගෙන් වැඩි උපදෙස් ලබා ගත්තා. අවසානයේ අඩුම තරමින් ආයතනය විකුණන එකෙන් බේරගන්නවත් රමේෂ්ට පුළුවන් වෙයිද කියන දේ උදාහරණ සහිතව, රූප සටහන්ද යොදා ගනිමින් පාඩමක් කතාවකින් කියනවා වගේ කියා දෙන්න කතුවරුන් දෙදෙනා උත්සාහ දරා තිබෙනවා.

කතාවේ මැද කොටස වන විට සිද්ධාන්තවලට වැඩි යොමුවක් තිබුණත් 'ව්‍යාපාරික නවකතාවක්' කියවන කෙනකුට තමන්ගේ දැනුම වඩා ගන්න හොඳ මාර්ගෝපදේශයක් ලෙසයි කෘතිය පෙනෙන්නේ. කතාව අවසානය වන විට ලීන් පෙරළිය කෙබඳු ආකාර විය යුතුද යන්නත් එය තමන්ගේ මට්ටම අනුව ව්‍යාපාරයකට යොදවා ගත හැක්කේ කෙසේද යන්න ගැනත් යම් අවබෝධයක් දීමට ලපිත ගුණසිංහ සහ අසංක හේනෙගෙදර සමත් වී ඇති බව නොකියාම බැහැ. මෙය ලීන් නායකත්ව මඟ අංක 1 ලෙස හැඳීන්වීමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ ඉදිරියේදී වඩාත් ගැඹුරු සිද්ධාන්ත සරලව සිංහල පාඨකයන්ට ලබා දීම විය යුතුයි.

කොරෝනාවත් සමඟ නව සාමාන්‍යයේ සිට යළි හිස ඔසවද්දි සරස්වතියගේ බැල්ම අනූනව ලද කලාකරුවන්ට තමන්ගේ යම් ව්‍යාපාරයක් වේ නම් එයට ලක්ෂ්මියගේ ආශීර්වාදය නොමඳව ලබාගන්නත් ලීන් සංකල්පය උපකාර වේවා කියා පතනවා.