වර්ෂ 2023 ක්වූ September 28 වැනිදා Thursday
මම මතින්-දුමින් තොරයි

වසර හතළිහක පමණ කාලයක් කලා ලෝකයේ සැරිසරමින් එදා මෙදාතුර බිහි වූ විශිෂ්ට කලා කෘතින්හි ඔහුද තම රංගන කුසලතාවය මොනවට ප්‍රකට කළේය. අම්මාවරුනේ, වෑකන්ද වලව්ව, ලොකු දුව යහළුවෝ, ගිරය, ගොළු හදවත, ගැහැනු ළමයි, කෙළි මඬල, පුරහඳ කළුවර ඔහු දායක වුණ අතිශය ජනාදරයට පත් නිර්මාණ ගොන්න අතරින් කිහිපයකි. ඔහු සමඟ රංගනයේ යෙදුණ, ඔහු සමඟ නිර්මාණකරණයේ යෙදුණ බොහෝ දෙනෙකු අද ජීවන රඟමඬලින් බැස ගොසිනි. ශ්‍රී ලාංකේය කලා රසිකයාට පමණක් නොව විදේශීය නිර්මාණ කෙරෙහිද ඔහුගේ රංගන දායකත්වය ලබා දුන් බවට ද ගුඩ් කර්ම හොස්පිටල්, මිඩ් නයිට් චිල්රන්, මදර් තෙරේසා, ගාන්ධි ඔෆ් මර්ඩර්ව්ද්නි නිර්මාණ නිදසුන් සපයයි. ඔහුගේ රංගනය තවත් මොනවට විද්‍යාමාන කරන්නේ මේ දිනවල දෙරණ නාළිකාවේ දිගහැරෙන ඉස්කෝලේ ටෙලිනාට්‍යයෙහි මාළු කපිලගේ චරිතයෙනි. ඔහු නමින් රංජිත් රූබසිංහ.
ඔබට මාළු කපිල වෙන්න ලැබෙන්නේ කොහොමද?
සමන් එදිරිමුණි නම් රචකයා දිනක් මට කිව්වා මෙවැනි චරිතයක් තියෙනවා කියලා. ඔහු මේ චරිතය පිළිබඳ යම් විස්තරයක් කළා. ඒ කතාව පටන් ගන්න කාලයකට පෙර. පසුව දිලුක ප්‍රසද්, ලක්සිරි වික්‍රමගේ, මාධව මඩවල, චරිත් කොතලාවල යන අය මඟින් තමයි මට මේ චරිතය ලැබෙන්නේ.
මේ චරිතය ඔබට ලැබුණම ඔබ කියව ගත්තේ කොහොමද?
අධ්යක්ෂ දිලූක හා රචක සමන් දෙදෙනාම මේ චරිතය පිළිබඳ පැහැදිළි කළා. ඔවුන් මට කිව්වේ මේ චරිතය නිසා ජනප්‍රිය වෙන්න නොවුණත් මේ තුළ රඟපෑමට බොහෝ දේ තියෙනවා කියලා. නිර්මාණය තුළ කපිලගේ චරිතය ගලා යන ආකාරය සාරංශ කරලා මට කියලා දුන්නා.
කපිල මෙච්චර වෙරි වෙන්න නම් අනිවාර්යයෙන්ම රඟපෑමට කළින් පොඩ්ඩක් ගන්නවා ඇති කියලයි බොහෝ දෙනා කියන්නේ?
(සිනාසෙමින්) බොහෝ දෙනෙක් මගෙන් අහනවා බීලා නේද ඉන්නේ අඩුතරමේ රඟපාන්න කළින් කාලක්වත් ගහනවා ඇති නැත්නම් කොහොමද ඔහොම කරන්නේ කියලා. මොකද මේ චරිතය තුළ බීලා වැඩි වෙලා පාරෙත් නිදාගන්න තියෙනවා. බැලූ බැල්මට එය සුළු කාරණයක් විදිහට පෙනුණත් එය සුළු නැහැ. මොකද මම මතින් දුමින් තොර කෙනෙක්. මම මත්පැන්වලට දුම් පානයට බොහොම විරුද්ධ කෙනෙක්. ඒ වෙනුවෙන් මම බොහෝ අරගල කරනවා. අනෙක් අතට වෘත්තීයමය රංගන ශිල්පියෙක් නම් තමන් කරන චරිතයට උපරිම සාධාරණයක් කළ යුතුයි.
ඔබ කාලයක් ක්ෂේත්රයේ ඉන්න ප්‍රවීණයෙක් විදිහට කොහොමද නවක නළු නිළියන් සමඟ කටයුතු කිරීම දැනෙන්නේ?
බොහොම සහයෝගයෙන් ඒ අය එක්ක වැඩ කරනවා. ඒ අලුත් ළමයි බොහොම කැපවීමකින් ඔවුන්ගේ කාර්යය කරනවා. නිවැරදි වෙන්න තැනක් තිබුණොත් එය කියා දුන්නම ඕනෑකමින් අහනවා. මගේම ළමයි වගේ මේ අය.
ඉස්කෝලේ ටෙලි නාට්‍යයට අමතරව මොනවද මේ දවස්වල කෙරෙන්නේ? ඉදිරියේදී මොනවද එන්න තියෙන නිර්මාණ?
මීට අමතරව දෙරණ නාළිකාවේම ධරණි ටෙලිනාට්‍යයට රංගන දායකත්වය ලබා දෙනවා. ඒ වගේම මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ක්ෂීර සාගරය කැලඹිණ චිත්‍රපටයේ රූපගත කිරීම් කරනවා. සරත් වීරසේකරගේ ශ්‍රී සිද්දා චිත්‍රපටයත් ඉදිරියේදී එන්න තියෙනවා. ඒ වගේම කෝපිකඩේ ඒකාංගික ටෙලිනාට්‍ය මාලාවටත් සම්බන්ධ වෙනවා. හඬකැවීම් කටයුතුත් කරගෙන ඉන්නවා.
කපිලගේ චරිතය නිරූපණය කරන විට සිදුවුණු අමතක නොවනම අද්දැකීම මොකද්ද කියලා ඇහුවොත්?
මාළු විකුණන වෙලාවට සමහරු හිතනවා මේ ඇත්තම මාළුකාරයෙක් කියලා. මොකද එයාලා පස්සෙ තමයි කැමරාව දකින්නේ. මාළු මාළු කියනකොට බලාගෙන යනවා. පසුව මාව අඳුරගත්තම මා සමඟ හොඳට හිනා වෙලා යනවා.
ඔබ විදේශීය නිර්මාණවලටත් සම්බන්ධ වූවා නේද?
ඔව්. බොහොමයකට සම්බන්ධ වූවා. ඒ අතරින් ඉදිරියේදී ද ගුඩ් කර්ම හොස්පිටල් රූ ගත කිරීමට නියමිතයි. එය එංගලන්තයේ අයි පී නාළිකාවේ විකාශය වන්නේ. ලංකාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ රවීන්ද්‍ර රන්දෙණිය. මේ දිනවල එහි පෙර නිෂ්පාදන කටයුතු උණවටුණ ප්‍රදේශයේ සිදු කෙරෙනවා.
ඔබ සමඟ එකට රංගනයේ යෙදුණ බොහෝ දෙනෙක් අද නෑ?
ඇතැමෙක් ජීවතුන් අතර නෑ. ඇතැමෙක් ක්ෂේත්රයේත් නෑ. ක්ෂේත්රය යම් බිඳ වැටීමකට ලක් වී ඇති බව සැබෑවක්. ඒ තුළ රැකෙන රැඳෙන එක බොහෝ අමාරු කාර්යයක් වෙලා.
කොහොමද ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?
බොහෝ දෙනෙක් මගෙන් අහනවා මාළු අතගාන්න පුළුවන්ද ඔය විදිහට මැස්සො වහන ගඳ ගහන මාලු අල්ලන්නේ කියලා. සාමාන්‍යයෙන් නළුවෙක් මෙවැනි චරිත කරනවා හරි අඩුයි. ඒ නිසාම වෙන්න ඇති එහෙම අහන්නේ. මම ජීවීතේට මාළු විකුණලා නෑ. ඒත් මට නම් එහෙම අපහසුවක් නෑ. මෑත කාලයේ මට ලැබුණ චරිතවලින් හරිම කැමැත්තෙන් කරන චරිතයක් මෙය. මේවා මේ සමාජය තුළ තිබෙන චරිත. ඒවා ප්‍රේක්ෂකයාට හොඳට දැනෙනවා. ඒ නිසාම ඉතා හොඳ ප්‍රතිචාර තිබෙනවා.