මම අධ්‍යාත්මික වශයෙන් තෘප්තිමත් වන්නේ තව කෙනකුට ඉස්මතු වන්නට අවස්ථාව දීමෙන්

චලන රේඛා රංගායතනයේ අධිපති - නුවන් රන්ජන්
ජූලි 29, 2021

 

අවදානමක් නොගෙන කලාව මෙන්ම ව්‍යාපාරද කළ නොහැකිය. කොරෝනා සමයේ බොහෝ දෙනා සැම අතිකින්ම පාහේ පසුබා සිටිද්දී මවු බිමේ අනාගතය වන දූ පුතුන්ගේ සෞන්දර්යාත්මක කුසලතාවන් ඔප් නංවනු වස් 'චලන රේඛා රංගායතනය' බිහි වන්නේ ඒ අවදානම දරාගෙනය. එයින් තරුණ පරපුර කලාවට යොමු කිරීම මෙන්ම අහිතකර ඇබ්බැහිවලින් මුදවා ගැනීමද අරමුණු කරන බව චලන රේඛා රංගායතනයේ අධිපති නිස්සංඛ ආරච්චිලාගේ නුවන් රන්ජන් මහතා අපට හෙළි කළේ ඔහුගේ ගමන් මඟ පිළිබඳ අතීතාවර්ජනයක් ද සමඟිනි.

"මම තර්ස්ටන් විද්‍යාලයයේ ආදි සිසුවෙක්. පාසල් කාලේ සෑම කලා උලෙළකම තේමා ගීත ගැයීම, උලෙළ සංවිධානය කිරීම, භාණ්ඩාගාරික වශයෙන් කටයුතු කිරීම ආදිය කළා. 2007 වසරේ නයිට් ඔෆ් ද නයිට්ස් කියලා එවක කලා ක්ෂේත්‍රයේ තරු සමඟ පාසලේ ප්‍රසංගයක් පවා සංවිධානය කළා. මේ කලා ළැදියාව මට ලැබෙන්නේ මගේ මවුපියන්ගෙන්.

මගේ තාත්තා එන්. ඒ. උපුල් ශාන්ත, ව්‍යාපාරිකයෙක් වුණත් ශාලාවකට අලුත් චිත්‍රපටයක් ආවොත් එකම චිත්‍රපටය පවා වාර දෙක, තුන බලන්න අපව ගෙන යනවා. ඔහු කලාකරුවන් බොහෝ දෙනකු හඳුනන නිසා ජීවන් කුමාරණතුංග, රන්ජන් රාමනායක වැනි ශිල්පීන් මට කුඩා කල සිටම ඇසුරු කරන්න ලැබී තිබෙනවා. ඒ අයගේ රූපකාය, ලස්සන, ග්ලැමර් එක ඒ හැම දේම මම පොඩි කාලේ ඉඳන් අත්විඳලා තිබෙනවා. ඒ ආභාසය නිසයි මම සිනමාවට ආකර්ෂණය වුණේ.

අධ්‍යාපන කටයුතු සඳහා මම විදෙස්ගත වුණේ වයස අවුරුදු 18දි. මුලින්ම මැලේසියාවේදී ආහාර පාන සහ හෝටල් කළමනාකරණය පිළිබඳ උපාධිය හැදෑරුවා. මොකද මම ඉවුම් පිහුම්වලට හරි ආසයි, මම උයන දේ කන්නත් බොහෝ දෙනා ආසයි. ඒ කොතරම්ද කීවොත් අවසානයේ මැලේසියාවේ අයටත් ආහාර සැකසුම් ක්‍රම පිළිබඳ උගන්වන්න තරම් හැකියාවක් මම එහිදී ලැබුවා. ඒ සමඟ මට රුසියාවට ශිෂ්‍යත්වයක් ලැබුණා. මොස්කව්වල සිනර්ජි විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ උපාධිය සම්පූර්ණ කළාට පසුව ඔවුන් මාව ඒ විශ්වවිද්‍යාලයේම අන්තර්ජාතික සබඳතා කළමනාකරු ලෙස සම්බන්ධ කරගත්තා. එරට අධ්‍යාපනය සඳහා අප රටෙන් යන සෑම සිසුසිසුවියක්ම සම්බන්ධීකරණය කිරීම පැවරුණේ මට. මේ ආකාරයට මම අවුරුදු 12ක් ජීවත් වුණේ පිටරට. ඉන් පසු ලංකාවෙ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් තුර්කියට ගිහින් හිටියදී තමයි කොරෝනා සමයට මුහුණ දෙන්න වුණේ. ඒ සමඟ මම ලංකාවට ආවා."

මවුබිමට පය තැබූ මොහොතේ සිට නුවන් රන්ජන් මහතාගේ සිතේ යටපත්ව පැවැති ආශාවක් මුදුන් පමුණුවා ගැනීමට අවස්ථාව උදාවිය.

"ශ්‍රී ලංකාවට ආවාම මට තිබුණ ලොකුම ආශාවක් ඉටු කරගන්න හිතුවා. ලංකාවේ රංගන පාසල් තිබෙනවා, ඒත් ඉන්දියාවේ අනුපම් ඛේර් රංගායතනය වැනි රංගනය, සටන් කලාව, කාය පුහුණුව, යෝගා, ගායනය, හඬ පුහුණුව වැනි මේ සියල්ල එක වහලක් යටින් පුහුණු වන්න තැනක් තිබුණෙ නෑ. මට ඕනෙ වුණේ ලංකාවේ රඟපෑමේ ආසාව ඇති තරුණ පිරිසට ඒ වගේ තැනක් හදන්න. මොකද ඒ පිරිස එක කණ්ඩායමක් වගේ ඉද්දි සබ කෝලය ඉවත් වෙලා, ඒ අයගේ ශරීරය සුදුසු විදිහට පුහුණු වෙලා කැමරාවක් ඉදිරියේ තමන්ගේ රංගනය ඉදිරිපත් කරන්න පුළුවන් වන මට්ටමට හැදෙනවා.

ඒ නිසා 2020 දෙසැම්බර් 29 චලන රේඛා රංගායතනය පටන් ගත්තා. අපේ සමාජයේ බොහෝ දෙනා සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වෙලා. ඒ නිසා අපේ කියලා සංස්කෘතියක්, කලාවක් බිහිවන්නේ නෑ. ඒ අය බොහෝ දෙනා හිතන්නේ ඉන්ස්ටර්ග්‍රැම් හෝ ටික්ටොක් එකක් කළ විට තමන් මහා කලාකරුවෙක් කියලා. ඒත් ඒ අයට සිනමාවේ බර දැනෙන්නේ නැහැ. ඒ නිසා එවැනි අයට මේ පිළිබඳ අවබෝධයක් දීමට තෝතැන්නක් සැපයීමටයි මට අවශ්‍ය වුණේ.

ඒ වගේම ලංකාවේ බොහෝ තරුණ පිරිස් මත්ද්‍රව්‍ය සහ වෙනත් විවිධ සමාජ විරෝධී ක්‍රියාවලට ඇබ්බැහි වෙමින් පවතිනවා. ඒ අය තමන්ගේ ශරීර සුවතාව, සිරුරේ හැඩය ආදි කිසි දෙයක් ගැන සිතන්නේ නැහැ. පිටරටවල අය ඒ වගේ නෙවෙයි. තමන්ගේ සමේ පැහැය, දීප්තිය ආදී බොහෝ දේ ගැන පවා හිතනවා. ඒ නිසා අපි අවුරුදු 16 විතර වයසේ ඉන්න දරුවන්ගේ සිට මේ දේවල්වල වටිනාකම පිළිබඳ කියා දුන්නොත් එය නඩත්තු කරගෙන ඉදිරියට යයි කියන බලාපොරොත්තුව මට තිබුණා. පිටරට අය අඳීන පලඳීන විදිහ, කන බොන විදිහ, හැසිරෙන කතා බහ කරන විදිහ පවා වෙනස්. කෙනෙකුට ඒ පිළිවෙත උගන්වා කාවද්දන්න පුළුවන් නම් එයා අවසන් මොහොත දක්වා එය රැකගන්න උත්සාහ කරනවා. කලාකරුවෙකු වුණාමත් පුද්ගලයෙක් තමන්ගේ ඇඳුම පැලඳුම හැසිරීම කතාබහ වගේම ආත්ම ගෞරවය රැක ගැනීමට උනන්දු වෙනවා. මේ දේවල් සමාජයට හුරු කළාම පුද්ගලයන්ගේ තලය මේ ඉන්න තැනින් තව අඩියක් ඉහළට යයි කියලයි මම විශ්වාස කරන්නේ. මොකද ඒ පැවැත්මෙදි ඔවුන් සිගරට් අරක්කු බොන්න හිතන්නෙත් නෑ තමන්ගේ පෙනුමට හානි වන නිසා. මේ ආයතනයට සම්බන්ධ වෙන අය සියලු දෙනාටමත් කන බොන අඳීන පලඳීන විදිහ පවා වෙනස් කරන්න සිදු වෙනවා. මම ආස හැම කෙනාම ලස්සනට ඉන්නවා දකින්න. අපිළිවෙළට ඉන්නවා දැක්කොත් මම ඒ ගැන කියනවා. ඉතින් 'චලන රේඛා රංගායතනය' ගොඩ නැඟෙන්නේ එවැනි පදනමක් සමාජය තුළ ස්ථාපිත කිරීමේ අරමුණින්.

අපේ පළමු කණ්ඩායමේ සිසු දරු දැරියන් සමඟ මා විසින් තිරරචනය, දෙබස් කතාව ලියා අධ්‍යක්ෂණය කරන ලද 'වාෂ්ප' නම් විනාඩි 50ක චිත්‍රපටය යූ ටියුබයේ ප්‍රදර්ශනයටත් කටයුතු කළා. එයට සහභාගී වූ 60 දෙනාටම සම්මාන උලෙළක් පවා පැවැත්වූවා. චලන රේඛා යූටියුබ නාළිකාව ඔස්සේ ඒ සියල්ල නැරඹිය හැකියි.

මොස්කව්වල බ්ලොග් ආදිය හදද්දි මම ඒ සඳහා සහාය කැමරා ශිල්පී, සහාය අධ්‍යක්ෂ වගේම නව සංකල්ප ක්‍රම සහ පිටපත් රචකයකු ලෙසත් කටයුතු කළ අත්දැකීම් තමයි මම වාෂ්ප නිර්මාණයට යොදා ගත්තේ.

මගේ සිනමා කථනයෙත් ගැබ් වන්නේ දේශපාලනය සහ කුතුහලය. 'කලම්බු සැටලයිට්' නමින් මෙවර කරන නිර්මාණයේත් අඩංගු වන්නේ එවන් තේමාවක්. මගේ ඇඟේ ලේවල දේශපාලනය තිබෙන නිසායි එවැනි තේමාවලට හිත යන්නේ. මට භාෂා හයක් පමණ හසුරුවන්න පුළුවන් නිසා සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවලින් ගීත ලියා තිබෙනවා. 'තටු නැති කළ සිහිනේ' සහ 'ඉතියම් යුද්ධම්' (මේ අපේ යුද්ධය) දෙමළ ගීතය ඒ අතර විශේෂයි. ජේඩීසී තමයි මගේ ගීතවල සංගීතය කළේ. මැලේසියාවේදි මට මහතීර් මොහොමඩ් අගමැති තුමා සමඟ පෞද්ගලිකව ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණා. සිංගප්පූරුව කොහොමද ගොඩ ආවේ කියන විදිහ අධ්‍යයනය කළාම අපේ රටත් ඒ වගේ වසර දෙකකින් දියුණු කළ හැකි බව පේනවා. අපට ඛණිජ සම්පත්, මුහුද, මැණික්, සීමිත ප්‍රදේශයක් තුළ විවිධ දේශගුණික වෙනස්කම් වැනි සම්පත් සහිත රටක් තිබෙනවා. ලංකාවට ඒ වැනි අවස්ථාවක් එයි කියන බලාපොරොත්තුවෙන් ආගන්තුක සත්කාර (හොස්ටැලිටි මැනේජ්මන්ට්) පිළිබඳ අධ්‍යයනයත් කළා.

කුඩා කාලේ ඉඳන් මට තිබූ නායකත්ව ලක්ෂණ සහ ක්ෂණික තීරණ ගැනීම වගේම මූල්‍ය පරිපාලන හැකියාව සහිතව පවත්වාගෙන යන අප ආයතනය කෙරෙහි සිසු දරුවන්ගේත් වැඩිහිටියන්ගේත් ඇති විශ්වාසය තමයි කොවිඩ් වැනි වසංගත කාලයක අරඹා වුවත් ඉහළ ජනප්‍රසාදයකට ලක් වෙමින් විශාල නරඹන්නන් පිරිසක් සහ සිසු සිසුවියන් වැඩි පිරිසක් මේ වෙද්දි ආයතනයට බැඳෙන මට්ටමට අපේ යූටියුබ් නාළිකාව පවා ජනප්‍රිය වී තිබෙන්නේ.

මේ කටයුතු සඳහා දිනෙත් උදාර අහමඩ්, තීක්ෂණ පැතුම් සහ ලකිල රාමනායක යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් සහාය අධ්‍යක්ෂ මණ්ඩලයක් සිටිනවා. ජ්‍යෙෂ්ඨ විධායක අලෙවි කළමනාකාරවරිය ලෙස කළින්දි අමෝදා මෙනවිය කටයුතු කරනවා. ඇය ටවර්හෝල් රංගකලා පාසලේ ඩිප්ලෝමාධාරිනියක් සේම නාට්‍ය හා රංගකලාව පිළිබඳ අධ්‍යාපනවේදී උපාධිය හදාරන්නියක්. අපේ ආයතනයේ සියලු සංස්කරණ කටයුතු සිදුවන්නේ කුෂාන් කවිඳු මහතා අතින්. චලන රේඛා රංගායතනයේ නර්ථනය පුහුණු කරවන්නේ 2018 වසරේ හිරු සුපර් ඩාන්සර් තරගයේ නර්ථන තාරකාවක් මෙන්ම ඉන්දුනීසියාවේ පැවැත්වුණු අන්තර්ජාතික නර්ථන තරගාවලියේ ජයග්‍රාහිකාව වන රිසලි සනුල්‍යා මෙනවියයි. රංගන පුහුණුව ටවර්හෝල් රංගකලා පාසලේ නාට්‍ය හා රංගකලාව පිළිබඳ ඩිප්ලෝමාධාරී මෙන්ම නාට්‍ය හා රංගකලාව පිළිබඳ අධ්‍යාපනවේදී උපාධි අපේක්ෂක දිනුෂ ප්‍රියශාන් මහතාත්, සටන් කලා පුහුණුව කළුපටි දෙවැනි ශ්‍රේණියේ පුහුණුව ලත් කුෂාන් කවිඳු මහතාත් විසින් සිදු කරනවා. මාස හයක පාඨමාලාවක් වන මෙහි මුල් සති තුන පිළිවෙළින් නර්ථනය, රංගනය සහ සටන් කලාව වෙනුවෙන් වෙන් කෙරෙන අතර සිවුවැනි සතියේ විශේෂ ඡායාරූප ගැනීමකින් පසුව නිර්මාණ සඳහා සහභාගී කරවා ගැනෙනවා. ඉදිරියේදී මේ ක්ෂේත්‍රවල ප්‍රවීණ ශිල්පීන් මේ පාඨමාලාවට සම්බන්ධ කර සිසු සිසුවියන්ට වඩාත් හොඳ පුහුණුවක් ලබා දෙන්නත් අනාගතයේ රුසියානු විශ්වවිද්‍යාලයක් සමඟ චලන රේඛා රංගායතනය සම්බන්ධ කරන්නත් බලාපොරොත්තු වනවා.

දෙවැනි කණ්ඩායම සඳහා සිසුන් බඳවා ගැනීමට අපි සූම් තාක්ෂණය ඔස්සේ සම්මූඛ පරීක්ෂණ පවත්වනවා. සිසුන්ට නියමිත වෙලාවන් වෙන් කර පෞද්ගලිකව පරීක්ෂණ සඳහා සහභාගී වීමටත්, අගෝස්තු 15න් පසු යළි සුදර්ශි ආයතනයේ පවත්වන්නට බලාපොරොත්තු වන පුහුණුවීම් සඳහාත් මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ උපදෙස්වලට අනුකූලව කටයුතු යොදා තිබෙනවා.

අපේ අවසාන අරමුණ සිනමා ශාලාවලින් ඈත් වී සිටින ප්‍රේක්ෂකයා යළි ශාලාවට කැඳවීම. එහිදී වසර පහක් පමණ ඇතුළත ලක්ෂ දහයක පමණ පිරිසක් එක් කර ගැනීමයි අපේ අභිලාශය. චලන රේඛා මඟින් නිපදවන නිර්මාණයකට එවැනි පිරිසක් ආකර්ෂණය කර ගැනීම තමයි මගේ මූල්‍ය ඉලක්කය වන්නේත්. එය දිගු කාලීන සැලැස්මක්. සිසුන් 100ක් පමණ සෑම සය මසකට වරක් අපෙන් බිහි කරද්දි වසර පහක් පමණ ගත වන විට 2000ක පමණ පිරිසක්වත් අපට එකතු වෙනවා. ඒ ආශ්‍රිතව රොක් වන වපසරිය සමඟ අප චිත්‍රපටයක් ශාලාවට නිකුත් කරන අවස්ථාවේ එය වැලඳගන්න අවශ්‍ය ප්‍රේක්ෂක කණ්ඩායම අපි ගොඩනඟා අවසන්. මගේ චේතනාව ලංකාවේ ජ්‍යෙෂ්ඨ ශිල්පීන්ට හානියක් නොවන දෙවැනි පරම්පරාවක් බිහි කිරීම සහ මගේ ඒ දරුවන් ටික කැපී පෙනෙන පිරිසක් බවට පත් කිරීමයි. මම අධ්‍යාත්මික වශයෙන් තෘප්තිමත් වන්නේ තව කෙනකුට ඉස්මතු වන්නට අවස්ථාව දීමෙන්." බව ඔහු පැවසීය.

 

කොළඹ 8, ටර්නර් පාරේ, අංක 7 දරන ස්ථානයේ පිහිටි චලන රේඛා රංගායතනයේ සම්මුඛ සාකච්ඡා සඳහා විමසිය හැකි දුරකථන 0740 102108/ 0740326354

 

 

සේයාරූ-සුදත් නිශාන්ත

ඔබ ආයතනය පිළිබඳ විස්තර පළ කරගන්න අමතන්න - 0718217056