ශනුද්‍රි රඟන අලුත් ගීතයක්

තිසර ඉඹුලානගේ අධ්‍යක්ෂණයක්
ජූලි 29, 2021

 

 

දිනේෂ් ගමගේ කියන්නේ නවක ගායන තරු අතර කැපී පෙනෙන දක්ෂතා පෙන්වූ ගායන ශිල්පියෙක් සේම සංගීත අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ නවතම ගීතයේ රූපරචනාව විශේෂයි. මෙවර සරසවිය කවරය හැඩවෙන්නේ එම රූපරචනාවේ සේයාරුවකින්. ජනප්‍රිය රංගන ශිල්පිනී ශනුද්‍රි ප්‍රියසාද් සමඟ දිනේෂ් ගමගේ එහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. දකුණු ඉන්දියානු ආභාසය රැගත් මේ රූප රචනාව අධ්‍යක්ෂණය කරනු ලබන්නේ තරුණ අධ්‍යක්ෂවරයෙකු වන තිසර ඉඹුලාන විසින්. 2011 වසරේ තිරගත වුණු "නිනෝ ලයිව්" සිනමා පටයෙන් ක්ෂේත්‍රයට පිවිසි තිසර එම සිනමා පටය සඳහා සම්මානද ලබාගත් තරුණ සිනමා අධ්‍යක්ෂවරයෙක්. තරුණ හදවත්වලට කතා කරන දිනේෂ්ගේ මියුරු හඬ රූප පෙළකට ගත් ආකාරය ගැන කතා කරන්න අපි තිසර ඉඹුලානව සම්බන්ධ කරගත්තා

 

තිසර නැවතත් ලස්සන ආදර කතාවක් රූගත කරලා තියෙනවා?

ඔව්. මේක දිනේෂ් ගමගේගේ අලුත්ම සින්දුව "වැහි බිඳු වැටෙනවා නම්". එහි රූප රචනාව තමයි මට අධ්‍යක්ෂණය කරන්න ලැබෙන්නේ. ඒ ගීතය ලියන්නේ මනුරංග විජේසේකර. අමිත් ගුරු සංගීත සංයෝජනය කළේ. හසිත් කැමරාකරණය කළේ. සංස්කරණය කළේ චන්දන ප්‍රසන්න. වර්ණ සංයෝජනය කළේ හසිත ජයසංඛ.

මේ රූප රචනාවට පාදක කරගත්ත ආදර කතාව මොකක්ද?

මම 2011 ඉඳලා ගීත රූපරචනා හදනවා. මගේ වෘත්තිය ගීත රූප රචනා සහ වෙළෙඳ දැන්වීම් අධ්‍යක්ෂණය. මේ කාලය තුළ සංගීත ක්ෂේත්‍රයේ විවිධ රැලි එනවා. රූප රචනා ක්ෂේත්‍රයේත් එහෙමයි. සමහර ගීත රූප රචනාවල ගීතයට වඩා කතාව ඉස්මතු වෙනවා. මම මගේ නිර්මාණවලින් ගොඩක් උත්සාහ කරන්නේ මේ දෙකම සමබරව ප්‍රේක්ෂකයන්ට දෙන්න. ගීතය මිනිස්සු අතරට යවන්නයි වැඩි වියදමක් දරලා ගායකයා රූප රචනාවක් කරන්නේ. ප්‍රේක්ෂකාගාරයට ගීතය යවන්න නම් රූප රචනා අධ්‍යක්ෂවරයා විදිහට මම ශිල්ප දක්වලා හරියන්නේ නැහැ. ගායකයාගේ දක්ෂතාව ඉස්මතු වෙන්න සහ ගීතයට වෙනම රසයක් දෙන්නයි මම රූපරචනා අධ්‍යක්ෂණය කරන්නේ. මේ ගීත රූප රූපරචනාවේත් කතාව මම කියනවාට වඩා ඒක ප්‍රේක්ෂකයා බලලා ඔවුන්ගේ හැඟීම් එක්ක ගීතය රසවිඳීනවා නම් මම කැමතියි. මම කැමතියි කතාව ඉස්මතු කරනවාට වඩා ගීතයේ තියෙන භාවය රූපරචනාවෙන් ඉස්මතු කරන්න. ඒ නිසා සරල කතා තේමාවක් මේකට මම තෝරගත්තා.

 

ඔබ මේ ගීතයේ රූපරාමුවලට දකුණු ඉන්දියානු ආභාසයක් ගෙනැල්ලා තියෙනවා?

දිනේෂ් ගමගේ මට මුලින්ම මුණ ගැහෙන්නේ ඔහුගේ "දැනෙනා තුරු මා" ගීත රූප රචනාව හදනවිට. දිනේෂ් කියන්නේ නුවරඑළියේ ඉපදුණු නුවරඑළියේ හැදුණු වැඩුණු කෙනෙක්. දකුණු ඉන්දියානු පරිසරයේ ආභාසය එයාගේ ජීවිතේ කොහොමත් තියෙනවා. දිනේෂ්ට පොඩි කාලේ ඉඳන් වැඩිපුර හිටියේ දෙමළ යාළුවෝ. හොඳට දෙමළ කතා කරන්න, දෙමළ ගීත ගායනා කරන්න පුළුවන්. දිනේෂ් ඔහුගේ ඒ අත්දැකීම් තමයි මට නිතරම ඇවිත් කියන්නේ. මේ "වැහි බිඳු වැටෙනවා නම්" ගීතයේත් දෙමළ වාද්‍ය භාණ්ඩවල ශබ්ද තියෙනවා. දිනේෂ්ගේ ආසාව සහ මගේ ශෛලියත් තියාගෙන තමයි ඒ රූපරචනාව හදන්න උත්සාහ කළේ. මේ ගීතයේ දර්ශන තලවලට අපි යොදාගත්තේ කොච්චි කඩේ කෝවිල. දකුණු ඉන්දියානු චිත්‍රපටයක් පවා ඒ කෝවිලේ රූගත කරලා තියෙනවා.

 

රූපරචනාවේ ප්‍රධාන චරිත දෙකෙන් එක් අයෙක් පොඩි කාලේ ඉඳලා කැමරාව හුරු පුරුදු කෙනෙක්. අනිත් කෙනා කැමරාව නුහුරු ගායකයෙක්. කොහොමද මේ දෙපළේ ආදරය කාචගත කළේ?

ගීතයක රූපරචනාව හදද්දි මම මුලින්ම බලන්නේ ගායකයාගේ රංගන හැකියාව. ගායනා කරන්න වගේම ඉදිරිපත් කිරීමත් ඔහු කොහොමද කරන්නේ කියලා මම බලනවා. දිනේෂ් ගායනා කරනවා වගේම ඔහුට රංගන හැකියාවකුත් තියෙනවා. කැමරාව ඉදිරිපිට ඔහුට යමක් කළ හැකි හැකියාවක් මට දැනුණා. ඔහුගේ "දැනෙනා තුරු මා" ගීතයේ රූප රචනාව හදනකොටත් මම ඒ හැකියාව දැක්කා. ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ පොඩි කාලේ ඉඳලා කැමරාව පුරුදු කෙනෙක්. ඒත් ශනුද්‍රි එක්ක මම කලින් වැඩ කරලා නැහැ. ශනුද්‍රි එක්ක නම් ඉතාම ලේසියෙන් වැඩ කරන්න පුළුවන් වුණා. ඒ වගේම ඔවුන් දෙදෙනා කැමරාවට ලස්සනට පේන යුවලක්. ඔවුන්ගේ ශරීර භාෂාවත් ලස්සනට මේ රූප රචනාවට ගැළපුණා.

 

මෙහි ශනුද්‍රිගේ නර්ථනයත් විශේෂයි. ?

කවිඳු මදුශාන් තමයි මේ රූපරාමුවේ නර්ථන අධ්‍යක්ෂණය කළේ. කවිඳුට මම මේ ජවනිකාවට මේ නර්ථන ශෛලිය ඕනේ කිව්වාම ඔහු ලස්සනට භරත නර්තනයක් හදලා දුන්නා. ඒක ශනුද්‍රි ඉතා සුළු කාලයකින් පුහුණු වෙලා ඉදිරිපත් කළා. ශනුද්‍රි කලින් භරත නාට්‍යම් නටපු කෙනෙක් නෙමෙයි. ඒත් ඇය හොඳට පුහුණුවීම් කරලා ආපු නිසා පහසුවෙන් රූගත කිරීම් කරගන්න පුළුවන් වුණා.

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

මම රැකියාව විදිහට රූපරචනා සහ වෙළෙඳ දැන්වීම් අධ්‍යක්ෂණය කළාට මුලින්ම කළේ චිත්‍රපට හදපු එක. මගේ ආසාව සහ කැමැත්ත වැඩියෙන් තියෙන්නේ සිනමා ක්ෂේත්‍රයට. 2019 වසරේ මගේ ඊළඟ චිත්‍රපටයට සූදානම් වෙද්දි තමයි කොරෝනා වසංගතය ආවේ. එහෙම්මම ඒකේ වැඩත් නතර වුණා. ඒත් ඉක්මනට රූගත කිරීම් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක ත්‍රාසජනක චිත්‍රපටයක්. සිනමා ප්‍රේක්ෂකයාට වෙනස්ම අත්දැකීමක් වෙයි.