පින්න මලේ සුද ඇන්න ගිහින්වද

අමරසේන කංකානම්ගේ
අගෝස්තු 5, 2021

 

ගීත රචකයෙකු වන්නට කිසිදු බලාපොරොත්තුවක් හෝ ආසාවක් නොතිබුණු ඔහු අහම්බයකින් ගීත රචකයෙකු වන්නේය. අපේ රටේ ගීත රචනා ක්ෂේත්‍රයට මුතු කැට වන් නිර්මාණ අතළොස්සක් තිලිණ කරන්නට සමතු වූ හේ කලා ලොව තුළ ගීත රචකයෙකු වශයෙන් අභිෂේක ලැබුවද මෙරට සුවහසක් ශිෂ්‍ය පරපුරකට ශිල්ප දුන් ගුරු උතුමෙකු වූවේය. ඔහු පසුගියදා අප අතරින් වියෝ වූ ප්‍රවීණ ගීත රචක අමරසේන කංකානම්ගේය.

ගීත රචනා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ අනන්‍යතාවයක් සනිටුහන් කළ නාමයක් වුවද ඔහු අතින් රචනා වී ඇත්තේ අතළොස්සක් පමණ වූ ගීත නිර්මාණය. එහෙත් ඒ නිර්මාණයන්හි තිබෙන්නාවූ අපූරු සාහිත්‍යමය ගුණාංග, අලංකාර එදා මෙදා මෙන්ම මතුදාද මෙරට ගීත සාහිත්‍යයේ පෝෂණයට දක්වන්නාවූ දායකත්වය අති මහත්ය.

අමරසේන කංකානම්ගේ දකුණේ වැසියෙකි. ඔහුගේ උපන් බිම වූයේ මාතර අපරැක්කය. ඔහු සිය ගම් ප්‍රදේශයට තදින් පෙම් බැන්ද ගැමියෙකි. වරක් ඔහු රූපවාහිනී සාකච්ඡාවක කියා සිටියේ ඔහු ජීවත් වූයේ කලාගාරයක කියාය. ඒ තම උපන් ගම් ප්‍රදේශය අසිරිය තම ජීවිතයට මෙන්ම තමන්ගේ නිර්මාණ ජීවිතයට කෙතරම් බලපෑවේද යන්න පිළිබඳ විග්‍රහ කිරීමටය. දකුණේ ගැමි දිවිය තුළ තොවිල් පළවල්, නාට්‍ය රඟ දැක්වීම්, නාඩගම් මඩු දක්නට නොමැති අවස්ථාවක් නොමැති තරම්ය. එසේම එහි ජීවත්වන ගැමියන් මහත් වූ අභිරුචියකින් , නිදිවරමින් මේ ස්ථානයන්හි එක්රොක් වන්නටද කිසිදු කම්මළිකමක් නොදක්වන්නේය. එවැනි ගැමි දිවියක අක් මුල් ඇතුව වැඩුණු අමරසේන කංකානම්ගේට ගීත රචකයෙකු වන්නට හෝ කවිකාරයෙකු වන්නට කිසිදු වුවමනාවක් නොමැති වූ බව වරක් ඔහුම ප්‍රකාශ කර තිබුණි. එහෙත් ඔහු පාසල් අධ්‍යාපනය ලබන සමයේ ‘ සඳකිඳුරු ‘ නාඩගමේ සඳකිඳුරාට රඟපෑ සැටිත්, එකල ඔහුට ගීත ගැයීමේ යම් හැකියාවක්ද තිබුණු බවත් ප්‍රකාශ කර තිබුණි. තමන්ට යම් ගිත ගැයීමේ හැකියාවක් තිබුණා නම් එම හැකියාවම පසු කලෙක ගීත රචනා කිරීමේ රුචිය වඩවන්නට එය හේතුවක් වන්නට ඇතැයි යනුවෙන්ද ඔහු විශ්වාස කළේය.

උපන් ගම මාතර වුවත් ඔහු අධ්‍යාපනය ලබන්නට කුඩා කාලයේදීමකොළඹට පැමිනෙන්නේය. තිඹිරිගස්යාය ලංකා සභා පාසලෙන් සහ ශ්‍රී ලංකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන ඔහු විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් උපාධිධරයෙකු බවට පත්වන්නේය.

ඔහුගේ බලාපොරොත්තුව වී තිබුණේ ගුරුවරයෙකු වන්නටය. ඒ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ කර ගනිමින් ඔහු සිංහල විෂය උගන්වන ගුරුවරයෙකු බවට පත් වූයේය. ඔහුගේ පළමු උපාධිධාරී ගුරු පත්වීම 1970 දී මහවැලිගම මහා විද්‍යාලයටය. ඔහුගේ නිර්මාණ දිවිය ඇරඹෙන්නේද ගුරුවරයෙකු වශයෙන් කැලණිය ගුරුකුල විද්‍යාලයේ සේවය කරමින් සිටියදීය. ගුරුවරයෙකු වශයෙන් සුවහසක් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නැණැස පාදන්නට ඔහු ඇප කැප වී ක්‍රියා කළේය. තම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ හැකියාවන්, දක්ෂතාවයන් සේම නොහැකියාවන්ද හොඳීන් හඳුනාගත් ගුරුවරයෙකු වූ ඔහු ඔවුන්ට නිසිමඟ කියා දුන්නේ සැබෑ ගුරුවරයෙකුගේ මුද්‍රාව සිය ශිෂ්‍ය සිත් මත සදාතනික කරමිනි.

අමරසේන කංකානම්ගේ ගීපද රචකයෙකුවනුයේ අහම්බයකින් බව මින් පෙරද සඳහන් කළෙමි. මේ අහම්බය සිදුවනුයේ 80 දශකයේ මුල් භාගයේදීය. එයට හේතු වනුයේ 1982 වසරේදී කැලණිය ගුරුකුල විද්‍යාලයේ සංගීත ආචාර්යවරයා ලෙසින් එඩ්වඩ් ජයකොඩි පත්ව ඒමය. ඒ වනවිට ගුරුකුල විද්‍යාලයේ කලා අංශ ප්‍රධානී සිංහල ගුරුතුමන් වූයේ අමරසේන කංකානම්ගේය. අලුතින් පත්ව ආ සංගීත ගුරුවරයාට තමන් විසින් ලියන ලද කාව්‍ය ග්‍රන්ථ කිහිපයක් ඔහු කියවන්නට දුන්නේය. ඒවායේ පැවති අනර්ඝ බව මෙන්ම රසවත් බව , මිහිරි බව ගැන එඩ්වඩ් ජයකොඩි ගායනවේදියාණන් මෙවැනි සටහනක් තබා තිබුණි.

‘‘ කාව්‍ය පන්ති 7-8ක් මා එක හුස්මට කියවීමි. ඒවා ඉතාමත් රසවත්ය. භාව පූර්ණය. ආකෘතිමය හැඩතල විචිත්‍රය‘‘

මේ විචිත්‍ර ,භාව පුර්ණ කවි ලියූ ගුරුකුල විද්‍යාලයේ සිංහල ආචාර්යවරයාට එඩ්වඩ් ජයකොඩි සංගීත ගුරුවරයාගෙන් ආරාධනයක් ලැබුණේය.

‘‘ මට ගීතයක් ලියලා දෙන්න....,

‘‘ අපොයි මට ගීත ලියන්න බෑ. මම ගීත ලියලා නෑ.‘‘ අමරසේන ගුරුතුමා එක හෙලාම එඩ්වඩ් ගේ ආරාධනය ප්‍රතික්ෂේප කළේය.

එහෙත් ඔහුට එඩ්වඩ්ගෙන් නම් බේරෙන්නට කිසිසේත් නොහැකි විය. ‘ කොහොම හරි ලියමු ‘ ඔහු නිතර ඇවිටිලි කළේය.

අවසානයේ ‘‘ හොඳයි මම උත්සාහ කරලා බලන්නම් ‘‘ යැයි කීවේය. ඔහු එඩ්වඩ්ට ගීත ලියා ගෙනත් දුන් සැටි , ඔහුගේ ගීත රචනා එකතුවට ලිපියක් ලියමින් එඩ්වඩ් මෙසේ විස්තර කර තිබුණි.

‘‘ පසුදින විවේක කාලයේ දී හතරට පහට නැමූ පුංචි ලියුම් කවරයක් ඔහු මා අත තැබීය. මේක ඇතුළෙ දෙකක් තිබෙනවා. හැබැයි ගීතද කියන්න මම දන්නෙනෑ. දැන්ම බලන්න එපා. හොඳ නැත්නම් කිසි කෙනෙකුට පෙන්නන්නෙ නැතුව ඉරලා කුණු කූඩෙට දාන්න. ‘‘

ඉරලා කුණු කූඩෙට දාන්න කියූ ඒ ගීත දෙක මොනවාදැයි කියා ඔබ දැනගත්තොත් අද ඔබ පුදුමයට පත්වේවි.

පින්න මලේ සුද ඇන්න ගිහින්වද

මූණ පුරා .... පෙම් පිරිලා

ඉන්න එපා උඹ හැන්දැකරේ දොර

කන්ද කපා හඳ ගෙට එන්නා

මේ ඔහු ලියූ එක් ගීතයකි. අනෙක් ගීතය මෙසේය.

‘නිල් නුවන් පෙඟෙන අඳුර ගලා

නුරාවෙන් වෙලී

මල් පිපෙන සුළඟ නීලවලා තුළට ගුලි වෙවී

සඳ හොරෙන් සිනාසී නිල්දිය මතට පාවෙමින්

හදේ දොරටු විවර කළෙම්

සොඳුර ඔබෙ නමින්

එකල බොහෝ යෞවන යෞවනියන් අතර අතිශයින්ම ජනප්‍රිය වූ මේ ගීතය අමරසේන කංකානම්ගේ භාෂා භාවිතයේ අපූර්වත්වය මනාව පිළිඹිබු කරන්නකි. එහි අන්තරා භාගයේ ඇති පහත වචනවල ශෘංගාරය එඩ්වඩ්ගේ මන මෝහනීය හඬ පෞරුෂයෙන් ඔප් නැංවී රැවි පිළිරැව් දෙනු යළි යළිත් ඇසෙනු ඇත.

‘ළැම හසුන් රැඟුම් පා මනමත් කළාදෝ

රත තොළින් තොළට දී සෙනෙහස රකීදෝ

සිත සතුට ගෙනාවේ ඔබමය

මගේ සිතත් ඔබ ළඟ නැවතිලා....

අමරසේනයන් ඉරා විසිකරන්නට යැයි කියා ඉල්ලූ ගීත දෙක නොබෝ දිනකින්ම එඩ්වඩ් ගායනා කළේය. ගීත දෙකම සංගීතවත් කරේ ආචාර්ය රෝහණ වීරසිංහයන්ය. එතැන් සිට ඔහු එඩ්වඩ් ජයකොඩිට තවත් ගීත රචනා කළේය.

අමරසේනයන් ගත කළ සුන්දර ගැමි දිවියේ අලංකාරවත් බව ඔහු ගීතයන් තුළින්ද ගෙනහැර පෑවේය. එයට උදාහරණ කීපයක්ද එඩ්වඩ්ගේ ගීත අතරම වෙයි. .

තැන තැන රවුමට ඉඳගෙන

ඉඳහිට එබිකම් කරමින

ලේන්සු හංගන්න ළමයි එක්රොක් වෙන්නා...

මේ ගීතය ඔහු රචනා කරනුයේ රුපවාහිනියේ ‘ ගායනා‘ වැඩසටහන සඳහා එඩ්වඩ්ට ගායනා කිරීමටය. එදා ගැමි සමාජයේ දක්නට ලැබුණු ජනක්‍රීඩා, ළමුන් එක්රැස් වු විට කළ ක්‍රීඩා පිළිබඳ ඔහු තවත් අපූරු ගීත දෙකක් රචනා කළේය. ඒ ‘ චක්ගුඩු ගුඩු ගුඩේ කියලා - ගුඩු පනින්න එමුයි කියලා ගීතය සහ රජ්ජුරුවෝ උඩයි උඩයි‘ මෙම ගීත දෙකම සංගීතවත් කළේ එඩ්වඩ් ජයකොඩි විසිනි.

එඩ්වඩ් විසින් ගායනා කරනු ලබන

ඉස්සර විදියට දුවපැන යන එක මතකද

තහනම් කරපු දිනේ

සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද

කියන්න පොඩි හාමුදුරවනේ.... ගීතය අද මේ මොහොතෙත් කුඩා ස්වාමින් වහන්සේ නමක් දුටුවිට සිහියට එන ගීතයක් බවට පත් වී මේ තිබේ. මේ හැරුණු කොට ‘පෙරුම් පුරාගෙන බුදුවරු වෙන්නේ, (එච්. එම් ජයවර්ධන) විලංගු මාලය කරවට ලෑවට ( රෝහණ වීරසිංහ) ඇතුලු තවත් ගීත කිහිපයක්ද ඔහු එඩ්වඩ් වෙනුවෙන් රචනාකොට ඇත. වරක් එඩ්වඩ් ගේ ගායනා නැමැති ළමා ගී වැඩ සටහනට අමරසේන කංකානම් ගේ රබන් ගී ඇසුරින් ගීතයක් රචනා කළේය.

අත්තන ලම් සේල ඇන්ද

ඉඟ වට කොට නෙරිය බැන්ද

රබාන අරගෙන සුරතට

වයමු එක්වෙලා.....

මේ ගීතය එඩ්වඩ් ගායනා කළාසේම ඔහු සමඟ අත්වැල් ගායනයට එක් වී ඇත්තේ චරිතා ප්‍රියදර්ශනි පීරිස්ය. එය ඇගේ ගායන දිවියේ මුල්ම ගීතයයි. එසේම පසු කළෙක ඔහු එඩ්වඩ්ට හා චරිතාට ‘වැල් මි වැල්වල - මී මල් පිපිලා’ නමින් අවුරුදු ගීතයක්ද රචනා කර ඇත.

1980 දශකයේ සිට ගීපද රචකයෙකු වශයෙන් අමරසේන කංකානම්ගේ කටයුතු කළද ඔහු රචනා කර ඇත්තේ ගීත අතළොස්සකි. ඒද බහුතරයක් විශාරද එඩ්වඩ් ජයකොඩිටමය. ඊට අමතරව කුමාරි බෝතොට, නන්දා මාලිනී, ඇනස්ලි නානායක්කාර, ඇතුළු තවත් බොහෝ ගායක ගායිකාවන්ට ගීත රචනා කළේය. එහෙත් ඒ අතළොස්ස ගීත සාහිත්‍යයේ ප්‍රබෝධය වෙනුවෙන් ගීත දහස් ගණනක් රචනා කළ නිර්මාණකරුවෙකුගේ මෙහෙවර හා සමානය. ඒවා ලාංකේය ගී කෙත පෝෂණය කරන්නාවූ අමරණීය සිහිවටන වී හමාරය. 2014 වසරේදී ‘කොපර පිපිඤ්ඤා’ නමින් ඔහු එළි දැක්වූ ගීත එකතුවට හොඳම ගීත රචනා කෘතියට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානයද හිමි වූයේය.

අමරසේන කංකානම්ගේ 1979 දී විවාහ දිවියට එක් වූයේය. ඔහු දියණියකගේ දයාබර පියෙකි. ගුරු දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් පසු බිරිඳ හා දියණිය සමඟ නාවල සිය නිවසේ විවේක සුවයෙන් පසුවී හදිසි හෘදයාබාධයකින් අප හැර ගියේය.

අමරසේන කංකානම්ගේ නම් වූ ඒ සුවිශේෂ නිර්මාණකරුවාට සුව නින්දක් ප්‍රාර්ථනා කරමු.

 

 

ඡායාරූප - දයාන් විතාරණ