අපේ නිර්මාණ අයිතියට පෙළ ගැසෙමු

- රංග දසනායක
අගෝස්තු 12, 2021

 

 

 

කොරෝනා සමයේ බොහෝ කලාකරුවන්ගේ මැසිවිල්ල වූයේ තම ආදායම් තත්ත්වය පිළිබඳවය. මේ අතර ගීතරචකයන් සහ සංගීත රචකයන්ද සිටි බව රහසක් නොවේ. ඒ අතර යූටියුබය වැනි ඩිජිටල් වේදිකාවල තමන්ගේ ගී නිර්මාණ අනවසරයෙන් ප්‍රචාරය කරමින් වෙනත් අය මුදල් උපයන බවටද මේ දෙපිරිසට අයත් ඇතැමුන් චෝදනා කරනු දක්නට ලැබිණි. ඒ සියලු දෙනා රන් ආකරයක් මත සිටිමින් මේ මැසිවිල්ල නැඟූ බව අපට පැහැදිලි කළේ ප්‍රවීණ ශබ්ද ඉංජිනේරුවරයකු මෙන්ම සංගීතඥයකු ද වන රංග දසනායකයි.

රංග දසනායක යනු කවුරුන්දැයි අමුතුවෙන් කිව යුතු නොවේ. සිංහල සිනමා සංගීතය ඉන්දියානු චිත්‍රපට කොපි සංගීතයෙන් මුදවාගැනීමේ පෙරගමන්කරු වූ සංගීතඥ, චිත්‍රපට නිෂ්පාදක සරත් දසනායකයන්ගේ දෙටුපුත් වන්නේ ඔහුය. එහෙත් පියාණන්ගේ නමින් වැජඹෙනවාට වඩා ස්වෝත්සාහයෙන් ස්වාධීන ගමනක් යන ඔහු මේ වන විට පර්ල් බේ ආයතනයේ විධායක මෙහෙයුම් නිලධාරී ලෙස ද කටයුතු කරයි.

 

අපි මුලින්ම පර්ල්බේ ආයතනය ගැන කියලාම ඉමු?

පර්ල්බේ ආයතනය 2018 සිට මහරගම පිහිටුවූවත් මම එයට සම්බන්ධ වුණේ 2020 සිටයි. මම එද්දි ශබ්දාගාරයක් සහ සංගීත භාණ්ඩ ගබඩාවක් ලෙස තිබුණු එහි නිර්මාතෘ ක්ෂුද්‍රජීව විද්‍යාඥයෙකු වන චතුර මාසිංහ මහත්මා. කොවිඩ් වසංගතය සමඟ රට වැසීගියාටත් පසුව වතාවක් අප කතා කරද්දි අප දෙදෙනාටම අවශ්‍ය වුණා ලංකාවේ ශබ්ද ඉංජිනේරු තාක්ෂණය කියන විෂයයට නිසි සුදුසුකමක් ගෙන එන්න. හේතුව මේ වනතුරු ලංකාවේ මේ වෙනුවෙන්ම උපාධියක් පිරිනමන කිසිම ආයතනයක් නෑ. එ නිසා පළමු දෙවසර ලංකාවෙත් තෙවැනි වසර වෙස්ට් ලන්ඩන් විශ්වවිද්‍යාලය සමඟත් සම්බන්ධ වෙලායි මේ උපාධියට අවශ්‍ය අධ්‍යයන කටයුතු සිදුවන්නේ. ලංකාවෙන් පිරිනමන උසස් ජාතික ඩිප්ලෝමා, ඩිප්ලෝමා සහ සහතික පත්‍ර පාඨමාලා කරන්නේත් එක්සත් රාජධානියේ පියර්සන්ස් ආයතනය සමඟ සම්බන්ධවයි.

ශබ්දාගාර, චිත්‍රපට පසු නිෂ්පාදන, ශබ්ද සංකලන, හඬකැවීම් ශබ්දාගාර ආදියේ සේවය කිරීමට පිටරටවල නම් අනිවාර්යයෙන් සහතිකයක් අවශ්‍යයි. පියරසන්ස් ආයතනය සමඟ සම්බන්ධ වන විට ඔවුන්ගේ ප්‍රමිතිකරණ මාර්ගෝපදේශවලට අනුව තමයි අපි මේ පර්ල්බේ ආයතනයේ ගොඩනැඟීම් පවා සිදු කර තිබෙන්නේ. පියර්සන්ස් අනුබද්ධිතව ආසියානු කලාපයේම ඇති එකම ආයතනයත් පර්ල්‌බේ පමණයි. මහරගම පිහිටි අපේ ශබ්දාගාරය අන්තර්ජාතික මට්ටමේ ඕනෑම කලාකරුවකුගේ පටිගත කිරීමක් කළ හැකි මට්ටමින් 7.1 සහ ඩොල්බි ඇට්මොස් ශබ්ද තාක්ෂණවලින් යුතුව ගොඩනඟා තිබෙනවා. ඒ වගේම (එඥ ච්ඪඤ ධ්බ ට්තධඡචත) වී ඩිඩ් ඉට් ග්ලෝබල් ආයතනයත් පිහිටා තිබෙන්නේ පර්බේ ආයතන ගොඩනැඟිල්ලේමයි. එය තමයි සංගීත ප්‍රකාශකයකු ලෙස අන්තර්ජාතික වශයෙන් ලියාපදිංචි කර තිබෙන කර්තෘභාග කළමනාකරණ ආයතනය.

 

කර්තෘභාග කළමනාකරණ ආයතනයකින් සිදුවන්නේ කුමක්ද?

එමඟින් අප කරන්නේ සංගීත අධ්‍යක්ෂවරයා සහ පදරචකයා කියන නිර්මාණ ශිල්පීන් දෙදෙනාගේ නිර්මාණ ආරක්ෂා කරන අතර ඔවුන්ට ලැබීමට නියමිත කර්තෘභාග අදාළ ස්ථානවලින් අරගෙන දීමයි. එහි එක් කොටසක් තමයි යූටියුබ් කියන්නේ. අප බොහෝ දෙනෙක් කතා වෙනවා යූ ටියුබයේ සින්දු දාලා වෙන අය මුදල් හම්බ කරනවා කියලා. ඒත් යූටියුබයේ පමණක් නොවේ මේ දේ සිදුවන්නේ. අප වැඩිපුර දකින්නේ එය නිසායි එතරම් ඒ පිළිබඳ කතා වෙන්නේ. ඩිජිටල් තාක්ෂණය භාවිත කරන වේදිකා ලෙස ඇපල් මියුසික්, ස්පෝටිෆයි, ෆේස්බුක් වැනි වේදිකා රැසක් තිබෙනවා. ඒවායේ අප දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව නිර්මාණ රැසක් භාවිත වෙනවා. එය ඇතැමුන් කරන්නේ ව්‍යාපාරයක් ලෙස. තවත් අය ආසාවට සින්දු තමන්ගේ මුහුණු පොතේ හෝ එවැනි මාධ්‍යයක ප්‍රචාරය කරනවා. මේ කොයි දේ කළත් අවසානයේ නිර්මාතෘවරුන්ට සිදුවන්නේ අසාධාරණයක්. මොකද මේ නිර්මාණයේ අයිතිය හෙවත් බුද්ධිමය දේපළ අයිතිය නැත්නම් නිර්මාණාත්මක අයිතිය තිබෙන්නේ ගීත රචකයාට සහ සංගීත අධ්‍යක්ෂවරයාටයි. ඒ දෙදෙනාගේ නිර්මාණ දැනුම් දීමකින් තොරව භාවිත කරන තවත් ආයතන වන්නේ රූපවාහිනී සහ ගුවන්විදුලි නාළිකායි. සාමාන්‍යයෙන් රජයේ නීතිය අනුව යම් ගීතයක් වරක් ප්‍රචාරය සඳහා රූපවාහිනී නාළිකාවකින් රුපියල් සියයකුත් ගුවන්විදුලි නාළිකාවකින් රුපියල් විස්සකුත් හිමිකරුවන්ට ගෙවිය යුතු වනවා. ශ්‍රී ලංකාවේ නීතිය අනුව එය බෙදෙනවා කොටස් කීපයකට. ඒ කර්තෘභාග කළමනාකරණ ආයතනයට, ගායකයාට, පදරචකයාට සහ සංගීතඥයාට වශයෙනුයි. ඒ එකක් තමයි ඇක්පෝ. අනෙක ඔස්කා. මෙයින් ගීත රචකයා සහ සංගීතඥයා නියෝජනය කරන ආයතනය වන්නේ ඇක්පෝ ආයතනයයි. ඔස්කා නියෝජනය කරන්නේ ගායකයන්වයි.

මේ කොහොම වුණත් මම දන්න තරමින් නාළිකා කීපයක් තමයි අදාළ කර්තෘභාග ගෙවන්නේ. කනගාටුවෙන් වුවත් කිව යුතුයි රජයේ අනුබද්ධ නාළිකා කීපයකුත් ‌මේ මුදල ගෙවන්නේ නෑ. ඒත් සංගීත වැඩසටහන්, ටොක් ෂෝ, රියැලිටි වැඩසටහන් ආදි සැම දේටම ගීත භාවිත කරනවා. අඩු තරමේ නම් ගම්වත් යොදන්නේ නැතිව හෝ වැරැදි නම්ගම් සමඟ වගේම කිසිදු ගෙවීමකින් තොරව. මේ රේඩියෝ ටීවී සියල්ල දුවන්නේ ගීත සමඟ. ඔවුන්ගේ ගුවන් කාලය ආවරණය වන්නේ ගීතවලින්. යම් මොහොතක සියලුම ගීත අපේ ස්ලාලා සහ ස්ලැම්කාඩා කියන සංවිධාන දෙක රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතන එක්ව හදාගත් මාධ්‍ය සංසදය සමඟ මේ පිළිබඳ කතා කළත් කිසිදු අවසන් එකඟතාවකට පැමිණෙන්න බැරිව ගියා. කනගාටුවෙන් වුවත් කිව යුතුයි ඒ සාකච්ඡාවලදි මට හැඟුණ ආකාරයට නිර්මාණ ශිල්පියා කියන කෙනා බොහොම පහත් කොට සලකායි කතා කළේ. ශිල්පියකු නිර්මාණයක් කරන්නේ බොහෝ වෙලාවට ගණන් මිණුම් ඔළුවේ තියාගෙන නෙවෙයි. ඔහු හදවතින්ම කරන දේ හි යම් ගුණයක් නිසා තමයි එය ජනතාව අතරට යන්නේ. ඔවුන් එය බාල්දු කරන ගමන් තමන්ගේ ප්‍රයෝජනයටත් ගන්නවා. හැබැයි මේ දේට එරෙහි වන්න තිබෙන ලොකුම බාධකය වන්නේ ලංකාවෙ ශිල්පීන්ගේ එකමුතුවක් නොමැතිකමයි. කිසිම දවසක යම් තීරණයකදි එක හිතින් ඉන්න පිරිසක් සොයාගත නොහැකි වීමේ දුර්වලකම නිසා අනෙක් අය ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නවා වගේම මේ සටන දිනන්න බැරි වී තිබෙනවා. හැබැයි අපි සටන ගෙන යනවා. අපේ සාමාජිකයන් 70ක් පමණ ඉන්නවා. ඔවුන්ගේ නිර්මාණවලට අපි සටන් කරනවා. රියැලිටි වැඩසටහන්, සංගීත වැඩසටහන්, සංගීත ප්‍රසංග ආදිය වෙනුවෙන් ගීත භාවිතයේදී ගායන ශිල්පියාට හෝ ශිල්පිනියට විශාල මුදක් ගෙවා ඔවුන් යොදවා ගත්තත් ගීපද රචකයාට සහ සංගීතඥයාට ලැබිය යුතු සුළු මුදල ගෙවන්න ඒ ආයතන සූදානම් නැහැ. එය සම්පූර්ණයෙන් වැරැදියි.

 

ගීතයක් රසිකයන් වෙත ගෙනයෑමේදී ගායක ගායිකාවන්ගේ දායකත්වය නොසලකා හරින්න බැහැ?

ලංකාවේ බොහෝ දෙනකුට පැටලී ඇති තැන තමයි ගායක ගායිකාවන්ට නිර්මාණයකට ඇති අයිතිය කුමක්ද යන්න. නිර්මාණයක නිර්මාණ අයිතිය තිබෙන්නේ ගායක ගායිකාවන්ට නොවෙයි. පද රචකයා තමයි ගීතයට අර්ථයක් දෙන්නේ. සංගීතඥයා තමයි තනුව යෙදීම වගේම ගායකයාගේ සියුම් හැඟීම් ඉස්මතු වන පරිදි ගායනය මෙහෙයවමින් ගීතයට අවශ්‍ය විදිහට කටහඬ මුසුකරවන්නේ. ගායකයාගේ හෝ ගායිකාවගේ කටහඬ එයට දායක වෙනවා තමයි. එහෙත් එහි තේරුම ගායනය කරන්නා නිසා ගීතයක් ජනප්‍රිය වනවා කියන එක නෙවෙයි. එම ගීතය වෙනත් ශිල්පියකු කීවත් ජනප්‍රිය වන්න හේතුව සංගීතය. අපට ඇතැම්විට ගායනය නොවෙයි මතක හිටින්නේ ගීතයක තනුව. ඇතැම් විට වචනත් අමතක වුවත් අතුරු සංගීත කණ්ඩ සහ ගී තනුව අපේ මතකයේ පවතිනවා. ඒ නිසා ගීතයකින් සියයට හැත්තෑවක් පමණ රඳාපවතින්නේ සංගීතය මත.

 

ඒත් ඇතැම් ගායක ගායිකාවන්ගේ සුවිශේෂී හඬ පෞරුෂයන් රසික ආකර්ෂණයට හේතු වනවා නේද?

ඔව්. අදටත් ජෝතිපාල, මිල්ටන් මල්ලවාරච්චි, ග්‍රේෂන් ආනන්ද වගේ අයගේ කටහඬවලට සමාන කරන්න කවුරුත් බිහි වුණේ නැහැ. ඒ නිසා කටහඬේ දායකත්වයක් ගීතයකට තිබෙනවා. ඒත් එයින් කියැවෙන්නේ නැහැ ගීතයේ අයිතිය ගායක ගායිකාවන්ට ලැබෙනවා කියලා.

 

ඔබ කතා කරන්නේ අන්තර්ජාතික නීතිය අනුවද?

ඔවු. නිදහසෙන් පසු අපි අන්තර්ජාතික ගිවිසුමකට පවා අස්සන් කර තිබුණත් වසර හැත්තෑ ගාණක් පුරා මෙය ක්‍රියාත්මක වන්නේ නැහැ. අලුත් තාක්ෂණය ආවාට පසු එයින් මුදල් හම්බ කරන බව පේන නිසා තමයි දැන් ඇස් ඇරිලා තිබෙන්නේ.

ඇක්පෝ, ඔස්කාවලට අමතරව සංගීත ප්‍රකාශකයකු ලෙස වී ඩිඩ් ඉට් ග්ලෝබල් ආයතනය කරන්නේ නිර්මාණ ශිල්පීන්ගේ කර්තෘභාග එකතු කරලා හරි විදිහට ඔවුන්ට එය පරිහරණය කිරීමට දැනුම්වත් කරන එක.

සමහරු යූටියුබයට ගීත අප්ලෝඩ් කරනවා. හැබැයි යූටියුබය වගේම ඇපල් මියුසික් හෝ ස්පොටිෆයි කියන ආයතන සංගීතඥයාගේ හෝ ගීපද රචකයාගේ කර්තෘභාග ගෙවන්නේ නැහැ. එයට හේතුව අන්තර්ජාතික වශයෙන් පිළිගන්නා මට්ටමක අපේ ඇක්පෝ හෝ ඔස්කා සංවිධාන දෙක නැති වීම. කවදා හෝ දිනෙක පිටරට තිබෙන සීසැක් (ඉඪඵචජ) ආයතනය නමින් හඳුන්වන ලෝකයේම කර්තෘභාග එකතුකරන්නන්ගේ එකමුතුවේ මාර්ගෝපදේශ අනුව අපිත් ඒ අයගේ ක්‍රමවේද අනුගමනය කරනවා නම් අදාළ කර්තෘභාග ලබා ගන්න පුළුවන් වනවා. එය වී ඩිඩ් ඉට් එකට කළ හැකි දෙයක් නොවේ. මොකද එක රටකට තිබිය හැක්කේ එක ආයතනයක් පමණයි. ඒ සඳහා පිළිගත් ආයතන දෙක වන්නේ ඇක්ප්‍රො සහ ඔස්කා ආයතනයි. ඔවුන්ට පමණයි පුළුවන් වන්නේ නාළිකාවල හෝ මහජන සන්දර්ශනවල කර්තෘභාග එකතු කරන්න. බුද්ධිමය දේපළ පනත යටතේ ඇති ආයතන වන්නේත් ඒවායි. හරි විදිහට සම් සුපිරි වෙළෙඳසැල්වල, බස්රථවල, ගුවන්යානාවල පවා වාදනය වන ගීතවල කර්තෘභාග අදාළ ශිල්පීන්ට ලැබිය යුතුයි.

පිටරට සංගීත නිර්මාණ ශිල්පීන් ගෙදරට වී නිදහසේ ඉද්දි ඔවුන්ට මුදල් ගලාගෙන එන්නේ ඔය ක්‍රමවේද හරියට ක්‍රියාත්මක වන නිසා.

යූ ටියුබයේ මුදල ලැබෙන්නේ බලන සංඛ්‍යාව අනුව වෙළෙඳ දැන්වීම් ද සමඟයි. ඒ නිශ්චිත නැරඹුම් සංඛ්‍යාව අනුව ලැබෙන මුදල කර්තෘභාග එකතුකරන ආයතනයකට ගියාම එය ගීපද රචකයාට, සංගීතඥයාට, ගායකයාට සහ නිෂ්පාදකයාට බෙදෙනෙවා. ඒත් දැන් ලැබෙන්නේ නිෂ්පාදකයාගේ කොටස පමණයි. මොකද ලංකාවේ ඒ සඳහා ආයතනයක් මඟින් ලියාපදිංචි වෙලා නැති නිසා. සීසැක් එකේ අපි ලියාපදිංචි වන තෙක් ඒ මුදල යම් ගිණුමක ඉතුරු වෙලා තිබෙනවා. එය මේ වෙද්දි ඩොලර් මිලියන 400කට අධිකයි. දැනට අප රටට ලැබෙන්නේ සවුන්ඩ් රෙකෝඩින් සඳහා වන කර්තෘභාගය පමණයි. එය කවුරුන් හෝ ලබාගෙන එයින් කීය කීය හරි බෙදන එක සුදුසු වැඩක් නෙවෙයි. එය වැරැදි ආදර්ශයක් වගේම දිගු කාලීනව නිර්මාණකරුවන්ට පාඩුවක්. නියමිත විදිහට සිදු විය යුත්තේ නිර්මාණකරුවන්ගේ හරි කර්තෘභාග නිසි විදිහට ලබා ගැනීමට පසුබිම තැනීමයි. කොවිඩ් කාලයේ සමහර ශිල්පීන් මුදල් නෑ කියලා වැලපෙමින් සිටියේ මේ තරම් මුදල් ලැබෙන ක්‍රම මඟහැරලා.

 

මෙය ක්‍රියාත්මක නොවන්න හේතුව?

මෙච්චර කාලෙකට මේ ක්‍රමය සැකසෙන්නේ නැති වෙන්න මොකක් හෝ දේශපාලනයක් මේ තුළ තිබිය යුතුයිනේ. මම දකින විදිහට සමහර මාධ්‍ය ආයතන තමන්ගේ සේවක වැටුප් ගෙවීමට පවා යූටියුබයෙන් ප්‍රධාන වශයෙන් මෙතරම් කුට්ටියක් ලැබෙන ආදායම භාවිත කරනවා. ඒත් රියැලිටි ෂෝ එකකට යන පිරිවැයෙන් මේ නිර්මාණකරුවන් වෙනුවෙන් යම් මුදලක් වැය කරන්නවත් බොහෝ දෙනා කැමැති නෑ. සමහරු කලාකරුවන්ට තනි තනිව කතා කරලා ඔවුන්ගේ නිර්මාණවල අයිතිය මුදලට ගන්නවා. එලෙස බුද්ධිමය දේපළ අයිතිය ලබා ගැනීම අන්තර්ජාතික වශයෙන් අනුමත කරන්නේ නැහැ.

 

නිර්මාණයක් යම් කාලයකට පසු ඒ නිර්මාණ ශිල්පියාගේ අයිතියෙන් ගිලිහෙනවා?

අවුරුදු 70ට පස්සේ පොදු අයිතියට නිර්මාණය යනවා. ඒත් අපේ වී ඩිඩ් ඉට් ග්ලෝබල් වගේ ආයතනයක ලියාපදිංචි කර අයිතියක් දුන්නොත් ඒ අවුරුදු 70ට පසු ඒ ගීය ප්‍රතිනිෂ්පාදනය කරන්න පුළුවන්. එවිට ඒ නිර්මාණකරුගේ මතු පරම්පරාවලට පවා ආදායමත් නිර්මාණයත් අයිති වනවා.

 

මෙහිදී නිර්මාණවල අයිතිය ඔබ ආයතනයට ද පැවරෙන්නේ?

වීඩිඩ් ඉට් එක නිර්මාණ අයිති කරගන්නවා කියන කට්ටිය ඉන්නවා. ඒත් මේකෙදි නිර්මාණකරුට පුළුවන් අයිතිය වෙනුවෙන් කෙනෙක්ව නිර්දේශ කරන්න. ආයතනයකට ඉතිරි කරගන්න පුළුවන් උපරිම ප්‍රතිශතය සියයට 30යි අනෙක් 70වම හිමිකරුවන්ට බෙදී යා යුතුයි. ප්‍රති නිර්මාණය කළත් පරණ ගීතයට වගේම අලුත් ගීතයටත් මුදල් ලැබෙනවා. මේ හැම ගීතයක්ම නියමිත අංකයකින් ලියාපදිංචි කළ යුතුයි. එවිට අපේ ගීයක් අප නොදන්නා තැනක නොදන්නා පිරිසක් විසින් වාදනය කළත් අපට ඒ අංකය සඳහා මුදල් ලැබෙනවා. පිටරට මෙය ක්‍රමවත්ව සිදු වනවා. අපේ විතරයි මේ කිසි දෙයක් සිදු නොවන්නේ.

 

ඔබ ආයතනය සමඟ පමණද මේ සඳහා සම්බන්ධ විය යුත්තේ?

අපේ වගේ ආයතන තවත් ඇති වගේම බිහිවිය හැකියි. බිහි වෙනවා නම් හොඳයි වගේම බිහි වීමත් අවශ්‍යයි. ඒත් මේ මොහොත වන විට සීසැක් ආයතනයේ ලියාපදිංචි එකම ආයතනය වී ඩිඩ් ඉට් ග්ලෝබල් පමණයි. අවශ්‍ය නම් ඔවුන්ගේ වෙබ් අඩවියෙන් සොයා බලන්න පුළුවන්. ඒ නිසා ගීත රචකයන් සහ සංගීතඥයන් සියල්ලන්ට අපි ආරාධනා කරනවා මෙය ජාතික වැඩපිළිවෙළක් ලෙස සලකා තමන්ගේ නිර්මාණ ආරක්ෂා කර ගැනීමටත් ඒවායේ ප්‍රතිලාභ තම ජීවිත කාලය සහ දරු මුණුපුරන්ගේ ජීවිත කාලය පුරා ලබා දීමටත් මේ ක්‍රමවේදයට එක් වන්න කියා.

අපේ බලාපොරොත්තුව හරි විදිහට හරි දෙයක් කිරීම මොකද මම බය නැතුව කියනවා මම වැරැදි දෙයක් කරන්නෙත් නෑ, වැරැදි තැනකට සම්බන්ධ වන්නෙත් නෑ. මගේ තාත්තාගේ නම කැත කරන්න මම කැමැතිත් නෑ. මගේ නම කැත කරගන්න විදිහේ වැඩ කරන්නෙත් නෑ. එහෙම වුණා නම් මට තාත්තාගේ ගීත ඕනේ තරම් විකුණලා මිලියන ගණන් මුදල් හම්බකරගන්න තිබුණා. මම නිර්මාණයක අගය වටිනාකම වගේම ඒ සඳහා වන මහන්සිය දන්නවා. මට ඕනේ අපේ කලාකරුවන්ගේ නියම කර්තෘභාග අයිතිය ලෙස පවතින විශාල මුදල ඔවුන්ට ලබා ගැනීමේ මඟ පෙන්වීමටයි.

 

මේ තත්ත්වය චිත්‍රපට, වේදිකා නාට්‍ය ආදියේ ගීතවලට බලපාන්නේ කොහොමද?

 

චිත්‍රපට ගීතවලටත් ඔය ප්‍රශ්නය එනවා. චිත්‍රපට සඳහා ගීතයක් නිර්මාණය කරන විට නිෂ්පාදකවරයා යම් ගෙවීමක් කරනවා තමයි. ඒ ගෙවීම අදාළ වන්නේ නිර්මාණය සඳහා වන වෙහෙසටයි. ඒත් ඒ නිසා චිත්‍රපටයේ නිෂ්පාදකවරයාට ගීතයේ අයිතිය නීතියෙන් ලැබෙන්නේ නැහැ. ඔහුට අයිති වන්නේ චිත්‍රපටයේ රූපරාමුවත් සමඟ තිබෙන සංගීතය පමණයි. එහෙත් රූපරාමුවෙන් ගලවලා වෙනම සීඩී එකක හෝ වෙනත් ක්‍රමයකට ඒ ගීත අලෙවි කරන්න, භාවිත කරන්න චිත්‍රපට නිෂ්පාදකට අයිතියක් නැහැ. අද බොහෝ නිෂ්පාදකයන් කරන්නේ තමන්ගේ චිත්‍රපටයේ අයිතිය වෙන අයට විකුණනවා. ඒ ගන්න කෙනා හිතනවා චිත්‍රපටයේ ගීතත් ඔවුන්ට අයිතියි කියලා. ඒත් ඒවා අන්තර්ජාතික නීතියට අනුව වැරැදියි වගේම මෙරට නඩු තීන්දුවලින් ලැබුණු පූර්වාදර්ශ තිබෙනවා. වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය ආදී ඕනෑම දෙයකට එය වලංගුයි.

 

ඔබ ආයතනයේ ඉදිරි අපේක්ෂා ගැනත් කතා කරමු?

පර්ල්බේ ආයතනය මඟින් ගීතරචකයන් සහ සංගීතඥයන්ගේ දිගු කාලීන ජීවන ස්ථාවරත්වය සඳහා අවශ්‍ය වන මූලික අවශ්‍යතාවක් සැපිරීම සඳහා වන වෙනත් වැඩපිළිවෙළක් වෙනුවෙනුත් පියවරගෙන තිබෙනවා. ඒ වගේම ස්වේච්ඡා වැඩසටහනක් ලෙස සෑම රුපියල් සියයට රුපියලක් වශයෙන් එකතු කර දුෂ්කර ප්‍රදේශවල අසරණ පිරිස් වෙනුවෙන් ආධාර ලබාදීමේ වැඩපිළිවෙළකුත් ක්‍රියාත්මකයි.