මම ශේෂාද්‍රිව හැමදාම දකින්නේ ගුරුවරියක් විදියට

Krishan Malan Perera
සැප්තැම්බර් 2, 2021

 

ශේෂාද්‍රිගේ අතිනත ගත්තේ කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින සංගීත කණ්ඩායමක් වන "ච්ධජබධප" සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වන ක්‍රිෂාන් මාලන් පෙරේරා සමඟ. අලුතෙන් පටන් ගත්ත ජීවිතය ගැන අපි ඔහුගෙනුත් විමසුවා.

 

අලුත් ජීවිතේ කොහොමද?

 

අලුත් ජීවිතයේ හොඳයි. අපි විවාහය ලොකුවට කරන්න සැලසුම් කරපු දෙන්නෙක් නෙමෙයි. හරිම සරල විදිහට අපිට ඕනේ විදිහට සිදු වුණා. දැන් අපි දෙන්නා ආදරෙන් එකමුතුව ගෙදර දොරේ වැඩ කරගෙන ඉන්නවා. ශේෂාද්‍රි රසට කෑම උයලා දෙනවා. දැන් සෑහෙන්න කාලා මහත්වෙලා ඉන්නේ.

 

රංගන ශිල්පිනියක් විවාහ කරගන්න හිතුවේ ඇයි?

 

ශේෂාද්‍රිව සහ ඇගේ පවුලේ අයව මම අවුරුදු 15ක් තිස්සේ දන්නවා. ශේෂාද්‍රිව මම කාලයක් තිස්සේ දන්නවා. නමුත් එයා එක්ක ආදර සම්බන්ධතාවයක් පටන් ගන්න හිතුවේ නැහැ. ඒත් අපි දෙන්නාගෙම ජීවිතයේ වුණු හැලහැප්පීම් එක්ක අපි දෙන්නා ආදරේ කරන්න පටන්ගත්තා. අපි දෙන්නා යාළුවෙන කාලේ එයා වෘත්තිමය වශයෙන් පෙරපාසල් ගුරුවරියක්. එයා ඒ වෘත්තිය ඉතාම හොඳට කළා. කාලයක් යද්දි රංගන ක්ෂේත්‍රයට ඇයට නැවතත් ආරාධනා ලැබෙන්න ගත්තා. ඒ ගැන මගෙන් ඇහුවම මමයි කිව්වේ හැකියාවක් තියෙනවා නම් ඒ හැකියාව නතර කරන්න බැරි නිසා ඒ දේ දිගටම කරන්න කියලා. ඊටපස්සේ ශේෂාද්‍රි ආයෙමත් රඟපාන්න ගත්තේ. ඒත් මම ශේෂාද්‍රිව හැමදාම දකින්නේ ගුරුවරියක් විදියට. කලා ක්ෂේත්‍රයේ හිටියාට ශේෂාද්‍රි මුළු කාලය මේ වෙනුවෙන් කැප කරන්නේ නැහැ. එයා හොඳ ගෘහණියක්. ඒ වගේම එයා දැන් පොඩි ව්‍යාපාරයක් පටන් අරගෙන තියෙනවා. ඒ නිසා අපේ ජීවන රටාව තරමක් සමබරයි කියලා හිතෙනවා.

 

ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ කොයිවගේ කෙනෙක්ද?

 

ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ හොඳට උයන්න පුළුවන්, උගත්, හොඳ තේරුම් ගැනීමකින් ජීවිතය දකින කෙනෙක්. එයා සෑහෙන්න ප්‍රශ්න ගොඩකින් එළියට ආපු කෙනෙක්. එයා ඒ ප්‍රශ්න එක්ක ජීවත් වුණේ නැහැ. එතැනින් එළියට එන්න එයා ගුරුවරියක් වුණා. ඒකට මම සෑහෙන්න එයාට ගරු කරනවා. ගොඩක් කාන්තාවො ප්‍රශ්නයක් වුණාම කලබල වෙලා ඒ ප්‍රශ්නය තවත් වැඩි කරගන්නවා. ඒත් ශේෂාද්‍රි ඒ ප්‍රශ්නය බොහොම හොඳීන් කළමනාකරණය කර ගත්තා. එයා ශක්තිමත් ගැහැණියක්.

 

විවාහයත් එක්ක ක්‍රිෂාන්ට ලොකු කලා පවුලක් ලැබෙනවා ?

 

මම හැමදාම ශේෂාද්‍රිට කිව්වේ එයාව විවාහ කරගන්නවා නම් මුළු පවුලත් මගේ කියලා. මොකද විවාහයත් එක්ක මුළු පවුලම මගේ අය වෙනවා. කලාකරුවෝ කියන්නේ කොහොමත් සතුටින් ඉන්න මිනිස්සු ජාතියක්. ඒ වගේ අය එක්ක විහිළු කරගෙන හිනා වෙලා හරිම සතුටින් ඉන්නේ.

 

කොරෝනා වසංගතය නිසා සංගීත ක්ෂේත්‍රයේ වැඩකටයුතු වැඩකටයුතු සියල්ලම නතර වෙලා?

 

මම සංගීතය කළේ විනෝදාංශයක් විදිහට. මම ලංකාවේ ප්‍රධාන තොරතුරු තාක්ෂණ ආයතනයක ජ්‍යෂ්ඨ කළමනාකරුවෙක් විදිහට වැඩ කරනවා. මේ දවස්වල සංගීත කටයුතු කිසිම දෙයක් වෙන්නේ නැහැ. මේ දවස්වල සංගීත කණ්ඩායමක් විදිහට අපි හැමෝම ගෙවල්වල ඉඳලා අපිට පුළුවන් විදිහට පටිගත කිරීම් කරලා යූටියුබ් නාළිකාවක් ආරම්භ කරන්න සැලසුම් කරනවා. ඒ වගේම සංගීත කණ්ඩායමේ ගීත කීපයක් ඉදිරියේදී එළිදක්වන්න තියෙනවා. ඒ වගේම මගේ ගීත කීපයකුත් එළිදකින්න තියෙනවා.

 

ජීවිතයේ ඉදිරි සැලසුම් මොනවාද?

 

වෘත්තිය ජීවිතයේ නම් රැකියාවෙන් ඉදිරියට යන්නේ සැලසුම් ගොඩක් තියෙනවා. ඒ වගේම සංගීත ක්ෂේත්‍රයෙන් තනියම ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. මොකද මම කණ්ඩායම් සංගීතය තුළ වැඩි කලක් රැඳෙන එකක් නැහැ. පෞද්ගලික ජීවිතය වගකීම් වැඩි වෙනකොට මට පූර්ණ කාලීනව රැකියාවට මුල්තැන දීලා කණ්ඩායම් සංගීතයට සමුදෙන්න වෙයි. ඒත් සංගීතය අත්හරින්නේ නැහැ. පෞද්ගලික ජීවිතේ දැන් අපි දෙන්නා අපේම ගෙදරක ඉන්නේ. ඉදිරිය ගැන ලොකු බලාපොරොත්තු නැහැ. දැනට සමගියෙන් ආදරෙන් ඉන්න බලාපොරොත්තු වෙන්නේ.