වසන්තට දවසක්

ජ්‍යෙෂ්ඨ අංගරචනා ශිල්පී වසන්ත විට්ටච්චි උපහාර උලෙළ මාර්තු 27 වැනිදා
මාර්තු 24, 2022

ක්ෂේත්‍රයට කරන දායකත්වය ලෙස ශිල්පියකු කළ යුත්තේ තවත් ශිල්පියකුට අභියෝග කිරීම නොවේ ශිල්පයට අභියෝග කිරීමයි

 

අඩසියවසකට ආසන්න කාලයක් පුරා ඔහු රංගනයෙන් මෙන්ම අංගරචනයෙන් වේදිකාව, සිනමාව හා රූපවාහිනිය යන මාධ්‍යත්‍රයෙහිම දස්කම් පෑවෙකි. තම සහෘද ප්‍රේක්ෂකයන් ආනන්දයෙන් ප්‍රඥාවට ගෙන යෑමට ඔහු දක්වන දායකත්වය සේම රංගනයටත් අංගරචනයටත් යොමු වන නව පරපුරට විෂයය දැනුම ලබා දීම සඳහා අදටත් ඔහු දක්වන දායකත්වය ද සුළුපටු නොවේ. සෑම දෙයක්ම රුපියල් ශතවලින් මනින යුගයක සිසුන්ට දැනුම ලබා දීම ආත්ම තෘප්තියක් කරගත් ඔහු දුයිෂෙන්ලාගේ පරපුරේ ගුරුවරයෙකියි පවසන්නට ඔහුගේ සමීපතමයන් පසුබට නොවන්නේ එහෙයිනි. එසේ හඳුන්වන ඔහු වසන්ත විට්ටච්චි නම් සම්මානනීය ශිල්පියාය. ඔහු දායාද කළ ඒ ගුරුහරුකම්වලට, සහෝදරත්වයට, ශිල්පීය දක්ෂතාවයට උපහාර පුදන්නට 'අසූවේ අපි' කණ්ඩායම ලෝක නාට්‍ය දිනය යෙදෙන මාර්තු 27 වැනිදා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ උත්සවයක් සූදානම් කර ඇත. එය නම් කෙරෙන්නේ වසන්තට දවසක් මැයෙනි.

 

අසූව දශකයේ අගභාගයේ වසන්ත විට්ටච්චි තරුණ ශිල්පියා තවත් තම සමකාලීන සගයන් වන පරාක්‍රම නිරිඇල්ල, ඩග්ලස් සිරිවර්ධන, එච්. ඒ. පෙරේරා වැනි විශිෂ්ටයන් සමඟ රවීන්ද්‍ර මාපිටිගම, කිංස්ලි ලෝස්, ගාමිණී හෙට්ටිආරච්චි වැනි රංගන ශිල්පීන් ද එකතු කොට ගෙන සෝවියට් මිත්‍ර සංගමයේ නොමිලේ පැවැත් වූ වැඩමුළුවෙන් බිහි වූ පිරිස අද මෙරට කලා ක්ෂේත්‍රයේ නම රන්දන්නන් බවට පත්ව ඇත. එය නාට්‍ය රඟපෑම හෝ අංගරචනය පමණක් නොව ජීවත් වීමේ කලාව ඉගැන් වූ වැඩමුළුවක් විය. එයින් බිහි වූ ගෝලයන් පිරිස එකිනෙකා ක්ෂේත්‍රයේ නමක් තබමින් යන ගමනේ දී ප්‍රවීණ රංගන ශිල්පිනී මාලී ජයවීරගේ ප්‍රමුඛ පිරිස මීට වසර 13කට පෙර ගොඩනඟා ගත් සංවිධානය 'අසූවේ අපි' නම් වේ. ඒ 'අසූවේ අපි' කණ්ඩායම එක්ව සිය 'දුයිෂෙන්' වූ වසන්ත විට්ටච්චි ජ්‍යෙෂ්ඨයාගේ ඇසූ පිරූ තැන් අනාගතයට දායාද කිරීම සඳහා වේදිකාව මත රංගගත කිරීමට දරන වෑයමක් ලෙසද මේ 'වසන්තට දවසක්' උපහාර උලෙළ හැඳීන්විය හැකිය. එසේම වසන්ත විට්ටච්චි ශිල්පියා පිළිබඳ තොරතුරු රැගත් කෘතියක් එළි දැක්වීම ද එදින සිදු කෙරෙනු ඇත. එය අප අතරින් මෑතකදී වියෝ වූ ජයලාල් රෝහණ ශිල්පියාගේ මඟ පෙන්වීම යටතේ ප්‍රකට ශිල්පීන් දෙදෙනකු වන අජන්ත අලහකෝන් සහ සුලෝචන වික්‍රමසිංහ විසින් සම්පාදනය කෙරූවකි.

 

මෙරට සම්මාන උලෙළවලදී වේදිකා, සිනමා සහ රූපවාහිනී නිර්මාණවල අංගරචනය සඳහා වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනා ඇති වසන්ත විට්ටච්චි රංගන වෙනුවෙන්ද ලබා ඇති සම්මාන එකතුව අති විශාලය. එනිසාම ඔහු ගිනස් වාර්තාවකට ආසන්න වෙමින් සිටින සම්මානලාභියෙකි.

වසර හතළිස් හතක් පුරා කලා කෙතේ අස්වනු නෙළන්නට ඔහු මුල පිරුවේ හැත්තෑව දශකයේ මැද භාගයේය. එය ඔහුගේම වචනවලින් මෙසේය.

"මම පාසලින් ඉවත් වෙලා මුලින්ම එන්නේ රඟපාන්න, 1975 වගේ කාලේ. ඒ කාලේ රතු පැත්තට තිබුණු වැඩි බර නිසා රුසියානු භාෂාව ඉගෙන ගන්න ආසාවක් ඇති වෙලා සෝවියට් සංස්කෘතික මධ්‍යස්ථානයට එනවා. එහිදී නිමල් පතිරණ සහෝදරයාගේ 'රත්තෝ' නාට්‍යයේ ලූකස් ට රඟපානවා. මම නාට්‍ය බලලා තිබුණට විෂයයට කිසිම සම්බන්ධයක් නෑ. එකම අත්දැකීම පොඩි කාලේ වත්ත පල්ලැහැ අය්යලා අක්කලා එක්ක නටපු නාට්‍ය විතරයි. ඉතින් දැවැන්ත කලාකරුවන්ගේ ඇසුර සහ කලාව සැබැවින් දුටු නිසා, මට තේරුණා මෙය ඉගෙන ගෙන කළ යුතු දෙයක් බව. 1977 පමණ ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවට ඇතුළත් වුණාම මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ප්‍රධානත්වයෙන් ධම්ම ජාගොඩ ගුරුතුමා ඇතුළු බොහෝ ප්‍රවීණයන්ගේ ඇසුරේ නාට්‍යකරණය හදාරන්න ලැබුණා. කංකංබූරු, දිවසළු දිවමාලිගා ඇතුළු නාට්‍ය රැසක රංගනයට දායක වුණා. අද ප්‍රවීණයන් වූ බහුතරයක් සමඟ දැඩි මිත්‍ර සන්ධානයක් ගොඩනැඟුණා. එවක තරුණයකු වූ ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ 'පැණි හටන' දිගු නාට්‍යය සහ 'ගොන්දෙන්නෙක්' කෙටි නාට්‍ය දෙක එකම වසරේ, එකම නිෂ්පාදකගේ හොඳම නාට්‍ය දෙක බවට පත් වුණා. මට එහි නිෂ්චිත කාර්යයක් නැතත් මම නාට්‍යය සමඟ රටපුරා ගියා. එහි අංගරචනය කළේ දැනට ඒ ක්ෂේත්‍රයේ විදේශීය අත්දැකීම් බහුලම ශිල්පියා වන රන්ජිත් වික්‍රමසිංහ. දවසක් ඔහු මට කීවා 'බේස් එක එහෙම ගාලා පුරුදු වෙන්න' කියලා. දිනක් ඔහුම ඇහුවා ලංකාවේ දැනටත් ප්‍රවීණම සහ දැවැන්තම චරිතයක් බවට සලකන ශේෂා පලිහක්කාර ගුරුතුමාගේ චිත්‍රපටයක් තිබෙනවා වැඩකරන්න කැමැතිද කියලා. 1980 'ආදර කතාව' සහාය අංගරචනා ශිල්පියා ලෙස එතුමාගේ සෙවණේ ඇරඹූ ගමන තමයි මේ දක්වා ආවේ.

ඒ අතර ආචාර්ය සාලමන් ෆොන්සේකාගෙන් රංගනය හදෑරුවා. ඒ වගේම ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය ඇතුළු ආයතන මඟින් සංවිධානය කළ විදේශීය නාට්‍ය ගුරුවරුන් යටතේ වැඩමුළු රැසකට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. එයින් ලැබූ පන්නරය රඟපෑමට පිටිවහලක් වුණා."

 

ඔහුගේ පළමු අංගරචනය සිනමාව වෙනුවෙනි. ජ්‍යෙෂ්ඨ අංගරචනා ශිල්පී ශේෂා පලිහක්කාර යටතේ යුගාන්තය, ක්‍රිස්තු චරිතය, මංමුලා වැල්, මායා ආදි චිත්‍රපටවල සහාය අංගරචනා ශිල්පියා ලෙස සිටි වසන්ත විට්ටච්චි තරුණයාට පලිහක්කාර ගුරුවරයා නිෂ්පාදනය කළ 'සත්‍යග්‍රහණය' චිත්‍රපටයේ අංගරචනා අංශය බලා ගැනීමේ වගකීම පැවරිණි. එයින් පසු නාමාවලිවල ඔහුගේ නමට පෙර තිබූ සහාය කොටස ඉවත් විය. වේදිකා අංගරචනයට ඔහු අහම්බෙන් මෙන් යොමු වන්නේ ඔය අතරදීමය.

"මම දවසක් 'මංනිලමේ' නාට්‍යය බලන්න ලුම්බිනියට යද්දි එහි අංගරචනා ශිල්පියා මඟදි හමුවෙලා ඔහුගේ මේකප් බඩු ටික දීලා 'වසන්ත මේ ටික අරගෙන යන්න මම විනාඩි පහෙන් එනවා' කියලා ගියා. මම ඒ ටික ඩ්‍රසිං රූම් එකේ තිබ්බා. ඒත් නාට්‍යය පටන්ගන්න ආසන්න වනතුරුත් ඔහු අවේ නෑ. නාට්‍ය කණ්ඩායම හිතුවේ මමයි සහාය ශිල්පියා කියලා. ඔවුන් මට කීවා මේකප් පටන් ගන්න කියලා. අන්තිමට අර ශිල්පියා ආවේ රෑ නවයහමාරට විතර ආපසු බඩු ටික ගෙනයන්නයි. ඒ තමයි මගේ පළමු වේදිකා අංගරචනය. ඉන්පසු දිගටම වේදිකා නාට්‍යවල අංග රචනයට සම්බන්ධ වුණා."

 

ඔහුගේ රූපවාහිනී පළමු රංගනය වුයේ 'කඩඉම' ටෙලි නාට්‍යයයි. එසේම ඔහුගේ පළමු ටෙලි නාට්‍ය අංගරචනයත් එක්තරා අහම්බයකි. "සුමිත්‍රා පීරිස් මහත්මිය 'සස ජාතකය' නිර්මාණය කරද්දි පලිහක්කාර සර් හදිසි අවශ්‍යතාවකට දර්ශනතලයෙන් පිටත් වුණත් වෙලාවට එන්න බැරි වුණා. ටෝනි රණසිංහ මහත්මයා මට ශක්තිය දෙමින් කීවා 'නොදන්නා කෙනෙක්ව ශේෂා තියලා යන්නේ නෑනේ අපි වැඩේ පටන්ගමු' කියලා. ඒ වෙද්දි ඔහුගේ වැනිසියේ වෙළෙන්දා වැනි නාට්‍යවල මම වැඩ කර තිබුණ නිසා ඔහුටත් විශ්වාසයක් තිබෙන්න ඇති. පසුව සුමිත්‍රා පීරිස් මහත්මිය සහ විලී බ්ලේක් මහත්මයා රූපවාහිනියට කළ ජාතක කතා මාලාවෙම මට අංගරචනය වගේම රංගනයටත් අවස්ථාව ලැබුණා. පනස්වසරකට ආසන්න කාලයක් ක්ෂේත්‍ර දෙකේම නියැළෙන්නේ ඒ අත්දැකීම් සමඟ." ඔහු පවසන්නේ නිහතමානීවය.

 

දශක පහක අත්දැකීම් සමඟ ඔහු වේශ නිරූපණය හා අංගරචනය අතර වෙනසක් ඇති බව පැහැදිලි කරන්නේ මෙලෙසිනි.

"අපේ පැරැණි චිත්‍රපටවල බැලුවත් තිබෙන්නේ වෙස්ගැන්වීම කියලා. වර්තමානයේ වුණත් නාමාවලියේ සඳහන් වන්නේ වේශනිරූපණය කියලා. ඒත් වෙස්ගැන්වීමට හිසේ සිට පාදාන්තය දක්වා කරන්නා වූ සියලු වෙනස්කම් අයිතියි. උදාහරණයක් ලෙස කේශ නිර්මාණ ශිල්පියකුගේ කාර්යභාරය, ආභරණ නිර්මාණය, ඇඳුම් වස්ත්‍ර නිර්මාණකරණය, මෙවලම් නිර්මාණය ආදි සියල්ල එකතු වුණාමයි කෙනකු වෙනස් වූ වේශයකට පරිවර්තනය වී වෙස් ගැන්වීමක් නැත්නම් වේශ නිරූපණයක් සිදුවන්නේ. 'අංග' කියන්නේ ඉරියවු. 'රචනය' කියන්නේ මතුකොට දැක්වීම. ඒ නිසා ඉරියවු ප්‍රක්ෂේපණය කර දැක්වීම සඳහා කරන්නා වූ විෂයය හඳුන්වන්නේ අංග රචනය ලෙසින්. එයට මුහුණ ප්‍රධාන කොට සම මත කරන්නාවූ වෙනස්කම් තමයි අයිති වන්නේ. එනිසා අප කරන විෂයයට 'සාධාරණ' හැඳීන්වීම තමයි 'අංගරචනය'. අනෙක් අතට රූපලාවණ්‍යය කියූ ගමන් ලස්සන කිරීම සඳහාද මේකප් කරන්නේ කියලා සමහරු සරලව හිතනවා. ඒත් සැලූනයක මනමාලියක් හැඩගන්වද්දි මනමාලිගේ ඉරියවු එයට අදාළ වන්නේ නැහැ. එහෙත් චරිතයක් නිර්මාණය කරද්දි අපි මුහුණේ කොටස් හයක් ගැන සැලකිලිමත් වෙනවා. ඇස්, කම්මුල්, තොල්, නහය, නිකට සහ නළල. මේ කොටස්වල කරන අඩුවැඩි කිරීම් අනුව කෙනෙකුව වෙනස්ම පෙනුමකට ගන්න පුළුවන්. මේ ඉරියවු මතුකොට දැක්වීම අදාළ වන්නේම ප්‍රාසංගික රංග කලාවටයි. එනිසා අංගරචනය අදාළ වන්නේත් ප්‍රාසංගික රංග කලාවටයි."

 

දුයිෂෙන් පරපුරේ ගුරුවරයකු ලෙස ඔහුගේ ගෝලයන් විසින් හඳුන්වනු ලබන වසන්ත විට්ටච්චි දිසාපාමොක් ක්‍රමය අගය කරන්නකු සේ අපට හැඟෙන්නේ ඔහුගේ මේ ප්‍රකාශය නිසාය.

"වැඩ කරන අතර කරන ප්‍රායෝගික අධ්‍යාපනය අපට ඉතා වැදගත්. මෑතක් වනතුරුම අපට තිබුණේ ගුරුවරයකුගෙන් ගෝලයකුට ශිල්පය ලබා දීමේ සම්ප්‍රදාය. එහිදී ගුරුවරයාගෙන් ගෝලයා ශිල්පය පමණක් නොවේ, අනෙකුත් ශිල්පීන්, ප්‍රවීණයන්ගේ ඇසුර, විනය, ශික්ෂණය, දැනහැඳුණුම්කම්, ඇවතුම් පැවතුම් මේ සියල්ල ඉගෙන ගන්නවා. එහෙත් පාඨමාලාවක් කර සහතිකය ලබාගෙන එළියට එද්දි ලැබෙන්නේ අපි ගෙවන මුදලට ඉගෙන ගත් යමක් පමණයි. ක්ෂේත්‍රය හඳුනා ගන්න ලැබෙන්නේ ගුරුගෝල සම්ප්‍රදායෙන් නිසා එය බැහැර කළ හැකි දෙයක් නොවේ. ඉන්දියාවේ අදටත් සංගීතය, නර්ථනය ආදි ප්‍රායෝගික විෂයයන් හැදෑරීමට ගුරුවරයකු වෙත යන්නෙකුට දිසාපාමොක් ක්‍රමයට උවටැන් කරගෙන තමයි ඉගෙන ගන්න වන්නෙ. අපේ පරපුරේ අයත් එවැනි ගුරුගෝල පදනමින් පැමිණි නිසා ලැබූ අත්දැකීම් අනුව අදටත් කිසි විටෙක දර්ශන තලයේදී ටී ෂර්ට්, සෙරෙප්පු බෑ. හොඳට ඇඳ පැලඳගෙන සපත්තු දාගෙන වෘත්තීය ගෞරවය රැකෙන අයුරින් හැසිරෙන්න ඕනෙ. වෘත්තීය ගරුත්වය රකින්න ඕනේ."

 

ඔහුගේ යාවත්කාලීන දැනුමට හොඳම උදාහරණය මේ ප්‍රකාශයයි.

"මුල්කාලේ කළු සුදු සිනමාව කීවට ඒ වර්ණ අතර අන්තරා 11ක් තිබෙනවා. ඒ මැද ඇත්තේ අළු පාට. ඒ නිසා අවශ්‍ය වර්ණය හඳුණා ගැනීමට තාක්ෂණික දැනුම අවශ්‍යයි. පිටපතක චරිතයේ කාල වකවානුව, භූගෝලීය පරිසරය, සමාජ පසුබිම, වයස, රැකියාව ආදි බොහෝ පැතිකඩ සිතීමට දැනුමක්, අධ්‍යයනයක් අවශ්‍යයි. අංගරචනා ශිල්පියාගේ ප්‍රධාන කාර්යභාරය චරිතාංග අංගරචනයයි. රූපවාහිනියේදී නම්, ඍජු අංගරචනය, නිවැරැදි කිරීම, චරිතාංග කියන අංශ තුනම දැනගැනීම අවශ්‍යයි. ඉස්සර කැමරාශිල්පියා සමඟ කලින්ම චරිත අංගරචනා කර පිරික්සා බලනවා. දැන් තිබෙන වාතාවරණය අනුව එහෙම කරන්න පහසුකම් නෑ.

මේ විෂයය නිවැරැදිව අධ්‍යයනය කළ අය එදා සිනමාවේ නම් කැමරා කාචවල වෙනස්කම් අවබෝධ කරගත යුතුයි. ඩිජිටල් කරණයට ලක් වූ පසු අපේ ඇසට පෙනෙනවාට වඩා දහගුණයක් අඩුවෙන් අංගරචනය කළ යුතුයි. එය සමේ වර්ණයට ගැළපිය යුතුයි. සිනමාවට වගේම රූපවාහිනියටත් ඒ සිද්ධාන්තය පොදුයි. ඉස්සර අට්ඕ වර්ණ වෙනුවට දැන් ඛ්ර්කම් වර්ණ තිබෙන්නේ. වත්මන් ශිල්පීන් මේ වෙනස්කම් හොඳීන් අවබෝධ කරගත යුතුයි. පාඨමාලාවක සහතිකයකට මේ දැනුම ලඝු කරන්න බෑ. සහතිකය රැකියාවක් ලබා ගන්න සුදුසුකමක් වුවත් රැකියාව කරගෙන යෑමට ඇති හැකියාව ඉන් මනින්න බෑ. අනෙක විදේශ රටවලින් පුහුණුවක් ලැබූ පමණින් මේ දැනුම ලැබෙන්නෙත් නෑ."

වසන්ත විට්ටච්චි යනු නිකම්ම අංගරචනා ශිල්පියකු හෝ නළුවකු පමණක් නොවේ. ඔහු නව ශිල්පීය ක්‍රම හඹා යන්නෙකි. සොයා ගන්නෙකි. එයින්ම පන්නරය ලබන්නෙකි. එය ඔහු පවසන්නේ මෙසේය.

"ක්ෂේත්‍රයට කරන දායකත්වය ලෙස ශිල්පියකු කළ යුත්තේ තවත් ශිල්පියකුට අභියෝග කිරීම නොවේ ශිල්පයට අභියෝග කිරීමයි. අද ඇතැමුන් කරන්නේ තමන් ගැනම අධිතක්සේරුවක හිඳීමින් එකිනෙකාට අභියෝග කරගැනීම. එයින් සිදුවන්නේ තමතමන්ගේ මුග්ධභාවය ප්‍රදර්ශනය කිරීම මිස ශිල්පයේ නව හරඩතල සහ නව ශිල්පක්‍රම වර්ධය වීම නොවෙයි."

 

තමන් සතු දැනුම ගුරු මුෂ්ටි නොතබා නිර්ලෝභීව නව පරපුර‌ට දායක කරන්නට සැදී පැහැදී සිටින්නන් අද සමාජයේ දුලභය. ඒ දුර්ලභ ගණයේ රංගවේදියා, අංගරචනා ශිල්පියා පිළිබඳ තොරතුරු මෙන්ම ඔහුගේ දැනුම පිළිබඳ වේදිකාවේ රංගගත කෙරෙන වසන්තට දවසක් සඳහා සහභාගී වන ලෙස 'අසූවේ අපි' කණ්ඩායම සියලු කලාලෝලීන්ට විවෘත ආරාධනයක් කර සිටියි.

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න