ජන සංගීතයේ පදනම වැටෙනවා නම් අපේ සංගීතය මීට වඩා දියුණු වෙනවා

- සංගීත් නිපුන් මධුර ගුණවර්ධන
ජූලි 21, 2022

 

ලක්නව්හි භාත්ඛණ්ඬේ සංගීත විශ්වවිද්‍යාලයෙන් ”මෝහන් වීණා” විෂයට ශාස්ත‍්‍රවේදී උපාධියක් ලබාගත් ප‍්‍රථම ලාංකික ශිෂ්‍යයා සංගීත් නිපුන් මධුර ගුණවර්ධනයි. රන් පදක්කම් දෙකක් සහිතව දිනාගත් ප‍්‍රථම පන්තියේ උපාධියෙන් පසු ඒ විශ්වවිද්‍යාලයෙන්ම ප‍්‍රථම පන්තියේ පශ්චාත් උපාධියත් රන් පදක්කම් තුනක් සමඟ දිනාගත් ඔහු පෙරළා ලංකාවට පැමිණියේ ”සංගීත් නිපුන්” සහතිකයද ලබාගෙනයි. හුදෙක් වාද්‍ය ශිල්පියෙක් පමණක් නොවන ඔහු වාද්‍ය පර්යේෂකයෙකුද වන අතර සිය මෝහන් වීණාවෙන් ව්‍යවහාරික සංගීත ක්ෂේත‍්‍රයට නවමු ධ්වනි වර්ණයක්ද එකතු කළ අයෙක්.

වයඹ පළාත් නියෝජ්‍ය සෞන්දර්ය අධ්‍යක්ෂ (සංගීත), ප‍්‍රකට සමන් ගුණවර්ධන මහතාගේ වැඩිමහල් පුත‍්‍රයා වන මධුර ගුණවර්ධනගේ සීයා (මවගේ පියා) දිනමිණ කර්තෘ මණ්ඩලයේ කලක් සේවය කළ ප‍්‍රවීණ කාටූන් චිත‍්‍රශිල්පී අමිත අභයපාල මහතායි. ඔවුන් ඇසුරේ කුඩා කල සිටම සාහිත්‍ය, සංගීත, කලා රස පිරි පරිසරයක වැඩුණු මධුරගේ සංගීත චාරිකාව ගැනයි, මේ කතාබහ.


ඔබ ලංකාවට ඇවිල්ලා දැන් කොච්චර කල්ද?

මම ලංකාවට ආවෙ 2018දි. ඉන්දියාවට ගියේ 2013දි. අවුරුදු පහක් ඉන්දියාවේ සංගීතය හදාරලා දැන් ලංකාවට ඇවිත් අවුරුදු හතරකට කිට්ටුයි.

ඇතැම් ලාංකිකයන් ඉන්දියාවේ සංගීතය වැනි විෂයක් හදෑරීමට ගිය පසුව සම්පූර්ණයෙන් ඉන්දියානුවෙක් බවට පත්වෙලයි ලංකාවට එන්නේ. ඒත් ඔබ එහෙම නෑ.

එහෙම වෙන්න ප‍්‍රධාන හේතුව තමයි, අපේ -ජන- සංගීතය, සම්ප‍්‍රදාය සහ මිනිසුන්ගේ රසය ගැන කිසි හැදෑරීමක්, හැඟීමක් නැතුව ඉන්දියානු ශාස්ත‍්‍රීය සංගීතය හැදෑරීම. අපේ කියල දෙයක් තමන්ගේ අභ්‍යන්තරයේ නැති වුණාම බිහි වෙන්නේ අනුකාරකයින්. අපිට වැරැදිලා තියෙන තැනත් එතන. ඒ අය ඉන්දියානු සංගීතයම ලංකාවට රැගෙන ආ යුතුයි කියන මතයේ ඉන්න පිරිසක්. ඊට අමතරව, ”අපි ඉන්දියාවේ ගිහින් ඉගෙනගන්න ශාස්ත‍්‍රීය සංගීතය වැරැදියි, ලංකාවේ ඔවුන් ඉගෙනගන්න ඉන්දියානු ශාස්ත‍්‍රීය සංගීතය තමයි හරි” කියලා කියන පිරිසකුත් ඉන්නවා (සිනාසෙයි).

ඔබේ සංගීත හැදෑරීමත්, චින්තනයත් ගොඩනැෙඟන්න කුඩා කාලයේ සිටම පියාගේ ඇසුර අනල්ප පිටිවහලක් වෙන්න ඇති. ඔබේ සංගීත ජීවිතයේ ආරම්භය කොතැනද? සන්ධිස්ථාන මොනවාද?

තාත්තා නිසා පොඩි කාලයේ ඉඳන් ගෙදර තිබුණේ සංගීත පරිසරයක්. ඒත් මම සංගීතය විෂයක් විදිහට හදාරන්න ගත්තේ සාමාන්‍ය පෙළ කාලෙදි. පොඩිම කාලෙ ”ළහිරු මඬල” වගේ වැඩසටහන්වලට ගිහින් තිබුණත් ඒ දේවලින් සංගීත ජීවිතයට ලැබුණු විශේෂ දෙයක් නෑ. සාමාන්‍ය පෙළ සංගීත ප‍්‍රායෝගික පරීක්ෂණයට කළ පුහුණුවීම්වලින් පැනපු පිම්ම තමයි අද දක්වා ගමනේ පටන් ගැන්ම. ඒත් ඒ දවස්වල එකම අරමුණ වුණේ විභාගය ගොඩ දාගැනීම විතරයි. උසස් පෙළට සංගීතය හැදෑරුවේ ඊට වඩා පැහැදිලි ඉලක්කයක් ඇතුව. ඉන්දියාවේ විශ්වවිද්‍යාලයකින් වැඩිදුර සංගීතය හැදෑරීමේ පැහැදිලි අපේක්ෂාවක් තිබුණා.

ඒ කාලයේ මම මලියදේව ජාතික පාසල නියෝජනය කරමින් සමස්ත ලංකා සමුහ සහ ඒකල වාදන තරගවලින් ප‍්‍රථම සහ දෙවන ස්ථාන දිනාගෙන තියෙනවා. ඒ ජයග‍්‍රහණ අතුරින් ”එසැණ නිර්මාණ” තරග අංශයෙන් ප‍්‍රථමස්ථානය ලැබීම විශේෂයි. ඒ මොහොතේ ලබා දෙන තේමාවකට අනුව නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක් කරන්නයි තිබුණේ. මගේ වාද්‍ය භාණ්ඩ වුණේ ගිටාරය. මගේ සැඟවුණු දක්ෂතා මතු වුණේ ඒ සඳහා පුහුණු වෙනකොට කියල මම හිතනවා. මට සංගීතයෙන් යමක් කරන්න පුළුවන් කියන හැඟීම ආවෙත් එතකොටයි. ඒ කාලෙදිම මට ”භාරද” සංගීත කණ්ඩායමට එකතු වෙලා වැඩ කරන්න අවස්ථාව ලැබීමෙනුත් සෑහෙන අත්දැකීමක් සමුදායක් ලැබුණා.

ඔබ ”මෝහන් වීණාව” ප‍්‍රගුණ කරන්න තෝරගත්තේ ඇයි? මේ වාද්‍ය භාණ්ඩය අදටත්, විශේෂයෙන් ලංකාවේ එතරම් ජනප‍්‍රිය වාද්‍ය භාණ්ඩයක් නෙමේ.

ඇත්තටම මමත් ”මෝහන් වීණා” කියල වාද්‍ය භාණ්ඩයක් ගැන දැනගෙන හිටියෙ නෑ. මම ඉන්දියාවට ගියේ ”සරෝද්” වාද්‍ය භාණ්ඩය හදාරන්න. එය වාදනය කරන්න දිගට නියපොතු ඕනෑ නිසා මම නියපොතුත් වවාගෙනයි ගියේ. ඒත් ඒ දවස්වල භාත්ඛණ්ඬේ විශ්වවිද්‍යාලයේ ”සරෝද්” උගන්වන්න ගුරුවරයෙක් හිටියේ නෑ. මට සෑහෙන්න දුක හිතුණා වගේම මම දැන් මොකක්ද ඉගෙනගන්නේ කියල හිතාගන්න බැරි වුණා. මාව ඉන්දියාවට එක්කගෙන ගියේ හඳුන් සර් (නිශාද් හඳුන් පතිරණ). සර් කිව්වා ”හවායන් ගිටාර් කියලා වාද්‍ය භාණ්ඩයක් තියෙනවා, ගිටාර්ය අනිත් පැත්තට හරවල තමයි වාදනය කරන්නේ. අමුතු වැඩක්” කියල. මටත් එතකොට හිනා ගියා. මගේ පළමු වෙනි ගුරුවරයා ආචාර්ය සුනිල් පාව්ගී. සර්ගෙ වාදනය දැකල තමයි මම ඒ භාණ්ඩයට ආසා වුණේ. සර් එදා ඒක රහට වාදනය කළේ නැත්නම් මම ඒකට කැමැති නොවෙන්නත් තිබුණා. පාව්ගී සර්ගේ ගුරවරයා තමයි අමරදේව මාස්ටර්ගෙත් ගුරුවරයා. පණ්ඩිත් වී.ජී.ජෝග්.

ඔබේ ගුරු-ගෝල සම්බන්ධය ගැනත් අපට යමක් කියන්න ඇති කියල මම හිතනවා.



ගුරුවරයා සහ ගෝලයා අතර තියෙන්නේ ඉතා මිත‍්‍රශීලී පරතරයක් වගේම අප‍්‍රමාණ ගරුත්වයක්. කකුල් දෙක අල්ලලා ගුරුවරයාට අපි වඳිනවා. ගුරුවරයාත් අපට උගන්වන්න ගන්නේ, කෑවද? බිව්වද? වගේ තොරතුරු අහල, අපි ගැන හොයල බලල. මට දවසක් පාව්ගී සර් කිව්වා ”කෑම තමයි එක. ඊට පස්සෙ තමයි ප්ලේයිං” කියලා. සර් ටිකක් සැරයි. ඉතින් සර් කවදාවත් එහෙම දෙයක් කියයි කියල හිතන්න බෑ. නොකානොබී හරි වැඬේ කොහොම හරි කරන්න ඕනෑ කියලනෙ අපි කියන්නේ. ඉස්සර වගේ නෙමේ, අද ලංකාවේ සංගීත අධ්‍යාපනයේදී ගුරුවරයා සහ ගෝලයා අතර ඒ වගේ සංකීර්ණ බැඳීමක් ඇති පේන්නෙ නෑ.

ලංකාවේ සංගීත අධ්‍යාපනයත්, ඉන්දියාවේ ඔබ ලැබූ සංගීත අධ්‍යාපනයත් ගැන සන්සන්දනාත්මකව කතා කරන්න කැමැතිද?

ලංකාවේ සංගීත අධ්‍යාපනය අපේ සංගීතය - ජන සංගීතය - එක්ක පදනම් වෙලා නෑ. ඉන්දියානු සංගීතයටම ලොල් වෙලා තමයි හැම දේම කරන්නේ. ඒත් ඉන්දියාවේ එහෙම නෑ. බටහිර සංගීතය හැදෑරුවත් සංගීතය ඉන්දියානු සංගීතය අනිවාර්යයෙන් හදාරන්න ඕනෑ. තමන්ගේ සංස්කෘතිය සහ සම්ප‍්‍රදාය ඇසුරින් හදාගත්ත පදනම මත හිඳන් තමයි ඔවුන් මොනදේත් ස්පර්ශ කරන්නේ. ඔවුන්ගේ දක්ෂතාවල රහස තමයි ඕනෑම දෙයක් තමන්ගේ ක‍්‍රමයට හදාගන්න තියෙන ඒ හැකියාව. අපිට අපේ ජන සංගීතයේ පදනම හරියට හදාගන්න පුළුවන් නම් අපේ සංගීතය මීට වඩා දියුණු වෙනවා. අනුන්ගේ දේවලට වහල් වෙලා ඉන්නව මිසක්, අපිට අපේ දෙයක් ගැන හැඟීමක් නෑ. ඒ හින්දා ලංකාවේ සංගීතය හදාරන පිරිසට අපේම කියලා පදනමක් හැදෙන්නෑ.

අද ඔබේ වෘත්තීය ජීවිතය සහ සංගීතය ජීවිතය ගැන කතා කළොත්?

වෘත්තියක් වශයෙන් දැනට ඇඟලූම් ආයතනයක ඡුරදාමජඑසදබ ඔර්සබැර කෙනෙක් විදිහටයි මම කටයුතු කරන්නේ. සංගීත වැඩකටයුතුත් නතර වෙලා නෑ. ඒත් ලංකාවේ සංගීතයට වෘත්තීයමය වටිනාකමක් නැති නිසා මේ පරිභෝජනවාදී සමාජය තුළ පවතින්න නම් වෙනත් වෘත්තියක නියැළෙන්නම වෙනවා. ඒ හින්දා සංගීතය පූර්ණ කාලීනව කැපවීමේ දුෂ්කරතාවක් තියෙනවා. හැකියාවට රැකියා හිමි වෙන සම්ප‍්‍රදායයක් ලංකාවේ කොහොමත් නෑනෙ. දක්ෂයාට ඉඩකුත් නෑ.

ඒ සම්බන්ධයෙන් ඉන්දියාවේදී ඔබ ලැබූ අත්දැකීම වෙනස්ද?

අසාධාරණකම් කොහෙත් තියෙනවා. නැත්තෙ නෑ. හැබැයි දක්ෂයාව කපන්නෑ ඒ අය. ඉන්දියාවෙදි දක්ෂයාව කපනවා කියන්නේ දෙයියන්ටවත් කරන්න බැරි වැඩක්. දක්ෂයා කොහෙ හිටියත් එළියට එනවා. හැබැයි නිහතමානීව තමන්ගේ ගමන යන්න ඕන.

ලංකාවෙදි කෙනෙකුට කරළියට එන්න ඊට වඩා වැදගත් නිර්ණායක තියෙනවා. ඒ අතුරින් හිතවත්කමයි, ඉහළ ඉන්න අයට වඩා දක්ෂතාවෙන් අඩු වීමයි ප‍්‍රධාන වෙනවා. විශේෂයෙන් සංගීත විෂයට සම්බන්ධ රජයේ උසස් අධ්‍යාපන ආයතනවල පිටරටවල උපාධිධාරීන්ට පිළිගැනීමක් නෑ; ආචාර්ය මණ්ඩලයට බඳවාගන්නෑ. දක්ෂතාවට වඩා වැදගත් මුලින් කියපු නිර්ණායක. සම්මුඛ පරීක්ෂණවලදී මගේ ප‍්‍රථම උපාධිය අවුරුදු තුනක් වීමත් ගැටලූ‍වක් වුණා ඒ ආයතනවලට. ඒත් ලංකාවේ අවුරුදු හතරක කාලයට වඩා වැඩි ධාරිතාවක් ඒ අවුරුදු තුනට තියෙනවා කියන එකට තර්කයක් නෑ.

සංගීතය, කලාව ජීවිතය කරගන්න ගත්තු තීරණය ගැන අද ඔබ මොකද හිතන්නේ? ඉගෙනගත්ත දෙයින් වැඩක් කරන්න ඔබ හැම වෙලාවෙම උත්සාහ කරනවා කියල මම දන්නවා.

සංගීතය කියන්නේ හොඳ වෙන්නැති උණක් හින්දා පසුතැවීමක් හිතෙන්නෑ. ඉගෙනගත්ත දේ කිසිම වෙලාවක අවතක්සේරු කරන්නෑ මම. ඒත් ඉගෙනගත්ත දෙයින් රටටවත්, රටෙන් අපිටවත් වැඩක් නැති වෙන කොට පොඩි කලකිරීමක් නම් තියෙනවා.

එහෙත් ඔබ උගත් දෙයින් කලා ලෝකයටත්, ශාස්ත‍්‍රීය ලෝකයටත් සාධනීය මැදිහත් වීම් සිදු කරලා තියෙනවා. ඔබේ වාද්‍ය භාණ්ඩය වන ”මෝහන් වීණාව” ඇසුරින් කළ ඒ පර්යේෂණාත්මක කටයුතු ගැන කෙටියෙන් සඳහන් කරමුුද?

හවායින් ගිටාරය ඇසුරින් ඉන්දියානු ස්ලයිඞ් ගිටාර නිර්මාණය වෙලා දැනට අවුරුදු 50ක් විතර. විවිධ සංගීතඥයින් ස්ලයිඞ් ගිටාරයේ සිදු කළ වෙනස්කම් හින්දා මේ භාණ්ඩය ආනන්දි වීණා, හංසවීණා, චතුරංගි වීණා, ගාන්ධර්වී වීණා, ශංකර් වීණා යනුවෙන් ඒ ඒ පුද්ගල බද්ධ නම් කිහිපයකින් හඳුනාගන්න පුළුවන්. මේ වාද්‍ය භාණ්ඩය ලොව පුරා ප‍්‍රකට වුණේත්, ”මෝහන් වීණා” නමින් හැඳින්වෙන්නේත් පණ්ඩිත් විශ්ව මෝහන් බට්ගේ දායකත්වයන් නිසා. මගේ කේන්ද්‍රීය පර්යේෂණ ගැටලූ‍ව වුණේ මෝහන් වීණාව ලංකාවේ ව්‍යාවහාරික සංගීත ක්ෂේත‍්‍රයට බද්ධ නොවුණේ ඇයි? සහ ලංකාවේ ජනප‍්‍රිය නොවුණේ ඇයි? කියල. එයට බලපාන ප‍්‍රධාන තාක්ෂණික හේතු කිහිපයක් වෙන්නේ එහි නාද ප‍්‍රභවයේ සහ විස්තාරණයේ දුර්වල බවත්, ඒ නිසාම ඒ සියුම් නාද පටිගත කිරීමට අපහසු වීමත් වගේ කරුණු. එයට විසඳුමක් විදිහට මම කළේ මෝහන් වීණා වාදනය පහසු කරවීමට සහ නාදය නිසි ලෙස ශ‍්‍රවණය වීමට විද්‍යුත් උපාංග කිහිපයක් ඊට එකතු කිරීමයි. ඒ ගැන ”හින්දුස්තානි වූ හවායින් ගිටාරය” කෘතියේ මම විස්තර කරලා තියෙනවා.

ප‍්‍රථම වරට සරල සංගීතයට උචිත වන විදිහට මෝහන් වීණාව සාධනීය වෙනස්කම්වලට භාජනය කිරීමේ පුරෝගාමියා ඔබ.

ඉතින් මම කැමැතියි විද්‍යුත් උපාංග සවි කළ ඔබේ මෝහන් වීණාව ”මධුර වීණා” හෝ ”මධුර මෝහන් වීණා” යන නමින් හඳුන්වන්න. ”මධුර” කියන නම ඒ විදිහට සංගීත ලෝකේ පවතින්න ඕන. ඒ විදිහට පවතින නමක් ඔබට දැමීම ගැනත් ඓතිහාසික වටිනාකමක් තියෙන කතාවක් තියෙනවනෙ. අවසාන වශයෙන් අපි ඒ කතාවත් ඔබේ මවගෙන් (අයෝමා දමයන්ති) අහල අදට අපේ සංවාදයට තිත තියමු.

මධුරව මට හම්බ වෙන්න හිටිය කාලේ මධුරගේ තාත්තා (සමන් ගුණවර්ධන) ”මධුර ජවනිකා” නාට්‍යයේ රඟපෑවා. දයානන්ද ගුණවර්ධන මහත්තයා නැති වුණේ නාට්‍යය අතරතුර වේදිකාවේදීම හදිසියේ ඇති වුණු පපුවෙ අමාරුවකින්, ජූනි මාසෙ. මට මධුරව හම්බ වුණේ ඊට මාස කීපයකට පස්සේ, ඔක්තෝබර්වල. එයාට නම දාන්න තිබුණේ ”ම” අකුරෙන්. ඉතින් ”මධුර” කියන නම දාන්න හේතුව වුණේ ”මධුර ජවනිකා” නාට්‍යය. දයානන්ද ගුණවර්ධන මහත්තයාව මතක් වෙන්නයි ඒ නම දැම්මේ. සමන් ගුණවර්ධනව මුලින්ම වේදිකාවට හඳුන්වලා දුන්නේ දයානන්ද ගුණවර්ධන හින්දා. ඒ දවස්වල මධුරගේ සීයා කාටූන් ඇන්දෙත් ලේක්හවුස් එකේ ”මධුර” පත්තරේ.