වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
මම වාද්‍ය ප‍්‍රථමා විභාගය සමත්වුණේ ඉන්දියාවේ පළමුවෙනියා ලෙසයි

”අපි කලාවෙන් කරන්න ඕනි මිනිස්සු සතුටු කරන එක. තබ්ලා වාදනයෙන් කරන්න ඕනිත් ඒක. මම තබ්ලාව වාදනය කරන්නෙ රසික ප‍්‍රජාවට රසයක් දෙන්න. අවුරුදු 57ක් මම ක්ෂේත‍්‍රයේ රැඳී ඉන්න හේතුව ඒකයි.”
1965 ඉඳලා අද දක්වා තබ්ලාව යොදා ගෙන අපූරු සංගීත නිමැවුම් සිදු කරන ජ්‍යෙෂ්ඨ තබ්ලා වාදන ශිල්පී පේ‍්‍රම්නාත් කොඩිතුවක්කු මහතා ඇත්තටම මේ රටේ ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු ආනන්දයට පත් කළ කුසලතා පූර්ණ මිනිසෙක්. තමන් ළඟ තිබෙන වටිනා දැනුම් සම්භාරය අනාගත පරම්පරාවට දායාද කරන්නත් ඔහු අමතක කරන්නෙ නැහැ. ඒ වගේම එතුමා අපේ රටේ හිටපු කෘතහස්ත තබ්ලා වාදන ශිල්පියෙකු වූ ඞී.සී.කොඩිතුවක්කු මහතාගේ පුත‍්‍රයා. ඔහුගේ ජීවිතයෙන් වර්තමාන පරම්පරාවට එකතු කරගන්න තියෙන දේවල් බොහෝමයි. අද අපේ සාකච්ඡාව ඒ ප‍්‍රතිභාපූර්ණ මිනිසා සමඟ.
අපි මේ සාකච්ඡාව ඔබගේ පියාගෙන් ම පටන් ගමු නේද?
”ඔව්, ඒක වටිනවා. (සිනාසී) මොකද මෙච්චර ලොකු ගමනක් එන්න මට ආශීර්වාද කළේ මගේ තාත්තා. හැබැයි මම ක්ෂේත‍්‍රයේ ඉහළ ම තැනක ඉන්නකොට ඒක බලන්න තාත්තා මං ළඟ නැහැ.”
දොන් චන්ද්‍රදාස කොඩිතුවක්කු එහෙම නැත්නම් ඞී.සී.කොඩිතුවක්කු කියන අමරණීය සංගීතඥයා ගැන සඳහන් කළොත්?
”මගේ තාත්තා තබ්ලාව ඉගෙන ගත්තේ ස්වොත්සහායෙන්. තාත්තාගේ සහෝදරයෙක් ඉන්දියාවෙ බොම්බායිවල හිටියා, ඔහු ජේ.ඩබ්ලිව්. කොඩිතුවක්කු. බාප්පා ඉන්දියාවෙ උස්තාද් අල්ලා රක්ඛා කියන තබ්ලා විශාරදයගෙන් තබ්ලාව ඉගෙන ගත්තා. බාප්පා ඉගෙන ගන්න පාඩම් ලංකාවෙ හිටපු තාත්තට එව්වා. තාත්තා ඒ පාඩම් හොඳින් ප‍්‍රගුණ කළා. රතන්ජංකර් පඬිතුමා ඇවිල්ල ගුවන්විදුලියෙ සංගීත ශිල්පීන් ශ්‍රේණිගත කරද්දි තාත්තා විශිෂ්ට ශ්‍රේණියේ වාදකයකු විදිහට පරීක්ෂණය සමත් වුණා. ඒ විතරක් නෙවෙයි රතන්ජංකර් පඬිතුමා සහභාගි වුණු විශාල ප‍්‍රසංගයක් ගුවන්විදුලියෙ පැවැත්වුණා. ඒ ප‍්‍රසංගයට සහාය තබ්ලා වාදනය කරන්න රතන්ජංකර් පඬිතුමා තාත්තට ආරාධනා කළා. ඇත්තටම ඒ සිදුවීම තාත්තගෙ ඉදිරි ගමනට ලොකු පිටිවහලක් වුනා. ඊට පස්සෙ දිගට ම තාත්තට ගුවන්විදුලියෙ ශාස්ත‍්‍රීය තබ්ලා වාදන වැඩසටහන්වලට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. තාත්තා තාල ශාස්ත‍්‍රයෙ සියලූ ම පාඩම් ඇතුළත් වෙන විදිහට 1949දි ‘අභිනව තාල ද්වාරය’ කියන පොතත් ප‍්‍රකාශයට පත් කළා. තවත් වැදගත් කරුණක් කියන්න ඕනි, රජයේ සංගීත විද්‍යාලයේ තාල ශාස්ත‍්‍රය ගැන පළවෙනි කථිකාචාර්යවරයත් මගේ තාත්තා.”
තාත්තගෙන් උරුම වුණු තාල ශාස්ත‍්‍රය ඔබ කොහොමද ඉදිරියට ගෙනියන්නෙ?
”ඉස්සර තාත්තා තබ්ලාව පුහුණු වෙලා කාමරෙන් එළියට ගියාම මම ඇවිල්ල තබ්ලාව ගහනවා. ඒ දවස්වල ඉතින් ලොකු අවබෝධයක් නැහැ. තාත්තා මේක දැකලා මට තබ්ලාව උගන්නන්න පටන් ගත්තා. හැබැයි තාත්තා මට උගන්නන්න පටන් ගත්තෙ සරල ම පාඩමකින් නම් නෙවෙයි. ටිකක් ගැඹුරු පාඩමකින්. 1968 තාත්තා මැරුණට පස්සෙ මම කල්පනා කළා ඉන්දියාවට ගිහින් තාල ශාස්ත‍්‍රය ගැන විභාගයට ඉදිරිපත් වෙන්න. මට අවස්ථාව ලැබුණා භාත්ඛණ්ඩෙ සංගීත පීඨයට ඇතුළත් වෙලා විභාගයට මුහුණ දෙන්න. මම වාද්‍ය ප‍්‍රථමා විභාගයෙන් ඉන්දියාවෙම පළවෙනි ස්ථානය ලබා ගත්ත. ඒ විතරක් නෙවෙයි, මට පළමු පෙළ සාමාර්ථ්‍යයකුත් තිබුණා. ඊට පස්සේ මට ගුවන්විදුලියෙ වාදක මණ්ඩලයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණා.”
කාලයක් තිස්සේ සිනමා පසුබිම් ගීතවලට තබ්ලා වාදනය කරන්න ඔබ ගොඩක් කැමැත්තෙන් හිටියා. ඒ අවස්ථාව උදා වුණේ කොහොම ද? එතනින් පස්සේ සම්බන්ධ වුණු සිනමා නිර්මාණ මොනවාද?
”ඔව්, ඒක හරියට ම හරි. මම පොඩි කාලෙ ඉඳන් චිත‍්‍රපට ගීත අහන්න කැමතියි. කවදහරි දවසක චිත‍්‍රපටයකට සම්බන්ධ වෙන්න ලොකු ආසාවකින් හිටියා. ඒ අවස්ථාව 1965 මැයි 25 වෙනිදා උදා වුණා. චිත‍්‍රපටය, මාතෘ භූමි. චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කළේ විමලනාත් දිසානායක. සංගීතය අධ්‍යක්ෂණය කළේ තිලක් කරුණාතිලක. පස්සෙ කාලෙ මාත් එක්ක ගොඩක් සංගීත නිර්මාණ කරපු සරත් දසනායක මට මුලින් ම හමුවුණෙ මාතෘ භූමි චිත‍්‍රපටයෙ දි. 1965 ඉඳලා 1971 දක්වා කාලයෙ මම බොහෝම හෙමින් ගමනක් ගියෙ. හැබැයි 1971න් පස්සෙ මට විශාල චිත‍්‍රපට ගාණකට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. කොහොමහරි අන්තිමට චිත‍්‍රපටවලට සම්බන්ධ වෙන්න තිබුණු මගෙ හීනය සැබෑ වුණා.”
ඔබ සරත් දසනායක ගැන සඳහන් කළා. සරත් දසනායක වගේම ලංකාවෙ හිටපු දැවැන්ත සංගීතඥයො එක්ක ඔබ වැඩ කරල තිබෙනවා. ඒ අමරණීය අතීතය සිහිපත් කළොත්?
”ඇත්තටම මට වාසනාව ලැබුණා ලංකාවෙ සංගීත ක්ෂේත‍්‍රයෙ හිණිපෙත්තෙ ම හිටපු දැවැන්ත සංගීතඥයන්ගේ නිර්මාණවලට සම්බන්ධ වෙන්න. ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා. ආඩම්බරත් වෙනව.(සිනාසී)
ලංකාවෙ ප‍්‍රාසංගික කලාව ඇතුළෙ එච්.ආර්.ජෝතිපාලයන්ගේ ‘ජෝති රාත‍්‍රිය’ ප‍්‍රසංගයට හිමි වන්නේ සුවිශේෂී තැනක්. ඔබ මේ ප‍්‍රසංගය ආරම්භ කරන්න පුරෝගාමී ව කටයුතු කරපු කෙනෙක්. පළවෙනි ‘ජෝති රාත‍්‍රිය’ ප‍්‍රසංගයෙ අත්දැකීම කෙහොමද?
”ජෝති රාත‍්‍රිය පටන් ගත්තෙ, 1980 සැප්තැම්බර් 06 වෙනිදා රත්නපුර නගර ශාලාවේ. අපි එදා උදේ 10, 11 වගේ වෙද්දි රත්නපුර නගර ශාලාවට වුණා. එතකොට නම් ලොකු සෙනඟක් හිටියෙ නැහැ. ඇත්තටම අපිට පොඩි බයකුත් හිතුණ සෙනඟ නැති වෙයි කියලා. හැබැයි ටික වෙලාවකින් විශාල සෙනඟක් නගර ශාලාවට එකතු වුණා. පළවෙනි ප‍්‍රසංගෙ හින්ද මම තබ්ලා හතක්, අටක් විතර ඔමබැ (සුසර) කරගෙන තමා ගියෙ. එතකොට එක එක සින්දුවෙ ශ‍්‍රැතියට ගැළපෙන විදිහට තබ්ලාව වාදනය කරන්න පුළුවන්. මට ඕනි වුණේ ප‍්‍රසංගයට තබ්ලාවෙන් මගේ උපරිම දායකත්වය ලබා දෙන්න. ප‍්‍රසංගය ලස්සනට තිබුණා. එදා මිනිස්සු ජෝතිට රත්තරන් මාල පවා දැම්මා සතුටට.”
එච්.ආර්.ජෝතිපාලට දාපු රත්තරන් මාල ගැන කියද්දි මට අපූරු දෙයක් මතක් වුනා. ‘ජෝති රාත‍්‍රිය’ ප‍්‍රසංගයක දි ඔබටත් විශේෂ මාලයක් පැළන්ඳුව නේද?
”ඔව්, ඒක මට හිතාගන්න බැරි අත්දැකීමක්. එදා ජෝති රාත‍්‍රිය තිබ්බෙ ලයනල් වෙන්ඞ්ට් රඟහලේ. විවේක කාලය ඉවරවෙලා ප‍්‍රසංගය පටන් ගන්න කලින් දෙන්නෙක් වේදිකාව උඩට ආවා. එකපාරට ම මට මුදල් නෝට්ටුවලින් හදපු මාලයක් පැලන්දුව. මේක දැකපු ජෝති අයිය හරියට සතුටු වෙලා අත්පුඩි ගහන්න පටන් ගත්ත. (සිනාසී) පස්සේ මං මේ මාලෙ ගෙනල්ල මගෙ අම්මගෙයි තාත්තගෙයි ඡුායාරූපවලට දැම්මා.”
1980 ඉඳල 1987 එච්.ආර්.ජෝතිපාලයන්ගේ මරණය දක්වා ම ‘ජෝති රාත‍්‍රිය’ ප‍්‍රසංගය පැවැත්වුණා. ‘ජෝති රාත‍්‍රිය’ ප‍්‍රසංග කීයක් තිබුණ ද? අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති නේද?
”ජෝති රාත‍්‍රිය ප‍්‍රසංග ඔක්කොම 247ක් පැවැත්වුණා. මේකෙන් ප‍්‍රසංග 244කට මම තබ්ලාව වාදනය කළා. කවදාවත් අමතක වෙන්නෙ නැති ලස්සන අත්දැකීමක් බණ්ඩාරවෙල ජෝති රාත‍්‍රිය ප‍්‍රසංගයක දි ලැබුණා. මම උදේ 10.30, 11 වගේ වෙද්දි ටවුන් හෝල් එකට ගියා. වාදක මණ්ඩලයෙ ඔක්කොමලා ඇවිල්ලා නැහැ. ඇවිල්ල හිටියෙ තබ්ලා, ඩ‍්‍රම්ස්, රිදම් ගිටාර්, ඩෝලක් සහ බේස් වාදකයො විතරයි. දැන් දවල් ප‍්‍රසංගය පවත්වන්න හොඳට ම පරක්කු වෙලා. ඒ හින්දා ජෝති අයිය ටිකක් කලබල වෙලා හිටියෙ. මම ජෝති අයියට කීව, ‘අපි සින්දු වෙනස් කරමු. මම තබ්ලාව ගහලා ඔයාට සංඥාවක් දෙන්නම්. එතකොට සින්දුව පටන් ගන්න කියලා. ඒ විදිහට රිදම්වලින් විතරක් සින්දු 6ක් වාදනය කළා. ජෝති අයියයි, මමයි පේ‍්‍රක්ෂකයන්ගේ ආකර්ෂණය දිගට ම තියාගත්තා. ප‍්‍රසංගය ඉවර වෙලා ජෝති අයියා කීවා, ‘කොඞී ඉන්නව නම් මගෙ ගේම මම දෙනව කියල. (සිනාසී) ඒක මට කවදාවත් අමතක වෙන්නෙ නැති අත්දැකීමක්. අනිත් කාරණය ජෝති අයිය කියන්නෙ මගෙ ප‍්‍රියතම ගායකයා. ඒක හැමදාටම එහෙමයි.”
ඔබ ලංකාවෙ විතරක් නෙවෙයි අන්තර්ජාතික ප‍්‍රසංගවලට පවා සහභාගි වෙලා තිබෙනවා. අන්තර්ජාතික තලයේ ඔබ ලබා ගත්ත අත්දැකීම් මොන වගේ ද?
”මම 1984 අපේ‍්‍රල් 14 ලන්ඩන්වල තිබුණ එච්.ආර්.ජෝතිපාල සහ ලතා වල්පොලගේ ‘ගීත රාත‍්‍රිය” කියන ප‍්‍රසංගයට තබ්ලා වාදනය කළා. ඊට පස්සෙ 1986 මොහිදීන් බෙග්ගෙ ලන්ඩන් ප‍්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය කළා. ඒකෙන් පස්සෙ බෙග් මාස්ටර්ටයි මටයි අවස්ථාව ලැබුණා ඊඊක් නාලිකාවේ විනාඩි 7ක රූපවාහිනී වැඩසටහනකට සහභාගි වෙන්න. මේ අවස්ථාව ලබා දුන්නෙ ඒ දවස්වල ඊඊක් ගුවන්විදුලියේ වැඩ කරපු විල්ෆ‍්‍රඞ් පෙරේරා. මේ වෙලාවේ ඔහුත් ආදරෙන් මතක් කරනවා.”
ඔබේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු ගැනත් සඳහන් කළොත්?
”ඇත්තටම විවාහයෙන් පස්සේ කලා කටයුතුවලට බිරිඳගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඇය නිනට් විනෝදනී කොඩිතුවක්කු. පුතයි, දුවයි දෙන්නම සංගීත කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කරනවා. දුව චතුර්නිකා ඉමාලි. පුතා ගයාන් නදීර. ඒ දෙන්නගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා.”
අවුරුදු 57ක කාලයක් ක්ෂේත‍්‍රයේ අත්දැකීම් තිබෙන ජ්‍යෙෂ්ඨ සංගීතඥයකු විදිහට ඔබ වර්තමාන සංගීත ක්ෂේත‍්‍රය විග‍්‍රහ කරන්නෙ කොහොමද?
”පැරණි සංගීත නිර්මාණ වර්තමාන පරම්පරාව භාවිතා කරද්දි ඒ නිර්මාණවල තියෙන නියම රසය විකෘති වෙනවා. සමහර වෙලාවට මම වාදනය කරල තියෙන ගීත පවා විකෘති කරල තියෙනවා. පැරණි සංගීතයට උඩින් එක එක ශබ්ද දාලා පැරණි ගීතය විකෘති කරලා. මම ඒ ගැන ගොඩක් කනගාටු වෙනවා.”
ඔබ ක්ෂේත‍්‍රයට එන්නෙ තබ්ලාව හොඳින් හදාරල. මං හිතන්නෙ ඔබට අවුරුදු 57ක් ක්ෂේත‍්‍රයේ ශක්තිමත් ව රැඳී ඉන්න පුළුවන් වුණේ මේ හැදෑරීම නිසා. මේ කාරණයත් එක්ක ඔබ තරුණ වාදකයන්ට ලබා දෙන අවවාද මොනව ද?
”මම භාත්ඛණ්ඩෙ සංගීත පීඨයෙන් වාද්‍ය අංශයේ ප‍්‍රථමා විභාගයෙන් පළමු පෙළ සාමාර්ථ්‍යයක් ලබා ගත්තා. ක්ෂේත‍්‍රයට ආවෙ තබ්ලාව හොඳින් ප‍්‍රගුණ කරලා. තරුණ වාදකයන්ට දෙන්න තියෙන උපදෙස තමයි හොඳින් හදාරල ක්ෂේත‍්‍රයට එන්න කියන එක. අනිත් කාරණය තමයි තබ්ලා වාදකයෙක් හැම වෙලාවෙම රසික ප‍්‍රජාව සතුටු කරන්න ඕනි. අපේ භාෂාවෙන් කියනව නම් පොඩි මෂා එකක් දෙන්න ඕනි. මම ඒක තබ්ලාවෙන් කළා.”
ධනුෂ්ක පුෂ්ප කුමාර
ශාස්ත‍්‍ර පීඨය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය.