මා නමැති තිරරචකයා මා නමැති අධ්‍යක්ෂවරයාට අභියෝගයක්

‘නන්නත්තාර’ සමඟ යළි ටෙලි මාධ්‍යයට එන ප්‍රවීණ අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි
සැප්තැම්බර් 22, 2022

 

මේ ටෙලි නා‍ට්‍යය ට්‍රැජි කොමඩියක් කියලා මම කියන්නේ නැහැ.

ප්‍රදර්ශන ආධිපත්‍යය දරන ටෙලිවිෂන් චැනල දැන් ඒ ප්‍රතිපත්තියෙන් මුළුමනින්ම බැහැර වී ඇති බවයි පෙනෙන්නේ

 

අත්, මෝරා, ඔත්තුකාරයෝ, හංකිති දහතුන වැනි නාට්‍යවලින් කරළියේ පෙරළියක් කළ ඔහු වෙද හාමිනේ සමඟ පුංචි තිරයට අවතීර්ණව දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා, රැජන, හතරදෙනෙක් සෙන්පතියෝ වැනි ටෙලි නාට්‍ය සමඟ ටෙලි නාට්‍යවලට වෙනස්ම මිනුම් දඬු එක් කිරීමට සමත් විය.

අග්නිදාහය සමඟ සිනමාවේ වෙනස් ඉසවු කරා ගමන් කළ ඔහු ගරිල්ලා මාර්කටිං, සමනළ සංධ්වනිය, ඝරසර්ප වැනි නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂක රසඥතාව වෙනස් මානයකට යොමු කළේය. ශ්‍රී ලාංකේය ශ්‍රව්‍ය දෘශ්‍ය වංශ කතාවේ ජයන්ත චන්ද්‍රසිරි නමින් සන්නාමයක් තබන්නට ඔහු සමත් වුයේ එලෙසිනි. රිදී තිරයට සීමා වෙතැයි සිතු ඔහුගේ ගමන් මගේ නව හැරවුම් ලක්ෂ්‍යයක් තබමින් වසර 15ට පසු නන්නත්තාර සමඟ ඔහු යළි පුංචි තිරයට යොමුව ඇත.

මේ ප්‍රකට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි සමඟ ඔහුගේ නවතම ටෙලි නිර්මාණය සහ කලා ක්ෂේත්‍රය පිළිබඳ සරසවිය කළ විමසුමකි.

 

 

වසර පහළොවකට පමණ පසු ඔබ නැවත ටෙලි නාට්‍ය නිර්මාණයක් කරන්න හිතුවෙ ඇයි?

රුවන් ජයසිංහ නිෂ්පාදනය කළ මා නිර්මාණය කළ "සතරදෙනෙක් සෙන්පතියෝ" ටෙලි නාට්‍යයෙන් පසු මට එක දිගටම අවස්ථා ලැබුණේ චිත්‍රපට නිර්මාණය කිරීමටයි. අනෙක් අතට අද වන විට චිත්‍රපටයටත් වඩා ප්‍රාග්ධන සූක්ෂම මාධ්‍යයක් බවට පත්වී ඇති ටෙලි නාට්‍ය කලාවට නැවත ප්‍රවිෂ්ට වීමට මා තුළ ලොකු අලසකමකුත් තිබුණා. රුවන් ජයසිංහ, සුනිල් රත්නායක, සුනිල් ජයන්ත නවරත්න වගේ මා සමඟ මීට කලින් කටයුතු කළ කලාකාමී නිෂ්පාදකවරුන් නැවත මුණ නොගැසෙයි වගේ හැඟීමකුත් මට තිබුණා. නමුත් මීට දෙවසරකට පමණ වගේ උඩදී මගේ සහෝදර නිර්මාණවේදියකු වන සුදත් රෝහණ ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති තනතුරට පත් වීමත් සමඟ අපට ඉතාම ප්‍රබල ආරාධනයක් කළා ස්වාධීන රූපවාහිනිය වෙනුවෙන් හොඳ ටෙලි නාට්‍යයක් නිර්මාණය කරන්න කියලා. වෙනත් සහෝදර නිර්මාණකරුවන් හා ඔහු සමඟ ඒ පිළිබඳව සාකච්ඡාවට ගියත්, ඔහුට ස්තුති කරමින් මා කීවේ නැවත ටෙලි නාට්‍ය නිර්මාණය කරන්නට මගේ අදහසක් නැති බවයි. මේ අතර තමා මා ඉතා ගරු කරන අධ්‍යාපන ආයතනයක් වන ව්ඉඕර් හරිත සරසවිය ටෙලි නාට්‍යයක් නිර්මාණය කිරීමට මට ආරාධනා කරන්නේ. මා එම ආරාධනය ඉත සිතින් පිළිගන්නේ මෙම සරසවියේ උපකුලපති තුමා සහ ගුරු මණ්ඩලය පිළිබඳව මා තුළ තිබෙන පැහැදීම නිසාමයි. ඒ අනුව මා 2021 වසරේදී නන්නත්තාර රචනා කරනවා. එය කොහොමටත් ස්වාධීන රූපවාහිනියේ විකාශනය කරවීම තමා අප දෙගොල්ලන්ගේම බලාපොරොත්තුව වුණේ. ඔය අතර සුදත් රෝහණ මහතා ස්වාධීන රූපවාහිනියෙන් අස්වෙනවා. මෙතැනදි පෞද්ගලික රූපවාහිනී සේවාවන් කරා යොමු වෙන්නයි අප උනන්දු වන්නේ. නමුත් පුළුල් දැක්මක් සහිත නව සභාපතිවරයා වශයෙන් හැඳීන්විය හැකි සුදර්ශන ගුණවර්ධන මහතාගේ ආගමනය සමඟ අප නැවතත් ස්වාධීන රූපවාහිනිය කරා යොමු වෙනවා.

 

නන්නත්තාර කවුරුන් ගැනද?

අහිංසක අවංකයන්, කෛරාටික තක්කඩීන්, හිස්ම හිස් සෝබනකාරයන්, ස්නායු රෝග විලාසිතාවක් කරගත් මිනිසුන්, ඊර්ෂ්‍යාව සහ කුහකකම සමාජ වටිනාකම් බවට පත්කරගත් මිනිසුන් හා ඔවුන්ව පාලනය කර ගැනීමට ඔවුන් විසින්ම පත් කර ගන්නා මිනිසුන් පිළිබඳ කතාවක් තමා නන්නත්තාර.

 

එය කොමඩියක්ද?

හැම කොමඩියක් පිටුපසම තිබෙන්නේ ට්‍රැජඩියක් (දුඛාන්තයක්). ග්‍රීක නාට්‍ය කලාවේ තිබෙනවා ට්‍රැජි කොමඩි කියලා ජාතියකුත්. නන්නත්තාර එහෙම ට්‍රැජි කොමඩියක් කියලා මම කියන්නේ නැහැ. හැබැයි ඒක අප දැන් මේ අත්දකින ඕනම කොමඩියක් පිටුපස තිබෙන සැබෑ ට්‍රැජඩිය එළිදක්වන එකක් බව නම් කියන්න පුළුවන්.

 

එහි ශිල්පීන්?

ශ්‍රියන්ත මෙන්ඩිස්, බුද්ධදාස විතානාරච්චි, සනත් ගුණතිලක, කුසුම් රේණු, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, මේඝ සූරියආරච්චි, අනුරාධා එදිරිසිංහ, වින්ධ්‍යා දෙගල්දොරුව, චුලක්ෂි රණතුංග, වසන්ත විට්ටච්චි,මෞලි ෆර්ඩිනැන්ඩු, නිර්මලා නිශාන්ති, බුද්ධික ජයරත්න, දෙව්නක පෝරගේ, එරික් පෙරේරා, උදිත ගුණරත්න, සෙනේෂ් දිසානායක, දිමුතු චින්තක, සඳුන් බණ්ඩාර, චින්තක වාස්, මහේෂ් වික්‍රමසිංහ, ජයනාත් බෝදාහන්දි, නුරාධිකා සේරසිංහ, මහින්ද තෙන්නකෝන්,හේමන්ත රන්දුණු, තිස්ස ගුණතිලක, තනුජාවී විජේවික්‍රම, ලක්ෂ්මන් මානවඩු, සංජය බණ්ඩාරනායක, මොහොමඩ් අලි රජාබ්ඩීන්, නිකිණි සඳමිණි ඇතුළු රැසක් මෙහි චරිත නිරූපණයේ යෙදෙනවා.

සංගීතය නිර්මාණය කළේ නවරත්න ගමගේ. කැමරාව නිශාන්ත ප්‍රදීප්. සංස්කරණය මේඝ සූරියආරච්චි. කලා අධ්‍යක්ෂණයෙන් නිපුණ චතුරංග සමඟ සමන් වන්නිආරච්චි, සහාය අධ්‍යක්ෂණයෙන් නිමල් ෆ්‍රැන්සිස් සහ විමල් දේශප්‍රිය, නිෂ්පාදන කළමනාකරණයෙන් නන්දලාල් ජයසිරි, විධායක නිෂ්පාදනය අකිර වීරසිංහ සහ තිළිණි ද සිල්වා සහභාගි වෙනවා.

 

ඉතාම ප්‍රවීණ නළු නිළියන් වගේම නව පරපුරේ නළු නිළියන් ගණනාවකුත් නන්නත්තාරහි රඟපානවා. මේ තරුණ නළු නිළියන් ගැන මොකක්ද ඔබේ තක්සේරුව?

ප්‍රධාන ස්ත්‍රී භූමිකාව වන රම්භාගේ චරිතය නිරූපණය කරන වින්ධ්‍යා දෙගල්දොරුව ගේ පටන් චුලක්ෂි රණතුංග , මේඝ සූරියආරච්චි, අනුරාධා එදිරිසිංහ, නිර්මලා නිශාන්ති, මෞලි ෆර්ඩිනැන්ඩු, නුවන් සේනක, මහේෂ් වික්‍රමසිංහ, සඳුන් බණ්ඩාර, නිකිණි සඳමිණි, දෙව්නක පෝරගේ, එරික් පෙරේරා ඇතුළු මේ් පිරිස ගැන මම මහත් සේ තෘප්තිමත්. යමක් හැමවිටම ඉගෙන ගන්න කැමති, ඒ වගේම තමන් නිරත කාර්යයට මහත් සේ කැප වෙන්නට කැමති මේ අය පිළිබඳව අපට ඉදිරියේදී හුඟක් බලාපොරොත්තු තබා ගන්න පුළුවන් කියලයි මට හිතෙන්නේ.

 

ඒ වගේම අපගේ ප්‍රවීණ නළු නිළියන් වන ශ්‍රියන්ත මෙන්ඩිස්, බුද්ධදාස විතානාරච්චි, සනත් ගුණතිලක, කුසුම් රේණු, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, වසන්ත විට්ටච්චි වගේ අය කළ කැපකිරීමත් අමතක කරන්න බැහැ.

විශේෂයෙන් මගේ කැමරා අධ්‍යක්ෂ ප්‍රදීප් නිශාන්ත, සංගීත අධ්‍යක්ෂ නවරත්න ගමගේ සහය අධ්‍යක්ෂ නිමල් ෆ්‍රැන්සිස් නොමඳ සහයක් ලබා දුන්නා.

 

වර්තමාන ටෙලිනාට්‍ය කලාවේ ගමන් මඟ ඔබට පෙනෙන්නේ කොහොමද?

අපේ ටෙලි නාට්‍ය කර්මාන්තය එහි ආරම්භයේ පටන් මේ මෑතක් දක්වාම ටෙලි නාට්‍ය තුළින් කලාකෘති නිර්මාණය කිරීමට උත්සහ දරන අයට හැකි පමණ සහාය වීමේ ප්‍රතිපත්තියක සිටි බව පෙනෙනවා. නමුත් මෙහි ප්‍රදර්ශන ආධිපත්‍යය දරන ටෙලිවිෂන් චැනල දැන් ඒ ප්‍රතිපත්තියෙන් මුළුමනින්ම බැහැර වී ඇති බවයි පෙනෙන්නේ. වඩාත්ම ඉක්මනින් ලාභ සහ බාල නිෂ්පාදන සපයා ගැනීමේ තරගයකයි බොහෝ දෙනා නිරතව සිටින්නේ. ඒ නිසා සීරියස් නිර්මාණකරුවන් එන්න එන්නම අධෛර්‍ය කරමින් තිබෙන පසුබිමකයි ඔබ ඔය ප්‍රශ්නය නගන්නේ. භාග්‍යයකට වගේ ජාතික මාධ්‍ය තවමත් ඒ තැනට වැටී නැති නිසයි පොඩි හරි බලාපොරොත්තුවක් තිබෙන්නේ.

 

ඔබ ටෙලි නාට්‍යකරුවෙක් වගේම සිනමාකරුවෙකුත් වෙනවා. මේ මාධ්‍ය දෙක පිළිබඳ ඔබේ සැසඳීම මොකක්ද?

ග්‍රිෆිත්, අයිසන්ස්ටයින්, කුලෙෂොව් වගේ සිනමා කලාකරුවන් බිහි වනතුරුම සිනමාව කලාවක් යැයි කිසිවකු පිළිගත්තේ නැහැ. ටෙලිනාට්‍ය එහෙමත් නැත්නම් ටෙලි වෘත්තාන්ත කලාවක්ද නැද්ද යන ප්‍රශ්නය පවා ලෝකයේ පැවතියේ ටික කාලයයි. සෝප් ඔපෙරා ලක්ෂණ මුළුමනින්ම බැහැර කළ ගැඹුරු නිර්මාණ ලෝකයේ හතරවටින්ම රූපවාහිනි අවකාශයට ඇතුළු වුණා. අද මේ කාර්යභාරය රූපවාහිනියත් ඉක්මවා ගිහින් ඹඥඡ ඵඥපඪඥඵවලින් ඉටු කෙරෙනවා. ටෙලි නාට්‍යයත්, සිනමාවත් අතර මා දකින වෙනස නම් එකක් තිරය විශාල වීමත්, අනෙකෙහි තිරය කුඩා වීමත්, නොවෙයි. එකක් සාලයේ තිබීමත්, අනෙක වෙනම ශාලාවක තිබීමත් නොවේ. ටෙලිනාට්‍ය කතා තේමාව ප්‍රාසංගික ගුණයකින් යුක්ත (ඥනඪඵධඤඪජ නතධබ) කතා ශරීරයකින් සමන්විත එකක් වීමත්, සිනමාවේදී එබඳු කතා ශරීරයක් හෝ එබඳු කතා තේමාවක් අවශ්‍ය නොවීමත් ය. ඒ හැර තනා ගෙන ඇති වෙනස පිළිබඳ අනෙක් සියලුම මතවාද දැන දැන කළ වැරදි කීපයක පශ්චත්තාපයකින් මිදීම සඳහා ඉදිරිපත් කරන මතිභ්‍රම පමණි.

 

ඔබේ නිර්මාණවල පිටපත් ඔබම ලියා ගන්නෙ ඇයි?

මා නමැති රචකයාගේ චින්තන ලෝකයේ දිග පළල සහ ගැඹුර මා දන්නා නිසාත් ඔහු හැමවිටම මා නමැති අධ්‍යක්ෂවරයාට අභියෝග කරන නිසාත් ය.