වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
‘මගියා’ මනුෂ්‍යත්වය සොයා ගිය ගමනක්

අදේවවාදී මාක්ස්වාදියකු වූ ඔහු අද බෞද්ධ දර්ශනයේ සාංසාරික පුරුදු පිළිබඳ විශ්වාස කරයි. ඒ විශ්වාසය මත ඔහු සසර ගමනේ මනුෂ්‍යත්වය සොයා යන්නකු ලෙස නිර්මාණය කළ ප්‍රථම ස්වතන්ත්‍ර නවකතාව 'මගියා'නම් වෙයි. මේ මගියා ගමන් කරන්නේ කෙබඳු කෙම් බිමක් සොයාගෙනදැයි අසන්නට අපි ප්‍රවීණ ලේඛක රංජිත් කුරුප්පු හමුවීමු. මේ ඒ සොඳුරු කතාබහේ කොටසකි...
පොත් ප්‍රදර්ශනය තිබෙන බව ආරංචි වුණාම නොඑන්න සිටි මට එන්න හිතුණා. කොවිඩ් නිසා වසර කීපයක් අපට පොත් ප්‍රදර්ශනය තබන්න බැරි වුණානේ. ඉතින් මේ වතාවේ දින දහයකට වත් එන්න ඕනෙ වුණු නිසයි කඩා බිඳගෙන ලංකාවට ආවෙ.
ඔහු කතාව පටන් ගත්තේ එසේ පවසමිනි.
කඩදාසි ප්‍රශ්නය, මුද්‍රණ ගාස්තු ආදියත් ඉහළ ගිහින්. පොත් මිල වැඩිවෙලා. අමතරව රටේ ගැටලු බහුල අවදියකයි පොත් ප්‍රදර්ශනය පැවැත්වුණේ?
මට මෙය පුදුමයක්, ඇත්තෙන්ම පුදුමයක්. ඇත්තෙන්ම ලක්ෂ ගාණක් සෙනඟ හිටියානේ. ඒ සියලු දෙනාම පොත් ගන්නවා. කන්න නැතත් පොත් ගන්නවා. අපට අදහන්න බැරි ගණන්වල බිල් ගෙවූ අය මම දැක්කා. ඒක මට ලොකු උනන්දුවක් ඇති කළා. මගේ ඉදිරි නිර්මාණයකට එය ලොකු නිර්මාණාවේශයක් වුණා.
ඔබේ 'මගියා' පොත ගැන පාඨකයන්ගේ අදහස කෙබඳුද?
ප්‍රදර්ශනයේ මුල්ම දිනයේ පවා අනූදෙනකුට පමණ පොත් අත්සන් කර දෙන්න සිදු වුණා. ඒ එන අය මගේ කෘති සියල්ලම පාහේ කියවා තිබෙනවා. ඔවුන් සමහරු මාව බදාගන්නවා. සමහරු නමින් මාව දැනගෙන හිටියත් හමුවෙයි කියා සිතුවේ නෑ කියලා සතුට පළ කරනවා. සමහරු දණගහලා වඳීනවා. අවුරුදු අසූවක පමණ නෝනා කෙනෙක් ප්‍රේම සැඳෑවෝ කෘතිය දෙසත් බලලා මට සිනාවෙවී ඉංග්‍රීසියෙන් කියනවා. 'මම ඔබව දන්නවා. ඔබේ ප්‍රේම සැදෑවෝ පරිවර්තන දෙකම මම කියෙව්වා. ඒත් එයට මම වියපත් වැඩියි' කියලා. ඇයත් මට සුබපැතුවා. ඒ ප්‍රතිචාර හරිම දයාබරයි. සමහර තරුණ පිරිසි මා සමඟ සෙල්ෆි ගන්නවා. සමහරු අත අල්ලගන්න පුළුවන්ද අහනවා. මේ දේවල් මට හරිම හැඟුම්බර අපූර්ව අත්දැකීම් වුණා. ඇත්තෙන්ම පොතක් පරිවර්තනය හෝ අලුතින් ලිවීම කියන්නේ මාස ගණන්, සමහර විට අවුරුදු ගණන් මහන්සි විය යුතු දෙයක් එය. ඒත් මේ ප්‍රතිචාර සමඟ ඒ මහන්සිය විඩාව කොහෙන් ගියාද දන්නෙ නැහැ. තව පොත් සියයක් වුණත් ලියන්න තරම් ශක්තියක් හදවතට දැනුණා.
ඔබ මේ කියන විදිහට සමාජයේ කියවීමේ රුචිය අඩුයි වැනි කතා වැරැදියි?
ඔව්. ඒ කතාව බොරුවක් වෙනවානේ. අනෙක අපි ලේඛක කණ්ඩායමක් එතැන කතා කරමින් හිටියා. එහිදී කියැවුණේ මේ පොත් ප්‍රදර්ශනයට පැමිණීම විලාසිතාවකට කරන දෙයක් කියලා. මම ඊට විරුද්ධ වුණා. මොකද මෝස්තරේට එනවා නම් ඒ විදිහ වෙනස්. මේ පිරිස එන්නේ තමන්ට රුචියක් ඇති පොතපත අරගන්න. සමහරු ඒවාට සල්ලි හොයාගෙන එන්නේ. උදාහරණයක් කියන්නම්. එක ගැහැනු ළමයෙක් මගේ 'මගියා' පොත ගැන දැනගෙන හිටියේ නැහැ. සර්ගේ පොත් ඔක්කෝම මම කියවලා තිබෙනවා කීවා. මම කීවා මගේ අලුත්ම නවකතාව තිබෙනවා කියලා. ඇය ඉක්මනින් ගිහින් බලලා කියනවා පොඩ්ඩක් ඉන්න සර් මගේ අතේ සල්ලි ඉතුරුවෙලාද කියලා බලන්න එහෙම කියලා ඇය පොතක් ගත්තා. නැත්නම් මට පොතක් දෙන්න වුණත් තිබුණා.
ජර්මනියේ ඔබ පදිංචි. එරට කියවීමේ සංස්කෘතිය කොහොමද?
එහේ කියවීමේ සංස්කෘතිය ඉතාම ඉහළයිනේ. පොත් කඩේකට ගියොත් හැමදාම මෙහෙ පොත් ප්‍රදර්ශනයේ වගේ සෙනඟ. දැනුම, රුචිකත්වය හරිම ඉහළයි. යුරෝපයේ ඉහළම කාර්මික සංස්කෘතියක් තිබෙන රටක් වගේම ප්‍රජාතන්ත්‍රවාදය දෝරෙ ගලායන රටක්. ඒ නිසා ඒ මිනිසුන්ගේ කියවීමේ පුරුද්ද ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ.
'මගියා' ඔබ විසින්ම ලියූ නවකතාව?
ඔව්. මෙතෙක් පරිවර්තන 13ක් කළ මම මගේම නව කතාවක් ලෙස මුලින්ම ලීවේ මගියා. ඒ කියන්නේ ගමනක් යන කෙනෙක්. ඒ ගමනේ ඔහු මනුෂ්‍යත්වය සොයාගෙන යනවා. එහි ඔහු දකිනවා ශ්‍රී ලංකාව තුළ ඇති වුණු විප්ලවවල නැඟීම වැටීම, ඒ අතර තිබුණු ආදරය, අනාදරය, බටහිර ලෝකයේ සංස්කෘතියේ ආදරය පිළිබඳ ඇති වුණු සංකල්ප ආදිය. මෙහි චරිතයක් තිබෙනවා අනෙබෙලා කියලා ඇය දෙවියන් බෙහෙවින් අදහන කෙනෙක්. ඉතින් මනුෂ්‍යත්වය, ජීවිතය කුමක් ද කියන්න අංශු මාත්‍රයකින් හෝ කළ උත්සාහයක් තමයි මගියා. එය කියවා ඉවර වන විට පාඨකයාටත් මනුෂ්‍යත්වය පිළිබඳ කිසියම් අත්දැකීමක්, යම් තොරතුරක් ලැබෙයි කියා මා විශ්වාස කරනවා.
කොහොමද පාඨක ප්‍රතිචාර?
මගියා කියැවූ පාඨකයෙක් ලිපියක් ලියා තිබෙනවා මා සිද්ධාර්ථ කෘතිය ලියූ හර්මන් හේසර් ලේකඛයාට සමාන කරලා. ඔහු එහි කියනවා '...ශ්‍රී ලංකා සමාජයේ මෙවැනි සංසිද්ධීන් බහුල වුව ද සාහිත්‍යකරුවන්, නාට්‍යකරුවන් සහ සිනමාකරුවන් තම නිර්මාණ සඳහා ඒවා පාදක කරගත්තේ අල්ප වශයෙනි.... එහෙත් දශක පහක පමණ සංසිද්ධියක් නිර්මාණශීලීව නවකතාවකට ගොනු කර ඇති අපූරුව අපට මුණගස්වන්නේ මගියාය. ජීවිතයේ අරුත සොයා ගිය හර්මන් හෙසර්ගේ සිද්ධාර්ථ මෙන්, රන්ජිත් කුරුප්පුගේ මගියා ද අපට ජීවිතය කියා දෙයි.' යනුවෙන්.
ඔබේ පරිවර්තන සහ මේ පොත අතරින් පාඨකයා වැඩියෙන් ආකර්ෂණය වූයේ කුමන කෘතිවලටද?
ප්‍රේම සැඳෑවෝ මගේ පරිවර්තන අතරින් ලක්ෂ දෙකක් පමණ අලෙවි වුණ කෘතියක්. පොත් ප්‍රදර්ශනයේදී පවා තවමත් අලෙවි වන කෘතියක් ලෙස කාන්තාරයේ කුසුම හඳුන්වන්න පුළුවන්. ඒක මහ පුදුමයක්. දැන් පොත පරිවර්තනය කර අවුරුදු අටක් පමණ වෙලත් තවමත් වැඩියෙන්ම අලෙවි වන මගේ කෘතිය එය වීම අදහාගන්නත් බෑ. ගිනිමැද සක්මන වැනි කෘතිත් ඉන්පසු දක්වන්න පුළුවන්.
නවකතාවක් ලිවීමේ සහ පරිවර්තනයක් කිරීමේ අත්දැකීම අතර වෙනස ඔබට දැනෙන්නේ කොහොමද ?
පරිවර්තනයක් කියන්නේ යම් කෙනකු විසින් නිර්මාණය කරන ලද දෙයක්. අපේ කර්තව්‍යය තමයි එහි කිසි අඩුපාඩුවක් සිදු නොවන පරිදි, කියවීමේ ආශාව ඇති වන ආකාරයට ගලා යන භාෂා ශෛලියකින් අපේ සිංහල පාඨකයාට එය ඉදිරිපත් කිරීම. පරිවර්තනයේ මුල් කෘතිය අප ඉදිරියේ තිබෙන නිසා මට අමුතුවෙන් හිතන්න දෙයක් නෑ. හැබැයි ඉතින් අදාළ කතාවේ එන සංස්කෘතික පසුබිම ආදිය ගැන අපට යම් පර්යේෂණයක්, අධ්‍යයනයක් කරන්න සිදු වෙනවා. සෝමාලියාවේ සංස්කෘතිය ගැන කියවන්න වෙනවා කාන්තාරයේ කුසුම පරිවර්තනයට කලින්. එවිට තමයි පරිවර්තනය සාර්ථක වන්නේ. එහෙත් නවකතාවක් කියන්නේ කිසිදාක කෙනෙක්ට කියවන්න නොලැබුණු අලුත්ම දෙයක්නේ. එවැන්නක් ගොඩනැඟීම එහෙම ලේසි පහසු කර්තව්‍යයක් නෙවෙයි. මම පරිවර්තන දහතුනක අත්දැකීම්වලින් පසු හිතුවා නවකතාවක් ලියන්න ඕනෙ කියලා. ඒ වෙනුවෙන් මම යම් යම් අධ්‍යයන සිදු කළා. මගේ පරිවර්තන කාර්යයත් මට ඊට බොහෝ ඉවහල් වුණා. කතාවක ආඛ්‍යානය, ආකෘතිය ආදිය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න හැකි වුණා එයින් මට. ඉන් පසු තමයි මම තීරණය කළේ මගේම පොතක් ලියන්න කාලය හරි, දැනුම ඇති කියලා.
පරිවර්තනයක භාෂා භාවිතයේ සහ නවකතාවක භාෂා භාවිතයේ වෙනස ඔබ දකින්නේ කොහොමද?
නිදසුනකට ප්‍රේම සැඳෑවෝ කෘතිය ගත්තොත්, ඒ කතුවරිය ලියා තිබෙන ශෛලිය අපි ළං කරගන්න උත්සාහ කරනවා. ඒ භාෂා විලාසය අවබෝධ කරගන්නවා. ඒ පොත කිහිප විටක් කියවලා එය තේරුම්ගත් පසුවයි අපි එය ප්‍රතිනිර්මාණය කරන්න උත්සාහ කරන්නේ. පරිවර්තනයේ ලස්සන කොටස් තිබෙනවානේ. ඒවා අපි ඒ අයුරින්ම පාඨකයාට ලබා දෙන්න උත්සාහ කරනවා. එහෙත් මගේම නවකතාවකදි මම පුදුම සරල භාෂා ශෛලියකින් සහ ආකෘතියකින්නේ මගේ කතාව කියන්න උත්සාහ කරන්නේ. උදාහරණයකට මගියා පොතේ එක ලියුමක මෙහෙම තිබෙනවා.
'....සෞන්දර්යාත්මක අලෞකික සුන්දරත්වයත්, කාව්‍යමය මිනිස් හදවතත් එක්වන එවන් වසන්ත රැයක, ළා අඳුරක පාපී ක්ලේශ මත කකියන මිනිස් සන්තානය ආත්මීය දයා දියරයෙන් මොහොතකට හෝ නිවුණු කල ඔබ මට හමු වූ බව මම සිතනවා' කියලා ඒ මගේ ශෛලිය.
ඔබ සිතන ආකාරයට නවකතාව කියන්නේ කෙබඳු දෙයක්ද?
නවකතාවක් කියන්නේ සත්‍යය සහ පරිකල්පනයේ මිශ්‍රණයක්. එක මොහොතක සත්‍යය වන දේ තව මොහොතක පරිකල්පනයක් වනවා. බොහෝ දෙනා එහි චරිත පිළිබඳ විවිධ ප්‍රශ්න නඟනවා. ඒත් ඩොක්ටර් ෂිවාගෝ කියන්නේ ඒ ලේඛකයාගේ කතාව. හැබැයි එතැනදි ඔහු විප්ලවය සහ විප්ලවය කර මුදුනට වැටුණාම සිදුවන සියලුම දේ ඔහු ලීවා. ඒ වගේ තමයි මගේ කතාවත්.
පරිවර්තනයක් තෝරා ගැනීමේදී ඔබ අවධානය යොමු කරන කරුණු මොනවාද?
මගේ උත්සාහය තමයි අන්තර්ජාතික මට්ටමේ පරිවර්තන කිරීම. අනෙක මේ පරිවර්තන අප කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පොත් කියවන්න බැරි සිංහල පමණක් දන්න පාඨකයන්ට. ඉංග්‍රීසියෙන් කියවන අයට මුල් පොත තිබෙනවානේ. ඉතින් එතැනදි මම අන්තර්ජාතික වශයෙන් දැනුමක්, වැදගත්කමක් ඇති කෘති පමණයි පරිවර්තනයට මා තෝරා ගන්නේ. කාන්තාරයේ කුසුම පොත ගත්තාම කාන්තාවන් ලියා එවනවා මට 'සෝමාලියාව වැනි රටක අපි වගේ ගැහැනුන්ට මේ තරම් අසාධාරණකම් සිදුවන බවට අපි දැන සිටියේ නැහැ, මේ පොතින් එ බව දැන්වූවාට ඔබට බොහොම ස්තූතියි'' කියා. අනෙක් පොත්වලටත් එහෙමයි. කලාවෙන් මිනිසා ආනන්දයෙන් ප්‍රඥාවට ගෙන යනවා කියන්නේ ඒකයි. අනෙක ප්‍රේම සැඳෑවෝ කියවූ පසු බොහෝ දෙනා තමන්ගේ සැඟව තිබුණු සිතිවිලි අදහස් විවෘතව පවසමින් ජීවිතය විඳීන්න පටන් ගත්තා. සම්භෝගය පිළිබඳ අලුත් මානයකින් හිතන්න පටන් ගත්තා. බොහෝ දෙනා ඒවා හිතේ හංගාගෙන පවුල් සංස්ථා විනාශ වන තුරු ඉන්නවා. එය වෙනස් වුණා. අනෙක අපට මේ දේවල් විවෘතව සමාජයේ කතා කරන මට්ටටමක් ඇති කළ හැකිව තිබියදී ලිංගිකත්වය හංගාගෙන මොනවාද මේ කරන්නේ? දශලක්ෂයක් යුදෙව්වන්ගේ ජීවිත පුච්චලා විනාශ කළ අවුස්විච් වධකාගාරය ගැන දැනගත්තේ ඔබතුමාගේ පොතෙන් වගේ දේවලුත් මට ලියා එවනවා. ඇමතුම් දී කියනවා. ඉතින් එවිට මට හිතෙනවා මගේ පරිවර්තනයෙන් සේවයක් වෙලා තිබෙනවා කියා. ඒ ගැන මට හරි සන්තෝෂයි.
ලංකාවේ ලිංගිකත්වය බොහොම සංවෘත මාතෘකාවක්. ඒ නිසාම එය ඉස්මතුවන පොතපතට පවා යම් යම් විවේචන එල්ල වනවා?
මෙහි මූලික ප්‍රශ්නය වික්ටෝරියානු සංස්කෘතිය පැමිණීමෙන් පසු ඇති වුණු තත්ත්වය. කාශ්‍යප රජුගේ කාලේ ඔය නිරුවත් බව තිබුණානේ. ජාතක කතාවලත් තිබුණා. මේ සියල්ල විවෘතව කතා කෙරුණා. වික්ටෝරියානු සංස්කෘතිය ආ පසු අපි වහගෙන ඉන්නවා ඔවුන් නිර්වස්ත්‍රයෙන් මුහුදු තීරවල අව්ව තපිනවා. අනෙක සමහරු හිතනවා සරාගී දේවල් ලියන්නේ පොත විකුණගන්න කියලා. ඒක අමූලික අසත්‍යයක්. නිර්මාණයකට වාරණ අවශ්‍ය නෑ. තමන් උගත් නම් කළ යුත්තේ කුමක්ද නොකළ යුත්තේ කුමක් ද කියා දන්නවා නේ. ඒ නිසා කලා කෘතියක් යම් ආණ්ඩුවකින් හෝ ආයතනයකින් වාරණය කළ යුතු වන්නේ නෑ. ජර්මනියේ වාරණ, මණ්ඩල නැ. අපේ ළමයි ලිංගික අධ්‍යාපනයක් නැතිව ගිහින් නිකම්ම රැවටෙනවා. ඔවුන් ඒවා පිළිබඳ දැනුම්වත් නම් මේ තරම් ව්‍යසනයන්ට ලක් වන්නේ නෑ. නිර්මාණකරුවාට වාරණය යොදන්න ඕනෙ ප්‍රේක්ෂකයන්. ඔවුන් තමයි චිත්‍රපටයක් හෝ සාහිත්‍ය කෘතියක් වාරණය කරන්න සුදුසුම අය. ප්‍රේක්ෂකයා ප්‍රතික්ෂේප කරනවා නම් නිර්මාණයක් ඉබේම වාරණය වනවා. පොත් ප්‍රදර්ශනයේ තිබුණු බියර් ගාඩ්න් එක එපා කියලා. ඒක වැරැදියි. පොතක් කියවලා රසවින්දනයක් ලබන්න නිදහසක් අයිතියක් රසිකයාට තිබෙන්න ඕනෙ. මේ රටේ වෙලා තිබෙන්නේ කෙනෙක් සතුටක් සැපක් විඳීනවාට අනෙක් අය ඊර්ෂ්‍යා කරනවා. එය කුහකත්වය. මට හිතෙනවා ඒ වගේ අය දැක්කාම අතින් ටිකට් එකක් අරන්දීලා ජර්මනියට එක්කගෙන ගිහින් බලන්න කියන්න. මොකද අපි ඉන්නේ අවුරුදු පන්දහසකට පමණ පිටුපස්සෙන්.
මෙරට නවකතාව ලෝක සාහිත්‍යය සමඟ සැසඳුවොත් කෙබඳු තැනකද පවතින්නේ?
හැටේ දශකයේ තමයි ලංකාවේ නාට්‍ය කලාව, චිත්‍රපට, සාහිත්‍යය උච්චම අවස්ථාවට ගිය යුගය. ඉන් පසු අපට දකින්න ලැබුණේ පරිහානියක්. පාරිභෝගික සමාජ ක්‍රමය තුළ වෙළෙඳපොළ ආර්ථිකයක් නිර්මාණය වෙනවානේ. එහි නොවැළැක්විය හැකි අතුරුඵලය තමයි පාරිභෝගික සමාජ ක්‍රමය තුළ සල්ලි වන දෙවියා. එතකොට කලාවත් මුදලට විකිණෙනවා. එය කලාවක් ලෙස පේනනේ නෑ එතකොට. පාලනයක් නැතිව එතැනට ආවාම වන දේ හොඳටම පේනවා ටෙලි නාට්‍ය දිහා බැලුවාම. ඒවායෙන් ආනන්දයත් නෑ, ප්‍රඥාවත් නෑ. ගීත අහන්නකෝ. ලංකාවේ සංගීතය පිළිබඳ තිබෙන අර්ථකථනය පවා වැරැදියි. ගීතය කියන්නේ සංගීතය නෙවෙයි. සංගීතය සාගරයක් වගේ නම් ගීතය කියන්නේ දිය දෝතක් පමණයි. වර්ඩි කියන්නේ සංගීතය වචනයේ අර්ථය ඉක්මවා ගිය හැඟීම කියලානේ. ඒ වගේ තමයි නවකතාවත්.
ඔබේ ජීවන ගමනේ මගියා ඔබට හමු වුණේ කොහොමද? ඔබ සෙවූ මනුෂ්‍යත්වය ඔබේ මගියාට හමුවුණාද?
මම අවුරුදු 47ක් එක් බිරිඳක් සමඟ විවාහකව ඉන්න පිරිමියෙක්. මට දුවක් සහ දුවගේ දරුවන් දෙදෙනා ඉන්නවා. විවාහය කියන්නේ ඇස් ඇති ලොවේ විවාහය වේ සම්පත කියලා ටවර්හෝල් යුගයේ ගීතයක් තිබෙනවා. ජර්මනියේ විවාහයට තිබෙන්නේ හරිම නිදහස් මතයක්. විවාහ වුණාට ඉන්න බැරිනම් හොඳ හිතින් ඉවත් වෙනවා. අපේ රටේ එහෙම නෙවෙයිනේ. ඇසිඩ් ගහනවා. මරා ගන්නවා. අනෙක ජර්මනිය තුළ ජර්මන් ගැහැනිය හොරා කන්නේ නෑ. ලංකාව තුළ ගැහැනු පිරිමි දෙදෙනාම හොරෙන් ගමන් ගිහින් මුකුත් නොදන්නවා වගේ ගෙදර එනවා. ඒ සියල්ල අතර බණ කියනවා. මේ සේරම 'බයිලා' වගේ මට පේන්නේ. හේතුව බෞද්ධ දර්ශනයවත් හරියට හඳුනගෙන නැති කම. යශෝධරාවන් අතහැර ගිය සිදුහත් කුමාරයාට කීවේ කැලේ තිබෙන කොයි දේවත් රස වේවා! කියලා. අද එහෙමද? ඒ තමයි ගැඹුරු දර්ශනයක් වැරැදියට තේරුම් ගැනීමේ විපාක. ආදරය කියන්නේ ඒක නෙවෙයි. ඒ දේවල් මම කියන්නේ ජීවන අත්දැකීමෙන්. ඉතින් මගියා පොතේ අන්තර්ගතය කියන්නේ ඉරණම. මම සැතපුම් දහතුන් දහසක් ඈතට ගිය අවුරුදු විසිතුන තරම් තරුණ කාලේ මට ඕනෙ තරම් කෙල්ලන් මුණ ගැහුණා. ආදර බැඳීම් ඇති කරගෙන තිබෙනවා. ඒත් විශේෂ කෙල්ලකු ළඟ නතර වෙලා විවාහ වෙනවා. ඇයි ඒ. ඒක අහඹුවක්ද? නෑ. ඒ සියල්ල සංසාරේ පුරුද්දක් අනුව සිදුවන්නක් කියලා හිතෙනවා. හැබැයි මම මාක්ස්වාදියෙක්. අදේවවාදියෙක්. ඒ කාලේ මම හිතුවේ අද හිතන විදිහට නෙවෙයි. මගියා නවකතාවේ බොහෝ විට දේවාන් කියන්නේ ඒ මගේ අත්දැකීම් සහිත පුද්ගලයා. ඉතින් ඒ මගියා තුළ බොහෝ දේ ගැබ්ව තිබෙනවා. ලංකාවේ නවකතාව කියන්නේ කතාවක්නේ. ඒත් කතාව කියන්නේ නවකතාව නෙවෙයි. මහාචාර්ය ඒ.වී. සුරවීර කියනවා සිද්ධිය කීම නෙවෙයි නවකතාව කියන්නේ සිද්ධිය වුණ විදිහ කියන එක කියලා. ඉතින් මගේ පොතේ හැත්තෑ එකේ දේශපාලන නැඟීටීම, කැරැල්ල, එයන් සමාජයට වුණ දේ විවෘත ආර්ථිකය, ජර්මනියේදි වුණු දේශපාලන පෙරළිය ආදී සියල්ල අයිතියි. මගියා කියන්නේ මනුෂ්‍යත්වය හරහා යන කතාවක්. ඉරණම් මඟට බට කෙනාට ආපසු හැරෙන්න බෑ. ඔහු ඒ ගමන යා යුතුමයි.