ඉන්දියාවෙත් ජනප්‍රිය ‘අයියෝ සාමි’... ලියූ පොතුවිල් අස්මින්

නොවැම්බර් 24, 2022

 

Pallevi

 

Aiyo saami nee enekku veynam

Poi poiya solli

Eymaaththinathu pothum.....

 

Anupallavi

 

Manachchadsiyei

Nee vileyipesinaai

Ade neesollu nee manusenaa?

 

Aiyo saami nee enekku veynam

Poi poiya solli

Eymaaththinathu pothum.....

 

Sarenem-01

 

Uneyipoantre aaneyi

Naan namppi vantheyn

Uirkontru nee

Oadinaayey........

 

Eneyip poantre

Penneyi eymaattrividdu

Thinem nooru

Poi koorayeyn.....?

 

Aiyo saami nee enekku veynam

Poi poiya solli

Eymaaththinathu pothum.....

 

Sarenem-02

 

Theynpoley peysi

Thurohangal seiythaai

Atheyi yaarukkum nee

seiyaathey.

 

Naan pone pinner

Eneyippattri ilivaai

Yaarodum

Peysikkolllathey.

 

Aiyo saami nee enekku veynam

Poi poiya solli

Eymaaththinathu pothum.....

 

Manachchadsiyei

Nee vileyipesinaai

Ade neesollu nee manusenaa

 

Aiyo saami nee enekku veynam

Poi poiya solli

Eymaaththinathu pothum.....

 

Lyricist - Pottuvil Asmin

 

 

 

 

මේ දිනවල සංසරණය වන ගීත ගොන්න අතර ඉහළ ජනපි‍්‍රයතාවයක් දිනාගත් ගීතයක් වනුයේ ‘වින්ඩි ගුණතිලක’ ගායනා කරන ‘අයියෝ සාමි’ ගීතයයි. ඉතාම කෙටි කාල පරාසයක් තුළ මේ ගීතය මෙතරම් ජනපි‍්‍රය වීමට වින්ඩි ගේ හඬ පෞරුෂය සේම ගී තනුවේ ප්‍රබලත්වය ද දැඩි ලෙසම බලපෑ බව විශ්වාසය. එසේම සිංහල රසික ජනතාව අතරට දෙමළ බස සමීප කරවීමට තරම් මේ ගීතයේ පද රචනාව ද සමත්වන බව සඳහන් කළ යුතුය. සනුක සහ වින්ඩි සිංහල පේ‍්‍රක්ෂකාගාරයට, රසිකයන්ට ආධුනිකයන් නොවූවත් ගීතයේ පද රචකයා නම් සිංහල පේ‍්‍රක්ෂකාගාරයට අමුත්තෙකි. එහෙත් ඔහු දෙමළ පේ‍්‍රක්ෂකාගාරය තුළ තම අනන්‍යතාවය මැනවින් සනිටුහන් කළ අයෙකි.

ගීතයක් ජනපි‍්‍රය වූ පමණින් බොහෝ දෙනාගේ කතා බහට සහ අවධානයට යොමු වන්නේ එම ගීතයේ ගායකයා හෝ ගායිකාවය. දෙවැනුව එහි සංගීත නිර්මාණය හා තනුව පිළිබඳ සාකච්ඡාවට බඳුන් කෙරේ.

එහෙත් ගීත රචකයා පිළිබඳ කතා කරනුයේ ඉන් ඉක්බිතිවය. ‘අයියෝ සාමි’ ගීතයේ ද මේ පිළිවෙළ මෙසේමය. එහි ගායනය හා ගී තනු, සංගීතය පිළිබඳ ආයේ කතා දෙකක් නැත. වින්ඩිගේ අපූර්ව තම කට හඬට සනුකගේ නිර්මාණශිලී ගී තනුව හා සංගීතය ගහට පොත්ත මෙන්ම ගැළ පී ඇත්තේය. භාෂාව කෙසේ වුවද මේ ගීතය මේ තරම් ආදරෙන් සහ මේ තරම් ඉක්මනින් ජනපි‍්‍රය වූයේ ඒ නිසාය. අද වන විට බොහෝ දෙනෙකුගේ තොලඟ මතුරන ‘අයියෝ සාමි’ ගීතයේ අරුත ඔබ බොහොමයක් දෙනා දන්නවා යැයි නොසිතමු.

‘අයියෝ දෙයියනේ උඹ මට එපා

බොරු පිට බොරු කියමින්

උඹ මාව රැවැට්ටුවා ඇති

මගේ හෘද සාක්ෂියට උඹ මිලක් නියම කළා

උඹ කියපං උඹ මිනිහෙක්ද

උඹ වගේ මිනිහෙක්ව විශ්වාස කර මම ආවා

මම වගේ අහිංසක කෙල්ලෙක් රවටා

මගේ ජීවිතය විනාශ කර උඹ ගියා

ඇයි උඹ දවසගානේ බොරු

සිය ගණන් කියන්නේ

ලස්සන වචන වලින් උඹ මාව රැවැට්ටුවා

වෙන කාටවත් උඹ ආයෙ මෙහෙම කරන්නෙපා

මම උඹෙන් ගියහම

මං ගැන බොරු වැරැදි කාටවත් කියන්න එපා.

‘අයියෝ සාමි’ ගීතය ලියනුයේ සිංහල රසික ජනතාවට ආධුනිකයකු වන ‘පොතුවිල් අස්මින්’ විසිනි. ඔහු නමින් අස්මින් උතුමා ලෙබ්බේය. ඔහුගේ උපන් ගම පොතුවිල් වූයෙන් නිර්මාණකරණයේදී ඔහු ප්‍රචලිත වී ඇත්තේ ‘පොතුවිල් අස්මින්’ යනුවෙනි. ඈත එපිට පොතුවිල් ප්‍රදේශයෙන් කොළඹ කොන්ක්‍රීට් පුරවරයට පැමිණෙන අස්මින්ට මේ ගෙවුණු දීර්ඝ කාල පරාසය තුළ මල් අතුළ මාර්ගවල ගමනාන්ත නොතිබෙන්නට ඇති. එහෙත් ඔහු සතු හැකියාවත්, දක්ෂතාවයත් සමඟ මතු වන්නා වූ නොපසුබට උත්සාහයත් අද ඔහු මේ තැනට ගෙනවිත් ඇත. මීට වසර ගණනාවකට පෙර ඔහු කොළඹට සේන්දු වන්නේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වන්නටය. වර්තමානය වන විටත් ඔහු ස්වාධීන රූපවාහිනී සේවයේ වසන්තම් නාලිකාවේ නිෂ්පාදකවරයකු ලෙස රාජකාරී කරන්නේය.

අස්මින් ගේ ගේය පද රචනා කෙරෙහි අප වඩාත් සංවේදී වන්නේ ‘අයියෝ සාමි’හරහා වුවත් ඉන්දියානු සමාජයට ඔහු ඉතා සමීපතමයෙකි. හිටපු තමිල්නාඩු මහ ඇමැතිනිය වූ ජයලලිතා ජයරාම් මිය ගිය මොහොතේ, ඇගේ රාජ්‍ය අවමංග්‍යය උත්සවය වෙනුවන් ගැයූ ගීතය රචනා වුයේ අස්මින් අතිනි. ඉන්දියාව පුරා එකල රැව් දුන් ‘අම්මා අම්මා’ නම් ජනපි‍්‍රය ගීතය වූයේ එයයි. ජයලලිතාගේ මරණයෙන් මාස 1 1/2ක් ඉක්ම යනතුරු තමිල්නඩුවේ ඇගේ ස්මාරකය අසලින් නිරන්තරයෙන් ඇසුණ ගීතය වූයේ ද අස්මින් ගේ ‘අම්මා අම්මා’ ගීතයයි.

අස්මින් දකුණු ඉන්දීය සිනමාව තුළ මේ වන විට සිය අනන්‍යතාවය පිහිටුවා ගෙන අවාසනය. දෙමළ සිනමා නිර්මාණ 10 වැඩි ප්‍රමාණයකට ඔහු ගීත රචනයෙන් දායක වී ඇත.

පොතුවිල් අස්මින් ලාංකේය සිනමාවට සම්ප්‍රාප්ත වනුයේ 2017 දී දේවින්ද කෝන්ගහගේ විසින් අධ්‍යක්ෂණය කළ ‘ගිරිවැසිපුර’ නම් ඓතිහාසික පුරාවෘත සිනමා කෘතියෙනි. ඒ සඳහා ඔහු ‘වාලේන්ඳුම් උලවා’ නම් ගීතය රචනා කළේය.

‘අයියෝ සාමි’ ගීතයෙන් අස්මින් ඉදිරිපත් කරනුයේ චපල පිරිමියකුට හසු වූ අහිංසක ගැහැනියකගේ ශෝකාලාපයකි. පේ‍්‍රමය විරහව පිළිබඳ සංවේදනා සේම මේ ගීතය එක්තරා ආකාරයකින් ජාතික සංහිඳියාව ද ගොඩ නංවන නිර්මාණයකි. භාෂා විවිධත්වය කෙසේ වුවද අද දෙමළ සිංහල සියලු දෙනා මේ ගීතය රසවිඳින්නේය. වින්ඩි, සනුක සමඟ අස්වින් රැගෙන ආ සුසංයෝගය ජාති, ආගම්, භාෂා, සංස්කෘති බේදයකින් තොරව නිදහස් සුළගේ පාවෙමින් අද සියලු සිත් සතන් මැද ආදරයේ සුවඳ වපුරන්නේය.

 

 

[email protected]