වර්ෂ 2023 ක්වූ December 05 වැනිදා Tuesday
මට ඕනෑ ලෝකේ හොඳම හයිකු කවි ලංකාවෙන් බිහි කරන්න

අත්හළ වීනාවෙක
තත් හඬවන
සුළඟ
මේ කුමන වර්ගයේ කවියක්දැයි ඔබ දුටුමතින් ඇතැම් විට හඳුනා ගන්නවා ඇත. ඒ හයිකු කවියකි. මෙය මට ඇස ගැටුණේ 'ශ්‍රී ලංකා හයිකු' (Sri Lankan Haiku) පොත කියවන්නට ගත් කලය. එහි සංස්කාරක පාලිත සේනාරත්න කිවිඳුන් සමඟ සරසවියේ කතා බහකට මඟ පෑදුණේ ඉන් පසුවය.
ශ්‍රී ලංකා හයිකු කවි සරණිය පිළිබඳ ඔහු විස්තර කළේ මේ අයුරිනි.
"මේ පොත 2022 නොවැම්බර් 19 දා අපි ජනගත කළේ කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරයේ. කොළඹ ඕනෑ තරම් ස්ථාන තිබියදී අපි ඒ තරම් දුර ගියේ අපේම සාහිත්‍යයක් බිහි කළ සිංහල ලකුණක් නවකතාවට තැබූ වික්රමසිංහයන්ට කරන ගෞරවයක් හැටියට. මේ වෙද්දි ලොව පුරා හයිකු කවියන් අප සමඟ එක්ව සිටිනවා. ලෝක හයිකු සංගමයේ සභාපති මේ පොත අගය කර තිබෙන්නේ, දරිද්‍රතාවයෙන් පසු වන රටක් ලෙස මෙවැනි පොත් එළිදක්වන්නේ කෙසේද කියා විමසමින්. මොකද ලෝකයේ අපේ රට ගැන තිබෙන ආකල්ප හරි වෙනස් නිසා. කොහොම වුණත්, ලෝකයේ හයිකු සංගම්වලට සහ සෑම තානාපති කාර්යාලයකටම අපි මේ පොතේ පිටපත් යැව්වා. එයට මගේ ශිෂ්‍යයන්ගේ සහයෝගය ලැබුණා. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ අපේ ශ්‍රී ලංකා හයිකු කවි අන්තර්ජාතික ප්‍රවර්ධන අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කරන සුභාෂිණී ජයතිලක ශිෂ්‍යාව. මෙහි පරිවර්තන කටයුතු කළේ ආචාර්ය රධිකා ද සිල්වා. පිටුසැලසුම් කළේ ආචාර්ය ලංකා රසාදරි සිරිවර්ධන සහ මල්ලිකා මාරසිංහ , එන්.ඩබ්ලිව්. පී. ලාල් කිවි කිවිඳීයන්.
මේ කෘතියේ අන්තර්ගත වන්නේ අන්තර්ජාලයේ රැස්ව සිටින වට්ස්ඇප් ඔස්සේ හයිකු නම් මෙබඳු යැයි කියා මා විසින් කියා දුන් හයිකු මණ්ඩපයක කවි.
ශ්‍රී ලංකාවේ මීට පෙර ශ්‍රී ලාංකික හයිකු නිර්මාණ බිහි වී තිබුණේ නෑ, අපට තිබුණේ ජපන්, ඇමෙරිකානු වැනි භාෂාවලින් පරිවර්තනය කරන ලද හයිකු කවි ඇතුළත් පොත් පමණයි. මෙවැනි පොතක් සංස්කරණය කරන්න ඉවහල් වුණේ එවැනි පොතක් මීට පෙර නොතිබීමයි."
ඔහු හයිකු කවිය හදාරන්නට යොමු වූ අයුරු විමසීම නිසැකයෙන්ම ඊළඟට කළ යුත්තකි.
"කවි ලිවීම නම් මම ආරම්භ කළේ අවුරුදු 16 පමණ කාලේ. මම පාසල් ගණනාවකට ගියා අම්මයි තාත්තයි ගුරුවරු ලෙස මාරුවීම් ලැබූ නිසා. එනිසාම මගේ පාසල් ජීවිතය හරි විවිධත්වයක් තිබුණා. කුඩා කාලේ සිට මම නාට්‍ය, නිවේදන කටයුතුවලටත් ආසා කළා. මගේ කුඩා කාලය වැඩිපුරම ගෙවුණේ රජරට සුන්දරත්වයත් සමඟ. අපේ තරුණ කාලේ තමයි අම්මලා ගම්පහට එන්නේ. මම කවියට යොමු වන්න ප්‍රධාන හේතුව මගේ මවත් පියාත් දෙදෙනම කොළඹ යුගයේ කවීන් ලෙස ජනප්‍රියත්වයක් දැරීම. අම්මා කිරිඳීවෙල ශ්‍රීමතී සේනාරත්න. ඇය නවසිය තිස් ගණන්වල ආරම්භ කළ කවිකම වසර හැටක් පුරා නොකඩවා ගෙන ආවා. තාත්තා බලගල්ලේ රංජිත් සිරිවර්ධන. ඒ අයගේ සමකාලීනයන් ලෙස විමලරත්න කුමාරගම, කේයස් හෙවත් සාගර පලන්සූරිය, එච්. එම්. කුඩලිගම, පී. මලල්ගොඩ වැනි කවීන් නිතර අපේ ගෙදර ආවා ගියා. මම ඒ ඇසුරත් සමඟ නිතර සඳැස් කවි ලියන්න යොමු වුණා. ඊට පසු ජී. බී. සේනානායක මහත්මයාගේ පළිගැනීම පොත කියවීමත් සමඟ මගේ හිත නිසඳැස් කවි වෙත ඇදෙන්න ගත්තා.
මම වෘත්තියක් ලෙස මුද්‍රණ කර්මාන්තයටයි යොමු වුණේ. රටරටවල රැකියාවන් කරන්නත් මට අවස්ථාව ලැබුණා. මම හයිකු ඉගෙන ගන්න පෙලැඹුණේ වසර 10ක් පමණ චීනයේ සිටි යුගයේ මගේ මිත්‍රයකු කීවා ජපානයේ හයිකු කියා කාව්‍ය විශේෂයක් තිබෙනවා එය මට බොහෝ රසවත් වෙයි කියා. මොකද මම කොහොමත් කෙටියෙන් දේවල් ලියන්න පුරුදු වූ කෙනෙක් නිසා. නිදසුනකට 'සමුදුරෙහි ගැඹුර කිමිදී මිණිය හැකිය - වනයෙහි ගැඹුර දහමකි නොපෙනෙන' වැනි කෙටි අදහස් ලියමින් තමයි මම හිටියේ. හයිකු ගැන හදාරද්දි මට ඒ ගැන ආසාවක් ඇති වුණා. හරියට මගේම දෙයක් වගේ. ඉන්පසු තමයි හයිකු කවිවල මම නතර වුණේ. ඒ නිසාම මම හයිකු පිළිබඳ පොත් කීපයක් රචනා කරන්නත් පෙලඹුණා. හයිකු මොහොත, හයිකු හදවත, හුදෙකලා හයිකු, හයිකු පියාපත්, අකුරු නැති කවි, තනි මම ගැහැනිය වැනි ඒ පොත්වලට අමතරව කේ.ජයතිලක මහතාගේ ජීවිත කතාවේ තිරකතාවත් මා විසින් රචනා කර තිබෙනවා."
ඔහු අප රටේ හයිකු කවි කලාව පිළිබඳ දරන්නේ මෙවැනි මතයකි.
"මම ලංකාවට පැමිණ සොයා බලද්දි තිබුණ මතය තමයි 'අපට හයිකු කවි ලියන්න බෑ' යන්න. මොකද සම්ප්‍රදායික හයිකු කවිය 5, 7, 5 කියන ක්‍රමයට මාත්‍රා කඩා ලියන්නේ. එය මාත්‍රා 17, 31 දක්වා වශයෙන් ඇදී යන්න පුළුවන්. 12 වැනි සියවසේ පමණ. ජපානයේ තවත් වකා, රෙංගා, හයිකා ආදී වශයෙන් බොහෝ කාව්‍ය සම්ප්‍රදායන් තිබී තිබෙනවා. එක කාව්‍ය සම්ප්රදායක් තවත් සම්ප්රදායකට මාරු වෙන්න වසර ගණනාවක් ගත වෙනවානේ. ලේසියෙන් එය සිදු වන්නේ නෑ. අවසානයේ හයිකු ජපන් ජනතාව අතර ජනප්‍රිය වෙලා මේ සම්ප්‍රදායට ඔවුන් හුරු වී තිබෙනවා. ඒ වගේම අද ලෝකය පුරාමත් එය විහිදී තිබෙනවා. ඒ වගේම ජපානයේ සෙන් බුදුදහමේ බලපෑමත් මේ කවි ජනප්‍රිය වන්න හේතු වී තිබෙනවා. මොකද සෙන් යතිවරුන් අතින් තමයි මේ කවි මුලින්ම රචනා වෙන්නේ. ඒ ඇරුණු කොට හයිකු කවිය අනෙක් කවිවලින් වෙනස් වනවා. ඒ තමයි, හයිකු කවිය අපේ පන්චේන්ද්රියන්ට ගෝචර වන රූපය, ශබ්දය, රස, සුවඳ සහ ස්පර්ශය ඇසුරෙන් ලියැවීම. පන්චේන්ද්‍රියන් ඇසුරින් ඇතිවන ක්‍රියාවක් පමණයි හයිකු කවියට ලියන්නේ. එය සිද්ධිවාචකයි. ඒ වගේම එය වර්තමානයේ සිදු විය යුතුයි. එයින් අතීතයක් හෝ අනාගතයක් ගැන ලියැවෙන්නේ නෑ.
බුදු දහමේ බුදුහිමියන් දේශනා කළේ "ඔබ අතීතය ගැන සිතමින් ඉන්න එපා එය ගෙවී හමාරයි, ඔබ අනාගතය ගැන සිහින මවමින් ඉන්න එපා. ඔබට ලැබී ඇත්තේ මේ මොහොත එය නිර්වාණය සාක්ෂාත් කරගැනීමට යොදා ගන්න" කියායි. ඒ අනුව ගත් විට කාලය උපරිම වශයෙන් යොදා ගැනෙන කාව්‍ය විශේෂයක් තමයි හයිකු කියන්නේ.
අවශ්‍ය නම් එක් චිත්ත රූපයක් ගැන පමණක් ලියන්නත් පුළුවන්. නැත්නම් පන්චේන්ද්රියන්ට දැනෙන සියලු සංවේදනයන් එක්කොට ලියන්නත් පුළුවන්. ඒ කෙසේ ලීවත් හයිකු කවියේ විශේෂත්වය එය කුඩා වීමයි. උඩ පද දෙකයි, මැද පද තුනයි, පහළ පද දෙකයි වශයෙන් උපරිමයෙන් යොදාගෙන තමන්ට කීමට අවශ්‍ය සියල්ල කිව යුතුයි. පද අඩු වුණ තරමට තමයි කවියේ වටිනාකම වඩාත් වැඩි වන්නේ. ඒත් මේ කවි තුළ මහා ගැඹුරු දාර්ශනික බවක් ගැබ්වෙනවා.
ලංකාවට ආවට පස්සේ හයිකු ලියන්න බෑ කී විට මම හොයන්න ගත්තා ඇමෙරිකාව, ප්‍රංශය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව වැනි රටවල හයිකු කවි ලියැවෙනවා. හයිකු ජපානයේ බිහි වුණත් ජපානයේ සිටි බටහිර ජාතිකයන් මේ කවිවල සුන්දරත්වය සහ ගැඹුර දැක ඉංග්‍රීසියෙන් ඒ පිළිබඳ පොතපත ලියන්න පටන්ගත්තා. ඒ අතරින් විශිෂ්ටම ලේඛකයකු වන්නේ ආර්. එච්. බ්ලයිත් කියන ලේඛකයා. ඔහු හයිකු පිළිබඳ ග්රන්ථ හතරක් පළ කළා. එවැනි තවත් ලේඛකයන් මේ පිළිබඳ උනන්දු වුණා. හයිකු කවි නිසා ඒ යුගයේ නවකතාව, චිත්‍රපට පවා වෙනස් වන්න පටන්ගත්තා. උදාහරණයකට බෙංගාලි ජාතික සත්‍යජිත් රායිගේ චිත්‍රපටවල පවා හයිකු කවිවල ලක්ෂණ තිබෙනවා. හේතුව ඒ කාලයේ හයිකු ජනප්‍රිය වීම හා එයට බැඳුණු ආකර්ෂණය. අකිර කුරසෝවාගේ චිත්‍රපටවල බොහෝ සෙයින් හයිකු කවිවල ලක්ෂණ තිබුණා. එඩ්ගා ඇලන් පෝ වැනි නවකතාකරුවන්ට වගේම චිත්‍ර කලාවටත් මෙය බලපෑවා. විශේෂයෙන් ජපන් ෂින්ෆො චිත්‍ර කලාවට මෙහි බලපෑම තදින්ම ලැබුණා. ඡායාරූපකරණයේත් එවැනි වෙනස්කම් ඇති වුණා. පෘෂ්ඨයක් මතට වැටෙන කුරුළු පිහාටුවක් වැනි සේයාරුවකින් කියැවෙන්නේ හයිකු ලක්ෂණයි.
හයිකු කවියකින් කිසිවිටෙකත් මම ඔබට සම්පූර්ණ කතන්දරයක් කියා දෙන්නේ නෑ. රසිකයා කවියෙන් කියැවෙන දේ තම තම නැණ පමණින් දැනගත යුතුයි. හයිකු කවිය රසවිඳීන්න තමන්ගේ අත්දැකීම්, අධ්‍යාපනය, රසවින්දන හැකියාව ආදි බොහෝ දේ බලපානවා. ඒ කිසිම දෙයක් නැති කෙනකුට වුවත් මතුපිට අර්ථය හෝ රසවිඳීන්න පුළුවන්. මොකද හයිකු කවියකට ඇතුළු වීමටත් පිටවීමටත් කවුළු රැසක් තිබෙනවා. ඔබට ඒ කැමැති කවුළුවක් යොදාගෙන ඒ කවිය රස විඳීන්න පුළුවන්. උදාහරණයක් ලෙස ලෝක පූජිත හයිකු කවියකු වන බෂෝගේ
පැරණි විල
ගෙම්බෙකු පැන
දිය සැලෙන හඬ
කියන කවිය. ඒ පිළිබඳ බොහෝ විචාර තිබෙනවා. මේ විශ්ව ධාතුවම නිශ්ශබ්දයි. අපි ටික දෙනකු විතරක් හඬක් නඟනවා. ඉන් ඉහළට ගියාම නීල් ආම්ස්ට්‍රෝං කියනවා වගේ විශ්වයේ හුදෙකලා හඬ ඇහෙනවා. එය දරාගෙන ඉන්න සැහෙන ආත්ම ශක්තියක් තිබිය යුතුයි.
සෙන් බුදු දහමෙන් කියැවෙන්නේ මේ පොත්පත්වලින් ධර්මය සෙවීම අසාර්ථකයි. කිසියම් භාෂාවක් යොදා ගත් විට ඒ භාෂාව තුළ ධර්මය සැඟවෙනවා. ඒ නිසා ඔබ පොත පත පසෙක තබා ආරාමයේ ඉදිරියට පැමිණ එය ඉදිරියේ ඇති මල් ගස දෙස බලා සිටින්න. එවිට මල පිපෙන පරවෙන ආකාරය දැකීමෙන් ඔබට ධර්මය පහසුවෙන් වටහා ගත හැකියි. ඒ වගේම ඉර පායන බැසයන ආකාරයෙන් ජීවිතයේ අනිත්‍යය අවබෝධ කරගත හැකියි. ඒ නිසා සොබා දහම වෙත නැඹුරු වන්න කියන දේ සමඟ එකඟවයි යතිවරුන් අතින් හයිකු කවිය ලියැවුණේ.
ලෝකයේ සුප්‍රසිද්ධ හයිකු කවීන් ලෙස ගැණෙන්නේ මත්සුඕ බෂෝ, කොබයාෂි ඉසා, යොසා බුසෝන් සහ ෂිකී යන සිවුදෙනායි.
ඉතින් මා සොයාගත් දේ තමයි අප එකිනෙකාගේ කතාබහේ පවා රිද්මය, මාත්‍රා වෙනස් නිසා භාෂා අනුවත් ජාතීන් අනුවත් අප අනන්‍ය වන බව. ඒ නිසා ජපන් ජාතිකයන්ගේ මාත්‍රා රිද්මය අපට ගන්න බෑ තමයි. ඒත් ඇමෙරිකානුවන්, ඕස්ට්‍රේලියානුවන් ආදීන් මෙහි උකහා ගන්නේ අර්ථය පමණයි යන්න. ඒ නිසා මම හයිකු හදවත වැනි පොත් ලියමින් හයිකු කවියට ළං වන්න උත්සාහ කළා. එවිට අකුරු වෙත හෝ භාෂාව වෙත නැමී එල්බගෙන සිටින කවියක් නොවේ, අරුත පමණක් රසය ගෙනෙන හයිකු කවිය, සිතෙහි ඇති හිස් තිරය මත අර්ථය පමණක් ගෙන එනවා.
උදැල්ලට හසු නොවුණ තණමල
හිනැහෙයි මට
පසුදා උදෑසන
එයට තාලයක් අවශ්‍ය නම් අර්ථයෙන් මතු විය යුතුයි. හයිකු කවි ලෙස නෙවෙයි ඔවුන් හඳුන්වා තිබෙන්නේ ගාථා නමින්. ඒ නිසා ඒවා ගයන්නත් ජපානයේ අයට හැකියාව තිබෙනවා. ඒත් අපට එය නොහැකි නම් කළ හැක්කේ අර්ථය රස විඳීම පමණයි. හැබැයි කුඩාවට, කෙටියෙන් ලියන හැම කවියක්ම හයිකු කවියක් නොවේ."
ඔහු හයිකු කවිය පිළිබඳ සොයා යද්දී හමු වූ ඉතිහාසයද අප සමඟ සඳහන් කළේය.
"මම මේ විෂයය ගැන සොයන විට සමහරු කීවා මෙය ජපන් එකක්නේ ඊට වඩා අපේ කවි ක්‍රම ගැන හොයන එක වැදගත්නේද වගේ දේවල්. හැබැයි මේ පිළිබඳ ගැඹුරින් සොයද්දි මට හමු වුණා සෙන් බුදු දහම ජපානයට රැගෙන ගොස් තිබෙන්නේ ලාංකේය සම්භවයක් ඇති බෝධිධර්ම හිමියන් විසින් බව. අපේ රටේ ඒ පිළිබඳ සඳහනක් වත් නෑ. ඒත් ඉන්දියාවේ ලේඛනගතව තිබෙනවා. ඒ වගේම මට ලැබුණා මේ පිළිබඳ තැනුණු චිත්‍රපට හතරක්. ඒ චිත්‍රපටවල තිබෙන්නෙත් බෝධිධර්ම හිමියන් ලංකාවේ හිමිනමක් බවයි. උන්වහන්සේ තමයි සෙන් බුදුදහමේ නිර්මාතෘ. උන්වහන්සේ අනුගමනය කර තබෙන්නේ සිදුහත් කුමරුන් බුදු වීම සඳහා යොදාගත් භාවනා ක්‍රමයි. බුදුහිමියන් පවා තමන්වහන්සේ සොයාගත් දර්ශනය දේශනා කිරීම සඳහා මගධ භාෂාවෙන් සරල කෙටි ගාථා විශේෂයක් නිර්මාණය කරගත්තානේ. බෝධිධර්ම හිමියන් උපයෝගී කරගත්තෙත් ජටිල දෙබෑයන් වැනි මහාචාර්යවරුන් වැනි උගතුන්ට මෙන්ම සුනීත සෝපාක වැනි කුඩා දරුවන්ටත් තේරෙන අයුරින් බුදුන් දේශනා කළ ඒ ගාථා ක්‍රමයයි. බුදුහිමියන් පිරිනිවන් පෑමෙන් වසර දෙසිය පනහකට පමණ පසුව තමයි බෝධිධර්ම හිමියන් හත්සියයක් පමණ පිරිස සමඟ චීනය බලා වඩින්නේ. උන්වහන්සේ කුමාර අවදියේ සිට වෛද්‍ය විද්‍යාව, කාව්‍ය ශාස්ත්‍රය, සටන් කලාව වැනි ශිල්ප රැසක් දැන සිටියා. කුංෆු සටන්කලාව, ෂැවොලින් පන්සල ඇති කළේත් උන්වහන්සේයි. චීනයේ ජනතාවට ගැළපෙන පරිදි 'චෑන්' නමින් ඒ බුදුදහම ප්‍රචලිත කළා. එයම 'සෙන් බුදු දහම' ලෙස ජපානයේ ප්‍රචලිත වුණා. එදා සිටම ඒ කලාපයේ බලවතා වූ චීනයේ තමයි මේ සියලු ධර්ම ඉගැන්වීම් තිබුණේ.
එවක රට පාලනය කළ ලියෑං අධිරාජයා සමග බෝධිධර්ම හිමියන් සුහද කතාබහක යෙදුණා. එය සාමාන්‍යයෙන් රජකාලේ සිදුවන සම්ප්රදායක්. ඒ දෙබස මේ වගේ වුණා. මෙයින් පේනවා බෝධිධර්ම හිමියන්ට පෙරත් බුදුදහම චීනයේ පැතිරී තිබුණු බව.
අධිරාජයා - හිමියනි, වෙහෙර විහාර ඉදි කිරීමෙන් හා දානමාන පූජා කිරීමෙන් මම කොපමණ පින් රැස් කර ඇද්ද?
බෝධිධර්ම හිමි - කිසිදු පිනක් නැත අධිරාජයාණෙනි
අධිරාජයා - පින යනු කුමක්ද?
බෝධිධර්ම හිමි - අධිරාජයාණෙනි, ඔබ තැනූ වෙහෙර විහාර ඔබ තුළ මමත්වය වඩවයි. පින දුරු කරයි.
අධිරාජයා - ඔබ කවුරුන්ද?
බෝධිධර්ම හිමි - බෝධිධර්ම කියා කිසිවෙක් නැති, නාමයක් හෝ රූපයක් හෝ නැත.
අධිරාජයා - හිමියනි, එසේ නම් උතුම් ධර්මය කුමක්ද?
බෝධිධර්ම හිමි - එලෙස අල්ලා ගැනීමට කිසිවක් නැත. හිස්බව පමණි.
එය තමයි සෙන් දහමේ වගේම බුදුදහමේත් හයිකු කවියේත් කියැවෙන්නේ.
බෝධිධර්ම හිමියන් අපේ බව දැනගැනීම නිසා සෙන් බුදුදහම අපේ නොවේ යන හැඟීම ඉවත් වුණා. අපේ කාව්‍ය සම්ප්රදායේ සියබස් ලකරට පෙර කිසිවක් සොයාගන්න නෑ. ඒවාට වුණ දෙයක් නෑ. ඒ ගැන සොයන කෙනකුත් නෑ. පරසතුරු උවදුරු නිසා එකතු කර ගිනි තිබ්බාද? ඒත් අපේ කවිය කෙබඳුද කියා සොයාගන්න හොඳම සාක්ෂිය සීගිරි කැටපත් පවුර. සීගිරි කැටපත් පවුරේ කවිවල හයිකු ලක්ෂණ හොඳීන් ගැබ්ව තිබෙනවා.
බුදල්නා නැමැත්තා සීගිරියට පැමිණ කිසිවක් නොලියාම යන බව කියන කුරුටු ගීයේ ඒ ලක්ෂණ හොඳීන්ම දකින්න ලැබෙනවා.
හයිකු කවිවල උපමා රූපක ආදිය නෑ. සිවුදිගින් සීගිරියට ආ පිරිස කුරුටු ගී ලියා ඇත්තෙත් බොහෝ විට එවෙලේ සිදුවන දේවල් අනුවයි. එනිසා මම දකින විදිහට නිර්ව්‍යාජ මාවතක අපේ කාව්‍යකරණයත් ගමන් කර තිබෙනවා. ඒත් පරසතුරු ආක්‍රමණ නිසා අනවශ්‍ය තරම් උපමා ආදිය යොදාගත් සංස්කෘත කාව්‍ය ලක්ෂණ එක්කර කවි ලියන්නට පසුකාලීනව රාජ්‍ය බලපෑම එල්ල වී තිබෙනවා. මගේ සොයාගැනීම අනුව නම් ඒ කුමක් වුවත් අපේ සීගිරි සම්ප්රදාය හයිකු කවියට බෙහෙවින්ම සමානව ගොඩනැඟී තිබෙන බවයි."
ශ්‍රී ලංකා හයිකු සංගමයේ සභාපතිවරයා ලෙස ඔහුගෙන් කෙරෙන රාජකාරී කටයුතු ද විමසීම වටී.
" ශ්‍රී ලංකා හයිකු සංගමයේ සභාපති ලෙස සෑහෙන කාලයක් පුරා මම මේ පිළිබඳව පර්යේෂණ කළා වගේම සිසු පරපුරකට ඉගැන්වූවා. මේ වෙද්දි මම වට්ස්අප් ඔස්සේ සිසුන් පනහක් හැටක් පමණ දෙනකුට හයිකු කවි උගන්වනවා.
එහි ප්‍රතිඵලයක් ලෙස මගේ ශිෂ්‍යාවක් 2022 වසරේ මත්ෂුවා බෂෝ 76 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත් වූ හයිකු කවි අන්තර්ජාතික තරගය වෙනුවෙන් සම්මානයක් ලබා ගත්තා. ලෝකය පුරා විසිරී සිටින හයිකු කවි ලියන අයට ඒ තරගය සඳහා තමන්ගේ කවි දහය බැගින් යවන්න අවස්ථාව තිබුණා. අපෙන්ම පනස් දෙනකු පමණ කවි පන්සියයක් පමණ යැවුවා. ඒ ලක්ෂ ගණනක් කවි අතරින් අපේ කිවිඳීයක් වන ලංකා සිරිවර්ධනගේ
Grandfather's trembling feet
Serching for the slippers
In this cold night
(ආතාගේ වෙව්ලන දෙපා
සෙරෙප්පු සොයමින්
මේ සීතල රාත්‍රියේ)
කවිය තමයි සම්මානයට පාත්‍ර වුණේ. එය ඔවුන්ගේ හයිකු ගුරුවරයා ලෙස වගේම සංගමයේ සභාපතිවරයා හැටියට මට විශාල සතුටක්. මොකද අද හයිකු ලිවීමේදී අපට වර්තමානයේ පවතින වෙනස්කම්වලට මුහුණ දෙන්න වෙනවා. ඒ කෙසේ වුවත් මගේ එකම අභිප්‍රාය ලෝකයේ හොඳම හයිකු බිහිවන්නේ ශ්‍රී ලාංකික කවියන් අතින් බව තහවුරු කිරීම වන නිසා."
විශේෂ ස්තූතිය - ක්‍රිෂාන්ති සුමනසේකර
සේයාරූ - නිශ්ශංක විජේරත්න