වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
දේශපාලනයට නෑවිත් සිනමාවට පිවිසි මහා සිනමා කිවිඳිය

ප්‍රංශයේ කාන්ස් සිනමා උළෙල සැලකෙන්නේ ලෝක සිනමාවේ විශිෂ්ට හා සම්භාවනීය ප්‍රවණතා සම්මානයට හා ගෞරවයට පාත්‍ර කරන සුවිශේෂතම අවස්ථාවක් ලෙසිනි. එහෙයින් කාන්ස් නියෝජනයට ලොව පුරාම වෙසෙන සිනමාව කලාත්මක ප්‍රකාශන කාර්යයක් සේ අදහන සිනමාකරුවන් දක්වන්නේ මහත් වූ උනන්දුවකි. ශ්‍රී ලාංකේය සිනමාවේ විශිෂ්ටයකු වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ද සිය ප්‍රථම වෘත්තාන්ත සිනමාපටය වන ‘රේඛාව’ සමඟ කාන්ස් නියෝජනයට භාග්‍යවන්ත වූයේ ය. මේ 1957 වර්ෂයේ පැවැති කාන්ස් අන්තර් ජාතික සිනමා උළෙල යි. ලෙස්ටර් සමඟ ඔහුගේ ගජ මිතුරු ටයිටස් තොටවත්ත ද ඊට එක්වූ වග කියැවේ.
ලෙස්ටර් මේ වන විට පසුවූයේ 37 හැවිරිදි වියේ ය. එංගලන්තයේ සිට පැමිණි ඔහු රජයේ චිත්‍රපට අංශයේ සේවයට එක් වෙයි. ගජ මිතුරු ටයිටස් හා විලී බ්ලේක් සමඟ නො පමාව ම ඔහු එහි සේවයෙන් නික්මෙන්නේ එතෙක් ලාංකේය වෘත්තාන්ත සිනමාව සතුව පැවති නිෂ්පාදන විලාසය, මතවාද හා ප්‍රේක්ෂක සම්බන්ධතා බැහැර කරලමින් නව හා වර්ධිත සිනමා ප්‍රවණතාවකට මඟ හෙළි කිරීමේ අභිලාසය සහිතව යි. ‘රේඛාව’ , ලෙස්ටර් ඇතුළු ගජ මිතුරන්ගේ සිහිනයක් පමණක් නොවී ය. එය සිනමාව කලාත්මක ප්‍රකාශන කාර්යයක් සේම විවාදාත්මක ප්‍රකාශන කාර්යයක් ද විය යුතු වග පැවසූ සුළුතරයක් වූ විදග්ධ ප්‍රේක්ෂකයන්ගේ ද සිහිනයක් විය.
‘රේඛාව’ සමඟ ප්‍රංශය බලා ගිය ලෙස්ටර් එහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගොඩ වදින්නේ සිය අනාගත ජීවිතයේ හැඩ රුව හා ගුණ ගෙන හැර පාන අහඹු හමුවීමක් ප්‍රාර්ථනා කරමින් නො වේ. 22 හැවිරිදි සුරූපී ලාංකික තරුණියක එහි වූවා ය. ඇය ප්‍රංශය බලා පැමිණ සිටියේ යුරෝපා ගතවූ සොහොයුරකු සම්මුඛ වීම උදෙසා ය. එවක ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති වර්නන් මෙන්ඩිස් ඇගේ ඥාතියකු වූ බව ද සඳහන් වේ. ලෙස්ටර් හා ඇගේ දෑස් එකිනෙක පැටලුනේ නිරායාසයෙනි. ලෙස්ටර් තවමත් මහා සිනමාකරුවකු නො වේ. ඇය ජීවිතයේ කෙම් බිමක් සොයා දිව යන සැහැල්ලු එසේම බරසාර යුවතියක වූවා ය. ඇගේ නිදහස්කාමී දිවි පෙවෙත ආසියානු ස්ත්‍රියට ප්‍රාර්ථනාවකි.යුරෝපීය ලෝකයට මිතුරියකි.
සත් වසරක් ගතවූ තැන මේ යුවළ කරකාර බඳීන්නේ නියත වශයෙන්ම ලාංකේය සිනමාවේ නව යුගයක් බිහිකරලීමට වුවමනා පසුබිම නිර්මාණය කරමිනි. මේ වනවිට ලෙස්ටර් මහා සිනමාකරුවකු වී හමාර ය. ‘රේඛාව’ ට අනතුරුව නිර්මිත ‘සන්දේශය’ තුළින් ඔහු හොලිවුඩ් චිත්‍රාගාර පන්නයේ දැවැන්ත සිනමාපට නිර්මාණය කිරීමට තමා සතු හැකියාව ඉහළින්ම ප්‍රකට කළේ ප්‍රංශයේ දී හමුවූ යුවතියගේ ද නො මඳ සහයෙනි. ලෙස්ටර් ‘ගම්පෙරළිය’ නිර්මාණය කරන්නේ ද ඇගේ නො මඳ සහය ලබා ගන්නා පසුබිමක ය. ‘ගම්පෙරළිය’ අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වන්නේ ඇගේ සිනමාගමනය අතිශය වැඩදායක වන වග පසක් කරමිනි. ඇය එහි සංස්කාරකවරිය වූවා ය. ලෙස්ටර් ඇයට පැවසුවේ සිනමාව හැදෑරිය යුතු නම් එංගලන්තය වඩා සුදුසු බව යි. මුලදී ඇය ඊට මනාපය පළ නො කළා ය. පසුව ඇය ඊට මනාප වූයේ ද ලෙස්ටර් නිසාම වන්නට පුළුවන.
සිනමාකාරියක සේ පසුකාලීන ව ශ්‍රී ලාංකේය සිනමාව ඉහළින්ම ඔසවා තැබූ ඈ නොබෝදා සිය ජීවිතය හැර යන්නේ සිනමාව නො තකන, නො හඳුනන පාර්ශ්ව ද සසල කරමිනි. ඈ උපන්නේ 1934 වර්ෂයේදී යි. අසූ අට හැවිරිදි වියේ දී ඇගේ අභාවය සිදුවන්නේ ශ්‍රී ලාංකේය සිනමාව නව තාලයේ අර්බුද ගණනාවකට ම එකවර මුහුණ දෙමින් සිටියදී ය. එහෙයින්ම ඇගේ ජව සම්පන්න සිනමා සහභාගීත්වය මෙ සමයට ද ඇවැසි වන වග නොරහසකි.
ඈ සුමිත්‍රා ය. ලෙස්ටර් හා විවාහ වීමට පෙරාතුව සුමිත්‍රා ගුණවර්ධන ය. අනතුරුව සුමිත්‍රා පීරිස් ය. සුමිත්‍රා පීරිස් යන නාමය කලාත්මක ලකුණක් කිරීම ඇය සිය ජීවිතය තුළ ලද ඉහළ ම ජයග්‍රහණය යි. මෙය අදටත්, හෙටටත් වලංගු වන්නේ කිසිදු බාධාවකින් තොරව ය. සිනමා සහාභාගීත්වයේ දී ඈ ලද දෙස් විදෙස් සම්මාන සංඛ්‍යාත්මකව ඉහළ අගයක් ගනී. ශ්‍රී ලාංකේය හා අන්තර්ජාතික සිනමා සමාජ තුළ ඇයට ලැබෙන පිළිගැනීම හා ගෞරවය ද අපමණ ය. කෙසේ නමුදු උක්ත ජයග්‍රහණය මේ සියල්ලම අබිබවා යයි.
සුමිත්‍රාගේ සිනමා සංස්කරණය හා සිනමා අධ්‍යක්ෂණය අරභයා ලියැවුණු, කියවුණු දෑ බොහෝ ය. විචාරක ඇගැයීම් ගා පැසසුම් ද බොහෝ ය. ඊට යටින් පවතින දෑ හඳුනා ගැනීම යි මෙතැන දී විශේෂයෙන් වැදගත් වන්නේ. සැබෑ සුමිත්‍රා සිටින්නේ මෙහි ය. මේ සැබෑ සුමිත්‍රා හා සිනමා සංස්කාරිකා සුමිත්‍රා ද, සිනමා අධ්‍යක්ෂිකා සුමිත්‍රා ද එක පෙළකට කැඳවූ කල දක්නට ලැබෙනේ එක පවුලක සොහොයුරියන් මෙනි. මෙයින් ගම්‍ය වන්නේ ඇත්ත වශයෙන්ම සුමිත්‍රාට බාහිර හා අභ්‍යන්තර ජීවිත ද්විත්වයක් නො තිබූ බව යි. තිබුණේ එකම එක ජීවිතයක් බව යි.
සුමිත්‍රා උපන්නේත්, හැදී වැඩෙන්නේත් ශ්‍රී ලාංකේය දේශපාලන ක්ෂේත්‍රය තුළ වඩා ඉදිරිගාමී හා විවාදපන්න කාර්යභාරයක් ඉටු කළ මහා පවුලක සාමාජිකාවක සේ ය. මේ සීතාවක පෙදෙසේ සුප්‍රකට ගුණවර්ධන පවුල යි. අදිරද බලමුළු දුරලා සැබෑ නිදහස ශ්‍රී ලාංකේය කලාපය වෙත ලබා ගැනීමේ අනවරත අරගලයට නායකත්වය දුන් එක් පාර්ශ්වයක් වන්නේ ගුණවර්ධන පවුල ය. ඒ අතරතුර හා ඉන් අනතුරුව ගුණවර්ධන පවුලේ බලධාරීන් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ශ්‍රී ලාංකේය සමාජය සමානාත්මතාවෙන් හා ප්‍රජාතන්ත්‍රීකරණයෙන් සමන්විත කිරීමට වෙහෙස නො බලා ක්‍රියාත්මක වූයේ පස මිතුරු හා මිතුරු බලවේග සමඟ වූ එකඟ වීම් මෙන්ම එකඟ නො වීම් ද සමඟිනි. සුමිත්‍රා සිය ළමා වියේදීත් , නව යොවුන් වියේදීත් මේ අත්දැකීම නො අඩුව ලබන්නේ සිය කීර්තිමත් ඥාතීන් ඇසුරේ ය. ඔවුන'තර පිලිප් ගුණවර්ධන, රොබට් ගුණවර්ධන හා ලෙස්ලි ගුණවර්ධන ද, කුසුමා ගුණවර්ධන හා විවියන් ගුණවර්ධන ද වූහ.
මෙහෙයින් සුමිත්‍රා මුල සිට ම සම්මත කුල කාන්තාවක වීමට වඩා යහපත් අරමුණු වෙනුවෙන් අරගල කරන , නොකඩවා ප්‍රශ්න කරන , පුරුෂ බලය අබියස වුව සිය ස්ත්‍රී අභිමානය සුරකින චරිතයක් බවට පත්වූ බව පෙනේ . සොහොයුරකු සොයා තනිපංගලමේ ම ප්‍රංශය බලා යාමෙන් ම මෙය සනාථ කර ගත හැකි ය. මෙහි මීළඟ අවතීර්ණ වීම වන්නේ ලෙස්ටර් සිය දෙවන වෘත්තාන්ත සිනමාපටය වන ‘සන්දේශය’ බෙලිහුල්ඔය ප්‍රදේශයේදී රූ ගත කරන විට සුමිත්‍රා කිසිදු පැකිළීමකින් තොරව ම හා ස්වෙච්ඡාවෙන් ඒ හා එක් වීම යි. මෙහිදී ලෙස්ටර් සිනමාපටයේ දර්ශන සම්බන්ධතා සටහන් කිරීම කාර්යය සුමිත්‍රා වෙත භාර දෙන්නේ එහි සහය අධ්‍යක්ෂණයට ද සහය වීමේ ඉඩ හසර සලසා දෙමිනි.
පුරුෂ මූලික පෙළ ගැසීම් නො ඉවසූ සුමිත්‍රා ස්ත්‍රී ස්වීයත්වය ඔප් නැංවීමට දේශපාලන ක්ෂේත්‍රය තෝරා නො ගෙන සිනමාව තෝරා ගැනීම එක්තරා ආකාරයකින් විවාදයට තුඩු දෙන තීන්දුවකි. ඉතා පහසුවෙන් ඇයට දේශපාලන ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමේ හැකියාව තිබිණි. එසේ වූයේ නම් අද වන විට සුමිත්‍රා දැවැන්ත දේශපාලන චරිතයක් වීමට තිබුණේ වැඩි ඉඩකි. ඊට වුවමනා සබුද්ධික බව, අභ්‍යාස කිරීමේ කැමැත්ත හා නොපසුබස්නා බව ඇය තුළ ඕනෑවටත් වඩා තිබුණු වග සඳහන් කළ යුතුම ය. 1950 හා 1960 දෙ දශකය ශ්‍රී ලාංකේය වාමාංශික ව්‍යාපාරයේ දීප්තිමත් ම සමය වූ බව ද මෙහිදී අමතක නො කළ යුත්තකි. සුමිත්‍රාගේ පවුලේ පෙර කී දැවැන්තයන් මෙන්ම ආචාර්ය කොල්වින් ආර්.ද සිල්වා, ආචාර්ය එන්.එම්.පෙරේරා, වෛද්‍ය එස්.ඒ. වික්‍රමසිංහ, පීටර් කෙනමන් ආදී දැවැන්තයන් ද සිය දේශපාලන ජීවිත අතිශයින්ම සාර්ථක අවස්ථා කරා රැගෙන යන්නේ මේ අවධියේදී ය.
එසේම මේ වාමාංශික ව්‍යාපාරය සටන්කාමී ස්ත්‍රී සහභාගීත්වයෙන් උණුසුම් වූ සමයක් ද වේ. සුමිත්‍රා මේ සියල්ල හැරදා විදෙස්ගත වන්නේ ද, ඉනික්බිතිව යළි සිරිලක බලා පැමිණ ලෙස්ටර් ඇසුරේ විශිෂ්ට කලාකාරියක වන්නේ ද දේශපාලනයේ උතුම් අරමුණ වන මහජන සේවය ය යන්න බැහැර නො කරමිනි. සිනමාව ඊට උචිත මඟක් සේ භාවිත කිරීමේ අදිටන සහිතව ය
ලෝක සිනමා ඉතිහාසයේ ගත වූ වසර එකසිය පනහකට ආසන්න ඉතිහාසය තුළ රජයන්නේ ම පුරුෂ බලය ය යන්න සත්‍යයකි. ස්ත්‍රී සහභාගීත්වය පුරුෂ බල අධිකාරිය හා සමතැන් ගන්නේ රූපණ හා ගායන යන දෙපාර්ශ්වයෙන් පමණි. සිනමා අධ්‍යක්ෂණය කෙසේ වතුදු සිනමාවේ කාර්මික පක්ෂයේ නොයෙක් කාර්යයන් සඳහා ස්ත්‍රීන්ගේ සහභාගීත්වය පවතින්නේ අතිශයින්ම අඩු මට්ටමක ය. මේ තත්ත්වය නො ඉවසූ විශිෂ්ටතම ලාංකේය ස්ත්‍රී චරිතය සුමිත්‍රා යි. අත්දැකීමෙන් හා අධ්‍යාපනයෙන් උපයා ගත් දැනුම ඇගේ මෙම තීන්දුව කෙරෙහි බලපා ඇත්තේ සූක්ෂම අන්දමිනි.
ලෙස්ටර් ගේ සිනමාපට කිහිපයක ම සංස්කරණ ශිල්පිනිය වෙමින් සුමිත්‍රා දැක්වූ සමත්කම් ඇගේ සිනමා අධ්‍යක්ෂණ චරිතය විසින් යටපත් කරනු ලැබ ඇතැයි සිතෙන්නේ වරක් දෙවරක් නො වේ. ඉන් 'ගම්පෙරළිය' හා 'දෙලොවක් අතර' කැපී පෙනෙන්නේ කරුණු කිහිපයක් ම නිසාවෙනි. පෙර සඳහන් කළ පරිදි ම ‘ගම්පෙරළිය'දේශීය සම්මාන සේම අන්තර්ජාතික සම්මාන ද හිමි කර ගන්නේ සුමිත්‍රාගේ සංස්කරණ සහභාගීත්වය ද සමඟ ය. ‘දෙලොවක් අතර’ සැලකෙන්නේ ලෙස්ටර් සතු සිනමා මාධ්‍යය පිළිබඳ අවබෝධය හා දැක්ම නව්‍ය ලක්ෂණ සහිත ව කුළුගැන්වූ ප්‍රශස්ත අවස්ථාවක් ලෙසිනි. සුමිත්‍රා මෙහි සංස්කරණ පාර්ශ්වයේ වගකීම දරන්නේ එය සිනමාපටයේ අත්‍යවශ්‍ය අංගයක් සේ හඳුනා ගනිමිනි. පුද්ගල අභ්‍යන්තරයක සංකීර්ණ හැසිරීම් සිනමානුරූපීව ප්‍රකාශයට පත් කළ අගනා ම අවස්ථාවක් සේ 'දෙලොවක් අතර' විචාරක හා විදග්ධ ප්‍රේක්ෂක සම්භාවනාවට පාත්‍ර වන්නේ දිගින් දිගටම ය. මෙහිලා අනුගමනය කළ යුතු ඵලදායී ම පියවර සම්බන්ධයෙන් සුමිත්‍රා තුළ වූ අවබෝධය පසුකාලීනව දක්නට ලැබෙන්නේ ඇගේ හොඳම සිනමාපට ඔස්සේ යි.
ලෙස්ටර් සිය දිවිය තුළ දී නිර්මාණය කළේ වෘත්තාන්ත සිනමාපට විස්සක් පමණි. මේ ඔහුගේ අත්දැකීමක් පමණක් ම නොවන බව පැහැදිලි ය. ධර්මසේන පතිරාජ, තිස්ස අබේසේකර, සුගතපාල සෙනරත් යාපා, ධර්මසිරි බණ්ඩාරනායක වැනි ලෙස්ටර්ගේ හා සුමිත්‍රාගේ සමකාලීනයන් ද ලැබුවේ මෙබඳුම අත්දැකීම් ය. සුමිත්‍රාට ද සිය දිවිය තුළදී නිර්මාණය කරන්නට අවකාශ සැලසුණේ වෘත්තාන්ත සිනමාපට දහයකි. එසේම ඇය සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ ද තරුණ විය ගෙවා දැමීමෙන් අනතුරුව යි. හතළිස් තුන් හැවිරිදි වියේ දී යි ඇගේ පළමු වෘත්තාන්ත සිනමාපටය වන ‘ගැහැනු ළමයි’ මුල්වරට ප්‍රදර්ශන කෙරෙන්නේ. එතැන් සිට නොබෝදා ජීවිතය හැරයන අවස්ථාව දක්වා වූ හතළිස් පස් වසර තුළදී ම ඇයට සිදුවන්නේ එම වෘත්තාන්ත සිනමාපට ස්වල්පයෙන් පමණක් සෑහීමකට පත් වන්නට ය. මේ කිසිසේත්ම සතුටු විය හැකි තත්ත්වයක් නො වේ. සිනමාව විෂයෙහි විනෝදාස්වාදය සැපයීම අරමුණු කර ගත් සිනමාපට බහුල වීමත්, සිනමා අධ්‍යක්ෂණය බොහෝ දුරට ම පුරුෂ පාර්ශ්වයට සීමා වී තිබීමත් නිසා මෙබඳු අත්දැකීමකට ඇති අවකාශය ඉමහත් ය.
මෙම අදහස තීව්‍ර වන්නේ කාරණා ත්‍රයක් සමඟිනි. පළමු කරුණ වන්නේ 76 වසරක ශ්‍රී ලාංකේය කථානාද වෘත්තාන්ත සිනමාව වෙතින් හඳුනාගත හැකි සිනමාකාරියන් සංඛ්‍යාව අල්ප වීම ය. දෙවන කරුණ වන්නේ සිනමාවේ ප්‍රකාශන සමත්කම ප්‍රේක්ෂක ජීවිත පරිඥානය වඩවනු වස් උපයෝගී කරගත් අවස්ථා මෙහිදී මුළුමනින් ම දැක ගත නො හැකි වීම ය. තෙවැන්න වන්නේ මෙතැන දී දත හැකි සිනමාපට සංඛ්‍යාව සීමිත වීම ය.
සුමිත්‍රා පමණි සෙසු සිනමාකාරියනට වඩා වැඩි සිනමාපට සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කොට මහජන ප්‍රදර්ශනයට මුදා හැරීමේ අවස්ථාව සලසා ගත්තේ. මාලිනී ෆොන්සේකා සිනමාපට දෙක තුනක් අධ්‍යක්ෂණය කළා ය. ඉනෝකා සත්‍යාංගනීගේ අධ්‍යක්ෂණයෙන් යුතු සිනමාපට ද්විත්වයක් පමණි ප්‍රදර්ශනයට මුදා හැරියේ. සිනමාවේ ප්‍රකාශන සමත්කම කෙරෙහි වැඩිපුරම සැලකිලිමත් වූ සිනමාකාරිය වන්නේ ද සුමිත්‍රා යි. කෙසේ නමුත් ඉනෝකා සත්‍යාංගනී ද සුමිත්‍රාගේ මඟට සපැමිණි වග එක් සිනමාපටයකින් සනාථ කළා ය.
සුමිත්‍රා අධ්‍යක්ෂණය කළ හැම සිනමාපටයක් ම පාහේ ප්‍රේක්ෂක අවධානයට ලක් වීම මෙහිලා සඳහන් කළ යුතු තවත් කාරණයකි. වෙසෙසින්ම විදග්ධ ප්‍රේක්ෂක ප්‍රජාව සුමිත්‍රාගේ සිනමා භාවිතය විවරණයට එළැඹුණේ වරෙක නිර්දය පිළිවෙත් අනුගමනය කරමිනි. සුමිත්‍රා දිගින් දිගට ම පිහිටා සිටි නිර්මාණ විලාසය ඊට හේතු වී තිබිණි. මෙය විචිත්‍ර රූ සරණියකින් සමන්විත වූවකි. පාත්‍ර වර්ගයාගේ සංතෘෂ්ටිය මෙන්ම දුක් දොම්නස් ද ප්‍රකාශයට පත් කෙරුණේ ඒ හරහා යි. යථාර්ථය ඥානනයට එය බාධාවක් වූ බව විචාර පාර්ශ්ව වෙතින් කියැවුණු වාර ගණනාවකි. එහෙත් සුමිත්‍රා කිසි විටෙකත් පුරුෂ මූල සහිත ව පැමිණි එවැනි අභියෝග වෙත ප්‍රායෝගික ප්‍රතිචාර නො දැක්වූවා ය. ඇගේ පළමු සිනමාපටය වන 'ගැහැනු ළමයි' හා අවසාන සිනමාපටය සේ සිනමාශාලා කරා ආ 'වෛශ්ණාවි ' ආයාසයකින් තොරව ම මෙ කරුණ අවධාරණය කරයි. සිනමාපට කේන්ද්‍රීය විචාර භාවිතයේ පැසසුමට ඈ වැඩිපුර ම ලක් වූ 'සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා ' පවා පසුකාලීනව හඳුනා ගත හැක්කේ ඇගේ මුද්‍රාවෙන් සමන්විත සිනමාපටයක් ලෙසිනි.
සිය සිනමා භාවිතය තුළදී ස්ත්‍රී කේන්ද්‍රීය දැක්මක පිහිටා සිටින්නට ඇය දැක්වූ කැමැත්ත කැපී පෙනෙන්නේ කිසිදු අවහිරයකින් තොරව ය. කවර සමාජ පන්තියකට අයත් වුව ද ස්ත්‍රී වර්ගයා පුරුෂ බලය හමුවේ පීඩාවට හා අගතියට පත් වන වග ඇය මේ හැම විටෙක ම කියා සිටියේ තමා පිහිටි නිර්මාණ පිළිවෙත බැහැර නො කරමිනි. ඇයට සමකාලීනව ධර්මසිරි බණ්ඩාරනායක හා වසන්ත ඔබේසේකර ස්ත්‍රීන්ගේ පොදු ඉරණම නිරූපණයේ දී පළ කළේ ඊට වඩා වෙනස් පිළිවෙත් ය. මෙතැනදී ද ඇය සිය අනන්‍යතාව සහතික කර ගනී.
සිය අරගලකාරී යොවුන් විය හා තරුණ විය සිනමාකරණයේ දී එලෙසින් ම භාවිත කරලීමට ඇය උත්සුක නො වීම විශේෂත්වයකි. 'යහළු යෙහෙළි' සිනමාපටය අධ්‍යක්ෂණය කරන විට තම ජීවිතයේ ම කොටසක් නිරූපණයට ලැබුණු අවස්ථාව ඇය බැහැර කරන්නේ දෙවරක් නො සිතා ය. පුරුෂ විරෝධී සුලබ සටන් පාඨ ඉස්මතු නොකිරීම ද ඇගේ සිනමා භාවිතය ලබා ගත් ජයග්‍රහණයකි.
සිනමාකාරියක සේ සුමිත්‍රා අනුගමනය කළ සුවිශේෂ පිළිවෙතක් ද වේ. එනම් පාඨක මනාපයට ලක්වූ නවකතා විෂය කර ගැනීම කෙරෙහි යි. කෙටිකතා කෙරෙහි ද ඇගේ සැලකිල්ල යොමු වූ අවස්ථා දැක ගන්නට ද පුළුවන. නිර්මාණ සාහිත්‍යය සිනමා නිර්මාණකරණය සඳහා උපයෝගී කොට ගැනීමට සුමිත්‍රා යුහුසුලු වුයේ ඉන් උපයා ගත හැකි සිනමානුරූපී විලාසය පිළිබඳ අවබෝධයකින් ද යුතුව ය. කෙසේ වුවත් සාහිත්‍ය විචාර ක්ෂේත්‍රයේ ඇගැයීමට ලක්වූ නවකතා හෝ කෙටිකතා තෝරා ගැනීම සම්බන්ධයෙන් ඇය දැක්වූ උනන්දුව ප්‍රශ්නකාරී ය. ඕනෑම නවකතාවකින් හෝ කෙටිකතාවකින් විදග්ධ ප්‍රේක්ෂක මනාපය ද, විචාරක සැලකිල්ල ද ලැබෙන සිනමාපටයක් නිර්මාණය කළ හැකි ය යන අදහසට ඇය නිසි වටිනාකමක් ගෙන දෙන්නේ ඒ අනුව යි. නිදර්ශන පෙළක් ම මෙතැන දී ඉදිරිපත් කළ හැකි වේ. ‘ගඟ අද්දර’ ඉන් හොඳම නිදර්ශනය යි.
සුමිත්‍රාගේ විශිෂ්ටතම සිනමාපටය කුමක්දැ යි යන ප්‍රශ්නය නඟන්නට ද විදග්ධ සිනමා ප්‍රේක්ෂකයනට හා විචාරක සාතිශය බහුතරයට මේ මොහොතේදී අවකාශ සැලසේ. බොහෝ විට මෙහිලා ඉදිරිපත් කෙරෙන පිළිතුර විය හැක්කේ එක්කෝ 'ගඟ අද්දර'ය. නැතහොත් 'සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා ' ය. එනමුදු ජීවිත අභ්‍යන්තරය සිනමානුරූපීව හසු කර ගෙන සංකීර්ණ හා කල් පවත්නා හැගීම් ගොන්නක් ප්‍රේක්ෂක විඥානය තුළ තහවුරු කරලන්නට ඇය වඩා පරිණත ආකාරයෙන් සමත් වන්නේ 'සක්මන් මළුව' හි දී යැයි සිතේ. එක අතකට 'සක්මන් මළුව' ඇගේ සිනමා භාවිතයේ අග්‍රතම ඵලය යි. ඇතැම් සම්භාවනීය සිනමාකරුවනට හා සිනමාකාරියනට තමන්ගේ යම් සිනමාපටයක් පසුකාලීනව ඉක්මවා යා නො හැකි වූ අවස්ථා ලෝක සිනමා ඉතිහාසය පිරික්සන කළ දත හැකිවේ. සිරිලක සිනමාවේ තතු ද එසේම ය. සුමිත්‍රාට ද 'සක්මන් මළුව' ඉක්මවා යා නො හැකි වූ වග පෙනේ. ඇය අධ්‍යක්ෂණය කළ තරමක් වෙනස් මාදිලියේ සිනමාපටයක් සේ දෘශ්‍යමාන වන 'යහළුවෝ' කෙරෙහි සැලකිලිමත් වීමේදී වුව මේ අදහස වටහා ගන්නට පුළුවන.
සිනමාකරුවෝ එති ;යති. සිනමාකාරියන් ද එසේම ය. සිනමාව තව දුරටත් ලෝක පරිමාණව හා කලාපීය වශයෙන් පැමිණෙන අර්බුද සහ අභියෝග හමුවේ කෙසේ හෝ පැවැත්ම හා ප්‍රගතිය සාක්ෂාත් කර ගනිමින් දවසරින වග පෙනේ. එක්තරා ආකාරයකින් මේ සහය දිවීමේ තරගයකි. ලෙස්ටර්, පතිරාජ, වසන්ත , තිස්ස හා සුමිත්‍රා වෙතින් භාරගත් යෂ්ටිය රැගෙන දිවයන සිනමාකරුවන් හා සිනමාකාරියන් පිරිසකගෙන් ලාංකේය සිනමාව තවමත් පොහොසත් ය. මේ අනුව ලෙස්ටර්, පතිරාජ, වසන්ත හා තිස්ස සේම සුමිත්‍රා ද නික්ම යන්නේ ලාංකේය සිනමාවේ අනාගත සාර්ථකත්වය උදෙසා සුවිශාල ආයෝජනයක් කිරීමෙන් ලද ගෞරවය නො අඩුව හිමි කර ගනිමිනි.