රිද්මයානුකූල ලියැවිල්ලට මං කැමැතියි

සාහිත්‍යවේදී සුරත් ද මෙල්
පෙබරවාරි 2, 2023

 

“විශ්වවිද්‍යාල සිසුවියකගේ ගෙල කපා දැමූ සිදුවීම රටේ බොහෝ දෙනකුට ප්‍රවෘත්තියක් පමණයි. ඒ තරුණිය මිය ගිය නිසා ඇයගේ කතාව එතැනින් සමාප්ත වෙනවා. තරුණයාගේ කතාවත් යම් තැනකදි නතර වෙයි. ඒත් ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ගේ, ඔවුන් ඇසුරු කළ මිතුරන්ගේ ජීවිත මේ නිසා සම්පූර්ණයෙන් වෙනස් වෙනවානේ. මොකද මෙය පසු කම්පන ආතති ආබාධ ගෙන දෙන සිදුවීමක්. ඔවුන් ඒ සිද්ධිය සහ එහි මතක සමඟ ජීවිත කාලය පුරාම ගත කළ යුතුයි. ඇතැම් විට යමෙකුට ඍජු බලපෑමක් නොවුණත් එහි වක්‍ර බලපෑම් සමඟ ඔවුන් මුළු දිවියම ගත කළ යුතු වනවා. ඒ දේවල් සමඟ කොහොමද ඒ අය ගනුදෙනු කරන්නේ? සමහර සිදුවීම් සමාජයට දැඩිව නිරාවරණය වීම නිසා තවත් ප්‍රශ්න ඇති වෙනවා. ඇතැම් සිදුවීම් සමාජයෙන් සැඟව පවතුණා කියලත් ඒ ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. එවිට එයින් වෙනත් විදිහේ ප්‍රශ්න මතු වෙනවා. ඒවා සමඟ ඔවුන් ගනුදෙනු කරන්නේ කෙසේද? ඒ වගේ තමයි මගේ අලුත්ම නවකතාවේ චරිත දෙකත් මුහුණ දෙන විවිධාකාර අභියෝග, සමාජ ප්‍රශ්න.”

මේ වදන් පෙළ සුරත් ද මැල්ගේ මුවින් සොරා ගත්තේ සරසවිය වෙනුවෙන් ඔහු සමඟ ඔහුගේ අලුත්ම කෘතිය වන ‘DUO’ පිළිබඳ පිළිසඳරක යෙදෙන අතර. දෙදෙනෙක් නැත්නම් යුගලක් වැනි අර්ථයකින් එන ඩුඕ ඔහුගේ තෙවැනි නවකතාවයි. ඔහු නවකතාකරණයට පිවිසුණේ ‘තී හා තා’ කෘතියෙන් වෙනස්ම ආරක් සිංහල නවකතාවට එක් කරමින්. එය රස වැටුණු පාඨකයන්ට ඔහුගේ ‘සී+’ එනතුරු ඉවසීමක් තිබුණේ නෑ. සරසවි ප්‍රකාශකයන්ගේ වැඩියෙන්ම අලෙවි වන පොත් අතරට එය එක් වුණේ ඒ නිසා. සී+ ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ වීමත් පාඨකයන් දුටුවේ ඔවුන් ලද ජයග්‍රහණයක් වගේ. වැඩි සද්දක් බද්දක් නැතිව ආ ‘ඩුඕ’ ඔහුගේ පාඨකයන්ට රස මසවුලක් බඳුයි. මේ... ඔහුගේ නවතම කෘතිය සහ ඉන්පසු කටයුතු පිළිබඳ කතුවරයා සමඟ කළ කතාබහක කොටසක්.

'DUO' (ඩුඕ) ගැන වැඩි විස්තර ටිකක් දැනගන්න කැමැතියි?.

එය කාල වකවානු දෙකක ජීවත් වන එහෙත් එකම සංසිද්ධියකට මුහුණ දෙන තරුණ කාන්තාවන් දෙදෙනෙක් පිළිබඳ කතාවක්. එක් අයෙක් මීට දශක තුනකට පමණ පෙර යුගයේ තරුණියක්. අනෙක් කෙනා මේ යුගයේ තරුණියක්. ඔවුන් දෙදෙනාම පරපීඩක පිරිමින්ගේ බලපෑමට යටත් වූවන්. එහෙත් ඒ දෙදෙනා අදාළ සිදුවීමට මුහුණ දෙන ආකාරයේ සම විසමතා තිබෙනවා. ඔවුන් තමන් ඒ සිදුවීමට මුහුණ දෙන ආකාරය අනුව පෙරළා සමාජය ඔවුන්ට ප්‍රතිචාර දක්වන ආකාරයත් වෙනස්වෙනවනේ. ඒ පසුබිම පදනම් කරගෙන තමයි මේ 'DUO' කතාව ලියැවෙන්නෙ.

‘සී+’ ලියැවුණෙත් තරුණියන් තිදෙනකු මුල් කරගෙන? රියැලිටි පසුබිමකුත් එක්ක?

ඕනෑම කලාවක මූලික දේ මිනිස් සම්බන්ධතානේ. එය චිත්‍රපට, නාට්‍ය, ගීත, නවකතා, කෙටිකතා වැනි කුමක් හෝ මාධ්‍යයක් විය හැකියි. එනිසා සී+ කියන්නෙත් ඒ පොදු කුලකයේ තිබෙන මානව සබඳතා පිළිබඳ කතාවක්. එහි එක් චරිතයක් විසින් ඉල්ලන පසුබිම තමයි රියැලිටි සිහිනය කියන්නේ.

මගේ කතාව ගැන මම කියන එක හොඳ මදි වුණත්, සී+ සුපර්ස්ටාර් සංකල්පය ගැන ලියැවුණු පොතක් නෙවෙයි. ඒත් කියවන කෙනෙකුට ඕනෑ විදිහට අර්ථ කථනය කරගන්න පුළුවන්. එය පාඨකයාගේ රචිතයයි. මගේ වර්ෂන් එක අනුව මේ ගැහැනු ළමයි තුන්දෙනා හොඳ යාළුවන්. අපි හැමෝම වගේම ඒ අයත් විවිධ ආශාවන් පසුපස ලුහුබඳීනවා. එහිදී තමතමන්ගේ සමාජ පසුබිම, ආශාවන් ඇතුළු අනෙක් සාධක අනුව ඒ අය යන ගමන්, එයට එන බාධක, අභියෝග, ප්‍රතිබාධක ආදි සියල්ල වෙනස් වෙනවා. එවිට යාළුවෝ තිදෙනෙක් එකතු වෙලා යන ගමනෙදි ඔවුන්ගේ මඟ වෙනස්වීම, යළි එක්වීම සහ මිත්‍රත්වය කෙසේ පවත්වා ගන්නේද යන්නයි මම මූලික වශයෙන් පාදක කරගත්තේ. ඉන් එක් අයෙක් රියැලිටි ස්ටාර් සිහිනය පසුපස දුවන නිසා කතාවේ එවැනි පසුබිමකුත් මතු වෙනවා. ඒ නිසාම එය රියැලිටි ගැන කතාවක් යැයි සිතන්න අමාරුයි. මොකද ප්‍රධාන වශයෙන් කතාව කියන කතා නායිකාව හෝ අනෙක් මිතුරිය රියැලිටි තරගයකට යන්නේ නෑනේ.

 

අපේ වත්මන් නවකතා පිළිබඳ ඔබට අදහසක් ඇති?

ඇත්තෙන්ම නෑ. මම කියවන්නේ ඉතා පරෙස්සමින් තෝරාගත් ලේඛකයන්ගේ ඉංග්‍රීසි නවකතා පොත් පමණයි. හරියට කීවොත් මම පොත් කියවන්නේ හොඳීන් පෙරා ඉවත් කරගෙන. ඇත්තෙන්ම තමන්ට නුසුදුසු කතාපොත් කියවීම කියන්නේ කාලය නාස්ති කිරීමක් ලෙසයි මම නම් දකින්නේ. සාපේක්ෂව ඉංග්‍රීසි සාහිත්‍යය ලෝක සාහිත්‍යයේ තිබෙන ස්ථානය අපට පැහැදිලියිනේ. අපට කියවගන්න පුළුවන් ඉංග්‍රීසි වීම තමයි අනෙක් කාරණය. මොකද අපට ප්‍රංශ, ජර්මන් වැනි වෙනත් භාෂා පුළුවන් වුණා නම් ඒ සාහිත්‍යයටත් අප විවෘත වන්න තිබුණා. ඒවා අපට කියවන්න සිදුවෙලා තිබෙන්නේත් ඉංග්‍රීසියෙන් හෝ සිංහලට කරන ලද පරිවර්තනයකින් පමණයි.

අපට අනෙක් භාෂාවලින් ලියන පොත් ගැන දැනගන්න නම් පරිවර්තන අනිවාර්යයෙන් කියවන්න වෙනවා තමයි. එවිට මුල් කෘතියේ වගේම පරිවර්තකගේ සංස්කෘතියේ කොටසකුත් එකතු වෙලා තමයි අපට ඒ පොත ලැබෙන්නේ. කොපමණ හොඳ පරිවර්තකයෙකුට වුවත් ප්‍රායෝගිකව මුල් භාෂාවේ ජීවගුණය ඒ අයුරින්ම තබාගෙන ඒ කටයුත්ත කරන්න බැහැ. ඒත් මුල් භාෂාවෙන් ලියන ලද පොතක් කියවද්දි අදාළ භාෂාවේ ජීව ගුණය හොඳීන් අපට අහුවෙනවා. ඒ නිසා පරිවර්තනයකදි අපට මුල් කෘතියෙන් ලැබෙන සාහිත්‍ය රසය ආදිය තරමක් හීන වෙනවා. උදාහරණයකට මම කැමැති සල්මන් රෂ්ඩි, අරුන්දතී රෝයි, කාර්මෙන් මූලා වැනි සමහර ලේඛකයන්ගේ තිබෙන මූලික ලක්ෂණයක් තමයි භාෂාවේ රිද්මය. ඔය රිද්මය පරිවර්තනයකදි පවත්වන්න බෑ. එය වෙන භාෂාවක්නෙ. මමත් හරි කැමැති දෙයක් තමයි රිද්මයානුකූල ලියැවිල්ල. ඒ නිසා මට දැනෙන්නෙත් මුල් කෘතිවල රිද්මයානුකූල බව.

 

ඔබේ පළමු කෘති දෙකේම කතා කරන භාෂාව යෙදුවේ ඒ රිද්මය රැකගන්නද?

සී+ සහ තී හා තා දෙකම කථන භාෂාව මූලික කරගත්තත්, ඩුඕ කෘතියේ භාගයක් ලිඛිත බසින් සහ භාගයක් කථන බසින් ලියැවෙන්නෙ. ඉංග්‍රීසි භාෂාවත් කතා කරන විදිහටම නොලීවාට ව්‍යාකරණයේ වැඩි වෙනසක් නෑ. ඉතින් අපටත් ඇයි එහෙම බැරි? අනෙක කතා කරන භාෂාවේ ව්‍යාකරණයක් නෑ කියලා දෙයකුත් නෑ. මොකද අපි ආගම, දර්ශනය වැනි බොහෝ ගැඹුරු දේවල් පිළිබඳ සංවාද කරන්නේ කථන භාෂාවෙන්නෙ. ඉතින් කථන භාෂාවෙන් ලියන්න බැහැ කියලා දෙයක් තිබෙන්නත් බෑනේද? අනෙක කථිත භාෂාව තමයි බොහොම ජීවයක් ඇති භාෂාව. ලියන භාෂාව ඉස්සර බොහෝ ලේඛකයන් භාවිත කළාට, දැන් එහෙම භාවිත වන්නෙත් නෑ.

 

නිර්මාණ කෘතියකින් සමාජට පණිවිඩයක් දෙන්න ඕනෙද?

කලාව කුමක් සඳහාද කියන විවාදය දිගින් දිගටම යන එකක්නේ. එයට සැමට පිළිගත හැකි පිළිතුරක් නෑ. අනෙක් සැම දේට වගේම විසිරුණු පිළිතුරක් තිබෙන්නේ. එහිදී අප සිතිය යුත්තේ නිර්මාණකරුවාගේ අරමුණ කුමක්ද යන්නයි. මොකද බහුතරයක් නිර්මාණ කරන්නේ සමාජයට පණිවිඩයක් දෙන්න බලාගෙනම නෙවෙයි. එහෙත් එයින් සමාජයට කුමක්‌ හෝ පණිවිඩයක් යන්න පුළුවන්. අනෙක ඒ දෙන පණිවිඩය ආගමික වැඩසටහනකින් සමාජයට දෙන ආදර්ශයක් වැනි දෙයක්ම වෙයි කියලා හිතන්නත් බෑ. යහපත් සමාජයක් බිහි කිරීම උදෙසා ඍජු පණිවිඩ කලාවෙන් දෙනවා කියන දේ දැන් සිදු වන්නේ නැහැ. අනෙක ඒ කියන දේවල් මිනිසුන් පිළිගන්නවාද කියන දේත් ප්‍රශ්නයක්. හැබැයි කලාවෙන් සිදුවන්නේ සමාජය විශ්ලේෂණය කර ප්‍රති අවබෝධ කරගැනීමට උත්සාහ කිරීම. එහිදී සත්‍ය විනිවිද යථාවබෝධය ලබා ගැනීමට දරන උත්සාහයේදී සමාජයේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න මිනිසුන් අවබෝධ කරගන්නවා. එය වක්‍රාකාරව සමාජය වෙනස් වන්න බලපාන්න පුළුවන්. හැබැයි එය සිදුවන්නේ සමාජය වෙනස් කිරීමේ මූලික අරමුණින් කටයුතු කරන කලාකරුවන්ගෙ නිර්මාණවලින් විතරයි. ඒත් එහෙම නිර්මාණ සිදුවන්නේ සියයට දහයක් වගේ සුළු ප්‍රමාණයක් විතරයි.

 

අපේ රටේ විචාර කලාව ගැන ඔබේ අදහස?

මම නම් විශ්වාස කරන්නේ නෑ මේ රටේ කිසිම දෙයක් පිළිබඳ පිළිවෙළක් ඇති විචාරයක් තිබෙනවා කියලා. සිනමාව, නාට්‍ය, සාහිත්‍ය ගත්තත් නිර්මාණ කෙරෙන්නෙත් සුළු වශයෙන්. ලංකාව හරි පොඩි රටක් නිසා වෙන්න ඇති. අනෙක අපේ නිර්මාණකරුවන් සහ විචාරකයන් කියන දෙපිරිස හවස මධුසාදවල එක මෙසයේ ඉන්න අය. එවිට සිදුවන්නේ තම තමන්ගේ අයගේ පිට කසාගැනීම පමණයි. එකම වෙනස එක එක නිර්මාණ කල්ලි සිටීමයි. එවිට ඒ ඒ කල්ලි තම තමන්ගේ පිලේ අය වර්ණනා කරනවා විනා ස්වාධීන විචාරයක් කෙරෙනවාද කියන එක ගැන විශ්වාසයක් නෑ. ඒත් ඒකට විචාරකයන්ට දොස් කියලා වැඩක් නෑ. මොකද පොඩි රටක් පොඩි නිර්මාණකරුවන් පිරිසක් වුණාම ඇතිවන සිස්ටම් එකේ අවුලක් මේ තියෙන්නේ.

 

අපේ රටේ නිර්මාණ වෙනත් භාෂාවලට පරිවර්තනය නොවන්න හේතුව?

අපේ රටේ එහෙම පරිවර්තනය වන්න තරම් 'මාර' සාහිත්‍ය කෘති බිහිවුණාද කියලා මට නම් විශ්වාසයකුත් නෑ. අපේ මහ ලොකු ගත්කරුවන් කියන අයත් 'මහ ලොකුමද' කියලා ප්‍රශ්නයකුත් තිබෙනවානේ? එය සාහිත්‍යයට පමණක් නොවේ, සිනමාවේ ගත්තත් අපට මහාලොකු සිනමාවක්වත්, මහාලොකු සිනමාකරුවන්වත් ඉඳලා නෑ. නාට්‍යවලටත් නෑ. ඇත්තෙන්ම නිර්මාණකරණයේදී අපි ඉන්නේ අගුපිලක. ඒ අතර ඉන්න කාව හරි නොබෙල් ත්‍යාග මට්ටමෙනුත් ඉහළට හිතාගෙන වර්ණනා කරනවා විනා අපට එහෙම 'පොරවල්' කියන්න චරිත ඉඳලා නෑ කවදාවත්. අනෙක් අය පැත්තක දාලා මා ගැන කතා කළොත් විශ්ව සාහිත්‍යකරුවන් එක්ක සැසඳුවාම මම 'මෙලෝ රහක් නැති එකෙක්'නෙ. (සිනාසෙයි) එකම දේ අපට මේ දේවල් විශ්ලේෂණය කරලා ඇත්ත දකින්න පුළුවන්ද කියන එක විතරයි. අපි ඇත්ත නොදැක කාව හෝ මුරුංගා අත්තේ තියාගෙන දඟලනවා. ඒ නිසා තමයි මම කියන්නේ විශ්ව සාහිත්‍යයට එක්වන්න තරම් මහාලොකු නිර්මාණ අපේ තියෙනවාද කියන එක සැකයි කියලා.

 

අපේ සිංහල කෘති අඩුම ගානේ දෙමළ මිනිසුන්ට කියවන්නවත් පරිවර්තනය වන්නේ නෑ. ඒ වගේම දෙමළ කෘති අපට කියවන්න පරිවර්තනය වන්නේත් නෑ. මෑතක මම දැක්කා සිංහලෙන් ලියන අපේ සමහරු තමන්ගේ පොත් දෙමළට පරිවර්තනය කරලා ඉන්දියාවෙන් මුද්‍රණය කරගන්න උත්සාහ කරනවා. ඒක හොඳ ප්‍රවණතාවක්. අඩුම තරමේ ඒ වෙළෙඳපොළට යන්න හෝ උත්සාහ කිරීම වැදගත්. ඇත්තෙන්ම හැම නිර්මාණයක්ම අතිවිශිෂ්ට කෘතියක් වන්න ඕනෙ නෑ. වෙළෙඳපොළ අරමුණු කරගත් ක්‍රමවේදයක් ඇති වුණා නම් ඇති. අපි දූපත ඇතුළේ දූපත් වාසීන් විදිහටම ඉඳලා ඒ දේ කරන්න බෑ. අඩුම ගානේ සාහිත්‍යයෙන් හෝ ඉන්දියාව සමඟවත් අපට සබැඳීයාවක් ඇතිව වැඩ කරන්න පුළුවන් නම්, ඉන්දියානු සාගරය පැනගන්න පුළුවන් වුණා නම් හොඳයි. මහා සාහිත්‍යවේදීන් නෑ කීවට අපේ රටෙත් බිහිවුණ හොඳ සාහිත්‍ය කෘති පනහක් හැටක්වත් ඇතිනේ ඉංග්‍රීසියට හෝ වෙනත් භාෂාවකට පෙරළන්න තරම් සුදුසු වන. ඒවාට අනිවාර්යයෙන් වෙළෙඳ‌පොළක් තියෙනවා. මොකද ඊට වඩා අබලන් කෘති පරිවර්තන හැටියට අපි කියවනවානේ.

 

ඔබේ කෘති ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න අදහසක් තිබෙනවාද?

තී හා තා පරිවර්තනය කරමින් පවතිනවා. සී+ බොහොම දේශීයයි, ඒ නිසා පරිවර්තනය කර වෙන රටකට යවන්න තරම් වැදගත් කමක් තිබෙනවාද කියලා මට සැකයක් තිබෙනවා. අනෙක සිංහලත් හොඳට පුළුවන් ඉංග්‍රීසි ඊට වඩා පුළුවන් පරිවර්තකයකු හොයා ගැනීමත් සෑහෙන අමාරු වැඩක්. මයි සෙල්ෆ් ගැනවත් ඉංග්‍රීසියෙන් ලියන්න බැරි අයත් පරිවර්තන කරන නිසා. අද කාලේ සිංහලට කෙරෙන පරිවර්තන පවා සුදුසු මට්ටමින් කෙරෙනවාද කියන එක ප්‍රශ්නයක්. මොකද සිංහල අකුරු ලියන්න පුළුවන් හැම කෙනාම පොතක් ලියන මට්ටමට ඇවිත්නෙ. හොඳ පරිවර්තන නොකෙරෙනවා කියලා නෙවෙයි මම මේ කියන්නේ.

 

ඔබ නිරත වන්නේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයේ? සාහිත්‍යයෙන් ඒ පැත්තට පිම්මක් ගන්න අදහසක් තිබෙනවාද?

කීවා වගේම මම නිරත වෙන්නේ වාර්තා වැඩසටහන් නිර්මාණකරණයේනේ. සිනමා කර්මාන්තයක් නැති වුණත් ඒ අංශයේම තමයි මම හිටියේ. කොවිඩ් වගේ දේවල් නිසා ඒ කටයුතු ටිකක් හිඟ වුණා. දැන් ඇත්තටම වැඩ අඩුයි. ඒ නිසා ක්ෂේත්‍රයෙන් ටිකක් ඈත් මෑත් වෙලා හිටියට මටත් කැමැත්තක් නැතුව නෙවෙයි තී හා තා වගේ එකක් සිනමාවට නඟන්න.

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න

[email protected]