වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
විසි වැනි සියවසේ මොනාලිසා මියයයි

ජිනා අසූව දශකයේදී පුංචි තිරයේ රසිකයන්ගේ හද බැඳි තාරකාවක වූවාය
ජිනා ලොලොබ්රිගිඩා (Gina Lollobrigida ) ) හොලිවුඩයේ ස්වර්ණමය යුගය ජීවමාන කරමින් සිටි අවසන් තාරකාවකි. ලොවක් රංගනයෙන් සහ සරාගී බවින් මුසපත් කළ ජිනා තාරකාව ජනවාරි 23 වැනි දින නිවී ගියේ සුන්දර විචිත්‍ර මතකයන් ගණනාවක් ඉතිහාසයට එක්කරමිනි.
දියණියන් සිව් දෙනකුගෙන් යුතු කම්කරු පවුලක දෙවැනි දියණිය ලෙස උපන් ලුයිගියා ජිනා ලොලොබ්රිගිඩා ගේ පියා දැව භාණ්ඩ අලෙවිකරුවකු විය. නව යෞවනත්වයෙන් පිබිදෙන රූ සපුව ම ඇය ජීවන වෘත්තියට පදනම කර ගත්තාය. එහෙත් ඊට පෙර ඇය ප්‍රගුණ කළේ මූර්ති කලාව ය. ඇය ගේ රුවින් මුලින් ම බැබළුණේ මෝස්තර නිරූපණ කලාව ය. එපමණක් නොව ඇය රූප රාජිනී තරඟ රැසකින් ම ජය ලැබුවා ය. වැඩි කාලයක් යාමට පෙර ජිනාට ඉතාලි සිනමාවේත් දොරටු විවර විය. මුලින් ඇයට ලැබුණේ සුළු චරිත ය. 1945 දී ජිනා Santarellina (සැන්ටරෙලිනා) නම් ප්‍රහසනාත්මක සිනමා පටයේ රගන විට වයස අවුරුදු 18 කි. සිනමා පටය තිරගත වූයේ ලොව කුඩා ම සිනමා ශාලාව වන all'italiana දී ය. 1950 දී ඇය අමෙරිකානු සිනමා නිෂ්පාදක හෝවර්ඩ් හියුස් සමග සත් වසරක සිනමා ගිවිසුමකට අස්සන් කළ ද ඇය අවසන් කාර්තුවේදී ගිවිසුම කඩ කළා ය. හියුස් තාරකාවන් ගණනාවක් සමඟ පෙමින් වෙළී සිටි අතර ජිනා ද ඔහු ගේ ස්ත්‍රී ලෝලිත්වයේ ගොදුරක් විය. ඇය යුරෝපීය සිනමාවට වඩාත් ඇලුම් කිරීමත් ගිවිසුම කඩ කිරීමත් නිසා කෝපයට පත් හියුස් ජිනාට 1959 වන තුරු ම අමෙරිකානු සිනමා පටයක රඟපෑමට ඉඩ ලබා දුන්නේ නැත. එහෙත් ජිනා දිනෙන් දින ම යුරෝපීය සිනමාවට නැතිව ම බැරි තාරකාවක වූවා ය. බ්‍රෙඩ්, ලව් ඇන්ඩ් ඩ්‍රීම්ස් / Bread, Love and Dreams (Pane, amore e fantasia, 1953 සිනමාපටය ඉහළම ආදායම් වාර්තා ඉපයූ සිනමා පටයක් බවට පත් වූවා පමණක් නොව බැෆ්ටා / BAFTA සම්මාන උලෙළේදි ඇය හොදම නිළිය ලෙස සම්මානයට නිර්දේශ වූවා ය. The Wayward Wife (1953), Woman of Rome (1954), Fearless Little Soldier (Fanfan la Tulipe, 1952), Beauties of the Night (Les Belles de nuit, also 1952), Le Grand Jeu (1954) සිනමා රංගනයන් ජිනා ලොලොබ්රිගිඩා ඉතාලියේ ජනප්‍රියත ම සිනමා තාරකාව බවට පත් කළා ය. ජෝන් හස්ටන් අධ්‍යක්ෂණය කළ Beat the Devil ( (1953) සිනමා පටය තිරගත වීමත් සමග ජිනා ගේ සිනමා රංගන ප්‍රතිභාවෙන් තවදුරටත් යුරෝපීය සිනමාව ප්‍රභාමත් විය. The Law (1959) ඇය රැගූ පළමු ප්‍රංශ සිනමා පටය ය.
1961 දී ජිනා රොක් හඩ්සන් සහ සැන්ඩ්‍රා ඩී සමඟ ප්‍රේමයත් ප්රහසනයත් කැටිකළ Come September (1961) සිනමා පටයේ රඟපෑ අතර ඇයගේ රංගනයට ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය හිමි විය. හැටේ දශකය අවසන් වන විට ජිනා රංගනයට ලැබෙන ඇතැම් සිනමාපට ප්‍රතික්ෂේප කිරීමට පෙලඹුණි.
ජිනා අසූව දශකයේදී පුංචි තිරයේ රසිකයන් ගේ හඳබැදි තාරකාවක වූවාය. අසූවේ මැද භාගයේදී Falcon Crest රූපවාහිනී මාලා නාටකයේ රංගනයට තුන්වැනි වරට ද ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයට නිර්දේශ විය. Falcon Crest තිර පිටපත ලියවුණේ ඇය ගේ ඉතාලි පසමිතුරිය වූ සොෆියා ලොරේන් පාදක කර ගෙන ය. එහෙත් ඇය එහි රැඟීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ජිනා ට එහි රගපෑමේ අවස්ථාව උදාවිය.
හැත්තෑව දශකයේදී ජිනා නිළි භූමිකාවෙන් ඡායාරූප මාධ්‍ය කලාවට පිවිසියා ය. 1974 දී ඇය කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ සමග කළ සම්මුඛ සාකච්ඡාව ඡායාරූප මාධ්‍ය කලාවේ සුවිශේෂී මතකයක් විය. 1975 දී ජිනා කස්ත්‍රෝ පිළිබද වාර්තා සිනමා පටයක් නිර්මාණය කළ අතර දෙදෙනා අතර සබඳතාවක් පවතින බවට කටකතා ද පැතිරිණි. 1972 සිට 1994 දක්වා ඇය සිය ඡායාරූප එකතුව එළිදක්වන ලදී. නිළි වෘත්තියත් ඡායාරූප මාධ්‍ය කලාවත් ගසට පොත්ත සේ ජිනා ගේ දිවියට ගැළපුණ ද ඇය අනූව දශකය අවසානයේදී අත ගැසුවේ ඇයට නො ගැළපෙන ක්ෂේත්රයකට ය. ඒ දේශපාලන ක්ෂේත්රය ය. 1999 දී ඩිමොක්රටික් පාක්ෂිකයකු ලෙස යුරෝපියානු පාර්ලිමේන්තුවට තරඟ කළා ය. එහෙත් ඇය ජය ලැබුවේ නැත. වයස 95 දී එනම් 2022 දී ඇය ඉතාලි මහා මැතිවරණයට අලුතින් පිහිටුවා ගත් පක්ෂයකින් තරඟ වැදුණ ද හිමි වූයේ පරාජයම ය. ඇය නිතර ම මහත්මා ගාන්ධි මෙන් ක්‍රියා කිරීමට කැමැති බව කියා සිටියා ය. ජිනා, ඉන්දිරා ගාන්ධි මැතිනිය සමග ද සමීප සබදතාවක් පැවැත්වූ අයෙකි.
සැබෑ දිවියේ පෙම තිර පෙම මෙන් විචිත්රයි
1949 දී සුරූපී, සරාගී ජිනා ස්ලෝවේනියානු කායික රෝග පිළිබඳ වෛද්‍ය විශේෂඥයකු වූ මිල්කෝ ස්කොෆික් සමඟ විවාහ වූවා ය. ඇන්ඩ්‍රියා මිල්කො ඔවුන ගේ එක ම පුතු ය. ජිනා සමඟ විවාහ වූ පසු මිල්කො වෛද්‍ය වෘත්තියට සමුදී ජිනා ගේ කළමනාකරු බවට පත් විය. එහෙත් දෙදෙනා ගේ විවාහය පැවතුණේ 1971 වන තුරු පමණි. 1971 දී 17 වසරක විවාහයෙන් දික්කසාද වූ ජිනා ඊට ප්‍රථම ද ආදරය විවාහයට සීමා නො කළ ගැහැනියක වූවා ය. ලොව පළමු මිනිස් හදවත් බද්ධය සිදුකළ ක්‍රිස්ටියන් බර්නාඩ් නම් දකුණු අප්‍රිකානු වෛද්‍යවරයා සමඟ ඇය එක් දිනක අනියම් සබදතාවක් පැවැත්වූ බව නො රහසකි. බොහෝ විට ඇය ගේ සහකරුවන් වූයේ ඇයට වඩා බෙහෙවින් බාල පිරිමින් ය. 2006 වසරේදී හැත්තෑ නව හැවිරිදි වියේ පසුවූ ඇය හතළිස් පස් හැවිරිදි ස්පාඤ්ඤ ව්‍යාපාරික ජේවියර් රිගවු සමඟ විවාහ විය. එහෙත් ඇය ගේ මරණයෙන් පසු ඉඩම්වලට හිමිකම් කීමට බැදි විවාහයක් ලෙස පසුව ඇය ඒ විවාහය හැඳින්වූවා ය. රෝම වෛද්‍ය සායනයකදී ජිනා මියගියේ උකුළු පෙදෙසේ කළ සැත්කමක් අතරතුරේදී ය.
සොෆියා - ජිනා තරගය
ලා ලෝ ලෙස සිනමා ලොව වඩාත් ජනප්රියවී සිටි ඇයට අභියෝගයක් වූයේ සොෆියා ලොරේන් පමණි. එහෙත් ජිනා සැම විටම කියා සිටියේ තමන් ඇයට වඩා ඉදිරියෙන් සිටින බව ය. ජිනා තමන් ඉතාලියේ අභිමානය බව සැම විට ම කියා සිටියාය. එය සත්‍යයකි. ඇය මිය ගිය විට ඉතාලියේ අගමැතිනී ජියෝජියා මෙලොනි ගේ සිට රටේ සියලු දෙනා ම සංවේගයට පත් විය.
ඇය ගේ පස මිතුරු නිළිය අසූ අට හැවිරිදි සොෆියා ලොරේන් ඇය ගේ අවමංගල්‍ය දින පල්ලියට මල් කළඹක් එවා තිබිණි. ඇයට වඩා තිස් හතර වසරකින් බාල සැමියාව සිටි ජේවියර් අවමංගල පෙරහැරේ ඉදිරියෙන් ම ගමන් කළේ මරණයට පෙර ඇයට වූ පොරොන්දුව ඉටු කිරීමට ය. දැන් ඔහු හැට එක් හැවිරිදි ය. ඔහු සමඟ ජිනා ගේ එක ම පුතු ඇන්ඩ්‍රියා ගමන් කර තිබෙයි.