Online ඔළුවේ තියාගෙන අද සිනමාශාලා හසුරුවන බව පේනවා

නිෂ්පාදක එච්.ඩී.ප්‍රේමසිරි
ජුනි 22, 2023

සරසවි සන්නාමය ඔස්සේ පොත් ප්‍රකාශනය සිය ව්‍යාපාරය කරගනිමින් සිය ඉලක්ක සපුරාගනිමින් ව්‍යාපාරික ලෝකය තුළ කතාබහට ලක්වන චරිතයක් වූ එච්.ඩී. ප්‍රේමසිරි නාමය සිනමාව තුළද නොමැකෙන නාමයක් මේවනවිට සනිටුහන් කර හමාරය. ඉහළම ආදායම් වාර්තා තබමින් තිරගත වූ සිනමාපට අතර මොහුගේ නිර්මාණ (යශෝධරා, කුසපබා,විජයබා කොල්ලය, මේ දිනවල තිරගත වන ක්ෂීර සාගරය කැලඹිණි) ප්‍රේක්ෂක, විචාරක සම්භාවනාවට අද වනවිටත් පාත්‍රවෙමින් තිබීම විශේෂත්වයකි. චිත්‍රපට ක්ෂේත්‍රයේ නිෂ්පාදන අර්ථපතියන් අතරින් ඉහළින්ම නම කියවෙන එච්.ඩී. ප්‍රේමසිරි නම් සොඳුරු මිනිසා සිය සිනමා භාවිතය සහ සමස්ත සිනමාවේ රුවගුණ වැයීමට සරසවිය හා මෙසේ එක්වූයේ සිය කාර්යබහුල ව්‍යාපාරික ලෝකයෙන් මොහොතකට ඉසඹුවක් ලබමිනි.

ඔබ මුලින්ම කලාවට යොමුවුණු ආකාරය මතක් කළොත්....?

මම ඉස්සර ඉඳන්ම චිත්‍රපට.නරඹන්න හරිම ආසයි. පාසල් කාලයේ ඉඳන්ම චිත්‍රපට බැලුවා. ඒවගේම A/L වලින් පස්සේ මට කලාත්මක වැඩ කරන්න අවසර ලැබුණා. ඉස්සර අපට මහරගම Book Shop එකක් තිබ්බා. මම නිතරම එතැනට යනවා. එතැනදී මගේ යාළුවෝ ගොඩාක් මුණගැසුණා. ඒ පරිසරයේදී කලාත්මක දේවලට යොමුවුණා. ඒකාලයේ මම ෆොටෝග්‍රැෆිත් කළා. අපට කැමරා තිබ්බා. ඒ අනුසාරයෙන් ප්‍රියා කලර් ලැබ් කියලා ලැබ් එකක් පටන්ගත්තා. කලාත්මක දේවල් කොහොමත් මගේ ඔළුවේ තිබ්බා.

ඒ කාලයේ ඔබට කලාවට යොමුවෙන්න අඩිතාලම හදාගන්න සුදුසු යාළුවෝ පිරිසකුත් හිටියා නේද...?

ඔව්, මහරගම සරසවිය  book Shop එකේ ඉද්දී අපට හම්බ වුණු ජී.ඩී. එල්. පෙරේරාගේ කලා පෙළ සෙට් එක එනවා. චිත්‍රපට ගැනත් අපි කතා වුණා. මහරගම තිබ්බා අනුෂා සිනමාශාලාව, නැෂනල් එකත් තිබ්බා. ලැවීනියා එක නුගේගොඩ තිබ්බා. අපි නිතරම රෑට ගිහින් ඒ හෝල්වලින් චිත්‍රපට බලනවා. ඒ ගිහින් රෑ 12ත් පහුවෙලා එන්නේ. මහරගම ඉද්දී ඒ ඵඩධන එකට එනවා රෝහණ වෙත්තසිංහ, චන්ද්‍රසේන පෙරේරා, තලංගම ජයසිංහ වගේ ලේඛකයෝ, පුවත්පත් කලාවේදීන්. ඔවුන්ව ළඟින්ම ඇසුරු කරන්න අවස්ථාව ලැබුණා. ඒ කාලේ මට අවුරුදු 24ක් 25ක් වගේ ඇති. ඒ යාළුවන්ගේ ආභාසයත් චිත්‍රපටකරණයට එන්න බලපෑවා.

මේ යාළුවන්ගේ එකතුවෙන්මද චිත්‍රපට නිර්මාණයට පෙලඹුණේ..?

හරියටම හරි. ඒ කාලේ මායි, රෝහණ වෙත්තසිංහයි, රාජා බස්නායකයි එකතුවෙලා චිත්‍රපටයක් කරන්න ලෑස්තිවුණා. ඒ කාලයේ දළ සේයාපට තිබ්බේ. චිත්‍රා ස්ටුඩියෝ එකට දළ සේයාපට ගේන්න ඕඩර් කළා චිත්‍රපටයේ වැඩ පටන්ගන්න. නමුත් චිත්‍රපටය කෙරුණේ නෑ. මට මතක හැටියට ‘රතු රෝස’ වගේ නමක් චිත්‍රපටයට අපි දාලා තිබ්බේ. ඒවාගේම මුදල් ප්‍රශ්නත් ආවා. ඒක එහෙමම නැවතුණා.

මුලින්ම චිත්‍රපටයක් කියලා හරියටම කරන්න ලැබුණේ මොකද්ද...?

අපි කට්ටියට සල්ලි ටිකක් එහෙම ලැබෙද්දී සුගතපාල ද සිල්වාගේ ‘බිත්ති හතර’ නවකතාවට අපේ අවධානය ගියා. ඒක අපි චිත්‍රපටයක් විදිහට කළා. පරාක්‍රම සිල්වා අධ්‍යක්ෂණය කළා. මේකේ වැඩ 1975 විතර වැඩ පටන්ගත්තේ. 1978 විතර වෙනකල් ඇදුණා. අවුරුදු 03ක් විතර චිත්‍රපට පෝලිමේත් ඉන්න වුණා. කොහොමහරි සම්භාව්‍ය 05 වැනි මණ්ඩලයේ ලේබලය යටතේ රීගල් ඇතුළු සිනමාශාලාවල 1982දී ‘බිත්‍ති හතර’ පෙන්නුවා. මේකෙදී අපට ටෝනි රණසිංහගේ සොහොයුරා රැලෙක්ස් රණසිංහ එහෙම උදව් කළා. මෙහි ප්‍රධාන චරිතය කළේ වසන්ති චතුරාණි. නීල් අලස්, පියසේන අහංගම, ස්වර්ණා මල්ලවආරච්චි, මැණික් කුරුකුලසූරිය, නදීකා ගුණසේකර, රූබීද මෙල් වගේ පිරිසක් රංගනයෙන් එකතු වුණා. මෙතනදී චිත්‍රපටයක් කරන්න හොඳ ආභාසයක් ලැබුණා. ‘බිත්ති හතර’ චිත්‍රපටයෙන් පාඩු වුණා. ඒකාලේ මේ චිත්‍රපටයට ලක්ෂ 08ක් වගේ වියදම් වුණා. ආදායම් ලැබුවේ නැහැ. ඊටපස්සේ මම චිත්‍රපට ගැන අවධානයෙන් හිටියට චිත්‍රපටයක් කළේ නැහැ.

‘බිත්ති හතර’ පාඩු වුණාට ඔබ නැවතත් චිත්‍රපට නිෂ්පාදනයට පිවිසුණා....?

ඔව්, ඊටපස්සේ රංජිත් කුරුප්පු මහත්තයත් එක්ක ‘පවන රළුවිය’ නිෂ්පාදනය කළා. රංජිත් කුරුප්පුමයි ඒක අධ්‍යක්ෂණය කළේ. ඒ චිත්‍රපටය හොඳයි. ඒත් මිනිස්සු බැලුවේ නැහැ. පාඩු වුණා. ලක්ෂ 20ක් වියදම් වුණා.

පාසල් අවධියේ සිනමාවට, සාහිත්‍යයට ඔබේ ඇල්මක් තිබ්බද...?

පාසල් කාලයේ නවකතා ගොඩක් කියෙව්වා. ඒ කාලෙත් අපේ පොත් සාප්පුවක් තිබ්බා ,ඒක තාත්තා කළේ. පාදුක්කේ ඒක තිබ්බේ. අපේ ගෙවලුත් එහේ. ‘ගොළුහදවත’, ‘බඹා කෙටූ හැටි’ එහෙම පොත් සාප්පුවෙන්ම අරන් කියවනවා. ඉස්කෝලේ ඇරුණාම ගිහින් පොත් කියවනවා. ඒ කාලේ හැම පොතක්ම කියවනවා. ඒ කාලේ අපේ හොස්ටල් එකට මෙහායින් තිබ්බා හිමාලි කියලා හෝල් එකක්. කම්බි වැටෙන් පැනලා රූට ගෙදරට හොරෙන් ගිහින් චිත්‍රපට බලනවා. ඔලිම්පියා එකටත් ඇවිත් චිත්‍රපට බලනවා. තිර රචනයක් ලියන්න ඕනකම තිබ්බා. ඒත් ඒවා මගහැරුණා..

ඔබ නිෂ්පාදනය කළ සිනමාපට මතක් කළොත්...?

ඒවගේම ඔබ වඩාත් ඇලුම් කළ චිත්‍රපටය හෝ විශේෂ බලපෑමක් කළ චිත්‍රපටයක් තිබේද.....? මුලින්ම ‘බිත්ති හතර’ කළා. ඊටපස්සේ ‘පවන රළුවිය’ , ‘ආකාස කුසුම්’ , ‘කුසපබා’, ‘තණ්හා රතී රඟා’, ‘සක්කාරං’, ‘තණ්හා රතී රඟා’, ‘යශෝධරා’, ‘අසන්ධිමිත්‍තා’, ‘විජයබා කොල්ලය’, ‘අල්බොරාදා’, ‘ගාඩි’, ‘සහෝ’, ‘ද නිව්ස් පේපර්’, ‘නෙළා’, ‘වස්සානයේ සඳ’, ‘ක්ෂීර සාගරය කැලඹිණි’. මේ අතරින් ‘නෙළා’, ‘වස්සානයේ සඳ’, ‘ද නිව්ස් පේපර්’, ‘ගාඩි’ වගේ කිහිපයක්ම හවුල් නිෂ්පාදනයක් විදිහට කළේ. ඔබ ඇසූ අනෙක් පැනයට උත්තරයක් විදිහට කියන්න පුළුවන් මම ‘ක්ෂීර සාගරය කැලඹිණි’ චිත්‍රපටයට කැමැත්තක් තියෙනවා. ‘පවන රළුවිය’, ‘අසන්ධිමිත්තා’ වගේ චිත්‍රපටවලටත් ආසයි. ඒකට හේතුව මොකද්ද කියලා නම් කියන්න අමාරුයි. හැබැයි හෙට වෙද්දී ඊළඟට කරන චිත්‍රපටයට කැමැති වෙන්නත් පුළුවනි....

ඔබේ නිර්මාණයන්ට අධ්‍යක්ෂවරයා තෝරාගන්නේ ඔබමද..? නැත්නම් අධ්‍යක්ෂගෙන් ඔබට ආරාධනා ලැබෙනවද?

නළුනිළියන්, කාර්මික ශිල්පීන් තෝරාගැනීමට ඔබ හවුල් වෙනවාද...?

හැම මොහොතේම අධ්‍යක්ෂවරයා ඇවිත් චිත්‍රපටයක් කරමු කියා මට ආරාධනා කළා. මම අධ්‍යක්ෂවරු හොයාගෙන ගියේ නැහැ. මුල්ම නිෂ්පාදනයේදීත් පරාක්‍රම සිල්වා මා හමුවෙන්න ආවා චිත්‍රපටයක් කරමු කියා. ඒත් ඔහුට කතාවක් තිබ්බේ නැහැ. ඊටපස්සේ අපි ඔහුට ‘බිත්ති හතර’ නවකතාව දුන්නා මේක කරමු කියලා. අධ්‍යක්ෂට සම්පූර්ණ වගකීම දෙනවා. නළුනිළියන්, කාර්මික ශිල්පීන් තෝරගන්න. අධ්‍යක්ෂට උපරිම බලය දෙනවා. මොකද අපි ඒවා ගැන වැඩිය දන්නේ නැහැනේ. ‘බිත්ති හතර’ කරද්දීනම් අධ්‍යක්ෂ පරාක්‍රම සිල්වාට බාහිරව අපි ඒකට ටිකක් අත දැම්මා කියලා කියන්න පුළුවන් අනික් අයගේ කීමට. ඒක අපි එඩිට් කරන්නත් ගියා අලුත් දෙයක් කරන්න හිතාගෙන...

ඔබට හමුවූ අධ්‍යක්ෂවරු අතර ඔබ වඩාත් කැමැති අධ්‍යක්ෂවරයෙක් ඉන්නවද...?

අපේ සුනිල් ආරියරත්න මහාචාර්යතුමාගේ වැඩ හුඟාක් දුරට හොඳයි. අපිට කිසි කරදරයක් නැහැ. අපිට නිදහසේ ඉන්න පුළුවන්. ෂූටින් බලන්න වුණත් මම බොහෝදුරට ගිහින් නෑ දවසක් දෙකක් ගියොත් මිසක්. අරයව ගන්න, මෙයාව ගන්න , සංගීතය මෙහෙම කරන්න වගේ අපි කියලා නැහැ. එයාගේ නිර්මාණය එයා නිදහසේ කරනවා. අනික මහාචාර්යතුමා චිත්‍රපටය ඉවර කරලත් අහක බලන් ඉන්නේ නෑ. ඒක බෙදාහැරීමේදීත් ඒකට උදව් කරනවා. හැමතිස්සේම එනවා, ඒක ලොකු දෙයක්. හඳගම මහත්තයත් හොඳයි..

ඔබේ ‘අල්බෝරාදා’ චිත්‍රපටය ගොඩාක් ප්‍රේක්ෂකයන් අතරට ගියේ නැහැ, ඒක ටිකක් වෙනස් නිර්මාණයක් නේද...?

‘අල්බෝරාදා’ වලින් අපි බලාපොරොත්තු වුණේ අන්තර්ජාතික මට්ටමට ගෙනියන්න විදෙස් නළුනිළියෝ කිහිපදෙනෙක් එහෙම ගෙනල්ලා. හඳගම හදිසියේ අසනීප වීමත් එක්ක අපි බලාපොරොත්තු වුණු මට්ටමට ඒක ගෙනියන්න බැරිවුණා. ‘අල්බෝරාදා’ බෙදාහැරීමෙත් ප්‍රශ්න ආවා. අනික ඒක ඉංග්‍රිසියෙන් යන නිසා අපේ සිංහල ප්‍රේක්ෂකයන් බොහෝමයකට තේරුම්ගන්න අමාරු වුණා. ටෝකියෝ  film festivel එකට ‘අල්බෝරාදා’ අපි දැම්මා. ඒකෙදී තරඟකාරී අංශයට තේරුණා. තරඟකාරී චිත්‍රපට 10 අතරට තේරුණා. හඳගමගේ අසනීපෙත් එක්ක ඔහුට ඒවාට සහභාගී වෙන්නත් බැරිවුණා.

චිත්‍රපටයකට මූල්‍ය පිරිවැය දරන්න ඕන කියා ඔබට හිතුණේ කොහොමද..?

මේක ලාභ ලබන්න පුළුවන් ව්‍යාපාරයක් කියා ඔබට සිතුණාද...?

ආචාර්ය ඩී.බී.නිහාල්සිංහ මහත්තයා චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරි වශයෙන් ඉද්දී බැංකු ණය දීමේ ව්‍යාපෘතියක් පටන්ගත්තනේ. චිත්‍රපටයේ තිර රචනය චිත්‍රපට සංස්ථාවෙන් බලලා අනුමත වුණාට පසුව බැංකු ණය දුන්නා. ඒක ටිකටික ගෙවන්න ඕන. මමත් ව්‍යාපාර කරන ගමන් ණය ඉල්ලුවා ඒ ණය ව්‍යාපෘතිය නිසා ගොඩාක් අය චිත්‍රපට කරන්න යොමුවුණා. මම පොලු තිබ්බේ නෑ, අතින්හරි ගෙව්වා. මේකෙන් හොඳ සහ නරක කියන දෙවර්ගයේම චිත්‍රපට කෙරුණා. ණය ආධාර ක්‍රමය නිසා ඇත්තෙන්ම චිත්‍රපට හැදුණා...

මේවෙද්දී වාර්තාගත ආදායමක් ඉපයූ ඔබේ නිර්මාණය මොකද්ද...?

‘යශෝධරා’ තමයි ඉහළම ආදායම් වාර්තාවක් තිබ්බේ. ඒවගේම විජයබා කොල්ලය, කුසපබා ලාභ ලැබුවා. යශෝධරා ලොකුම ආදායමක් ලැබුවේ නෑ.ඒත් වියදමයි ආදායමයි අතර යම් ලාභයක් ආවා....කුසපබාට 10දෙනෙක් සල්ලි යෙදෙව්වා...

සිනමාශාලා අර්බුදය ඔබ දකින්නේ කොහොමද..? ව්‍යාපාරිකයකු විදිහට සහ සිනමාවට ඇල්මක් දක්වන්නකු විදිහට ඒ සඳහා ඔබේ යෝජනා මොනවද...?

සිනමාශාලා අලුතින් හැදෙන එකනම් හොඳයි...පසුගිය කාලයේ සිනමාශාලා වැහිලා ගියා. ඒවා ගොඩක් පරණ සිනමාශාලා තමයි. සිනමාශාලාවල ප්‍රදර්ශනය පිළිබඳ ප්‍රශ්න තියෙනවා. චිත්‍රපටයකට නියමිත ප්‍රදර්ශන කාලයක් ලැබෙන්නේ නෑ. චිත්‍රපටයක් ඇවිත් සතියෙන් දෙකෙන් තව එකක් එනවා. ඒකෙන් වෙන්නේ කලින් ආව චිත්‍රපටය ගැලවෙන එක. අනික ඒ එන චිත්‍රපට පෙන්වන්න සිනමාශාලා නෑ. කොළඹ වුණත් හරිහමන් සිනමාශාලාවක් නෑ. . PVR එක විතරයි තියෙන්නේ...ඒත් . PVR එකේ චිත්‍රපටයක් බලන්න මිනිස්සුන්ට අමාරුයි....ඒවගේ ටිකට් මිලත් එක්ක බලද්දී. කොළඹට හරිහමන් සිනමාශාලාව අත්‍යවශ්‍යයි...මම හිතන්නේ මාසයක් හරිවිදිහට සිංහල චිත්‍රපටයක් දුවන්න ඕන. ඒ අතරතුර තව චිත්‍රපට නොදා මාසයක කාලයක් අනිවාර්යයෙන් චිත්‍රපටයකට දෙන්න ඕන. ඒක මාසයම දුවනවා නම් ඒ මාසෙන් පස්සේ තව චිත්‍රපටයක් දාන්නත් ඕනා...අනික චිත්‍රපට බෙදාහැරීමේ නියාමනයක් අවශ්‍යයි. ඒක එච්චර අමාරු දෙයක් නෙවෙයි. චිත්‍රපට සංස්ථාවට ඒකට බලය තියෙනවානේ. ඔවුන්ගේ ඒකමිතියක් තිබිය යුතුයි. දැන් චිත්‍රපට සංස්ථාවට නීතිමය අතින් බලයක් තිබෙනවානේ...අනෙක ඡ් සිනමා කියා දෙයක් තියෙනවා. ඒකනම් හරිම අසාර්ථකයි. ඒකේ ජරමර ගොඩායි. සිනමා ශාලාවකට 25000ක් විතර ගෙවන්න ඕන ලයිෂන් එකට චිත්‍රපටය පෙන්වීම වෙනුවෙන්. එහෙම සල්ලිත් දීලා චිත්‍රපටය ඡ් සිනමා ශාලාවලට දැම්මත් හරියට පේන්නේ නැති තත්ත්වයක් තියෙනවා. ඡ් සිනමාව ප්‍රායෝගික නැහැ. 2ඬ සිනමාව ආරක්ෂිතයි. චිත්‍රපට සංස්ථාව බලධාරියා නම් කළයුත්තේ බෙදාහැරීමේ නියාමනයක් කරන්න ඕන. සංස්ථාව බලධාරියා නොවෙනවානම් ඊටවඩා වෙනස් ක්‍රමයක් අපි හදාගන්න ඕන. මොකක් හෝ ඒකමිතියක් තිබිය යුතුයි. දැන් ‘ක්ෂීර සාගරය කැලඹිණි’ දැම්මා, ‘ගුත්තිල’ දැම්මා, ළඟදී ජයන්ත චන්ද්‍රසිරිගේ ‘මිදුණු විශ්වය’ දානවා, ඒවගේ එක ළඟ චිත්‍රපට ගොඩක් දැම්මාම පෙන්නන්න සිනමාශාලාත් මදි..ඉස්සර ඉංග්‍රීසි චිත්‍රපටවලට වෙන්වූ සිනමාශාලා තිබ්බා. නිව් ඔලිම්පියා, රීගල් වගේ ඒවා. ඒ සිනමාශාලා වෙනත් චිත්‍රපටවලට දෙන්නේම නෑ. ඒ කාලයේ ඒ ක්‍රමවේදය හොඳටම ක්‍රියාත්මක වුණා. බූඩිගේ සිනෙසිටි එක දැන් දෙමළ චිත්‍රපටවලටම වෙන්වෙලා. ඒක හොඳයි. මම කියන්නේ ඒ ක්‍රමය තියෙනවා නම් ඒකත් හොඳයි. . PVR එකේ බොහෝදුරට සිංහල චිත්‍රපටවලට ශාලා එකක් හෝ දෙකක් වෙන් කරනවා, අනෙක් ඒවගේ වෙනත් භාෂාවල චිත්‍රපට.

සාහිත්‍ය කෘති ආශ්‍රයෙන් සිදුකරන සිනමා නිර්මාණයන්ට අතගැසීමට කලින් ඔබ එයට පාදක වූ නවකතාව කියවනවද..?

අපි ඉන්නේ ඉතින් පොත් එක්කනේ...ඒ නිසා අනිවාර්යයෙන් කියවනවා..මට කොහොමත් කියවීමේ පුරුද්දක් තියෙනවා...

මේ දිනවල තිරගත වන ඔබේ ‘ක්ෂීර සාගරය කැලඹිණි’ චිත්‍රපටයට ඔබට අදහස් ආවේ කොහොමද...?

එය රසිකයෙක් ලෙස ඔබ අගය කරන්නේ කෙසේද..?

සුනිල් ආරියරත්න මහාචාර්යතුමාමයි ඒකට යෝජනාව ගෙනාවේ. සයිමන් නවගත්තේගම ශූරීන්ගේ මේ පොත චිත්‍රපටයකට නඟන්න හොඳම පොතක් කියලා එතුමාම කිව්වා. සිනමාත්මකව වගේම දේශපාලනිකව අදහසකුත් තියෙනවා...මම නම් හරිම කැමැතියි. හොඳම චිත්‍රපටයක්...ලංකාවේ නිර්මාණයක් කියන්නත් බැරි තරම්...

මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ඔබේ සුසංයෝගය සිනමාවේ කැපී පෙනෙනවා. ඔබ ඔහුව දකින්නේ, ඔබට ඔහුව දැනෙන්නේ කොහොමද..?

ඔහු සමඟ වැඩ කරන්න පහසුද...?

ඔහු එක්ක චිත්‍රපට 03ක්ම කළ නිසා අපේ සුසංයෝගයක් ප්‍රේක්ෂකයාට දැනෙනවා ඇති....එහෙම හිතනවා ඇති..මා කලින් කීවා වගේ ඔහු එක්ක වැඩ කරන්න හරිම පහසුයි....කිසිම කරදරයක් දෙන්නේ නැහැ අපට.

ඔබේ ටෙලිනාට්‍ය නිෂ්පාදනය ගැන කතා කළොත්...?

ටෙලිනාට්‍ය කිහිපයක්ම කළා.. ‘ස්වයංජාත’ කළා.. ඒක අධ්‍යක්ෂණය සුදත් රෝහණ. ඒක අපි හතරදෙනෙක් නිෂ්පාදනය කළා. බණ්ඩාර ඇහැලියගොඩ, බන්දුල ඒකනායක, චන්න ප්‍රනාන්දු සහ මම.. ‘තනි අතට යන පාර’ (One Way)  නිෂ්පාදනය කළා. ඒක අපේ සෙට් එකේ හතරදෙනෙක් කළේ... අධ්‍යක්ෂණය ලලිත් රත්නායක..‘අප්පච්චි’ අපේ සෙට් එකේ හතරදෙනෙක් නිෂ්පාදනය කළේ. අධ්‍යක්ෂණය ආනන්ද අබේනායක. ‘මහ පොළොව’ත් අපේ සෙට් එකේ හතරදෙනෙක් නිෂ්පාදනය කළා, අධ්‍යක්ෂණය සුමිත් රත්නායක..

ඔබේ මූලික ව්‍යාපාරය වන පොත් ප්‍රකාශනය සම්බන්ධයෙන් යමක් කීවොත්...?

මේ ව්‍යාපාරයට දැන් වසර 50ක් වෙනවා...1973දී තමයි ආරම්භ කළේ. සාමාන්‍ය විදිහට කරගෙන යනවා. කොරෝනාවලින් පස්සේ වෙනස් වුණා. දැන් තෝරා බේරා ගත් පොත් තමයි කරන්නේ. විකිණෙන පොතක් තමයි කරන්නේ....කොහොමහරි පොත් විකුණාගන්නත් ඕනනේ. අනික දැන් පොත්වල මිලත් වැඩියි...මිනිස්සුන්ට ගන්න අමාරුයි. මූල්‍ය වියදම් පැත්තත් වැඩියි. ඒ නිසා ලොකු ලාභයක් තියාගන්න බැහැ. දැන් පොත් ප්‍රදර්ශනවල තත්ත්වයත් අඩමානයි....පොත් ප්‍රදර්ශනවලට මිනිස්සු නම් එයි. ඒත් පොත් ගනිවිද කියන්න බැහැ...

ඔබේ සිනමා නිර්මාණ අන්තර්ජාතික මට්ටමින් ඇගයීමට ලක්වූ අවස්ථා සිහිපත් කළොත්....?

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ මගේ නිෂ්පාදනයක් වූ ‘ආකාස කුසුම්’ සඳහා ‘සිල්වර් පීකොක්’ ’ (Silver Peacock Award) සම්මානය හිමිවුණා. ප්‍රසන්නම අධ්‍යක්ෂණය කළ ‘ගාඩි’ සිනමා කෘතියත් අන්තර්ජාතික සම්මාන උලෙළ නියෝජනය කළා. අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ ‘අසන්ධිමිත්තා’ ත් අන්තර්ජාතික ඉදිරිපත් කළා.

ඔබ නැරඹූ චිත්‍රපටවලින් ඔබ පෞද්ගලිකව කැමැති නිර්මාණය...? කැමැත්තට හේතුව....?

විජය ධර්ම ශ්‍රීී‍්‍ර අධ්‍යක්ෂණය කළ ‘දුහුළු මලක්’ චිත්‍රපටයට ආසාවක් තිබෙනවා. ආසා වෙන්න හේතුවක් ඉතින් කියන්න අමාරුයි...(සිනාසෙයි.).

සමස්තයක් ලෙස අන්තර්ජාතික තලය සසඳද්දී අපේ සිනමාව තියෙන්නේ කොතැනද..?

ඇත්තෙන්ම අපි තව දුර යන්නෙ ඕනේ. අතරින් පතර අන්තර්ජාතික මට්ටමේ තරඟ කරන්න පුළුවන් නිර්මාණයක් බිහිවෙනවා නම් හොඳයි. කලාත්මක සහ වාණිජ කියන දෙපැත්තෙන්ම ඉදිරියට යන්න ඕනා. මේ ළඟදී මම බැලුවා ඔස්කාර් සම්මාන ලැබූ කොරියන් චිත්‍රපටයක්..ඒක මට නම් හරිම අවුල්...

ඔබ වැනි නිෂ්පාදකයන් සිනමාවට යොමුවුණාට බොහෝ පිරිසක් අද වනවිට චිත්‍රපටයකට මූල්‍යමය දායකත්වය දෙන්න පසුබට වෙන බවක් පේනවා...?

සිනමාශාලාවල දැන් තියෙනවා දර්ශන වාර 04ට චිත්‍රපට 04ක් පෙන්නනවා...මේක ප්‍රායෝගිකව...?

මෙතන තියෙන්නේ එයාල Online ඔළුවේ තියාගෙන ඔය වැඩ කරන්නේ. Online ඔළුවේ තියාගෙන සිනමාශාලා හසුරවනවා. ඉදිරියේදී ජනතාව ඉඳීවි කියලා හිතාගෙන සිනමාහල් හසුරවන්නේ.... මනෝ විකාරයක් වගේ වැඩක් මේක. 90%ක් ඉන්නේ රටේ සාමාන්‍ය ජනතාව. සාමාන්‍ය ජනයා Online බලන්නේ නැහැනේ.එයාලා පත්තරේකින් හරි, ටීවී එකෙන්හරි බලලා තමයි චිත්‍රපට ප්‍රදර්ශනය දකින්නේ...අද චිත්‍රපටය බලපු කෙනා උදේ 10:30ට අහවල් චිත්‍රපටය තියෙන්නේ කියලා, හෙට අනිත් කෙනා යද්දී ඒ චිත්‍රපටය නැහැ. එයාලගේ තර්කයක් තියෙනවා Online කෙරෙන්න ඕනමයි කියලා. ඒක සාර්ථක වේවි තවත් කාලයක් යද්දී.

අද සිනමාව ඔබේ ඇසින්....? තරුණ පරපුර අතට ගිය සිනමාව තුළ ඔවුන් පරිවර්තනීය වෙනසක් කරාවිද....?

තරුණ අයගේ චිත්‍රපටයක් ආවොත් කටින්කට ගිහින් ඒක ආරංචි වෙනවා. ගජමෑන් අවුරුදු ගණනක් ගිහින් එළියට දාගත්‍තා. හොඳ චිත්‍රපට එන්නේ නැහැ. හුඟාක්දුරට ඉඩධපබ ටඪතථඵ කරන එකෙන් කවුද හොඳ කියලා හොයාගන්න පුළුවන්....දැන් ර්‍ථඩධදඥ එකෙන් ඉඩධපබ ටඪතථඵ කරන්න පුළුවන්නේ...ඒවා සාර්ථක වෙන්න පුළුවන් තරුණයන්ට ඉඩක් දුන්නොත්. ඔවුන්ට අත දෙන්න පිරිසත් අඩුයිනේ...

ඔබේ මීළඟ නිර්මාණ කාර්යය ගැන දැනටමත් පිඹුරුපත් සකසා අවසන්ද....?

තවම ඒ ගැන අදහසක් නැහැ. අදහස් නම් දෙන අය ඕනතරම් ඉන්නවා....තිර රචනා දීපු ඒවත් තියෙනවා...ඒත් තවම හරියට කිසිම අදහසක් නැහැ..

 

[email protected]