වරින් වර නන්නත්තාර වෙමින් ආ දිරිය ගමනක්

ප්‍රවීණ මාධ්‍ය‍ෙව්දී ප්‍රේම් දිසානායක
අගෝස්තු 24, 2023

 

මෙරට පත්‍රකලා ඉතිහාසය මෙන්ම සිනමා හා සංගිත ඉතිහාසය තුළ නොමැකෙන නාමයක් සනිටුහන් කළ පුරෝගාමියකු වූ, එමෙන්ම අද මේ මොහොත වනතුරුත් මෙරට මුද්‍රණ ක්ෂේත්‍රයේ හා ප්‍රකාශන ක්ෂේත්‍රයේ ඉහළින්ම තම නාමය සනිටුහන් කළ ප්‍රේම් දිසානායකයන්ගේ ජීවිතයේ අත්දැකීම් ඇසුරුකොට ගනිමින් ඔහු විසින් රචනා කරන ලද ‘ප්‍රේම පුරාණය’ ජීවන විත්ති කෘතිය මෙම 25 වැනිදා සවස 3.30 ට ශ්‍රි ලංකා පදනම් ආයතනයේ ශ්‍රවණාගාරයේදී එළිදකී.

අතීත මිහිරියාව සේම තම ජිවිතයේ මේ සා කාලයක් පුරා අත්විඳී බොහෝ කටුක, දුෂ්කර අත්දැකිම්ද සමඟ ජිවිතය ජය ගන්නට කැපවුණු මිනිසකුගේ අප්‍රමාණ ධෛර්ය, ආත්ම විශ්වාසය ගැන කියවෙන මෙම ග්‍රන්ථය ජනගත වන මේ මොහොතේ ආචාර්ය සරත් අමුණුගම සමඟ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ප්‍රධාන දේශන පැවැත්වීමට එක්වේ. එසේම මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, ආචාර්ය මාලිනි ෆොන්සේකා, තිලකරත්න කුරුවිටබණ්ඩාර, කුලරත්න ආරියවංශ, ප්‍රසන්න විතානගේ, සමන් අතාවුදහෙට්ටි ප්‍රේම පුරාණයේ රස මතුකිරිමට එක්විමට නියමිතය.

ඒ සොඳුරු සන්ධ්‍යාවට ප්‍රථම ප්‍රේම පුරාණය පිළිබඳ කතාබහකට එක්වූ ප්‍රේම් දිසානායකයන්ගේ ජිවිතේ රස මතක ස්මරණය කළ මොහොතකි මේ.

ඔබේ ජිවන විත්ති ඇතුළත් ‘ප්‍රේම පුරාණය’ ලිවීමේ අරමුණ වුණේ කුමක්ද?

මගේ ජීවිතේ සංසිද්ධීන් ගැන දන්නා බොහෝ දෙනා, මගේ හිත මිතුරන් බොහෝ කාලයක සිට මට කියමින් හිටියා මේ අත්දැකීම් ලියන්න කියලා. ඔවුන් මගේ ජීවිතේ අත්දැකීම් පිළිබඳ වරින් වර අහලා ඉන් ප්‍රහර්ෂයට පත්වුණා. සමහරු විමතියටත් පත්වුණා. ඒ නිසා තමයි ඔවුන්ගෙන් ඒ ඉල්ලීම මට නිතරම ආවේ. නමුත් මම මේකට කාලයක සිට බොහෝම සූක්ෂම විදියට කට්ටි පනිමින් සිටියා. මගේ කිසිම අපේක්ෂාවක් තිබුණේ නෑ මේ වගේ දෙයක් කරන්න. මගේ ජීවිත කතාව ලියන්න මට අවශ්‍යතාවයක් තිබුණේ නැත්තේ, මම ඒක එච්චර වැදගත්කමක් නැති දෙයක් විදියට දැකපු නිසා. නමුත් මේ වසරේ පෙබරවාරි මාසයේ මට හදිසිසේම හෘද සැත්කමකට ලක්වෙන්නට සිදු වුණා. ඒකෙන් පස්සේ මට පෞද්ගලිකව ලොකු විවේකයක් ලැබුණා. බාහිර කරදරවලින් තොරව, අමුත්තන්ගෙන් තොරව මට ලොකු නිදහසක් හම්බවුණා මේක ලියන්න. මේක ලියන්න අතීත සිදුවීම් මතක් කරනකොට මට පොඩි උත්තේජනයකුත් ඇතිවුණා. කොහොමහරි මාසයක් ගතවෙනකොට මම ඒක ලියලා ඉවරකළා.

 

මේ පොතට එකතු වෙන්නේ ඔබ කලාව ඇසුරේ ලත් අත්දැකීම්ද? එසේ නැත්නම් ඔබේ සම්පූර්ණ ජීවන අත්දැකීම්ද?

මගේ මව්පියන්ගේ සිට මම බිළිඳු අවදියේ සිදුවීම්, මගේ පාසල්විය, තරුණ විය, පසුකාලීන කලාවේ අත්දැකීම් ආදිය ඉතාම සංෂිප්තව මේකට කැටිවෙලා තිබෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සමහර කරුණු කාරණා දිර්ඝව ලියන්න ගියොත් ඒක මහා විශාල පොතක් වෙනවා. ඒක නිසා එළිදරව් කරන්න පුළුවන් යම් යම් සිද්ධීන්, සදාචාරාත්මක හා නීත්‍යානුකුලව ගොනුකරලා තමයි මේ පොත ලිව්වේ. එහෙම ලියන්න බැරි දේවලුත් ගොඩාක් තියෙනවා.

 

පත්තර කලාවට එන්න ඔබට උත්තේජන සැපයුවේ මොනවද?

ඒක පොතේ සවිස්තරාමත්මකව විග්‍රහ වෙනවා. මම හිතන්නේ මුල්ම වස්තු බීජය මට ලැබෙන්නේ මගේ අම්මගෙන්. අම්මා ඉතාම දක්ෂ කෙනෙක්. ඇය ගුරුවරියක් හෝ හෙදියක් වීමේ අපේක්ෂාවෙන් ඉගෙන ගත් කෙනෙක්. නමුත් ඇය ඉතාම අඩු වයසින් විවාහයකට ඇතුළත් වෙලා තිබෙනවා අවුරුදු 16 දි විතර. ඇයගේ අකුරු ඉතාම ලස්සනයි. ඇයට හොඳට අඳීන්නත් පුළුවන්. මට පොඩි කාලේ ඉඳන් ඒ පැත්තට නැඹුරු වීමේ උත්තේජනය ලැබෙන්නේ ඇගෙන්. ඇය තමයි මට බොහෝ දේවල් කියලා දෙන්නේ.

ඒ කාලේ ලංකාදීප පත්තරේ තිබුණා ‘ලස්සන අත් අකුරු’ කියලා තරගයක්. ඒකට අපේ අම්මා මගේ අකුරු පිටපත් කරලා යවලා මට දෙවැනි ස්ථානය ලැබෙනවා. මට මතකයි ඒකට තෑග්ගක් විදියට මට පාකර් පෑනක් ලැබෙනවා. මම එතකොට පහේ පන්තියේ ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්. ඊට අමතරව අම්මා අපිට රසවාහිනි සඟරාව, නවයුගය සඟරාව, ආදිය අරන් දෙනවා. ඒවා කියලත් දෙනවා. එතැනින් තමයි නොදැනුම්වත්ම මේ තැනට එන්න අඩිතාලම වැටෙන්න ඇත්තේ.

 

පාසල් අධ්‍යාපනයෙන් ලැබුණේ මොනවගේ පිටුබලයක්ද?

පාසල් අධ්‍යාපනය මුලින්ම මම ලබන්නේ ගමේ පාසලින්. ඊට පස්සේ තරග විභාගයකින් පාස් වෙලා මම කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ඇතුළත් වෙනවා හයේ පන්තියට. මම ඉගෙන ගන්නේ විද්‍යා විෂයන්. නමුත් ඒ කාලේ විද්‍යා විෂයන් ඉගෙන ගන්න ගමන් අපට තිබුණා විෂයක් වශයෙන් සාහිත්‍යය හදාරන්න. සාහිත්‍ය විෂය සඳහා අපට තිබුණේ ගුත්තිල කාව්‍ය, ජීව භාෂාව, කව් සිළුමිණ, සිංහල බෝධි වංශය වැනි ග්‍රන්ථ. සිංහල බෝධි වංශය කියන්නේ හරි බැරෑරුම් පොතක්. පාලි සංස්කෘත දෙකම අඩංගුයි. මේවා උගන්වපු සාහිත්‍ය ගුරුවරයා අපට සාහිත්‍ය පිළබඳ පුදුමාකාර විදියේ චිත්‍රයක් අපේ සිත්තුළ මැව්වා. පුදුම තරමේ රසආකරයකට අප රැගෙන ගියා. ඒ කාලපරිච්ඡේදය තුළ. ඒවත් එක්ක මම සාහිත්‍යය පැත්තට නැඹුරු වුණා. ඒ අතර විද්‍යාලයේ කරපු සිසුකිරණ සඟරාවටත් මම සම්බන්ධ වෙලා හිටියා. ඊට පස්සේ මම පත්තරවලට ලියන්න පටන් ගත්තා. ඉස්සරලම මගේ නිර්මාණයක් පුවත්පතක පළවෙන්නේ 1965 දී. ඇමරිකානු අධිරාජ්‍යවාදින් වියට්නාමයට එරෙහිව යුද්ධයට පැටළුණු අවස්ථාවේ ලියවුණු කවියක් ඒක. ඒකාලේ මේ යුද්ධය බරපතළ විදියට ලෝකේ පුරාම අවධානයට යොමු වෙලා තිබුණා. ‘ජනසතිය’ පුවත්පතේ තමයි මේ කවිය පළවෙලා තිබුණේ. එතකොට එහි කර්තෘධූරය දැරුවේ පියල් වික්‍රමසිංහ මහත්මයා. ඊට පස්සේ දිගටම මම කවි, කෙටිකතා ලියන්න පටන් ගත්තා. ඒකාලේ ඉඳන්ම මට තිබුණේ වාමාංශික නැඹුරුවක්. ඒක මගේ මව්පියන් තුළත් තිබුණා. පාසලේදිත් මම ලංකා ජාතික ශිෂ්‍ය සංගමයට සම්බන්ධ වෙනවා. ඒක කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ එකක්. මේ හරහා ඒ දවස්වල පැවති රජයට විරුද්ධව මම දේශපාලන ලිපි ලියන්න පටන් ගන්නවා. විශේෂයෙන් ඇත්ත පත්තරේට. ඇත්ත පත්තරේ සාමාන්‍යයෙන් සතියකට ලිපි දෙකක් විතර මගේ ලිපි පළවුණා. මේ අවස්ථාවත් සමඟ මට විශාල නැඹුරුවක් ඇතිවුණා විද්‍යා විෂයන් හදාරමින්ම පත්තර කලාව පැත්තට නැඹුරු වන්නට.

උසස් පෙළ සමත් වෙලා වෛද්‍ය ශිෂ්‍යයෙක් විදියට ඒ මාවත තෝරා ගැනීම වෙනුවට මම කළේ අනිත් පැත්තට යොමු වුණු එකයි. ඒකට ගෙදරින් විරෝධයක් ආවා. නමුත් ඒක මම එච්චර ගණන් ගත්තේ නෑ. මම පවුලේ වැඩිමල් දරුවා විදියට මවිපියෝ තුළ මට දැඩි ආදරයක් තිබුණා. ඒ නිසා ඔවුන් බරපතළ විදියට මගේ තීරණයට විරෝධය පෑවේ නෑ. මම මගේ තීන්දුව ගත්තා. 1967 ඉස්කෝලෙන් අයින් වුණ දාට පහුවදාට පහුවදා මම ඇත්ත පත්තරයට සම්බන්ධ වුණා. බී. ඒ. සිරිවර්ධන මහත්තයා මාව ගන්නවා පත්තරේට. ‘ඇත්ත’ පත්තරේ වැඩ කරපු කාලය සහ ඒ ඇසුරු කරපු මිනිසුන් මට තක්සලාවක් වුණා. පුදුමාකාර සමාජ මෙහෙවරක් කරපු, අරුම ගතිගුණ තිබුණ පිරිසක්. එතෙන්දි මගේ ජීවිතේට ලොකු පන්නරයක් ලැබුණා.

‘ඇත්ත’ පත්තරයට මම වැඩියෙන් ලිව්වේ දේශපාලන ලිපි. ඉඳහිටලා කෙටිකතා ආදියත් ලිව්වා. ඒවා හරිම කඨෝර භාෂාවකින් ලියවුණ කටුක ලිපි. ඒ දවස්වල පැවතුණු රජයට විරුද්ධව ලියපු ලිපි තමයි මේ අතර බහුල වුණේ. ඒ සමඟම මම පත්තරේ චිත්‍ර ශිල්පියකු විදියටත් වැඩ කළා. මෙහෙම තමයි මගේ ගමන් මාවත අධ්‍යාපනයෙන් වෙනස් වෙලා වෘත්තීය පැත්තට යොමු වුණේ.

හැබැයි මගේ වෘත්තීය ජීවිතේ පුවත්පත් කලාවෙන් පටන් ගත්තට පස්සේ මම විවිධ ඉසව් සොයාගෙන යනවා. නමුත් ඒ හැමතැනකම මම රැඳීලා තියෙන්නේ ඉතාම සුළු කාලයයි. ටිකක් හරි වැඩි කාලයක් හිටියේ ‘ඇත්ත’ පත්තරේ. මම හිතන්නේ මාස 6ක් වගේ කාලයක් හිටියා. අනිත් ඒවගේ සතියයි. දෙකයි. නැත්නම් මාසයයි, දෙකයි.

උදාහරණයක් විදියට කිව්වොත් මට ගුරු පත්වීමක් ලැබෙනවා 1970 දි. සිරිමා බණ්ඩාරනායක රජය විද්‍යා ගණිත ගුරු පත්වීම් දුන්නා. විද්‍යා විෂයන් ඉගැන්වීම සඳහා මට හම්බවෙනවා ගුරු පත්වීමක් රත්නපුරේ සුමන බාලිකා විද්‍යාලයට. මම යනවා ගිහින් උගන්නනවා. එක දවසින් මට රස්සාව එපා වෙනවා. ඊළඟ බස් එකේ නැඟලා මම කොළඹ එනවා. මම දන්නෙ නෑ එපා වෙන්න හේතුව මොකක්ද කියලා. අදටත් මම දන්නෙ නෑ ඇත්ත පත්තරෙන් අයින් වෙන්න හේතුව මොකක්ද කියලා. මට හිතුණා. මම අයින් වුණා. ගුරු පත්වීමත් ඒ වගේ තමයි. සාමාන්‍ය සිරිත වන්නේ කෙනෙක් එකක් අතහැරලා වෙනත් එකකට යන්නේ තවත් අත්වැලක් තියෙද්දිනේ. නමුත් මම එහෙම නොවෙයි. එහෙම ඇවිත් මම නන්නත්තාර වෙලා, රස්තියාදු වෙලා දුක්විඳීනවා. මට හිතෙනවා මේ අයින්වීමේ, මේ අතහැරීමේ සංකල්පය මා තුළ නොතිබුණා නම් අද මට මේ තත්ත්වය ලැබෙන්නෙ නෑ කියලා.

 

ඔබ සිනමා පත්තර කලාවට යොමු වෙන්නේ කොහොමද?

බලාගෙන යනකොට මම නොකරපු දෙයක් නෑ. මම මගේ අධ්‍යාපනය ප්‍රෙයා්ජනයට ගත්තේ නෑ. මම ප්‍රයෝජනයට ගත්තේ මගේ හැකියාවන්, කුසලතාවයන් විතරයි. මම නඩත්තු වුණේ හැකියාවන් මත විතරයි. මගේ අධ්‍යාපනය තුළ අදටත් මට ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව ගැන මට හිතලා දෙයක් කියන්න අමාරුයි. ඒවා දැන් මගෙන් වියකිලා. නමුත් මම අධ්‍යාපනයෙන් මිනිසෙක් විදියට නැඟී සිටින්න දේවල් ගත්තා හැරෙන්න ඒ දේ මම වෘත්තිය වශයෙන් කරන්න පෙලඹුණේ නෑ. මගේ කුසලතාවයන්, හැකියාවන් උලුප්පලා, උද්දීපනය කරලා මම කටයුතු කරන්න පටන් ගත්තා. ඒක තමයි මගේ වෘත්තිය ජීවිතය කර ගත්තේ. ඒ අතරින් එක ඉසව්වක් තමයි සිනමා පත්තර කලාව.

සිනමාව, කලාව පිළිබඳ මා තුළ විශාල උනන්දුවක් සහ කැපවීමක්, ආදරයක් තිබුණා. හැබැයි මම ඒ හරහා පත්තරයකට යොමු වෙන්න මට වේදිකාවක් තිබුණේ නෑ. මට දේශපාලන ලිපි ලියන්න වේදිකාවක් තිබුණා. නමුත් සිනමාවට එහෙම ඉඩක් තිබුණේ නෑ. ඒ නිසා මම රසඳුන කියලා සිනමා පත්තරයක් පටන් ගත්තා. ඒ නම තමයි පස්සේ කාලෙක ධර්මසිරි ගමගේ මහත්තයා මගෙන් ඉල්ලා ගත්තේ. රසඳුන කියන්නේ ඒ දවස්වල පළවුණු සිනමා පත්තර කලාව උඩු යටිකරු කරපු පත්තරයක්. 80 දශකයේ ආපු මේ පත්තරයේ තිබුණු විශේෂත්වය තමයි පිටු සැකසුම් කලාවේ වෙනස. තිබුණු මුද්‍රිත අකුරු වෙනුවට අකුරු නිර්මාණය කළා. ඒ වගේම ඡායාරූප සංස්කරණයෙත් වෙනස්කම් සිදුකළා. මේකත් එක්ක විශාල පිරිසක් මේ පුවත්පතට ආකර්ෂණය වුණා. නමුත් මේකත් මම මඟදි අතහැරියා.

ඊට පස්සේ ටික කාලයකදි මේ පත්‍රය දැකපු එවකට ප්‍රංශයේ හිටපු ආචාර්ය සරත් අමුණුගම මහත්මයා මගෙන් ඉල්ලීමක් කළා වෙනත් පත්තරයක් පටන් ගන්න කියලා. ඒත තමයි ‘විචිත්‍ර’ කියලා ආවේ. ‘විචිත්‍ර’ පුවත්පතත් රටේ විශාල ආන්දෝලනයක් ඇති කළ, ආදරයට පත්වුණු පත්තරයක් වුණා. ඒකෙන් තමයි ලංකාවේ ජනප්‍රිය සංස්කෘතිය කියන සංකල්පය ඇති වුණේ. එච්. ආර්. ජෝතිපාලයන් ගේ මරණයත් එක්ක සරත් අමුණුගම මහත්මයා විශේෂ ලිපියක් ලියනවා. ඒ ලිපිය බොහෝ සංවාදයට බඳුන් වුණා. මහාචාර්ය සරච්චන්ද්‍ර, රෙජි සිරිවර්ධන, සයිමන් නවගත්තේගම, බී. ඒ. සිරිවර්ධන, අජිත් සමරනායක වැන්නෝ මේ ලිපිය හරහා සංවාදයට එකතු වෙනවා. මේක හරහා මේ සංවාදය ජාතික තලයේ පුවත්පත්වලටත් යනවා. සාමාන්‍යයෙන් සිනමා පුවත්පතකින් පටන් ගත් සංවාදයක් ජාතික තලයට ගිය එකම අවස්ථාව ඒක තමයි. මේ විදියට සමාජයේ විශාල ආන්දෝලනයට ලක් වෙමින් තිබුණු පුවත්පතක් වුණත් මම ඒකෙන් අයින්වෙනවා. නමුත් ආචාර්ය සරත් අමුණුගම මට මේ පුවත්පත කරගෙන යන්න විශාල ලෙස පහසුකම් සපයනවා වගේම උදව් කරනවා. නමුත් මම එතැනිනුත් ඉවත් වෙනවා.

නැවත වතාවක් මම නන්නත්තාර වෙනවා. මිනිස්සු දැඩි ලෙස මගෙන් කරපු ඉල්ලීම නිසා මම නැවතත් පත්තරයක් පටන් ගන්න කල්පනා කරනවා. ඒකාලේ ලංකාවේ පැරැණිම සිනමා පුවත්පත විදියට තිබුණු සිනමාස් සමාගමේ ‘කලා’ සඟරාව මම සල්ලිවලට මගේ නමට ගන්නවා. ඒක සඟරාවක් විදියට නොව පත්තරයක් විදියට මම පළකළා. මගේ අර්ථපතිත්වයෙන් තමයි ඒක කළේ. නමුත් ඒ දවස්වල අතිශය දරුණු විදියට ජේ.වි.පී. තර්ජන තිබුණා. 1989 විජය කුමාරතුංග ගේ පින්තුරයක් දැමිමත් මරණයට හේතුවක් වුණා ඒ කාලේ. පත්තරේ මුද්‍රණය කරන මුද්‍රණාලයටත් තර්ජන ආවා. මේ සියලු අලකලංචි මැද්දේ පත්තරය කර ගන්න බැරි වෙනවා. ඒ තර්ජනවලට අවනත නොවී අපි පත්තරය ගැහුවා. නමුත් මරණය බොහොම සිල්ලර දෙයක් බවට පත්වුණා. ඒ නිසා පත්තරය නතර වෙනවා.

ඊට පස්සේ ජීවිතේ මිනිහෙකුට විඳීන්න සිද්ධවෙන කටුක, අමිහිර, ආන්දෝලනාත්මක සිද්ධි කිපයකට මට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒවා මේ වගේ ලිපියකට විස්තර කරන්න අමාරුයි.

 

ඔබ නැවත නැඟිටින්නේ කොතැනින්ද?

ඊට පස්සේ ලංකාවේ කැසට් ව්‍යාපාරය පටන් ගන්නවා විජය රාමනායක. මෙතැනදි ලංකාවට ආධුනික වෙච්ච මේ භාණ්ඩය නිර්මාණය කරන්න වෙන්නේ මට. කැසට් කවර නිර්මාණය මට ආධුනික දෙයක්. ඒ කාලේ ලංකාවේ වර්ණ මුද්‍රණය තිබුණේ නෑ. වර්ණ විභේදනය තිබුණෙත් නෑ. සියලු දේ කළේ සිංගප්පූරුවේ. නමුත් අපි කොහොම හරි මේ අභියෝගය ජය ගත්තා. ශිල්පියා ගේ නම, කැසට් කවරයේ නම පවා ඇන්දේ අතින්. කැසට් කවරයක් නිර්මාණය කරන්න විශාල පරිශ්‍රමයක් දරන්න සිද්ධ වුණා. හැබැයි මම කරපු කලාත්මක නිර්මාණත්මක කවර නිසා තව වැඩ රාශියක් මට ආවා. ලංකාවේ කැසට් ව්‍යාප්ත වුණේ ලක්ෂ ගණනින්. මේකත් සමඟ හැම කැසට් පටයකින්ම මගේ නමත් ජනගත වුණා. මේ නිසා මගේ නමට විශාල වාණිජ ඉල්ලුමක් ලැබෙනවා. නිර්මාණය කරලා ගන්න මුදලට වඩා විශාල වටිනාකමක් ඒකෙන් මගේ නමට ලැබුණා. ඒ නම හරහා මට චිත්‍රපටවලට සහ වෙනත් ආයතන සඳහාත් වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ මම හිතනවා ප්‍රේම් දිසානායක කියන පුද්ගලයා හරහා කෙරුණු වැඩ ආයතන ගත කරන්න. ඒ අනුව තමයි මම ෆාස්ට් ඇඩ් ආයතනය ආරම්භ කරන්නේ. මේකට ෆාස්ට් කියලා නම දැම්මෙත් මම ෆාස්ට් වැඩ කරන කෙනෙක් නිසා. කොහොම හරි මේ පටන් ගැනීමත් සමඟම මට විවිධ දේශපාලන නායකයන්ගේ සමීප ඇසුර ලැබෙනවා. ඒ අය මගේ සේවාව අපේක්ෂාවෙන් එනවා. ඒ සමඟම මට ලැබෙනවා ලංකාවේ තිබෙන ප්‍රධාන මුල්‍ය ආයතන තුන, ඒ කියන්නේ මහජන බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සමාගම සහ ලොතරැයි මණ්ඩලයේ දැන්වීම් ඒජන්සිය විදියට මගේ ආයතනයට කටයුතු කරන්න ලැබෙනවා. විශාල වැඩ කොටසක් කරන්න තියෙන නිසා සේවකයින් බඳවා ගෙන ආයතනය පුළුල් කරන්න මට සිද්ධ වෙනවා. මේ විදියට තමයි මේ ගමන මම ආවේ. ඊට පස්සේ මුද්‍රණ කටයුතු වෙනුවෙන් ෆාස්ට් පි‍්‍රන්ටර්ස් සහ ප්‍රකාශන කටයුතු වෙනුවෙන් ෆාස්ට් පබ්ලිෂර්ස් පටන් ගන්නවා. මේ ඔක්කොම එකකට එකක් සබැඳී ව්‍යාපාර.

මේ ජයග්‍රාහි මාවත මම ගමන් කරන්නේ කටු පඳුරු ගල් මුල් රැසක් එක්ක. ඒවායින් මම පුදුමාකාර විදියට බැට කෑවා. ජීවිතේ කිසිම මිනිසෙකුට ජය ගන්න බැරි බාධක මම ජය ගත්තා. සමහර වෙලාවට මට පුදුමයි ඒවා කොහොමද මම කෙරුවේ කියලා. වෙන පුද්ගලයකුට මට වුණු දේවල් සිද්ධ වුණා නම් සියදිවි නසා ගන්නවා නැතිනම් පිස්සෙක් වෙනවා. හැබැයි මම ඒවා ඔක්කොම විඳදරා ගෙන ජීවිතයට මුහුණ දුන්නා. එහිදී මම ගත්ත තීන්දු කිසිම කෙනෙක් ගන්න එකක් නෑ. ගේ දොර විකුණලා පාරට බහින තීන්දු පවා මම ගත්තා. හැබැයි එහෙම කරලා මම නැගිට්ටා. ආපස්සට හැරිලා බලත්දි මට සතුටක් තියෙනවා.

ඇත්තටම මෙතන තියෙන්නේ ආත්ම ධෛර්යය හා ආත්ම විශ්වාසය පිළිබඳ කතාවක්. ඕනම කටුක දෙයකට මුහුණ දෙන්න පුළුවන් කතාවක්. ජීවිතේ ජයග්‍රහණ පිළිබඳ සිමා මායිම් නැති ඉලක්ක හා අපේක්ෂාවන් සොයා යන කතාවක්. මේ පොත කියවලා කෙනකුට ආදර්ශයක් ගන්න පුළුවන් කියලා මම හිතනවා. හැබැයි මේකේ තිබෙන දේවල් අත්හදා බලන්න නම් යන්න එපා. ඒක අති බිහිසුණු ක්‍රියාවක්.

 

[email protected]