රන්වලයන්ගේ මෙහෙවර අධ්‍යයනය කිරීම කාලීන අවශ්‍යතාවක්

සංගීතවේදී ප්‍රදීප් මුතුකුඩආරච්චි
දෙසැම්බර් 7, 2023

 

ලයනල් රන්වලයන්ගේ 84 වැනි ජන්ම දිනය සහ ඔහුගේ 20 වැනි ගුණානුස්මරණය නිමිතිකරගෙන සංගීතවේදී ප්‍රදීප් මුතුකුඩආරච්චි විසින් රචනා කරන ලද "හෙළ ගීයේ රන් සලකුණ" ග්‍රන්ථය ඉකුත්දා එළිදැක්වුණි. රන්වල බළකායේ ප්‍රමුඛපෙළේ සාමාජිකයකු මෙන්ම ජනසංගීතය පිළිබඳ පර්යේෂණාත්මක කාර්යයන්හි නිරත වන හෙතෙම සිය කලා නිර්මාණ දිවිය පිළිබඳවත් රන්වල බළකාය සමඟ ඇති සබඳතාව පිළිබඳවත් අදහස් දැක්වීමේ අරමුණින් සරසවිය හා මෙසේ එක්විය.

"හෙළ ගීයේ රන් සලකුණ" ලියන්න සිතුවිල්ල පහළ වූ ආකාරය පැහැදිලි කළොත්....?

මම දැනට වසර 20කට අධික කාලයක් තිස්සේ රන්වල බළකායේ ප්‍රාසංගික ශිල්පියකු මෙන්ම සංගීතවේදියෙක් විදිහට කටයුතු කරන නිසා මට දැනුණු එක් අඩුවක් තමයි ලයනල් රන්වලයන්ගේ නිර්මාණ එකතැනකට ලිඛිතව ගොනුවෙලා නැහැ කියන දේ. ඒ අඩුව පිරවීම මගේ එක් අරමුණක් වුණා. ඒවගේම කාලයක් තිස්සේ මෙම නිර්මාණ ඇසුරු කිරීමෙන් ලද සියුම් අවබෝධය මාව මේ කාර්යයට පොලඹවන්න එක් හේතුවක් වුණා. මම පාසල් හා විශ්වවිද්‍යාල මට්ටමින් එතුමා ගැන උගන්වද්දී එතුමා ගැන කරුණු සොයාගන්න ලිඛිත මූලාශ්‍ර නැති බව පෙනීගියා. මේ හිඩැස පිරවීමත් ගුරුවරයෙක් ලෙස මම මුහුණපෑ ගැටලුවලට පිළියම් සෙවීමත් යන කරුණු එකතුකරගෙන තමයි මෙම කෘතිය ලියන්න සිතුවිල්ල පහළවුණේ.

ලයනල් රන්වලයන් සහ ඔහුගේ නිර්මාණ ශෛලිය ඔබට දැනෙන්නේ කෙසේද....?

ලයනල් රන්වලයන් හැමතිස්සේම කිසියම් නාද මූලාශ්‍රයක්, ඒ කියන්නේ අපේ සාම්ප්‍රදායික ජනනාද රටාවක් හෝ නාද රටා කිහිපයක් ඔහුගේ නිර්මාණයන් සඳහා පදනම් කරගන්නවා. ඔහු එය පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඇතැම් ගීත සඳහා සමහරවිට එක් නාදරටාවක් පමණයි භාවිත කර තිබෙන්නේ. ඔහු එය වැඩි වර්ධනය කර තිබෙනවා . සමහර ගීත සඳහා ජන නාදරටා එකකට වැඩි ප්‍රමාණයක් භාවිත කර තිබෙනවා. දැන් "ගම අවුලඤ්ඤං" වගේ ගීතයක් ගත්තොත් නාදරටා 03ක පමණ එකතුවක් තියෙන්නේ. "වන්නම් සව්දම්" ගීතය ගත්තොත් මොනරාගල ප්‍රදේශයේ බලි, ශාන්තිකර්මවල ඇහෙන එක නාදරටාවක් මත පිහිටා තමයි ඔහු ඒ ගීතය නිර්මාණය කරන්නේ. ඔහුගේ නිර්මාණ ශෛලියේ සරල ගී ශෛලිය ඒ විදිහයි. ඔහු ජන සංගීතය ඇසුරින් නිර්මාණය කර තිබෙන නිර්මාණ ප්‍රධාන කොටස් 02කට බෙදන්න පුළුවන්. එකක් තමයි අපි මේ අහන සරල ගී වැනි නව නිර්මාණ. අනෙක තමයි ප්‍රතිනිර්මාණ. ප්‍රතිනිර්මාණ කියන්නේ අපේ සාම්ප්‍රදායික ජන නාදරටා අරගෙන ඒවට සංගීතය, කටහඬ, බෙර වාදන එකතු කර සංවිධානාත්මකව ඉදිරිපත් කිරීමයි. එතුමාගේ නිර්මාණ ශෛලියේ ප්‍රධාන ලෙස දකින්න පුළුවන් මේ නව නිර්මාණකරණය සහ ප්‍රති නිර්මාණකරණය යන ශෛලීන් ද්විත්වය.

හෙළ ගීයට, ජනශ්‍රැතියට ඔබේ ඇල්ම කුඩා කාලයේ සිටම පැවැතෙන්නක් ද...?

ඔව්. මම ඉපදෙන්නේ බලපිටිය කියන ගමේ. අපේ පැත්තේ තිබුණා කෝලම් වගේ ජන නාට්‍ය. ඒවා මම කුඩාකාලයේ ඉඳන්ම දැක්කා.පාසල් අවධියේ මම කෝලම්වල රඟපාලත් තියෙනවා. මේක වෙස්මුහුණු පැලඳගෙන කරන රංගනයක්. එවැනි දේ නිතරම මම දැක තිබෙනවා. ඒවගේම නාට්‍ය සංදර්ශනවලටත් පුංචිකාලයේ යොමුවුණා. ඒ ඇල්ම කුඩා අවධියේ ඉඳන්මයි එන්නේ. පසුකාලීනව මේ විෂයය හා සම්බන්ධ ඉහළ අධ්‍යාපනයත් එක්ක ඒ ඇල්ම වැඩිවුණා කිව්වොත් හරි.

රන්වල ශූරීන් ජීවත්ව සිටි අවධියේ ඔබ හා ඔහු අතර තිබූ සුසංයෝගය කවරාකාරද ...?

ඇත්තටම ලයනල් රන්වලයන් ජීවත්ව සිටියදී මට ඔහුව මුණගැසී නැහැ. මම රන්වල බළකායට සම්බන්ධ වෙන්නේත් එතුමා මියගියාට පසුවයි. ඒ 2022 වසරේ අගභාගයේ වගේ. මම ඔහුව සජීවීව ඇසුරු කර නැතිවුණත් කොළඹ ආවම ඒ ගෙදර තමයි නවාතැන් ගන්නේ. ඒ අවස්ථාවල ඔහුගේ දේශන සහ පටිගත කිරීම් අහනඑක, එතුමාගේ පුස්තකාලය පරිහරණය කරන එක, එතුමා ලියූ පුවත්පත් ලිපි කියවන එක මගේ පුරුද්දක් වෙලා තිබ්බා. ඒ හරහා තමයි මම ලයනල් රන්වල කියන සංගීතඥයාව හඳුනාගන්න ලැබුණේ කියා මම සිතනවා.

ඔබේ සංගීත නිර්මාණ දිවියට රන්වල ශූරීන්ගේ ආභාසය ලද අයුරු පැහැදිලි කළොත්..?

එතුමා පෙන්වලා දී තියෙනවා ජන ගී ඇසුරින් කොහොමද නිර්මාණයක් කරන්නේ කියන දේ. ඒ පෙන්වාදුන් ක්‍රියාපිළිවෙත, උපක්‍රම, ක්‍රමඋපායන් තමයි මමත් බොහෝ වේලාවට ජන සංගීතය ආශ්‍රයෙන් නිර්මාණ කරද්දී භාවිත කරන්නේ

හෙළ ගීයේ රන් සලකුණ"ට ඇතුළත් ගුවන්විදුලි ගී හා ළමා ගී ලබාගත් ආකාරය පැහැදිලි කළොත්....?

ඔව්, මේ ග්‍රන්ථයට ඇතුළත් වෙනවා ගුවන්විදුලි ගී 16ක් පමණ. ඒවා ගුවන්විදුලි තැටි ගබඩාවේ සංරක්ෂණය කර තිබෙන ගීත. මේවා අපට එළියට ගෙනියන්න බැහැ. මේ පොතේදී ප්‍රස්තාර සහිතව මෙම ගීත ඉදිරිපත් කර තිබෙනවා. කෙනෙක් හිතන්න පුළුවන් කොහොමද එළියට ගේන්න බැරිනම් මේවා ප්‍රස්තාරගත කළේ කියලා. මම විශේෂ අවසරයක් ගත්තා ගුවන්විදුලි පරිපාලන නිලධාරීන්ගෙන් සර්පිනාව තැටි ගබඩාව ඇතුළට ගෙනියන්න. එතකොට ගී අහනගමන් මේ තනු මම සටහන් කරගත්තා, ප්‍රස්තාරගත කරගත්තා. ඒ ගීත 16ම ප්‍රස්තාර සකස් කළේ ඒවිදිහට. එයටත් යම් කාලයක් ගතවුණා. ළමා ගී සොයාගැනීම ගැන කිව්වොත් රූපවාහිනියේ 90 දශකයේ මුල් කාලයේ රන්වල ශූරීන් කළ ළමා ගී වැඩසටහන්වල සංරක්ෂිත පිටපත් රූපවාහිනිය සතුව තිබුණේ නැහැ. ඒ නිසා ඒ ගීත සොයාගැනීම අපහසු වුණා. ඒත් කිහිපයක් සොයාගත්තා. වැදගත්ම මූලාශ්‍රයක් වුණේ එතුමා 90 දශකයේ අධ්‍යාපන අමාත්‍යාංශයට නිර්මාණය කළ ගීත 16ක එකතුවක් සහිත ළමා ගී කැසට්පටයක්. මේ කැසට්පටයට ගීත ගායනා කළ එවකට සිටි ළමා ගී ශිල්පිනියක් වුණු නර්මදා අමරසිංහ මහත්මිය සතුව මේ ගීත 16 තිබුණා. ඇයත් ඒ ගීත මට පරිත්‍යාග කළා. එතුමියවත් මම ගෞරවයෙන් සිහිපත් කරනවා.

රන්වල පදනමේ නිර්මාණ මෙම ග්‍රන්ථයට ඇතුළත් කිරීමේදී පදනමෙන් ලද සහය කෙසේද...?

මෙසේ කෘතියක් ලියනවා කියන දේ මම මුලින්ම කතා කළේ සහන් රන්වල අයියා එක්ක. එයා එ ගැන බොහෝම සතුටු වුණා. තාත්තා ගැන මේ වනතෙක් පොතක් ලියැවී නැහැ කියලත් එයට උත්සහ දැරුවත් මෙතෙක් එය සිදුනොවූ බවත් ඔහු කිව්වා. ඒනිසා රන්වල පදනමේ සංරක්ෂිත නිර්මාණ ඕනෑම වේලාවක පරිශීලනය කරන්න, ඒ ගෙදර තිබූ සමරු කලඹ, පුවත්පත් සාකච්ඡා, පටිගතකිරීම් ආදිය මම සහය ලබාදුන්නා. ඒනිසා රන්වල පදනමේ කාර්යමණ්ඩලය මම ආදරයෙන් මතක් කරනවා

රන්වලයන්ගේ නිර්මාණ ආරක්ෂා කරමින් මතුපරපුර වෙත ගෙනයන සහන් රන්වලයන්ගේ ව්‍යායාමය ඔබ දකින්නේ කෙසේද...?

සහන් අයියා මේක පටන අරන් තියෙන්නේ ජනගීය ඉදිරියට ගෙනයන්න ඕන කියන අවංක චේතනාවෙන් නෙවෙයි. ඔහු ඒ ගැන කියන්නේ තාත්තා ගෙදර නැති අඩුව, නොදැනෙන්න ඕන නිසයි ගෙදර නිතරම මේ අය ගැවසෙන්න ඕන නිසාත් පුහුණුවීම් කළ තැනක්, ජනගී ඇසුණු තැනක් නිසාත් තාත්තා නැතිවුණා එක්ක මේ සියලුදේ නැතිවෙනවා නේද කියන කනස්සල්ල මත පටන්ගත් දෙයක් කියා ඔහුම කියනවා. වැඩේ පටන්ගත්තාම මේක භාරධූර වැඩක් කියලා දැනිලා තියෙනවා. අනෙක් කාර්යයන් එක්ක කාර්යබහුල වෙන සහන් අයියා මූලිකත්වය දී තිබෙන්නේ රන්වල පදනමේ මෙහෙයුම් කාර්යයන් සඳහායි. මේවෙද්දී මේවැඩේ පුළුල් අන්දමින් කෙරීගෙන යනවා. ලංකාවේ මධ්‍යස්ථාන 05ක සහ විදෙස් රටවල දරුවෝ රැසක්ම අපෙන් අධ්‍යාපනය ලබනවා. මේ ගැන සහන් අයියාට මනා දැක්මක් තියෙනවා

සංගීතවේදියකු ලෙස ඔබ ජනගීයට , ජනශ්‍රැතියට , දේශීය සංගීතයට කෙතරම් ආසක්ත වේද...?

සංගීතවේදියෙක් කිව්වට අපට එකම තැනකට කොටුවෙන්න බැහැ. සංගීතවේදියකුට තිබිය යුතුයි විවිධ සංගීත ශෛලීන් පිළිබඳ මනා අවබෝධයක් . විවිධ නිර්මාණ සඳහා එවැනි අවබෝධයක් අවශ්‍යයි. මගේ නිර්මාණ දිවියේ වැඩිකලක් ඇසුරු කළේ රන්වල බළකාය නිසා එවැනි නිර්මාණවලට ආරාධනා එනවා. ජනගීය ගැන මම සොයනවා. මේක උගන්වන කෙනෙක් විදිහට මේ ඇසුරින් නිර්මාණ කරන අයෙක් විදිහටත් මම නිරන්තරයෙන් ඒ ගැන සොයන්න පෙලැඹෙනවා. සාම්ප්‍රදායික ගීත අහනවා..පටිගතකිරීම් අහනවා. ඒවා එක්ක තමයි ජනගීයට , ජනශ්‍රැතියට තිබෙන ඇල්ම වැඩිවුණේ කිව්වොත් හරි...

"හෙළ ගීයේ රන් සලකුණ" නම් ශාස්ත්‍රීය කෘතිය වත්මන් තරුණ පිරිස අතරට කොතෙක්දුරට ගෙනයාහැකිදැයි ඔබ විශ්වාස කරනවද...?

වත්මන් පරපුරේ මා දැක්ක අඩුවක් තමයි ඔවුන්ගේ කියවීම නම් ඉතා අඩුයි. විෂයය පිළිබඳ කියවීම හරිම අඩුයි. විශ්වවිද්‍යාල මට්ටමින් ගත්තත් සතුටුවෙන්න බැහැ. මෙවැනි ශාස්ත්‍රීය කෘතියක් තරුණ පරපුරට ගෙනයෑමම අභියෝගයක් . කොළඹ, ගම්පහ, මහනුවර, මාතර, මාතලේ ප්‍රදේශවල රන්වල පදනමේ ශාඛා තියෙනවා . අපි ඒ ප්‍රදේශවලට ඇවිත් මේ කෘතිය ගැනත් රන්වලයන්ගේ නිර්මාණ දිවිය පිළිබඳවත් කතාකරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හරහා වත්මන් තරුණ පරපුර අතරට මේ කෘතිය ගෙනයාහැකියි කියා විශ්වාසයක් තියෙනවා

ග්‍රන්ථයට ඇතුළත් කළ චිත්‍රපට, ටෙලිනාට්‍ය ගී පිළිබඳ විග්‍රහයක් කළොත්...?

ලයනල් රන්වල කියන සරල ගී නිර්මාණ ශිල්පියාට චිත්‍රපට , ටෙලිනාට්‍ය සංගීත නිර්මාණ ක්ෂේත්‍රය තුළදී එතරම් අවස්ථා ලැබුණේ නැහැ. එය මේ අධ්‍යයනයේදී මට පැහැදිලි වුණා..එතුමා චිත්‍රපට 02ක කෙටි දර්ශන සඳහා රංගනයෙන් දායකවී තිබුණා..1983දී තිරගතවූ "කරාටේ ජෝ" චිත්‍රපටයට ගීත 04ක් ඔහු නිර්මාණය කර තිබුණා. චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට යොමුවූයේ "කරාටේ ජෝ" චිත්‍රපටයට විතරයි. ටෙලිනාට්‍ය අංශයෙන් ගත්තොත් බර්මින් ලයිලි ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ටෙලිනාට්‍යයක සංගීත අධ්‍යක්ෂණය කළා. නමුත් ඒ ටෙලිනාට්‍යය මේතාක් විකාශනය වුණේ නැහැ . මෙය ඔහුගේ නිර්මාණ දිවියට සිදුවූ බලවත් අසාධාරණයක්

එක් එක් සංගීත ශානරයන්ට සාපේක්ෂව රන්වලයන්ගේ ජනගී ආශ්‍රිත සංගීත ශෛලිය ඔබ ස්ථානගත කරන්නේ කුමන තැනකද....?

ලයනල් රන්වල කිව්වම ඔහුගේ නිර්මාණ ජනතාව අතරට යන්නේ සිංහල අලුත් අවුරුදු එක්කයි.ජනමාධ්‍යවල පවා සිංහල අලුත් අවුරුදු එක්කයි ඔහුගේ නිර්මාණ විකාශය කරන්නේ. රන්වලයන් තමයි ප්‍රාසංගික සරල ගීය කියන දේ , ඒ කියන්නේ ජනගීය එකතු කරගෙන ප්‍රේක්ෂකයාට ගෙනයන විදිහ රූපවාහිනීකරණය කරපු සංගීතඥයා කිව්වොත් නිවැරදියි. ඔහු සැමවිටම ඔහුගේ ඉදිරිපත් කිරීම්වලදී ප්‍රාසංගිකත්වයට මුල්තැනක් දෙනවා. අහන්න විතරක් නෙවෙයි බලන්නත් පුළුවන් විදිහටයි ඔහු ගීත නිර්මාණය කරන්නේ. අනෙක් සංගීතඥයන්ගේ නිර්මාණ අපට ශ්‍රවණයෙන්නේ රසවිඳීන්න පුළුවන්. මෙතුමාගේ නිර්මාණ ඇසීමෙන් වගේම දැකීමෙන් රසවිඳීන්න පුළුවන්. ඒනිසා ඔහුගේ නිර්මාණ ජනසංගීත ශානරය කියන තැන ස්ථානගත කරන්න පුළුවන්.ජනසංගීතය සහ ප්‍රාසංගික කලාව යන මේ දෙකේම මිශ්‍රණයක් හැටියට ඉහළ තැනක තියන්න පුළුවන් .

බටහිර හා දේශීය සංගීත ආරයන් දෙකෙන් නවතම සංගීත ආරයක් බිහිකරගත හැකි යැයි ඔබ සිතන්නේද.....?

ඔව්, පැහැදිලිවම එහෙම හිතෙනවා. අපට ජනගීයෙන් විතරක් අපේ රටට සංගීතයක් හදාගන්න බැහැ. ඒකෙදී අපට සිද්ධවෙනවා ලෝකයේ විවිධ දියුණු සංගීත ක්‍රමවල ආභාසය නිතැතින්ම ලබාගන්න. උදාහරණයක් කිව්වොත් අද අපි ගායනා කරන මේ ගීත, සරල ගීවල ආකෘතිය අපේ නෙවෙයි . ස්ථායි, අන්තරා කියන ආකෘතිය අපට එන්නේ 19 වැනි සියවස්වල අපේ රටට ආපු නුර්ති කියන ඉන්දියානු නාට්‍ය විලාසයත් එක්ක. රන්වලයන් පවා ඔහුගේ නිර්මාණ කරන්නේ මේ ආකෘතිය මත හිඳගෙන.අපට ජනගීයෙන් විතරක් යමක් කරන්න අමාරුයි . ඒකෙදී අපට යන්න සිද්ධවෙනවා ලෝකයේ තියෙන විවිධ ශෛලීන්වල අපට ගැළපෙන දේ සොයාගෙන. ලංකාවට ආවේණික සංගීත ආරක් නිර්මාණය කරගන්න නම් ලෝකයේ තිබෙන ප්‍රධාන සංගීත ශෛලීන්වල ආභාසය ලබන්නට වෙනවා

රන්වල බළකාය සමඟ ඔබේ සම්බන්ධතාව මෙම කෘතිය ලියන්න බලපෑ ආකාරය විස්තර කළොත්...?

මම කලිනුත් කිව්වා වගේ මම උසස්පෙළ කරපු අලුතමයි රන්වල බළකාය හා සම්බන්ධ වෙන්නේ. එදා සිට මේ දක්වා අවුරුදු 21ක් විතර ගෙවී අවසන්...මේ කාලයේ රන්වලයන්ගේ නිර්මාණ සියුම්ව , සංගීතමය වශයෙන් අධ්‍යයනය කළ කෙනෙක් හැටියට මට විශාල බලපෑමක් ආවා මෙවැනි කෘතියක් නිර්මාණය විය යුතුයි කියලා. සහන් අයියා මාව රන්වල බළකායේ ගීත අංශයේ ප්‍රධානියා ලෙස පත්කර තිබුණා. ඒ වගකීම එක්ක රන්වල බළකා නිර්මාණවල වත්මන් නියමුවෙක් විදිහටත් ඒ බලපෑම මෙය ලියන්න බලපෑවා කියා මට සිතෙනවා...

රන්වලයන් ජීවත්ව සිටි සමයේත් අදත් අතර තිබෙන කාලපරතරය එක්ක සසඳද්දී රන්වලයන්ගේ සංගීතය සමඟ මෙරට ජනතාව, සංගීතවේදීන්, ශිෂ්‍යයන් කරනු ලබන ගනුදෙනුව කෙසේදැයි පැහැදිලි කළොත්....?

එතුමා වියෝවෙලා වසර 20ක් විතර වුණත් ඔහුගේ නිර්මාණයන්හි ජනප්‍රියත්වය එදාට වඩා අද වැඩියි කියා මට දැනෙනවා. රන්වල පදනම පුළුල් ලෙස මෙහෙයුම් දියත් කර තිබෙනවා ලංකාවේ වගේම ලෝකයේ විවිධ රටවලත්. ඒ නිසා ඔහුගේ නිර්මාණ අපට තැනින්තැන ඇහෙනවා. මේවා ගැන කතා කරනවා, ළමා පරපුර මේවා අහනවා, තරුණ පරපුර මේවා අධ්‍යයනය කරනවා. ආචාර්ය රෝහණ වීරසිංහ , නවරත්න ගමගේ වැනි සංගීතවේදීන් පවා කියා සිටියා ඔවුන්ගේ නිර්මාණ දිවියට ලයනල් රන්වලයන්ගේ බලපෑම ලැබුණු හැටි.. ඒවගේ බොහෝ සංගීතවේදීන් පිරිසක් ඇති රන්වලයන්ගේ සංගීත ශෛලිය අනුගමනය කළා. එතුමගෙන් ඉගෙනගත් වගේම එතුමාව දැකලාවත් නැති විශාල ශිෂ්‍ය පරපුරක් එතුමාට බිහිවෙලා ඉන්නවා...

ඔබේ සංගීත දිවියේ ආරම්භය සිහිපත් කළොත්...?

මම සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ රන්වල බළකායෙන් කිව්වොත් හරි.ආධුනික ගායකයෙක් විදිහට රූපවාහිනී නාලිකාවල තරඟකරුවෙක් ලෙස මම ඉදිරිපත් වෙලා තියෙනවා..ගීත ගායනා කර තිබෙනවා . ඒ හරහා ලැබුණු අවස්ථාවකින් තමයි මම රන්වල බළකායට එක්වෙන්නේ. මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු කරන්නේත් සංගීත විෂයය හරහායි. රාජ්‍ය සංගීත කණ්ඩායමට අයැදුම්පත්‍රයක් දාලා සම්මුඛ පරීක්ෂණයෙන් සමත්වෙන්න අවස්ථාවත් මට ඒ අතරදී ලැබුණා . ඊටපස්සේ රන්වල බළකායේ ඉන්නගමන්ම මම රාජ්‍ය සංගීත කණ්ඩායමේ ශිල්පියෙක් හැටියටත් කෙටිකලක් රාජකාරි කරනවා . රාජ්‍ය සංගීත කණ්ඩායමත් රන්වල බළකායත් යන දෙක හරහායි මාව සංගීත ශිල්පියෙක් හැටියට හඳුනාගන්නේ..

පාසල් අවධියේ සිටම ඔබ සංගීතයට දක්ෂතා දැක්වුවාද...?

බළපිටිය රේවත ජාතික පාසලෙන් සාමාන්‍යපෙළ දක්වා ඉගෙනගන්නවා..ගාල්ල මහින්ද විද්‍යාලයෙන් උසස්පෙළ හැදෑරුවා. මට උසස්පෙළට සංගීතය හදාරන්න අවශ්‍ය වුණා. මේ පාසල් දෙකේදීම ගුරුවරුන් මගේ හැකියා හඳුනාගෙන මාව තරඟවලට ඉදිරිපත් කරන එක, ප්‍රසංගවලදී මගේ ගායන හැකියාවට අවස්ථාව ලබාදීම , වාදකයකු ලෙස ප්‍රසංගවලට මාව සම්බන්ධ කරන එක ඔවුන් කළා . ඒවා උපරිමයෙන් මම පාසල් අවධියේදී අත්වින්ඳා. පාසල් ගුරුවරුන් මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරනවා. පාසල් අවධියේ සමස්ත ලංකා ජයග්‍රහණ කිහිපයක් ලබාගත්තා. හොඳම ශාස්ත්‍රීය වයලීන් වාදකයා 02වැනි ස්ථානයත් ස්වර ලිපි බලා කියවීමෙන් 02 වැනි ස්ථානයත් ලබා තියෙනවා .

ඔබ සංගීත නිර්මාණයෙන් දායක වූ වේදිකා නාට්‍ය නිර්මාණ ගැන කීවොත්...?

සංගීතඥයෙක් විදිහට මට නිර්මාණකරණයේ යෙදෙන්න බොහෝ අවස්ථා ලැබෙන්නේ වේදිකා නිර්මාණවලට කිව්වොත් හරි. ප්‍රාසංගික නර්තන සහ විශේෂයෙන් අපේ ජනශ්‍රැතිය හා ජනනැටුම් යන අංශයන්ට අදාළවයි මම සංගීත නිර්මාණ කර තියෙන්නේ. වේදිකා නාට්‍ය කිහිපයක සංගීත අධ්‍යක්ෂණය කළා. සහන් අයියාගේම "වෙලාව කීයද" වේදිකා නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය උදෙසා 2010 රාජ්‍ය නාට්‍ය උළෙලේදී කුසලතා සම්මානයක් ලැබුණා . ඒ හරහා නාට්‍ය ක්ෂේත්‍රයේ බොහෝඅය හඳුනාගන්න ලැබුණා .නාට්‍ය රැසකටම මට ඉන්පසු ආරාධනා ලැබුණා. චන්ද්‍රසෝම බිංදුහේවාගේ "සිහින දකින්නා" , ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ "බූරුවා මහත්තයා" , කීර්ති කේ. රත්නායකගේ "මීයෝ නැතිව බෑ" , කොළඹ විශ්වවිද්‍යාලයේ නිෂ්පාදනයක් වූ "අසමත් අපි සමත්" වැනි වේදිකා නිර්මාණවලට සංගීත අධ්‍යක්ෂණයෙන් දායකවුණා.

ඔබේ මුල්ම සංගීත නිර්මාණය සහ ඒ සඳහා පෙලැඹවීමක් ඇතිවූ අයුරුත් පැහැදිලි කළොත්...?

මම උසස්පෙළ කරද්දී මට වඩා ජ්‍යෙෂ්ඨ සහෝදරයෙක් හිටියා දිනේෂ් ඉන්දික සම්පත් කියලා. ඔහු අද කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙක්. ඔහු "කුණ්ඩලකේසි" ඇසුරින් පිටපතක් ලිව්වා. මෙහි සංගීත නිර්මාණය දිනේෂ් අයියා මටයි භාරදුන්නේ..මට මතක හැටියට ඒකතමයි මුල්ම කාලයේ මගේම නිර්මාණයක් වුණේ. ඒ නාට්‍යය නරඹපු අය කිව්වා මෙහි සංගීතය හොඳ තැනක තියෙනවා .ප්‍රදීප්ට සංගීතයෙන් හොඳ ඉදිරි ගමනක් තියෙනවා කියලා.

සංගීත දිවියේදී ඔබ ගුරුතැන්හිලා සලකන පිරිස සහ ඔබට උදව් කළ පිරිස මතක් කළොත්..?

මට බොහෝ පිරිසක් අතහිත දුන්නා මේ තැනට එන්න. මගේ පාසලේ සංගීත ගුරුවරුන් මෙහිදී සිහිකරනවා. නම් වශයෙන් කිව්වොත් බොහෝමයක් ඉන්නවා. විශ්වවිද්‍යාලයේදීත් මට මුණගැසුණු ගුරුවරුන් කිහිපදෙනෙක් ඉන්නවා. අදටත් ඔවුන් මගේ නිර්මාණ ජීවිතය පිටුපසින් ඉඳන් ඒවා අගයමින්, අඩුපාඩුත් කියාදෙනවා. මට හොඳ ගුරුවරුන් හමුවූ නිසා මේ ගමන එන්න පුළුවන් වුණා කියා මම සිතනවා..රාජ්‍ය සංගීත කණ්ඩායමේ ඉන්න කාලයේ මම බොහෝ ආභාසයක් ලබපු කෙනෙක් තමයි ජානක ෆොන්සේකා . ඔහු නිහඬ සංගීතඥයෙක්...ඔහුගේ නිර්මාණ සහ ඔහු ස්වර ලිපි ලියන දිහා මම බලාගෙන ඉඳලා තියෙනවා .ඔහුගෙන් බොහෝදේ ඉගෙනගත්තා. අපට පෙර පරපුරේ බොහෝ සංගීතඥයන්ගේ ආභාසය මට ලැබුණා

 

සේයාරූ - සජීව ලක්ෂාන්

[email protected]