රිදී තිරයට පමණි

සැප්තැම්බර් 16, 2021

 

පවතින කොරෝනා වසංගතය හේතුවෙන් බොලිවුඩයේ බොහෝ නිර්මාණ කටයුතු අඩපණ කර ඇති අතර රිදී තිරයේ දිගහැරෙන්නට නියමිතව තිබූ බොහොමයක් චිත්‍රපට අන්තර්ජාල ප්‍රවාහය ඔස්සේ නිකුත් කෙරෙන අයුරු දැකගත හැකිය. සංජේ ලීලා බන්සාලිගේ 'ගංගුබායි කැතියවාඩි' සහ එස්. එස්. රාජාමෞලිගේ 'ආර්ආර්ආර්' යන දැවැන්ත චිත්‍රපට ද්විත්වයද අන්තර්ජාල ප්‍රවාහය ඔස්සේ නිකුත් කෙරෙන බවට මෑතකදී ආරංචි පැතිරුණි. මෙම චිත්‍රපට දෙකට අනුග්‍රහය දක්වා තිබෙන්නේ පෙන් ෆිල්ම්ස්ය.

වසංගතය හේතුවෙන් ඇතැම් දැවැන්ත චිත්‍රපට අන්තර්ජාල ප්‍රවාහය ඔස්සේ නිකුත් කිරීමට සැලසුම් කර ඇති මුත් පෙන් ෆිල්ම්ස් හි නිල ට්විටර් ගිණුමෙන් හෙළිදරව් වන්නේ 'ගංගුබායි කැතියවාඩි' සහ 'ආර්ආර්ආර්' චිත්‍රපට තිරගත වන්නේ සිනමාහල් තුළ පමණක් බවයි.

පෙන් ස්ටුඩියෝ සභාපති ආචාර්ය ජයන්තිලාල් විසින් නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, "මෙම අතිවිශිෂ්ට චිත්‍රපට නිපදවා ඇත්තේ රිදී තිරයේ අත්දැකීම සඳහා පමණක්" වන බවයි.

මේ වන විට ඉන්දීය බොහෝ චිත්‍රපට නිෂ්පාදකයන් තම චිත්‍රපට සිනමාහල් වෙත මුදා හැරීමේ අභියෝගය භාරගෙන ඇත. අක්ෂේ කුමාර්ගේ 'බෙල් බොටම්' සහ කන්ගනා රනවුත් රඟපෑ 'තලෙයිවි' වැනි චිත්‍රපට සිනමාහල්වල තිරගත වන අතර එමඟින් සිනමාහල් යථා තත්ත්වයට පත් කිරීමට දිරිගැන්වීමක් ලබා දී ඇත. 'ගංගුබායි කැතියවාඩි' නිර්මාණ කටයුතු දැනටමත් සම්පුර්ණ කර ඇති අතර 'ආර්ආර්ආර්' හි ඇතැම් කොටස් රූගත කළ යුතුව ඇත. තවද ජෝන් ඒබ්‍රහම් සහ ජැකලින් ෆර්නැන්ඩස් රඟපෑ 'ඇටෑක්' චිත්‍රපටයද සිනමාහල් තුළ තිරගත වීම සඳහා සූදානම් වෙමින් පවතී.