සැබෑ ආදර කතාවක ඇරැඹුම

ජුනි 23, 2022

 

දිගු කලක් බලා සිටීමෙන් පසු ආලියා භාත් සහ රන්බීර් කපූර්ගේ බ්‍රහ්මස්ත්‍රා චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පසුගිය සතියේ එළිදැක්විය. චිත්‍රපටය දිගු කලක් තිස්සේ නිර්මාණය කෙරුණු අතර එය රූගත කිරීමට පමණක් වසර පහකට වැඩි කාලයක් ගත විය. පූර්ව ප්‍රචාරකපටය එළිදැක්වීමේදී අධ්‍යක්ෂ අයාන් මුකර්ජි ප්‍රකාශ කර සිටියේ චිත්‍රපටයේ ප්‍රමාදයට එක් හේතුවක් වූයේ රන්බීර් බවත් ඒ හේතුවෙන් තමා දැඩි සේ කෝපයට පත් වූ බවත්ය.

බ්‍රහ්මස්ත්‍රා, වේක් අප් සිද් සහ යේ ජවානි හේ දීවානිට පසුව අයාන් මුකර්ජිගේ තෙවැනි චිත්‍රපටයයි. යේ ජවානි හේ දීවානි චිත්‍රපටය නිකුත් වී වසරකට පසුව 2014 දී බ්‍රහ්මස්ත්‍රා පූර්ව නිෂ්පාදන ආරම්භ කළ නමුත් රන්බීර් 2018 නිකුත් වූ සංජු චිත්‍රපටය වෙත අවධානය යොමු කිරීම මෙම ප්‍රමාදයේ දැඩි හේතුවක් විය. රන්බීර් අවසන් වරට තිරයේ පෙනී සිටියේ රාජ්කුමාර් හිරානි ගෙන ආ නළු සංජේ දත්ගේ අපදානයේ ය. වසර නවයකට ආසන්න කාලයක් පුරා බ්‍රහ්මස්ත්‍රා චිත්‍රපටය වෙනුවෙන් තමා වෙන් කළ කාලය ගැනද අයාන් සිහිපත් කළේය. "මම බ්‍රහ්මස්ත්‍රා සඳහා සූදානම් වෙන විට රන්බීර් සංජු චිත්‍රපටය තෝරා ගත්තා. ඔහු මා සමඟ කටයුතු කිරීමට නියමිතව සිටියත් මුලින්ම ආරම්භ කළේ සංජු චිත්‍රපටයයි. ඒ වෙලාවේ මට ගොඩක් තරහ ගියා. නමුත් ඔහු රාජු සමඟ වැඩ කිරීම ගැන මම සතුටු වුණා" අයාන් පැවසීය.

බ්‍රහ්මස්ත්‍රා චිත්‍රපටයේ සුවිශේෂ සිදුවීම නම් රන්බීර් - ආලියා ප්‍රේම කතාවයි. 2017 වසරේදී රන්බීර් කපූර් සහ ආලියා භාත් ආදරයෙන් බැඳුණේ බ්‍රහ්මස්ත්‍රා චිත්‍රපටයේ වැඩ ආරම්භ කිරීමෙන් පසුවයි. පස් වසරක ආදර කතාවකින් පසු ඔවුහු පසුගිය අප්‍රේල් මස විවාහ දිවියට පිවිසියහ. බ්‍රහ්මස්ත්‍රා චිත්‍රපටය සැප්තැම්බර් 9 වැනිදා තිරගත වන විට විවාහයෙන් පසු රන්බීර් සහ ආලියාගේ පළමු චිත්‍රපටය වන්නේද ඔවුන් ආදරයෙන් බැඳුණු බ්‍රහ්මස්ත්‍රා චිත්‍රපටයයි. රන්බීර් සහ ආලියා සමඟ එහි අමිතාබ් බච්චන්, නාගර්ජුන සහ මවුනි රෝයි ද රංගනයෙන් දායක වී සිටිති.