වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
ජෝ දස වස් පූර්ණය

මෙරට සිනමා ඉතිහාසය ලියන්නෙකුට විචාරකයන් විසින් මහත් ගෞරවයෙන් ලියන ලද මහා නළුවන් තිදෙනෙකු ගැන සඳහන් කරනු දක්නට ලැබෙයි. ඔවුහු මහා නළුවන් බවට පත්වන්නේ ඔවුන් විසින් චරිතාංග රගංනයේදී දැක්වූ ප්‍රතිභාව පමණක් නොව අදාළ වකවානුවේ මෙරට සිනමාව සිය ස්වීය ලක්ෂණ සොයා යද්දී එහි ලා ඔවුන් විසින් ගොඩනංවන ලද අනන්‍යතාව මෙන්ම ඔවුන් සතුදැනුම එය භාවිතය යන තවත් කරුණු ද සලකා බැලීමෙනි. මේ මහා නළුවන් තිදෙනාම අද අප අතර නැත. මේ ත්‍රිමූර්තිය වනුයේ ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම හා ටෝනි රණසිංහය. ඔවුන් සිනමාවට පිවිසෙන සමයේ මෙරට තිබුණේ දකුණු ඉන්දියානු සිනමාව ගුරුකොට ගත් නාට්‍යානුසාරයෙන් චිත්‍රපටවල චරිත මැවූ රංගන විධි සම්ප්‍රදායකි. ඒ අතර එය අතික්‍රමණය කරමින් සිනමා තිරය මත ප්‍රතිභාව ඉස්මතු කළ නළුවන් කිහිපදෙනෙකු ද විය. එහෙත් ඒ කිසිවකුට හෝ සිනමාවේ සිය අනන්‍යතාව ගොඩනංවද්දී ගාමිණී, ජෝ, ටෝනි යන තිදෙනා අබිබවා යන ජනප්‍රියත්වයක් හෝ රංගන පරාසයක් හෝ තිබුණේ නැත. මේ අතරින් වැඩිමහල්ලාවූයේ ද වැඩි කලක් සිනමාවේ රැඳී සිටියේ ද වැඩි කලක් ජීවත්වූයේද ගම්මන පටබැඳීගේ දොන් ජෝන් අබේවික්‍රමය. වැඩි චිත්‍රපට සංඛ්‍යාවකට දායකවූයේ ද ජෝ අබේවික්‍රමයන්ය. ඔහු ගාමිණී ඇතුළු සමකාලින සමීපතමයන් විසින් හදුන්වන ලද්දේ ජෝ බාප්පා යන ආදර නාමයකිනි. සෙස්සෝ ඔහුට ජෝ මහත්තයා යැයි ඇමතුහ. මාලිනි ෆොන්සේකා වැන්නන්ට ජෝ අය්යා විය. ජැක්සන් ඇන්තනි වැන්නෝ ඔහුගේ ඇසූ පිරූ තැන් ඇති භාවයට ගරුත්වයක් ලෙස හෙතෙම සිංහල සිනමාවේ ලොකු අප්පච්චි ලෙස සැලකුවෝය. එනයින් බලන කල ඔහු සෙස්සන්ට වඩා වැඩිමහල්ය.
සෙසු දෙදෙනා මෙන් නොව, ජෝ මහත්තයා සිනමාවට පිවිසෙනුයේ කොළඹ ආශ්‍රිත කොට ගෙන නොවේ. ඔහු සිනමාවට පිවිසෙනුයේ සිනමාකරණය හෝ රංගනය පිළිබද පුළුල් අත්දැකීම් ලත් පිරීස ඇසුරු කොටගෙන නොවේ. මේ තිදෙන අතරින් දකුණු ඉන්දියානු චිත්‍රාගාරයක සිය සිනමාව ආරම්භ කළ එකම රංගනවේදියා ද ජෝ අබෙිවික්‍රමයන්ය. එමෙන්ම සෙසු මහා නළුවන් දෙදෙනාම දකුණු ඉන්දියානු චිත්‍රාගාරවල රංගනයට ගියවුන් නොවේ. ගාමිණීගේ ආරම්භක චරිතාංගයක් වූ දෛවයෝගය තැනෙන්නේ උතුරු ඉන්දියාවේ එනම් පූනා නගරයේ පීඒටී ප්‍රභාත් චිත්‍රාගාරයේය. ටෝනි රණසිංහයන් සිනමාවට පිවිසෙන විට අපේ කට්ටිය හා එක්ව වේදිකාවෙන් පන්නරය ලැබ උන්නේය. ගාමිණි මෙන්ම ටෝනි ද සිනමාවේ අත්පොත් තබනුයේ මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජ්ම්ස් පිරිස්ගේ සෙවණ යටතේය. ගාමිණීගේ සිනමාවේ ආරම්භයේ ඩේවිඩ් ලීන් ද අත්වැලක් වූයේය. ජෝ අබේවික්‍රමයන්ට ආචාර්ය ලෙස්ටර්ගේ චිත්‍රපටයකට අවස්ථාව ලැබෙනුයේ ඔහු රංගන ජීවිතයේ කඩ ඉම් කිහිපයක් පසු කළ පසුය. ඒ දෑස නිසා චිත්‍රපටයේය. එයින් පසු ඔහු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නිර්මාණය කළ චිත්‍රපට හතකටම රංගනයෙන් දායක විය. ( දෑසනිසා, මඩොල්දූව, ද ගෝඩ් කිං, පිංහාමි, වීර පුරන් අප්පු, බැද්දේගම, අවරගිර)
මේ මහා රුපණවේදියා අප අතරින් වියෝ වී පසුගිය 21 වැනි දිනට දස වසරක් පිරිණ. ඔහු අප අතරින් සමුගත්තේ 2011 වසරේ සැප්තැම්බර් 21 වැනි දාය.
ජෝ අබේවික්‍රමයන් උපත ලබන්නේ 1927 වසරේ ජූනි මස 22 වැනි දිනදීය. ඒ රත්නපුරයට නුදුරු ලෙල්ලොපිටිය ගම්මානයේය. ලෙල්ලොපිටිය ගම්මානය රත්නපුරය හා පැල්මඩුල්ල අතරේ පිහිටි සුන්දර ගම්මානයකි. මෙහි ඇති මහා දිය බුබුලක් ඇතුන් ලවාවත් නවතාලිය නොහැකි වූ වග පසුගිය දවසක ජැක්සන් ඇන්තනි විසින් සංචාරයේ යෙදෙන කළු ගඟ දිගේ වැඩ සටහනේදී පෙන්වන ලද්දේ ජෝ අබේවික්‍රමයන් ද සිහිපත් කරමිනි. හතර වටේ මැණික් බිහිවන මේ ගම්මානය ගැන ඉතිහාසයේ වැඩියෙන්ම කියවන්නට ඇත්තේ එය මැණික් ඉපදෙන ගමක් නිසා නොව එයට වඩා මෙරට රූපණ කලාවට බිහි වූ මහරු මැණිකක් වන ජෝ අබේවික්‍රමයන් උපත ලද නිසා ය . ජෝ අබේවික්‍රම ගැන කියන හැමවිටම ඒ ගම ගැන ද කියන නිසාවෙන්ය. ඔහු ඉගෙනුම ලබනුයේ ලෙල්ලොපිටියට නුදුරු දිප්පිටිගල මිශ්‍ර පාසැලෙනි. පසුව රත්නපුර සීවලී මධ්‍ය මහා විදුහලෙනි. අනතුරුව රත්නපුර ශාන්ත ඇලෝසියස් විදුහලෙනි. සීවලි විදුහලෙහි ඉගෙනුම ලබන අවදියේ ඔහුගේ පන්ති සගයෙකු වූයේ පසුකලක ප්‍රවීණ සිනමා විචාරකයකු හැටියට ජයවිලාල් විලේගොඩ නමින් පතළ වන ජයරත්න විලේගොඩය . රත්නපුරය ගැන පැවසුවාට ජෝ මහත්තයාගේ තාත්තා වැලිපැන්නේය. රත්නපුරේ රස්සාවට ආ ගමන් ලෙල්ලොපිටියේ බින්න බැස්සේය. පවුලට දරුවන් හතර දෙනෙකි. ජෝන් වැඩිමහල්ලාය. පුංචිම කාලේ තාත්තා එක්ක කොළඹ ගොස් මවුලානා සාප්පුවෙන් රෙදිපිළි අරන් ගිය විත්තිය ඔහුගේ මතකයේ තිබිණ. තණ්ඩලේ දෙන්න දෙපොළේ නැඟ හපුතල් ගිය කරත්තකරුවන් ලෙල්ලොපිටියේ දී කඳු තරණය කරනු ඔහු දුටුවේය. එයින් පසු ඔහු මිය යන විට මේ කන්ද හරහා ගොඩ නැගුණ 99 මහා මාවත තවත් පුළුල් වී හැටට හැටේ සුඛෝපභෝගී වාහන කඳු නැංගේය. ජෝ මහත්තයා මේ යුග දෙකම දුටුවේය. පාසැලෙන් පසු ඔහු ජීවිතය අරඹනුයේ ලෙල්ලොපිටිය සමුපකාරයේ කළමනාකරු හැටියටය. එහෙත් මේ අවදියේම සිරිසේන විමලවීරගේ නව ජීවන සමාගමේ චිත්‍රපට කූඩාරම් මඟින් චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භ කරන්නට තීරණය කර තිබිණ. ඒ චිත්‍රපට සමාගම්වලින් ලැබෙන අනුග්‍රහය මදියැයි සිතා විය යුතුය. සිනමාව ජනතාව වෙතට ගෙන යන්නට එය එකල අතිශය ජනප්‍රිය උපක්‍රමයක් විය. ඒ අවදියේ කඳුකරයේ වතු ආශ්‍රිතව ඉම්පිරියල්, ජෙමිනි වැනි ජංගම සිනමා ප්‍රදර්ශක සමාගම් කිහිපයක්ම විය. නව ජීවන ද එලෙස චිත්‍රපට ප්‍රදර්ශනයට දායක විය. මේ වන විට සිනමා නළුවකු වීමේ අභිලාෂය කොයි හැටිවෙතත් සිනමා පිස්සුවක් ජෝ මහත්තයාට තිබිණ. සමුපකාරයේ රස්සාව අතහැර නවජීවන සමාගමේ කුඩාරම් සිනාමහල්වල ලිපිකරු රස්සාවක් හොයා ගත්තේ ඒ අනුවය. මාදම්‌පේ එලෙස පැවති එක් සිනමාහලක කූඩාරම මහ හුළගක් හා තද වැස්සත් සමඟ ගලවාගෙන ගියේ විමලවීරයන්ගේ දුප්පත් සිනමා ප්‍රදර්ශනයටත් බධා ඇති කරමින්ය. එබඳු අවස්ථාවක යළි ගොඩ නැඟෙන්නට තරම් මුදලක් විමලවීර සතු නොවිණ. එහෙත් ජෝ මහත්තයා ඒ සමග කොළඹ ආවේය. ඒ කාලයේ කොළඹ එන්නේ ලොකු අනාගතයක් බලාපොරොත්තුවය. ජෝන් අබේවික්‍රම ද ආවේ එහෙමය. නළුවකු වීමේ අවශ්‍යතාව ඔහු සිතෙහි තිබිණ. එහෙත් සිරිසේන විමලවීර තමා ළඟ සේවය කළ මේ තරුණයා තුළ නළුවකුගේ හැඩරුවක් වත් නොදුටුවේය. විමලවීරයන් මේ වරද කිහිපවරක්ම කර ඇත්තේය. ගාමිණී ෆොන්සේකා ද විමලවීරයන් අතින් ප්‍රතික්ෂේප වූවෙකි. ගායනයට පිවිසි එච් .ආර්. ජෝතිපාල ද ඔහු අතින් ප්‍රතික්ෂේප විණි. ටෝනි රණසිංහයන් අවසාන මොහොතේ හෝ හඳුනාගත්ත ද අවාසනාවට එම ගෞරවය ද විමලවීරට නොලැබුණේ ටෝනි රණසිංහයන් හඳුන්වා දෙමින් නිර්මාණය වුණ පුංචි අම්මා චිත්‍රපටය අතරමඟ නතර වුණ හෙයින් එය කිසි දිනෙක එළි නොදුටු චිත්‍රපටයක් වූ හින්දාය. එබැවින් මේ මහා නළුවන් තිදෙනා හා මහා සිනමා ගායකයාණන් ද හඳුන්වාදීමේ ගෞරවය ලබා ගැන්මේ වාසනාව සිරිසේන විමලවීර අතින් ගිලිහෙනුයේ දෛවෝපගත පරිද්දෙනි.
කෙසේ වෙතත් ඉන්දියාවේ සිට චිත්‍රපට තැනූ ශ්‍රී ලාංකිකයකු වූ එම්.එච්.මූනාස් එරට දී තනා අති සාර්ථක වූ උලගම් චිත්‍රපටය සිංහලෙන් තැනුවේ දේව සුන්දරී නමින්ය. එයට මේ අලුත් නළුවාට සුලු චරිතයකට ඉඩ ලැබිණ. එහි ප්‍රධාන විකට චරිතයක් නියමිතව සිටි සුප්‍රකට ගුවන් විදුලි නිවේදක ආරියදාස පීරිස් එම චරිතය ප්‍රතික්ෂේප කොට චිත්‍රපටයෙන් ඉවත් වූයේ ජෝ අබේවික්‍රමයන්ට ඉඩ සලසා දෙමින්ය. එක්කෝ වාසනාව කියන්නේ එය විය යුතුය. නැත්නම් කිසියම් හැකියාවක් ඇති වග හඳුනා ගත්තා විය යුතුය. ඔහුගේ රඟපෑම මෙරට සිනමාවේ මුල්ම සුපිරි තාරකාව වූ ෆ්ලෝරිඩා ජයලත්ගේ ඇස ගැටිණ. එය ඇගෙන් චිත්‍රපට අධ්‍යක්ෂ ටී.සෝමසේකරන්ට ගියේය. සෝමසේකරන් ඔහු සරදම් චිත්‍රපටයේ පොලිස් නිලධාරියකු ලෙස චරිතයට තෝරා ගත්තේය. මේ චරිතය පුරාම සෙසු නළුවන් අතර මතක හිටින රංගනයක යෙදෙන්නට ඔහුට හැකි විය. සෝමසේකරන් ජෝන් අබේවික්‍රම ජෝ ලෙස නම් කළේය. සෝමසේකරන් සුජාතා සැලසුමෙන් හා හෝ සැඩසුළං නිර්මාණය කරමින් මෙරට සිනමාවට කළ සේවයට වඩා විශාල සේවාවක් කරන ලද්දේ මේ අපූරු නළුවා සිනමාවේ නැතිවම බැරි මිනිසකු බවට පත්කරමින්ය. දේව සුන්දරී තිරයට එන විට ඔහු චිත්‍රපට රැසකට තෝරාගෙන තිබිණ. මේ බොහෝ චිත්‍රපට ඉන්දියානු චිත්‍රාගාර තුළ තැනුණු චිත්‍රපට වෙයි. සිය අතීත දිවියේ ෆ්ලෝරිඩා ජයලත් වෙතින් ලත් අත්වැල ජෝ මහත්තයා සදාකල් සිහිපත් කළේ ඇය ඒ උත්තමාවිය ලෙස ගෞරව නාමයෙන් හඳුන්වා දෙමින්ය. ඔහුගේ මුල් චිත්‍රපට සියල්ලේම ඔහු විකට නළුවාය. එකල සෑම විකට නළුවකුටම සිදුවූයේ දකුණු ඉන්දියානු නළුවන්ගේ අනුකරණයන් වන්නටය. ජෝ අබෙිවක්‍රමයන්ට පවා මෙය අතික්‍රමණය කරන්නට අධ්‍යක්ෂවරුන්ගෙන් ඉඩ ලැබුණාදැයි සැක සහිතය. එහෙත් එක් රූප රාමුවකින් දෙකකින් ඔහු සෙසු විකට නළුවන් අබිබවා ගිය බව නම් සහතිකය. එය වඩාත් නිදර්ශන කොට ගත හැක්කේ නළඟන වැනි චිත්‍රපටයක ඔහුගේ රංගනය විමසා බලන්නෙකුටය. එහි රඟපාන එඩී ජයමාන්න ,පිටිපන සිල්වා, රිචඩ් ඇල්බට් වැනි ඔහුට වඩා ජ්‍යෙෂ්ඨ ජනප්‍රිය විකට නළුවන් අබිබවා යන්නට ඔහු සමත් වනුයේ විකට නළුවා යනු රූකඩ නැටවීමක් බව පසක් කරමින්ය. ඉතා ඉක්මනින් ඔහුගේ මේ හැකියාව හඳුනාගත් සිනමාකෘතිය වනුයේ රන්මුතුදූව චිත්‍රපටයටයයි. රන්මුතුදූව චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂ සම්මානනීය සිනමාවේදී තිස්ස ලියනසූරියගේ සිහිපත් කරවීමට අනුව ගුවන් විදුලියේ කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා සමඟ ගුවන් විදුලියට වී කතා බස්කරමින් සිටි ජෝ අබේවික්‍රම වහාම කැදවාගෙන රන්මතුදූවේ ප්‍රධන චරිත තුනෙන් එකක් ඔහුට පැවරිණ. සිනමාවේ මහා නළුවන් දෙදෙනා ගාමිණී ජෝ මුලින්ම මුණ ගැසෙන්නේ එහිය. ඔහු රන්මුතුදූවේ විකටයකු වන්නේ නැත . ඔහු එහි වීරයන් තිදෙනාගෙන් කෙනෙකි. ජෝ යනු ජෝකරයෙක් නොවන බව ඔහු පෙන්වා දුන්නේය.
ඔහුට සමකාලීන විකට නළුවන් හුදු විකටයන්ගේ සීමාවේ කොටු කරන්නට ඉඩ නොලැබුණේ ඇයි? ඔහු තම රඟපෑමෙන් එහි තිර පිටපත ඉක්මවා යන්නට උගත් හෙයින්ය. ස්වීප් ටිකට් චිත්‍රපටයේ එන චරිතය එයට කදිම උදාහරණයකි. වෙන කෙනෙකු අත නිකම්ම මෝඩ ගැමියකු වන්නට ඉඩ තිබුණු චරිතය ඔහු හීන් සීරුවේ ඉස්මතු කරවන්නේ නාගරිකරණයට අවතීර්ණ වූ පසුවය. මේ ගැමියා නාගරිකයකු ලෙස මවාලනු ලැබුව ද ජෝ අබේවික්‍රම එයට ඉතා සියුම් ගැමියා මුසු කරවන්ට සමත්වෙයි. දකුණු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ චිත්‍රපට තැනූ සිනමාකරුවන් අතර ස්වකීය අනන්‍යතාව ගොඩ නඟාගත් සිනමාකරු එම්. මස්තාන් ද මෙහි විශේෂත්වයක් ගනියි. අල්ලපු ගෙදර තනද්දී නිෂ්පාදක ගුණරත්නම්ගේ මුල්ම තේරීම එඩී ජයමාන්නයි. නවක නළු ජෝට එහි ඉඩක් නැත. එයට පෙර ධීවරයෝ තනද්දී මස්තාන් එම සිද්ධියට මුහුණ දුන්නේ ය. නිෂ්පාදකගේ තේරීම ආනන්ද ජයරත්නය. මස්තාන් තමා කැමති නළුවාම ඉල්ලා සිටියේය. අල්ලපු ගෙදර ද එහෙමය. මස්තාන් අධ්‍යක්ෂවරයකු සතු හැකියාව ප්‍රදර්ශනය කළේය. කරුමයට මෙන් චිත්‍රපටය රූපගත කරන්නට සූදානම් වද්දී ජෝ අබේවික්‍රමට පැපෝල රෝගය වැලඳීණ. රූපගත කිරීම මාසයකින් කල් දමන්නට අධ්‍ය්කෂ වග බලා ගත්තේය. සාරවිට චිත්‍රපටයේ එන බමුණුසිංහ ආරච්චිගේ ගුණේරිස් නොහොත් සාරයියාගේ චරිතය ද එබන්දකි. මිනිසකු සිනහවෙන් හැඬවිය හැකි නම් සාරයියා එයට කදිම උදාහරණයකි.
එබැවින් වැලිකතරට එන විට ඔහු ලබන හැරවීම පුදුමයක් නොවේ. තිබුණේ ජෝ අබේවික්‍රම නම් හැමවිටම හරවා ගත හැකි නම්‍ය සිරුර එකී කෝවට දමා ගැන්ම පමණකි. වැලිකතරෙහි ඔහුට අවශ්‍ය සියලු පසුබිම ගොඩ නැඟී තිබිණ. එහි ගෝරිං මුදලාලි නම් චරිතයක් තිබිණ. එයට මුලක් තිබිණ. වික්‍රම රන්දෙණියට උතුරට පත්වීමක් නොලැබුණා නම් ගෝරිං මුදලාලිට සාමයෙන් සමාදානයෙන් තම හොර බඩු ව්‍යාපාරය තවත් පුළුල් කොට පොලිසියට පාන් සපයමින් ජීවත් වන්නට ඉඩ තිබිණ. එයින් අදහස්වනුයේ දිසානයක මුදියන්සේලාගේ සුදු බණ්ඩා හෙවත් ගෝරිං මුදලාලි ලෙස ජෝ අබේවික්‍රමයන් කළ රංගනය අවතක්සේරු කිරිමක් නොවේ. ඔහු එහි දුබල තැන්ද බලසම්පන්න තැන්ද එකිනෙක හදුනා ගත්තේ බැවින්ය.
ජෝ අබේවික්‍රමයන්ට තරම් නළුවකුට මහත් අභියෝගයක් විය හැකි චරිත අති විශාල සංඛ්‍යාවක් කිසිවකුට හෝ ලැබුණේ නැත. ආරම්භයේ සිට මිය යනතෙක්ම ඔහු චරිත නිරූපණය කළේය. මේ අතර වේදිකා නාට්‍ය කිහිපයක් ද වෙයි. පසුකාලීනව ඔහු ටෙලි නාට්‍ය රංගනයට පමණක් නොව නිෂ්පාදනයට ද දායක විය. ටෙලිවිෂනය හෝ සිනමාව යන මාධ්‍යද්වයෙහිම පවා ජෝ මහත්තයා සිය රංග ප්‍රතිභාවට මාධ්‍ය සීමා පනවා ගත්තේ නැත. ඔහු රඟ පෑ චිත්‍රපට සංඛ්‍යාව සියය ඉක්මවා ගිය ද ඒ හැම චිත්‍රපටයක්ම එක හා සමාන විශිෂ්ට හෝ ජනාකර්ෂණීය වූයේ නැත . කවර තරම් පළපුරුදුකාරයෙක් වුව ද ඇතැම් විට චරිතයක් ගොඩ නැංවීමට අවශ්‍ය මෙවලමක් දෙකක් කතා බස් කළා විනා චිත්‍රපටයේ අධ්‍යක්ෂ කවර තරමේ දුර්වලයෙක් වුව ද තමන්ට අවශ්‍ය පිරිදි චිත්‍රපටය හසුරුවන්නට ඔහු වෑයම් කළේ නැත. එමෙන්ම ගමට යන විට ගමේ අන්දමටත් නගරයේ දී නාගරික අන්දමටත් ජීවත් වන්නට ඔහුට හැකි වීම සිනමා කර්මාන්තයේ දී ඔහුගේ පැවැත්මට බෙහෙවින් මහෝපකාරි විය. සිනමාකරණයේ දී අතිශය කබල් චිත්‍රපට කිහිපයක් සම්න්ධව ජෝ මහත්තායගෙන් විමසූ කල එයට ලැබුණ පිළිතුර මෙහෙමය. "අපි කරන්න යන්නේ උළු හෙවිල්ලිල්ල නම් මොන මළ ඉලව්වට ද බං වත්තේ හතර මායිම. එබඳු චිත්‍රපටවල නරඹන්නට තිබුණ එකම කාරණාව ද ජෝ මහත්තයාගේ රඟපෑම පමණකි.
ජෝ මහත්තයා සිනමාවට ගෙනාවේ ඔහු ඇසූ දුටු දේය. ඔහුගේ විශිෂ්ට රංගනය කිසි විටෙකත් අධ්‍යාපනයකින් හික්මවීමක් කළ එකක් නොවිණ. එමෙන්ම එය කිසිදු ගුරු කුලයකට අයත් නොවිණ. ඔහුට මුල් යුගයේ සිට සිනමාකරුවන්ගෙන් කැමරාව දුවන විට එහි රූප රාමුවට අවශ්‍ය පිරිදි හැසිරෙන්නට වග බලා ගත්තා විය හැකිය. එහෙත් ඔහු එයට ජීවිතය ගෙනාවේ තම දිවියෙන් ලද අත්දැකීම් ඇසුරෙනි. ජෝ අබේවික්‍රමයන් දැනුම සොයා ගත්තේ පොත පත ඇසුරෙන් නොවේ. එහෙත් ඔහු මහා පුරුෂයන් ඇසුරු කළේය. එමෙන්ම ජීවිතය විනිවිද දැකිය හැකි බුද්ධියක් ඔහු සතු විය. මේ ඔහුගේ විශ්වවිද්‍යාලය විය. ඔහුට මුල් යුගයේ ඇසුරු කරන්නට ලැබෙන ටී. සෝමසේකරන් සිංහල දෙමළ මෙන්ම ඉංග්‍රීසි බසද උගත්තෙකි. එමෙන්ම එතැනින් පසු ඔහුගේ සමීපතමයකු වන්නේ ආනන්ද සමරකෝන්ය. ආනන්ද සමරකෝන් සිය දිවි නසා ගැන්ම පිළිබඳ රටේ ප්‍රචලිත මතයට වඩා වෙනත් අත්දැකීමක් ජෝ මහත්තයා සතුව තිබිණ. ඔහුගේ දිවි නසා ගැන්මෙන් පසු මෘත ශරීරාගාරයට ගිය මුල් පිරිස අතර සෝමසේකරන් හා ජෝ මහත්තයාද විය. සෝමසේකරන් සිය සහෘදයාගේ නිසල සිරුර වැලඳ හඬන්නට විය. සෝමසේකරන්ගේ ඇසුරෙන් ඉන් අනතුරුව ඔහු ඇසුරට පත්වන්නේ මයික්විල්සන්, ටයිටස් තොටවත්ත වැන්නන්ය. නාට්‍ය කලාවේ මහා පිරිස ද මහා සංගීතවේදින් ද ඔහු ඇසුරු කළේය. ජෝ මහත්තයාගේ සම්ප්‍රදාය ඊළඟට රැගෙන ගිය රවීන්ද්‍ර රන්දෙණියගේ මතකාවර්ජනයට අනුව ජෝ මහත්තයා ඔහුට මුලින් සමීප ඇසුරට වන්‌නේ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේය. එවකට රන්දෙණියයන් ධම්ම ජාගොඩ යටතේ රංග ශිල්ප ශාලිකාවේ ඉගෙනුම ලබන අතර ජෝ මහත්තයා එතැනට පිවිසෙනුයේ අමරදේව, මහාචාර්ය සරච්චන්ද්‍ර, චිත්‍රසේන වැනි එහි පැමිණි විද්වත් ඇසුර සඳහාය. ජෝ මහත්තයාගේ ඇසුරෙන් මිදුණු ඒ ඒ ක්ෂේත්‍රයෙහි මහා පුරුෂයෝ කිසිවකු නොමැති තරම්ය. එයට වයස සීමාවක් නොවිණ. තම වයස හා සසඳද්දී මුණුපුරු මිණිබිරියන් වයසේ පසුවූවන් සමඟ පවා සම වයසේ මිතුරන් සේ ඇසුරු කළ ජෝ මහත්තයා එමඟින් සිය දැනුම යාවත්කාලීන කැර ගත්තේය. හදිසියේ මිය යන තුරුම ඉහෙන් බහින ලෙඩක් ජෝ මහත්තයාට නොවිණ. අඩුවකට තිබුණේ ඇස් පෙනීමේ දුර්වල කම විතරය. එය ඔහු කෙතරම් හොඳීන් හසුරුවා ගත්තේ ද යත් පුරහඳ කළුවර චිත්‍රපටය වෙනුවෙන් සිංගප්පූරු උලෙළේ දී අන්තර්ජාතික සම්මානයක් දිනා ගත්තේ ඒ ආසන්නයේමය. ඇස් නොපෙනෙන රෝගයක් වීද ඔහුට සය වැනි ඉන්ද්‍රියයක් තිබිණ. එමෙන්ම තියුණු නිරික්ෂකයකු විය. ප්‍රාදේශීය ජනවහර ගැන ජෝ මහත්තයා වාග් විද්‍යාඥයකු විය. එය ඔහු චිත්‍රපට රංගනයේදී අත්හදා බැලුවේය. පරීක්ෂණ සියල්ල හරියට හරිය. කරත්තයක නැඟ කෙවිටක් අල්ලන්නට කුඹුරකට බැස ගොයම් හිටවන්නට කැමරාවේ ඉදිරියේ එය මවන්නට ඔහුට අමුතු ආයාසයක් නොවිණ. චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව ද ඔහුගේ දැනුම ඉහළය. පුරහඳ කළුවර චිත්‍රපටය රූපගත කරද්දි මැදවච්චියට නුදුරු ළිඳවැව ගම්මනායේ ගිනි කාෂ්ඨකයේ රූ ගන්වද්දී සිය සිනමාකරුට අවශ්‍ය රංගනය උදුරා ගන්නා තුරුම ඔහු වෙහසට පත් නොවිණ.
විසිවැනි සියවසේ ගමෙන් කොළඹ පැමිණි බොහොම දෙනකු උපන් කොළඹයන්ට වඩා නාගරිකයෝ වෙද්දී ජෝ මහත්තයා මේ සියල්ල මැද තම අනන්‍යතාව ගොඩ නඟා ගත්තේය. ඒ ගැමියා සම්ප්‍රදායිකව රූපකයක් ගොඩ නඟාගත් මෝඩ ගැමියකු නොවිණ. එබැවින් ඔහු සිනමාවෙහි මේ ගැමි රූපකය ඉස්මතු කළේ කෙලස ද එලෙසම සිය ආශ්‍රිතයන් හමුවේද එම ප්‍රතිරූපය නංවා ගත්තේය. ඒ ගැමියාට සුද්දෙකුට වඩා හොදින් ඉංග්‍රීසි වැහැරිය හැකි බව දන්නේ සමීපතමයෝ පමණකි. එනිසාම ලන්ඩනයේ වීදි ඔස්සේ එක් කනකට අත තබා මහ හයියෙන් පැල් කවි කියන්නට නිර්භීත හැකියාවක් ඔහුට තිබිණ. සුද්දන්ට අවශ්‍ය ඉංග්‍රීසියෙන් උත්තර දෙන්නට ඔහුට හැකියාව තිබිණ. එකල සරසවිය සම්මාන උලෙළේ ජයග්‍රාහකයන් ෆිල්ම්ෆෙයාර් සම්මාන සඳහා සහභාගි වීමට ද එහි සම්මාන දිනූවන් සරසවිය උලෙළ සදහා ද පැමිණීමේ සම්ප්‍රදායක් තිබිණ. මෙරටින් මුල් වරට ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළට සහභාගි වූ අපේ රංගවේදියා වූයේ ජෝ අබ්වික්‍රමයන්ය.
ඔහුගේ සිනමා රංගනය එක් තැනකට සීමා නොවුණ බව මෙහි මුලින් සදහන් කළෙමි. ඔහු මුල් දශකයේ බිහි වූ සෝමසේකරන්ට අවශ්‍ය වූ තරමට අනතුරු වමයික් විල්සන්, ටයිටස් තොටවත්ත, කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා, තිස්ස ලියනසූරිය, එම්.මස්තාන් , ජී.ඩී.එල්. පෙරේරා, රොබින් තම්පෝට අවශ්‍ය විය. තුන්වැනි දශකයේදී සුමිත්‍රා පීරිස්, එච්.ඩී.ප්‍රේමරත්න, වසන්ත ඔබේසේකර, ධර්මසේන පතිරාජ, යසපාලිත නානායක්කාර, ලෙනින් මොරායස්, මණික් සන්ද්‍රසාගර, දයා විමලවීර, සුනිල් ආරියරත්න, මිල්ටන් ජයවර්ධන, විජය ධර්ම ශ්‍රීට වුවමනා විය. සිවුවැනි දශකය වන විට ඔහු ධර්මසිරි බන්ඩාරනායක, ෂෙල්ටන් පයාගල, තිස්ස අබේසේකර, චන්ද්‍රන් රත්නම්, හේමසිරි සෙල්ලප්පෙරුමට , රෝයි ද සිල්වාට අවශ්‍ය විය. අනතුරුව ඔහු ප්‍රසන්න විතානගේ, සොමරත්න දිසානායක, උදයකාන්ත වර්ණසූරිය, ප්‍රියන්ත කොළඹගේ, බෙනට් රත්නායකට අවශ්‍ය විය. මෙලෙස පරම්පරා ගණනක් සිනමාකරුවන්ට පොදු රංගවේදියකු අපට අසල්වැසි ඉන්දියාවෙන් ද දැක ගත හැක්කේ කලාතුරකින්ය. සිනමාකරුවන්ගේ ශෛලීන් වෙනස් වීමත් සමඟ සිනමා නළුවන්ද කාලයාගේ ඇවෑමෙන් සිය නිර්මාණ මඟින් අවලංගු විණ. එහෙත් ජෝ අබේවික්‍රමයන්ට එලෙස නොවිණ.
ඔහු රංගන තලයේදී එයට පේවීම සඳහා වරු ගණන් කැප කළ නළුවකු නොවිණ. ඉතා ගැඹුරු රංගනයක් අතරතුර සිය චරිතයෙන් එක වර මිදී හතර වටේ සිටින පූර්ව සූදානමින් පේවෙන නළුවන්ගේ ධ්‍යානය බිඳීන්ට ඔහුට හැකියාවක් තිබිණ. එමන්ම වහා තම චරිතයට රිංගා ගැන්මට හැකියාවක් ද තිබිණ. මේ ගුණය බොහෝ විට පිහිටන්නේ රූපණවේදය සසර පුරා අධ්‍යයනය කළ ඇත්තන්ටදැයි සැක පහළ වේ. එය වඩාත්ම ඔප්පු වනුයේ ජෝ මහත්තයා රගපෑම එතරම් සරල කොට තැකීමය. ලෙල්ලොපිටියේ උපන්න ද, සාරය්යා වන්නටත්, නන්දන මලවින්න වන්නටත්, ගෝරිං මුදලාලි වන්නටත්, ඇන්ටන් වන්නටත්, සීමන් අය්යා වන්නටත්, දියතලන් වන්නටත්, සිලිඳු වන්නටත්, සොල්දාදුවා වන්නටත්, සිමියොන් වන්නටත්, අබිලිං වන්නටත් වන්නිහාමි වන්නටත් ඔහුට හැකියාව තිබිණ. එමෙන්ම මේ අතරවාරයේ ඇන්තනී සී ලා, දොන්, බී.එස්. ෆ්‍රෙඩී පරදවා හාස්‍යය ඉස්මතු කරවන්නටත් ෆ්ලොරිඩා, ක්ලැරිස්, විජිත මල්ලිකා, මාලිනි ෆොන්සේකා, ශ්‍රියාණි අමරසේන, නීටා ප්‍රනාන්දු වැනි පෙම්වතියන් සමඟ ගී ගයමින් මල්වතුවල නටන්නටත් ඔහුට පුළුවන් විය. කොළඹ හතේ සමාජ ශාලාවේද ගමේ හේනේ කුඹුරේද ඔහු වැඩි ආයාසයකින් තොරව රඟපෑවේය. සිනමාවේ නිළි රැජන මාලිනි ෆොන්සේකා සිනමාවට හඳුන්වාදීමේ ගෞරවයේ එක් කොටසක් ලැබෙන්නේ ජෝ මහත්තයාටය. එමෙන්ම අන්තර්ජාතික සම්මාන දිනූ මෙරට රුපණවේදිනියන් අතර මාලිනි, නීටා ප්‍රනාන්දු මෙන්ම අනෝජා වීරසිංහ ද ඔවුන්ගේ මුල්ම රංගනය ඉදිරිපත් කරන ලද්දේ ජෝ අබේවික්‍රමයන් සමඟය. වර්තමාන සිනමාවේ මහා රංගවේදින් ලෙස ගෞරවයට පාත්‍ර වන රවීන්ද්‍ර රන්දෙණිය, මෙන්ම මාලිනි ෆොන්සේකාගේ ද රංග සම්ප්‍රාප්තිය පසුපස ජෝ අබේවික්‍රමයන් සිටීම ඉතිහාසයේ ඔහුට අයිති තැන පිළිබඳ කදිම සලකුණකි. මේ පිළිබඳ රවීන්ද්‍ර රන්දෙණිය මෙසේ පවසා තිබිණ. "න්‍යායාත්මක රංගනය හැදෑරීමක් කළ මා ප්‍රායෝගික රංගනය හැදෑරීමේදී පශ්චාත් උපාධියක් ලබා ගත්තේ ජෝ අය්යා හරහාය. ඔහු සැහැල්ලු කොට අපට පෙන්වූයේ මේ කර්තව්‍යයේ අභ්‍යන්තරයේ ඇති භාරදූර කාර්යයයි." මේ බව වෙනස් ආකාරයට නිළි රැජන මාලිනි ෆොන්සේකා පවසා තිබුණේ මෙලෙසය. "මට කලාවේ, පෞද්ගලික ජිවිතේ හැමදේම ජෝ අය්යා කියලා දුන්නා. ජෝ අය්යාට ඒ පිනම ඇති. මාව රඟපාන්න ගත්තේ ජෝ අය්යා. ඊට පස්සේ මගේ පවුලේ අය මං ආව මඟ ආවා. එහෙම ගත්තම ෆොන්සේකා පරම්පරා තුනක් ජෝ අය්යාට ණයයි."
ජෝ අබේවික්‍රමයන්ගේ ජීවිත අත්දැකීම් ද රංගන ක්ෂේත්‍රයේ ඔහුගේ ප්‍රතිභාව ද විශ්වවිද්‍යාලයක වෙනම අධ්‍යයනය කළ යුතුය. මෙරට රූපණවේදය හදාරන්නවුන් විසින් වනපොත් කර විශේෂයෙන් හැදෑරිය යුතු රංගවේදීහු රැසක් අපේ සිනමාවේ වෙති. ගාමිණී , ජෝ, ටෝනි ත්‍රිමූර්තිය එයින් කොටසකි. මේ රංගනය හැදෑරීමට ඉතිරිව ඇති චිත්‍රපට ප්‍රමාණවත් නොවුණත්, එයින් හෝ වැඩක් ගත හැක්කේය. එහෙත් ඔහු ජීවිත අත්දැකීම් ඇසුරෙන් ලද දැනුම ඒ සමඟ අභාවයට ගියේය. මෙරට ජන සමාජය පුරා පැතිර ගිය පුරාණ සිරිත් විරිත් පිළිබඳ ජෝ මහත්තයා සතු දැනුම ඔහු සමඟ අභාවයට ගියේය.
අපේ පරම්පරාවේ ජෝ අබේවික්‍රමයන්ගේ අනුප්‍රාප්තිකයකු බඳු ජැක්සන් ඇන්තනි ජෝ අබේවික්‍රමයන් පිළිබඳ වරක් මෙසේ ලියා තිබිණ. 'ජෝ අබේවික්‍රම ලේලලොපිටියේ ඉඳන් ඉව කරන්නේ ලාංකික ඉංගිති සම්ප්‍රදායයි. මේ ඉංගිතිවල පොදු ලාංකීය බව ගැබ්වෙනවා. මෙන්ම එහි කලාපිය උප සම්ප්‍රදායන්ද ඇතුළත් වෙනවා. ඒකයි ජෝ ට පුළුවන් වෙන්නේ චරිතයෙන් චරිතයට වර්ණය වෙනස් කරන්න. හරියට කටුස්සා වගෙයි. ඌ නළුවන් ට හොඳ උදාහරණයක්. ලී දඬු අතරේදී කටුස්සා දුඹුරු පාටයි. කොළ ගොල්ලේදී පලා පැහැයයි. පින්නේදී නිල් පාටයි. දලු ගොල්ලේ පීත වර්ණයි. ඒ උගේ කාය යන්ත්‍රණය හාත්පසට මෘදු ලෙසට මුදාහරින නිසා. ගෝරිං මුදලාලිට වඩා ඇන්ටන් මුදලාලි වෙනස්. අබිලිං සිංඥෝට වඩා සිලිඳු වෙනස්, ඒ හැමෝටම වඩා වන්නිහාමි වෙනස්. හැබැයි මේ හැම වෙනස්කමක් මැද ජෝ අබේවික්‍රම ඉන්නවා. මොකක්ද හේතුව? කටුස්සාටත් වෙනස් වෙන්න සිද්ධාන්තයක් තියෙනවා. ඒත් ඌ වර්ණ විපරිතාවය සේම සිද්ධාන්තය (වේශාන්තරණය) ඉගෙන ගන්න ඉස්කෝලේ ගියේ නෑ. හැබැයි ඌ සිද්ධාන්තය දන්නවා'
ජෝ අබේවික්‍රමයන්ගේ අභාවය වෙනුවෙන් ජැක්සන් සරසවියට මෙසේ ලිව්වේය.
'අපට රංග අභ්‍යාස ක්‍රමවේදයක් නැත. අපට රංග පාසලක් ද නැත. අපේ රංගය ගැන විද්‍යාත්මක විචාර කතාවක් ද නැත. අපි කටපාඩමෙන් රඟපාන කණබෙල්ලන් නළුවෝ වෙමු. අපේ ක්‍රියාවට න්‍යායක් නැත. න්‍යාය තනා ගන්නට සිටි ගාමිණී ෆොන්සේකා ද ජෝ අබේවික්‍රම ද දැන් අප අතර නැත. මහ අප්පොච්චි මිය ගිය කල දරු මුණුපුරන්ට කාගේ පිහිටක්ද? මුදුන් මුල දිරා ගිය කල මහා වෘක්ෂයට කුමක් සිදුවෙයිද? න්‍යාය තනා ගන්නට පෙර ක්‍රියාව ඇණ හිටි කල පර්යේෂණයට කුමක් සිදුවෙයිද? මාලිනි ෆොන්සේකාගේ, රවීන්ද්‍ර රන්දෙණියගේ කඳුළු අතරට මගේ පරම්පරාවේ කඳුළුත් එකතු වී යයි. ඒත් මට පසු පරම්පරාවල් මේ මහා වෘක්ෂය හදුණත්ද? ජෝ අබේවික්‍රමගේ වියෝවෙන් පාළු වී යන්නේ මගේ පරම්පරාව විතරක්ද?'
ජැක්සන් එලෙස විමසා තිබිණ. මේ දස වසර ඇතුළත ලෝකය උඩු යටිකුරුව ගියේය. ජෝ මහත්තයා පැවසූ අන්දමට පනාමුරේ ඇත් රාජා පිළිබඳ රටේ ප්‍රචලිත කතාවට වඩා වෙනස් කතාවක් ඔහුගේ අත්දැකීම විය. පතළ කතාව හරහා ඇත්ත කතාව යටපත් වූ බව ජෝ මහත්තා මා සමඟ පවසා තිබේ. එය ඇත්ත නම් පනාමුරේ ඇතා පසුපස තිබුණේ දේශපාලනයයි. අද එබඳු යුගයක නම් සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ අලුත් අලුත් කතා රැසක් බිහිවෙනු ඇත. වසර දෙකක් මුළුල්ලේ හුදෙකලාව සිටින මිනිසුන්ගේ ජන ජීවිතය සමඟ මෙතෙක් පැවති සිරිත් විරිත් සියල්ල උඩු යටිකුරු වන බවක් පළව යයි. මේ විපර්යාස සිදුවන්නට පෙර , එනම් ජෝ මහත්තයා අප අතරින් වෙන්ව ගොස් වසර පහකට පමණ පසු එක් දවසක මෙරට විශ්වවිද්‍යාලයක සිනමා විෂයය හදාරන සිසුන් තෝරා ගැන්මට සම්මුඛ පරීක්ෂණයක් පැවැත්විණ. විශ්වවිද්‍යාලයට තේරී සිනමාව හැදෑරීමේ අපේක්ෂාවෙන් පසු වූ එක් මානවකයෙක් ටෙලි නාට්‍ය රැසක රඟ පා තිබිණ. සිනමාව තෝරා ගැන්මේ දී ඔහුට එය විශේෂ සුදුසුකමක් විය. එහිදී නැරඹූ චිත්‍රපට පිළිබඳව මෙන්ම චිත්‍රපට දර්ශන උපුටා ගැන්මෙන් ඒ පිළිබඳ විමසීමක් ද සිදු කෙරිණ. මේ මානවකයාටද ඒ සිනමා රූප රාමු පෙන්වා විමසනු ලැබිණි. අනතුරුව එහි රඟපෑ නළුවා ගැන විමසුවේය. දැකලා තියෙනවා නම දන්නේ නෑ. මානවකායා තටමා පැවසුවේය.
"රඟපානවා නම් මේ මහා නළුවාගේ නම දන්නේ නෑ කියන්නේ සමහර විට ඔබ ඔබගේ පියාගේ නමත් දන්නේ නැතිව ඇති"
සම්මුඛ පරීක්ෂණය මෙහෙයවූවෙකුට නිකම්ම කියැවිණ. ජැක්සන් ඇන්තනී පැවසූ පරිදි මේ වියෝවෙන් පාළුව යන්නේ මගේ පරම්පරාව විතරක්ද?
ජෝ මහත්තයා ගෙනා දැනුම සංසාරික දැනුමක් යැයි අපි විශ්වාස කරමු. මේ සසරේම මේ භවයේ උපයා ගත් දැනුම සමඟ ඔහු හමුවනු ඇත. ඔහු හමුවන තුරු මේ පාළුව එලෙසම පවතිනු ඇත. එය දස වසක් ගෙවෙන තැන වඩාත් හොඳීන් පැහැදිලිය.
සේයාරූ- දයාන් විතාරණ