සරසවිය ප්‍රධාන චරිතයක් වෙයි

ජයන්ත මිදුණු විශ්වය අරඹයි
අගෝස්තු 8, 2019

මෙරට ජාතික කලා පුවත්පත වූ සරසවිය පුවත්පත ද චරිතයකට භාවිත කරමින් තැනෙන සිනමාපටයක මුහුරත් උලෙළ ඉකුත් දා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්විණි. සරසවිය සම්මාන දිනූ සිනමා අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිගේ මීළඟ සිනමාපටය වන එය නම් කොට ඇත්තේ ‘මිදුණු විශ්වය’ නමිනි. මෙම චිත්‍රපටයට පාදක වනුයේ 60 දශකයේ චිත්‍රපට නිළියකගේ කතාවකි. ජයන්තගේ සමනළ සංධ්වනිය නිෂ්පාදනය කළ රුවන් ජයසිංහ මිදුණු විශ්වය සිනමාපටය ද නිෂ්පාදනය කරයි. මෙහි රූපගත කිරීම් මේ වන විට ආරම්භ වී තිබේ.

ශ්‍රියන්ත මෙන්ඩිස්, උද්දික ප්‍රේමරත්න, උදාරි වර්ණකුලසූරිය, බුද්ධික ජයරත්න, කුසුම් රේණු, චුලක්ෂි රණතුංග මෙහි ප්‍රධාන නළු නිළියන්ය. නිමල් ෆ්‍රැන්සිස් සහාය අධ්‍යක්ෂවරයාය, කැමරා අධ්‍යක්ෂණය සහ සංස්කරණය ප්‍රවීණ් ජයරත්නගෙනි. ප්‍රසන්න ඉත්තෑපාන නිෂ්පාදන කළමනාකරුය, නවරත්න ගමගේ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වේ.

දමිතා අබේරත්න, කුෂානි සඳරේඛා සහ ලෙස්ලි තෝමස් ගායනයෙන් එක් වෙති. ඉන්දික උදාරලංකා අංග රචනයෙන් ද, පියතිස්ස අකුරම්බොඩ කලා අධ්‍යක්ෂණයෙන් ද මිදුණු විශ්වය සඳහා එක් වෙති. තිර රචනය සහ ගීත රචනය ජයන්ත චන්ද්‍රසිරිගෙනි.

අග්නි දාහය, ගරිල්ලා මාර්කටිං, සමනළ සංධවනිය, මහරජ ගැමුණු සහ ඝරසරප ජයන්ත චන්ද්‍රසිරි මීට ප්‍රථම නිර්මාණය කළ චිත්‍රපට අතර වේ. ඝරසරප චිත්‍රපටය ඉකුත් සිග්නීස් සිනමා උලෙළේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනා ගත්තේය. දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා, වෙද හාමිනේ, රැජන ආදී විශිෂ්ට ටෙලි සිතුවම් ජයන්තගේ අධ්‍යක්ෂණයන් වේ.

මිදුණු විශ්වය චිත්‍රපටය වෙනුවෙන් 1960 දශකයේ පැරැණි සරසවිය කාර්යාලය ද අලුතින් සකස් කරනු ඇත. ඒ මරදානේදීය. මෙම චිත්‍රපටය 2023 වසරේ අප්‍රේල් මස සරසවිය 60 වන සංවත්සර කලාපයේ ආකෘතිමය පුවත්පතක්ද සැකසෙනු ඇත.

කලකට ඉහත නවලිය සිනමා අතිරේකය සංස්කරණය කළ ජයන්ත සිනමා කෘතියක් උදෙසා මෙරට එකම සිනමා පුවත්පත වූ සරසවිය පුවත්පතේ අනාගත කලාපයක් සැලසුම් කිරීම ඓතිහාසිකය. මුහුරත් උලෙළේ ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේ සරසවිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර විසිනි. ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී ද දෙසුමක් පැවැත්විය.