මුහුද මැද තැනෙන මාරියා

මාර්තු 11, 2021

සම්පූර්ණයෙන්ම මුහුද මැද රූපගත කරන සිනමාපටයක මූලික වැඩ කටයුතු පසුගියදා සීනෝර් හෝටල් පරිශ්‍රයේ පැවැති මුහුරත් උලෙළකින් අනතුරුව ආරම්භ කෙරිණ. එය නම් කොට ඇත්තේ මාරියා නමිනි. මුහුද මැද යාත්‍රාවක ගමන් කරන පිරිසක් වටා ගෙතුන කතා පුවතකින් සමන්විත මෙය අරුණ ජයවර්ධනගේ අධ්‍යක්ෂණයකි. මාරියා සිනමාපටය සඳහා කිසිදු නිළියක් රංගනයෙන් දායක නොවීම විශේෂත්වයකි. මෙහි මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, අශාන් ඩයස්, දසුන් පතිරණ, දර්ශන් ධර්මරාජ්, ප්‍රියන්ත සිරිකුමාර සහ සුරන් දිසානායක චරිත රංගනයේ යෙදෙති. මාරියා සිනමාපටයේ කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රියගෙනි. දින 15 පුරා මුහුද මධ්‍යයේ මාරියා රූපගතකිරීම සඳහා සැලසුම් කොට තිබේ. මෙම චිත්‍රපටය අරුණගේ හතරවැනි සිනමාපටයයි. නිකිණි වැස්ස, 1970 ලව් ස්ටෝරි, හැපි බර්ත්ඩේ ඔහු මීට පෙර නිර්මාණය කළ චිත්‍රපට අතර වේ. එදින අරුණ ජයවර්ධනගේ නිර්මාණ ඇතළත් වෙබ් අඩිවියද අන්තර්ජාලයට මුදා හැරිණ.