කබඩි මේදිනවල කැන්ගරු දේශයේ

ජූලි 1, 2021

 

නව පරපුරේ ජනප්‍රිය සිනමාකරු හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ කබඩි චිත්‍රපටය පසුගිය විසි වැනි දින සිට ඕස්ට්‍රෙලියාවේ තිරගත වීම ඇරඹිණ. පළමුව බ්‍රිස්බේන් නගරයේ තිරගත වූ කබඩි මෙම ජූලි මස 4 වැනි දින ඇඩිලේඩ් නගරයේ ටී ට්‍රී ප්ලාසා හි හොයිටිස් සිනමාහලේ ද එදිනම මෙල්බර්න් හි ෆවුන්ටන් ගේට් හි විලේජ් සිනමා ශාලාවේ ද තිරගත වෙයි. එමෙන්ම 11 වැනි දින ද මෙල්බර්න් හි කබඩි ප්‍රදර්ශනය වන අතර එවර තිරගත වනුයේ වෙරිබී හි විලේජ් සිනමා ශාලාවේදීය. කබඩි නැවත ජූලි මස 25 වැනි දින සිඩ්නි නගරයේ තිරගත වීමට නියමිතය.

අමිල කරුණානායක, සෙනාලි ෆොන්සේකා, ශ්‍රීයන්ත මෙන්ඩිස්, නිල්මිණි කෝට්ටේගොඩ, දර්ශන් ධර්මරාජ්, ආනන්ද වික්‍රමගේ, කුමාරි මුණසිංහ, පියුමි බොතේජු, දමිතා අබේරත්න, අනුජ් රණසිංහ, විනූ සිරිවර්ධන, රජිත හිරාන්, ආදින් චරිත මවන මෙහි සංගීතය උදාර සමරවීරගෙනි. කබඩි නිෂ්පාදනය නිශාන්ත ජයවර්ධනගෙනි.

පසුගිය අප්‍රේල් මස 16 වැනි දින සිට මෙරට සාර්ථක තිරගත වීමක් ඇරඹූ කබඩි පවතින සෞඛ්‍ය තත්ත්වය මත ප්‍රදර්ශනය තාවකාලිකව අත්හිටුවන ලද අතර එය ඕස්ට්‍රේලියානු චිත්‍රපට බෙදාහැරීම් සමාගමක් වන මෙගා ලයිව් ඉවෙන්ට්ස් සමාගම මඟින් එරට හා තවත් රටවල් කිහිපයකම මෙලෙස ප්‍රදර්ශනය කරනු ලබයි.

කොවිඩ් වසංගත තත්ත්වය අවසන් වූ වහාම කබඩි නැවත මෙරට ද ප්‍රදර්ශනය කරවීමට නිෂ්පාදකවරු සැලසුම් කර සිටිති.