වසර පනහක් සපිරි “හතර දෙනාම සූරයෝ”

ජූලි 22, 2021

සිංහල කථානාද සිනමා ඉතිහාසයේ ජනප්‍රිය චිත්‍රපට දහය අතරට ගැනෙන "හතර දෙනාම සූරයෝ" චිත්‍රපටයට ජුලි 20 වැනිදාට වසර 50ක් පසිරිණි. 1971දී නීල් රූපසිංහ විසින් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරන ලද "හතර දෙනාම සූරයෝ" චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, සේනාධීර රූපසිංහ, ඇන්තනි සී. පෙරේරා යන රංගන ශිල්පීන් ය. මාලිනී ෆොන්සේකා, ශ්‍රියානි අමරසේන, අග්‍රා සජීවනී, වෛජයන්තිමාලා ද සිල්වා, තලතා ගුණසේකර, ලයනල් දැරණියගල, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, පර්ල් වාසුදේවි ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් රාශියක් මේ සඳහා රංගනයෙන් දායකත්වය ලබා දී ඇත. "හතර දෙනාම සූරයෝ" ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු මෙන්ම සිනමාවේදියකු වූ ධර්මසිරි ගමගේ විසින් තිර රචනා කරන ලද අතර කැමරා අධ්‍යක්ෂණය ලෙනින් මොරායස්ගෙනි. පී.එල්.ඒ. සෝමපාල එම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කොට ඇත.

එවකට "හතර දෙනාම සුරයෝ" චිත්‍රපටයට පසු සිනමාස් ප්‍රදර්ශක මණ්ඩලයේ ප්‍රදර්ශනය වීමට නියමිතව තිබු ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ඩී.බී. නිහාල් සිංහගේ "වැලි කතර" චිත්‍රපටය එම මණ්ඩලයේ අනෙකුත් සිනමාහල්වල ප්‍රදර්ශනය වන විටත් "හතර දෙනාම සුරයෝ" චිත්‍රපටය අඛණ්ඩව මරදානේ ගාමිණි සිනමාහලේ දින 100දක්වා සාර්ථක ලෙස ප්‍රදර්ශනය වී ඇත. ගාමිණි, මාලිනි, විජය යන ප්‍රවීණයන් එක්ව රඟපෑ මුල්ම චිත්‍රපටය ද මෙයයි. එමෙන්ම සිංහල සිනමාවේ අමරණීය පෙම් යුවළ වූ විජය-මාලනී යුගයේ ආරම්භය සටහන් කළේද හතර දෙනාම සූරයෝ චිත්‍රපටයයි. ධර්මසේන පතිරාජ වැනි ප්‍රවීණ සිනමාවේදීන්ගේ පැසසුමද ලද මේ චිත්‍රපටය බූඩි කීර්තිසේන වැනි තරුණ අධ්‍යක්ෂවරුන්ද ඔවුන්ගේ චිත්‍රපට සඳහා පූර්වාදර්ශ කොටගෙන ඇත.

2008 වසරේදී "හතර දෙනාම සුරයෝ" චිත්‍රපටය නීල් රූපසිංහ විසින් නැවත වරක් අධ්‍යක්ෂණය කරන ලදී. බුද්ධික ජයරත්න, රොෂාන් පිලපිටිය, ජගත් චමිල සහ අමිල අබේසේකර යන රංගන ශිල්පීහු "හතර දෙනාම සූරයෝ" නැවත නිෂ්පාදිත සිනමා පටයේ ප්‍රධාන චරිත නිරූපණය කළහ.

හතරදෙනාම සූරයෝ පිළිබඳ විශේෂ ලිපියක් ලබන සතියේ සරසවිය පුවත්පතේ පළ වෙයි.