දේවි සම්බුලා රූගත කිරීම් අවසන්

නොවැම්බර් 18, 2021

ප්‍රවීණ සිනමාවේදී ජැක්සන් ඇන්තනිගේ නවතම සිනමා නිර්මාණය දේවි සම්බුලා හි රූ ගත කිරීම් පසුගිය දා නිම විය. දින පනහකට අධික කාලයක් දිවයිනේ අති සුන්දර ප්‍රදේශයන්හි රූගත කිරීම් කළ මෙම කලා කෘතිය මෙරට සිනමා ඉතිහාසයේ මුල් වරට සිංහල හා ඉංග්‍රිසි යන දෙබසින්ම තැනෙන නිර්මාණයකි.

පන්සිය පනස් ජාතක පොතේ එන 511 වැනි ජාතක කතා වස්තුව වූ සම්බුලා ජාතකය පදනම් කරගෙන නිර්මාණය වන මෙහි තිර රචනයද ජැක්සන් ඇන්තනිගේය. රොහාන් ද සිල්වා ප්‍රථම වරට නිෂ්පාදනයෙන් දායකවන දේවි සම්බුලා චරිත ත්‍රිත්වයක් ඔස්සේ දිවෙයි.

උදාරි වර්ණකුලසූරිය සම්බුලා දේවිය ලෙසත්, සොත්ථිසේන කුමාරයා ලෙස පුබුදු චතුරංගත්, දානව රාක්ෂයා ලෙස අකිල ධනුද්දරත් චරිත මවති.