ද නිවුස්පේපර් ලන්ඩන් රේන්බෝ චිත්‍රපට උලෙළේ තරඟකාරී අංශයට

මැයි 19, 2022

සරසවිය සම්මාන දිනූ චිත්‍රපට නිෂ්පාදක ආචාර්ය බන්දුල ගුණවර්ධන නිෂ්පාදනය කළ 'ද නිවුස්පේපර්' සිනමාපටය ලන්ඩනයේ රේන්බෝ චිත්‍රපට උලෙළේ තරඟකාරි අංශය නියෝජනය කිරීමට සමත් වී ඇත. 23 වැනි රේන්බෝ චිත්‍රපට උලෙළේ මැයි 29 ඉරිදා ආරම්භ වන අතර 2022 ජුනි 05 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. වෘත්තාන්ත, කෙටි, වාර්තා, සජීවකරණ සහ පර්යේෂණාත්මක චිත්‍රපට ඇතුළත් රේන්බෝ චිත්‍රපට උලෙළේදී මැයි 30 වැනිදා 'ද නිවුස්පේපර්' සිනමාපටය තිරගත කිරීමට නියමිතය. රවීන්ද්‍ර ගුරුගේ සහ එච්. ඩී. ප්‍රේමසිරි සම නිෂ්පාදනයෙන් දායක වූ 'ද නිවුස්පේපර්' සිනමාපටය සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුරගේ සම අධ්‍යක්ෂණයකි.

කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, නෙතලි නානායක්කාර, ජයලාල් රෝහණ, ධර්මප්‍රිය ඩයස්, ගිහාන් ප්‍රනාන්දු, සරත් චන්ද්‍රසිරි, උමයංගනා වික්‍රමසිංහ, පුබුදු චතුරංග, මාෂි සිරිවර්ධන, දිමුතු චින්තක, වසන්ත මොරගොඩ, වසන්ත කුමාරවිල, චින්තක වාස් ඇතුළු පිරිස එය රංගනයෙන් හැඩ කරති.