දහසක් මල් මැද එකම මලයි පැතුවේ...

එ මල කිමද සරදම් කර සැඟව ගියේ
ඔක්තෝබර් 20, 2022

 

 

උන්මාද සිතුවම් මැවේ බිඳේ

මීදුම් වලා මැද අතීතයේ

බිඳුණු පෙමින් ගිනිගත් හදවත්

තනිවේවි එක්ටැමි ගේ

අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ

පාළු හුදෙකලා සුළඟ පමණි උරුමේ

හඬා වැටෙන සිත සදා සරණ මට

තනිවේවි එක්ටැමි ගේ

දහසක් මල් මැද එකම මලයි පැතුවේ

එමල කිම ද සරදම් කර සැඟව ගියේ

දැනේ තවම මට මලේ සුවඳ පොද

තනිවේවි එක්ටැම් ගේ

ගී පද - මහාචාර්ය සුනිල් ආරියරත්න

සංගීතය - සරත් දසනායක

ගායනය - විශාරද ගුණදාස කපුගේ

චිත්‍රපටය - එක්ටැමි ගේ

 

 

මිනිස්සුන්ව ජීවත් කරන්නත්, විනාශ කරන්නත් පුුළුවන් මේලොව තියෙන ප්‍රබලම හැඟීම තමයි ආදරය අවංක ආදරය හිමි වුණු අයට වඩා අහිමි වුණු පිරිස වැඩියි දෝ හැඟෙන්නේ, විරහවට ඇලුම් කරන විරහ දුක තනිවම විඳගන්න, විරහ ගී ගයන පිරිස බොහෝ සෙයින් සිටින නිසයි.

සිංහල සුභාවිත ගීතාවලිය තුළ අතිශයින්ම විරහ දුක දනවන, දැනෙන, පාළුව, තනිකම, ශෝකය, මනාලෙස සම්පිණ්ඩනය වූ හා ඒ සියලුම භාවයන් ගායනයෙන් ඉස්මතු කර ඇති ගීතයක් ලෙස ඉහත ගීතය හැඳින්විය හැකියි. “එක්ටැම් ගේ’ චිත්‍රපටයේ විරහ දුක උරුමව ‘එක්ටැම් ගෙදරක’ සිය ජීවිතය සිරකරගත් පෙම්වතාගේ වියෝදුක ගැන ගීතයෙන් ගැයුව ද එය, සිනමාපටයෙන් වියුක්තව ද රසවින්දනය කළ හැකිය.

මුළු මහත් රසික සමාජයටම තනි තනිවම විඳගත හැකි අපූර්ව විරහ ‘රසයක්’ ගීතයේ පද මාලාවේ සහ එයට යොදා ඇති සංගීතයේ මෙන්ම, ගුණදාස කපුගේ ශූරීන් වේදනාව, ශෝකය හා හුදකලාව මනාලෙස දනවමින් ගයන ගායනයේ තිබේ.

ගීතය ආරම්භයේ ඇසෙන නාද මාලාවේ සයුරු තෙරේ මුහුදු රළ බිඳී විසිරෙන ස්වභාවය ගීතයේ රූප රචනය හා මුසුකොට ඉතා අලංකාර ලෙස ඉස්මතු කොට තිබේ.

විශේෂයෙන් ඒ සඳහා භාවිතා කර ඇති වාද්‍ය භාණ්ඩ වන මවුත් ඕගනය, බොක්ස් ගිටාර් 06ක්, බොන්ගෝවක් ඇතුළු සංගීත භාණ්ඩ සම්මිශ්‍රණයෙන් ගීතයට අවශ්‍ය සංගීත සංයෝජනය කර තිබේ. සැබැවින්ම ගීතයේ සංගීතය හා නාද මාලාව විශිෂ්ටය.

එම විශිෂ්ටත්වය වඩාත් තීව්‍ර කරන්නට මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගී පද මාලාව මෙන්ම ගායන ශිල්පියාගේ භාවමය හඬ මුසුව මනා ලෙස උපයෝගී වී තිබේ. ‘දහසක් මල් මැද එකම මලයි පැතුවේ’... යන පද සාමාන්‍ය ජීවිතයේ දී ආදරය කරපු, විඳපු පෙම්වතුන් දශක ගණනාවක් පුරා අදටත් භාවිත කරන පද පෙළකි. එසේම විරහ දුකට පත් පෙම්වතුන් අනන්ත අප්‍රමාණ මෙහි ඉතිරි පද පේලියත් මුසුකොට එනම්,

“දහසක් මල් මැද එකම මලයි පැතුවේ...

එමල කිම ද සරදම් කර සැඟව ගියේ...”

ලෙස යන ගයන්නට, සිතන්නට ඇති ද?

මෙය හදවතට කතා කළ ජීවමය ගුණය පිරි, දැනෙන, විඳින, දනවන සුභාවිත විරහ ගීතයකි. විරහවත් තනිවම කෙතරම් රසවිඳිය හැකි දැයි ගීතය අසන විට හැඟේ.

එක්ටැම් ගෙයක් යනු කිසිවකුට හෝ පහසුවෙන් යානොහැකි සමාජයෙන් ඈත්ව, තනිකර හුදකලාව වාසයට යොදාගත් ස්ථානයකි. මෙහි පෙම්වතාත් එක්ටැම් ගෙදරක තනි වූ අයෙක් වැනිය. මිනිස් සමජයෙන් බැහැරව ප්‍රදීපාගාරයක සේවය කරන ඔහු බිඳුණු පේ‍්‍රමයේ වියෝ දුකින් කම්පිතව කල්ගෙවන්නෙකි.

අතීතයේ දී ඔහුත්, ඉතා ම සුන්දර පේ‍්‍රමයකට හිමිකම් කියා තිබේ. මකාදැමිය නොහැකි ලස්සන මතක සැමරුම් ඒ පේ‍්‍රමය තුළ තිබෙන්නට ඇති. ඒ ආදරය තුළ ඔහුගේ අනාගත පැතුම් ප්‍රාර්ථනා ද බොහෝ සේ තිබෙන්නට ඇති. ඔහු ආදරය කළ ඒ සුන්දර යුවතිය තමන්ගෙම කරගන්නට ඔහු කෙතරම් සිහින මවන්නට ඇති ද? පේ‍්‍රමය පුද දී ඒ පේ‍්‍රමය තුළ ජීවත් කරවා, නොසිතූ, නොපැතූ ලෙස ඔහු හැර දමා ඈ වෙනකකු හා සරණ ගියොත්, එය කෙසේ නම් ඔහු දරාගන්න ද?

ඔහු එම වේදනාව දරාගත් අයුරු වෙනත් බොහෝ පෙම්වතුන්ට වඩා හාත්පස වෙනස්ය. මුළුමහත් මිනිස් සමාජයෙන්ම ඈත්ව, තනිකම පමණක් උරුමකරගෙන තමන්ටම වේදනාව හිමිකර දී, තමන්ම විඳවන ජීවිතයක් ඔහු කැමැත්තෙන්ම හිමිකරගෙන තිබේ.

මෙම චිත්‍රපටය, සිංහල සිනමවේ දිගු ගමනක් යාමට හැකියාව තිබූ, තවත් දක්ෂ සිනමා අධ්‍යක්ෂවරයකු වූ හර්බට් රංජීත් පීරිස්ගේ සිනමා අධ්‍යක්ෂණයකි. එය 1980 වසරේ දී තිරගත විය.

ගීතයකට, චිත්‍රපටය පුර්ණව ග්‍රහණයට නතුකර ගැනීමේ හැකියාව බොහෝ සේ අඩුය. නමුත් මෙම ගීතය මුළු චිත්‍රපටයම නතුකර ගත් බවක් චිත්‍රපටය නරඹන විට හැඟේ.

ගමේ අහිංසක, සුන්දර දුප්පත් ගැමි කෙල්ල ළඟ හිත නැවතුණ, සෙල්ලක්කාර, ජේත්තුකාර තරුණයකු හා උත්සහයෙන් දියුණුවන මැදිවියේ පසුවන තනිකඩයකු වටා කතාව දෝලනය වේ.

මෙතෙක් කලක් එහෙ මෙහෙ විසිරෙමින් තිබූ සිය සෙල්ලක්කාර ජීවිතයට සරත් සමුදෙන්නේ මාලා කෙරෙහි ඇතිකර ගත් අවංක පේ‍්‍රමය නිසයි. ඇයට පමණක් ආදරය කර ඇයව විවාහ කර ගැනීමේ දැඩි අධිෂ්ඨානයක් ඔහු තුළ ඇති වේ. ඒ අනුව, ඇයට මුළු හිතින්ම ඔහු පේ‍්‍රම කරයි. නමුත් මාලාගෙන් එවැනි ආදරයක් ඔහුට හිමි නොවේ. ඔහුගේ පෙර සබඳතා ගැන සිතා ඔහුට ඈ ආදරය නොකළත් ඔහුව සිතේ දරාගෙන සිටියි.

මාලාගේ මව විසින් පවත්වාගෙන යනු ලබන ගමේ බත් කඩෙන් බත් කෑමට නවත්වන ලොරියක රියැදුරු වූ මැදිවියේ පසුවන විල්සන් උත්සහයෙන් දියුණු වන්නෙකි. ඔහු බත් අම්මා හා හිතවත් තැනැත්තෙකි. ඒ අවසරයෙන් මාලා ගැන යෝජනා කර ඔහු මාලා හා විවාහ වේ.

ඒ විවාහයෙන් පසු ඔහුට ලොතරැයියක් ඇදීමෙන් ඔහු ධනවත් පුද්ගලයකු බවට පත් වේ. එසේම මාලාට ඉතා හොඳින් සලකන, හොඳ ස්වාමිපුරුෂයකු වන ඔහු මේ සියල්ල ඇයගේ වාසනාවට උදා වූ දේවල් ලෙස සලකයි. එය ඔහුගේ ආදරය ගෞරවය නොඅඩුව ඇයට හිමි වීමට හේතුවක් වේ.

විල්සන් හා මාලා කොතරම් සැප සම්පත් වලට හිමිකම් කීව ද ඔවුනට දරු සම්පත අහිමිය. මේ අතර මාලාගේ යෙහෙළියකගෙන් සරත්ගේ වර්තමාන ජීවිතය පිළිබඳ තොරතුරු දැනගන්නා මාලා ඒ පිළිබඳව කම්පාවට පත් වේ. එනම් ඇය අහිමිවීමේ සොවින්, සරත් ප්‍රදීපාගාරයක රැකියාව කර හුදකලාව වෙසෙමින් තුරුණු දිවියම තනිකමින් පාළුවෙන් ගෙවන බවයි. ඇය එයින් කම්පාවට පත් වේ. ඔහුට එසේ වීමට හේතුව තමන් බව ඇය විශ්වාස කරයි. ඒ අනුව ඔහු සොයා යන ඇයට අවසානයේ සියල්ල අහිමි වේ.

විල්සන් ඇයව ප්‍රතික්ෂේප කරන අතර සරත් ඇයව පිළිනොගනී.

සරත් ලෙස රවීන්ද්‍ර රන්දෙණියත්, විල්සන් ලෙස ජෝ අබේවික්‍රමත්, මාලා ලෙස මාලනි ෆොන්සේකාත් මෙහි විශිෂ්ට රංගනයක නිරත වේ.

තරගකාරී සිනමාපට රැසක් තිරගත වූ එම වසරේ, පැවත් වූ කිසිදු සම්මාන උළෙලකින් මෙම චිත්‍රපටය සඳහා සම්මාන හිමි නොවුණ ද, තවමත් පේ‍්‍රක්ෂකයින්ගේ මතකයෙන් ගිලිහි නොගිය සිනමාපටයක් ලෙස ‘එක්ටැම් ගේ’ චිත්‍රපටය හැඳින්විය හැකියි. ඒ සඳහා ‘උන්මාද සිතුවම්’ ගීතයෙන් ලැබුණු දායකත්වය අති මහත් ය.

එම වසරේ පැවති සම්මාන උළෙලවල් වල දී අසාධාරණ ලෙස නිසී ඇගයීමක් මෙම ගීත ගායනයට, පද රචනයට හෝ සංගීතයට හිමි නොවුව ද, අදටත් ජනතා සම්මානයෙන් මෙම ගීතය පිදුම් ලබයි.