නැවැත්වූ තැනින් මං ඊට වඩා හොඳින් පටන් ගත්තා

යොවුන් නිෂ්පාදක බාසුරු සිරිවර්ධන
නොවැම්බර් 30, 2023

ජීවිතයේ වාසනාව උපතින්ම ගෙනා ඔහු දක්ෂ නිර්මාණ වේදියකි. බහා තෝරන වියේදීම මව සහ පියාගෙන් ඔහු කලාවේ රසය වින්දේය.පාසල් වියේදීම කලාවට ඇලුම් කළ හේ සිතේ තිබුණේ දක්ෂ ව්‍යාපාරිකයකුගේ ඥානයෙකි. කලාවට තම පියාගේ පියවර තැබ්ම ඔහුට මඟ කියා දුන්නේය.එහි ප්‍රතිඵලයක් ලෙස තරුණ වියේදීම සිනමා කර්මාන්තයට එකතු විය. එහි ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදකවරයකුගේ භූමිකාවට අවතීරණ වුවාය. තම පළමු සිනමා නිෂ්පාදනය වසර ගණනාවක් පොලිමේ හිද හරිම කාලසීමාවේදී ඔහු පෝලිමෙන් ඉවත් විය. ඒ ඔහුගේ දෛවයේ වාසනාව ගෙන එන බව ඔහුත් නොදැනිම පිටු පෙරළා තිබු නිසාය. පසුගිය දිනවල සිනමා ශාලාවල් පිරී ඉතිරී යන අයුරින් සටහනක් තබන්නට මෙ නිෂ්පාදකවරයාගේ ‘කතුරු මිතුරු’ සිනමාපටයට හැකිවිය. 70, 80 දශකයෙන් පසු ප්‍රේක්ෂකයන් පිරී ඉතිරී ගිය එකම කාල වකවානුව ලියා තැබුවේය. ආලංකුලම ෆිල්ම්ස් වෙනුවෙන් තාත්තාගෙන් පුතාට බැටන් එක දුන් පළමු පියවරේ ම ඔහු රන් පදක්කම් ලාභියෙක් බවට පත්විය.කාටත් මුවපුරා සිනාසෙන ඔහු නමින් බාසුරු සිරිවර්ධනයි. මේ ඔහු සරසවිය සමඟ කරන පළමු කතාබහයි.

තාත්තාගෙන් පුතාට බැටන් එක දිලා දිව්ව කියන්නේ මොකක්ද ?

මගේ තාත්තා ගැන සිනමා ක්ෂේත්‍රයේ නොදන්න කෙනෙක් නැහැ. ධම්මික සිරිවර්ධන නම් ආලංකුලම සිනමා නිෂ්පාදන සමාගම ආරම්භ කළ මුල් පුරුක ඔහුයි.ආලංකුලම සිනමා නාමය තුළින් සිංහල සිනමාපට ගොඩක් නිෂ්පාදනයන් කළා.ලාංකික නිෂ්පාදන කර්මාන්තයේ සිටී නම් අතර තාත්තගෙ නම ඉහළින්ම කියැවුණේ ඒකයි. ක්ෂේත්‍රයේ ගොඩක් දෙනෙක් ධම්මික අයියා කියලා හඳුන්වන කොට ආලංකුලම ෆිල්ම්ස් කියන නම ඒ පිටුපස යෝධ ශක්තියක් වුණා. කතාවට කියනවානේ තාත්තා කරපු වැඩේ පුතා නොකළොත් ඔහු නොට්ටිගේ පුතා කියලා. මමත් ඒ ගමන යන්න හිතන්න ඇත්තේ ඇඟේ තිබ්බ උණ නිසා වෙන්න ඇති. ඒත් මේ කතා එහෙම කියද්දී තාත්තා සමඟ මම ඒ කාලේ මේ ක්ෂේත්‍රයට සම්බන්ධව වැඩ කටයුතු කළා.තාත්තාගේ පිටුපස සිටි නිසා මට ක්ෂේත්‍රයට පිවිසෙන්නට අවකාශ ලැබුණා. කතුරු මිතුරු සිනමාපටය තාත්තාත් එක්ක තමයි ගිරිරාජ් කෞශල්‍ය මහත්තයා කරන්න වැඩ කටයුතු යොදාගෙන තිබුණේ. ඒත් තාත්තාගේ අභාවයෙන් පසු වූ ගිරිරාජ් කෞශල්‍ය මා සමග මේ පිළිබඳව සඳහන් කළා.තාත්තා සහ ගිරිරාජ් කෞෂල්‍යය අතර ඇති වුණු කතාබහක ප්‍රතිඵලයක් ලෙස තමයි මෙහි තිර පිටපතත් ලියවෙලා තියෙන්නේ. තාත්තා ආරම්භ කළ ගමන නතර කරපු තැන ඉදන් අරගෙන දුවපු හින්දා තමයි හැමෝම දැන් කියන්නේ බැටන් එක අරගෙන දුවනවා කියලා. මට ඕන වුණේ ඔහු පවත්වාගෙන ආ සියලු දේවල්වලට ඊටත් වැඩිය හොඳීන් ජීවය දෙන්න. ධම්මික සිරිවර්ධන කියන ආලංකුලම නිෂ්පාදකවරයා ගෙනා කිසිම දෙයක් අතපසු නොකර ඉදිරියට ගෙන යාමයි.එහි ප්‍රතිඵලය මා නොවෙයි භුක්ති විඳීන්නේ අද ප්‍රේක්ෂක ජනතාවයි. ඕනෑම ගහක මුදුන් මුල ශක්තිමත් වෙනවා නම් ඒය ඉදිරි නොවැටෙන බවයි මා දන්නේ.

සිනමා පටයේ අලුත්⁣ තොරතුරු කොහොමද?

මගේ පළමුවෙනි නිෂ්පාදනය වන්නේ කතුරු මිතුරු සිනමාපටය. හැත්තෑව අසූව දශකයෙන් පසු නිෂ්පාදනය කළ සිනමාපට අතර හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. පසුගිය දින දින 50 පසු කිරීමෙන් සතුට සියලුම දෙනා බුක්ති වින්දේ හරිම සතුටින්. ඒ සතුට දෙගුණ තෙගුණ කරන්නට වුණේ එහි අධ්‍යක්ෂකවරයා වන ගිරිරාජ් කෞශල්‍ය ගේ උපන් දිනයේ ද එදිනට සැමරීම නිසාය. මම ජීවිතේ සැහැල්ලුවෙන් ගතකරන කෙනෙක්. මම හැම දවසකම හිතන්නේ අනුන්ගේ සතුට වෙනුවෙන් යමක් කරන්න අද මට පුළුවන් වෙයි කියලා. ඒ නිසා තමයි මට මේ වගේ සිනමා පටයක් එළියට දාන්න පුළුවන් වුණේ.දැනට ලක්ෂ පහකට වැඩි පිරිසක් නරඹලා තියනවා. සමහරු තුන්පාරක්, හතර පාරක් නරඹලා තියනවා. ප්‍රෙක්ෂක ප්‍රතිචාර ඉතාම හොඳයි. මම කැමති ලංකාවේ ප්‍රේක්ෂකයන්ට බලන්න පුළුවන් සිනමා පට නිෂ්පාදනය කරන්න.

ඒ නිසා තමයි මගේ සිනමාපටය නොකඩවා නරඹන්නේ. මෙහි පූර්ණ ගෞරවය අධ්‍යක්ෂවරයාට හිමි යුතු බවයි මම හැමදාම කියන්නේ.

 

නිෂ්පාදකවරයා හැටියට ඔබගේ සිනමාපටයෙන් නළුවරණය ගැන මොකද හිතෙන්නේ?

මේ සිනමාපටය මුල පුරන කොට මගේ තාත්තයි ගිරිරාජ් කෞශල්‍ය තමයි මේ සියල්ල පිටුපස සිටියේ. තාත්තාගේ අභාවයෙන් පස්සේ තමයි මම මේ ෆිල්ම් එකට මුල පුරන්නේ. තිර පිටපත ලියලා ඉවරවෙලා සියලුම නළු නිළියන් තෝරා ගැනීම අධ්‍යක්ෂවරයාගේ කාර්ය භාරය වුණා. නිෂ්පාදකවරයා හැටියට මම එයට මැදිහත් විමක් සිදු කළේ නැහැ. මම හිතන්නේ නිෂ්පාදකවරයා හැටියට අධ්‍යක්ෂකවරයාගේ මනසේ ඇඳෙන චිත්ත රූප තමයි සිනමාපටයට නැඟෙන්න ඕනේ. එතකොට මම කරන්න ඕනේ නිෂ්පාදකගේ කාර්යභාරය පමණයි. නිර්මාණය කියන්නේ සියලු දෙනා ගෙන එකමුතුවෙන් කරන හොඳ වැඩක්. කණ්ඩායම ශක්තිමත් නම් හොඳ නිෂ්පාදනයක් එළියට දාන්න පුළුවන් වෙනවා. ලෝකයේ දැවැන්ත සිනමා කර්මාන්ත වල තියෙන එකමුතුව තමයි ලෝකය පුරාම රැගෙන යන්නේ.මටත් ඕනෙ ඒ බැඳීම ඉදිරියට ඒ විදිහට ගෙන යන්නයි.

 

පෝලිමේ ඉදල සිනමා පටය මුදාහරින විට තරගකාරිත්වයක් ඇති වුණාද?

ඇත්තටම සිනමාපටය ප්‍රමාද කළේ අපේ නිෂ්පාදන කණ්ඩායමේ කළයුතු වැඩ කොටසක් කරන්න තිබුණා. ඒ වගේම ජධමඪඤ සීසන් එකත් සහරාන්ගේ බෝම්බ ප්‍රහාරයක් මෙයට තදින්ම බලපෑවා. ඒ සියලු දෙවල් හරි ගස්සාගෙන ප්‍රෙක්ෂකයාට නරඹන්නට ඉඩ සැලසුවා. අපිට කිසිදු සිනමා පටයක් අභියෝගයක් වුණේ නැහැ. ජෙලර් සහ ජවාන් තමා. විදේශිය සිනමාපට තිබුණේ එත් ඒවාට ඇදෙන පිරිස් ගේ රුචිකත්වය වෙනස්ය. මොනදේ තිබුණත් ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වන රුචිකත්වයට සිනමාපටය නිර්මාණය වෙලා තිබුණොත්. සිනමාපටය හොඳට තිරගත වෙනවා. ඒ නිසා තමයි මේ සිනමා පටය සිනමාහල් වල පිරි ඉතිරිගියේ. ඕනෑම දෙයකට තරගකාරිත්වයක් තියෙන්න ඕන. එවිට හොද නිර්මාණ එළියට එන ප්‍රමාණය වැඩි. මම තරගකාරිත්වයට හරිම කැමති. ඒ වගේ ම අභියෝග බාර ගන්නත් හැමවෙලේම සූදානමින් ඉන්නේ. අපි අභියෝග හදාගත්තට තමයි අභියෝග ඇති වෙන්නේ. මේ හැම දෙයක්ම දින කැලැන්ඩරේ වගේ වෙනස් වෙනවා.එයට අපිත් අනුගත විය යුතුයි.

 

සිනමා පටය මුදාහරින්න සිනමා මණ්ඩලවලින් ප්‍රශ්න මතු වුණේ නැද්ද?

සිනමා පටය නිෂ්පාදන කටයුතු ඉවර කරලා ඔවුන් සියලු දෙනාටම නැරැඹීමට අවස්ථාව උදාකරලා දුන්නා. එහිදි සියලු දෙනාම ප්‍රදර්ශනයට කැමති වුණා. ඒත් අපි තිරගත කරන දිනය තිරණය කරලා තිබුණදාට අපි සමඟ එකඟවුණ සිනමා මණ්ඩලය සමඟ අපි සිනමාපටය තිරගතවීම ආරම්භ කළා. එත් අනිත් ඒවත් හොඳ සහායෝගයක් දිලා සිනමා පටය තිරගත කිරිම කරගෙන යනවා. මේක දම්වැලක් ඒ දම් වැලේ සියලු පුරුක් ශක්තිමත්ව ගියොත් අපේ සිනමා ක්ෂේත්‍රය ට හොද ගමනක් යන්න පුළුවන්. ඕනැම තැනක ප්‍රශ්න තියනවා. ඒවා ට ගතයුතු පියවරවල් ගත්තාම සියල්ල විසඳෙනවා. අනික හොද්දට ලුණු ඇඹුල් නැති උණාම ඒක රසක් නැති වෙනවා. ඒ නිසා ඒවත් පොඩ්ඩ පොඩ්ඩ තිබුණා තමයි මේකේ රසය වැඩි වෙන්නේ.

 

නිෂ්පාදකවරුන් ක්ෂේත්‍රයට එනවා යනවා ඒ ගැන මොනාද කියන්න තියෙන්නේ?

හරි ක්‍රමවේදයක් සැකසිලා නැතිබව පේනවා. විවිධ සංසද තියනවා එත් ඒ සියලු දෙනාට අවශ්‍ය පරිසරයක් සැකසිලා නෑ. ක්ෂේත්‍රය තුළ පැවත්ම තියෙන්නේ නිෂ්පාදකවරයා කියන සංකල්පය බැහැර කරලා. ඔහු ආරක්ෂා කරනවා වෙනුවට ඔහුව නැති කිරීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. මම අහලා තියනවා වැඩේ පටන් ගන්න ඉස්සරවෙලා බජට් කරලා සියල්ල කරගෙන යන විට බජට් වෙනස් වෙනවා. එහෙම වුණාම නිෂ්පාදකයා එහෙම පිටින්ම අතරමං වෙනවා. සාධාරණ හේතූන් මත යම් යම් දේවල් වෙන්න පුළුවන්. ඒකයි මම කිව්වේ හැම දෙයකටම සැලසුම් නිවැරැදි වියයුතු බව. අපි සියලු දෙනාගේම රාමුව සකසා ගත්තොත් කිසිවකු ක්ෂේත්‍රය අතහැර යන් නැතිවෙයි. ප්‍රේක්ෂකයාට දැනෙන්න යමක් කරනවා නම් මුදල නොවෙයි වටින්නේ. එහි ගුණාත්මක බව කියලයි මම විශ්වාස කරන්නේ. ගුණාත්මක බවෙන් යම් දෙයක් කළොත් එහි ප්‍රතිඵලය පෙරළා අපට ලැබෙනවා.

 

කතුරු මිතුරුවලින් පස්සේ ඊළඟ නිර්මාණය මොකක් වෙයිද?

දැනට මෙ නිර්මාණය තිරගත වෙලා අවසන් වුණාම තමා, ඊළඟ නිර්මාණය ගැන හිතන්නේ.දැනට තිරපිටපත් කිහිපයක්ම ලැබිල තියනවා. මේ දවස්වල ඒවා බලම්න් යනවා. මම හොඳ කතාවක් තමා බලාපොරොත්තු වෙන්නේ. සමාජයට යමක් දෙන්න පුළුවන් හොඳ කතා කිහිපයක්ම තියනවා. ඒ අතරින් දෙකක් විතර තොරාගෙන ඊළඟ පියවර තියන්න බලාපොරොත්තු වෙනවා. එත් එහි අධ්‍යක්ෂණය කවුද නළු නිළියන් කවුද කියලා තාම තිරණය කරලා නෑ. ඒ සියල්ල විසඳිලා ඉවර වුණාම වැඩෙ පටන් ගන්න දාට කියන්නම්.

 

නිෂ්පාදකවරයකු ලෙස ඉදිරි ගමන ගැන මොකද හිතෙන්නේ?

ක්ෂේත්‍රය හොඳ ගමනක් යන්න නම් ඉදිරියේදී සියලුම ක්ෂේත්‍ර නියෝජනය වන අයුරින් අනාගත පරම්පරාව මෙය භාර ගත යුතු වෙනවා. මම මේ කටයුත්තට අලුත් පරම්පරාව විශේෂයෙන් දායද කර ගන්න බලාපොරොත්තු වෙනවා. අපෙන් පසුව අලුත් පරම්පරාවකට මේක භාර දිය යුතුයි. ඔවුන්ට ද ඒ නිදහස් නිර්මාණ අවකාශයට මුදා හරින්නට අවස්ථාව සලසාදීම අපේ පරම්පරාවේ යුතුකම වෙනවා. මෙරටින් පිටතට ගොස් කිසිම නිර්මාණයක් කිරීමට මට නම් අවශ්‍යතාවයක් නෑ. රට තුළ ජීවත් වෙමින් ක්ෂේත්‍රය පෝෂණය කිරීම තමයි මගේ අරමුණ. තව දෙයක් තමයි තරුණ නිර්මාණකරුවන් හැටියට ප්‍රවීණයන්ගෙන් ලබාගත යුතු ආභාසයන් සියල්ල ලබාගන්න ඕන. ඔවුන් හසළ දැනුමක් තියෙන පුද්ගලයන් වෙනවා. ඒ ප්‍රායෝගික හා න්‍යායාත්මක ආභාසය තරුණ නිර්මාණවේදීන් ට අතිශ්‍ය වැදගත් වෙනවා. නවීණ තාක්ෂණයත් සමඟ ඩිජිටල් අවකාශයට ඔවුන්ගේ නිර්මාණ මුදා හැරීමට ප්‍රවීණයන් සෑම විටම ඔවුන්ගේ පිටුපසින් සිට රුකුලක් වෙනවා. ඒ ආකාරයෙන් ප්‍රවීණයන් සමඟ බැඳී සිටින සෑම මොහොතකම. ඒ දේවල් නැවත ඇති කර ගත යුතුයි ක්ෂේත්‍රය රැකගන්න නම්.

 

පිටපතකට උචිත ආකාරයෙන් නළු නිළියන් තෝරා ගැනීමට ක්ෂේත්‍රය තුළ නළු නිළියන් ඉන්නවා කියලා ඔබ හිතනවාද?

ප්‍රවීණයන් හැරුණාම ගොඩක් දුරට ක්ෂේත්‍රය තුළ දක්ෂ රංගන ශිල්පීන් ඉන්නවා. ඒත් ඔවුන් න්‍යායාත්මක හා ප්‍රායෝගික අතින් පෝෂණය නොවිච්ච බවක් පෙනෙනවා. බාහිර ස්වරූපය තිබුණාට කිසිදිනක නළුවකු හෝ නිළියක වෙන්නට බැහැ. ඒත් බාහිර ස්වරූපයට නිර්මාණයට ලබාගත්තාම ඔවුන්ට නිර්මාණය ට සාධාරණයක් කර ගැනීමට නොහැකි උනාම අතරමගදී ඇද වැටෙනවා. ඒ නිසා තමන්ට අවශ්‍ය ගමන් මඟේ පරිසරය සකසා ගත යුතුයි. ඒ තම තමන් නියැළෙන ක්ෂේත්‍රය තුළ දැනුම සහ ප්‍රායෝගික බව අනිවාර්යනේම තිබිය යුතු වෙනවා. පිටපතට උචිත නළු නිළියන් ක්ෂේත්‍රය තුළ නැත්නම් වෙනත් රටකින් හෝ නළු නිළියන් ආදේශකරගෙන නිර්මාණය සාර්ථක කර ගත යුතුයි. වෙනත් රටක නිර්මාණයකට අපේ නළු නිළියන්ගේ දක්ෂතාවය දැකලා ඔවුන්ට ඒ අවස්ථාව හිමි වෙනවා නම්. අපේ නිර්මාණයකට ද වි⁣දේශිය ඕනෑම නළු නිළියෙක් ලබාගැනීමට අධ්‍යක්ෂකවරුන්ටත්, නිෂ්පාදකවරුන්ට වගකීමක් තියෙනවා. මගේ නිර්මාණයකට සාර්ථක නළු නිළියන් නැති උණොත් මට අවශ්‍ය නළු නිළියන් මම විදේශීය රටකින් හරි නිර්මාණයට යොදා ගන්නවා.

 

සිනමා ක්ෂේත්‍රය වෙනුවෙන් ඔබ විශේෂ වැඩකට අත ගහනවා කියලා ආරංචියි මොකක්ද?

දැනට පවතින සිනමාහල් බොහෝමයක් තුළ ප්‍රේක්ෂකයාට අවශ්‍ය යටිතල පහසුකම් ටික වත් නැති බව පෙනී යනවා. ඒ නිසා මම හිතුවා සිනමාහල්වලට නිෂ්පාදකවරයකු හැටියට මැදිහත්වෙලා බැංකු මතින් හෝ වෙනත් පහසුකම් වලින් ආධාර ලබාදීලා ඔවුන්ගේ යටිතල පහසුකම් ටික හරි හදලා දෙන්න. එහෙම වුණොත් මධ්‍යම පාන්තික ප්‍රේක්ෂකයාට හරි ඔවුන්ගේ පහසුකම් ටික සැලසෙනවා. ඔවුන්ට ඒ සිනමාහල්වලට ගිහිල්ලා සිනමා පටයක රස විඳීමේ හැකියාව තියෙනවා. නිෂ්පාදකවරුන් සහ අධ්‍යක්ෂකවරුන් හැටියට අපි මේ කර්තව්‍යයට උර දිය යුතුයි කියලා මම හිතනවා.ඒ නිසා මම ඒ වැඩේට අත ගහනවා.

 

අවසාන වශයෙන් ඔබේ ගමන ගැන මොනාද කියන්න තියෙන්නේ?

මේ ක්ෂේත්‍රය රැකගන්න නම් අපි සියලු දෙනාම එකමුතුව එකට කටයුතු කළ යුතුයි. සිනමාපටය වෙනුවෙන් විශේෂ වැඩ කටයුතු රාශියක් කළ ජයප්‍රකාශ් සිවගුරුනාදන් ට මම මෙය අවස්ථාවක් කරගන්නවා ස්තුති කරන්න. ඒ වගේම මගේ පිටුපස සිටි නිෂ්පාදක කණ්ඩායම ඇතුළු පවුලේ සියලු දෙනාටම. ඒවගේම කතුරු මිතුරු සිනමා පටය දින 50 පසු කරමින් දින 100 දක්වා යන ගමනේදි ප්‍රදර්ශනය වෙනුවෙන් ලොකු කර්තව්‍යයක් කරන සිනමාහල් හිමියන්ට විශේෂ ස්තූතියක් කරනවා. මේ සිනමා පටය ප්‍රදර්ශනය ඉවර වුණාම ඊළඟ සිනමාපටයට මේ සිනමාපටය රසවින්දා වගේම ප්‍රේක්ෂකයන්ට ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා.

 

 

[email protected]