මේ සතියේ නිවී පහන් වී සිත සැනසෙන ගී පොකුරක්

ජුනි 24, 2021
බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය නාහිමි

 

 

වෙසක් සඳ බැස ගිහින්. පොසොන් සඳ පායලා. දින සති මාස ගණනින් ගෙවමින් සියල්ලන්ම පාහේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ මෙනෙහි කරමින් සොබාදහමට අනුගත වෙමින් සිටිනවා. වසර තුනක් තිස්සේ වෙසක් පොසොන් අසිරිය මඟහැරුණු, ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවෙහි යෙදෙමින් නිවෙස් තුළට වී රූපවාහිනියෙන්, ඔන්ලයින් ඔස්සේ බණ අහන, තොරණ බලන්නට, දන්සැල් වඳීන්නට ගිය අතීත මතක මෙනෙහි කරමින් නිවැසියන් සමඟ සිටින මිනිසුන්ට සිත් පහන් කොට බුදු වදනින් සැනසෙන්නට හැකි අපූරු වින්දනයකි මේ. ලාංකේය බෞද්ධ ගීත සාහිත්‍යය වෙනුවෙන් ඩාර්ලි බට්ලර් සමාගම මඟින් පසුගිය වෙසක් පුණ්‍යීත්සවය නිමිත්තෙන් සියලු බොදු බැතිමතුන්ගේ සිත් බොදු බැතියෙන් පුරවාලනු වස් "අම්රිතා බැති ගී පුදසර" සංයුක්ත තැටිය නිකුත් කරලා තිබෙනවා. ක්ෂේත්‍රයේ ප්‍රවීණ ගායක ගායිකාවන්, සංගීත අධ්‍යක්ෂවරුන් සහ පදරචකයින්ගේ සම්මිශ්‍රණයක් වන මේ බැති ගී පෙළහර රසවිඳ සිත් සනහාලන්නට ඔබට මෙසේ ඇරැයුම් කරනවා.

 

නමදිමි ඔබ පාද -

සුනිල් එදිරිසිංහ

 

නමදිමි ඔබ පාද පංකජ නිරිඳු

පවර අහිංසාවාදී පරාර්ථ චර්යාවාදී

ඔබෙ රුව දැක දැක හිඳීමි

ඔබෙ ගුණ මූදේ ගිලෙමි

ඔබෙ සිරිපද සර වඳීමි

මේ බැති ගීය ලාංකිකයන්ට සුවිශේෂයි. ලංකාව තුළ අපේ කාලයේ බිහිවුණු මහා යතිවරයාණන් වන අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රීය නාහිමි විසින් 1947 වසරේදී මේ ගීය රචනා කරලා තියෙන්නේ. බුද්ධ සාහිත්‍යයට සුවිසල් සේවයක් කළ උන්වහන්සේගේ අරුත්බර පදවැල්වලින් බුදුන්වහන්සේ නමදිනුවස් රචිත මේ ගීය ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහ විසින්. එහි මියුරු තනුව නිර්මාණය කර ඇත්තේ සංගීත අධ්‍යක්ෂ ආචාර්ය රෝහණ වීරසිංහ විසින්. අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රීය නාහිමිගේ වසර හැත්තෑවකට වඩා ඉපැරැණි මෙම පදවැල් උන්වහන්සේ ධර්ම දේශනා මඟහැරුණු ලක්වැසියන්ට අසා සැනසෙන්නට ඒ තුළින් බුදුන් දකින්නට හැකි බව පැහැදිලියි.

 

2. සැපය කියා -

ආචාර්ය නන්දා මාලිනි

 

සැපය කියා රසය කියා

නිබඳ සොයා යන්නේ

සැපෙහිම දුක වේ

රසම නිරස වේ

පුහුදුන් සිත නෑ සැනසෙන්නේ

අමා රසය සඳහම් රසයයි

පරම සුවය ලොව්තුරු නිවනයි

මෙම බැති ගීය ගයන්නේ ජාතියේ යශෝරාවය ලෙස සැලකෙන ආචාර්ය නන්දා මාලිනී විසින්. ගායන ක්ෂේත්‍රයේ ප්‍රවීණතම කාන්තා හඬ පෞරුෂය වන ඈ ගයන බැති ගීයක් නොමැති නම් එය අඩුවකි. පෘථග්ජන මිනිසුන් සැපත, සුවය සොයා තව තවත් ඇලෙන්නේ දුකටම බවත් උතුම්ම සැපත ලොව්තුරු නිවන බවත් කියැවෙන මේ ගී පදවැල් රචනා කොට ඇත්තේ ප්‍රවීණ ගීත රචක කුලරත්න ආරියවංශ විසින්. ආචාර්ය රෝහණ වීරසිංහ විසින් එය සුමධුර ස්වර රටාවලින් වර්ණවත් කරලා තියෙනවා. සැබෑ සැපත සුවය සොයන ඔබට මෙය අසා එය අවබෝධ කරගන්නට ආරාධනා කරනවා.

නිහඬ අරණ -

මහාචාර්ය සනත් නන්දසිරි

 

නිහඬ අරණ දඹදිව් තලාවේ

නිසල උයන සිහිකල්පනාවේ

බවුන් වඩන එළඹෙන උදානේ

වඳීමු පුදමු සිතින් බුද්ධගයාවේ

 

බුද්ධගයාව ලාංකේය බෞද්ධයන්ට නුහුරු නුපුරුදු තැනක් නෙමෙයි. බුද්ධගයාව නිරතුරුවම ලෝපුරා බෞද්ධ බැතිමතුන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී යන්නේ බුදුන් වහන්සේ බුද්ධත්වය ලැබූ ස්ථානය නිසායි. පවතින වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ලාංකික බැතිමතුන්ට දඹදිව බුද්ධගයාව නමදින්නට නොහැකි වුණා. එනමුත් සිතින් බුද්ධගයාව නමැද බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කරගන්නට පුළුවන්. මේ ගීය ඒ සඳහා බැතිමත් ඔබට තිළිණයක්. මහාචාර්ය සනත් නන්දසිරිගේ ළයාන්විත හඬින් වර්ණවත් වුණු මේ ගීයේ පදවැල් රචනා කර ඇත්තේ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර විසින්. සංගීතවේදී නවරත්න ගමගේ මේ ගීයට සුමධුර තනුවක් නිර්මාණය කර තියෙනවා. ව්‍යසනයකින් පීඩා විඳීමින් සිටින වකවානුවක මෙම ගීතය රසවිඳ සිත් පහන් කරගන්නට ඔබට ඇරැයුම් කරනවා.

 

 

ජීවිතේ දුක්බර ද - කලාශූරී ලතා වල්පොල

 

ජීවිතේ දුක්බරද මෙතරම්

කියා හිතෙනා හැම වෙලාවේ

සෙවණැල්ල සේ ළඟින් සිටියේ

ඔබම පමණයි බුදු පියාණනේ

 

ලෞකික ජීවිතයේ අනේක දුක්ඛදෝමනස්සයන් විඳීන මිනිසුන් අවසන සිත සනසා ගන්නට යන්නේ බුදුහිමි පාමුලට. ඒ අත්දැකීම ඔබටද මටද පොදු බව නොරහසක්. විවිධ ප්‍රශ්න ගැටලුවලින් පීඩාවට පත් වී සිටියද බුදුහිමි පාමුල නමැද එකී පීඩා දුරුකර සිත් පහන් කරගන්නට හැකි බව කියැවෙන මේ ගීතය ගයන්නේ ජාතියේ රිදී සීනුව ලෙස හඳුන්වන කලාසූරී ලතා වල්පොල විසින්. මේ අර්ථාන්විත පදවැල් රචනා කොට ඇත්තේ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි විසින්. උන්වහන්සේගේ මධුර පදවැල් ලාංකිකයන්ට නිතර හුරුපුරුදු බව විශේෂයෙන් කිව යුතු නැහැ. මේ ගීතයට මියුරු තනුව නිර්මාණය කර ඇත්තේ සංගීත ශිල්පී මහින්ද බණ්ඩාර විසින්. නානාවිධ ප්‍රශ්න ගැටලුවලින් පීඩා විඳීනවාද? ජීවිතයේ දුක්බර බව නිරතුරුවම පසක් වෙනවාද? එසේ නම් මේ ගීතය අසා සිත පහන් කරගන්නට ඔබට ඇරැයුම් කරනවා.

 

 

සද්ධර්මාලෝකයෙන් - රෝහණ වීරසිංහ

 

සද්ධර්මාලෝකයෙන්

බුදු සමිඳුන් දකින්න

සම්මා ආජීවයෙන්

බුදු සමිඳුන් පුදන්න

 

ශීල, සමාධි, ප්‍රඥා වශයෙන් දියුණු කළ යුතු මධ්‍යම ප්‍රතිපදාවේ අංග අට වන ආර්ය අෂ්ටාංගික මාර්ගය නිර්වාණ අවබෝධය ගැන කියැවෙන මාර්ගයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුව නිවැරදිව දිවිපෙවත ගත කරන්නේ කෙසේද යන්න කියැවෙන බැති ගීයකි මෙය. ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් මනෝරම්‍ය තනුවක් යොදා ගයන මේ ගීතයේ පදවැල් රචනා කොට ඇත්තේ කුලරත්න ආරියවංශ විසින්. යහපත් ලෙස ජීවිත ගත කරන්නේ කෙසේද යන්න කිවැවෙන මේ ගීය ඔබට ආදර්ශයක් කොට ගෙන දිවි ගෙවිය හැකිය.

තපෝ වන අරණේ -

ආචාර්ය නන්දා මාලිනී

 

තපෝ වන අරණේ

ඇසෙනා තුන්සරණේ

පිපෙනා හදපියුමේ

සුවඳ විකසිත වේ

සසර පින් මදි වේ

 

වෙසක් පොසොන් මාසවල සැදැහැ සිතින් බෞද්ධ සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට බෞද්ධයන් වරද්දන්නෙ නැහැ. එනමුත් වසර තුනක කාලයක් තිස්සේ බැතිමතුන් සැමට මේ සියල්ල මඟහැරිලා. ඒ අතීත මතක පමණක් ඉතිරි වෙලා. නන්දා මාලිනිය ගයන මේ ගීතය ලියැවී ඇත්තේ මෙරට පිහිටි බෞද්ධ සිද්ධස්ථාන ගැන. ඒවා නමැද සිත් සුවපත් වන ආකාරය ගැන. මේ ගීතය ලියන්නේ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දරයන්. සංගීතවත් කරන්නේ සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහයන්. මේ වසරේදීත් බොදු බැතිමතුන්ට සොළොස්මස්ථාන ඇතුළු බෞද්ධ සිද්ධස්ථානවල පහස නොලැබුණද මෙවැනි ගීත අසා අතීත මතකයන්ද මෙනෙහි කරමින් සිත පහන් කරගන්න පුළුවන්.

 

 

දුර ගමන් යයි -

සුනිල් එදිරිසිංහ

 

දුර ගමන් යයි

තනිව හැසිරෙයි

ඇසට නොපෙනෙන්නේ

එවන් සිතමයි

කෙළෙස් ගිනි ගන්නේ

උතුම් සදහම් යානයෙන්

සිත නිවාගන්නේ

දුකින් ගැලවෙන්නේ

 

"දුර ගමන් යන තනිව හැසිරෙන ගුහාවක වාසය කරන මේ සිත යමෙකු සංවර කරගන්නේ ද ඔහු මාර බන්ධනයෙන් මිදෙයි" යන සිත මුල්කරගෙන වැදෑරූ බුදුවදනින් ලියැවුණු බැති ගීයකි මේ. සියලු කෙලෙස්වලට මූලික වුණු සිත සංවර කරගතහොත් පාලනය කරගතහොත් නිවනට දොරටු විවර වන බව බුදුවදනයි. මේ ගීතය පුහුදුන් මිනිසුන්ට ආදර්ශවත් ගීයක්. සුනිල් එදිරිසිංහයන් ගයන මේ ගීය රචනා කර ඇත්තේ කුලරත්න ආරියවංශයන් විසින්. ආචාර්ය රෝහණ වීරසිංහයන් ඒ සඳහා මියුරු තනුවක් සකස් කරලා තියෙනවා. තමන්ටවත් දමනය කරගත නොහැකි සිත යනු කුමක්ද යන්න ගැන හරි අවබෝධයක් අවැසි නම් එය බුදුවදනින්ම සරලව පසක් කරගන්නට මේ ගීතය අසන්නට ඔබට ආරාධනා කරනවා.

 

සුවිපුල ගුණ මුහුදාණන් -

ශානිකා සුමනසේකර

 

සුවිපුල ගුණ මුහුදාණන්

සුමියුරු වදනිසුරාණන්

සොමිගුණ සඳ මඬලාණන්

නමදිමු මහ මුණිදාණන්

 

බුදුන් වහන්සේගේ අපරිමිත ධර්මය සේම උන් වහන්සේගේ බාහිර ගුණකඳ ද වර්ණනා කරන්නට බැතිමතුන් පෙළඹෙනවා. නිතර මියුරු වදන් තෙපළන සෞම්‍ය ගුණයෙන් යුතු සඳ මඩලක් වැනි වූ ඒ මහා මුණිඳුන් වන්දනාමාන කරන්නට මේ බැති ගීය ලියැවී තියෙනවා. නව පරපුරේ ගායිකාවක් වන ශානිකා සුමනසේකරගේ සෞම්‍ය හඬින් අලංකාර වුණු මේ ගීය සුනිල් සරත් පෙරේරා විසින් රචනා කරලා තියෙනවා. ඒ සඳහා මියුරු තනුවක් ආචාර්ය රෝහණ වීරසිංහ විසින් නිර්මාණය කරලා තියෙනවා. බුදුන්ගේ ගුණ ගයන වයන මේ සමයේ මේ ගීතය අසා සිත් නිවා ගන්නා ලෙස ඔබෙන් ඉල්ලා සිටිනවා.

 

උදය පර්වත ශිඛරයෙන් - ටී.එම්.ජයරත්න

 

උදය පර්වත ශිඛරයෙන් නැඟි ළහිරු මණ්ඩලයයි

මලය පර්වත සඳුන්තුරු හිස චන්ද්‍ර මණ්ඩලයයි

මහ හිමව් පියසින් ගලා එන රිදී දිය දහරයි

බුද්ධ මහ මුනිඳුන් මහා කතරක මේඝ ගර්ජනයයි

 

බුද්ධ වර්ෂ ගණනින් දෙදහස් පන්සියය ඉක්මවූවද තවමත් බුදුන්ගේ පහස ලද ස්වභාව ධර්මයාගෙන් පවා බුදු ගුණ වෑහෙන බව නොරහසක්. ස්වභාව ධර්මයට අනුගතව එමඟින්ම නිදසුන් සහිතව ධර්මය දේශනා කළ ඒ මහා දේශකයානන්ගේ ධර්මයට ස්වභාව ධර්මය වුවද අවනතයි. ඒ බව කියැවෙන මේ ගීතය ගයන්නේ මෙරට මධුර හඬ පෞරුෂයක් වන ටී.එම්. ජයරත්න විසින්. ඒ අරුත්බර ගී පද ලියා ඇත්තේ සමුද්‍ර වෙත්තසිංහ. ආචාර්ය රෝහණ වීරසිංහ ඒ සඳහා මියුරු තනුවක් නිර්මාණය කර තියෙනවා. දුක්ඛ දෝමනස්සයන් මැද මිනිසුන් මංමුළා වුණු නිරුදක කතරක මහා මේඝයක් සේ අමා දහරින් ලොව සැනසූ අමා මෑණී බුදු පියාණන් වහන්සේගේ ගුණ ගයන මේ ගීතය රසවිඳ සිත් සනසාගන්නට ඇරැයුම් කරනවා.

 

 

බුද්ධරාජ ධර්මරාජ -

ආචාර්ය නන්දා මාලිනී

 

බුද්ධරාජ ධර්මරාජ ශාක්‍ය සිංහයාණෝ

ඝෝර මාර කළ පරාද ධීර වීරයාණෝ

මහා පුරුෂයාණෝ පුරුෂ නිසගයාණෝ

බුද්ධ වීරයාණෝ....

 

බුදුන් වහන්සේ සහ උන් වහන්සේගේ ධර්මය විවිධ ලෙස නිර්වචනය කෙරෙයි. බුද්ධ සාහිත්‍යය තුළද උන්වහන්සේව විවිධ නම්වලින් හඳුන්වා ඇත. ඉපැරැණි සිංහල සාහිත්‍ය ග්‍රන්ථ පිරික්සීමේදීද බුදුන් වහන්සේ එවැනි මනරම් යෙදුම්වලින් අර්ථ දක්වා ඇත. (උදා :- ශාක්‍යයන්ට සිංහයෙකු බඳු වූ - ශාක්‍යසිංහ) මේ සියලු නාමයන් එකට කැටි කරමින් බුදුන් වහන්සේව වර්ණනා කරනු ලබන ගීතයකි මේ. එය ගායනා කරන්නේ ආචාර්ය නන්දා මාලිනී විසින්. සමුද්‍ර වෙත්තසිංහගේ පදවැල්වලට සුමධුර ස්වර රටාවක් ආචාර්ය රෝහණ වීරසිංහ විසින් නිර්මාණය කර ඇත. වියත් සිංහල බස් වහරකින් රචනා කර ඇති මේ ගීතය අසා සිත පදවාගන්නට ඔබට ඇරැයුම් කරනවා.

 

අකල් මල් පිපී -

දයාන් විතාරණ

 

අකල් මල් පිපි මල්ල සල් උයනේ

ගොයුම් ගොත් හිමි සල් සඟල තුරු

අතර පිරිනිවුණේ....

 

සිංහල ගීත සාහිත්‍යය තුළ බුද්ධ පරිනිර්වාණය ගැන ගීත ලියැවී ඇත්තේ ඉතාමත් අල්ප වශයෙන්. පරිනිර්වාණ මංචකය බොදු බැතිමතුන්ට ශෝකය මුසු හැඟීමක් වන නිසාම ඒ පිළිබඳ ගීත සාහිත්‍යය තුළ ඒ තරම් අවධානයට ලක් වෙලා නැහැ. මේ ගීතය බුද්ධ පරිනිර්වාණ ගැන කියැවෙන ගීතයක්. ඒ සඳහා සුදුසුම ළයාන්විත හඬ පෞරුෂයක් හෙබි ගායන ශිල්පී දයාන් විතාරණ මේ ගීතය ගායනා කරන්නේ. මහින්ද දිසානායක ගීතය රචනා කර ඇති අතර ස්වර සංයෝජනය කර ඇත්තේ ආචාර්ය රෝහණ වීරසිංහය විසින්. බුද්ධ පරිනිර්වාණය ඔබේ මනසේ මනරම්ව චිත්‍රණය කරන මේ ගීතය රසවිඳීන අනිත්‍ය අනාත්ම ලක්ෂණ මෙනෙහි කරන්නට ඔබට ඇරැයුම් කරනවා.

 

දිය මත මියයන -

ඉෂාක් බෙග්

 

දිය මත මියයන පෙණ බුබුළක් සේ

තණ අග දිලිසෙන පිනි බිඳුවක් සේ

ලෝකය දවසක

ලොවටත් නොකියම යනවාමයි...

ඒත් එතෙක් අපි මේ මහපොළොවේ

හිනැහී ඉන්නට ඕනෑමයි...

අටලෝ දහමින් ලොව දුටුවෝතින්

දවසක අපි ජයගන්නවාමයි...

 

වෙසක්, පොසොන්, ඇසළ කාලෙට ගීතයෙන් බුද්ධාලම්භන ප්‍රීතිය අවශ්‍ය නම් ඔහුගේ ගීත අහන්නට අවැසිමයි. හන්දියක් හන්දියක් ගාණේ ගහන තොරණවල දන්සැල්වල ඔහුගේ හඬ වරදින්නේ නැහැ. අල්හාජ් මොහිදින් බෙග් හෙවත් බෙග් මාස්ටර් යන නම අසා නොමැති බෞද්ධ සැදැහැවතෙක් නැති තරම්. මේ ඉස්ලාම් භක්තිකයා ඒ තරම් බෞද්ධ ගීතයට සේවය කළ අයෙක්. ඔහුගේ ඊළඟ පරපුර නියෝජනය කරන ඔහුගේ පුතු වන ඉෂාක් බෙග් ද පියාගේ කාර්යය නොපිරිහෙළා ඉටුකරමින් සිටිනවා. මේ සංයුක්ත ගී තැටියේ ඔහුගේ හඬට ද ඉඩක් වෙන් වෙලා තිබෙනවා. තණ අග දිලිසෙන පෙන පෙණ බුබුළක් සේ අනිත්‍ය මේ ජීවිතය කවදා හෝ දවසක අපි අත්හළ යුතු බවත් එතෙක් හිනැහී ජීවත් විය යුතු බවත් කියැවෙන මේ ගීතයේ පදවැල් වජිර මහකනුමුල්ල විසින් රචනා කරලා තියෙනවා. ආචාර්ය රෝහණ වීරසිංහ විසින් විසින් ඉෂාක්ගේ ගැඹුරු හඬට සරිලන මධුර ස්වර රටාවක් නිර්මාණය කරලා තියෙනවා. ලොව සදාකල් පවතින එකම ධර්මතාවය ආදරය බව කියාදුන් බුදුන් වහන්සේගේ ගුණ ගයන්න ආගම, ජාතිය අදාළ නොමැති බව පසක් කරන මේ ගීතය අසා සිත සනසාගන්නට ඔබට ඇරැයුම් කරනවා.