වර්ෂ 2023 ක්වූ December 09 වැනිදා Saturday
මගේ නම හැදුණේ හිරු ස්ටාර් නිසයි

අම්මා එදා මල්ලිට කවි කිව්වේ නැත්තම් අද ගායිකාවක් වෙලා නෑ නේද?
සමහරවිට වෙන්නත් තිබුණා. මොකද මම ඒ දවස්වලත් හැබැයි ඉතින් ගොඩක් ගායනයට දක්ෂ ළමයෙක්. පාසලේ ගද්‍ය, පද්‍ය තරගවලට මම නිතරම ඉදිරිපත් වුණා. ඒ වගේම ජයග්‍රහණ ලබලා තියෙනවා. පාසල් වේදිකාව මට සුපුරුදු තැනක් බවට පත්වුණා මගේ ගායනාත් එක්ක. මේ කාලය තුළදී මම ගායනය සම්බන්ධ විවිධ ඉසව් සොයා අධ්‍යයනය කළා. ඒ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබාගත් නිසා මට අද ගොඩක් දුර ගමනක් යන්න පුළුවන් වුණා.
ගණිතය සහ විද්‍යාව සමඟ ගැටුණු ඔබට සමබරව මේ ගමන යාමට හැකි වුණේ කොහොමද?
විශේෂයෙන්ම මම හරි බැලන්ස් එකේ වැඩ කටයුතු කරන නිසාත්, මට අවශ්‍ය දේවල් මම අරමුණක් කරා යනවා නම් එය කොහොමහරි කරගන්නවා. කියන අධිෂ්ඨානය තුළ මම ජීවත් වෙනවා හැමදාම. ඒ සඳහා මගේ පිටුපසින් ඉඳන් උදව් කරන මගේ පවුලේ සියලු දෙනාම මට රුකුලක් වුණා. කිරිවත්තුඩුව විජයවර්ධන මහා විදුහලේ සිට පන්නිපිටිය ධර්මපාල විදුහලට ආවට පස්සෙ මට අවශ්‍ය ගොඩක් පහසුකම් සහ අවශ්‍ය ලිඛිත හා ප්‍රායෝගික දේවල් නිරන්තරයෙන්ම හොයා ගැනීමට හැකිවුණා. ජීවිතය අරමුණක් කරා ඕනෑම කෙනෙකු යනවනම් තමන් හදාරන විෂය ධාරාව බලපාන්නේ නැහැ. ඔහුගේ හෝ ඇයගේ හැකියාව පමණයි එතනට අවශ්‍ය කියලයි මම හිතන්නේ. කතාවට කියනවා නේ හංසයා කිරියි, වතුරයි දුන්නාම කිරි සහ වතුර වෙන් කරලා අවශ්‍ය දේ පමණක් ගන්නේ කියලා මමත් කළේ ඒ දේ පමණයි.
ධර්මපාල විද්‍යාලයේ දී රෝහණ වීරසිංහයන් සමඟ ඔබ කළ දේ කුමක්ද?
ආචාර්ය රෝහණ වීරසිංහයන් සමඟ සංකලන ප්‍රසංගයට මම ගීත ගායනා කළා. ඒ වගේම විද්‍යා දිනයේ දී මම ඒ ප්‍රසංගයට සහභාගි වුණා. ඊට අමතරව පාසලේ සමිති සමාගම් සියල්ලම නියෝජනය කරමින් ගායනා කිරීම කළා. පාසලේ ගත කරපු කාලයේ තමයි මගේ හොඳම කාලය කියලා මම හිතන්නේ. ඒ කාලේ ආයේ එනවනම් කොච්චර හොඳයිද කියලත් මට හිතෙනවා.
වර්ෂ 2017 ඔබ විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා නේද?
මම 2017 වර්ෂයේ විද්‍යාවේදී උපාධිය හැදාැරිම සඳහා විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. ජීවිතයේ යම් කඩඉමක තිබුණු අපහසුතාවයක් නිසා තමයි මට විවෘත විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්න ලැබෙන්නේ. කොහොම හරි මගේ විද්‍යාවේදි උපාධිය භෞතික විද්‍යා අංශයෙන් අවසන් කරලා ඉවරයි.
ළමයින්ට දැනුම දෙන ගණිත ගුරුවරියක් ද කලා ගුරුවරියක් ද?
පොඩි එවුන් එක්ක ගැටෙන කොට කොහොමත් මම ගණිත ගුරුවරියක් වෙලා විතරක් මදි. ඒ නිසා මම කලාවත් මේ සියලු දෙයට ම එකතු කරගෙන තමයි මම ගණිත ගුරුවරියක් හැටියට වැඩ කරන්නේ. මගේ ජීවිතේ මට ලැබුණු ලොකුම සතුට මේ ගුරු වෘත්තිය තමයි. ඕනෑම කෙනකුට නොදන්නා දෙයක් කියලා දෙනවා කියන්නේ දැන් අවුරුදු ගාණක් තිස්සේ ලොකු පුණ්‍ය ක්‍රියාවක්.
දැනට සංගීත දිවිය ඔබ පසු කරන්නේ කොතනද?
මම මේ වන විට චානිකා මධුෂානි ගුරුතුමිය යටතේ විශාරද විභාගය කරලා ඉවරයි. පළමු පෙළ සාමර්ථ්‍යයක් ලබා ගෙනයි තියෙන්නේ. ඒ වගේම විශාරද එඩ්වඩ් ජයකොඩි ගුරුතුමා යටතේ හඬ පුහුණු වීම සහ සංගීතය වැඩිදුරටත් හදාරනවා. මීට අමතරව පොත්පත් සහ අන්තර්ජාලය ඔස්සේ මම මගේ ජීවිතේ අරමුණ කරා යනවා. එඩ්වඩ් ජයකොඩි ගුරුතුමා සමඟ මම ගීතයක් ද කළා. ‘පිපී හිනැහෙන ගීතය’ වෛද්‍ය ශ්‍රියාණි මිහිඳුකුලසූරිය තමයි පද රචනා කළේ සංගීත අධ්‍යක්ෂණය කළේ එඩ්වඩ් සර්මයි.
හිරු ස්ටාර් වේදිකාවට පිවිසීම ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම එතැනට එන්න ලොකු කට්ටක් කාලා තමයි ආවේ. ඒ ආපු ගමන ගැන බලපුවහම හරිම සතුටක් දැනෙන්නෙ 2019 වසරේ තමයි මම හිරු ස්ටාර් එකට එන්නේ. ඒ සීසන් 2 එකටයි. අවසන් තරඟකරුවන් සිය දෙනා අතරට එන්නට ලැබුණා.
දහස් ගණන් තරගකරුවන් අතරින් තරඟ කරලා 100 ලබා ගැනිමත් ලොකු ජයග්‍රහණයක් කියලයි මම හිතන්නේ. මේ වේදිකාව නිසා මට ලැබිච්ච දේවල් ගොඩක් තියනවා.
හිරු ස්ටාර් නිසා ලැබුණ දේවල් මොනවාද?
මගේ ජීවිතයේ මම කිසි දවසක දැකලා නැති කෙනෙකු වන ශිහාන් පවිත්‍ර මගේ හඬ අහලා ඔහු කියන්න ගිය ගීතයක් මගේ හඬින් කියන්න මට අවස්ථාව ලබා දුන්නා. ‘ඉස්සර මතකේ’ ගීතය පද රචනය නාමල් ජයසිංහගෙන් සංගීතය කසුන් පොල්ගම්පල එකතු වෙලා කරපු ඒ නිර්මාණය හරිම සාර්ථකව නිර්මාණයක් බවට පත්වුණා. ඊට පස්සේ ‘තේරේ නුඹට’ කියලා ගීතයකුත් නිර්මාණය කළා. මේ ගීතය ගුවන් විදුලියෙන් විවිධ නාලිකාවලින් දැනට ප්‍රචාරය වෙමින් පවතිනවා. ඊට අමතරව සමාජ මාධ්‍ය ජාලාවලද ප්‍රචාරය වෙනවා. හිරු ස්ටාර් ජීවිතෙන් පස්සෙ මට ගොඩක් විවෘත ප්‍රසංගවලටත් ආරාධනා ලැබෙනවා. ඒවා තෝරාබේරාගෙන කාලය කළමනාකරගෙන සහභාගි වෙනවා. මේ නිසා ජීවිතය ගොඩක් අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදුවුණා. ඒවා හරිම සුන්දර අත්දැකීම් කියන්න ඕන. අද වුණත් මේනකා ජයකෝඩි කියලා නමක් හැදුණේ හිරු ස්ටාර් වේදිකාව නිසයි. මගේ ජීවිතේ ලොකු ගමනක් යන්න අඩිතාලම හදලා දුන්න ඒ වේදිකාවට මම ණයගැතිය.
ඔබ වඩාත් ප්‍රිය කරන්නේ ශාස්ත්‍රීය සංගීතයට ද බටහිර සංගීතයට ද?
මම එදා ඉඳන්ම වැඩියෙන්ම ප්‍රිය කළේ ශාස්ත්‍රීය පැත්තටයි. ඒ වගේම සරල ගී සංගීතයටත් මම කැමතියි. මම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී අංශයේ ‘ඒ ශ්‍රේණියේ’ ගායිකාවක් වෙනවා. බටහිර සංගීත ශෛලයට මම වඩාත් කැමති නැහැ. ඒත් එහි යම් යම් දේවල් ලබා ගන්නට ඕන. බටහිර සංගීත කලාවේ තියෙන විවිධ රිද්මයානුකූල දේවල් හා සංගීත නිර්මාණයන් අපේ ශාස්ත්‍රීය සංගීතය එක්ක මුසු කරලා නව නිර්මාණ කරණයට යොමු වෙන්න පුළුවන් නම් ගොඩක් හොදයි. ඒ දේ තමයි මම බලාපොරොත්තු වෙන්නේ.
මේ ගමනට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?
අම්මා සහ තාත්තා ඇතුළු සියලු දෙනාගෙන්ම මට හොඳ සහයෝගයක් ලැබෙනවා. මම විවාහකයි මගේ ස්වාමියාගෙන්ද නොමසුරු සහයෝගයක් මගේ ගමන පිටුපස්සේ තියෙන්නේ. ඊට අමතරව මගේ හිතවතුන් සියලු දෙනාගෙන්ම හොඳ සහයෝගයක් ලැබෙනවා.
මේ ආපු ගමනේ ඉදිරි අරමුණ මොකක්ද?
මම දැනට ගණිත ගුරුවරියක් ලෙස කටයුතු කරනවා. ඒ දේ සමබරව කරගෙන නව නිර්මාණය කිහිපයක් කිරීමටත්. මගේම ගීත සංයුක්ත තැටියක් එළිදැක්වීම තමයි මගේ ඒකායන අරමුණ තිබෙන්නේ. ඒ වගේම මම මේ අවස්ථාවක් කර ගන්නවා මට මේ ගමන එන්න උදව් කරපු සියලුම දෙනාට ස්තුති කරන්න.