අමතක වූ නිළිය

දෙසැම්බර් 8, 2022

සයිෆ් අලි ඛාන් සහ කරීනා කපූර් ඛාන් බොලිවුඩයේ වඩාත්ම කැපී පෙනන යුවළ අතරින් එකකි. ඔවුන් දෙදෙනා අතරින් වඩාත් සමාජ මාධ්‍ය සමඟ වැඩි එකතුවක් දක්වන්නේ කරීනාය. පසුගිය දිනෙක ඔවුන් දෙදෙනා චිත්‍රපට උලෙළකට සහභාගිවී සිටියහ. එම ස්ථානයට ඇතුළු වීමට පෙර සිනමා උලෙළ මෙහෙයවන්නෙකු විසින් සයිෆ්ගෙන් සිනමාවේ කාන්තාවන්ගේ දායකත්වය පිළිබඳව විමසන ලදී.

ඒ පිළිබඳ පවසන අතරතුර නළුවා නිළියන් කිහිප දෙනෙකු නම් කළ නමුත් ඔහුට තම බිරිය කරීනාගේ නම සඳහන් කිරීමට අමතක විය. ඔහු පැවසුවේ කාන්තාවන් නොමැතිව සිනමාව හිස් බවය. “ඔබට සිනමාව ගැන සිතන විට බොහෝ වැදගත් කාන්තාවන් සිහිපත් වෙනවා. මාර්ලීන් ඩීට්‍රිච් සිට ඔඩ්‍රි හෙප්බර්න් සහ චාලිස් තෙරොන් දක්වා මගේ ප්‍රියතම නිළියන්” සයිෆ් පවසන අතරතුර කරීනා එයට බාධා කරමින් “ඔබේ බිරිය” යැයි පැවසුවාය. සයිෆ් පසුව, “මගේ සුන්දර බිරිය” යන වැකිය එකතු කළ අතර සයිෆ්ගේ සිනාවට කරීනාද එක් වූවාය. මෙම සිනමා උලෙළේදී සයිෆ් තම මව සහ ප්‍රවීණ නිළි ෂර්මිලා තාගෝර් ගැනද කතා කළේය. සයිෆ් මීළඟට රිදී තිරයෙන් දැක ගත හැකි වන්නේ ප්‍රභාස් සහ ක්‍රිති සැනොන් සමඟින් ආදිපුරුෂ් චිත්‍රපටයෙනි.