බැහැ කියූ හැරවුම් ලක්ෂ්‍යය

දෙසැම්බර් 8, 2022

අමීර් ඛාන් ගැන විශේෂ හැඳීන්වීමක් අවශ්‍ය නැත. ඔහු හින්දි සිනමාවේ සිටින දක්ෂතම නළුවෙකි. ඔහු අවසන් වරට දුටුවේ කරීනා කපූර් ඛාන් සමඟ ලාල් සිං චද්දා චිත්‍රපටයේ ය. එය ටොම් හැන්ක්ස් ප්‍රධාන චරිතය රඟපෑ 1994 වසරේ තිරගත වූ ෆොරස්ට් ගම්ප් හොලිවුඩ් චිත්‍රපටයේ නිල හින්දි ප්‍රතිනිර්මාණයයි. ලාල් සිං චද්දා චිත්‍රපටය වසර හතරක දිගු විරාමයකින් පසු අමීර් නැවත රිදී තිරයට පැමිණීම ද සනිටුහන් කළේය.

මෑතකදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී, අමීර් මහේෂ් භාත්ගේ චිත්‍රපටයක් ප්‍රතික්ෂේප කළ කාලය ගැන කතා කළේය. එය අමීර්ගේ වෘත්තීය ජීවිතය සාර්ථක නොවූ අවධියක් විය. එම කාලය තුළ ඔහුට මහේෂ් භාත්ගෙන් ආරාධනාවක් ලැබුණු අතර එකල භාත් සාර්ථක අධ්‍යක්ෂකවරයෙකු වූ හෙයින් තමාගේ වෘත්තීය ජීවිතයටද නව ජීවයක් ලැබෙනු ඇති බව අමීර් සිතුවේය. නමුත් නිෂ්පාදකවරයා, අධ්‍යක්ෂවරයා හෝ කතාවට අකමැති නම් චිත්‍රපටය නොකරන බවට අමීර් තමාටම පොරොන්දුවක් දුන්නේය. අමීර්, මහේත් භාත් හමුවූ වී චිත්‍රපට පිටපත ලද පසුව පොරොන්දුවට අනුව පිළිතුර අකමැති යන්න විය යුතු විය. එයට හේතුව අමීර් චිත්‍රපටයේ කතාවට අකමැති වීමයි. භාත්ගේ ආරාධනාවට ඔව් යැයි පැවසුවහොත්, තම ප්‍රතිපත්තියට පිටුපාන නමුත් ඔහු එසේ නොකළහොත් අවස්ථාවක් අහිමි වන බවත් දැනීම හේතුවෙන් එදින රාත්‍රියේ ඔහුට නිදා ගැනීමට නොහැකි වූ බවද අමීර් පැවසීය.

කෙසේ නමුත් මහේෂ් භාත් හමු වී මෙම ආරධනාවට අකැමැති බව පැවසූ අයුරු අමීර් යළි සිහිපත් කළේය. “මම කතාවට අකමැති වුණේ ඇයි කියලා අපි අතර කතාබහක් ඇති වුණා.ඉතින් ඒක මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වුණා. මම මගේ හිතට එකඟ වුණා. ඒ ආරාධනාවට බෑ කියලා එයාට කියන්න මට ලොකු ශක්තියක් අවශ්‍ය වුණා. එය එසේ කළ විට, හදිසියේම මා තුළ බලයක් දැනුණා. දුර්වලම අවස්ථාවකදී පවා, මම මගේ ප්‍රතිපත්තියට පිටු පෑවේ නැහැ” අමීර් පැවසීය.