තරු එපා

දෙසැම්බර් 8, 2022

බොලිවුඩයේ සේම හොලිවුඩයේත් තරු දරුවන් පිළිබඳ නිරන්තරයෙන් බොහෝ පුවත් වාර්තා වේ. එසේම නොයෙක් විට තරු බිරියන් පිළිබඳව ද පුවත් අසන්නට ලැබේ. ජනප්‍රිය නළු ෂහීඩ් කපූර්ගේ ආදරණීය බිරිය මීරා රාජ්පුත් පවසන්නේ ‘තරු බිරිය’ සහ ‘තරු දරුවන්’ යන යෙදුම් භාවිතා නොකළ යුතු බවයි. මීරා රාජ්පුත් නිළියක නොවුවද සමාජ මාධ්‍යවල අනුගාමිකයන් රැසක් දිනා සිටින ජනප්‍රිය චරිතයකි. ඇය බොහෝ විට රසික රසිකාවන් හට සැමියා ෂාහිඩ් කපූර් සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා වන සයින් සහ මීෂා සමඟ ඇගේ ජීවිතයේ විශේෂ දසුන් ගෙන එන්නීය. ඉන්ස්ටග්‍රම් හි පමණක් මිලියන 4 අනුගාමිකයන් සිටින ඇය එහි රූපලාවණ්‍ය උපදෙස් ගෙන එන්නීය.

මීරා පවසන්නේ බොහෝ විට තරු බිරිය ලෙස හැඳීන්වුවද ජනප්‍රිය නිළියන්ගේ ස්වාමිපුරුෂයන් හට තරු සැමියන් ලෙස ආමන්ත්‍රණය නොකරන බවයි. “කිසිවෙකු ‘තරු සැමියා’ යැයි නොකියයි, ඉතින් තරු බිරියක් සිටින්නේ ඇයි?” යැයි ඇය පවසන්නීය. ෂාහිඩ් කපූර් සහ මීරා රාජ්පුත් 2015 ජූලි මාසයේදී ගුර්ගෝන් හි චාම් උත්සවයකදී විවාහ විය. ඔවුන් 2016 අගෝස්තු මාසයේදී දියණිය මිෂා සහ 2018 සැප්තැම්බර් මාසයේදී පුත් සයින් හට මව්පියන් විය.