අකුරු උගනී කුමරු සොඳවා

අගෝස්තු 5, 2021

මේ දිනවල බොලිවුඩ් තරු බොහොමයක් සමාජ සේවයට කැප වී සිටින අයුරු දැකගත හැකියි. කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් අසරණ වූවන්හට සහන සැලසීම වෙනුවෙන් ජනප්‍රිය තරු තම ධනය, කාලය මෙන්ම ශ්‍රමයද කැප කරමින් සිටින බව රහසක් නොවේ.

අක්ෂේ කුමාර්ගේ බ්ලොක්බස්ටර් චිත්‍රපට හැරුණු විට ඔහු දානපතියෙක් ලෙස ද ප්‍රසිද්ධය. වසංගතය අතරතුර ඔහු මුදල් ආධාර ලබා දීමට ඉදිරිපත් වූ අතර දැන් ඔහු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහාද ඉදිරිපත් වී සිටී. පසුගියදා කාශ්මීරයේ දේශසීමා ආරක්ෂක බලකායට ගිය අක්ෂේ එහි පාසලක් අබලන් තත්ත්වයේ පවතින බව දැකීමෙන් එය නැවත ගොඩනැඟීම සඳහා රුපියල් කෝටියක මුදලක් ලබා දීමට සිය කැමැත්ත පළ කළේය.

එහි මුල්ගල තැබීමේ අවස්ථාව එක් වූ පසු අක්ෂේ පවසා තිබුණේ "මෙහි පැමිණීම සැමවිටම නිහතමානී අත්දැකීමක්. සැබෑ විරුවන් හමුවීමේදි මගේ හදවත ගෞරවයෙන් මිස අන් කිසිවකින් පිරී නැත" යනුවෙනි. කාශ්මීරයේ දේශසීමා ආරක්ෂක බලකාය එම අවස්ථාව වාර්තා කළ අතර එහිදි සඳහන් කර සිටියේ මෙම පාසල නම් කර ඇත්තේ අක්ෂේගේ පියා වන අභාවප්‍රාප්ත හරි ඕම් භාතියාගේ නමින් බවයි.

 

අසැබි චිත්‍රපට නිසා

 

පසුගියදා සුන්දර බොලිවුඩයෙන් අසන්න ලැබුණේ අසුන්දර, ආන්දෝලනාත්මක සිදුවීමකි. එනම් ශිල්පා ෂෙට්ටිගේ සැමියා වන රාජ් කුන්ද්‍රා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියයි. අසභ්‍ය දර්ශන රූගත කර පරිගණක යෙදවුම් හරහා එම විඩියෝපට විකිණීම ඔහුට එල්ල වූ චෝදනාවයි. මේ වන විට අත්අඩංගුවට පත් රාජ් කුන්ද්‍රා දින 14 ක් සඳහා අධිකරණ භාරයේ තබා ඇත. කාන්තාවන් දෙදෙනෙකු ඇතුළුව මෙම සිද්ධියට අදාළව පස් දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. රාජ් කුන්ද්‍රා මෙම කාමුක යෙදුම ඔස්සේ මාස 5 ක් තුළ ඉන්දීය රුපියල් කෝටි 1.17 ක් පමණ උපයා ඇති බව වාර්තා වේ. මුම්බායි අපරාධ අංශයේ නිලධාරින් විසින් ශිල්පා ශෙට්ටිගෙන්ද ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර මේ සඳහා ඇයගේ සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳ පරීක්ෂණ පවත්වමින් සිටී.

මෙම සිදුවීම සමඟ ශිල්පා ෂෙට්ටි වාර්තා කිහිපයක් උපුටා දක්වමින් ඇගේ කීර්ති නාමයට හානි වූ බවට මුම්බායි මහාධිකරණයේ අපහාස කිරීමේ නඩුවක් ගොනු කළාය. ඇය ඇතැම් මාධ්‍ය ආයතන වලින් අපහාසාත්මක කරුණු සියල්ල මකා දමන ලෙසත් කෝටි 25 ක වන්දියක් ඉල්ලා ඇති බවත් වාර්තා වේ. සිය අයදුම්පතෙහි ශිල්පා සඳහන් කර ඇත්තේ ඇතැම් මාධ්‍ය තමා පිළිබඳ අසත්‍ය කරුණු ප්‍රකාශ කිරීමෙන් සදහටම වැළකී සිටිය යුතු බවත් එවැනි ආවරණයකින් සිදු වන හානිය කිසි විටෙකත් මුදලින් ගෙවිය නොහැකි බවත් ය.

කෙසේ වෙතත් ශිල්පා විසින් ගොනු කළ අපහාස නඩුව පසුගියදා මුම්බායි මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. මුම්බායි මහාධිකරණය සඳහන් කර ඇත්තේ, මාධ්‍ය වාර්තාවක් ගැන නියෝගයක් නිකුත් කිරීම ජනමාධ්‍ය නිදහස කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරන බවයි. එහිදී විනිසුරු ගෞතම් පටෙල් යූටියූබ් හි වීඩියෝ තුනක් මකා දමන ලෙස නියෝග කළේය. මෙම වීඩියෝ පට තුන ශිල්පාගේ සදාචාරාත්මක ස්ථාවරය පිළිබඳව ද්වේෂ සහගත ලෙස අදහස් දක්වා තිබූ අතර කාමුක ජාවාරම් සිද්ධියේදී රාජ් කුන්ද්‍රා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇගේ දෙමාපියන් ගැන පවා ප්‍රශ්න කර තිබුණි. අපහාස නඩුවේ සඳහන් වූ බොහෝ ලිපි පොලිස් ආරංචි මාර්ග පැවසූ කරුණු මත පදනම් වූ ඒවා බව ද විනිසුරු පටෙල් සඳහන් කළේය.

 

 

දිනපතා අලුත් යමක්

 

කත්‍රිනා කයිෆ් බොලිවුඩයේ ජනප්‍රියතම තාරකාවන්ගෙන් කෙනෙක්. පසුගිය වසර කිහිපය තුළ සිටම කත්‍රිනා තමන්ට අභියෝගයක් වන චිත්‍රපට තෝරා ගැනීම විශේෂයක් විය. ඒ සම්බන්ධයෙන් ඇය පවසන්නේ තම වෘත්තියේ මේ අවධියේදී අලුත් දෙයක් ඉගෙන ගැනීමට උනන්දු වන බවත් දැනටමත් කර ඇති දේ දිගටම කරගෙන යාමට තමා කැමත්තක් නොදක්වන බවත්ය.

රෝහිත් ෂෙට්ටිගේ සූර්යවංශි චිත්‍රපටය සහ ෆෝන් භූත් නම් චිත්‍රපටවලින් පසු ලබන වසර වෙනුවෙන් ඇය සල්මන් ඛාන් සමඟ ටයිගර් 3 චිත්‍රපටයේ රූගත කිරීම් වෙනුවෙන් දායක වී සිටින්නීය.

පසුගියදා ඇය විසින් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ අතර එහි දක්නට තිබෙන්නේ ක්‍රියාදාම සඳහා ඇය දැඩි ලෙස පුහුණුවීම් කරන අයුරුයි. ඇය එයට මාතෘකාව කර තිබුණේ, "වැඩ" යනුවෙනි. "ඇත්තෙන්ම මා සමඟ ඉතා ඉවසිලිවන්තව වැඩ කරන පුදුමාකාර ගුරුවරුන් සහ පුහුණුකරුවන් නොමැතිව මේ කිසිවක් නොවේ. එනිසා දිනපතා අලුත් යමක් ඉගෙන ගන්න" ඇය ඒ සමඟ සටහනක් ද යෙදීය.

 

 

බාධක මැදින් ලාල් සිං චද්දා

 

මේ වන විට බොලිවුඩයේ අතපසු වූ චිත්‍රපට බොහොමයක් ලහි ලහියේ රූගත කෙරෙමින් තිබේ. අමීර් ඛාන්ගේ ලාල් සිං චද්දා චිත්‍රපටයත් ඒ අතර ප්‍රමුඛ වේ. කොරෝනා පළමු රැල්ලෙන් පසු ඉන්දියාවේ පැවති වාතාවරණය හේතුවෙන් එහි ඇතැම් කොටස් රූගත කිරීමට අමීර්හට තුර්කියට යාමට පවා සිදු විය. ලාල් සිං චද්දා චිත්‍රපටය ටොම් හැන්ක්ස්ගේ ෆොරස්ට් ගැම්ප් හි නිල හින්දි ප්‍රතිනිර්මාණයයි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිළිය කරීනා කපූර් ඛාන් දෙවැනි දරුවා වෙනුවෙන් මාතෘ නිවාඩු සඳහා යාමට පෙර පසුගිය වසරේ දී සිය දර්ශන සියල්ල රූගත කර අවසන් කළාය. ලාල් සිං චද්දාගේ අවසාන රූගත කිරීම් මේ මස මුලදී ලඩාක්හිදී ආරම්භ වූයේ අමීර් ඛාන් සමඟින් නාග චෛත්‍යය නම් සුන්දර නිම්නයේ යුද දර්ශන රූගත කිරීමෙනි.

අමීර් ලඩාක්හි රැඳී සිටීම පිළිබඳව අදහස් දක්වමින් පවසන්නේ අත්දැකීම් ඉතා යහපත් සේම ඔවුන් සියලු දෙනා සැපපහසුවෙන් සිටිනා බවයි. මෙම චිත්‍රපටයේ කාලසටහනෙන් තමා බොහෝ දේ ඉගෙන ගත් බව පවසන අමීර්, තමා නළුවෙකු ලෙසින් කලාවේ සදාකාලික ශිෂ්‍යයෙකු ලෙස හැඟෙන බවත් පැවසීය. අමීර්ගේ බිරිය කිරන් රාඕ තවදුරටත් මෙසේ පැවසීය. "ඇත්තෙන්ම කාර්ගිල්හි යටිතල පහසුකම් බෙහෙවින් දියුණුයි. එහි අපේ මුළු කාර්ය මණ්ඩලයටම නවාතැන් ගත හැකි අතර සෑම කෙනෙකුටම සුවපහසුව ලැබුණා. ප්‍රවාහන, නවාතැන් පහසුකම් යහපත් තත්ත්වයේ පවතින අතර අපි කිසිදු ගැටලුවකට මුහුණ දුන්නේ නැහැ. "

 

නිර්භීත ආත්මයක නිරූපණය

 

සිද්ධාර්ත් මල්හෝත්‍රා, කියාරා අද්වානි සමඟ ෂර්ෂා ගෙන ඒමට සූදානම් වී සිටී. එය පවසන්නේ කාගිල්හි රණවිරුවෙකු වූ කපිතාන් වික්‍රම් බත්‍රාගේ කතාවයි. සිද්ධාර්ත් පවසන්නේ එවැනි නිර්භීත ආත්මයක් නිරූපණය කිරීමට ලැබීම වාසනාවක් බවයි. "මෙම දිනය මට ඉතාමත් සංවේදීයි. අපි මේ ගමන ආරම්භ කළේ මීට වසර පහකට පෙරදීයි. මෙය සැබෑ ජීවිතයේ වීරයෙකුගේ ජීවිතය නිරූපණය කළ මගේ පළමු චිත්‍රපටයයි. ෂර්ෂා චිත්‍රපටයකට වඩා මට විශාල අත්දැකීමක්." ෂර්ෂාහි පූර්ව ප්‍රචාරක පටය එළි දැක්වීමේදී සිද්ධාර්ත් පැවසීය.

ෂර්ෂා යනු 1999 කාගිල් යුද්ධයේදී කපිතාන් වික්‍රම් බත්‍රාගේ සංකේත නාමයයි. කියාරා පණ පොවන්නේ බත්‍රාගේ පෙම්වතිය වන ඩිම්පල් චීමාගේ චරිතයටයි. "සමහර චිත්‍රපට ඔබව වෘත්තීයමය වශයෙන් වෙනස් කරන නමුත් සමහර ඒවා ඔබව පෞද්ගලිකව වෙනස් කරන චිත්‍රපට වේ. ෂර්ෂා මට එවැනි චිත්‍රපටයක්. අපට මෙම අවස්ථාව පහසු කළ බත්‍රා පවුලට සහ ඩිම්පල්ට ස්තූතිවන්ත වෙමි. මෙය ලෝකය සමඟ බෙදා ගන්නා තෙක් නොඉවසිලිලෙන් සිටිමි" කියාරා පවසන්නීය.

අගෝස්තු 12 වැනිදා ඇමසන් ප්‍රයිම් වීඩියෝ ඔස්සේ ෂර්ෂා තිරගත කිරීමට නියමිතව ඇත.