ප්‍රියතම දුර්ගා පූජාව

ඔක්තෝබර් 21, 2021

 

 

මෙම කාල පරිච්ඡේදය තුළ දුර්ගා පූජාව සහ දුෂෙරා උත්සවය පැවැත්වෙන බැවින් බෙංගාලි වැසියෝ වසරේ මේ කාලයට විශේෂයෙන් ප්‍රිය කරති. දුර්ගා පූජාවට ප්‍රිය කරමින් ජුහුහි තොරණට පවා යන රාණි මුකර්ජි ඇගේ ඉතාමත් වටිනා දුර්ගා පූජා මොහොත ගැන සිහිපත් කරන්නීය. එහෙත් ඇයගේ කාර්යබහුලත්වය හේතුවෙන් මේ වසරේ එම අවස්ථාව ඇයට අහිමි වී ඇත. එහෙත් 2019 දී සිදු වූ දුර්ගා පූජාවේ ඇය අත්විඳී ඉතාමත් ආදරණීය මොහොත හෙළිදරව් කළාය.

මගේ සොඳුරු මතකයන් විය යුත්තේ මගේ දියණිය වන ආදීරා 2019 දී පුද පූජාවට සහභාගී වූ විට ඇගේ සතුට භුක්ති විඳීම සහ ඇය සම්බන්ධ සෑම දෙයක්ම අත්විඳීමයි. ඒ වන විට පුංචි ආදිරාගේ වයස අවුරුදු තුනක් විය. දියණිය සමඟින් එක්වූ එම දුර්ගා පූජාව ඇයගේ ජීවිතයේ සුවිශේෂි එකක් බව රාණි ආදරයෙන් සිහිපත් කරන්නීය.

රාණි මුකර්ජි ළඟදීම 'බණ්ටි ඕර් බබ්ලි 2' හිදී දැක ගත හැකි වනු ඇත. මේ වන විට ඇය තවත් අලුත් චිත්‍රපටයක රූගත කිරීම්වල යෙදී සිටින්නීය.

 

රණවිරු චරිතය

 

‘අත්‍රංගි රේ' සහ 'රක්ෂා බන්ධන්' චිත්‍රපටවලින් පසුව ආක්ෂේ කුමාර්, ආනන්ද් එල් රායි සමඟ 'ගොර්කා' නම් නව චිත්‍රපටය සඳහා නැවත එක්වීමට සූදානමින් සිටී. එය පදනම් වී ඇත්තේ ඉන්දියානු හමුදාවේ ගොර්කා රෙජිමේන්තුවේ (5 වන ගොර්කා රයිෆල්ස්) ජනප්‍රිය නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් ඉයන් කාර්ඩෝසෝගේ ජීවිතය මත ය. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ජාතික සම්මානලාභී සංජේ පුරන් සිං චෞහාන් විසිනි.

මේජර් ජෙනරාල් ඉයන් කාර්ඩෝසෝ යනු 1962, 1965 සමයේදී සහ විශේෂයෙන් 1971 ඉන්දු-පකිස්තාන යුද්ධයේදී සටන් වැදුණු අභීත ඉන්දීය රණ විරුවෙකි.

දුෂේරා උත්සවය නිමිත්තෙන් නිල නිවේදනයක් නිකුත් කරමින් අක්ෂේ පැවසුවේ මෙවැන්නකි. "සමහර විට ඔබට සිත්ගන්නාසුලු කතා හමු වනු ඇත. ඒවා චිත්‍රපට බවටද පත්වනු ඇත. මේජර් ජෙනරාල් ඉයන් කාර්ඩෝසෝ ගැන කියන ගෝර්කා, එවැනි චිත්‍රපටයකි. එම භූමිකාව රචනා කර මේ විශේෂ චිත්‍රපටය ඉදිරිපත් කිරීම ගෞරවයකි. එය ඉන්දියාවේ සන්නද්ධ හමුදාවන්ගේ ධෛර්යය හා පරිත්‍යාගය සිහිපත් කරන චිත්‍රපටයක්".

 

 

දියණිය වෙනුවෙන්

 

 

අනුෂ්කා ෂර්මා මේ වනවිට සිය දිවියේ වැඩි කාලයක් වෙන් කර තිබෙන්නේ දියණිය වමිකා වෙනුවෙනි. මේ වසරේ නවරාත්‍රි උත්සවය ඇයට සුවිශේෂි වී ඇත. ඒ දියණිය හේතුවෙනි. නවරාත්‍රියේ අටවෙනි දිනයේදී අනුෂ්කා සිය ඉන්ස්ටග්‍රම් ගිණුමට එක් කර තිබුණේ වමිකා සමඟ සෙල්ලම් කරමින් ඇය සමඟ සිනාසෙන අයුරු දැක්වෙන ඡායාරූපයකි. එහෙත් අනුෂ්කා සිය ප්‍රතිපත්තිය අනුගමනය කරමින් වමිකාගේ මුහුණ කැමරාවෙන් සඟවා තිබුණි. දුර්ගා අෂ්ඨාමි දිනයේදී තම දියණියට ප්‍රාර්ථනාවක් කරමින් අනුෂ්කා මෙම ඡායාරූපයෙහි මාතෘකාව කර තිබුණේ "සෑම දිනකම මාව නිර්භීත හා ධෛර්යමත් කරන්න. මගේ කුඩා වමිකා, ඔබට සැමවිටම දේවතාවියගේ ශක්තිය ලැබේවා, සුබ අෂ්ඨාමි දිනයක් වේවා" යනුවෙනි.

නවරාත්‍රි අට වැනි දින හෙවත් දුර්ගා අෂ්ඨාමි දිනය වෙන්වන්නේ බැතිමතුන් විසින් අෂ්ඨාමි උත්සවය පවත්වා කන්‍යා පූජා සිදු කිරීමටය. මෙම දිනයේ දුර්ගා දේවියගේ ස්වරූප නවය නියෝජනය කරමින් තරුණ ගැහැණු ළමයින් නව දෙනෙකු නමස්කාර කරනු ලැබේ. ඔවුන්ගේ පූජාවෙන් පසු ගැහැණු ළමයින් වෙත භෝගයක් පිරිනැමේ.

 

 

ලොකු හිසරදය

 

 

මෑතකදී, 'භූත් පොලිස්' කණ්ඩායම, සයිෆ් අලි ඛාන්, යාමි ගෞතම් සහ ජැක්ලින් ෆර්නැන්ඩ්ස් 'ද කපිල් ෂර්මා ෂෝ' ප්‍රසංගයට සහභාගි වූ අතර එහිදී තිදෙනාගේම ජීවන හා චිත්‍රපට පිළිබඳ රසවත් තොරතුරු බෙදාහදා ගත්හ. ප්‍රසංගයේදී, ප්‍රියංකා චොප්රාගේ ජුහු හි නිවෙස ඇත්තෙන්ම මිලදී ගත්තා දැයි කපිල් ෂර්මා ජැකලින්ගෙන් විමසූ විට, ඇය පිළිතුරු දෙමින් කියා සිටියේ, එය ඉතා ලස්සන අලුත් නිවෙසක් බවයි.

එහිදී කපිල් සයිෆ් හට අයිති මහල් නිවාසයක් කුළියට දුන් බවට සඳහන් මාධ්‍ය වාර්තා ගැන ද විමසීය. "මම කුඩා පරිමාණ ඉඩම් හිමියෙක්. අපි තවමත් පැරැණි මානසිකත්වයේ සිටින නිසා, අපි තට්ටු නිවාස ආයෝජනය කර ඒවා කුලියට දෙන්නෙමු" සයිෆ් එහිදී පැවසීය. ඔහුගේ අදහස ඉඩම් හිමියා වීම නිසා කුලී නිවැසියන්ගේ පැමිණිලිවලට මුහුණ දීම 'ලොකු හිසරදයක්' බවයි. "ඒසී කාන්දු වීම පිළිබඳ ගැටලු ගැනත් මට ඇමතුම් ලැබෙනවා. ඒ නිසා බොහෝ විට මම ඒ වෙනුවෙන්ම රැකියාවට කෙනෙකු යොදවා ගැනීමට සිතුවා" සයිෆ් බැරෑරුම් ලෙස පවසන්නේය. සයිෆ් පසුව හෙළි කළේ අවසානයේ රැකියාව සඳහා කළමනාකරුවෙකු බඳවා ගත් මුත් ඔහු ද තමා හට ඇමතුම් ලබා ගන්නා බවයි.