අංග සම්පූර්ණ නර්තන ශිල්පියෙක් නම් ඒ බුදවත්ත සර් තමයි

- චන්දන වික්‍රමසිංහ
ජූලි 1, 2021

බුදවත්ත සර් වෙස් බැඳපු පළමු වැනි ගෝලයා මම

 

පණීභාරතයන්ට පසුව මෙරට පහළ වුණු ශ්‍රේෂ්ඨතම තාණ්ඩව නර්තන ශිල්පියා බුදවත්ත සර්

 

සර් යටිගිරියෙන් කෑගහද්දි අපිව වෙව්ලනවා

 

 

සර් සැරවෙන්නේ වැඩේ හොඳට කරගන්න

 

කුලසිරි බුදවත්ත කියන්නේ අහිංසක සෞන්දර්යවාදියෙක්

මේ ගෙවෙමින් පවතින්නේ ගිම්හානය. වෙනදාටත් වඩා හිරුගේ උණුහුම තදින් ඇඟට දැනෙන, ගත මෙන්ම සිතත් උණුසුම් කරන කාලයක්. සිත උණුසුම් කරන හද කම්පා කරන පුවත් අහන්නට ලැබෙන කාලයක්. ජීවිතේ වටිනම මිනිසුන් අප හැර යන බැඳීම්වල වටිනාකම ඒත්තු ගන්වන කාලයක් මේ ගෙවෙන්නේ. පසුගිය 23 වැනිදා ඒ වගේ හදකම්පා කරන පුවතක් අහන්න ලැබුණා. ඒ මෙරට නර්තන කලාව ඒකාලෝක කළ ගුරු තරුවක් නිවී ගිය පුවත. ලාංකේය නර්තන කලාවේ එක් පුරාවෘත්තයක් වන කුලසිරි බුදවත්ත නම් ඒ අසාහය නර්තනාචාර්යවරයා, නර්තන ශිල්පියා අප හැර ගිය බවට වන පුවත. වර්තමානයේ ක්ෂේත්‍රයේ ප්‍රකට නර්තන ශිල්පීන් බොහෝමයක් ඔහුගේ ගෝලයන්,ශිෂ්‍යයන්. ඒ අතරින් අප ඔහු ගැන මතකය අවදි කරන්න ඔහුගේ හොඳම ගෝලයෙක්ට ආරාධනා කළා. ඔහු නමින් චන්දන වික්‍රමසිංහ. ඔහු ගැන අමුතුවෙන් හඳුන්වාදීමට අවැසි නොවූවත් වර්තමානයේ නර්තන කලාවේ නිරත දක්ෂ නර්තනාචාර්යකු බව කිවයුතුමයි. ගුරුවරයාගේ වියෝව නිසා නෙත් කොන නළියන කඳුළු සඟවාගෙන වුවත් චන්දන වික්‍රමසිංහයන් අප සමඟ කුලසිරි බුදවත්ත නම් වූ ඒ මහා නර්තන පෞරුෂය පිළිබඳව මතක මෙසේ බෙදාගත්තා.

 

 

මේ ගුරු ගෝල සම්බන්ධය පටන් ගත්තේ කොහොමද?

මං පුංචි කාලේ ඉඳලා නර්තනය හැදෑරුවා. මගේ ජීවිතයේ එක්තරා දවසක එක්තරා තීරණයක් මගේ මව්පියෝ ගත්තා මාව කුලසිරි බුදවත්ත සර් ළඟට නර්තනය හදාරන්න යවන්න. එතකොට මගේ මල්ලි හසිත වික්‍රමසිංහ නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ සංගීතය ඉගෙන ගන්නවා. එතකොට අම්මා දකිනවා දැන්වීමක් බුදවත්ත රංගායතනය ටවර් හෝල් එකේ පටන් ගන්නවා කියලා. මේ අසූව දශකයේ අගභාගයේ. මම පොඩි කාලේ ඉගෙන ගත්තෙ වජිරා චිත්‍රසේන කලායතනයේ. ඊට පස්සේ මට සිද්ධවෙනවා බුදවත්ත සර්ගෙ පන්ති යන්න. ඒක තමයි අම්මයි තාත්තයි මගේ ජීවිතේ ගත්ත හොඳම තීරණය. එතකොට මට වයස අවුරුදු පහළොවක් ඇති. මම පන්තියේ නැටුවාට ප්‍රකට නර්තන ශිල්පියෙක් නෙමෙයි. මම නැටුවේ පසුපෙළේ. නැටුවාට දේහධාරී, ලස්සන ඇඟවල් තියෙන, ලස්සන පාට තියෙන කෙනෙක් නෙමෙයි මම. මම එතකොට බොහොම කළු, කෙට්ටු, උස වේදිකාවට සුදුසු නැති කෙනෙක්. ඒ නිසා ඒ කාලේ මම යම් යම් අයගේ උසුළු විසුළුවලටත් ලක්වුණා. ඒත් බුදවත්ත සර්, නේමාලි මිස් (බිරිඳ) අපිට ශිල්පය දුන්නා. කාලයක් ඉගෙන ගෙන යද්දී බුදවත්ත සර් මට දවසක් කිව්වා "චන්දන, දැන් ඔයාට වෙස් බඳීන්න කාලෙ හරි" කියලා. එතකොට මට අවුරුදු විස්සක් ඇති. බුද්ධදත්ත සර් ඔහුගේ කලායතනයේ පළමු වැනි වෙස් මංගල්‍යය කළා. ඒක තමයි මගේ වෙස් මංගල්‍යය. මම තමයි බුදවත්ත සර් වෙස් බැඳපු පළවෙනි ගෝලයා. මමයි නිරෝෂන් ද සිල්වා, ලාල් අයියා අපි තුන්දෙනාගේ තමයි සර් මුලින්ම වෙස් බැන්දේ.

වෙස් බැන්දට බුදවත්ත සර්ව ඔබ අත්හැරියේ නැහැ?

අනිවාර්යයෙන්ම. එහෙම කවදාවත් මට සර්ව අත්හරින්න බැරි වුණා. එහෙම කළා නම් මම ගෝලයෙක් නෙමෙයි. මම වෙස් බැඳලා ටික කාලයක් සර් එක්ක කලායතනයේ වැඩ කළා. ඊට අමතරව බුදවත්ත සර්ගෙ "සටන" මුද්‍රානාට්‍යයේ සහාය නර්තන ශිල්පියෙක් විදිහට රඟපෑවා. මම මගේ පළමු වැනි විදේශ සංචාරය බුදවත්ත සර්ගේ "සාම" මුද්‍රානාට්‍යයත් එක්ක යන්නේ. ඒ 1989දී. අපි ගියේ නෙදර්ලන්තයටයි, බෙල්ජියමටයි. ඒ ගමන යනකොට වෙස් නැටුම නටන්න වෙස් පෙට්ටිය (වෙස් ඇඳුම් ආයිත්තයි බහාලූ පෙට්ටිය) මට දුන්නේ බුදවත්ත සර්. ඒක මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. සර් වෙස් පෙට්ටිය දීලා කිව්වේ "මේක ඇඳගෙන ගිහින් නටන්න" කියලා. ඊට අවුරුදු දෙකකට පසුව තවත් සංචාරයකදී බුදවත්ත සර් මට වෙස් පෙට්ටිය අරගෙන යන්න කිව්වම එතකොට මට මගේම කියලා වෙස් පෙට්ටියක් තිබුණා. ඉන්පසුව මම මගේ ගමන්මඟ වෙනම ගියා.

 

කුලසිරි බුදවත්ත කියන්නේ වැඩිම ගෝලයෝ පිරිසක් හිටපු නර්තනාචාර්යවරයා කිව්වොත් හරිද?

හරියටම හරි. මේ කලාකෙතට නර්තන ශිල්පීන් ශිල්පිනියන් වැඩිම ප්‍රමාණයක් දායාද කළේ බුදවත්ත සර්. ගුරුවරු විදිහට නර්තන ක්ෂේත්‍රය දහස් ගණනක් ඔහුගේ ගෝලයන් වැඩ කරනවා. ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිත ගත්තොත් ආචාර්ය උපේකා ගංගොඩවිල, රශ්මි රවීනා, හිමයන්ති සූරියාආරච්චි, හිමාලි ගුණසේකර, ප්‍රසාදි රණසිංහ වගේ ජනප්‍රිය පිරිසක් ඉන්නවා.

 

නර්තනාචාර්යවරයෙක් විදිහට සහ නර්තන ශිල්පියෙක් විදිහට ඔහු කොහොම කෙනෙක්ද?

දරුවන්ට ඉතාම ලෙන්ගතු, ආදරේ කරන ගුරු මුෂ්ටියකින් තොරව ශිල්පය දෙන කෙනෙක්. ඒ වගේම තමන්ගේ විෂය පථය තුළ උපරිමයෙන් කිමිදුණු කෙනෙක්. බෙර ගහනකොට බෙර ගහන්න ද, ගයනකොට තානා.... කියලා උච්ච ස්වරයෙන් ගන්නද පුළුවන් නර්තනයේ නිපුණයෙක්. බුදවත්ත සර් කියන්නේ තාණ්ඩව මහා රජ්ජුරු කෙනෙක්. ලංකාවෙ නර්තනය මහ රජ්ජුරුවෝ පණීභාරත සර්. පණීභාරත සර්ට පසුව මෙරට පහළ වුණු ශ්‍රේෂ්ඨතම තාන්ඩව නර්තන ශිල්පියා තමයි බුදවත්ත කියන්නේ. තාන්ඩව කියන්නේ හොඳ දේහධාරී ශරීරයක් සහිතව නටන හොඳ පිරිමි නැටුම්වලට, උඩ පැනලා කස්තිරම්, අඩව් හොඳ බරට නටන නර්තන ශෛලියට. බුදවත්ත සර් කියන්නේ හොඳ පුරුෂ ලක්ෂණ සහිතව අපිට නර්තනය උගන්නපු කෙනෙක්. ඒ වගේම කොහොඹා යක් කංකාරියක් නටනකොට එහි ඉන්න යක්දෙස්සන් අතරින් ප්‍රමුඛ පෙළේ බලන් ඉන්න ආස හිතෙන නැට්ටුවෙක්. ඔහුගේ අතපයද, මුහුණේ ඉරියව්ද හැම අංගයක්ම මනාව හසුරවමින් අලංකාර ලෙස නටන නැට්ටුවෙක්. බුදවත්ත සර් නටනකොට අත යන තැනට යනවා. ගොඩක් අයට මැන්ඩියට නටන්න බැහැ. බුදවත්ත සර් කියන්නේ හොඳ මැන්ඩියක් තියෙන "පද පහත්තියට" නටන කෙනෙක්. අංග සම්පූර්ණ නැට්ටුවෙක් නම් ඒ බුදවත්ත සර් තමයි. සර් කොහොඹායක් කංකාරිය නටනකොට රෑ එළිවෙනකල් එක දිගට නටනවා මම දැකලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ බුදවත්ත සර් කවදාවත් නිරුවත පේන විදියට ඇඳුම් නිර්මාණය කළේ නැහැ. ගැහැනු පිරිමි මේ හැමෝගෙම ආත්ම ගෞරවය රැකෙන විදිහට නර්තන හදපු ඇඳුම් නිර්මාණය කරපු ගුරුවරයෙක්. සර් කවදාවත් ගෑනු ළමයෙක්ගේ දනිස්සට උඩින් රෙද්දක් අන්දලා නැහැ. ලංකාවේ අභිමානය රැකෙන පරිදි සංස්කෘයට උචිත විදිහට ඔහු නර්තන නිර්මාණය කළේ. බුදවත්ත සර් හැමවෙලාවෙම අපේකමට ගැලපෙන විදිහට තමන්ගේ කලාව කරපු කෙනෙක්.

 

හරියට නැටුවේ නැතිනම් බුදවත්ත සර්ගෙන් ගුටි කන්න වෙනවලු නේද?

සර්ට හරියට නැටුම තියෙන්න ඕනේ. සර්ට පැද්දෙන, නැළවෙන නැටුම් හරියන්නේ නැහැ. සර් සැරවෙන්නේ වැඩේ හොඳට කරගන්න. කෑගහන්නේ පාරක් දෙකක් ගහන්නේ වැඩේ උපරිමය කරගන්න. නැතුව තරහකට නෙමෙයි. ගුරුවරු එහෙමනේ.

 

කුලසිරි බුදවත්තයන්ගේ පෞද්ගලික වතගොත ගැන නොකිව්වොත් ඒක මේ කතාබහට අඩුවක්.

ඔහු ඉපදුණේ 1950 මැයි 04 වැනිදා. බුදවත්ත සර්ට සහෝදර සහෝදරියෝ හතර දෙනෙක් ඉන්නවා. සුනිල් ශාන්ත, ජයන්ත තිලකසිරි ඒ දෙන්නම ජීවතුන් අතර නැහැ. දැනට ජීවතුන් අතර ඉන්නේ සහෝදරිය නන්දනී බුදවත්ත. ලංකාවේ ඉතිහාසගත යුගල නර්තනයක් තමයි නන්දනී - කුලසිරි යුගල නර්තනය. වේදිකාව මත රට පුරා ප්‍රචලිත නැටුමක් ඒක. සර් රජයේ සංගීත හා නැටුම් විද්‍යාලයේ නර්තනය හදාරපු කෙනෙක්.

 

ඔහුගේ ජීවිතය සාර්ථක වෙන්න බිරිඳ හේතුවක් වුණාලු?

අපි ටවර්හෝල් එකේ පන්ති යන කාලෙත් සර් විවාහ වෙලා හිටියේ නැහැ. සර්ගෙ සහකාරිය වීමට නියමිතව හිටියේ නේමාලි අමරසිංහ කියලා බොහොම රූමත් තරුණියක්. ඒ දෙන්නා එකතු වෙලා තමයි අපිට පන්ති කළේ. ඔවුන් දෙදෙනාගේ විවාහයෙන් පස්සේ තමයි බුදවත්ත රංගායතනයේ ස්වර්ණමය යුගය එළඹුණේ. බුදවත්ත මිස් කියන්නෙ පුදුමාකාර ධෛර්යවන්ත ගැහැනියක්. ඒ ගැහැනියට පුළුවන් වුණා බුදවත්ත සර් දක්ෂතා එළියට අරගෙන ඒවායෙන් තවත් රංගායතනය ඒකාලෝක කරන්න. රංගායතනයේ කණ්ඩායම් සංකල්පය හදන්න, පන්තිවල පිළිවෙල හදන්න ඇය විශාල සහයෝගයක් ඔහුට ලබාදුන්නා. කණ්ඩායම් කළමනාකාරීත්වය, කලාව, වාණිජමය පැත්ත මේ හැමදෙයක්ම සමබරව කරගෙන යන්න පුළුවන් හැකියාවක්. ඒකට නේමාලි බුදවත්ත මහත්මිය නොසෑහෙන්න උදවු කළා. මම සහකාරියක් තෝරා ගැනීමේදීත් නේමාලි මිස් වගේ සැමියාගේ වැඩකටයුතුවලට සහයෝගය දෙන්න පුළුවන් කෙනෙක් ගැන විශේෂයෙන් බැලුවා. සර්ට නැටුමකට අවශ්‍ය ඇඳුම් නිර්මාණය මෙන්න මේකයි කිව්වම ඒක එසැණින් සූදානම් කරලා දෙන නේමාලි මිස් ලෑස්තියි. ඒ නිසාම තමයි කුලසිරි බුදවත්ත රංගායතනය මෙරට මේ තරම් ජනප්‍රිය වුණේ. මේ දෙදෙනාගේ එකම පුතා රංගන රන්සිළු බුදවත්ත. ඔහු ගුවන්යානා ඉංජිනේරුවරයෙක්. ඒ වගේම දක්ෂ බෙරවාදකයෙක්.

 

බුදවත්ත සර් සාමාන්‍ය ජීවිතයේදී කොයිවගේද?

හොඳට කාලා බීලා විනෝදෙන් ඉන්න කෙනෙක්. සර් නිතරම උත්සාහ කළේ සැහැල්ලුවෙන් ඉන්න. කුලසිරි බුදවත්ත, සරත් දසනායක, සමන් චන්ද්‍රනාත් වීරසිංහ යන තුන්කට්ටුව තමයි මම පොඩි කාලේ ඉඳලා එකට දැක්කේ. බොහොම සැහැල්ලුවෙන් සරලව ජීවිතය ගත කරපු, හොඳට හම්බ කරපු කෙනෙක් බුදවත්ත සර්. එයා සමාජය දිහා බැලුවේ "සැමට සුබසෙත" සංකල්පයෙන් තමයි. කුලසිරි බුදවත්ත කියන්නේ අහිංසක සෞන්දර්යවාදියෙක්. ඔහු පෙනුමෙන් ප්‍රචණ්ඩ වෙන්න පුළුවන්. යටිගිරියෙන් කෑගහනවා පන්තියෙදි. අපිව වෙව්ලනවා එතකොට. ඒත් ඔහු ඉතාම සෞම්‍ය ගතිගුණ තිබුණු මනුස්සයෙක්. ලංකාවේ අනිත් හැම කලාකාරයෙක්ටම ගරු කරපු හොඳට කාලා බීලා ජොලියේ හිටපු මනුස්සයෙක්.

 

ඔබට බුදවත්ත සර් දීපු හොඳම උපදේශය මොකක්ද?

කෙලින් කතා කරන්න, කෙලින් වැඩ කරන්න කියන එක. හැමවෙලාවෙම අපේ දේ රැකගෙන වැඩ කරන්න කියලා තමයි මට සර් කිව්වේ. මගේ නිර්මාණයක් වුණත් සර්ට හරි නැත්නම් "මොකද්ද බන් අර කළේ?" කියලා මූණටම කියනවා. සර් හරිම කෙලින් වැඩ කරන මනුස්සයෙක්.

එක් සිනමා සම්මාන රාත්‍රියක හොඳම රංග වින්‍යාසයට හිමි සම්මානය පිරිනමන්න භාර වෙන්නේ බුදවත්ත සර්ට. ඔබත් ඒ සම්මානයට නිර්දේශ වෙලා හිටියා. එහිදී ඔහු ඔබව හැඳීන්වුවේ "මගේ වම් අත" කියලා. එදා මොකද හිතුණේ?

ඒ සම්මානය මට ලැබුණේ නැහැ. ඒත් බුදවත්ත වේදිකාවෙන් බැස්සේ එදා විනිශ්චය මණ්ඩලයටත් නැටුම කියන්නේ මොකක්ද කියන එක උගන්වලා. ඒකට තමයි බුදවත්ත සර්ගේ කොන්ද කියන්නේ. ඒ සම්මානය මට නොලැබුණත් හරි විනිශ්චය දීලා බුදවත්ත සර් වේදිකාවෙන් බැහැලා ගියා. සර් මාව සර්ගේ වම් අත කියලා හඳුන්වපු එකම මට ලොකු සම්මානයක්.

 

අලුතෙන් එන නර්තන වින්‍යාස සහ ශෛලීන් ගැන බුදවත්ත සර් මොන වගේ ආකල්පයකද හිටියේ?

අපි කරන සමහර අලුත් නිර්මාණ පවා දැඩි ලෙස සර්ගේ විවේචනයට ලක් වුණා. මම ප්‍රසංගයක් කළා "ච්පභථඵ චදඤ ච්චදජඥ" කියලා. ඒකත් මම කළේ සර්ගේ අදහස් අරගෙන. හැබැයි සර් කිසිම වෙලාවක අලුතෙන් එන ළමයින්ගේ අදහස්වලට විරුද්ධ වුණේ නැහැ. ඔවුන්ගේ නර්තනය වැරදි මාර්ගයේ යනවා නම් ඒවා නිවැරදි වෙන්න ඕනේ කොහොමද කියන අවවාදය සර් ආදරෙන් හෝ කෑගහලා බැනලා දෙනවා.

 

බුදවත්ත සර් ජීවිතයේ සැදෑ සමයේදී තමන්ට කරන්න නොහැකි වුණු කුමක් හෝ දෙයක් සම්බන්ධව පසුතැවුණාද?

සර් කිසිම දෙයකට පසුතැවුණේ නැහැ. ඒත් අපි පසුතැවෙනවා. රටක් විදිහට කිසිම රජයකින් මේ වගේ කලාකරුවන්ව කිසිම ඇගයීමක් කළේ නැහැ. ඒක බුදවත්ත සර් අපිට කියලා නැහැ. එතුමා ඒවා බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඒත් අපි ගෝලයෝ විදිහට කනගාටු වෙනවා ඔහුට කිසිම ඇගයීමක් නොලැබුණු එකට.

 

සර්ගේ අන්තිම හමුවීම මතක් කළොත්?

බුදවත්ත සර් මිය යන්න මාස ගාණකට කලින් ඔහු රෝගාතුර වෙලා ඉන්න කොට දවසක් මම ගියා ඔහුව බලන්න. ඊටපස්සේ අපි කවුරුත් මේ වසංගත තත්ත්වය නිසා සර්ව බලන්න ගියේ නැහැ සර්ගේ සෞඛ්‍යාරක්ෂාව ගැන හිතලා.

 

තරුණ නර්තන ශිල්පීන්ට කුලසිරි බුදවත්තයන්ගේ කාර්ය සාධනයෙන් ගන්න තියෙන හොඳම ආදර්ශය මොකක්ද?

තමන් යන ඉලක්කය ගැන හරියට හිතන්න. විෂය හරියට හදාරන්න. කලාකරුවෙක්ට ඇසූපිරූතැන් තියෙන්න ඕනේ. ඒක සර්ට ඕනාවටත් වඩා තිබුණා. ඒ වගේම මුදලට තමන්ගේ කලාව පාවලා දෙන්න එපා. මේවා තමයි අලුත් පරපුරට සර්ගෙන් ගන්න පුළුවන් හොඳම ආදර්ශ.

අලුත් පරපුර කිසිම හැදෑරීමකින් තොරව බුදවත්තලා වෙන්න දඟලනවා. අලුත් පරපුර ජනප්‍රිය වෙන්න ලේසි ක්‍රම හොයනවා. ඒ නර්තන ශිල්පීන් ටෙලිවිෂන් එකේ එක චැනල් එකක කෙල්ලොන්ගේ වම් කකුල පෙන්වලා අනිත් චැනල් එකේ දකුණු කකුල පෙන්වනවා. බුදවත්ත සර් වගේ මේ රටේ නම ගිය නර්තන ශිල්පියෙක් වෙන්න නම් අපි නිර්මාණ කරන්න ඕනේ අපේ රටට ගැලපෙන ආකාරයට. බුදවත්ත සර් නිතරම ඉලක්ක කළේ රටේ බුද්ධිමත් ජනතාව. බුදවත්ත සර් නිර්මාණවලින් කතා කළේ මිනිස්සුන්ගේ බුද්ධියට. වර්තමානයේ නර්තන ශිල්පීන් කියන අයට අඩුම තරමේ ගෝලයෝ පිරිසක්වත් නැහැ. ඔවුන්ට අපේකම කියලා බැඳීමක්වත් නැහැ. බුදවත්ත සර් නැටුම් හැදුවේ මේ රටේ සංස්කෘතියට හානි නොවෙන්න. අලුත් පරපුර හරිම දක්ෂයි අනුකරණය කරන්න. ඔවුන් මේ විෂය හරියට හැදෑරුවොත් සෑහෙන්න ඉහළ මට්ටමකට යන තරම් දක්ෂයි. ඒත් එයාලගේ මූලික පදනම ශක්තිමත් නැහැ. ඔවුන් විෂය හදාරන්නේ නැහැ. විෂය ගැන කියවීමක් තියෙන්න ඕනේ. "දැනගෙන කතරගම යන්න" කියන එක තමයි බුදවත්ත සර්ගෙන් තරුණයන්ට ගන්න තියෙන හොඳම ආදර්ශය. බුදවත්ත සර් කියන්නේ ලංකාවේ නර්තන කලාවේ පුරාවෘත්තයක්. අපිත් මේ තරම් මහන්සි වෙලා වැඩ කරන්නේ ඔහු වගේ කෙනෙක් වෙන්න තමයි. ඒත් මම ඔහුගෙම කොපියක් වෙන්න කැමති නැහැ. මට ඕනේ චන්දන වෙන්න. චන්දන වෙන ගමන් මාර්ගයේදී බුදවත්ත සර්ගෙන් ගන්න ඕනේ දේවල් ගොඩක් මට තියෙනවා. බුදවත්ත කියන්නේ මගේ පරමාදර්ශී චරිතයක්.

 

ඡායාරූප - දයාන් විතාරණ